V2025

පුවත්

ත්‍රිකුණාමලයේ සිදුවීම පිටුපස අවධානම පෙසප පෙන්වයි !

ත්‍රිකුණාමලයේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමක් හේතු කරගෙන ජාතිවාදී කණ්ඩායම්වලට දේශපාලනය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි.

සරසවි සිසුන් කිහිප දෙනෙකු පැමිණ අට්ටාලයක් හදාගෙන කටයුතු කරද්දී පොලිසිය ඒ ගැන නිසි මැදිහත් වීමක් නොකර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට පරිසරය සැකසූ බවත් එම පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ අදහස් දැක්වූ අතර ඒ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම සිද්ධිය වූ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් අවශ්‍ය නම් ඊට මැදිහත් වීමට තම පක්ෂය සුදානම් බවද එහිදී ඔහු සඳහන් කළේය.

එසේම මෙම සිදුවීම මුල් කර ගනිමින් ඇතැමුන් ‘බුද්ධාගම බේරා ගන්න නාමල්ට පුළුවන්’ කියමින් දේශපාලන නාඩගම් නැටීමට උත්සාහ කරනු ඇති බවද වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

පොලිස් කොමිසම පත්කරයි : සභාපති ලලිත් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත්කර ඇත .

මේ බව දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය කෙටි පණිවිඩයක් යොමුකර ඇත.

පාර්ලිමේන්තුවේ ඊළඟ මහ ලේකම් මෙන්න !

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ ඒ රෝහණධීර මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළ කෙටි පණිවිඩයක සඳහන් වෙයි.

ඊට අනුව එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

කේ ඒ රෝහණධීර මහත්මිය මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය හොබවයි.

රජයට හිමිවිය යුතුම මුදලක් ගැන කෝපා අනාවරණයක් !

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වනවිට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 904,342,180,778 ක් (බිලියන 904) බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මෙම මුදලෙන් රුපියල් 163,425,093,401ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇත.

රුපියල් 740,917,087,377ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.

එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම් මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී මෙම කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ, අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අය කරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසය.

එසේම රුපියල් බිලියන 904ක මුලු හිඟ බදු මුදල පිළිබඳව වෙන්වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබාදෙන ලෙසද සභාපතිවරයා නිර්දේශ කළේය.

එම වාර්තාවේ බදු මඟහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බවද සඳහන් ය.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ මෙම දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් 28 දින කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

එසේම RAMIS පරිගණක පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපැවතීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම පද්ධතිය සකස් කළ පසු ක්‍රියාත්මක කිරීමට පුහුණු නිලධාරීන් නොමැතිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේම 2022.11.28 දින පැවති කෝපා කමිටු සාකච්ඡාවට අනුව 2022 ජුනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරුවූ චෙක් පත් පැවතීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම බදු මුදල් ගෙවීමේදී 90% පමණ ලංකා බැංකුව මාර්ගයෙන් බදු මුදල් ගෙවීම සිදුකරන බවත් මෙසේ ගෙවන බදු මුදල් ගෙවූ දින අනුමත වූ බව පෙන්වුවත් පසු දින අගරු චෙක්පත් ලෙස පෙන්වන බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වාදී තිබේ.

මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා කමිටුව අතරතුරුදීම දුරකථන මාර්ගයෙන් සම්බන්ධකර ගනිමින් සාකච්ඡා කොට අදාළ උපදෙස් ලබාදීම ද මෙහිදී සිදු විය.

තවද කැසිනෝ ව්‍යාපාරය සඳහා දල එකතුව මත බදු අය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

සිවලිංගම් ආරූරන් නිදොස්කොට නිදහස් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ 2006 වසරේදී පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් ආරූරන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු 2009 දී රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියේය.

ඊට අදාළ නඩුව ඊයේ (15) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙලෙස ඔහුව නිදොස්කොට නිදහස් කර ඇත.

ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි.

විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට අධිකරණය විසින් තීන්දු කළ බවය.

ඒ අනුව ඊයේ දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බවය.

