V2025

පුවත්

විදුලි බිල්පත් සඳහා ප්‍රදේශ 03කට ඊ-බිල්පත් ක්‍රමවේදය

ඩිජිටල් ආකාරයෙන් හෙවත් ඊ-බිල්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙලේ මීළඟ අදියර ජුලි 01වැනිදා දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.

ඒ අනුව විදුලි බිල්පත් SMS හෝ ඊ-මේල් හරහා ඩිජිටල් ආකෘතියෙන් යුත් බිල්පතක් ලෙස ලබාදීමට පියවර ගැනේ.

මෙම අදියරේ දී දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව ක්‍රමානුකූලව මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමීම සිදුවේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමක්‍රමයෙන් අත්හිටුවනු ඇති බැවින්, මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස දිවයින පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ට දැනුම් දීමක් කෙරේ.

SMS මාර්ගයෙන් ලියාපදිංචි වීමට, REG<හිස්තැනක්> පසුව ඔබේ A/C අංකය ටයිප් කර 1987 යොමු කළ හැකිය.

මාර්ගගතව ලියාපදිංචි වීමට, http://ebill.ceb.lk වෙත පිවිස උපදෙස් අනුගමනය කරන්න.

මෙම මුලපිරීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා සාර්ථකයි !

ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා සඳහන් කළේ එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි.

මීළඟ සාකච්ඡා වටය 2023 අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත් ඒ මහතා පැවසීය. එසේම 2024 පෙබරවාරි මාසයේ පැවැත්වීමට යෝජිත අවසන් සාකච්ඡාවට පෙර තවත් සාකච්ඡා වට තුනක් සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය 28 වන බදාදා දක්වා පැවැත් වේ.

ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීමේ ශ්‍රී ලංකා රජයේ අරමුණ මෙහිදී තායිලන්ත දූත පිරිස හමුවේ පැහැදිළි කළ වීරසිංහ මහතා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) කොටසක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවේශය ප්‍රථමයෙන් දකුණු ආසියාව තුළ පුළුල් කිරීමත්, පසුව එය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව පැවසීය.

ශ්‍රී ලංකාව දැනටමත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සඳහා ලේකම් කාර්යාලය ලෙසද කටයුතු කරන ආසියාන් ලේකම් කාර්යාලයේ මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවත්, ආසියන් සහ කලාපීය විස්තීරණ හවුල්කාරිත්ය යන දෙඅංශය තුළම තායිලන්තයේ ක්‍රියාකාරී සහභාගීත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බවත් වීරසිංහ මහතා පැවසීය.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supathaweethum) මහත්මිය මෙම සාකච්ඡා සඳහා මාර්ග ගත තාක්ෂණය ඔස්සේ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාර්න්පෝල් (Poj Harnpol) මහතා ප්‍රමුඛ තායිලන්ත නියෝජිත පිරිස ද, ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ශෙනුකා සෙනෙවිරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජයවර්ධන, නියෝජ්‍ය ප්‍රධාන සාකච්ඡාකරු ජනාධිපති අතිරේක ලේකම් එස්.ඩබ්ලිව්.සී. ජයමිණි යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සාකච්ඡාවට සඳහා සහභාගී වූහ.

නිදන කාමරයෙන් හමුවූ මිලියන 18 ගෝඨාගේ බවට කරුණු නැහැ !

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (ජුනි 26 වැනිදා ) රිට් ආඥාවක් නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ, සභාපති විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී සොයා ගත් මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවය.

එමෙන්ම අදාළ මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.

ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා පෙත්සම්කරුට සැකකරුවෙකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත් නියෝග කළේය.

ඊට අමතරව පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කරන ලදි.

'ගෝඨා ගෝ ගම'ට පහරදීමේ සැකකරුවකු ලෙස නම් කරමින් නිකුත් කළ ලිපිය බල රහිත කරමින් තවත් රිට් ආඥාවක්

මේ අතර ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කරන ලද ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තවත් රිට් ආඥාවක් නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ඉකුත් වසරේ මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට මෙම පෙත්සම්කරු ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවය.

ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 314, 316 සහ 343 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එසේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහුට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවන බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙත්සම්කරු, සැකකරු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මස මස 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපිය තුළින් පෙත්සම්කරුට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවත් එය නීතිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලය අභිබවා ගොස් කටයුතු කිරීමක් බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම්කරු සැකකරු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ද බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය ඔහු අදාළ සිද්ධියේ තවදුරටත් සැකකරුවකු නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් රිට් ආඥාවක් ද නිකුත් කරනු ලැබීය.

