V2025

පුවත්

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරනවා - ජනපති

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.

මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුනේ 1994 වසරේ මම අගමැති ධූරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මිය යාමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.

ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැදී සිටින බව ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

2003 වසරේදී නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු එස්.පී. ටාඕ මහත්මයා මට මුණ ගැසුණා. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්‍යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්‍රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා.

මේ ප්‍රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්‍රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්‍රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්‍රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය මට හුරු පුරුදු තැනක් බවට පත්ව තිබුණා.

මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.

මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්‍රදේශය වගේම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා, අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්‍යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.

මෙම ව්‍යාපෘතිය දියත් කළ සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි, මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි.

විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්‍යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්‍රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.
නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් බව කිවයුතුයි.

ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ.

1977දී මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මගින් ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බිගයම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.

හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්‍ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්‍රණය කඩා වැටුණා.

සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්‍රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන්ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා.

කටුනායක හා බියගම ආයෝජන කලාප දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කරන අතරම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්‍රීකුණාමලයට ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. වෙනම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එකම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළයුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක බදු නිදහස ලබා දෙන්න අවශ්‍ය නැහැ.

ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින් ක්‍රියාශීලී කාර්යංශයක් හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ අවධානය යොමු කරනවා.

මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට හැකි වුණේ හොඳ යාන්ත්‍රණයක් තිබු නිසයි. ඒ නිසා අපි ආයෝජන සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නීති වෙනස් විය හැකියි. එවිට රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකියි. නමුත් අපට වේගවත් ආර්ථක වර්ධනයක් අවශ්‍යයි. මොකද අපේ ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ පාපන්දුවක් නම් ඔබ පහර දෙන විට එය පහළට වැටෙනවා. ඒ වගේම ඉහළ යනවා. එයයි සිදු විය යුත්තේ. සමහර අය අපව අතහැර යනවා. අපට එය නැවැත්විය නොහැකියි. අපි නවකයින් පුහුණු කරමු. අපි අධ්‍යාපනය නව්‍යකරණය කරනවා. ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන අතර තුර අධ්‍යාපනය නවීකරණයට කටයුතු කර තිබෙනවා.ඒ වගේම ආර්ථිකය නවීකරණය පිළිබඳවත්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත නවීකරණය පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා.

ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමටත් අපට සිදු වේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකාව ආයෝජනයට මිත්‍ර රටක් බවට පත් කිරීම සඳහා. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමග ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායම ද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණය ගැනීම් විෂම චක්‍රයෙන් ඉවත් විමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විදිය නොහැකියි. එම නිසා ආයෝජන ප්‍රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිදීමට අපි සැලසුම් සහගතව කටයුතු කරමු.

එස්. පී ටාඕ මහත්මයාට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂි භාවයක් තිබුණා. ඔහු විවිධ අධ්‍යයනයන් සිදු කර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්‍යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mireka Tower

තිරිඟු පිටි මිළ යළිත් පහළට....

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවය.

ගෙවුණු සතියක කාලය තුළ පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් අලෙවි වන්නේ පෙර මිල ගණන්වලටය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ රුපියල් 25න් අඩුකළ බවය.

ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුවෙයි.

පසුගිය සිකුරාදා ද තිරිඟු පිටි මිල රුපියල් 85කින් අඩු කළ අතර ඒ අනුව දින 7 ක් තුළ පිටි මිල රුපියල් 110 කින් පහළ බැස තිබේ.

මේ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පාන් පිටි සහනය පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කර සිටී.

ගෝඨාගේ ඉටුකම අරමුදල වසා දැමේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ආරම්භ කළ “ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එම අරමුදලේ නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන ගිය අංක 85737373 දරණ නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් 18 වනදා සිට ක්‍රියාත්මක නොවන බවයි එම අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේය.

