පුවත්

YOUTUBE බලා ගිනි අවි හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට !
යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුය.
සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා ලෙස අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් බව පොලීසිය කියයි.
ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.
සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීති විරෝධී ක්‍රියා 4ක් ගැන තොරතුරු 1997 ට කියන්න !
විෂ මත්ද්‍රව්‍ය මෙන්ම නවක වාදය ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ට අදාළ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කෙටි දුරකථන අංකයක් ස්ථාපනය කර ඇත.
1997 ලෙසින් වන එම අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම කෙටි දුරකථන අංකය ඔස්සේ...
- විෂ මත්ද්‍රව්‍ය
- සංවිධානාත්මක අපරාධ
- මහා පරිමාණ පාරිසරික හානි
- උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පාසල් නිල ඇඳුමේ වෙනසක් !
ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටියි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර සිටින්නේ පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත.
"බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ අනුමැතියත්, ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියත් එයට හිමිවෙලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක හොඳ කාර්යයක් විදියට අපි දකිනවා. ඒක මේ අවධානම් තත්ත්වය පහව යන තුරු සිදුකරන්න."

පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල පහළට
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන් .කේ ජයවර්ධනමහතා සඳහන් කළේ, අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බවයි.
මීට සමගාමීව අනෙකුත් බේකරි නිෂාපදනවල මිල ගණන්ද රුපියල් 10 කින් පහත දමා ඇත.
තිරිඟු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින්, මෙම සහනය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.

‘INS Vagir’ සබ්මැරීනය දිවයිනට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
නාවික හමුදාව පැවසුවේ, සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බවයි.
එම සබ්මැරිනය දිගින් මීටර් 67.5 ක් යුක්ත වෙයි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමත්විත සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කර්මාන්ඩර් දිවාකර්.එස් කටයුතු කරයි.
‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා එහි සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි.
ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ.
නිල සංචාරය නිමා කරමින් ලබන 22 වැනිදා සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇතැයි, නාවික හමුදාව පැවසුවේ ය.

පාසල් හැරගිය දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව
පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.
අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබූයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද(19) පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.
පාසැල් හැරයන දරුවන් පිළිබදව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කර ඔවුන් නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැකිය. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළීබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා මගපෑදීමත්, නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම තුලින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරේ
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇත.
බෝගොල්ලාගම මහතා 2017 ජූලි සිට 2018 දෙසැම්බර් දක්වා නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

අතෙන් ගිය අයට අත දිගු වෙයි !
ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට නැවත සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට තමා ආරාධනා කර සිටින බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පවසයි
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශයක් කරමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත් දෙකඩවී නොමැති බව පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට සහයෝගය දක්වන සිය මන්ත්‍රීවරුන් සමග එක්ව පක්‍ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ද ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත් ඉදිරියේදී එම මන්ත්‍රීවරුන්ට සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශෙහාන්ගෙන් ප්‍රකාශයක් !
දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.
වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර නිගමනයකින් තොරව සිදුකරන ප්‍රකාශ මඟින් වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටෙනු ඇති බවත් සඳහන් කර ඇත .
එබැවින් ඒ පිළිබඳව වගකීම් සහගතව ප්‍රකාශ නිකුත්කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබේ.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයන්තනය සම්බන්ධයෙන් ද්විපාර්ශික ණයහිමියන් සමඟ ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ඒ පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සේවා තුනක් අත්‍යාවශ්‍ය කර ගැසට් නිවේදනයක් !
විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත්කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම,ප්‍රතිකාර කිරීම සම්බන්ධව සියලු සේවා වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත .
එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා යැයි එම නිවේදනයේ සඳහන් වෙයි .

අධිවේගයේ යන ලංගම බස්වල කොන්දොස්තර ඉවතට !
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තරවරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ප්‍රවාහන අමාත්‍යංශය විසින් මේ බව සඳහන් කරන අතර ඊට අනුව අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු එම ප්‍රවේශපත් නිකුත් කරන කාර්‍ය සිදුකරනු ඇත.
ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන අමාත්‍යංශය පවසයි .

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙයි
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ඒ අනුව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 18 වැනි (සංශෝධිත) වගන්තිය අනුව පසුගිය සිකුරාදා(16) මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.
වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ.
එසේම මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.