නිදන කාමරයෙන් හමුවූ මිලියන 18 ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණයෙන් නියෝග

අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් මිලියන 18කට අධික මුදල ලැබුණු ආකාරය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශනය කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ (2022 නොවැම්බර් 11 ) පොලිසියට නියෝග කළේය.

2022 ජුලි 09 වැනිදා අරගලකරුවන් විසින් මෙම මුදල් තොගය සොයා ගෙන තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබියදීය.

නඩුව කැදවු අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය විසින් කොටුව පොලිසියට නියෝග කරනු ලැබීය.

මේ අතර අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වැනි සැකකරු ලෙස නීතිඥ නුවන් බෝපගේ මෙදින නම් කෙරිණි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සළකා බලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුව සැකකරුවෙකු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේය.

බීබීසී

වරාය නගරයේ දැවැන්ත ආයෝජනයකට චීනය සූදානම් !

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසා ඇත.

චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපති Bai Yinzhan මේ බව සඳහන් කර ඇති අතර ඒ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි අතර පැවති හමුවකදීය.

එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ක්‍රෙඩිට් කාඩ් පොළිය පහළට !

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 01 වැනි දින සිට අඩුකර තිබේ.

වාර්තා වන ආකාරයට ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇත.

කෙසේ වුවත් ගනුදෙනුකාර පාර්ශව පසුගිය සමයේ මැසිවිලි නැගුවේ බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බව පවසමිනි.

රිලවු චීනයට නොයවන ප්‍රතිඥාවක් !

ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී ඇත.

ඒ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙහිදී විනිසුරු මඩුල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසය.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පලකළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

ගොවීන්ට සහනයක් !

යල කන්නයේ පොහොර මිලදීගැනීම සඳහා නිකුත්කර ඇති වවුචර්වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ ගොවි සංගම් විසින් කළ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගනුලැබූ බවය.

බොහෝ දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම මේ වනවිට ආරම්භවී ඇති බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් ගොවි ජනතාවට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

දැනට නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය මාස දෙකක් තුළ අවසන් වීමට නියමිත අතර එම වවුචර් යොදාගනිමින් යූරියා හා අනෙකුත් පොහොර මිලදීගැනීමට ගොවි ජනතාව පෙළඹී ඇති බව එමද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

දවස් පහේ බැංකු නිවාඩුව ගැන මහ බැංකු අධිපති පහදයි

රජය සහ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

ඒ අනුව එයට හේතුව වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපාරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ඒ අනුව දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු බයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම : සජිත් - හර්ෂ මත දෙකක !

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (25) කොළඹදී සිදුකළ අදහස් දැක්වීමකදී ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් මෙහිදී අවධාරණය කර සිටියේය .

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවධානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බවත් එවිට , දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු පුළුල් වීමට අවස්ථාවක් ලැබෙන අතර එය මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි ආර්ථික කටයුතු පුළුල් වීමක් ව්‍යාපාරිකයින් ඇතුළු මෙරට සියළුම පුරවැසියන්ට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරියේදී මුදල් කමිටුව හමුවට පැමිණෙනු ඇති බවටද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විශ්වාසය පළකර සිටියේ ය.

සජිත් හුඟක් වෙනස් !

කෙසේ වුවත් මන්ත්‍රීවරයා ගේ මේ අදහස් දැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මතයට මුළුමනින්ම වෙනස් ස්ථාවරයක් ය. විපක්ෂ නායක සජිත් මීට පෙර සිටි ස්ථාවරය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන සඳහා විවේචනාත්මකව සහය දීමය. ඒ සම්බන්ධයෙන් ඔහුට මීට පෙර ගැටළුවක් තිබුනා නම් ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ ආණ්ඩුව සමග IMF ගිවිසුමට එක්වීම ය.

නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට නිදහස ජාතික සභාවේ සිටින වියත්මග නැත්නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශකයන් ලෙස ප්‍රකට පිරිස ඇසුරත් සමග විපක්ෂ නායක සජිත් IMF සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කරගෙන ඇති බවය. දැන් ඔහු සිටින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ ස්ථාවරයක බවත් එසේම IMF සමග ඇතිකර ගත් ගිවිසුම ප්‍රතිසංශෝධනය වියයුතුය යන අදහසක බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

මරණ දඬුවම නියමව සිටි සිරකරුවාගේ රංගනය මාට්ටු !