එහෙයින් එම ගිණුමට මුදල් බැර නොකරන ලෙසත් එම ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත් හා මුදල් තවදුරටත් ජනාධිපති කාර්යාලය වෙත නොඑවන ලෙසත් ඒ  පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉටුකම අරමුදල සඳහා රුපියල් 2,207,164,785.58 ක මුදලක් ලැබී තිබුණු අතර 2018 ඔක්තෝබර් 18 වනදා වනවිට එහි රුපියල් 216,877,431.05 ක මුදලක් ඉතිරිව තිබී ඇත.

එම මුදල ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ඒ මුදල මෙරට ජනතාවට ජනාධිපති අරමුදල මගින් සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර වශයෙන් ලබාදෙනු බවත් සඳහන් කළේය.

22ට ශ්‍රීලනිපයත් පක්ෂයිලු

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම තීන්දුව රජය ශක්තිමත් කිරීමක් නොවන බව කී මෛත්‍රිපාල සිරිසේන  22 වන සංශෝධනය ජනතාවගේ පැත්තෙන් හොඳ සංශෝධනයක් වන හෙයින් ජනතාවගේ පැත්තේ සිට ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බවද මෛත්‍රීපාල  සිරිසේන  කීය.

මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි දෙවතාවක් සංශෝධනය වී ඇති අතර එයින් වැඩි හරියක් සංශෝධන සිදු වුයේ ජනතාවගේ ඕනෑ එපාකම් සඳහා නොවන බවද මෛත්‍රීපාල සිරිසේන  කීය.

එංගලන්ත පාර්ලිමේන්තුව ලිඛිත ව්‍යවස්ථාවක් නොමැතිව අවුරුදු සිය ගණනක් රට පාලනය කරන බවද හිටපු ජනාධිපති සිරිසේන සඳහන් කළේය.

තිළිණිගේ ගනුදෙනුවල අපි නෑ - නාමල්

තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (19) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහිදී පැවසීය.

තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයිද මන්ත්‍රීවරයා කීවේය.

මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ දේශපාලනඥයන්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බවද සඳහන් කල මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බවද පැවසීය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට : ඇමරිකාවේ අඛණ්ඩ සහය !

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) සඳහන් කළේය.

ඩොනල්ඩ් ලූ මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දීය.

මෙම හමුව අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී Julie Chung, දේශපාලන හා ආර්ථික උපදේශක Susan Walke ද ඊට එක්ව සිටියහ.‍

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සිය ස්තූතිය පළකර ඇත.

ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනමා තිබේ.

අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම අපේක්ෂාව බව සඳහන් කළ ඩොනල්ඩ් ලූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය ද ඇගයීමට ලක් කළේය.

තිළිණිට සල්ලි දුන්න දේශපාලනඥයන් ගොළු වෙලා !

‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා ඉදිරියේ අද (19) කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

තම දෙපාර්තමේන්තුව භාරයේ ඇති සැකකාරියගේ ජංගම දුරකතනයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම කරුණු අනාවරණය කරගෙන ඇති අතර, ඊට අදාළ හඬ පට, කෙටි පණිවිඩ, ඊමේල් සහ වට්ස්අප් පණීවිඩ රාශියකින් මේ බව හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අදාළ දේශපාලනඥයන් සැකකාරියට මුදල් ලබාදී නැවත ඒවා ඉල්ලීමේ දී ඇය ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින්, මුදල් දීම මග හරිමින් සිටින බවට එම හඬපටවලින් සහ කෙටි පණිවිඩ මගින් තහවුරු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක දී සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ මුදල් ලැබුණේ කෙසේද? ඒවාට සිදුවූයේ කුමක්ද? එම මුදල් කළු මුදල් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

සතොස ආහාර වර්ග 6ක මිල පහළට !

ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එම ආයතනය පවසයි.

ඒ අනුව සුදු ලූණු කිලෝවක් රුපියල් 60 කින් ද, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 55 කින් ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් ද, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30 කින් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් ද, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද, මිල අඩු කිරීම සිදුකර ඇත.

සුදු ලූණු කිලෝවක් රුපියල් 490 කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 320 කට, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 1,450 කට, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 285 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 260 කට සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169 කට ලංකා සතොස ඕනෑම ශාඛාවකින් මිලදී ගැනීමට හැකියාව ඇති බව ආයතනය පවසයි.

