පුවත්

පේරාදෙණි ආචාරින් 122ක් රට පැනලා පොලු තියලා !
විදේශීය විශ්වවිද්‍යාල වෙත ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසන්නේ 2010 වසරට පසුව මේ ආකාරයට ගිවිසුම් කඩ කළ වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව ය.
මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වෙතින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමසීමේදී ඔහු පවසා ඇත්තේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවය.

රටේ අනාගතය ගැන ජනපතිගෙන් සහතිකයක් !
පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායකගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.
මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.
එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.
අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.
මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.
ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.
අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.
මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.
අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි.
දෙවනුව අපනයන ආදායම. ඇගළුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
එසේම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවා ගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.
ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.
අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.
ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.
මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද, ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කය ද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.
ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජනපතිගෙන් උපදෙස්
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ 'පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව' විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර, මේ වන විට ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම ද සිදුවී ඇත.

මහින්ද ශූරතාවය පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම දිනලා !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පවත්වා ඇත.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන ඇතුළු පිරිසක් සහභාගිව ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරග දෙකක් ලෙස මෙය පැවති අතර තරග දෙකෙහිම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත්වු බවත් වාර්තා වෙයි.

හම්බන්තොට නිර්වින්දන ඩොකා නොකියාම පැනලා !
හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගතව ඇති බව හම්බන්තොට මහ රෝහලේ ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් තිබෙන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) වනදා උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුතු බවත් නැත්නම් එම කටයුතු සියල්ල අඩපණ වන බවය.
ඒ අනුව මේ වන විට නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති බැවින් රෝහල් කාර්‍ය මණ්ඩලය බරපතළ දුෂ්කරතාවකට පත්ව ඇති අතර රෝගී ජීවිතද යම් අවධානමකට ලක්ව ඇති බවත් සඳහන් වෙයි.

IMF සැප්තැම්බර් සමාලෝචනයට දින දෙයි : ඊට පස්සේ මොකද වෙන්නේ ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මස 11 වනදා ආරම්භ කර දින 8ක් තිස්සේ එනම් සැප්තැම්බර් 19 වනදා දක්වා සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එම කටයුත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යවරයා සම්බන්ධවී සිදුකරන්නක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
ඔහු පවසන ආකාරයට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව ලැබෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසයි .
"IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්.
"අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා."
"අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා."

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි.
අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.
ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.
අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.
අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු පොත් 100කට අධික ප්‍රමාණයක් සහ දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන. තිබ්බත දියනිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
අඩසිය වසකට අධික සිය ලේඛන දිවිය යුතු කාන්තාවන් වෙනුවෙන් සිය නිර්මාණ කෞෂල්‍යයෙන් අසීමිත මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යවේදිනියක් ලෙස ඇය ජනප්‍රසාදිතයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ද, අනුල ද සිල්වා මහත්මිය පිදුම් ලැබුවේ සිය සාහිත්‍ය මෙහෙයවර ජාතික වශයෙන් ඇගයිමට ලක්වෙමිනි.

කෙහෙලියට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන තීන්දුවක් !
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඊයේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබාදීමට තීරණය වූ බවය.
කෙසේ වුවත් පසුගිය සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක විසින් අදාළ විශ්වාස භංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීමට දින නියම කරගන්න උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබ නියෝජිතයන් ඒ සඳහා පසුබට වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබිණ .

