V2025

පුවත්

ටෙලිකොම් හී ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක කමිටුවේ අනාවරණයක් !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් වීරසේකර  පැවසූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළොත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගිය හැකි බවයි.

ලේක්හවුස් උපදේශකයන් 2කට වැඩක් නැතුව ලක්ෂ 27ක් වැටුප් ගෙවලා !

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හිටපු උපදේශකවරුන් දෙදෙනෙකුට කිසිදු සේවයක් ලබා නොගෙන රුපියල් ලක්ෂ 27ක මුදලක් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) තොරතුරු අනාවරණය විය.

ඔවුන් දෙදෙනා පත්කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ නිර්දේශ මත බවත් අනාවරණය වී ඇත.

කෝප් කමිටුවේදී අනාවරණය වූ ආකාරයට මින් එක් උපදේශකයකු සමාගමට 2020 දෙසැම්බර් 07 වන දින උපදේශකවරයෙකු ලෙස බඳවා ගෙන රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගෙවා ඇත.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2020 හා 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අතර මෙම තොරතුරු එහිදී අනාවරණය විය.

එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කර තිබූ තවත් උපදේශකයකු සදහාද සමාගමට කිසිදු සේවයක් නොගෙන උපදේශක ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9 ක මුදලක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇත.

මේ සඳහා එවකට අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බවද කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

මේ අතර රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු අලෙවි ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක පාරිතෝශික ගෙවීම පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කමිටුව නියෝග කළේය.

මේ අතර ආයතනයේ සිටි 1200 කට ආසන්න සේවක සංඛ්‍යාව මේවන විට 972 දක්වා අඩුකොට ඇති බවත් මෙම ප්‍රමාණය 850 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනුෂ පැල්පිට මහතා මෙහිදී පැවසීය.

ඩොලරයට පැනවූ සීමා තවත් මාස 06කට දීර්ඝ කෙරේ !

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් වරින්වර නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ් සම්බන්ධයෙන් අවසන් වරට 2022.12.22 දිනැතිව ප්‍රකාශයට පත් කරනූ ලැබ ඇති නියමය ක්‍රියාත්මක වීම 2023.06.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය අනුව එකී නියමය තවත් මාස 06ක් ක්‍රියාත්මක කිරීම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තියේ විධිවිධාන පරිදි වන නියමයක් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ටෙලිකොම් පෞද්ගලීකරණයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව  පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය රොහාන් සමරජීව  මෙසේද සඳහන් කළේය.

වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ට්‍රේලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සාම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් ‍මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතයනය විසින් තමයි එහි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබු‍ණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.

යුද්ධයක් තිබූ කාලයේදිත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.

ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලුම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුව ටෙලිකොම් පාලනය කරද්දිත් එහෙම තර්ජනයක් ජාතික ආරක්ෂාවට තිබුණා. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකකදී බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලිකකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.

හුදෙක් රජයේ ආයතනයකින් කරන්න බැරි වූ දෙයක් ජපන් සමාගම කළා. රජයේ ආයතනවල යටිතල පහසුකම්වල ආරක්ෂාව ගැන බහුතරයක් සොයා බලන්නේ නැහැ. රජය සතු ආයතනවලට ආයෝජනය කරන්නත් බැහැ. සල්ලිත් නැහැ. ‍මේවා පෞද්ගලිකකරණය කරන්නේ යම් නියාමනයක් සහිතවයි. ඒ වගේම ඔවුන් අපි කියන දේවල් අහන්න ඕන. උදාහරණයක් විදිහට එදා ටෙලිකොම් සහ ජපන් සමාගම විසින් කළ වරදක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක අලායක් විඳින්න සිදුවුණා. නෛතික වශයෙන් දඩයක් නොවුවත් එම මුදල යළි පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කළා.