මිනිමැරුම් චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පළා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිරකරු අද පෙ.ව.09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සඟවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියකුගේ නිළ ඇදුමට සමාන නිළ ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.

මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර සැකකරු එහි නවතා තිබු දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අස්වැසුම ගැන රජයේ තීරණය

අස්වැසුම ප්‍රතිලභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩනොතබන බව රජය අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ආර්ථික සවියක් අවැසි පුද්ගලයින්ට සහායවීමට ආරම්භ කළ අස්වැසුම වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබාදෙමින් දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශවයන් දරණ උත්සායන් ගැන රජයේ අවධානය යොමුව ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එනිසා දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් භාහිර බලපෑම්වලට නතු නොවී අභියාචනා කාලසීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමග සම්බන්ධ වන ලෙසත් කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් අදාළ නිවේදනයෙන් තවදුරටත් දැක්වේ.

මේ අතර, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අදාළව අභියාචනා සහ විරෝධතා භාරගන්නා කාලය එළඹෙන ජූලි 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව,එම අභියාචනා සහ විරෝධතා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුවත් කර ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙශාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මාර්ගගත ක්‍රමය භාවිත කළ නොහැකි පුද්ගලයෙකුට ඒ අනුව සාමාන්‍ය ලෙස අභියාචනා සහ විරෝධතා භාරදිය හැකිය.

ඊට අවශ්‍ය තොරතුරු සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා ක්‍රියාත්මක 1924 හදිසි ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා පස්වරුව වන විට අභියාචනා 17,000ක් පමණ ලැබී තිබූ බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවතින ආර්ථික අර්බුදය මැද දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට මේ වන විට සමෘද්ධිලාභීන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

සමෘද්ධිලාභීන් පිරිසක් ආරච්චිකට්ටුව නගර මධ්‍යයේ අද උදෑසන විරෝධතාවක නිරත වුණි.

මේ අතර වසර කිහිපයක සිට තමන්ට ලැබුණු සමෘද්ධි සහනාධාරය අස්වැසුම යෝජනාක්‍රමය හරහා අත්හිටුවා ඇතැයි බණ්ඩාරගම,මිල්ලනිය,බැල්ලන්තුඩාව ප්‍රදේශයේ මා පිය යුවළක් චෝදනා කරයි.

2018 වසරේ තමන්ට තුන් නිවුන් බිළිඳියන් උපත ලැබූ බවත් ඒ අනුව එවක රජය ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදුන් බව එම මව්පියන් පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

1

2

ගිනි අවි හා අත්බෝම්බ ඔත්තුකරුවන්ට වටිනා ත්‍යාග මුදල් !

පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීන්දුකර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ උපදෙස් මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මිට අදාල නිල දැනුම්දීමක් කර ඇත.

පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මඟින් නිරීක්ෂණය වනුයේ, නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බව යි. මෙම තත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වේ.

එබැවින් මෙවැනි නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර, ඒ සඳහා සියලු පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීම, මාසයක කාලයක් සඳහා මුදලේ වටිනාකම වැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තීරණය කර ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව, නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධරයන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලැබේ.

ත්‍යාග මුදල් ගෙවීමට 2019.09.18 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2663/2019 සමඟ කියවෙන අපරාධ චක්‍රලේඛ අංක 02/2019 හි සඳහන් ප්‍රතිපාදන වලට යටත් ව පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

මෙහි මූලික පියවර වශයෙන් මෙම ත්‍යාග මුදල් ගෙවීම, 2023.06.25 දින සිට 2023.07.31 දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම් වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සඳහා සිදු කරනු ලබයි.

බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට බාර ගැනීම සඳහා ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශකරන ලෙස දැනුම්දී ඇති මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

rtm

රනිල් - මැක්‍රෝන් හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවට සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය !

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්‍රකාශ කළාය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් පසුගියදා සිදු වූ අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත් කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් මූල්‍ය සහ ණය සහන ලබාදීමේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එහිදී භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය දක්වන දායකත්වයට ස්තූතිය පළ කර සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම්වරිය දැනුවත් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අභියෝගයක් වුවත් එහිදී අවබෝධයෙන් යුතුව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳවද ජැනට් යෙලන් මහත්මිය දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ “දේශගුණ සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම රජයේ අභිප්‍රාය බවද පැවසීය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය වෙත ඇරයුම් කළේය.

