පුවත්

සජබට කූඨ ලේඛන චෝදනාවක් !
තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් කූඨ ලේඛන හදා තිබෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.
'මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ.මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ" යනුවෙන්ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන පක්ෂය ගනුලැබූ තීන්දුව රිවර්ස් !
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවටත්, විනය පරීක්ෂණයක් කරන බවටත් දැනුම් දෙමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මාස කීපයකට පෙර ලිපියක් නිකුත් කළ බව ද මධ්‍යම කාරක සභාව පෙරේදා රැස්වී අත්හිටුවීමට තීරණය කළේ එම ලිපිය බව ද ඔහු පැවසීය.
එම ලිපිය අත්හිටුවීමට තීරණය කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සිවිල් අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකට ලැබී ඇති තීන්දුව හා සාමාජිකත්වය අත්හිටුවන ලද අනෙකුත් අය විසින් එවන ලද ලිපියක් පදනම් කරගනිමින් බව ද ඔහු කීවේය.
එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අලුතෙන් එකතු කරන ලද සංශෝධන පදනම් කරගනිමින් බව ද නිමල් සිරිපාල ද සිල්වා අභියෝගයට ලක් කර ඇත්තේ එම කරුණු බව ද කී මහලේකම්වරයා, ඒ නිසා මෙම ලිපිය අත්හිටුවීමට තීරණය කළ බව ද පැවසීය.
එහෙත් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවත් සමග එකතුවීම පිළිබඳව ඔවුන්ට තිබෙන චෝදනා අහෝසි නොවන බව ද මහලේකම් ජයසේකර පැවසීය.
ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.

සූරියවැව ප්‍රා.ලේ රිමාන්ඩ් !
අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව ජුනි මස 20 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ සූරියවැව සතිපොළ පවත්වා ගෙන පුද්ගලයාට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 24ක මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබීම සම්බන්ධවය.
එහිදී එම කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ගජේන්ද්‍රන්ට ඇප !
අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ.
මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයාව අද උදෑසන අත්අඩංගුවට ගැනිණි.
පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා විය.
එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මහරගම අපේක්ෂා රෝහලේ තවත් ලෙඩක් !
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් නොකැඳවීම ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීය වීමට වඩා බරපතල ගැටලුවක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විකිරණ ශිල්පීන්ගේ යම් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සුමාන දෙකක සිට විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් කැඳවීම නවතා ඇති බවත් මේ වන විට විකිරණ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනය රෝගීන් 250 ද ඉක්මවා ඇති බවත් වාර්තා වේ.
මේ අතර පසුගිය 06වනදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 03ක් අක්‍රීය වීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ටද ප්‍රතිකාර ලබා දීමට නොහැකි වී ඇත. එම යන්ත්‍ර කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා අදාළ සමාගම කටයුතු නොකිරීම මෙම ගැටලුව තව දුරටත් උග්‍ර කර තිබේ.
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ විකිරණ ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ මෙන්ම අඛණ්ඩව ලබා නොදීමෙන් පිළිකා රෝග තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත් වන බවයි. විකිරණ ප්‍රතිකාර ලබා දීමට හදිසි මෙන්ම අත්‍යවශ්‍ය රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් විකිරණ ශිල්පීන් ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අසරණ පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මුදල් කාරක සභාවේ සභාපති ධූරයට හර්ෂ පත් කෙරේ
ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට "පරිගණක යෙදුම්" නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා " පරිගණක යෙදුම් " නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රිතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි.
කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතුයි. කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ ප්‍රමාණවත් නැතිනම් අපට වෙන ගොඩනැගිල්ලක් ඒ සඳහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරක සභා සහ උපදේශක සභා සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවීමක් වුණත් කළ හැකියි. ඒ වගේම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට සතියකට වත් කළින් කමිටු සහ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් කර මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයෙන් එය ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. හෙට ඉදිරිපත් කරන පනත අද මන්ත්‍රීවරුන්ට ලබාදීම ප්‍රමාණවත් නෑ. මන්ත්‍රීවරුන්ට පනත අධ්‍යනය කිරීම සඳහා සති දෙකකවත් කාලයක් ලබා දිය යුතුව තිබෙනවා.
ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභා ල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි.
අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරින් (Collecting officer). නමුත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්තවන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැතිවෙලා ගියා.
අනතුරුව එම කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීම සඳහා නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවා ගැනීමට සිදු වේවි.
ඒ වගේම රාජ්‍ය ආයතනවල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදුම්‘ එම ආයතන මගින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ,
ජනාධිපතිතුමනි , ඔබතුමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස මාව යෝජනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අපි ප්‍රශ්න කළේ මේ කටයුතු කඩාකප්පල් කිරීමට නොවෙයි. නිවැරදි මගට ගැනීමට පමණයි. අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක,
කාරක සභා සහ උපදේශක සභා 73ක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පහසුකම් සැලසීමට පවතින මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් ප්‍රමාණවත් නැහැ. කාරක සභාවල කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය නම් යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ,
කාරක සභාවලට සහ උපදේශ සහා වලට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි. නමුත් එහි පත්වන නියෝජිතයන් එම ක්‍රියාවලියට වඩා දේශපාලන ක්‍රියාවලියක් සිදු කරනවා. මාධ්‍ය සංදර්ශන පවත්වමින් මාධ්‍යවලට කතා කරන්න උත්සාහ කරනවා. එසේ නොකරන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මොකද මෙහි සංවේදී කරුණු තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සහ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු,පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-07
https://newstube.lk/news?start=3222#sigProIdc95e746e3a