EPF පෙත්සම විභාගයට නොගෙන විසිවෙයි !
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කර ඇත .
අදාළ තීන්දුව ව්ජිිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රමුඛ නායකයකු වන චතුරංග අබේසිංහ විසිනි.
ඊයේ (10) මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.
සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත .
කෙසේ වුවත් අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා නව ස්වාධීන ආයතනයක් !
මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදීය.
ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති අතර 1200 කට ආසන්න වන පිරවුම් හල්වල විකිණිමට පහසුකම් සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව ලැබන බවය.
එසේම වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙලදපොලක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යෞවන ක්‍රීඩා උළෙල සහ තුරුණු ශක්ති යළිත් !
ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසිය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින් ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත බවත් මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට එය ඉවහල් වනු ඇති බවත් සඳහන් කළේය.
මේ අතර “ජාතික යෞවන ක්‍රීඩා උළෙල” සහ “තුරුණු ශක්ති වැඩසටහන” නැවත පැවැත්වීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මෙසේද පැවසීය .
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙරට තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කරමින් ඔවුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තරුණ පරපුර කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා ඇති නායකයෙක්. එතුමා 1979 ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරමින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු කළ කාර්ය භාරය ද මෙහිදී සිහිපත් කළ යුතුයි.
ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකය අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන දෙකක් වෙනවා. ජාතික තරුණ සේවා සභාව යටතේ මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තරුණ සේවා නිලධාරියෙකු පත් කර තරුණ තරුණියන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
යොවුන් සේනාංකය තුළින් මේ රටේ වයස අවුරුදු 18 – 29 අතර පාසල් හැර ගිය තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණ පරපුරක් ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. කොරියන් භාෂාව, ජපන් භාෂාව ඇතුළු විවිධ භාෂා දැනුම ද ඔවුන්ට ලබා දීම සිදු කරනවා. හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි.
එසේම ක්‍රිඩා ක්ෂේත්‍රය තුළ මධ්‍යම රජය සහ පළාත් සභා අතර කටයුතු වඩාත් සුහදව කළමනාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය නිරතුරුවම කැපවී සිටිනවා.
එසේම ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රිඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් විවිධ ප්‍රශ්න පැණනැගුන අවස්ථාවන් පසුගිය කාලයේ දක්නට ලැබුණා. එම නිසා ජාතික ක්‍රීඩා සභාව පත් කිරීමට ගත් පියවර ඉතා වැදගත් එකක් බව කිව යුතුයි.
මෙරට ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් ඇති ක්‍රීඩාවේ නිරත වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, සුසන්තිකා ජයසිංහ වැනි ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික ක්‍රීඩා සභාව සමන්විත වෙනවා. ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ දී නිසි පරිසාධන මට්ටම් ඔස්සේ අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට එමගින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා මෙම කටයුතුවලදී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට අද කිසිවෙකුට චෝදනා කරන්න බැහැ.
මත්ද්‍රව්‍ය භාවිතය අද ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වී තිබෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පුළුල්ව ක්‍රියාත්මක කර තිබෙනවා
මේ රටේ ඇති ක්‍රීඩා සම්මේලන 72න් 66ක්ම වඩාත් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ ක්‍රියාත්මක සෑම ක්‍රීඩා සම්මේලනයකටම විරුද්ධ තවත් කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා උත්සාහයන්හි නිරතවීම නිරතුරුව දකින්නට ලැබෙන දෙයක්. පාපන්දු සම්මේලනය, දැල්පන්දු සම්මේලය මෙන්ම හොකී සම්මේලනය තුළද මෙම තත්ත්වය දකින්න ලැබෙනවා.
විශේෂයෙන් ලිපිලේඛනවලට පමණක් සීමා වූ සම්මේලන පවත්වාගෙන යාම සිදුවන අතර එක් පිරිසක් සැමදා පාලන බලය ලබා ගැනීමට පුරුදු වී සිටිනවා. ක්‍රීඩා කළ හැකි කණ්ඩායමටවලට අවස්ථාව ලබාදී මේ රටේ ක්‍රීඩාව නැංවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම එවැනි කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.
මේ අතර ක්‍රීඩා පනත සංශෝධනය පිළිබඳවත් මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක් !
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ "කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම" පිළිබඳ (10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත් සඳහන් කළේය.
එමෙන්ම පැරණි ක්‍රමවේදවලින් බැහැරව වඩා සාර්ථක ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බවත් ඉන් රටට නිසි ප්‍රතිලාභයක් හිමිව නොමැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.
වී සහ අනෙකුත් බෝගවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් කෘෂි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් නවයෙහි පවතින සම්පත් ඒ සඳහා භාවිතයට ගැනීමටත්, එම සැලසුම් ක්‍රියාවට නැංවිමේ දී අදාළ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.
ඒ ඒ කන්නවලට ගැළපෙන වී වර්ග වගා කිරීම, අදාළ බෝග සඳහා විශේෂඥතාව ඇති ආයතනවලින් දැනුම ලබා ගැනීම, ගුණාත්මක බීජ වර්ග සපයා ගැනීම වැනි කටයුතු පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් රටපුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුනනේය.
එසේම නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන තායිලන්තය වැනි රටවල සහාය ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නිලධාරින්ට දැනුම් දුන්නේය.
කෘෂි සංවර්ධන වැඩසටහන සඳහා පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමෙන් වඩා ඉහළ ප්‍රතිලාභ සැලසෙනවා මෙන්ම එමගින් තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගීය හැකි බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරාගත හැකි අන්දමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත්, විධිමත් ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පැහැදිළි කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් එක් එක් ප්‍රදේශයන්ට ආවේණික බෝග වගාවන් ග්‍රාමිය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ නව තාක්ෂණය පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් විසින් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන අය ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක ලේකම්වරු සහ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිකාරියෙකු වන මධුශංක කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබද උපාධියක් මෙන් ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයක ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරා ඇත.

