පුවත්

රාජාංගනේ හිමි රිමාන්ඩ් !
අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
ඒ එම හිමියන් අද (29) කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මතය.
මේ අතර එම හිමිනම අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇත්ත කතා කර මැරෙන්න වුවත් සූදානම් බවත් මරණය ජීවිතයේ කවදා වුවත් සිදුවෙන්න නියමිත දෙයක් බවත් ය.

ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව : අලුත්ම වාර්තාව මෙන්න !
2022 වර්ෂයට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් තවමත් පීඩා විඳිමින් සිටින බව වාර්තා වේ.
විශේෂයෙන් ම මෙය පවතින්නේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව ජනගහණයෙන් 17%ක් එනම් පුරවැසියන් මිලියන 3.9ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට මුහුණපාන අතර එය පසුගිය වර්ෂයේ ජූනි/ජූලි සමඟ සැසඳීමේදී ආසන්න වශයෙන් 40%ක අඩුවීමකි.
පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු 66,000ක පුද්ගල සංඛ්‍යාව මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩුවී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
ආහාර මිල යම්තාක් අඩුවීම සහ මෙම වාර්තාවට කරුණු අධ්‍යයනය කරන කාලය තුළදී අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම් වර්ධනයවීම තුලින් ආහාර පරිභෝජන රටාවල වෙනසක් සිදුවීම වැනි කරුණු ඊට බලපා ඇත.
කෙසේවෙතත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බවද එම ආයතන පෙන්වා දී තිබේ.
ඒ අනුව උග්‍ර ආහාර අනාරක්ෂිතතාව වාර්තා වන්නේ, වතුකරයේ තේ වගාකරුවන්ගේ ප්‍රජාවන් අතරින්, සහ සිය ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් සමෘද්ධි වැනි සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන දෛනික වැටුප් ලබාගන්නා කම්කරුවන් සහ කුටුම්භ අතරින් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ගැන ජනපතිගෙන් නියෝගයක් !
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
අද (29) ආරම්භ වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 472,553ක් පෙනී සිටිති. ඒ වෙනුවෙන් සේවයේ යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40,000කට ආසන්නය.
නමුත් මෙවර පාසල් කිහිපයකම සිසුන් තමන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කිරීම නිසා දරුවන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බව දෙමාපියන් සහ දරුවන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කර ඇත.
මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවයි.
මෙය සිසුන්ගේ මානසික මට්ටමට සෘජුවම බලපාන තත්ත්වයක් හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ දී අවම වශයෙන් වසරක පමණ කාලයක් එම පාසල් සහ සිසුන් දැනුවත් කොට එය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පවත්වන සියලු විභාග ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත්, ඒවා නොපවැත්වීමට හේතු දැක්වීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයක් නොවන බවත් පැවසු ජනාධිපතිවරයා සිසුන්ට හුරු පරිසරයේ විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් බව ද අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.
මෙම මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මෙලෙස සිය අදහස් දැක්වීය.
"රටේ පවතින ගැඹුරු අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට, විශේෂයෙන්ම කාන්තාවන්ට එහි බලපෑම ගැන ADB සැලකිලිමත් වෙනවා. ආර්ථික ස්ථායීකරණය, තිරසාර ප්‍රකෘතිමත් වීම සහ සියල්ලන් ඇතුළත් කර ගැනීම සඳහා වත්මන් අභියෝගවලට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ADB කැපවී සිටිනවා."
රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු මාවතකට මුහුණ දී සිටින අතර, බදු ආදායම් එකතු කිරීම ඉහළ නැංවීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ව්‍යවසායවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, මහ බැංකුවේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය සහතික කිරීම, ආරක්ෂා කිරීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ස්ථිරව සිටිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

ආගමික මතභේද ඇතිකිරීම ගැන ආණ්ඩුවෙන් තද ප්‍රකාශයක් !
ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත් ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළ අතර වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බවත් සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.
පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බවද සඳහන් කළේය.