තවදුරටත් විත්තිකරුට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අදහස් නොකරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණු සලකා බැලූ වූ මහාධිකරණ විනිසුරුවරයා පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළේය.

43 හැවිරිදි වියේ පසුවන ආරූරන් 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගෙන ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට පත්විය.

බන්ධනාගාරගත වීමෙන් පසුව සිය රචනා හැකියාව දියුණු කරගත් ආරූරන් දෙමළ භාෂා කෘති 07 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත.

මේ අතර 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව සිවලිංගම් අරූරන් විසින් රචිත 'ආදුරසාලයි' සම්මානයෙන් පිදුම් ලැබීය.

2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු හිමිකර ගත්තේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම අනිවාර්යයි - IMF

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රීනිවාසන් පැවසුවේ “ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වේගය දිගටම පවත්වාගෙන යාම දැන් අත්‍යවශ්‍යයි”

මෙම වසර අගදී පැවැත්වෙන පළමු සමාලෝචන මෙහෙයුමට පෙර නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස IMF නියෝජිත කණ්ඩායමක් මැයි 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

මොවූහූ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව සඳහා IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රවර් පැවසුවේ රජයේ සාර්ව ආර්ථික රාමුව සුදුසුද නැතහොත් එයට සංශෝධන අවශ්‍යද යන්න පිළිබඳව සොයා බලන බවයි.

අභියෝගාත්මක ගෝලීය පරිසරය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව අතීතයේ ගත් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එකක් පසුපස එකක් වශයෙන් පැමිණි ආර්ථික කම්පන හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය සඳහා සහය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩලය මාර්තු 20වැනිදා ඩොලර් බිලියන 3ක් පමණ වන මාස 48ක විස්තීරණ ණය පහසුකමක් අනුමත කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙය අර්බුදය නිරාකරණය කිරීම කරා වැදගත් පියවරක් සනිටුහන් කළ බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේදී සියයට 1.5% ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.

ශ්‍රීනිවාසන් පැවසුවේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 3% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම අපේක්ෂාවන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මකකිරීම මත බෙහෙවින් තීරණාත්මක ලෙස රඳා පවතිනු ඇතැයි ශ්‍රීනිවාසන් අවධාරණය කළේය.

පාවෙන පොලී අනුපාතියක් මත ශ්‍රී ලංකාවට මෙම ණය පහසුකම ලබා දී ඇති බවත්, ගෙවා නිමවන විට මෙම ණය මුදලේ පොලී අනුපාතය 5%ක් පමණ වනු ඇති බවත් පීටර් බ්‍රවර් මෙහිදී අනාවරණය කළේය.

ප්‍රධාන කරුණු 5ක් ගැන IMF ප්‍රමුඛතාව !

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සහාය ලද මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනඟා ඇති අතර ප්‍රධාන ආධාරක පහක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළේය.

සමාජ ආරක්ෂණ ජාල, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආපසු අයකර ගැනීම පදනම් කරගත් බලශක්ති මිල කරණයෙන් සමන්විත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව.

ණය ප්‍රතිව්‍යුකරණය ඔස්සේ රජයේ මෙහෙයුම් කටයුතුවල ස්ථාවර මූලයනයක් තහවුරු කරගැනීම ඇතුළු රාජ්‍ය ණය තිරසර බව යළි පිහිටුවීම.

මිල ස්ථායීතාව යළි පිහිටුවීමට සහ සංචිත යළි ගොඩනැගීමට බහුපාර්ශ්වික උපායමාර්ගයක් යෙදීම

මූල්‍ය අංශය ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති.

දූෂණ අවදානම් සඳහා පිළියම් යෙදීමට සහ වර්ධනය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වත් ජහන් පැවසුවේ අර්බුදය සමග ලාංකිකයින් ලක්ෂ 3ක් පමණ රට හැර ගොස් ඇති බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග ඔවුන්ට යලි දිවයිනට පැමිණීමට විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද ඇය පැවසුවාය.

බීබීසී

යන්නෑ කිව්ව ආණ්ඩුකාරවරුන් යවා පෙන්වයි : නව පත්වීම් 17 වනදා !

ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය කෙටි පණිවිඩයක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා පසුගියදා ලන්ඩනය බලා පිටත්ව යාමට ප්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබුණේ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙන ලෙසය.

ඒ සමඟ සජබ හිතවාදී මාධ්‍ය මෙන්ම ජාතික සංවිධාන කියාගත් පාර්ශව කිහිපයක් කියා සිටියේ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවුණහොත් ඒ සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත් , එවැන්නක් සිදුවුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් මතුවිය හැකි බවය. ඒ බව විශ්වාස කල නිසාදෝ ඉතාම ගෞරවනීය ලෙස ආණ්ඩුකාර ධුරයන්ගෙන් අස්වයාමට තිබු අවස්ථාව මේ පිරිස් අහිමිකරගත් අතර ඒ බව දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ, දෝලාවෙන් යන්න තිබුණු ගමන බඩගාගෙන යන තැනට පත්කර ගැනීමක් ලෙසය.

" ඔය ආණ්ඩුකාරවරුන්ට තිබුණේ වැදගත් විදිහට ඉල්ලා අස්වෙන්න. නැවත අවස්ථාවක් දෙනවා නම් එය ලබාගන්න. ඒ මිස ඔය එක එක නීති තර්ක දාගෙන බලෙන් ඉන්න ගිහින් නිකං බොරුවට කීර්තිනාමවලට හානි කරගත්තා. කවුද අර ඉදිරිපත්වෙලා දීලා තිබුණේ නීති උපදෙස, පළාත් සභා යෝජනා සම්මතයක් නැතුව බෑ කියලා. පළාත් සභා නැති නිසා අස්කරන්න බෑ කියලනේ කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ. දෝලාවෙන් යන්න තිබුණ ගමන්නේ බිම බඩගාගෙන යන තැනට පහත් කරගත්තේ. පළාත් ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ ජනාධිපති විසින්, විධායකයේ නියෝජිතයන් විදිහට. හරි නම් විධායක ජනාධිපති වෙනස් වෙනකොට ඔවුන් ගෞරවනීය ලෙස ඉල්ලා අස්වෙන්න ඕන. නමුත් මෙතැනදී එහෙම දෙයක් වුණේ නෑ. ගෝඨාභය ගිහින් රනිල් ජනාධිපති ලෙස පත්ව ආවට වෙනසක් කළේ නෑ. නමුත් දැන් ඉල්ලා අස්වෙන්න කියලා දැනුම්දුන්නාම යන්න තරම් මහත්මා ගතියක් තියාගන්න තිබුණා."

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති ගේන්න - ජනපති

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශ වෙත උපදෙස් දී තිබේ.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.

කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනමම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම නීති පද්ධතිය සැකසීමේදී ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

පාසල් විෂය මාලා තුළද වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දෙමාපිය දූ දරු සබඳතා පිළිබඳ සහ ගෘහාශ්‍රිත මානසික සෞඛ්‍ය පිළිබඳ නව සංවාදයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතරම දරුවාගේ මානසිකත්වය අවබෝධ කර ගනිමින් පුළුල් මනසක් සහිත දරුවකු නිර්මාණය කිරීම සඳහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අවධානය යොමුවී ඇත.

බුදුන්ට අපහාස කළ : ෆාදර් ජෙරොම්ට වැඩ වරදියි !

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත.

ඒ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළ බවට කරතිබූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙනය.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාල දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර ඇති අතර දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉහත නියෝගය නිකුත් කළේය.

ගංජා වැවීම නීතිගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට !

අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා දැනට කැබිනට්ටුව විසින් නිරීක්ෂණ කැඳවා ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ඊට අදාළ පනත සකස් කෙරේ. ඊට කැබිනට් අනුමැතිය ලද පසු ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවද දැනගන්නට ඇත.

ගංජා අපනයනයට සහ ඖෂධයක් ලෙස මහා පරිමාණ මට්ටමින් වගා කිරීම සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් සුදුසු අයැදුම්කරුවන් තෝරා වාර්ෂික බලපත්‍ර ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත. එම බලපත්‍රලාභීන්ට පමණක් ලැබෙන අවසරය මත ගංජා වගාව ආරම්භ කළ හැකිය.