සතොස ගැන තීන්දුවක් ගන්න සූදානමක් !
සතොස වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම සතොස ආයතන පාඩු ලැබීම හේතුවෙන් මේ ගැන අවධානය යොමු කර ඇත.
ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියාසිටියි.
ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.
මෙම ආයතනය වසර 20ක පමණ කාලයක් සිට රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි.
එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම රජයට කිසිදු ලාබයක් නැති නිසා අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048 ජනපතිට !
‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ සකස් කර තිබේ.
අනතුරුව එය අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ National Physical Planning Council (NPPC) අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරිණි.
ජාතික භෞතික සැළසුම්කරණ සභාවේ සාමාජිකත්වය දරණ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු ඇතුලු ජාතික භෞතික සැළසුම්කරණ සභාව නියෝජනය කරන අමාත්‍යාංශ ලේකම්වරු හා රේඛීය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ලොව පළමු තැනට
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’
නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණද මෙහි අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.
තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා විවෘත කෙරුණි.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්විණි. පිළිවෙළින් මනාප 4,800ක් ලබාගත් ආජන්ටිනාව දෙවන ස්ථානයටත්, තුර්කිය තෙවන ස්ථානයටත් පත්විය. මෙම නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05දා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතය.
එම නිර්මාණය පහළින්..

ජනපති විදෙස් සංචාරයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (ජූනි 17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරන යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එතැන් සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ය.
ප්‍රංශ සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙලේ සාකච්ඡා සභාවක් ඇමතීමට ආරාධනා කර ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එම ආරාධනාව සිදු කරනු ලැබ තිබේ.
එමෙන් ම, ලබන 22 වන දා ගෝලීය නායක සමුළුව පැරිස් නුවරදී ආරම්භ වීමට ද නියමිත ය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරය නිමවා නැවත පැමිණෙන තෙක් අමාත්‍ය ධූර දෙකක වැඩබැලීම සඳහා අමාත්‍යවරුන් පත් කර තිබේ.
ඒ අනුව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

පරිගණක අපරාධ ගැන පොලිස් නිවේදනයක් !
පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවය.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි මේ වනවිට රට තුළ සුලභව අසන්නට ලැබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 108කි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළිකෙරුණි.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි මහතා පැවසුවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බවය.
ඒ අනුව 2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇති අතර 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බව වාර්තා වෙයි.
සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි පැවසුවේ මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

