V2025

පුවත්

යෝජනාවට 123ක් පක්ෂයි : ජනක දොට්ට !

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය වැඩි ජන්දයෙන් සම්මත විය.

අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් සිදුකළ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා වන ඡන්ද විමසීම පැවැත්විණ.

එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ලැබුනේ ඡන්ද 77ක් පමණි.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.

තගක් දාලා ගහන්නත් ගිහින් : දයාසිරිට එරෙහිව පැමිණිල්ලක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට ඊයේ (23) පැමිණිල්ලක් යොමුකර ඇත .

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය කටයුතුවල නිරත නිලධාරියෙකු විසින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ මෙම පැමිණිලිකරු වයස අවුරුදු 37ක් වන ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් තමාට පහරදීමට උත්සහාගත් බවත් එහිදී කිහිප දෙනෙක් එය වැලැක්වූ බැවින් පහරදීමට නොහැකි වූවත් ඔහු පොලීසියට පවසා තිබේ. මන්ත්‍රීවරයා අනතුරුව තමාට තර්ජනය කළ බවද ඔහු සිය පැමිණිල්ලෙහි දක්වා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චම්පිකගේ පැන්සලට ගම්මන්පිල සුබ පතයි !

චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් ඊයේ (22) දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ වතාවෙවත් මේ සංවිධානයවත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ එතුමා බිහිකරන 12 වෙනි සංවිධානය. එම සංවිධාන 12 න් 43 සේනාංකය හැරුණු විට අනික් සංවිධාන මහපොළවේ නෑ. ඒවානම් 1992 – ජනතා මිතුරෝ 1995 – ජාතික සංඝ සභාව 1996 ජාතික දහම් ගුරු සභාව 1998 ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය 2000 සිහළ උරුමය 2001 ජාතික සංඝ සම්මේලනය 2002 ජාතික විද්වත් සභාව 2004 ජාතික හෙළ උරුමය 2015 යහපාලන සඳහා ජාතික පෙරමුණ 2019 ජාතික මග 2021 43 සේනාංකය 2023 ජනරජ පෙරමුණ බිහිකලා. එතුමා පිහිටවූ මුල් සංවිධාන 10 ට අත් වූ සෝචනීය ඉරණම අත් නොවී එතුමන්ගේ නව පක්ෂයවත් චිරාත්කාලයක් පවතීවා කියලා අපි ප්‍රාර්ථනා කරණවා”

මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රන් තොගයක් සමඟ මාට්ටු !

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රන් කිලෝග්‍රෑම් 3.5ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේ දී අද (23) රේගු භාරයට ගෙන ඇත.

මෙම මන්ත්‍රීවරයා මැද පෙරදිග සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස රේගුව විසින් රඳවා ගත් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙට (24) පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩුව පාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවීම අනිවාර්යය කරන ඉරි තුනේ නිවේදනයක් මේ වන විට නිකුත්කර ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ ඒ සඳහා බවත් දැනගන්නට ඇත.

සජිත් මෝඩයි - අනුරට රට දෙන්න : කොටුවේ පොඩි සාදු කියයි !

සජිත් ප්‍රේමදාස මහතා යනු දේශපාලන විඥානයක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ගත් දේශපාලන තීන්දු වලින් ඔහු මෝඩ පුද්ගලයකු බවට පැහැදිලි වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමි පවසයි.

එම හිමිනම මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමට මෙවර ජනතාව අවස්ථාව දී බැලිය යුතු බවත් එම හිමිනම පවසයි.

එසේම ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත් ජෙරොම් ප්‍රනාන්දු වැනි මූලධර්මවාදීන් විසින් එය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවද සඳහන් කර ඇත.

රනිල්ගෙන් පසුව එජාප විකල්පය රවී !

රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක හැර විකල්පයක් නැතැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අවධාරණය කර සිටියි.