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ ආඥාවක්
මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද(11) නිකුත් කර තිබේ.
ඒ අනුව අද(11) දහවල් 12.00 සිට හෙට(12) දහවල් 12.00 දක්වා මෙම නියෝගය බල පැවැත්වේ.
එම නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටය.
එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.

මහ බැංකුව රුපියල් කෝටි 20000ක් මුදාහැරලා !
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 8 වනදා රැස්වූ අවස්ථාවේය.
ඒ අනුව එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

බදුල්ල ශික්ෂණ රෝහලට කෝටි 07 ක විදුලි බිලක් !
රුපියල් කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
එම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරය යන අංශ වල මෙසේ විදුලිය විසන්ධිකර ඇති බවය .
මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවීමේ අවධානමක් ඇති බවත් වාර්තා වෙයි.

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම RCEP සාමාජිකත්වය ලබා ගන්නවා - ජනපති
ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගිය 08වනදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදීය.
1967 අගෝස්තු 08 වන දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගත්හ. අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබේ.
ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වන දින ආසියාන් "ASEAN දිනය" සමරනු ලබයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ආසියාන් (ASEAN) සංවිධානයේ 56 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මෙම සංවිධානය සෙමින් නමුත් ක්‍රමික සහ පුළුල් අනාගතයක් සමඟ ලෝකයේ විශාලතම ආර්ථික හවුල්කාරිත්වවලින් එකක් ලෙස වර්ධනය වී ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ආසියාව තුළ ඔබේ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නොවූවත් ඔබේ සාර්ථකත්වයේ කතාව නම් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි.
මෙය සුබ පැතීමට මෙන්ම පසුතැවීමටද අවස්ථාව බව මම කියන්න කැමතියි. ඒ ඇයිද කිව්වොත් ආරම්භයේදීම ආසියාන් සංවිධානයට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කෙරුණා. අප එය පිළිගත්තේ නැහැ. එම සිදුවීම පිළිබඳ මම සාක්ෂිකරුවෙක් වෙනවා මෙන්ම මගේ පියා ඊට සම්බන්ධ වූ එක් අයෙක් බව කියන්න කැමතියි.
1965 වසරේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය විවෘත කළ යුතු බවට යෝජනාවක් වගේම ඉල්ලීමකුත් පැවතුණා. පළමුවෙන්ම එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් හරිත විප්ලවය නමින් ව්‍යාපාරයක් එළිදක්වනු ලැබුවා. එය සාර්ථක වුණා. එමඟින් එළිදැක්වුණු ෂෙනෝයි වාර්තාව, එවකට යුනිවර්සිටි කොලිජියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය ෂෙනෝයි විසින් ශ්‍රී ලංකාවට පැමිණ සකස් කරන ලද වාර්තාවක්.
මගේ පියා යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලබන අවධියේ දී මහාචාර්ය ෂෙනෝයි එහි ආචාර්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව තමයි මහාචාර්ය ෂෙනෝයි ශ්‍රී ලංකාවට පැමිණියේ. මහාචාර්ය ෂෙනෝයි විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණය සහ සමාජ සුභසාධනය පිළිබඳ රජයේ වගකීම සහතික කිරීමට හැකි වුණා.
දෙවනුව තමයි ශ්‍රී ලංකාවට ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනාව ලැබෙන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේදී අප සියලු දෙනා එක්ව අග්නිදිග ආසියානු විධානය පිහිටුවා ගෙන තිබුණු නිසා එලෙස ආරාධනාවක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්.