ගංජා නීතිගත කළ යුතුය යන යෝජනාව කලක පටන් වාද විවාදවලට ලක්විය. පසුගිය කාලයේ මේ ගැන ප්‍රබල හඬක් නැගුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ය.

  • deshaya

මහින්ද අගමැති කරන කතාව ඇත්තක්ද ?

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කරනු ඇතැයි පැතිරයන රාවය සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඔහු අවධාරණය කළේ “කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත් නොකරන බවත් ඔහු එම තනතුරට පත්කරනුයේ ජනතාවගේ ආශිර්වාදය මධ්‍යයේ බවත්ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (මැයි 15 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවේ, “මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සහයක් දරනවා, ඒ අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කතාවක් සමාජයේ පතුරවමින් හරිනවා. මම හිතන්නේ මේ වගේ කතාවක් සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වන කොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින්. මේ වගේ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත හා ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය තමයි අපිට පේන්නේ.”

“නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 04 ට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක් නිමා කරලා වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් බය නෑ. ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය අතහරින්නත් හැකියාව තියෙන නායකයෙක්.”

සාගර කාරියවසම් සඳහන් කළේ,” ඒ වගේ නායකයෙක් අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදාව ගෙනල්ලා දාගෙන මේ රටේ තනතුරකට පත් කරන්නේ නෑ. එතුමාව තනතුරට පත්කරනවානම් අපි අනිවාර්යෙන් අපි එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාවන් දාගෙන එවැනි තනතුරකට ගේන්න කටයුතු කරන්නේ නෑ.”

ඔහු අවධාරණය කළේ “මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය සම්පූර්ණ අසත්‍ය කාරණයක් බව පළමුවෙන්ම කියන්න ඕන. මේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න මාතෘකා නැති දේශපාලඥයන් විසින් සමාජගත කරන බොරුවක් මිසක්, සත්‍යතාවක් තියෙන කාරණයක් නොවේ.”

ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට..

ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කළේය.

“ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධුරය ලබාදීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා විවිධ කොන්දේසි දැම්මේ නෑ. ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත් අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් සඳහන් කළේ ය.

බීබීසී

පාස්කු නඩුවක තවත් තීන්දුවක් එයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටියදී එය වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මතුකරන ලද මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (15) ප්‍රතික්ෂේප කර තිබේ .

විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය තුළ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවය.

මේ හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම විරෝධතාවලින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසුවේ නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍රයේ වලංගුභාවය පරික්ෂා කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බැවින් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවය.

අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුනි මස 6 වනදා පවත්වන බවත් විනිසුරුවරයා නියම කර ඇත.

ලංකාවේ වැඩපිළිවෙලට WB පූර්ණ සහය !

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සඳහන් කරයි.

ඔහු මේ අදහස් පළකර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.

මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් එහිදී ශ්‍රී ලංකාවේ කැපවීම පැසසීමට ලක්කර තිබේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ ඔහු නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේය.

රැකියා විරහිත තරුණ තරුණියන්ට සහන පොලියට ණයක්

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් ඒ සඳහා උනන්දු කරවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

එම අමාත්‍යංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩසටහන යටතේ සියයට 06 යි දශම 05 ක පොලිය යටතේ රාජ්‍ය බැංකුවලින් මෙම ණය මුදල ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට ණය මුදල් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් දා පැවැත්වුණි.

කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි පැය 03 සිට පැය 24ක් දක්වා වු කාලය තුළ බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ එම මාර්ග භාවිත කරන රථ වාහන රියදුරන්ට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දිමක් සිදුකරයි.

ගිං ගඟට අමතරව නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට ද මේ වන විට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබද අවදානයෙන් පසුවිය යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.

සිමෙන්ති මිල පහළට

අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

සිමෙන්ති සමාගම් පවසන්නේ, ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමන බවයි.

මෙම මිල පහළ දැමීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.