22 ට පොහොට්ටුවේ සහය නෑ !

පාර්ලිමේන්තුවේදී 20-21 යන දෙදින විවාදයට ගැනීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් අද (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අවස්ථාවේය.

එහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසා ඇත්තේ ,ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවය.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බව පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අදහස් දක්වමින් පවසා ඇත්තේ,විසිදෙවැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමට සවන්දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ,කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගන්නා ලෙසය.

සෘජු බදු වැඩි නොකළොත් වෙනදේ : ජනපති පහදයි !

ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදුවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන ජපානය, චිනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.

ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.
එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් - 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.

නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.
රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% - 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනව නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.
ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදු වලින්.

විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදු වලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක - 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.

නොනගතේ බෝල ගැහුව සජිත්‍ට පාඩමක් !

ඊයෙ පාර්ලිමේන්තුවේදි විවාදෙට ගත්තේ, ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත. ඒකත් එක්තරා ආකාරයක ආන්දෝලනාත්මක පනතක්. ඒත් ජන්ද විමසීම උඩින්ම දිනුම්. ඒත් ආණ්ඩු පක්ෂයේ හැමෝගෙම ඔලුවෙ තිබ්බෙ, 22 ක ගැන. විපක්ෂයෙ සමහරුත් එහෙමයි .

ඇත්තටම මොකෝ මචන් වෙන්නෙ.

මොකද මල්ලි අපි දැන් කරන්නෙ.

ඈ ...සර් කොහොමද දැන් අපි මේ වැඩේ කරන්නෙ.

දීලත් බෑ නොදිත් බෑ...

අත කැපුවත් මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..

පාර්ලිමේන්තු කොරිඩෝවල ඇහුණෙ, ඔන්න ඔය වගේ කතන්දර .

කොහොමින් කොහොමහරි ජන්දෙ දෙන්නෙම නෑ කියල සමහරු දැනටමත් කියල ඉවරයි .

22 ගේන්නෙ ජාත්ත්‍යන්තරය දිනා ගන්න කියන කතාවත් බොරුවක් වෙලා තියෙන්නෙ .පෙරේදා කණ්ඩායම් රැස්වීමෙදි ජාත්ත්‍යන්තර කතාව බොරුවක් බව වජිර අබේවර්ධන ඒක තහවුරු කලා.

සජබෙ නම් ජන්දෙ දෙනව කියලයි දැනට ආරංචිය. සජබෙ දුන්නොත් අපි දෙන්නෙ නෑ කියලත්, ආණ්ඩුවෙ කට්ටියක් කියනවලු.

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තැනට 22 කැරකිලා තියෙන්නෙ.

සජිත් ඇතුලු සජබෙ සහාය නිල වශයෙන් ගන්න, රනිල් ලොක්කගෙ වැඩි කැමැත්තක් නෑලු. මොකද සජිත් ළග නැවෙන්න රනිල් අකමැතියිනෙ. පක්ෂය කඩල ගත්ත එකට, රනිල් තාමත් ඉන්නෙ සජිත් එක්ක මලපැනල. පෙරේදා කණ්ඩායම් රැස්වීමෙදිත් මොකක්දෝ කතාවක් මැද්දෙ රනිල් සජිත්‍ට හොඳ ටොක්කක් ඇණලා ..

''කලු කණ්නාඩි දාගෙන, ඉස්කෝලෙ ළමයි දාන බෝල්වලට ගැහුවට රටේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ කියල එයා දැනගන්න ඕනි.''

රනිල් මේ හින්ට් එක ගැහුවෙ, පහුගිය දවසක සජිත් ඉස්කෝලෙක ක්‍රිකට් ගහන නිව්ස් එක දැකල වෙන්නෙ ඕනි....

කොහොමහරි ආණ්ඩුවෙ වැඩි පිරිසක් තාම කියන්නෙ 20 ටත්, ජන්දෙ දීල ආයේ ඒකෙම අනික් පැත්ත කරන්න , 22 ටත් දෙන්න බෑ කියලලු. ඒකෙත් ඉතින් පොඩි ඇත්තක් නැත්තෙම නෑ.