ඒ වන විට අග්නිදිග ආසියාවක් සැබවින්ම පැවතුණේ නැහැ. කෙසේ නමුත්, මෙම විවාදය ඉදිරියට ගියා. ඒ නිසා අපට අමතර කාලයක් ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, ආමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන්, ආමාත්‍ය මණ්ඩලයෙන් පිටස්තරව පාර්ලිමේන්තුවේ සිටි මගේ පියා වැනි පුද්ගලයන් සියලුදෙනාම ෂෙනෝයි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් ආසියාන් සංවිධානය සමඟ එක්වන ලෙසත් රජයට බල කරනු ලැබූවා.
නමුත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාට අවාසනාවන්ත ලෙස මහා භාණ්ඩාගාර නිලධාරීන් උපදෙස් දී තිබුණේ ආර්ථිකය විවෘත කිරීමේ අවදානම නොගන්නා ලෙසයි. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමි නොවන නිසා ආසියාන් සංවිධානය සමඟ එකතු නොවන ලෙසටත් විදේශ කටයුතු නිලධාරීන් එතුමාට පවසා තිබුණා.
අපි දැන් වසර 56කට පසුව ආසියාන් සංවිධානයේ සිටිනවා. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරන බොහෝමයක් රටවල් මේ වන විට සමෘද්ධිමත් රටවල් බවට පත්ව තිබෙනවා. අප මොකක්ද කළේ? වසර 3කට පසු එනම් 1970දී ශ්‍රී ලංකාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වූණා. අපි අපේ ප්‍රාග්ධන ව්‍යුහයන් බිඳ දමා ඉදිරියට ගියා. ඒ ආර්ථිකයේ විලංගුවලින් අප සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.
මේ වන විට ඔබ සංවිධානය ලෝකයේ 5 හෝ 4 වන විශාලතම ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව තිබෙනවා. අපි වසර 55ක් අවසානයේ බංකොලොත් වී සිටිනවා. ඉතින් මෙය තමයි අපගේ පසුතැවීමට හේතුව.
නමුත් අපි මේ වන විට ඒ බංකොලොත්භාවයට මුහුණ දී එය පූර්ණ වශයෙන් පාලනයකට නතු කරගෙන තිබෙනවා. දැන් අපි වේගයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරනවා. එහිදී අප ආසියාන් සංවිධානය පැමිණි ගමන් මඟ ආදර්ශයට ගෙන, ආසියාන් සංවිධානය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
එය තමයි මගේ රජයේ ප්‍රතිපත්තිය. අනෙක් රජයන්ගේ ප්‍රතිපත්තිය ද එයම වෙයි කියා මම විශ්වාස කරනවා. අග්නිදිග ආසියාව සමඟ අපට ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් එකක් බව කිවයුතුයි. ඉන්දියාව සහ මාලදිවයින හැරුණුකොට අග්නිදිග ආසියාව සමඟ වඩාත්ම සමීප රට ශ්‍රී ලංකාවයි.
මහාවිහාර බුදුදහමේ ඉගැන්වීම් සමග ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමයේ කොටස් සමඟ පවතින ඉතාමත්ම සමීප සම්බන්ධතාවය සහ රටවල් අතර දීර්ඝ කාලීනව සිදුව ඇති අන්තර්ක්‍රියා දෙස බලන්න. සියලුම වර්ගවල මැලේ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනුරාධපුර රාජධානියේ ශ්‍රී විජය රජුගේ රාජ්‍ය සමයේ පැවත ඇති සම්බන්ධතා ඉතා වැදගත් සන්ධිස්ථානයක්.
අප රටවල් අතර අතීතයේ සිට පවතින සම්බන්ධතාවන් මේ හරහා මැනවින් පිළිබිඹු කරනවා. අපට අපගේ සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා තවදුරටත් ගොඩනැඟිය යුතුව තිබෙනවා. එනිසා තමයි මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී අත්‍යවශ්‍ය කරුණක් වන සිංගප්පූරුව සමඟ පළමුවෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට කටයුතු සම්පාදනය කළේ. අපට එය නැවත අලුත් කිරීමට හැකි වී තිබෙනවා.
ඒවගේම තායිලන්තය සහ අනෙකුත් ආසියාන් සංවිධානයේ රටවල් සමඟ ද මෙය ව්‍යාප්ත කිරීමට අප සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වනවා. එහි චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සමාජිකතවය දරනවා. එය ලෝකයේ බලවත්ම රටවල් වලින් කොටසක් නියෝජනය කරනවා. කලාපයේ වෙනත් රටවල් කිසිවක් තවමත් මෙයට අයදුම් කර නැහැ. නමුත් ශ්‍රී ලංකාව එම සංවිධානය සමඟ එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත්, ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහාත් සාකච්ඡා ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා.