සිරිසේන ශ්‍රීලන්කන් පතුරු ගහයි !
ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පාර්සලයේ සිට තිබෙන්නේ ගැහිල්ල බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි .
ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය.
ඔහු මේ අදහස් දක්වා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනමක් !
දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් මෙම මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව පැවසුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) කරුණුවාර්තා කරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ තම කොළඹ නිවසට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සිංහල බසින් ලියන ලද ලියවිල්ලක් තමන් වෙත දුන් බවය.
තමාට සිංහල බස ලිවීමට හෝ කියවීමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

සාගල ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් අමතයි !
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.
ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.
ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදය පසුගිය ජූනි 02 වනදා සිට 04 වනදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.
ජූනි 02 වනදා ආරම්භ වූ සමුළුවේ ප්‍රධාන දේශනය ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉන්දියාව, ඕමානය, ප්‍රංශය, පාකිස්ථානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
ස්ථාවර සහ සමතුලිත ආසියා පැසිෆික් කලාපයක් ඇති කිරීම, කලාපීය ගැටලු විසඳීම, ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාවේ විකාශනය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නායකත්වය ඇතුළු විවිධ තීරණාත්මක භූ-දේශපාලනික ගැටළු පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණි.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කළ සාගල රත්නායක මහතා ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද පැහැදිළි කළේය.
මහා බලවතුන්ගේ එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු නාවික ගමනාගමනය සහ ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිළි කළේය.
මේ අතර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු ෂැංග්‍රිලා සංවාදය සඳහා එක්ව සිටි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සාගල රත්නායක කටයුතු කළේය.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළ සාගල රත්නායක මහතා පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළේය.
ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ වරාය සහ සැපයුම් ක්ෂේත්‍රවලට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ග්‍රෙග් මොරියාටි මහතා සහ සාගල රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම් මැඩලීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ මාණ්ඩලික කමිටුවේ ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා සහ සාගල රත්නායක අතර හමුවක් ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කර ගැනීම කෙරෙහි එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, සාගල රත්නායක සහ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් විධානයේ ආඥාපති අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා අතර පැවති හමුවේ දී ඉන්දීය සාගර කලාපයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සාගල රත්නායක මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) ආසියා සහ පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් සිපොල්ලා මහත්මිය සමඟ පැවති හමුවේ දී කලාපයට අදාළ මානුෂීය ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සාගල රත්නායක මහතා විසින් අවධාරණය කළේය.
සාගල රත්නායක මහතා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිසිරි මහතා අතර හමුවක්ද පැවැත්වණු අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණ.
මේ අතර සාගල රත්නායක සහ යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ මහතා අතර හමුවක් ද මෙම සමුළුවට සමගාමීව සිදු විය.
සිංගප්පූරුවේ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන්ග් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) විසින් පවත්වන ලද වට මේස සාකච්ඡා දෙකකට ද සාගල රත්නායක මහතා සහභාගී වූ අතර කලාපයේ ප්‍රධාන ආරක්ෂක ගැටළු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමේ වේදිකාවක් වූ එම අවස්ථාවන්ට ෂැංග්‍රිලා සංවාදයට සහභාගී වූ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 29දෙනෙකු පමණ එක්ව සිටියහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල්යයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