‘හෙල්ත් ටුවරිසම්’ ප්‍රවර්ධනයට රජයේ අවධානය

‘හෙල්ත් ටුවරිසම්'(Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  පැවසීය.

ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද කේෂ්ත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

සාගල රත්නායක  මේ බව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ  (12) කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.

හෙද නිලධාරිනියන්ට සහ හෙද නිලධාරීන්ට විශිෂ්ටතා සම්මන පිරිනැමීම ද මෙයට සමගාමීව සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  මෙසේද පැවසීය.

ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට ආරාධනා කිරීම පිළිබදව ස්තුතිවන්ත වෙනවා. ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මේ ආකාරයට ලෝකය පුරාම යම් යම් සැමරුම් උත්සව සිදු වෙමින් පවතිනවා. අපේ රටත් එයට එක්ව සිටිනවා. හෙද කාර්ය මණ්ඩලය කරන රාජකාරිය අතිවිශිෂ්ටයි. අර්බුද අවස්ථාවලදී ඔවුන්ගේ සේවය විශේෂයෙන්ම අපට දැනෙනවා.

ඔබ කරපු සේවය පිළිබඳව හැඟීමක් රට තුළ ඇති වුණේ කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේදීයි. මේක මගේ රාජකාරිය නෙවෙයි, මෙය අවදානම් සහගතයි කියා ඔබ කිසිවිටෙක සේවයෙන් ඉවත් වුණේ නැහැ. රාජකාරිය පැහැර හැරියෙත් නැහැ. අවදානම් වුවත් රටේ ජනතාව බේරා ගැනීමේ උදාර සේවාව ඔබ අකුරටම ඉටු කළා. ශ්‍රී ලංකාව ඒ වසංගතයට සාර්ථකව මුහුණ දුන්නේ ඔබ දැක්වූ අපරිමිත කැපකිරීම නිසයි. ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ඉක්මණින් අපේ රටට වසංගත තත්ත්වයෙන් මිදීමට එය පිටුවහලක් වුණා.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා විට රට තිබුණේ ආර්ථික වශයෙන් විශාල අවදානම් තත්ත්වයකයි. විදේශ විනිමය, ඉන්ධන, ගෑස්, ඖෂධ තිබුණේ නැහැ. රටේ වැඩ කටයුතු කරගෙන යාමටවත් අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. තව දින කිහිපයක් ගියා නම් කොතැනින් කෙළවර වෙයි ද කියා කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සූඩානය, ලෙබනනය වගේ රටවල්වල තත්ත්වය අපි කවුරුත් දන්නවා. එදා රට තිබූ තත්ත්වයට වඩා අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ මූලික ගැටලු අවම වෙලා තිබෙනවා.

දැන් එතැනින් එහා ගිය ඉදිරි වැඩපිළිවෙළකට අප යා යුතුව තිබෙනවා. රටක් ලෙස අපි නිර්මාණශීලීව කටයුතු කරමු. අපි වැනි ලස්සන පරිසරයක් තිබෙන රටක හෙල්ත් ටුවරිසම් දියුණු කරන්න පුළුවන්. එමගින් විශේෂ ආදායම් මාර්ග ලැබෙනවා.

දැනටමත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එනවා වෛද්‍යවරු හමුවෙන්න. අපි ඒක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නැහැ. මෙය අපට ව්‍යාපාරයක් කර ගන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් දේවල් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතුයි.

විදෙස් රටවලට හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙනවා. ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වෙලා තිබෙනවා. ඉංග්‍රීසී භාෂාව මනා ලෙස හසුරුවන්න අවශ්‍යයි. මේ ප්‍රශ්න ටිකත් නිරාකරණය කර‍ ගෙන එහි වාසිය අප ලබාගත යුතුයි. තරුණ තරුණියන්ට අපි හොද රටක් නිර්මාණය කරදිය යුතුයි. අපි එම ඉලක්කයට යා යුතුයි. එම ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාමාර්ග අපි දැන් ගනිමින් සිටිනවා.