පොහොට්ටුවට එරෙහිව ජී එල් නඩු මගට !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පිරිස් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 අප්‍රේල් 22 වෙනි දින පැවැත්වූ මහා සභා රැස්වීම කිසිම නීතිමය වලංගු භාවයක් නොමැති හා ගත් සියලු තීන්දු නීති විරෝධී හා ශුන්‍ය බවට ප්‍රකාශ කරමිනි.
නඩු අංක DSP 00206/23 යටතේ ගොනු කළ මෙම නඩුව සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ය.
පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි..!
සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා දක්ෂකමක්.
දැන් මේ ඉහත ලැයිස්තුව කියන්නේ නොවෙනස් වන දේවල් නෙවෙයි. කාලෙන් කාලෙට, සන්දර්භයෙන් සන්දර්භයට, සමාජ අවශ්‍යතා වලට සාපේක්ෂව ඒවා වෙනස් වෙනවා. වෙනස් කර ගන්නවා.
එක යුගයක බණ්ඩාරනායක යුගයේ වේට්ටිය ඇන්ද අපේ අප්පච්චි. නමුත් දශකයකට විතර පස්සේ එයා ඒක ටිකක් වෙනස් කරලා සරම කමිසය ඇන්ද පහසුවටත් එක්ක. නමුත් මගේ යුගයට එනකොට මම ඩෙනිම් වලට ආව. ෆැෂන් කරන්න ආස කළා. අප්පච්චි සරම කමිසයේ නැවතුණා. අප්පච්චි රොක් ඇහුවේ නැහැ. ජාතිකාභිමානී ගීත වලට තමයි ආස කළේ. නමුත් මම ආසවෙන් රොක් අහනවා.
ගිල් ඩෙලස් කියනවා වගේ අපේ පරම්පරා දෙක අතරේ (අප්පච්චි සහ මම) පැල්මක් තියනවා (rupture). ඇතැම් දේවල් සම්බන්ද කරන්න පුළුවන් (bridgeable). හැබැයි සමහර දේවල් එහෙම කරන්න බැහැ.
මෙන්න මේ විභේදනය තේරුම් අරගෙන සමාජයක ජීවත් වෙන එකත් දක්ෂකමක්. කුසලතාවක්. නැත්නම් වෙන්නේ තමන් කියන දෙයින් සමාජය රිදවා ගන්න එක. ඒ ඔස්සේ තමන් කියන්න හදන දෙයට වලංගුතාවක් නැතිවෙන එක විතරක් නෙවෙයි ඒ සමාජයේ පවතින්න පවා බැරිවෙන එක.
ලාංකික සමාජය කියන්නේ යම් හර පද්ධතියක් තියන රටක්. ඒකට ඉතිහාසයක් තියනවා. ඒ වගේම ඒ හර පද්ධතිය වැරදි විදියට යොදාගත්ත තැන් පවා ගොඩක් තියනවා. ඒ වගේ අපේ සමාජයේ අගතීනුත් ගොඩක් තියනවා. ඒවා වෙනස් කරගන්න පවා යම් සටනක් කරන්න ඕනි.
නමුත් යම් ශිෂ්ට සම්පන්න සන්දර්භයක් යටතේ අපේ සමාජයේ තවදුරටත් විවේචනාත්මක අදහස් දක්වන්න පුළුවන් රටක්. ඒක අපි පිළිගන්න ඕනි.
ඒ වගේම වෙනස් වෙන්න දහසකුත් එකක් දේවල් අපේ සමාජයේ තියනවා.
හැබැයි මට නම් බැහැ බුදුන් වහන්සේට හෝ සිද්ධාර්ථ ගෞතමයින්ට ''සුද්ධෝදනගේ පොඩි එකා'' කියන්න. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් මාලාවේ තියන නැවුම්බව. විමුක්ති අන්තර්ගතය. අදටත් වලංගු ප්‍රයෝගික බව. දේශනාකළ ධර්මය තුළ තියන ලෝකයටත් වඩා විශාල බව (larger than world). ඒ නිසා මට එතුමන් ගැන ගෞරවයක් තියනවා. නොනැසෙන ගෞරවයක්.
සමකාලීන දාර්ශනික-මනෝ විශ්ලේෂණ ප්‍රවේශය පවා සකස් වෙන්නේ මේ ආගම් අතරේ පවතින සමාන ලක්ෂණ එක්ක පොදු ගුණාකාරයක් හදාගන්නේ කොහොමද කියන එක පාදක කරගෙන.
ආගම කියන ප්‍රපංචය නිසා ඉතාම ප්‍රතිචාරාත්මක, සංවේදී සහ ඒ නිසාම ඓතිහාසිකව අතිශයින් බරපතළ ඛේදවාචක අත්විඳලා තියන අපි වගේ සමාජයක 'ඇස් රතුවෙන විහිළු' කියන්නේ පරිස්සමෙන් කළයුතු දෙයක්.
මොකද මේ රටේ ඇනස්ලිල, බර්ටිල, ෆ්‍රෙඩීල, අවම වශයෙන් ටෙනිය පවා ඇත්තටම මිනිස්සු හිනස්සල තියනවා. උන්ගෙන් ඉගෙන ගනිල්ලා.
ඉනුත් විශේෂයෙන් විකුණන්න විහිළු කරන වෙලාවක මීට වඩා අපේ සමාජය ගැන සංවේදී වෙන්න. මොකද උඹලා සල්ලි හොයන්න සියල්ල පොළොවේ ගහන යුගයක සමාජය ගැඹුරු අර්ථයෙන් වෙනස් කරන්න හදන ඉතාම කුඩා පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. උන් මහන්සි වෙනවා. සල්ලි හොයන්න කොච්චර කෙටි මාවත් තිබ්බත් උන් සමාජ පරිකල්පනයක් සහ ෆැන්ටසි එකක් එක්ක ගමන් කරනවා.
නටාෂා, ඇස් රතුවෙන විහිළු පරිස්සමෙන් විකුණන්න. මොකද මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි...
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