තහනම් ප්ලාස්ටික් වැටලීම් ඇරඹේ !
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කළ ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් හෙට (06) සිට සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි සභාපති සුපුන් එස් පතිරගේ මේ බව අවධාරණය කර සිටියි.
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් භාවිතය පිළිබඳව සහ නීතිවිරෝධී පොලිතීන් අලෙවි කිරීමෙන් පරිසරයට සිදුවන විනාශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද සංවිධානය කර තිබුණි.
ඒ අදට යෙදී ඇති ජගත් පරිසර දිනය වෙනුවෙනි.
මෙහිදී පොලිතීන් හා ප්ලාස්ටික් තොග අලෙවි කරන පිටකොටුව ඇතුළු අනෙකුත් වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුවිය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙසේ පැවසීය.
"අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් හා නීතිවිරෝධී ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. අපි රේගුව සමග වැඩපිළිවෙලක් ආරම්භ කළා. එය ගිවිසුම්ගතව සිදුවෙනවා. අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් වර්ග අපි වරින්වර තහනම් කරලා තියෙනවා. අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපි සකස් කරලා තියෙනවා. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. අද දවසේ කරන්නේ දැනුවත් කිරීම පමණයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. ජගත් පරිසර දිනයට සමගාමීවයි අපි මේ දැනුවත් කිරීම් කරන්නේ."

මහ අධිකරණයට අලුත් විනිසුරුවරුන් කිහිපදෙනෙක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර ඇත.
ඒ අනුව දිසා විනිසුරුවරුන් වන ටී. ජේ. ප්‍රභාකරන්, පී. කේ. පරණගමගේ හා පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ කේ. ඩී. වයි. එම්. නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.
එසේම ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

ජෙරම්ගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීරණය !
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
අදාළ පෙත්සම අද (05) එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණ.
එම අවස්ථාවේදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයින් මීට පෙර පෙත්සම්කාර දේවගැතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 28 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙන බවත් පැවසීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 24 වනදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදුකරන බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන් බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේ තිබියදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර දේවගැතිවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් එම පෙත්සම සලකාබැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
පෙත්සම්කාර දේවගැතිවරයා සිය ප්‍රකාශය තුළින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ආගම් සහ ආගමික විශ්වාසයන්ට බරපතළ ලෙස ප්‍රහාර එල්ලකර ඇති බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව පෙත්සම්කාර දේවගැතිවරයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තම සේවාදායකයින් දැඩි විරෝධය පළ කරසිටින බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුනි.
පෙත්සම්කාර දේවගැතිවරයාගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් නමැත්තාට රන් ජාවාරම මෙන්ම මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී තිබෙන බවට වාර්තා පළවී ඇති බවත් ඔහු සිය නීතිවිරෝධී කටයුතු රටවල් 14ක පමණ ව්‍යාප්ත කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙම ඌබට් ඒන්ජල් නමැත්තා ශ්‍රී ලංකාවටද පැමිණ ඇති බවත් පෙත්සම්කාර දේවගැතිවරයාගේ "මිරකල් ඩෝම්" නමැති යාච්ඤා මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 3.3 කට වැඩි මුදලක් වැයකර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා, මෙවැනි විශාල මුදලක් මෙම කටයුතු සඳහා යෙදවුණු ලැබුවේ කෙසේද ? යන්න පිළිබඳව විමර්ශන සිදු වියයුතු බවත් පැවසීය.
ඒ අනුව තම සේවාදායකයන්ට ද නඩු විභාගය සඳහා මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පෙත්සම්කාර දේවගැති ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන යන මහත්වරු විරෝධය පළ කර නොතිබුණි.
ඒ අනුව අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසට මෙම පෙත්සම් විභාගය සඳහා මැදිහත්වී කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුනි.
ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෙත්සමට කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී සාමාජික විනිසුරු ශිරානි ගුණරත්න සඳහන් කළේ, අද දින නියමවී තිබෙන්නේ අතරමැදි පෙත්සමට අදාළ කරුණු සලකාබැලීම පමණක් බවය.
ඉන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.
ඊට අමතරව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් අද සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට දැනුම් දුනි.
පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 30 වනදා පැවැත්වූ දේව මෙහෙයකදී තමන් විසින් පළ කරන ලද මතයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
ඊට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ව සැකකරුවෙකු ලෙස නම් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පවසන පෙත්සම්කරු, තමන් විසින් පළකළ මතය තුළින් අදාළ වරදවල් උද්ගත නොවන බවත් පෙත්සම්කරු කියා පෙන්වා දෙයි.
තමන් විසින් පළ කරන ලද මතය තුළින් ආගමික අසමගියක් නිර්මාණය වන බව පොලීසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කෙරෙන සිද්ධීන් හෝ සාක්ෂි කිසිවක් පොලීසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව පොලීසිය විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එම දේවගැතිවරයා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ත්‍රයි නිකායික සංඝ නාහිමිවරුන් අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා - LGBTQI ප්‍රජාව (video )
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.
(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).
ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ජුනි 4 වෙනිදා මේ වසරේ 'ප්‍රයිඩ් මාසය' සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.
මෙවර එය 'නිදහසේ අභිමානී පා ගමන' (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.
සමාජ ක්‍රියාකාරිණි චානු නිමේෂා පා ගමන ආරම්භයට පෙර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ "අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා අපේ ජනතාවට සමානාත්මතාව නෑ සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක් වෙනවා රැකියාවක් කිරීමට හැකියාවක් නෑ"
"ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා මෙය ලෙඩක් නොවෙයි සමලිංගිකත්වය මාර එකක් නොවේ එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා.අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සිය දිවි නසා ගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය" යනුවෙනි.
BBC