'ඉංග්‍රීසි' ජාතික භාෂාවක් කිරීමට පියවර !
ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර - ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.
විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය. ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.
මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.
මේ වන විට රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන නමුත්, නැවතත් මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යාමට නම් අපනයන ආර්ථකය දියුණු කළ යුතු බවත් ඊට ගැළපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදුවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පළමුවෙන්ම අද පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ ඇති වූ දේශපාලන තත්ත්වය නිසාත් වසර 02ක් වැඩිපුර තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔබට සිදු වුණා. ඔබට එම අධ්‍යාපනය ලබාදුන් පිඨාධිපතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ 1985 වසරේ මම අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදියි. මේ වන විට අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කර අවුරුදු 38ක් ගතව තිබෙනවා. මෙම අවුරුදු 38 තුළ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.
එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යම් ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒ සියල්ල නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමරිකාව සහ එංගලන්තය. අද එම සමාගම් බංකොළොත් වෙලා. අද මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ චීනය, නැත්නම් ඉන්දියාවයි. මේ රටවල් දෙකේ තමයි පරිගණක නිෂ්පාදන දැනුම තිබෙන්නේ. මෙලෙස විශාල වෙනසක් සිදුව තිබෙනවා. එහි නව දැනුම එකතු වී තිබෙනවා.
අපි අද සිටින්නේ 21 වන ශතවර්ෂයේයි. නමුත් තවමත් අපට තිබෙන්නේ 20 වන ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයයි. අපි රජයක් ලෙස කැපවී කටයුතු කරන්නේ 21 වන ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීමටයි.
ආර්ථික අර්බුදයකට මුහුණ දී අද අපි ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. රට තුළ ආර්ථික ස්ථාවර බවක් ඇතිව තිබුණත් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යනවා නම් වෙළෙඳ ශේෂය දියුණු කළ යුතුයි. ඒ වගේම අපනයනයෙන් මුදල් උපයා ගත යුතුයි. එසේනම් ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අප ඇති කළයුතුයි.
රටේ ආර්ථිකය ගොඩගන්නවා වගේම රටේ අනාගතය වෙනුවෙන් අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ද සකස් කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීමේ දී අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. මෙම මානව සම්පත වර්ධනය කරන්නේ ගුරුවරුන් විසින්. ඒ නිසා ගුරු සම්පත ද අප දියුණු කළයුතුයි.
අධ්‍යාපනය වෙනුවෙන් අද අපි වෙනම අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීම මෙම කමිටුවට පැවරෙනවා. දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් ඒ පිළිබඳ අපට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන නවීකරණය පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් එක් අංශ නියෝජනය කරන කණ්ඩායමක් පත් කර තිබෙනවා.
මේ වාර්තා සියල්ල අගෝස්තු මාසය අවසන්වන විට අපට ලබාදෙන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. ඒ හරහා 21 වන ශතවර්ෂයට ගැළපෙන, අදට පමණක් නොවෙයි 2050ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.
08 වසර සමත් වූ නිසා හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා හැම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය භාරගතයුතුව තිබෙනවා. එය ආණ්ඩුවක් ලෙස අපි භාරගෙන තිබෙනවා. එසේනම් ඊට ගැළපෙන ලෙස පාසල් අධ්‍යාපනය සකස් කළයුතුයි.
සංගීතයට, කලාවට දක්ෂතා දක්වන අය සිටිනවා නම් එම හැකියාවන් වර්ධනය කර ගැනිමට අප අවස්ථාව ලබාදිය යුතුයි. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල එම අවස්ථාව තිබෙනවා. අපත් එවන් වැඩපිළිවෙළකට යා යුතුයි. උසස් පෙළ විෂයයන් පමණක් නොවෙයි, ජීවිතයට අවශ්‍ය විෂයයන් හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.
වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.
අපි වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාගයත් ඒ අනුවම පැවැත්වීමේ යුතුකමක් අපට තිබෙනවා. දැන් විභාගවල දින මාරු වෙනවා. ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වනවා. එසේනම් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතුයි. ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වෙනවා.
විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. අඩුම තරමින් වයස අවුරුදු 23දී විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතුයි. ඒ වගේම අද අලුත් විෂයයන් ගණනාවක් තිබෙනවා. අද අපිට ඉංග්‍රීසි භාෂාව ඉතා අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා කිසිවෙකුට හැඟවෙන්න බැහැ.
19 සහ 20 වන ශතවර්ෂයේ සිංහල ලේඛකයන්, සාහිත්‍යකරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණයවී සිටිනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ, ඊ.ආර්. සරත්චන්ද්‍ර මැතිතුමා, මාර්ටින් වික්‍රමසිංහ ශූරින් මේ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වූ ලේඛකයන් වූවා.
ඒ නිසා සියලුදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ එම වැඩසටහන අපි සකස් කළයුතුයි. ඒ සඳහා පළමුව ඉංග්‍රිසි ගුරුවරුන් ලබාදිය යුතුයි. ඉදිරි වසර 05 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි ඉන්පසුව ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන යා හැකියි. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවුණත් අපේ ලිපි ගොනු ගණනාවක් තවම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යනවා. අපි එතනට සීමා නොවිය යුතුයි. චීන භාෂාව, ජපන් භාෂාව, හින්දි, අරාබි මෙම භාෂා ඉගෙන ගැනීමට අපි අවස්ථාව සලසා තිබෙනවා.
ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් නවීකරණය කළයුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව වසර 03 ද 04 ද කියා තීරණය කළයුතුයි. එසේම මේ රජ්‍ය විශ්වවිද්‍යාල ද නවීකරණය කළ යුතුයි.
මේ වන විට වසරකට සිසුන් 40,000ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඒ වගේම පිරිසක් පිට රට යනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපන ආයතනවල ඉන්නවා. ඒ නිසා රජ්‍ය විශ්වවිද්‍යාල, ජාතික විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමටත් අපි අවකාශ සලසා දෙනවා.
එලෙස රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරනවා නම් ඒ ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහන පොළියකට නැත්නම්, පොළී නැතිව ණය ලබාදීමට තීරණය කර තිබෙනවා.
අපේ රටේ විතරයි සිසුවෙකු කළයුතු විෂය ආණ්ඩුව තීරණය කරන්නේ. අනිත් හැම රටකම ශිෂ්‍යයන්ටත් අයිතියක් තිබෙනවා තමන් කැමති විෂය තෝරගන්න. ඒ ක්‍රමවේදය අප සකස් කළයුතුයි.
තවත් වසර 15 – 20කින් තිබෙන පංතිකාමරය මොකක්ද කියා අපි කිසිවෙකුටත් කිව නොහැකියි.. දැන් තිබෙන කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය සමග අපි ඉදිරියට යන්නේ කොහොමද කියා බැලිය යුතුයි. Chat GPT නිසා ඉදිරියේ දී ඉගැන්වීමේ ක්‍රම ද සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි සිටින්නේ විශාල පරිවර්තනය යුගයක. ඒ නිසා එම තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි.
Page 176 of 460