1990 ගණන්වල අපි පාලනය කරන කාලයේ ජාත්‍යන්තර ඇමතුම්වල ඒකාධිකාරයක් තිබුණා. අද ජාත්‍යන්තර සම්බන්ධතා ටෙලිකොම් හරහා නෙමෙයි යන්නේ. ටෙලිකොම් එකට අයිති එක කේබල් මධ්‍යස්ථානයක් විතරයි. අනිත් ආයතනවලිනුත් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමේ හැකියාව අද තිබෙනවා. ආණ්ඩුවේ අද භාවිතා කරන්නේ ටෙලිකොම්හි අන්තර්ජාල සබඳතාවය විතරද? ඒවා ගැන සොයා බලන්නේ නැතුව ජාතික ආරක්ෂාව ගැන මන්තරයක් වගේ කියව කියව යනවා. අද ආණ්ඩුවේ බොහෝමයක් තොරතුරු හුවමාරු වන්නේ ජීමේල් හරහා. ජීමේල් අයිති විදෙස් රටවල්වලට. දේශපාලනඥයන් මෙන්ම රජයේ ආයතනවල නිලධාරීන් බොහෝමයක් ඇමතුම් ලබා ගන්නේ වට්ස්ඇප්වලින්. වට්ස්ඇප් අයිති කාටද? වට්ස්ඇප්වලින් හුවමාරු වන දත්ත ගබඩා වෙලා තිබෙන්නේ විදෙස් රටවල. එනිසා ටෙලිකොම් වෙන්න පුළුවන් වෙනත් පෞද්ගලික ආයතනයකින් වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් අන්තර්ජාල සබඳතාවය ලබා ගත්තා කියලා ඒ සමාගම්වලට දත්ත යන්නේ නැහැ. අනික් එක තමයි මේ හැම එකක්ම වෙනත් අයට පිවිසෙන්න බැරි විදිහට මුරපද සහ වෙනත් ක්‍රමවලින් අඟුළු දමා තිබෙන්නේ. ඒ නිසා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කළා කියලා රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්.

ශ්‍රී ලංකාව තුළ ඩේටා මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. එකක් ටෙලිකොම් සමාගමට. අනිත් එක ‍ඩයලොග් සමාගමට. මේවාවල රජයේ දත්ත ගබඩා කිරීම සඳහා කුළියට අරන් තිබෙනවා. හරියට බැංකුවක තිබෙන ආරක්ෂිත සේප්පුවකින් කිසියම් කෙනෙක් කොටසක් කුළියට ගන්නවා වගේ. එතකොට ඒ සේප්පුව පාලනය කරන්නේ කවුද? අදාළ බැංකුව ද? නැහැ. ඒ සේප්පුව කුළියට කෙනා ගාව තමයි යතුර තිබෙන්නේ. ඒ වගේ රජයේ දත්ත ගබඩාවලටත් පිවිසෙන්න පුළුවන් අදාළ නිලධාරියාට විතරයි. ජාත්‍යන්තර ක්‍රමය තමයි එය.

ෆයිල් කියන්නේ පරණ චින්තනයක්. දැන් තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරගෙන තිබෙනවා. ආරක්ෂාව තර කර ගැනීමට පිටපතක් ලංකාවෙන් පිට තිබීමෙන් තමයි වැඩි ආරක්ෂාවක් තිබෙන්නේ. නමුත් එයට ප්‍රවේශ විය හැක්කේ අපට පමණයි.

රජයේ ආයතනවලට දේශපාලනඥයන්ගේ සහෝදරවරුන්, ඥාතීන් දා ගන්නවා. අයථා වැඩ සිදුවෙන්නේ ඊට පසුවයි. සාමාන්‍යයෙන් ආංශික කාරක සභාවක සිටිය යුත්තේ දැනුම් තේරුම් අයයි. වෙනත් රටවල්වල එහෙම කොහොමද කරන්නේ කියලා සොයා බැලිය යුතුයි. හුදෙක්ම හිතළුවලින් පමණක් මේය සකස් කර තිබෙනවා. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන කනගාටුවක් තිබෙනවා. විශේෂඥ දැනුම ඇති අයගෙන් දත්ත අරගෙන වාර්තාවක් හදන්න තිබුණා. නමුත් මේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව තමයි මේ වාර්තාව සකස් කරලා තිබෙන්නේ.

සබරගමුව නව ආණ්ඩුකාර  නවීන් දිසානායක !

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක පත් කර තිබේ.

ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිය ධුරයෙහි දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම උපරිම දායකත්වය ලබා දෙන බවයි.

පසුගිය කාලසීමාවේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූවද ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් අද රට තුළ ධනාත්මක පරිවර්තනයක් සිදුව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් සබරගමුව පළාතේ දියුණුවට කැපවන බව ද කියා සිටියේය.

විශේෂයෙන් සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළ ඒ මහතා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගේ ආශිර්වාදයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද කියා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20230613 WA0002

සජිත් ප්‍රමුඛ සජබ ඉරණම : දේශපාලන මැක්කන් අතට !

අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ ළගදීම සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

 ඔහු මෙසේ පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවකදීය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

'' මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩ නැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන්වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙන්ම අනෙකුත් සියලුම ලොකු කුඩා විපක්ෂ බලවේග සියලු දෙනා එක්ක කතා කරන්න සූදානම්.

පාලමේ සමරුපලකය ගහනවට වඩා, පාලමෙන් එතෙරවීමට පොර කෑමට වඩා, පාලම ඉදිකිරිමට නායකත්වයදීම නිදහස සභාවේ කැපවීමයි. මේ සඳහා කාටත් එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කරගත යුතුයි. පුද්ගලයොත් එක්ක නොවෙයි. පක්ෂත් එක්ක නොවෙයි. අපි වැඩපිළිවෙළක් එක්ක එකතු වෙමු. මේකයි, මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඉහළම සාධාරණය.''

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රාජපක්ෂ රෙජීමය තුළ සිටි ජාතිවාදී - ජාතිකවාදී පාර්ශ්ව සමග අසාර්ථක හෙලිකොප්ටර් ව්‍යාපෘතියෙන් පසුව වෙනත් වටයකින් දේශපාලන කරළියට පැමිණීමේ ප්‍රයත්නයක් මෙහිදී පෙන්නුම් කරන බවය.

ඩලස් - ජී එල් මූලිකත්වයෙන් ගොඩනැගූ හෙලිකොප්ටර් දේශපාලන ව්‍යාපෘතිය දේශපාලන මැක්කන්ගේ ව්‍යායාමයක් ලෙස දක්වන දේශපාලන විචාරකයන් සාරය උරාගැනීමට ධාරකයක් නොමැති වීමෙන් එය අසාර්ථක වූ බවත් ඒ අනුව එකී දේශපාලන මැක්කන්ගේ ඓශ්චර්‍යය දැක්වීමට ධාරකයක් ලෙස සජබ යොදා ගැනීමේ උපාය මාර්ගික එළඹුමක් මේ තුළ දැකිය හැකි බවත් පවසයි .

ඒ අනුව සජිත්ගේ දේශපාලන ව්‍යාපෘතිය බොහෝ විට කුප්‍රකට දේශපාලන කූඹි මැදිහත්වීමක් වෙතින් නොව දේශපාලන මැක්කන්ගේ අතින් අවසන් වීමේ ස්වාභාවයක් නිරීක්ෂණය වන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට

ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලැබූ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලැබීමට යන බවට පැතිර යන ආරංචිය අතිශයින්ම සුභ ආරංචියක් වන අතර එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතයට ශක්තියක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
 
 මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  මහාචාර්ය මිල්ටන් රාජරත්න මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අවධාරණය කර සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස රවී කරුණානායක මහතාට පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සියලු වගකීම් සහ කාර්ය භාරයන් පවරා දෙන ලෙසයි.
 
රවී කරුණානායක කියන්නේ උගතෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. ආචාරශීලී පුද්ගලයෙක්. සුහදශීලී පුද්ගලයෙක්. මිත්‍රශී පුද්ගලයෙක්. ඔහුට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තිබෙනවා. ලෝකය ඔහුව පිළි ගන්නවා. ඒ වගේම ඔහු නැති බැරි, අන්ත අසරණ, දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු අහංකාර නැහැ. උද්ධච්ඡ නැහැ. රෑ 12.00 ට කතා කළත් දුරකථනයට එනවා. ඔහුට හොඳ පළපුරුද්දක් තිබෙනවා. ඒ වගේම ඔහුට තිබෙන්නේ තරුණ සිතුවිලි. එමනේම ඔහු උසාවියෙන් නිර්දෝෂී වූ පුද්ගලයෙක්.
 