අද රටේ උද්ධමනය පහළ යමින් පවතින අතර බඩු මිල අඩු වෙමින් පවතිනවා. පාරිභෝගිකයාට සාධාරණයක් වන බව පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. රජයෙන් රජයට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ඔබ සියලු දෙනාට ජීවත් විය හැකි සරිලන ආදායමක් ලබා දීමට රජය කටයුතු කරනවා. ඔබ සියලුදෙනා රට වෙනුවෙන් කරන සේවයට අපේ ගෞරවය හිමි වෙනවා.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, –

ලෝකයේ ලක්ෂ ගණනින් ජනතාව සුවපත් කළ සේවාවක් තමයි හෙද සේවය. යමෙකු ගිලනුන්ට උපස්ථාන කරනවා නම් බුදුන් වහන්සේටත් උපස්ථාන කළා හා සමානයි. ඉන් ඔබ්බට හෙද සේවාව ගැන වැඩිදුර අර්ථ නිරූපණ අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් කියන අය අතරේ කුහකකම් තිබෙනවා. හෙද සේවාවේ උපාධිය වසර තුනකට අඩු කළා.

හරි නම් රට තුළ හෙද සේවාවේ උපාධිය ලබපු අය ලක්ෂ ගණනක් සිටිය යුතුයි. හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ වැඩසටහන මොන බලපෑම් ආවත් අපි නතර කරන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙන මෙම හෙද විශ්වවිද්‍යාලය තුළින් ලෝකයේ පිළිගත් උපාධි සහතිකයක් ලබා දීමයි අපේ අරමුණ. ඉදිරියේදී මේ වෘත්තීය ගැන එදාට වඩා සුබවාදීව බලා කටයුතු කරනවා. කොවිඩ් වසංගතය වෙනුවෙන් ඔබ කළ සේවාව නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජීවිත රැසක් ආරක්ෂා වුණා.

ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය,

හෙද සේවාව තුළ විසදුණු ප්‍රශ්න වගේම නොවිසදුණු ප්‍රශ්න තිබෙනවා. ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේක සේවාවක් විදිහට අතිශය වැදගත් කාරණාවක්. ඉතිහාසයේදී හෙද පීඨයක් හදන්න වුවමනා වුණා. ඒ සදහා දේශපාලන අනුග්‍රහය ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතායි. මේ අවස්ථාවේ අප එය ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර හතරකදී ලබා දුන් උපාධිය වසර තුනකට අඩු කළා. වසර හතරක උපාධිය දිනා ගන්න අපි කවුරුත් සටන් කළා. හෙද පීඨයේත් උපාධිය දෙනවා. නමුත් රටට අවශ්‍ය සේවක පිරිස් හෙද පීඨයෙන් පිට කරන්න හැකියාවක් ලැබී නැහැ.

හෙද නිලධාරීන් නිලධාරිනියන් 13,000කට උසස් වීම් මෙතෙක් ලැබී නැහැ. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත එම පිරිසට උසස් වීම් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථික ව්‍යසනය නිසා රාජ්‍ය සේවකයන් බදවා ගන්නේ නැහැ. රාජ්‍ය සේවාවට සේවකයන් බඳවා නොගත්තට හෙද සේවක පිරිස් බඳවා ගත යුතු බව අප පෙන්වා දුන්නා. අවශ්‍ය සේවක පිරිස් නොමැති වුවහොත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට බලපානවා. රටට බලපානවා. ඒ අනුව හෙද සේවයට 6500ක පිරිසක් බදවා ගැනීමට අනුමැතිය ලබා ගත්තා. උසස්වීම් ලබාදීමට වගේම සේවකයන් බඳවා ගැනීමටත් අප පියවර ගෙන තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර, හිටපු සෞඛ්‍ය ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ප්‍රමිතිතා මාධවි, මහජන සෞඛ්‍ය සංවිධානයේ ලේකම් හෙද නිලධාරිනි බර්නි සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු හෙද නිලධාරීන්, නිලධාරිනියන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්ය යි

සියලු ම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක පැවසීය.

මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක කෙරෙන බව අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.

එම චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතු බව ද එහි දක්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

Page 188 of 461