 දේශපාලන වාර්තාකරු

තිළිණිගේ හමුව නාගානන්දට මතක නෑ !

තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමඟ තමන්ගෙ පින්තූරයක් ගන්නා ලද්දේ කුමන අවස්ථාවේද තමන්ට මතක නැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි .

ඔවුන් හමු වූයේ කෙසේදැයි මතක නැති බවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන් ඇය වෙත මුදල් ආයෝජනය කිරීමක් හෝ කිසිදු ව්‍යාපාර කටයුත්තක නිරත නොවූ බවද ඔහු සඳහන් කර සිටියි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ වුවත් රුපියල් බිලියන ගණනාවක මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිළිණි ප‍්‍රියමාලි රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

ඊට අදාළ වැඩිදුර විමර්ශන ද සිදුවෙයි .

ගෝඨාභයට නොතීසි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත .

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් ඇති නඩුවක් පෙත්සමක් සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

වාර්තා වන ආකාරයට ලලිත් හා කුගන් යන මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳව පැවැත්වෙන නඩු විභාගයේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දරද්දී කැඳවීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් තීන්දු කර ඇති තීන්දුව බල රහිත කරමින් ඔහු අධිකරණයට කැඳවන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දෙසැම්බර් මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසයි.

ජාතික නායකයෙකුට වේකන්සියක් !

පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂ හා ස්වාධීන කන්ඩායම් ගනනාවක් එක එක පැතිවලට බෙදිලා , අච්චාරුවක් වෙලා තියෙන නිසා, ඊලඟ මැතිවරණයකදී, කාට බලය යයිද කියන එක ගැන, ඔය ඩීලස්ලා, රෑට රෑට සෙට් වුනාම, කතාවෙන ප්‍රධානම ටොපික් එක ලු..

සාමාන්‍යයෙන් දේශපාලනයේදී, කන්ඩායමකට හිස ඔසවන්න, ජාතික තලයේ නායකයෙක් ඕනේ. නමුත් අද ජාතික තලයේ නායකයෝ ඉන්නේ, බොහොම කිහිපදෙනයි. මෙන්න මේ හේතුව නිසා තමයි, සමහරු චන්ද්‍රිකා , ගෝටාභය වගේ හිටපු ජනාධිපතිලව, ආපහු දේශපාලනයට ගේන්න උත්සාහ කරන්නේ.

පහුගිය දිනවල, ගෝඨාගේ පරණ හිතවත්තු සැහෙන පිරිසක්, ගෝඨා හම්බ වෙන්න ගිහින් , ආයේ දේශපාලනයට එන්න කියලා , ආරාධනා කරාලු. මුලින් මුලින් නම්, ගෝඨා කියලා තියෙන්නේ මම කිසිම දවසක, ආයේ දේශපාලනයට එන්නේ නෑ කියල..

හැබැයි දැන් දවස් දෙක තුනකට කලින්, ගෝඨා තමුන්ට ඉතාම හිතවත්, කේන්දර ඔස්තාර් කෙනෙක්ට කතා කරලා , පොඩ්ඩක් වෙලාව බලල දෙන්න කියල , කියල තියනව ලු..

කොහොමටත් ඔය ලොකු පුටුවල හිටපු අයට, ඒක නැති වුනාම ටික කාලෙකින්, ආයේ ආසාව එනවා. පේන්නේ නැද්ද මහින්ද. තාම දාල යන්න බෑනෙ. ඒ නිසා ගෝටටත් ආ‍යේ ආසාවක් හිතුනොත්, පුදුම වෙන්න දේකුත් නෑ. හැබැයි වැඩේ තියෙන්නේ , ග්‍රවුන්ඩ් එකේ තියන විරෝධය තාම එහෙමට බැහැල නැති එක..

හැබැයි ආයෙත් ග්‍රවුන්ඩ් එක හදල දෙන්න , ගිනිගේලා ලොකු ට්‍රයි එකක් දෙන පාටක් තමයි පේන්න තියෙන්නේ ..