රවී කරුණානායක මහතා සතු මෙම කුසලතා සහ ගුණාංග නිසා ඔහුට ජන සමාජයේ සෑම තරාතිරමකම සහ සෑම ස්ථරයකම ජනයා එකට ඒකරාශී කළ හැකියි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත හොත් විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපට ද එම පක්ෂයට මතවාදී සහයක් ලබා දීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ වන විට විසිරී සිටින එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කළ විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් යළි එකට ඒකරාශී කිරීමේ ශක්තිය ද රවී කරුණානායක මහතාට තිබෙනවා."

ජවිපෙ අපේක්ෂකයන්වත් උද්ඝෝෂණයට ආවේ නෑ - ප්‍රසන්න

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සඳහා ඔවුන් ගේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දහයෙන් එකක් වත් සහභාගී කරවා ගැනීමට සමත් නොවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

ජවිපෙට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වැඩකිරීමට වුවත් ජනතාවට අවශ්‍ය එය නොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පැවති උත්සවයක් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මාධ්‍ය යොමුකළ ප්‍රශ්න වෙත ප්‍රතිචාර දක්වමින් මෙසේද පැවසීය .

අද මිනිස්සු තේරුම් අරන් ඉවරයි. ඒ අයට ඕනා දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නයි. ඒක මිනිස්සු පිළි ගන්නේ නෑ. මුල තිබුණ තත්ත්වය ඒ අයට නෑ. ඒක ඔවුනුත් තේරුම් අරන් තියෙනවා. අපි හිතනවා ජාතික මැතිවරණයකට අනාගතයේදී යයි කියලා. ඕනිම මැතිවරණයකට පොහොට්ටුව සුදානම්.

ප්‍රශ්නය – මේ වසරේදී මැතිවරණයක් තියෙනවද.

පිළිතුර – ඒක මැතිවරණ කොමිසම තීන්දු කරන්න ඕනි. ආණ්ඩුව තීන්දු කරන්න ඕනි. මිනිස්සු ඉල්ලුවේ මැතිවරණයක් නෙමෙයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විදියක්. ඒක දැන් හදාගෙන යනවා. රට ස්ථාවර භාවයකට යනකොට මැතිවරණ වලට යන්න පුළුවන්.

ප්‍රශ්නය – මැතිවරණයකට වියදම් කරන්න රටේ මුදල් තියෙනවද?

පිළිතුර – ඒක මුදල් අමාත්‍යාංශයෙන් කියන්න ඕනා දෙයක්. හැබැයි දේශපාලන පක්ෂයක් විදියට සංවිධාන ව්‍යුහය හදලා තියෙනවා ඕනිම මැතිවරණයකට.

ප්‍රශ්නය – ගෙනල්ලා තියෙනවා නව මාධ්‍ය පනතක්. ඒ පනතට ඔබතුමන්ලා සහයෝගය දෙනවද.

පිළිතුර – ඇත්තටම මාධ්‍ය නිදහස සලකනවා. මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි ඒ නිදහස වල් බූරු විදියට පාවිච්චි කරනවා නම් වැරදියි. මම ඒවට බැට කාපු මිනිහෙක්. මාධ්‍ය ආයතන වුණත් යම් දෙයක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒකේ වගකීමක් අරන් කරන්න ඕනි. කරලා ඉවර වෙලා සමාවෙන්න කියලා පහුවෙන්දා චූටි අකුරෙන් දාන එක නෙමෙයි කරන්න ඕනි.

අලුත් ප්ලෑනක් !

පියාණන්ගේ නාමයෙන් රටේ ලොකු පුටුවට වෙහෙස වෙන පුත්‍රයෙක් මේ වෙද්දි ලොකූ ප්ලෑනක් අඳිනවලු ඊළඟ බලය අල්ලන්න. එයා එකපාරකුත් ඉල්ලලා වැඩේ අවුල් වුණු නිසා මේ පාර ඉල්ලලා දිනන්නමලු ඉන්නෙ. ඒත් එහෙම හිටිය කෙනා හදිසියෙම 2030 සම්බන්ධව ප්ලෑන් එකකුත් අඳින්න අරන්ලු.