සරත් මනමේන්ද්‍ර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“රවී කරුණානායක කියන්නේ උගත්, බුද්ධිමත්, විනයගරුක, අවංක, නිහතමානී, ඉතාම ආචාරශීලී සහ විශාල දේශපාලන පෞර්ෂයක් තිබෙන ප්‍රබල දේශපාලන නායකයෙකු බව කිව යුතුයි. ඇත්තටම ඔහු දෙවැනි වන්න එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි. රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක හැර විකල්පයක් නොමැති බව පැහැදිලිව කිව යුතුයි.

එමනිසා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරය හෝ ඒ හා සමාන ප්‍රබල තනතුරක් රවී කරුණානායකට ලබා දී ඔහු ඉදිරියට ගෙන පක්ෂයේ දේශපාලන අනාගතය තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බව අපගේ ස්ථාවර යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දුන්නොත් අපේ නව සිහළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ බලවේග රැසක් එම පක්ෂය වට එකට ඒකරාශී වීමට සූදානමින් සිටිනවා.

රවී කරුණානායක මහතාට ජාතික සහ ජාත්‍යන්තර සම්බන්ධතා රැසක් තිබෙනවා. සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් ඔහු වටා එකට ඒකරාශී වී සිටිනවා. සියලු පාර්ශවයන් එකට ඒකරාශී කිරීමට ඔහුට හැකියාවක් සහ ශක්තියක් තිබෙනවා. ඔහුට හොඳ පළපුරුද්දක් සහ කළ පුරුද්දක් තිබෙනවා.

ඇත්තටම රවී කරුණානායක කියන්නේ දුප්පතාගේ හිතවතා. ඔහු පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටිනවා. අන්ත අසරණ දුප්පතුන්ට ඔහු සිය පෞද්ගලික ධනය, සම්බන්ධතා, කාලය සහ ශ්‍රමය කැප කර උදව් උපකාර කරන්නේ හරියට සිටුවරයෙකු ලෙස බව කිව යුතුයි.

රවී කරුණානායක කියන්නේ අපේ රට විතරක් නොව මුළු ලෝකයම පිළි ගත් නායකයෙක්. ඔහු ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස ද ගෞරව සම්මානයට පාත්‍ර වුණු අද්විතීය පුද්ගලයෙක්. නිදහස් ශ්‍රී ලංකාවේ කිසිම මුදල් ඇමතිවරයෙකු එවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වී නැහැ.

රවී කරුණානායකට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්, වගකීමක් සහ කාර්ය භාරයක් ලබා දී ඔහු පක්ෂයේ ඉදිරියට ගත යුතු බව අප අවධාරණය කර සිටින්නේ මේ පසුබිම මතයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තීරණය ගනු ඇතැයි අප බලාපොරත්තු වනවා.”

– Media unit

ජූලි සිට සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට එක්වෙමිනි.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ගේ අධීක්ෂණය යටතේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවා ඇත.

‘අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40% ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍ය අධාර ලබාදීමට නියමිත අතර අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබා දෙයි.

'101 කතා' වැඩසටහනේ දී යොමු කළ ප්‍රශ්නයකට සුබසාධක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ‘අස්වැසුම' ප්‍රතිලාභීන් තෝරා ගැනීම මධ්‍යම දත්ත පද්ධතියක් මගින් සිදුවන නිසා දේශපාලන හිතවත්කම් මත ආධාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් ඇතුළත් කළ නොහැකි බවය.

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය ජුලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්‍රතිලාභ අහිමි විමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සදහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.