-දේශපාලන වාර්තාකරු

ඖෂධ නිෂ්පාදනයට විදෙස් ආයෝජකයන්ට අවස්ථාව !

දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු වැනි රාජ්‍යයන්හි ආයෝජකයින් ඇතුළු විදෙස් ආයෝජකයන්ට මේ සඳහා අවස්ථාව සැලසී ඇතැයිද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජියෝං (Woonjin Jeong) අද(18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

ඉදිරියේදී දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා මේ වන විට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එම වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ඉහළ නංවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

එමගින් එක් එක් වකවානුවන්හි රට තුළ ඇතිවන ඖෂධ හිඟයන් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කොරියානු තානාපති වරයා හමුවේ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල දැක්වූ අදහස් :

කොවිඩ් සමයේ පටන්ම කොයිකා (koica) ව්‍යාපෘතිය හා කොරියානු රජයේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ උපකරණ රැසක් පරිත්‍යාග කළ බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් කීය. දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එවැනි වැඩපිළිවෙල ඉවහල් වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ගැටලුකාරී ආර්ථික අර්බුදය හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය විශාල වශයෙන් කැප වන බවත් ඒ අතරින් පෝෂණ තත්ත්වය ඉහළ නැංවමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී රජය ඒ සඳහා ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවත් හෙතෙම පැවසීය. පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ කාර්ය සාධක බලකායක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් යුනිසෙෆ් ආයතනය හරහා විශාල වශයෙන් සහයෝගය ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එමෙන්ම ත්‍රිපෝෂ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

කොරියානු තානාපති Woonjin Jeong දැක්වූ අදහස් :

කොවිඩ් වසංගත සමයේ දෙරටම නව අත්දැකීම් වලට මුහුණ දුන් බවත් අභියෝග හමුවේ කොවිඩ් වසංගතය ජය ගත් බවත් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බවත් පැවසීය.

කොරියානු රජය විසින් දැනටමත් නව රැකියා අවස්ථා නිර්මාණය කර හඳුන්වාදී ඇති බවත් ශ්‍රී ලංකාව සඳහා වැඩිවශයෙන් රැකියා වෙළඳපළ අවස්ථා ලබා දී ඇති බවත් මෙහිදී පැවසූ තානාපතිවරයා ඒ අනුව කොරියානු රැකියා කෝටාව ඉහළ නංවා ඇති බවත් කීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද එක්ව සිටියේය.

වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ අවුල ලිහයි !

විශ්‍රාම වයස සම්පූර් ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි .

අමාත්‍යවරයා අද (18) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවයේ මතුවිය හැකි ගැටලු සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර තිබූ ඇමති අනුකමිටුවේ වාර්තාව සළකා බලා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවය.

ඊට අනුව මේ වන විට වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් පමණක් දෙසැම්බර් 31 දින විශ්‍රාම යා යුතු බවත්, වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති අය, අවුරුදු 63දීත්, දැනට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 62 දීත්, වයස 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 61 දී සහ වයස අවුරුදු 59 සම්පූර්ණ වූ අය අවුරුදු 60 සම්පූර්ණ වන විටත් වශයෙන් තව වසරකින් විශ්‍රාම ලැබිය යුතුව ඇත.

මෙම සේවා දීර්ඝ කීරීම වසරකින් අවසන් වන අතර, ඉන්පසු රජයේ තීරණය පරිදි වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ලැබිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් පනත : ඉහළින්ම සම්මතයි !

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී අද (18) සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණි.

පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුලසුනෙන් ඉල්ලීමක් කළ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පනතට විරුද්ධව ඡන්දය භාවිත කළහ .

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දවස පුරා පැවැත්විණ.

ඉන්ධන ආනයනය කිරීම තවත් සමාගම් වලට පැවරීම සහ ගුවන්යානා ඉන්ධන වෙනත් අයට ගෙනවිත් ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම යනාදී කටයුතු සඳහා මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

ආනන්ද හිමි - ප්‍රියංකා ගැටුමේ : හෙළිනොකළ රහසක් !

ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන , තිළිණි ප්‍රියමාලි ගේ කතා , එකින් එක එලියට එනකොට, ඔය පොලිටීෂියන්ස්ලා, ඩීලස්ලා , නළු-නිලියෝ , දොස්තරලා වගේ වෘත්තියවේදීන් වගේ , මේ කී නොකී සෑහෙන කට්ටියකගේ රෙදි, එකින් එක ගැලවිලා යද්දී , ඔන්න අපේ ජනප්‍රිය සාදු වහන්සේලා කිපනමකගේ පැටිකිරියත්,, එලියට එන්න පටන් අරන්.

අලුත්ම බයිට් එක රටම දන්න සාදු කෙනෙක් . වීඩියෝ එකින් එක එලියට එනකොට තමයි කාගේ කාගේත් තරම පේන්නේ .

මුල්‍ය වංචා චෝදනා මත,, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, තිළිණි ප්‍රියමාලි, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදු ගේ,, සුඛෝපභෝගී ජීප් රථයක් අරගෙන ගිහින්, වංචාවක් කරලා කියලා, ජවිපෙ වෘත්තිය සමිති නායක වසන්ත සමරසිංහ, පසුගිය දවසක මාධ්‍යවලට කියල තිබුනා.

වසන්ත සමරසිංහ ගේ කතාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදු වහාම ක්‍රියාත්මක වුනා. පන්සලට මාධ්‍යවේදීන් කැඳවලා , තිළිණි ප්‍රියමාලි ඕවට නෑ කිව්වා..

V8 එක උස්සන් ගියේ, තිළිණි ප්‍රියමාලි නෙමෙයි කිව්වා.

උන්වහන්සේ කිව්වේ, පොදුජන පෙරමුණ නියෝජනය කරන, කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී, ප්‍රියංකා ජයසේකර, ඒ ජීප් එක උස්සල , ගල් කළා කියලා.

ප්‍රියංකා ජයසේකරත් අත ඇරියේ නෑ .. තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රිටන් එක දුන්නා..

ගේම නම් ගේම කියාගෙන, ප්‍රෙස් එකක් තියලා, මුරුත්තෙට්ටුවේ සාදුව නැතිකළා..

තමන් V 8 එක සොරකම් නොකළ බවත්, සාදුගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක්,, පාඩු ලැබීමෙන් පස්සේ , අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස, උන්වහන්සේම තමන්ට V 8එක ලබාදුන්නා කියලත්, ප්‍රියංකා ජයසේකර කියනවා.

"මුලින්ම කියන්න ඕන, මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ... මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය කියන්නේ . ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා, මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම, මට ඔය වාහනය අරගෙන විකුණලා, මුදල් ටික ලබාගන්න කියලා තමයි, ස්වාමින් වහන්සේ මට කිව්වේ.

ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන සහ කතා කරපු සියලුම තොරතුරු, මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම.

වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි, ජීප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා.

ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා , මම වාහනය ගෙනල්ලා, ගැරෙජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට."

ප්‍රියංකා ජයසේකර ඒ විදියට මාධ්‍ය ඉස්සරහ ආනන්ද සාදුට දීලා ඇරියා.

මෙතනදී ප්‍රියංකා ජයසේකරත් හංගපු කාරණයක් තිබුනා. එකක් තමයි සාදුගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරය මොකක්ද කියන එක. ආරංචියේ හැටියට, ඒ දවස්වල මහින්දගේ කීමට පටන් අරන් තිබුන, රිවිර පත්තර ප්‍රොජෙට් එකට තමයි, ප්‍රියංකා සල්ලි දාලා තියන්නේ. පැතුම් එක්ක ලින්ක් එක හදල දීල තියන්නේ, ආනන්ද සාදු ලු.. ඒ වෙනකොටත් ඔය පත්තරේ කන්තෝරු කැල්ලක් තිබිල තියන්නේ පන්සලේ කොටසක ලු..