එයා කියන්නේ එයාට තවම වයස තියෙන නිසා මේ පාර වැඩිය දඟලන්නේ නැතුව ඉන්නවා කියලා. දැනට ඉන්න ලොකු තැනට තව චාන්ස් එකක් එන බව දැනුණොත් එයා මේ ප්ලෑන් බී හෙවත් 2030 සටනටලු වැඩේ කරන්න ගන්නෙ.
පුළුවන් තරම් එයා පොදු අපේක්ෂකයා වෙන්නලු හදන්නෙ. එහෙම බැරිවුණොත් එයා ඉවසලා ඉන්නවා කියලයි කියන්නේ වෙලාව එනකල්. මොකද උන්නැහේගෙ රාජයෝගය වැඩ කරන විදියට ඡන්දෙට සැට් වෙන්නලු කල්පනා කරන්නෙ.

deshaya

ඝාතකයාට සමාව දීමට රතනහිමි ඇතුළු පිරිසක් බලපෑම් කළාද?

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 12 වැනිදා) අනාවරණය විය.

විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණ අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.

එම ලිපියේ අන්තර්ගත කරුණු වලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයින්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව පෙනී යන බවය.

මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

නිලධාරීන් ජනාධිපතිවරයා නොමඟ යවලද?

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමඟ යැවීමක් කර තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනකියා සිටියේ, මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ යැවීමක් කර ඇතැයි, පෙනී යන බවය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයවර්ධන , අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන ලේඛන පිරික්සීමේදී අදාළ සමාව ප්‍රදානය කිරීමේ කටයුත්ත එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදු වී ඇතැයි, පෙනී යන්නේ යැයි කියා සිටියේය.

මෙම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම වරදකරුට සමාව ලබාදීමට නිර්දේශ කිරීමේ දී අදාළ කමිටුව විසින් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණයේ, තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් අදාළ කමිටුව තම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල පවතින ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බව මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පෙන්වා දෙනු ලැබීය.

වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටළු සහගත බව විනිසුරු තුරයි රාජා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 20 වැනිදා තෙක් කල් තැබුණි.

ඝාතන සිද්ධියේ පසුබිම

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙනලදි.

කෙසේවෙතත්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

ඔක්තෝබර් 20 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.

අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයත් සමඟය.

BBC

නැගෙනහිර හමුදාව අත්කරගෙන සිටි ඉඩම නිදහස් කරයි !

මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භටපිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.

එහිදී සඳහන් වන ආකාරයට රජයේ නියෝගයට අනුකූලව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස් කේ ආර්.කේ.හෙට්ටිආරච්චි විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මියට එම ඉඩම්වල නිත්‍යානුකූල ලිපි ලේඛණ බාරදී ඇත.

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්ෂ3ක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය.

අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 56 දෙනෙකුට පමණ අයිති මෙම ඉඩම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නිත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත පැවරීමට නියමිතව ඇත.

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට නඩු !

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු පවරා තිබේ.

ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ මැයි 09 වනදා රට තුළ පැවැති තත්ත්වය හමුවේ මෙම ඝාතනය සිදුවී තිබිණ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරින් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

අනුර මනතුංග පවසා ඇත්තේ පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බවය.

වසරේ අග ආර්ථික වර්ධනය ධන අගයකට !

මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකතනයන් සිදු කළද , පසුගිය වසරේද එම පුරෝතකනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි. මෙම වසරේද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බව පැවසෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ සෘණ 3.0 ක් වනු ඇත. එසේම මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2- 3 අතර අගයක් ගනු ඇත.

කෙසේ වෙතත් සියළු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ථානයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

කඩිනම් ජනාධිපතිවරණ අදහස ආණ්ඩුව අත්හැරලා !