එවන් අයෙකු සිටි නම් ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කල විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරිමට හෝ ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ජිවත්වීම සදහා මූල්‍ය අධාර අවශ්‍ය ඇතමුන් මේ වන විටත් ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන්වලට ඇතුලත්ව නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා. දැනට සමෘද්ධි වැනි ප්‍රතිලාභ ලබන අය අතර දේශපාලන බලපෑම් මත ඇතුලත් කළ පිරිස් සිටින බවටත් චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට විසදුම් ලබා දෙමින් සමාජය විසින් රැක බලා ගත යුතු අයට අධාර ලබා දිමේ අරමුණින් තමයි මේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළේ. මේ සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ගිය අගෝස්තු මස සිට අයැදුම්පත් කැඳවූවා. එහිදී ලක්ෂ 37 කට වැඩි පිරිසක් අයැදුම්පත් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් අස්වැසුම මොබයිල් ඇප් එක ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අදායම් - වියදම් ගැන දත්ත ලබා ගෙන තිබෙනවා.

මේ අනුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත් කළ විශේෂ කමිටුවක් තුළින් තවදුරටත් සත්‍යාපනය කරනවා. අනතුරුව “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයකම වගේම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ (https://www.wbb.gov.lk/ ) ප්‍රදර්ශනය කරනවා. එහිදී අයදුම් කල කෙනෙකුගේ නම නොමැති නම් හෝ ආධාර ලැබීමට නුසුදුසු අයෙකු සිටිනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිලාභ ලැබිය යුතු කිසිවකු අත්නොහැරෙන ආකාරයට තමයි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එය තමයි මෙහි විශේෂත්වය. ඒ වගේම පළමු වතාවේ අයැදුම්පත් ඉදිරිපත් කරන්න නොහැකි වුණා නම් ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඒ බව අපි පුවත්පත් හා මාධ්‍ය මගින් දැනුම්වත් කරනවා.”

28 වන දේශගුණික විපර්යාස සමුළුවට (COP 28) ජනපතිට ඇරයුම් !

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ රාජ්‍ය නායක සැසිය සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආරාධනා කර තිබේ.

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි (Khaled Nasser AlAmeri) විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා ඩුබායිහි එක්ස්පෝ සිටීහි දී ආරම්භ වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින සැමරුමට සමගාමීව එහි රාජ්‍ය නායක සැසිය දෙසැම්බර් 01 සහ 02 දෙදින පැවැත් වේ.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC) අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේදී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

පරිවර්තනීය හවුල්කාරිත්වයන්හි නියැලීමට සහ නව්‍ය, සාධාරණ විසඳුම් සඳහා දායක වීමට සියලුම පාර්ශ්වකරුවන්ට සමාන අවස්ථා ලබා දීම මෙම සමුළුවේ අරමුණයි. ලොව පුරා තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් පවත්වාගෙන යාම මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර තිබේ.

සාගල කොළඹට !

එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබේ.

ඔහු මීට පෙර නියෝජනය කළේ මාතර මැතිවරණ දිස්ත්‍රික්කය ය.

බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අවස්ථාවේ එහි සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම ධුරය සඳහා පත්කරගෙන ඇත.

බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

IMF නියෝජිතයන් ලංකාවේ ආර්ථිකය ගැන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසයි.

පීටර් බෘෘවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්‍රධානත්වයෙන් මැයි 11 වනදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද ( 23) සිය සංචාරය නිම කරඇත.

ඔවුන් මෙරට සිටි කාලය තුල රටේ ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සඳහන්කර ඇත.

නව පාර්ලිමේන්තු මහලේකම්වරිය රාජකාරී අරඹයි

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ කුෂානි රෝහණදීර  සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද(23) පෙරවරුවේ සිදුවිය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන  ඉදිරියේ නව මහලේකම්වරිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද එක්කිරීම සිදු කළහ. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, කථානායකවරයා විසින් සහතික කිරීමට නියමිත රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සත්‍ය පිටපතක් බව සහතික කරමින් ඇය පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා, රෝහණදීර මහත්මියගේ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර , 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන  නිවේදනය කළේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බවද කථානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති රෝහණදීර,  කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. එසේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B.) උපාධිය ද හිමි ඇය නීතිඥවරියකි.