මෙය තමයි අපට සම්පූර්ණයෙන්ම ආසියාන් සංවිධානය වෙත ප්‍රවේශ වීම සඳහා ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය වන්නේ. අපි ආසියාන් සංවිධානයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා අපට එයට ඇතුළු වීමට නොහැකි වුණා. දැන් අප කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ සම්බන්ධ වී ඉදිරියට යා යුතුයි. එය ප්‍රතික්ෂේප කිරීමට අපට හේතුවක් නැහැ.
අප නැගෙනහිරත් සමඟ ආර්ථිකය දෙස බැලිය යුතුයි. සංවර්ධනය වන්නේ නැගෙනහිරයි. කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ගිවිසුම්ගතවීමට සාකච්ඡා කරන අතරතුරම ඉන්දියාව, බංගලාදේශය සමඟ ද ගිවිසුම්ගතවීම සඳහා සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. එමගින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සිට නැගෙනහිර දෙසින් ජපානය දක්වා පවතින සියලුම රටවල් සමඟ තවදුරටත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබෙනවා.
අප විසින් අනුගමනය කරනු ලබන ආර්ථික හා දේශපාලනික උපායමාර්ගය මෙයයි. ඒ වගේම දේශපාලනික වශයෙන් ඉතාම සමීප සම්බන්ධතා පැවැත්වීම ඉතාම වැදගත්. අමාත්‍යාංශ මට්ටමින් මේ සන්නිවේදන සම්බන්ධතා පවත්වාගැනීම තහවුරු කරන ලෙස මම මගේ විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා.
ඒ වගේම මේ තත්ත්වයන් පිළිබඳව නිතරම විමසා බලා, නිතරම හමුවී සාකච්ඡා පවත්වා ගැටඵ පවතින්නේ නම් ඒවා විසඳා ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මම උපදෙස් ලබාදුන්නා. අපට ආපසු හැරී යා නොහැකියි. අප යා යුත්තේ ඉදිරියටයි. අප දැනට ජාත්‍යන්තරය තුළ පවතින තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් පසුවෙනවා. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ අපි එකඟ වනවා. එම දැක්ම ඉදිරියට ගෙන යාමට සහ ඒ හා අනුගත වෙමින් ඉදිරියට යාමට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.
සමුද්‍ර මර්මස්ථානයක් ලෙස ඉන්දුනීසියාවට අපේ සහයෝගය ලබා දෙනවා. අපි එයින් ඉවත්ව ගොස් නැහැ. අපි මේ අර්බුද ජයගැනීම සඳහා එක්ව ඉදිරියට යමු. ආසියාන් සංවිධානයේ දැක්ම විසින් එහි එක් අන්තයක් ලෙස ඉන්දියානු සාගර කලාපයත් අනෙක් අන්තය ලෙස පැසිෆික් සාගර කලාපයත් හඳුනාගෙන තිබෙනවා.
අපි ඉන්දීය සාගරයේ සිටින රාජ්‍යයක් වශයෙන් එය හමුදා මැදිහත්වීම්වලින් තොර කලාපයක් ලෙස ඉදිරියට ගෙනයාමට හැකි බව සහතික කිරීමට අපට පුළුවන්. එනිසා සාමාජිකයන් ලෙස අපගේත් ආසියාන් සංවිධානයේත් දැක්ම සහ ඉලක්ක එක ලෙස පවතිනවා. මෙම යෝජනාවට සහාය දැක්වීම සඳහා සෑම ක්ෂේත්‍රයකම අපි එකට වැඩ කළයුතුව තිබෙනවා.
මෙම මහා සාගරයේ අප සහ ආසියාන් රටවල් කුඩා මාළුන් බව මතක තබා ගන්න. පොඩි මාලුන් ලෙස වෙන වෙනම ඉන්න විට අපව ඩැහැගන්නට ඉතාම පහසුයි. එනිසා සෑම දෙනා සමඟම ගනුදෙනු කිරීම, සෑම දෙනා සමගම මිත්‍රතාවයන් පැවැත්වීම ඉතාමත්ම වැදගත්.ඒවගේම ඔබට ඉදිරියෙන් යාමට හෝ ඔබ අපගේ පසුපසින් තැබීමට අපට කිසිඳු තරගයක් නොමැති බව ද පැවසිය යුතුයි.
දේශගුණික විපර්යාස පිළිබඳව ද අප ඉතා සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. දේශගුණික න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සිදු කර ඇති කැඳවීම අනුව දේශගුණික විපර්යාසයන්හි අර්බුදයේ බරපතළකම ඔබට අවබෝධකරගත හැකියි.
දේශගුණික න්‍යායපත්‍රය පිළිබඳව අප එක්ව වැඩ කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම නීල ආර්ථිකයේ විභවය අවබෝධ කර ගනිමින් ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාවට දේශගුණික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි වෙනවා. එනිසා අපට එකට එක්ව සිදු කිරීමට බොහෝ වැඩකටයුතු පවතිනවා. මම එයින් කොටසක් මෙහි දක්වා තිබෙනවා. එනිසා අපට අත්වැල් බැඳගෙන ආසියාන් සංවිධනය සමඟ එකට වැඩ කිරීමට තිබෙනවා.
මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටෝබිං මහත්මිය,
