පුවත්

පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව : සාර්ථකව අවසන් වෙයි !
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුව සාර්ථකව අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරියගෙන් ඉල්ලා තිබිණි.
ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු බවය.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
එසේම තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී අද (6) පැවැත්වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 4 වැනිදා පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.
රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 988කට නිදහස
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බවය.
ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත.
ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවය.
රැදවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

සරසවි ඇදුරන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වෙයි
අ.පො.ස. උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කළ බව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය.
ජනතාවගේ ඉල්ලීමට සවන්දෙමින් ඔවුන්ට මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය විසඳීමට තීරණය කර වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීය.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත් වී මාර්තු 09 වන දා ආරම්භ කරන ලද වැඩ වර්ජනය දින 56කට පසුව මෙලෙස අවසන් කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය යනු දේශපාලන බලාධිකාරියේ තර්ජනවලට හෝ ඔවුන්ගේ බලය ඉදිරියේ හිස නමන සංගමයක් නොවන නමුත් ජනතාවගේ ඉල්ලීම්වලට හිස නමා අචාර කරන වෘත්තීය සමිතියක් බව ද ඔහු සඳහන් කළේ ය.
විවිධ පිරිස් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමට කාලපරිච්ඡේද ලබා දෙමින් ඒ අනුව කටයුතු නොකරන්නේ නම් සිර දඬුවම් හෝ දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව පැවැසූ නමුත් ඒවාට තම සංගමය යටත් නොවුණු බව ද ඔහු පැවසීය.
තම සංගමය මතු කරන ලද ගැටලුව තවමත් එසේ ම තිබෙන නමුත් ඒවා නිරාකරණය කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා ද යන්න සාකච්ඡා කරන බව ත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරගෙන පැමිණි ආකාරය පමණක් නතර කරන බව ත් හෙතෙම කීය.
ඕනෑ ම වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී ඒ වෘත්තිකයන්ගේ සේවය ලබන පිරිසට යම්කිසි අපහසුතාවක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් බවත් අවාසනාවකට මෙහිදී තම සේවය ලබන පිරිස ශිෂ්‍යයන් වූ බව ද ඔහු සඳහන් කළේ ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අවදානමට ලක්වන පිරිස ශිෂ්‍යයන් බව දන්නා ආණ්ඩුව තම සංගමයේ ඉල්ලීම්වලට සවන් දීමට තටයුතු කරනු ඇතැයි තම සංගමය අපේක්ෂා කළ බව ඔහු පැවසීය.
ආණ්ඩුව රටේ අනාගත පරපුරට දැඩි අවධානයක් ලබා දී තිබේ නම් වෘත්තීය සමිති ඉල්ලා සිටින ලද සාධාරණ ඉල්ලීම්වලට සවන් දීමට තිබුණ නමුත් රජයට එවැනි අවශ්‍යතාවක් නොතිබුණු බව පැහැදිලි යැයි ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ලබාදුන් බවට විවිධ පුද්ගලයන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණ ද ජනාධිපතිවරයා සමග කිසිදු සාකච්ඡාවක් ලබා නොදුන් බවත් ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණියාට පසු එම සාකච්ඡාව ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළ බව ත් ඔහු වැඩිදුරටත් පැවැසුවේ ය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට එමිරේට්ස් සමග ගිවිසුමක්
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබේ.
ඒ ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සාධනීය පිටිවහලක් එමගින් ලැබේයැයි අපේක්ෂා කරන බවයි.

ඩෙංගු උවදුරෙන් බේරෙමු : ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමු.....
'ඩෙංගු ත්‍රී' වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය.
ඩෙංගු වන්, ටූ, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ 'ඩෙංගු ත්‍රී' නම් වෛරස් කාණ්ඩයේය.
එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 කි.
පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,019ක් වාර්තා වී තිබූ අතර මේ වසරේදී අප්‍රේල් මාසයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,617කි.
එය පසුගිය වසරට සාපේක්ෂව 89% ක ඉහළයෑමකි.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.
ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයක්ම ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බවය.
ඩෙංගු මදුරුවන් සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදුකරන්නේ උදෑසන සහ සවස් කාලයේය.
එබැවින් මදුරු දෂ්ටනයෙන් වැළැකීමට නම් මදුරු විකර්ෂක භාවිත කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

'චාල්ස්' රාජාභිෂේකයට ජනපති එංගලන්තයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා අද (මැයි 4) දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව ඔහු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු ඒ සඳහා එක්ව ඇත.
ඔවුහු අද අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයේ EK-649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියහ.
අනතුරුව එම පිරිස ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ය.