1999 වසරේදී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට එක්විය. අනතුරුව සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යන තනතුරුවලට උසස්වීම් ලැබුවාය.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක, පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂවරයාගේ ලේකම්වරිය, ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ පුහුණුවීම් ලබා ඇත.


නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියර ඇරඹේ !

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ කටයුතු අද (22) ආරම්භ විය.

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් එහිදී මුල්ගල් තැබීම සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරයේ කටයුතු බොහෝ දුරට මෙම වසර අවසන් වනවිට නිමකිරීමට බලාපොරොත්තු වන බවය.

එසේම පර්යන්ත ඉදිකළ පමණින් වරායක් දියුණුවට පත් නොවන බවත් අමාත්‍යවරයා සිටියේය.

කෙසේ වුවත් නැගෙනහිර පර්යන්තය නිමකර අනෙකුත් පුද්ගලික පර්යන්ත සමග තරග කර ඉහළ ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

සජිත් ජනාධිපති අපේක්ෂක සජබට පමණයි : සන්ධානයේ නෙවෙයි - මනෝ

සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට සමගි ජන සන්ධානය මේ දක්වා තීරණය කර හෝ පිළිගෙන හෝ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.

නමුත් සමගි ජන සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගය තමන්ගේ පක්ෂය තුළ ස්වාධීනව තීරණ ගැනීමට බාධාවක් නැති බවත් ඒ අනුව ඔවුන් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් සමගි ජන සන්ධානයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරනවාද යන්න තීරණය කළ යුත්තේ සියලු දේශපාලන පක්ෂවල නායකයන් විසින් එකතුවී බවද මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසන අතර මෙතෙක් එවන් තීන්දුවක් ගෙන නැති බවත් එවැනි තීන්දු ගැන සාකච්ඡා කිරීමට ආරාධනාවක් ලැබී නැති බවත් පවසයි.

අන්තරේ නව කැඳවුම්කරු කවුද ?

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය තුළ කාලයක් තිස්සේ බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස සිය දේශපාලන කටයුතුවල නිරතවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය පසුගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති කාලසීමාවේ දී මෑත ඉතිහාසයේ දී අන් කවරදාටත් වඩා සාකච්ඡාවට බඳුන් වූ සංවිධානයකි.

එවකට එහි කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස හයකට ආසන්න කාලයක් රඳවා තබා ගැනුණි.

මේ වනවිට නැවතත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟී ඇත්තේ එහි නව කැඳවුම්කරුවෙකු පත් වීමත් සමග යි.

මැයි 14 දින වසන්ත මුදලිගේ සිය නිල ධුර කාලය අවසන් වීම හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමග නිලවරණයක් කැඳවා තිබූ අතර, මැයි 20 දින නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මධුෂාන් චන්ද්‍රජිත් පත් වූ බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිවේදනය කර තිබුණි.

නව කැඳවුම්කරු මධුෂාන් යනු කවු ද?

මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ අවසන් වසර සිසුවෙකු වන අතර, ඔහු විශ්විද්‍යාලයයට ඇතුළත් ව තිබෙන්නේ 2019 වසරේ දී යි.

ඔහු ඇඹිලිපිටිය, තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වීරකැටිය ජාතික පාසලෙන් පාසල් අධ්‍යාපනය ලබා තිබේ.

තමා විශ්වවිද්‍යාලයයේ පළමු වසරේ සිට ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ වී ක්‍රියාකළ බව ඔහු බීබීසී සිංහල සමග පැවසුවේ ය.

"අවසන් ජයග්‍රහණය තෙක් අරගලය ඉදිරියට ගෙන යනවා"

ශිෂ්‍යයන්ගේ අධ්‍යයන, සුබසාධන ගැටලු හා වර්තමානය වනවිට ජනතාව මුහුණ දෙන ගැටලුවලට එරෙහි ව ගෙන ආ අරගලය අඛණ්ඩව සිදු කරන බවට නව කැඳවුම්කරු මධුෂාන් පැවසුවේ ය.