යුධ හමුදාව ඩ්‍රෝන යානා මගින් වී වගාවට කෘමිනාශක සහ වල්නාශක යොදයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් පසුගිය සිකුරාදා (02) දින ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක යුද්ධ හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පීගේ සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.
පළමු අදියරේදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්ෂ ආර්එස්පී සහ 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ ‘Sri Pola Pvt Ltd’ ආයතනය හා ඊට අනුබද්ධ ඇති ‘Aerogeni Pvt Ltd’ ආයතනය සමඟ එක්ව මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.
Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.
https://newstube.lk/news?start=3222#sigProIdc8979b52ab

ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ Erhai සමුළුව චීනයේදී
ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව චීනයේ යුන්නාන් පළාතේ ඩාලි නගරයේදී පැවැත්විණ. "මිනිසා සහ සොබාදහම සමගියෙන්, නවීකරණයේ මාවතක් කරා" යන්න මෙවර සමුළුවේ තේමාවයි.
සමුළුවට චීන හා විදේශීය විශේෂඥයින්, විද්වතුන් සහ ආරාධිත අමුත්තන් 400 කට ආසන්න පිරිසක් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල, අධ්‍යාපන ආයතන සහව්‍යවසායන්නියෝජනය කරමින් සහභාගී විය.මෙම සංසදයට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය, යුන්නාන් පළාත් මහජන රජය සහ චීන මහජන සම්බන්ධතා සංගමය එක්ව අනුග්‍රහය දැක්වීය.
2023 Erhai සංසදයට සමාන්තරව උපසංසද කිහිපයක් ද පැවැත්විණ. එහි එක් උප සංසදයක් - "චීන ශෛලියේ නවීන පාරිසරික දර්ශනයේ ජාත්‍යන්තර සන්නිවේදන ආඛ්‍යාන ප්‍රකාශනය" යන තේමාව ඔස්සේ පැවැති අතර ඒ සඳහා චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ ජාත්‍යන්තර සන්නිවේදන සංවර්ධන මධ්‍යස්ථානය, බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සන්නිවේදන පාසල සහ යුන්නාන් පළාතේ ආසියාව සහ අග්නිදිග ආසියාවේ කලාපීය ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය සමසත්කාරකත්වය දැක්වීය.
මෙම සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා සහභාගි විය. එහිදී ඔහු “ලෝක ප්‍රජාව මුහුණ දෙන පාරිසරික අභියෝග සහ චීන පාරිසරික ජයග්‍රහණ” යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය. සිය දේශනයේදී ඔහු අවධාරණය කළේ ගෙවි ගිය ශත වර්ෂය තුළ දුර්ලභශාඛ හා සත්ව විශේෂ 500 ක් පමණ ලෝකයට අහිමි වී ඇති බව නවතම පරීක්ෂනවලින් හෙළි වී ඇති බවයි.මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට කර ඇති හානිය ආපසු හැරවීමට ලෝකයේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.
සමුළුවේදී විශ්ව විද්‍යාල, මාධ්‍ය, ප්‍රකාශන, චිත්‍රපට සහ රූපවාහිනී, බුද්ධි මණ්ඩල සහ ජාත්‍යන්තර සන්නිවේදනයට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වත්හු නවීන පාරිසරික සංකල්පයේ ජාත්‍යන්තර සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් දැනුම හුවමාරු කරගත්හ.
මෙම සංසදයේදී ජාත්‍යන්තර සන්නිවේදනය සඳහාවූ චීන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘYin Jie, චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනයේ ප්‍රධාන විශේෂඥ Song Yingjie, මියන්මාරයේ North Star Weekly හි ප්‍රධාන කර්තෘ U Win Tin, යුන්නාන් ඩේලි පුවත්පත් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ-Wang Tingyao, බෙයිජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ ඇකඩමියේ උපපීඨාධිපති Zhou Xinyu, බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පාසලේ මහාචාර්ය Xu Hailong, ෂැංහයි ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථානයේ වාර්තා වැඩසටහන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhou Quan, චීන කෘෂි විශ්ව විද්‍යාලයේ සම්පත් හා පාරිසරික විද්‍යාව පිළිබඳ පාසලේ සහකාර මහාචාර්යJinKemo සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ කර්තෘJenifer Windall ඇතුළු විද්වතුන් පිරිසක් දේශන පැවැත්වීය.
පළමු Erhai සංසදය 2021 ඔක්තෝම්බර් මාසයේදී නිරිත දිග චීනයේ යුන්නාන් පළාතේ ඩාලිහිදී පැවැත්විණි. ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ (COP15) පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 15 වන රැස්වීමේ පළමු අදියරට පෙර මෙම සංසදය පැවැත්වුණේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ගෝලීය පාරිසරික පාලනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙනයි.