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ

මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බව වාර්තා වේ.

මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇතැයි මැතිසබා ආරංචි මාර්ග කියයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ඩොලර් බිලියන 36 පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව දැනගන්නට ඇත.

ඇතැම් රාජ්‍ය බැංකු සහ විශේෂිත අරමුදල් විසින් මිලට ගත් බැඳුම්කර හා බිල්පත්වල පොලිය අඩු කිරීම හෝ ණය කාලය දීර්ඝ කිරීමටද ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. ඒ සඳහා වන රෙගුලාසි මැතිසබයෙන් අනුමත කර ගැනීම සඳහා හදිසි මැතිසබා රැස්වීම කැඳවා තිබේ.

ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

deshaya

අපේක්ෂකයා රනිල් නම් සහය දීමේ ගැටළුවක් නෑ - ඇමති ප්‍රසන්න

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

එවිට ඔහුට ඒ සඳහා උදව් වීමට කිසිදු ගැටළුවක් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ඇතැම් තීන්දු ජනප්‍රිය තීන්දු නොවුනද ඒවා රටේ අනාගතය වෙනුවෙන් ගතයුතු තීන්දු බවත් හෙතෙම සඳහන් කරයි.

එම තීන්දු මත අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන්නේද නැද්ද යන්න පොදුජන පෙරමුණේ කිසිවකු පවසා නැති බව ද පැවසූ ඔහු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට අපේක්ෂකයා කවුදැයි පැවසිය හැකි යයිද තවදුරටත් කියා සිටියේය.

ජනාධිපති කාර්‍යාලයේ තිබූ වාහන 51ක් අතුරුදහන් !

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන 27 සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වියදම් ප්‍රතිපූරණය කර කරගැනීමට හෝ කටයුතු කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

  • Lankadeepa

පොහොසත් වීමේ දෛවෝපගත බව..!

ටයිටන් නම් කුඩා සබ්මර්සිබලයේ සිටි සියලුම අය මේ වනවිට මියගොස්. ඒ මියගිය අය අතර OceanGate හිමිකරු ස්ටොක්ටන් රෂ්, හිටපු ප්‍රංශ නාවික කිමිදුම් විශේෂඥයෙක් වන පෝල් හෙන්රි නාජියොලේ, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හාමිෂ් හාඩින් සහ බ්‍රිතාන්‍ය - පකිස්තාන බිලියනපතියෙක් වන ශාෂාඩා දාවුඩ් සහ ඔහුගේ පුතු සුලේමන් මේ දෛවෝපගත යාත්‍රාවේ සිට තිබෙනවා.

ටයිටැනික් ආසන්නයටම ගොස් ඇති ඔවුන්ගේ සබ්මර්සිබලය අධික පීඩනය නිසා ඇතුළට පුපුරා යන්න ඇතැයි සැකකරන ඇමෙරිකන් සමුද්‍ර ආරක්ෂක බලකාය තත්පරයකින් මිලි දශමයකටත් වඩා අඩු කාලයකින් ඔවුන් මිය යන්නට ඇතැයි උපකල්පනය කරනවා. ඒ නිසා ඔවුන් මියයනවා යන අත්දැකීමවත් ඔවුන්ට දැනෙන්නට නැතුව ඇති.

ලෝකය පුරා රූපවාහිනී නාලිකා, වෙබ් අඩවි සහ සාමාන්‍ය මිනිසුන් මේ පස් දෙනාගේ මරණය පිළිබදව ශෝක වෙනවා. ඒ ශෝකවන්නන් අතර අතිශයින් ජනප්‍රිය පසුගිය සියවසේ චිත්‍රපටයක් වන 'ටයිටැනික්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ද වනවා.

ටයිටැනික් යාත්‍රාවේ කපිතාන් විසින් පෙන්නුම් කළ හිතුවක්කාරී බව ම මේ කුඩා ටයිටන් යාත්‍රාව ද පෙන්නුම් කර ඇති බව ජේමිස් කැමරන් පවසනවා. එනම් අනතුරු ඇඟවීම් බොහොමයක් තිබියදීත් ඒ ගැන සැළකිලිමත් නොවී තමන්ගේ හිතුමතයට ගමන්කිරීම මේ විනාශයන්ට මුල ලෙස ඔහු පෙන්වා දෙනවා.