"මේ තියෙන අර්බුද පරාජය කරමින් වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් ජනතාවට කළ හැකි එකම දේ අරගලය විතරයි. කැමති වුණත් අකමැති වුණත් අර්බුදයට උත්තර හොයන වෙන පාරවල් ජනතාවට ඉතිරි වෙලා නෑ," ඔහු පැවසුවේ ය.

"වඩාත් හොඳින් ශක්තිමත් ව ජනතාව සංවිධානය කරමින් අවසන් ජයග්‍රහණය තෙක් අරගලය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා."

ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍ය නායකයෙකුගෙන් පසු ව එම තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව අපි ඔහුගෙන් විමසුවෙමු.

එහි දී ඔහු පැවසුවේ කැඳවුම්කරු යනු වගකීමක් මිස තනතුරක් නොවන බව යි.

"වසන්ත සහෝදරයා ඔහුට පුළුවන් උපරිම සාධාරණය ඒ වගකීමට ඉටු කළා. දැන් ඒ වගකීම අපේ උරමතට ඇවිල්ලා. පැවරුණු වගකීම ඒ විදිහට ඉටු කරද්දි අලුත් වටිනාකම් එකතු වේවි."

"නවක වදය තුරන් කරන්න අභ්‍යන්තර සංස්කෘතික අරගලයක් කරනවා"

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ නවකවද චෝදනාව යි.

සෑම වසරක ම මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වාර්තාවන අතර, ඇතැම්විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන්ට පවා නවකවද චෝදනා එල්ල වී සිරගතවන්නට, පන්ති තහනම් වීමට සිදු ව තිබේ.

එම චෝදනාව සෘජුව ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට ද එල්ල වන බැවින්, නවකවදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් කිරීමට සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳව නව කැඳවුම්කරුගෙන් බීබීසී සිංහල විමසීමක් සිදු කරන ලදී.

එහි දී ඔහු පැවසුවේ නවක වදය යනු ශිෂ්‍ය ව්‍යාපාරවලින් සිසුන් ඈත් කරන්නක් බව යි.

"නවකවද සිදුවීම් වැනි විශ්වවිද්‍යාල තුළ තවමත් ශේෂ වෙලා තියෙන පසුගාමී සංස්කෘතික අවශේෂයන් ශිෂ්‍ය ව්‍යාපාරයට බරපතල අභියෝගයක්ව තියෙනවා," මධුෂාන් පවසයි.

"ඉදිරිගාමී නව සංස්කෘතික ප්‍රවේශයක් සඳහා වන සංවාදයක්, අභ්‍යන්තර සංස්කෘතික අරගලයක් ක්‍රියාත්මක කළ යුතු යි."

නව කැඳවුම්කරු පත් කිරීම ගැන විවාදයක්

කෙසේ වෙතත්, මේ වන විට නව කැඳවුම්කරු පත් කිරීම විනිවිදභාවයකින් තොර ව සිදු වූ බවට ඇතැම් අය සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබෙන අතර, විවිධ වෙබ් අඩවි ද එවැනි ප්‍රවෘත්ති පළකර තිබේ. එම පත් කිරීම සඳහා සියලු විශ්වවිද්‍යාල එදින සම්බන්ධ නොවූ බවට බොහෝ වාර්තා පළවී තිබේ.

කෙසේ වෙතත් මධුෂාන් පවසන්නේ එය හුදෙක් මඩ ගැසීමේ අරමුණින් සිදු කරන ප්‍රචාරයක් පමණක් බව යි.

"ඉතා ම පැහැදිලිව කියන්නෙ, අන්තරේ නිලවරණය සඳහා, අඛණ්ඩව අන්තරේ නියෝජනය කරන සියලු ශිෂ්‍ය සංගම් සම්බන්ධ වුණා," ඔහු පවසයි.