මිලියන 670කට අධික ජනගහනයක් සහිත, ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 8.8%ක් වන ආසියාන් සංවිධානය යනු ගෝලීය වශයෙන් තුන්වන විශාලතම වෙළඳපොළ යි. ආසියාන් සංවිධානය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැදගත් කලාපීය හවුල්කරුවෙකු ලෙසයි.
ශ්‍රී ලංකාවේ ආසියාන් දූත මණ්ඩල විවිධ පාර්ශ්වකරුවන් ද සම්බන්ධ කරගනිමින් සාමූහිකව ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක් ඇති කර ගැනීමට සහ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමටත් ආසියාන් සංවිධානය කැමැත්තෙන් සිටිනවා.ආසියාන් සංවිධානයේ අපේක්ෂාව වන්නේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු - පැසිෆික් කලාපයක් ඇති කිරීමයි.
ඉන්දු- පැසිෆික් කලාපයේ අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීමට කැමති රටවල් සඳහා ආසියාන් සෑම විටම විවෘත බව කිව යුතුයි. ආසියාන් සංවිධානයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා අප ශ්‍රී ලංකාව සමඟ ද අඛණ්ඩව කටයුතු කරන බවත් ගතික සහ බහුවිධ හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන ඇති බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි.
ආර්ථිකය, ආරක්‍ෂාව, සෞඛ්‍යය, පාරිසරික සහ සමාජ සංස්කෘතික සහ දේශගුණික විපර්යාස ඇතුළු පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා රීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඇතුළු හවුල් වටිනාකම්, මූලධර්ම සහ අවශ්‍යතා, ලොව පුරා රටවල් සමඟ සබඳතා කළමනාකරණය කිරීමේ පදනම සකස් කරනු ලබනවා.
ඒ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ගොඩනැඟී ඇති හවුල්කාරිත්වය වසර ගණනාවක් සහ දශක ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අප සැවොම දැඩිව බලාපොරොත්තු වෙනවා. ආසියාන්හි වසර 57 තුළ, පොදු අභියෝග එකට එක්ව ආමන්ත්‍රණය කිරීමට සහ සැමට වැඩි අවස්ථා ගෙන ඒම සඳහා එකිනෙකා අතර සහයෝගීතාවයේ ප්‍රතිඥාව අලුත් කරමු.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ්, ජීවන් තොණ්ඩමන්, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ද, මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් ඇඩම්, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක්, මියන්මාර තානාපති යූ හන් තු යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපතිවරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපතිගේ විශේෂ ප්‍රකාශය......
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් 13 වන සංශෝධනය පිළිබඳව අදහස් පළ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය රටේ උත්තරීතර නීතිය බැවින් එය නොසලකා සිටිමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.
එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මේ අතර, පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට ජනාධිපති සුදානමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.
පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර සිටියේය.
විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.
විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය.
රටේ සංවර්ධනය රඳාපවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සාහයන් මත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසය.
රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්, ඉඩම් කොමිෂන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික ඉඩම් කොමිෂන් සභාවේ කටයුතු සඳහා මඟපෙන්වීමට ඉඩම් කොමිෂන් සභා ප්‍රතිපත්ති පනතක් සැප්තැම්බර් මාසය වන විට ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
Page 175 of 474