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කඩිනම් ජනාධිපතිවරණ අදහස අත්හැරීමෙන් පසු ලබන වසරේ (2024) අගෝස්තු මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් ඊට පෙර ජනාධිපතිවරණ මෙහෙයුම් ආරම්භ කොට මූලික සංවිධාන කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය තීරණය කර ඇත.

දැනට වාර්තා වන තොරතුරු අනුව ඉදිරි ජනාධිපතිවරණයට විවිධ පක්ෂ සහ සංවිධාන යටතේ තරග කරන බවට ප්‍රචාරය වන නම් ගණනාවක් ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේ හැර විපක්ෂයේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ද අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම සිටි ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ජනක රත්නායක යන අය ගැන ද විවිධ දේශපාලන පර්ෂදවල සාකච්ඡා කෙරෙමින් පවතී.

ඒ අතර පක්ෂ මාරු ගණනාවක් ගැනද අදහස් පළවෙමින් ඇති අතර සුළු පක්ෂ ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද තවත් සුළු පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායටද ඉදිරිපත් වනු ඇත. කුමාර වෙල්ගම, රවුෆ් හකීම් සහ ජීවන් තොණ්ඩමන් යන පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනු ඇතැයි සඳහන්ය. පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සජබ සමඟ එක්වී ජනාධිපතිවරණ ව්‍යාපාරයට පිවිසෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර සමගි ජන බලවේගය ගනු ලැබූ විශේෂ තීරණයකට අනුව එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයන් බහුතරයක් ඉදිරි මහ මැතිවරණයකදී තරග කර මන්ත්‍රී ධූර ලබාගත යුතු යැයි යෝජනා වී තිබේ. කෙසේ නමුත් පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අදහස වන්නේ ලබන වසර මුලදී හෝ කල් දමා ඇති පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවටය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධ තීරණය මෙතෙක් ප්‍රකාශ කර නැත.

  • deshaya

විදුලිබලේ ජවිපෙ වෘත්තීය සමිතිය ආයෙත් සටනට !

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මේබව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕනේ. එම පනත සම්මත වීමෙන් පසු සති 6ක් ඉක්මවා යෑමෙන් අනතුරුව ඔක්තෝබර් 1 වනදා සිට මෙම සමාගම් 15 රට තුළ ක්‍රියාත්මක කරන්න ඒ අය තීරණයක් අරන් තියෙනවා කියලා. ඒ අය තීරණයක් අරන් තියෙනවා මේ පනතේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් නොකරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප. විදුලිබල මණ්ඩලය සමාගම්වලට ලබාදීමේ පනත වහාම හකුළා ගන්න ඕනේ. එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එකතුවෙලා 21 වනදා අපි හැමෝම බලාගාර කාර්යාල සේවයෙන් ඉවත් වෙලා විහාරමහාදේවි උද්‍යානයට රොඳ බදිනවා. "

ජනාධිපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරකට සූදානම් වෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් හමුවීමටද නියමිතව තිබේ .

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි – ජනපති

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබූ බව ත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එමගින් විදේශීය සිසුන් ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, පසුගිය 9දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුට ම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේ ය.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේ ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළා ය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඇගයීමට ලක් කෙ‍රිණි.

වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සමසෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉන්ජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයන, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව, මහාචාර්ය බී. ඒ. කේ. එස් පෙරේරා ( මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී. එම් දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්. බී. ඩී. ආර්. පී විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්. පී කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීන් වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ඒ. එන් මදුශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ. කේ අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්. එච්. එම් සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්. බී කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

Ranil Wikcremesinghe copy 696x522“මම උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේ දී මම මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත්විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මම මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

නමුත් ඒ වන විට මම මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඉතින් ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුණේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලුදෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා.

මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබි තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නව ද, එක්සත් රාජධානයට යනවද කියලා. නමුත් මම තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සමබන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස අම්මා බල කර සිටිය ත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.

මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන් ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාට යි. ඒ වගේ ම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ලාබාල ම තරුණ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා.

ඉතින් මම ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. මම ලංකාව තුළ මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා.
නමුත් අද තරුණ තරුණියන්ගෙන් අහන්න ඔවුන් ලංකාවේ ඉන්න කැමති ද කියලා. ඔවුන් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.