කොළඹ, යාපනය වැනි විශ්වවිද්‍යාල කිහිපයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ව්‍යූහය තුළ නොමැති නිසා එවැනි විශ්වවිද්‍යාල නිලවරණයට සම්බන්ධ නොවූ බව ඔහු පැවසුවේ ය.

"අන්තරේ නිල ව්‍යූහයේ නැති කිසිඳු ශිෂ්‍ය සංගමයක් අන්තරේ කැඳවුම්කරු පත් කරන්න එන්නෙ නෑ. ඒක අලුත් දෙයක් නොවෙයි." ඔහු කියා සිටියේය.

මූලාශ්‍රය - බීබීසී

50d584f0 f886 11ed 92cc b3a9bf1f67e9

පුංචි ඡන්දය කල්දැමීම නිසා පාසල් ළමුන් පීඩාවට පත්වෙලා - ටිල්වින්

වත්මන් රජය විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමිම මගින් පාසල් ළමුන් සහ දෙමව්පියන්ද පීඩාවට පත් වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (21) ජාතික ජන බලවේගය විසින් කොත්මලේ නව තිස්පනේ නගරයේ පැවැත්වූ රැස්වීමක් අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නාම යෝජනා කැද වු අවස්තාවේ පළාත් පාලන ආයතන වල තරග කිරිමට ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් ගණනාවක් නාම යෝජනා පත්‍ර භාර දි ඇති බවයි.

එසේ නාම යෝජනා භාරදුන් ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් එම ආයතන වල වෙනත් අංශ වලට යොමු කිරිමට පියවර ගැනිමත් සමග පාසල් වල ඉගැන්විම් කටයුතු සිදු කිරිමට විෂය භාර ගුරුවරුන් නොමැති නිසා පාසල් ළමුන් සහ එම ළමුන්ගේ දෙමව්පියන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් පැවැත්විමට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ව්‍යවස්ථාන අනුව බලයක් නොමැති බවත්, පවත්වන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ජාතික ජන බලවේගය සුදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

උද්ධමනය පහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී ඇත.

ටිරාන් ජෙරම් ගැන තදින් හිටියි !

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳ සමාව අයදින බව පැවසූ පමණින් ඔහු සම්බන්ධව පැවැත්වෙන විමර්ශන නැවැත්විය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

"කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්‍රකාශනය ගැන එතකොට ඔහුගේ තව දේවල් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සියලු දේ CIDයෙන් විභාග කරනවා. එතකොට උසාවියෙන් තමා විදේශ ගමන් තහනම ලබාදී තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි සාමාන්‍ය ක්‍රමය ඕනෑම පුද්ගලයෙක් ලංකාවට ආවහම එයාර්පෝට් එකට ආවහම එතැනින්ම ඔහුව CIDයට භාරදෙන්න. එතකොට CIDය පරීක්ෂණ කරලා, කටඋත්තර ලියලා ඔවුන් තීරණය කරයි මෙයාව ගෙදර යවනවා ද? උසාවි දානවද කියලා. ඒක CID වැඩක්."

ඉන්ධන සඳහා Sinopec සමග ශ්‍රී ලංකා රජය ගිවිසුම්ගත වෙයි

Sinopec Fuel Oil Lanka (Pvt) Ltdහි චීනයේ හා සිංගප්පූරුවේ පිහිටි මව් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද අද (මැයි 22) අත්සන් තබා ඇත.

කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව මෙම දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

සයිනොපෙක් සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර අද (22) අත්සන් කළ ගිවිසුම අනුව සයිනොපෙක් සමාගමට වසර 20ක කාලයක් සඳහා මේ දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මෙහෙයුම් කටයුතු සිදුකළ ඉන්ධන පිරවුම්හල් 150ක ක්‍රියාකාරීත්වය සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමට අවසර හිමිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සයිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

Page 185 of 460