මේ නිසා සෙල්ලක්කාර සල්ලිකාරයින්ගේ නාන්න තිබෙන සල්ලි විසිකර ආතල් ගැනීම වෙනුවෙන් ශෝක නොවීමට ගෝලීය වාමාංශිකයින් එක්සත්ව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ වෙනුවට ඔවුන් අසන්නේ අර යාත්‍රාවක් පෙරලී අතුරුදහන් වූ සිය ගණනක් මිනිස්සු ගැන කිසිදු දෙයක් ගෝලීය ජනමාධ්‍ය කතා නොකරන්නේ ඇයි යන්නයි. ලංකාවේ නම් පර්ල් නැවේ වන්දිය නොගත්තේ ඇයි ද කතා නොකර මේ කොහේද යන සබ්මර්සිබලයක් ගැන කතා කරන්නේ ඇයි ද යන්න ඉස්මතු කෙරෙනවා.

එක් අතකට මේ මියයන්නේ OceanGate සමාගමේ හිමිකරු. අනික් අය වගේම මේ අනතුරුදායක යාත්‍රාවේ ඔහු ද ගමන්කර තිබෙනවා. අන් අය වගේම ඔහු විසින්ද ජීවිත අවදානම අරන් තිබෙනවා.

අනික් හැමෝම රටේ ලෝකයේ නමක් දිනාගත්ත මිනිස්සු. දක්ෂ මිනිස්සු. මීට කලින් පවා ජීවිත අවදානමක් ගත්ත මිනිස්සු. උදාහරණයක් හැටියට ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නාජියොලේ කියන්නේ මීට කලින් 1987 සිදුවෙච්ච ටයිටැනික් ගවේෂණ සංචාරයට එකතු වෙච්ච කෙනෙක්.

ඔවුන් විසින් කරපු ගවේෂණය එක්ක අපි ටයිටැනික් චිත්‍රපටය රසවින්දා. ඒ ගැන කතාකළා. ආදරය ගැන අලුත් අර්ථකතන කියෙව්වා. පංති භේදය ගැන වෙනස් විදියක දේවල් දැනගත්ත. සෙලීන් ඩියෝන් ගේ සිංදු ඇහුවා. ඒවා බිහිවුණේ ප්‍රාග්ධනයක් එක්ක.

මේ අළුත් සිදුවීම ගැනත් චිත්‍රපටි හැදෙයි. සිංදු ලියවෙයි. අපේ මතකය අලුත් වෙයි. ලෝකය ගැන, මිනිස් පැවැත්ම ගැන, අලුත් අර්ථකතන එයි. ලෝකය වෙනස් වෙයි.

ලෝකය වෙනස් උනේ අලුත් ෆැන්ටසි එක්ක අලුත් ගමනක් ගිය මිනිස්සු එක්ක. පොහොසත්වීම කියන්නේ එක්තරා මරණීය බවක් ගැබ්වෙච්ච දෙයක් (fatalistic). ඒ පොහොසත් බව විසින් මිනිස්සු වෙනස් ෆැන්ටසි වෙත යොමු කරනවා. සමහර ෆැන්ටසි විපරීතයි. පොහොසත් කෙනෙකුට විතරයි ඒ සමහර විපරීත ෆැන්ටසි අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසයි ඒ අත්පත්කර ගැනීම් වලට පියාපත් ලැබෙන්නේ.

මේ ටයිටැනික් සංචාරය එක්තරා පුද්ගල උමතු ක්‍රියාවක්. පරාජයක්. හැබැයි වික්‍රමාන්විත පරාජයක්. ගවේෂනාත්මක පරාජයක්. පර්යේෂණාත්මක පරාජයක්. සාමාන්‍ය දේවල් සියගණනක් අතර අසාමාන්‍ය දෙයක්. ඒ නිසාම තමයි ඒකට අත්තටු ලැබුණේ. ඒ නිසාම තමයි ඒක අමතක නොවන දෙයක් වෙන්නෙත්.

පිස්සන්ට විතරයි පුළුවන් මේ යුගයේ පවත්නා සීමාවන් අභියෝගයට ලක්කරන්න.

OceanGate දෛවෝපගත යාත්‍රාවේ සිටි හැමෝම සමාදානයේ සැතපෙන්න!

FB IMG 1687580811369
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Page 174 of 460