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අභාවප්‍රාප්තවී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි.
පරාක්‍රම ද සිල්වාගේ 'හෙවනැලි ඇද මිනිස්සු' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණි.
ඒ මහතාගේ දේහය හෙට (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද එක් විය.
ඉන් අනතුරුව ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.
විදුලි අලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් නිරූපණය වන අයුරින් එම රටවල් විසින් ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබිණ.
එම සියලු ප්‍රදර්ශන කුටි වෙත ගිය ජනාධිපතිවරයා එහි බෞද්ධ නිර්මාණ නිරීක්ෂණය කළ අතර එම නිර්මාණකරුවන්ගේ ද තොරතුරු විමසීය.
පාකිස්ථාන බෞද්ධ උරුමයන් පිළිබඳ ප්‍රදර්ශන කුටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි තබා තිබූ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.
අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මේ අතර බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සැදැහැවතුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුහද කථා බහක නිරත විය.
කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර, නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතනන් ජෙනරල් විකුම් ලියනගේ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරු සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජපක්ෂ පවුල ගැන විමල්ගෙන් අනාවැකියක් !
නාමල් රාජපක්ෂ මෙරට රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බවත් ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.
දේශපාලනයේ යම් මට්ටමක රැඳී හිටියත් රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට කිසිදිනක පත් නොවුණු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
ගාලු මුවදොර අරගලය ඇති වූ සමයේ වුවද මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වය සිටියේ නම් ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරනු ඇති බවත් ආර්ථිකයද එතරම් දරුණු කඩා වැටීමකට ලක් නොවනු ඇති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් රජයට කෝටි 200 ක පොල්ලක් !
උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය විය යුතුව ඇති බව පසුගියදා රැස්වූ කෝප් කමිටුව හමුවේ අනාවරණය වී ඇත.
එහිදී අනාවරණය වූ වැඩිදුර තොරතුරු අනුව විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණි.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධවද එහිදී අවධානය යොමුකර තිබේ.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී මේ වන විට මාස දෙකකුත් සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.

ආයෙත් මුඛ ආවරණවලට හුරුවෙන්න !
මේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව වෛද්‍ය සංගමය පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න පවසන්නේ එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බවය.
ඒ සම්බන්ධව ඔහු මෙසේ පවසයි.
"මේ රෝගයේ ස්වභාවය එහෙමයි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ප්‍රභේද පිළිබඳව අපිට හරි අවබෝධයක් නෑ. ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් කරලා ඒවා වාර්තා ලැබෙන්න කල් යනවා. ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි හැම රටකම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. නමුත් අපි කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ පැතිර යන නිසා, ඒවා කොවිඩ් රෝගයෙන් වෙන්කර හඳුනාගැනීමට අමාරු නිසා කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඒ විදියටම අපි පිළිපැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මුව ආවරණයක් නිසි ලෙස පැලඳීම ඉතාම වැදගත් වෙනවා."
තවද පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂ එක හා සමාන බැවින් එකිනෙකට වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.
කෙසේවෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ඔවුන් සඳහන් කළේය.
මේ අතර මී උණ ව්‍යාප්තියෙහි වර්ධනයක් පෙන්වන බැවින්, ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසද වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"උණ තියෙනවා නම් ඇස් රතු වෙනවා නම්, මස් පිඬුවල වේදනාව ඇති වෙනවා නම්, මුත්‍රා තද පාටට යනවා නම් මේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත්තොත් හොඳින් ප්‍රතිකාර කරලා ඒ රෝගයේ සංකූලතා ඇති වීම වළක්වා ගන්න පුළුවන්." ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

ජුලි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් !
ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (3) පැවසීය.
පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොමිෂන් සභා 2කට සාමාජිකයන් පත්කෙරේ !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ.ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරු පත් කර සිටිති.
මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයෝ වෙති.