ලෝක බැංකුව ලංකාවට ලොකු ණයක් අනුමත කරයි !
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ලබාදීමෙන් පසු මෙම ආධාර මුදල අනුමත කර තිබේ.

රට බරපතළ අනතුරක දැමීමේ උත්සාහයක් ගැන කරූගෙන් අනාවරණයක් !
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කරයි.
එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
''මේ දිනවල රටේ විවිධ පාර්ශවයන් විසින් සිදුකරමින් පවතින ඇතැම් ප්‍රකාශ හා ඒවා ආශ්‍රයෙන් සිදුකරමින් පවතින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ඒවා මගින් රට නැවත වතාවක් රට බලවත් අනතුරකට යොමුකරවීමේ උත්සාහයක් තිබිය හැකි යයි අනතුරු අඟවන්නෙමු.
විවිධ ආගමික කරුණු පදනම් කරගනිමින් රටේ ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශයන් ගැන සැලකීමේදී අප තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. එමෙන්ම අප රටේ අතීත බොහෝ අප්‍රසන්න සිදුවීම් සිහිපත් කිරීමේදී ඒවා බොහෝමයකටම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ හා ක්‍රියාකාරකම හේතු වී ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එවැනි තත්වයක් තුළ මෙවන් උත්සාහයන් හරහා රට නැවැත එවැනි විනාශකාරී තත්වයකට යොමුකරවීමේ දුෂ්ට උත්සාහයන් තිබේද යන්න ගැන ගැඹුරින් අවධානය යොමුකල යුතුව තිබේ.
1983 අවාසනාවන්ත තතවය ඇතිවීමට පෙර මෙවැනිම වූ පසුබිමක් රට තුළ දැකගත හැකි විය.1915 ආගම්වාදී ගැටුමට හේතු වූවේ ද මෙවැනිම වූ කරුණුය. එමෙන්ම පාස්කු ඉරිදා දින ඇතිවූ සිද්ධියෙන් ඇතිවූ වේදනාකාරී කැලැල් තවමත් සුවපත් කරගැනීමට අපොහොසත් වී ඇති රටක මෙවැනි වාතාවරණයක් කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු නැත.
වාර්ගික හා ආගමික සහජීවනය තහවුරු කරගැනීමට අපොහොසත්ව ඇති සෑම රටක්ම මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම සැලකීමේදී මෙන්ම මෙවන් තත්ත්වයන් තුළ අප රටට ද අත්කර දුන් විනාශයන් සිහිපත් කිරීමේදී යළි එවන් අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදීම ජාතියක් ලෙස අප සතු වගකීමකි. එහිදී රටේ දේශපාලන අධිකාරියට මෙන්ම සියළුම ආගමික නායකයන්ට ද සිවිල් සමාජ සංවිධානවලට හා ජනමාධ්‍ය වෙත ද බලවත් වගකීමක් ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එමෙන්ම එවන් පටු
උත්සාහයන් පරාජය කිරීම සඳහා මේ රටේ බුද්ධිමත් ජනතාව පෙරට පැමිණිය යුතු කාලය මෙය වන බව ද අපගේ විශ්වාසයයි.
එබැවින් රටේ ජාතික නායකයන්ගෙන් ද ආගමික නායකත්වයන් ගෙන්ද පොදුවේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ අප හමුවේ ඇති දුෂ්ට අරමුණු සහගත උත්සාහයන් ඉදිරියේ බුද්ධිමත්ව, ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසටය. ''
අප රට නැවතත් විනාශයකට යොමුකල හැකි සියළුම උත්සාහයන් පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමස්ත ශ්‍රී ලංකිකයින් ඉල්ලා සිටියි.
Page 180 of 460