අත පාටියේ කට්ටියක් බිම වාඩිවෙන සූදානමක !
අත පාටියේ අර්බුදය එන්න එන්නම වැඩිවෙලාලු. කිහිපදෙනෙක් ඇරෙන්න බහුතරයක් පක්ෂයේ ලොකු තැනට කිව්වලු ලියන මහත්තයව පක්ෂයේ තනතුරුවලින් අයින් කරන්න කියලා. එහෙම නොකළොත් පක්ෂයේ පිරිසක් අස්වීම දීලා මැඩම් ගාවට යන්නලු ඉන්නෙ.
කොහොම වුණත් ඒ ලියන මහත්තයා විතරක් නෙමේලු, බුලත් කොළේ ලියන මහත්තයවත් අයින් කරන්න කියලලු කියන්නෙ. ඒකට හේතුව මේ දෙන්නා සංවිධායකයන් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නෑ කියලා. කොහොම වුණත් වැඩිම තර්ජනය තියෙන්නේ අත පාටියේ එක්කෙනාටලු. කොහොම හරි එයාලව අයින් නොකොළොත් පක්ෂයේ පාක්ෂිකයෝ ගෙන්නලා ඩාර්ලි පාරේ බිම වාඩිවෙන්නත් කට්ටියක් සූදානම් වෙනවා කියලයි ආරංචි. කොහොම වුණත් මේ වෙද්දී පක්ෂයේ ලොකු තැනගෙ ඔළුව ගිනි අරන්ලු මේ ප්‍රශ්න නිසා.
deshaya

මැතිවරණයක් ඉල්ලා මාලිමාව සටනට !
මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.
අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවය.
මීට පෙරද ජාතික ජනබලවේගය පක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක් සිදුකර තිබිණ.

කෝටි 27000ක බදු පොල්ලට ආර්ථික කමිටුව දෙහි කපයි !
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 27,000ක බදු මුදලක් ( අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළව ඇත.
මේ අතර බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයන කරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු කිසිවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොපවතින බවද එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී තිබේ.
රටේ සිදුවන දැවැන්ත ගනුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කමිටුව මෙහිදී සාකච්ඡා කර ඇත.
එබැවින් මෙම මුදල් අය කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අලුත් නීති ඇති කිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා දෙන බවත් කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම, දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන් , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතිය වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ආගම් රකින්න අලුත් පනතක් !
ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මෙසේද පැවසීය.
"මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට."

ඉන්ධන කෝටාව දෙගුණ කරයි !
ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර තීරණය කර ඇත.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව දැනුම්දී ඇති අතර ඊට අනුව එළැඹෙන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය බලපැවැත්වෙයි.
ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය.
එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.
මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.
වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

නටාෂා අත්අඩංගුවට : සිදුකළ ප්‍රකාශයට සමාව ඉල්ලයි !
බෞද්ධ ආගමට අපහාස වන අකාරයෙන් වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළා යයි චෝදනා එල්ලවී ඇති ජයනි නටාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ වනවිට නතාශා එදිරිසූරිය කොළඹ, නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
පසුගිය අප්‍රේල් මස පළමුවෙනිදා 'කොලම්බෝ කොමඩි සෙන්ටර්' (Colombo Comedy Central) විසින් පැවැත්වූ ප්‍රසංගයක දී"මෝඩාභිමානය" නමින් ඉදිරිපත් කළ වැඩසටහනට අදාල වීඩියෝවක් මිට දින දෙකකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර එහිදී ජයනි නටාෂා එදිරිසූරිය සිදුකළ ප්‍රකාශයක් සාමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.
එම ප්‍රකාශයෙන් බුද්ධාගමට බරපතල අපහාසයක් සිදුව ඇතැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු හිමිවරුන් කිහිප නමක්ම ආණ්ඩුවට එරෙහිව විරෝධයක් මතුකරමින් සිටින අතර තවත් කිහිපදෙනෙකු රහස් පොලිසියට පැමිණිලි කර ඇත.
ජයනි නටාෂා සමාව ඉල්ලයි!
කෙසේවුවද තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් ජයනි නටාෂා එදිරිසූරිය සහ 'කොලම්බෝ කොමඩි සෙන්ටර්' කණ්ඩායම ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.
එසේම අදාල වීඩියෝව ඉවත්කර ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇත.

නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍ය සහාය ඉල්ලයි
පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අමාත්‍ය ටිරාන් අලස් හමුවී තිබේ.
මෙහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
සේරා හල්ටන් ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ඉල්ලා තිබේ.
තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡ වී තිබේ.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ මෑතකදී බ්‍රිතාන්‍ය ද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවය.
බෙන් මෙලර් මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින 04 දෙනෙකු පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එහිදී ටිරාන් අලස් පවසා ඇත්තේ ඔවුන් සිව්දෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවය.
තවද ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් වෙත නීතිරීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලීසිය ද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.

තරුණයින්ට නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක්
තරුණයින්ව දේශපාලනය සඳහා පාවිච්චි කරන යුගය අවසන් කර ඔවුන් අලුත් මාවතකට ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ඊයේ (26) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
තරුණයින්ට සුදුසු තැන දේශපාලඥයින්ගෙන් තොරව ලබා දීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහි දී සාකච්ඡා වූ අතර, පසුගිය කාල වකවානුවේ ජාතික තරුණ සේවා සභාව දේශපාලඥයින්ගේ වැඩ වලට යොදා ගැනීමේ අනිටු ඵල විපාක දසාකච්ඡා විය.තරුණයා දේශපාලනයෙන් මුදවාගෙන ස්වාධීනව සිතිමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ වගකීමහා ඒ සදහා සැළසුම්කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ජාතික තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් සිදු කළ යුතු බව මෙහි දී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමු වූ අතර, ජාත්‍යන්තරයේ සිට ගම දක්වා ම තරුණ සේවා සභාවේ සේවාවන් පුළුල් කිරීමට නව ක්‍රමවේදයන් සකස් කළ යුතු බව ද මෙහි දී සාකච්ඡා විය. මූලික අදියරේ දී තරුණ තරුණියන් ලක්ෂ 15 ක් බදවාගෙන ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීමේ කටයුතු කඩිනමින් සකස් කර ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කළ යුතු බව මෙම සාකච්ඡාවේ දි අනාවරණය විය.

අලි සබ්රිට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාරදී ඇත.
එම මන්ත්‍රීවරයා රත්‍රන් සහ ජංගම දුරකථන රැගෙන දිවයිනට ඇතුලුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී පසුගියදා රේගු භාරයට ගැනිණ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සන්තකයේ තිබී රේගු නිලධාරීන් විසින් රත්‍රන් කිලෝ ග්‍රෑම් තුන හමාරක් සහ ජංගම දුරකථන 91 ක් සොයා ගනු ලැබිය. ඒ අනුව එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ගෙවීමට නියමවූ අතර පසුව එම දඩය ගෙවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රේගු නිලධාරීන් විසින් නිදහස් කළේය.
එම මන්ත්‍රීවරයා වරප්‍රසාද අවභාවිත කර ඇති බවට කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අදාළ මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත. එම ලිපියට දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කර තිබේ.

රෝසිට උපදේශක තනතුරක්.....
කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක ව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.
රෝසි සේනානායක මෙම තනතුර මෙතෙක් භාරගෙන නොමැති බවත් බොහෝ දුරට එළඹෙන සතියේ ඇය එම තනතුර භාර ගනු ඇති බවත් ඇයගේ මාධ්‍ය ලේකම් විරාජ් තාරක පැවසිය.
ඇය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුර ඇතුළු තනතුරු ගණනාවක් හෙබවූ සමාජ ක්‍රියාකාරිනියකි.
2001-2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009–2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර හොබවා තිබේ.
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේ කටයුතු කර තිබෙන ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.
ඇය 1980 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළද 1984 වසරේ ලෝක විවාහක කිරුළ මෙන්ම රූප රාජිනියක ලෙස ජාත්‍යන්තර කිරුළු කිහිපයක් ලබාගත් කාන්තාවකි.
එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ සංවිධායකවරිය වූ රෝසි සේනානායක වෙනුවට මේවනවිට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පත්කර ඇත.

ඉන්ධන කෝටාවේ වෙනසක්
ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළෙඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.
මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදා හැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මූල්‍ය තත්ත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
Page 183 of 460