ලිට්‍රෝ ගෑස් අඩු කළාට ලාෆ් අඩු නෑ !
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100.00 කින් අඩු කළ බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් දක්වා පහත දැමූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (3) පස්වරුවේ පැවසීය.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 19 කින් ද, අඩු කළ බවත් නව මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි.
ඒ අනුව රුපියල් 1,502 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,462 ක් දක්වා ද, රුපියල් 700 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 681 ක් දක්වා ද, මිල පහළයාම සිදුව තිබේ.
කෙසේ වුවත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බවය.
එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) මේ බව සඳහන් කරන අතර ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගෙන යන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක තව දුරටත් පවතී.

O/L ඉහළින් සමත් 3000කට ජනාධිපති ශිෂ්‍යත්ව !
ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.
මේ යටතේ ශිෂ්‍යත්වලාභියෙකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රු. 5,000.00 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික කඩදාසි සංස්ථාවේ අනුග්‍රහයෙන් පාසල් බෑග්, පොත් කට්ටල, කුඩ, ඔරලෝසු සහ රුපියල් පන්දහසක් වටිනා තිළිණ පතක් ද ශිෂ්‍යත්වලාභීන් වෙත පිරිනැමිණ.
එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඉතිරි ශිෂ්‍යත්වලාභීන් වෙත ඉදිරි සති දෙක ඇතුළත ශිෂ්‍යත්ව තිළිණපත් හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට කටයුතු සලසා තිබේ.
https://newstube.lk/news?start=3438#sigProId9654f15b5e

ඩයනාගේ පෙත්සම විභාගයට ගන්න තීන්දුවක් !
තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 02) නියෝග කර තිබේ.
අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව, මෙම පෙත්සම ජූනි මස 08 වන දා විභාගයට ගැනීමට නියමිත දින නියම වී තිබේ.
පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට සහය පළ කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බව ය.
එම තීරණයට එළඹීමට පෙර කිසිදු විනය පරීක්ෂණයක් නොකළ බව ද මන්ත්‍රීවරිය පෙන්වා දී ඇත.

ආදිවාසි නායකයාගේ නිජබිම් ප්‍රශ්න පෙත්සම ගැන තීන්දුවක් !
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කර ඇත.
රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනු කර තිබිණි.
අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වන දා කැඳවන ලෙස නියෝගකර තිබේ.
පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ, රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබා දීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බව ය.
එමගින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බව ත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම පෙත්සම ගොනු කර ඇත.

ගුවන් හමුදාපතිගේ තීරණයකට එරෙහිව පෙත්සමක් !
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ, තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ තමන් 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්වී උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගීවී ඇති බවය.
ඒ, වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමිවී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
ඉකුත් මාර්තු මස 10 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පළ කෙරුණු අතර එම ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව ප්‍රකාශ කර තිබුණේ යැයිද පෙත්සම්කරු කියා සිටියේය.
මෙවැනි අසාදු ලේඛනගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් තමන්ව දැනුවත් කර නොමැති බවත් තමන් කිසිදු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධවී නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු, මෙවැනි අසාදු ලේඛනගත කිරීමේ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමාගෙන් නිදහසට කිසිදු කරුණු විමසීමක් සිදුනොකළ බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම විශ්‍රාමික නිලධාරියෙකු සම්මත නීති පටිපාටීන් අනුගමනය කිරීමකින් තොරව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයා හෝ ඔහුගේ නියෝජිත නිලධාරීන්ට බලයක් හිමිවී නොමැති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් සඳහන් කරයි.
මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අසාධු ලේඛනගත කරමින් සිය විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්සිකරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කර දෙන ලෙස නියම කරන මෙන්ද ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් අයැද සිටී.
Page 192 of 461