ප්‍රියංකා නොකියපු අනිත් කාරනේ තමයි, මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදුගේ, ඔය කියන V 8 ජීප් එක ගේන්න, පර්මිට් එක විකුනපු මන්ත්‍රීතුමා කව්ද කියන එක ? ඒ ගැන දන්නා කියන කව්රුහරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න .. මොකද ඒ කාරණෙත් හරිම වැදගත් ..

කොහොම වුනත් මෙතනදි , තවත් වැදගත් තොරතුරු ගොඩක් එලියට ඇවිත් තියනවා. පලවෙනි ප්‍රශ්නේ කව්ද ප්‍රියංකා ජයසේකර කියන්නේ.

කෙටියෙන් කිව්වොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ , මන්ත්‍රීවරියක්.. BR තමයි ලැයිස්තුවෙන් දාලා තියනවයි කියන්නේ..

ආරංචිවල හැටියට , ප්‍රියංකා ෆොන්සේකාගේ පක්ෂයේ , බොරැල්ල ආසන සංවිධායක විදියට ඉඳලා තියනවා. ප්‍රියංකා ගේ මහත්තයත්, ෆොන්සේකාගේ පක්ෂයේ සංවිධායක කෙනෙක් විදියට ඉඳල තියනවා.. කෝට්ටේ නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් විදියට හිටිය ලු.. නෝනයි මහත්තයයි දෙන්නම, ආමි එකට සප්ලයිකරන බිස්නස් එකක් කළා කියලත් කියනවා. ඒ ටෙන්ඩර් කරන කාලෙලු, ෆොනිව අදුනගත්තයි කියන්නේ..

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුනත්, පොහොට්ටුවට සෙට් වෙලා තියෙන්නේ BR හරහා .. පළාත් පාලන ආයතන චන්දේ වෙලාවේ, නාමයෝජනා ලැයිස්තු පරීක්ෂාකරන කණ්ඩායමට BR මෙයාව දාලා තියන්නේ නීතිඥවරියක් නිසා ලු.. ඒත් පොහොට්ටුවේ සමහර කාන්තා පාර්ශව කියන්නේ, ඔය නීතිඥ පට්ටම බොරු එකක් කියලා.

ඔය ඉරිසියාවට කියන කතා වෙන්න ඇති..

ඒ කතා මොනවා වුනත්, අවුරුදු 4ක් සභාවේ හිටියත්, තාම සභා රැස්වීමක වචනයක් කතා කරලා නැති ලු.. ඒ වුනාට පවිත්‍රා නෝනගේ කැචර් කෙනෙක් නිසා,, මහින්ද ජනාධිපති තුමත් ලොකුවට හිතාගෙන ලු ඉන්නේ..

මහින්ද ලොක්කගේ විජේරාම ගෙදර තිබුන, ආගමික උත්සව කීපයක්ම,, පහුගිය කලේ සංවිධානේ කරලා තිබුනේ ඔය ප්‍රියංකා ලු... ඒ ඔය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ සාදුගේ ඉල්ලීමට ලු..

එක වෙලාවක සල්ලි නැතුව පැතුම්ල, රිවිර පත්තරේ නවත්තන්න ගියපු වෙලාවේ, ඔය ප්‍රියංකා මහින්දගේ කීමට , පත්තරේට කර ගැහුව ලු.. මාසයක් දෙකක් කරලා අත ඇරලා දාලා..

ඔන්න දැන් ඔය, මුරුත්තෙට්ටුවේ සාදු ගෙයි , ප්‍රියංකා ගෙයි වලිය බේරන්න, මහින්ද හිටපු ජනාධිපති තුමාගේ PA, දයා ගාල්ලගේ වැඩට බැහැල ලු.. දෙපාර්ශවය සමදාන කරන්න....

ඒ කියන්නේ හෙට අනිද්දා, මේ දෙන්න ප්‍රෙස් එකක් තියලා, මේ ඊයේ පෙරේදා කියපු කතා නෑ කියන්නත් ඉඩ තියනවා.. මොකද දෙගොල්ලම එකට වලඳපු එකට කාපු බීපු කට්ටිය.

- දේශපාලන වාර්තාකරු

Page 186 of 385