ඒ දවස්වල අපි ලංකාවේ විශ්වවිද්‍යාලයකට තෙරුණේ නැත්නම් තමයි දෙවන විකල්පය ලෙස එක්සත් රාජධානිය තෝර ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළ යුතු යි.

අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. නමුත් අපි 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000 – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු යි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මකවන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමග ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේ ම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. ඉතින් මේ ක්‍රම තුන ම ක්‍රියාත්මක කරනවා ද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගනවාද කියා අප අවධානය යොමු කළ යුතු යි.

ඒ වගේ ම, උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ වගේ ම, තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා.

සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශවීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළ යුතු යි.

විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල් ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදව් කරනවා.අපි මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සලකා බැලිය යුතු යි. අපට මේ ප්‍රශ්න මගහැර යා නොහැකියි. මොකද රටක් ලෙස ඉදිරියට යාමේ දී අපට ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ ම, අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.

අපි නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කරගන්නේ කෙසේ ද කියා අවධානය යොමු කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතු යි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්විවිද්‍යාල සඳහා ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් බව කිව යුතුයි.

උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇතිකිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අපි කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ඒ වගේ ම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු 20ක් පමණ වන තුරු උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මම උපාධිය ලබාගන්නා විට මට වයස අවුරුදු 21යි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දී. මම හිතන්නේ දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳ ම කාලය තමයි අපතේ යන්නේ. ඉන්පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අපි ඉක්මනින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.

අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබාදෙන තුරු බලා නොසිට අපි අපේ ම විසඳුමක් සොයා ගත යුතුයි.

ඊළඟ ප්‍රශ්නය තමයි වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්න. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපිත් ඒ ක්‍රමය අනුගමනය කරනවාද, එහෙමත් නැත්නම් අපි මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනව ද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල සැලකුවහොත් ඔවුන් පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.

ඒ වගේ ම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවාද යන්න පිළිබඳව මම CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේ ම අප සිදුකර ඇති පශ්චාත් උපාධි අධ්‍යයන මොනවා ද?

ලංකා විශ්වවිද්‍යාලය “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 4කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසළටවත් පැමිණ නැහැ. අපි මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලුදෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය තිබෙනවා. “Chat GBT ” තිබෙනවා. මේවා විභාග සඳහා ත් භාවිත කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිත කරනවා. ඉතින් යල් පැන ගිය ක්‍රම සමඟ සිටිනවා ද, නැත්නම් තාක්ෂණය සමග ඉදිරියට යනවා ද කියා අප අවධානය යොමු කළ යුතු යි.

2050 වන විට දකුණු ආසියාවේ ජනගහනය දෙස බැලුවහොත් එය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉන්දියාවේ ජනගහණය සමහර විට බිලියන 1.7ක් දක්වා ඉහළ යා හැකියි. ඒ වගේ ම දරිද්‍රතා මට්ටම අඩු වී ආදායම ඉහළ යාම සිදු වෙනවා. මෙය බංග්ලාදේශයේ, පකිස්තානයේ, මියන්මාරයේ සහ නැගෙනහිර අප්‍රිකානු රටවල ද සිදුවිය හැකියි. මේ වැඩිවන ජනගහණය අනුව අවශ්‍ය විශ්වවිද්‍යාල ඉදිකළ නොහැකියි.ඉන්දියාවට පමණක් මේ සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමට නොහැකියි.
අපි ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. එසේ නම් අප රට තුළ ප්‍රමාණවත් විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තිබිය යුතුයි. දැන් ඔවුන් අපේ අවශ්‍යතා සපුරනවා වගේ ම ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට අපට සිදුවන කාලයක් උදාවිය හැකියි කියා මම විශ්වාස කරනවා.

ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනව ද, නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා ද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. අපි මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.

අද සම්මාන ලැබු ඔබ සියලුදෙනාට මම සුබ පතන අතර මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිව යුතුයි. ඒ වගේ ම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබා දීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.”

Page 178 of 460