V2025

පුවත්

අනුරපුර - කන්කසන්තුරෛයි දුම්රිය ගමන් යළි ආරම්භ කරනවා - ඇමති බන්දුල

මාස දෙකක් තුළ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ සිදු කෙරෙන ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී තවදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ඇති පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා. මාර්ගය අලුතින්ම සකස් කරමින් නව සිල්පර සහ පීලි අතුරමින් පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් දුම්රිය ගමන් කල හැකි අති නවීන දුම්රිය මාර්ගයක්‌ බවට මෙම මාර්ගය පත් වනවා.
මහව සිට ඕමන්ත දක්වා වන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. කෝටි 3500ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ලංකාව තුල මේ වන විට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද මෙම ව්‍යාපෘතියයි.
දැනටමත් පීලි අතුරමින් නිම වන මෙම කොටසේ වැඩ අවසන් වීමත් සමඟ තවත් මාස දෙකක් තුල කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් ආරම්භ කිරීමේ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.

ඉන් අනතුරුව අනුරාධපුර සිට මහව දක්වා වන දුම්රිය මාර්ගයත් ඉතාමත් කෙටි කාලයක් තුළ නවීකරණ කටයුතු අවසන් කර, කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ඉතාමත් සුවපහසු, කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම යාපනයේ සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය පැය එක හමාරක පමණ කාලයකින් අඩු කර ගැනීමටත් මේ සමග හැකියාව ලැබෙනවා.” ලෙස පැවසීය .

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට

සුඩානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉවත් කළ සුඩාන ජනරජයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනා අද (අප්‍රේල් 30) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න විසින් ඔවුන් ගනු ලැබ ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ සහ සෞදි අරාබි රජයේ සහය ඇතිව ඔවුන් ඉවත් කර ගැනීමට පහසු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

රියාද් සහ කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සෞදි අරාබියේ රාජකීය රජයේ සහ ඉන්දීය රජයේ බලධාරීන් සමග එක්ව කාර්ටූම්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා නයිරෝබිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සහය ලබා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සුඩාන ජනරජයේ තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන අතර තවමත් සුඩාන ජනරජයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීමක් කළහොත් සහය වීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

‘ඩිප්ලොමැට්’ වසරේ රාජ්‍යතාන්ත්‍රිකයා සරෝජා

ආසියා හා ඕෂනියා කලාපයන්හි (Asia & Oceania ) වසරේ රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ලෝක ප්‍රකට ‘ඩිප්ලොමැට්’ සඟරාව විසින් සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

ඩිප්ලොමැට්’ වාර්ෂික සම්මාන ප්‍රදානය ලන්ඩනයේ ‘රෝයල් ඕවර්සීස් ලීගයේ’ පසුගිය 24 වන දා පැවැත්විණි.

පෙර නොවූ විරූ අභියෝග රැසකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමයක මෙම සම්මානය ජාත්‍යන්තර තලයෙහි ශ්‍රී ලංකාවට ලැබුණු සම්මානයක් යැයි ද පෞද්ගලිකව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර විසිපහක් පමණ වූ තම වෘත්තීය ජීවිතයට ලද පිළිගැනීමක් යැයිද සරෝජා සිරිසේන පැවසුවා ය.

ශ්‍රී ලංකා විදේශ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සරෝජා සිරිසේන 1998 වසරේදී විදේශ සේවයට එක්ව තිබෙන අතර, එතැන් සිට මේ දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු, ඇතුළුව දකුණු ආසියානු සහ සාර්ක් අංශයන්හි අධ්‍යක්ෂවරිය වශයෙන් ද ආර්ථික කටයුතු, පොදු රාජ්‍යතාන්ත්‍රිකභාවය යන අංශයන්හි අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව වශයෙන් ද කටයුතු කර ඇත.

එමෙන් ම යුනෙස්කෝහි ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම්වරිය වශයෙන්ද යුනෙස්කෝහි නිත්‍ය නියෝජිත කණ්ඩායමේ පළමු ශ්‍රී ලංකා ලේකම්වරිය වශයෙන් ද කටයුතු කර තිබෙන සරෝජා සිරිසේන, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර, ප්‍රංශයේ එකෝල් ජාතික පරිපාලන ආයතනයෙන් පශ්චාද් උපාධියක් ද ලබා තිබේ.

ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ හා දේවි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3474#sigProId639a7ff469

ෆවුසිට විනය හරස් වෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ඒ. එච් එම් ෆවුසි ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

අදාළ යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.

එහිදී සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇත්තේ යෝජනාව සම්බන්ධයෙන් ජන්දය දීමෙන් වැලකී සිටීමටය.

ඒ අනුව ඡන්දය විමසන අවස්ථාවේදී එච් එම් ෆවුසි මබ්ග් හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.

පොලිසියේ ඉහළම පුටුවට තරගයක් !

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර දැඩි තරගයක් මතුව ඇති බව වාර්තා වෙයි .

සීතල යුද්ධයක ස්වරූපයක් ගෙන ඇති මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවත් වාර්තා වෙයි .

මතුව ඇති තත්ත්වය තුළ ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ හැසිරෙන පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද සිටින බවත් වාර්තා වෙයි .

සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබේ.

ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.

කෙසේ වුවත් මෙතෙක් පොලිස්පති ධූරය සඳහා කිසිවකු නම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර නොමැති බවත් වාර්තා වෙයි .

IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.

ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95 කින් සම්මත විය.

ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.

IMF කොන්දේසිවලට සජබ විරුද්ධයි : එරාන් හර්ෂ අනාථයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමේ කොන්දේසි සමඟ සමගි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ ගිවිසුමේ කොන්දේසිවලට අපි විරුද්ධයි. එකක් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම, අනෙක් එක අර්ථ සාධක අරමුදල තත්ත්වය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළොත්, වත්කම්වල වටිනාකම 30%කින් අඩුවෙනවා. EPF එක ප්‍රතිව්‍යූහගතකරණය කළහොත් EPF වටිනාකම 30%කින් අඩුවෙනවා. මේක දරාගන්න බැහැ“, යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වුවත් සමගි ජබලවේගය පක්ෂයේ ආර්ථික කාරණා සම්බන්ධව කටයුතු කරන එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් මීට වෙනස් ස්ථාවරයක සිට අදහස් දක්වනු දකින්නට ලැබිණ.

කෙසේ වුවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විරෝධය දක්වන්නේ IMF කොන්දේසි සම්බන්ධ සමගි ජන බලවේගය මතය බව පවසමින් බැවින් එරාන්ලාට සහ හර්ෂලාට දැන් සිය ප්‍රතිපත්තිය වෙනස් කරගන්නට වෙයිද යන සැකය මතුවන බව විචාරක මතය වී තිබේ.

කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර !

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ ය.

වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සහ නව කල්බදු ලබාදීමේ පදනම තීරණය කිරීම සඳහා 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණය යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඉඩම් ලබාදුන් පසු රජයේ අනුමැතියකින් තොරව තම කොටස් විකිණීමට වතු සමාගම්වලට ඉඩ නොතැබිය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉඩම්වල මැණික් ගැරීම ද ගැටලුවක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළයුතු බවද පැවසීය.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම තුළින් අපේක්ෂා කරන්නේ කෘෂිකර්මාන්තය ව්‍යපාරයක් ලෙස සංවර්ධනය කිරීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වතුකරයේ නිවාස ගැටලුව හා තේ, රබර් සහ පොල් කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු, සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කම්කරුවන් සඳහා ඉඩම් උප කොන්ත්‍රාත් ලබා දෙන නියමු ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) සම්බන්ධ ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය.

එමෙන්ම ඉරානයට ලංකා තේ අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි.

වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයින් වන විශ් ගෝවින්දසාමි, ආචාර්ය රොමේෂ් ඩයස් බණ්ඩාරනායක, චරිත රත්වත්තේ, නිරාජ් ද මෙල්, ක්‍රිෂාන්ත පෙරේරා, ලයනල් හේරත්, සංජය හේරත්, වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු, ලියෝන් ෆොන්සේකා, ලීලනාත් වික්‍රමආරච්චි, තරංගනී වික්‍රමසිංහ, ශ්‍රීමාල් විජේසේකර මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඩලාස් නඩේ IMF යෝජනාවට විරුද්ධයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

එසේම IMF ණය මුදල පාවිච්චි කරන ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්.අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට !

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින් සමන්විත ය.

ඒ අනුව වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වේ. මෙම වාර්තාවේ තෙවන කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු හා ඒවාට අදාළ කාර්යභාරයන් පැහැදිලි කරන අතර රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති හා අණපනත්වල ලේඛනයක් සිව්වන කොටසට ඇතුළත්වේ.

මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට, අදාළ වර්ෂය අවසන් වී මාස 04ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතු වේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.

කුකුළු ආහාර නිෂ්පාදන විධිමත් කිරීමට පියවර !

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟුවලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කිරීමට අත්‍යාවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ‍වෙත ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසීය.

සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක  උපදෙස් ලබා දුන්නේය.

ලෝක වෙළඳපොළේ බඩඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අතිරික්ත සහල් තොග මේ සඳහා යොදා ගැනීමෙන් වී ගොවියාගේ වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකියාවත් මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක  වැඩිදුරටත් සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්‍ර ලබාදුන් හැටි සැකයි !

විධිමත් ක්‍රමවේදයකින් තොරව බරපතල විෂමතා සහිතව රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්‍ර ලබා දුන් අවස්ථා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළ අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.

ලංකාවෙි මේ වන විට රූපවාහිනී ආයතන 25 ක් සහ ගුවන් විදුලිය ආයතන 51ක් තිබෙන බවද සඳහන් කල අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පවසා සිටියේ ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇති වන ආකාරයට බලපත් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටි බවත් කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුකාරක සභාවක් පත් කළ බවත් ය.

ඒ අනුව සකස් කළ විද්‍යුත් ප්‍රකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙන අතර විනිවිද පෙනෙන ආකාරයට බලපත් ලබාදීම සඳහා නෛතික ක්‍රියාවලිය එයින් සකසන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම කැබිනට් අනුකාරක සභාවේ සභාපතිත්වය දරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසූයේ අදාල කෙටුම්පත සකස් කරමින් සිටින අතර තව සතියක් දෙකක් යන විට මාධ්‍ය ආයතනවලටත් අදාල කෙටුම්පත ලබාදී සාකච්ඡා කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  මේ බව කීය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට !

රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අද (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක පනතේ වගන්ති සභාව හමුවේ කියවීය.

අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණය නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

IMF යෝජනාවට ශ්‍රීලනිප එකඟයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ වූ කොන්දේසිවලට අනුමැතිය ලබාදීමට ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර ඇති අතර ජනතාව පීඩනයට පත්ව සිටින අයවස්ථාවේ ඉන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම වරදක් නැති බවද සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු තවත් ආයතන හා රටවල් රැසක් ශ්‍රී ලංකාවට අරමුදල් සැපයුමට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කලේය.

සමසමාජේ තිස්ස පක්ෂයෙන් දොට්ටදාලා !

ලෝකේ කොහේ ගත්තත් වම තරම් බෙදෙන දේශපාලන ව්‍යාපාර හොයාගන්න නෑ. ලක්ෂ සංඛ්‍යාත පක්ෂ සාමාජිකත්වයේ ඉඳලා බස් හෝල්ට් එකක් පුරවන්න 10 ක් නැති වෙන ගානට බෙදෙනවා.. බෙදෙනවා ඉවරයක් නෑ. මේ කියන්න යන්නෙත් එහෙම වෙච්ච ලෝකල් ස්ටෝරියක්. ලංකාවේ පරණම වාමාංශික කියන පක්ෂය. ලංකා සමසමාජ පක්ෂය. මේ වෙනකොට ඉන්නේ විමල්ලා එක්ක සෙට් වෙලා අටවගත්ත උත්තර ලංකා සභාගයට වෙලා. සමසමාජේ මහ ලේකම් විදිහට පක්ෂය ලීඩ් කරේ හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රොෆෙසර් තිස්ස විතාරණ.

කාලයක් තිස්සේ සම සමාජේ මධ්‍යම කාරක සභාවේ බෙදිල්ලක් තිබුණා. සෙට් එකක් තිස්සට විරුද්ධව ගේම ඉල්ලන තැනට ඇවිත් හිටියේ.මධ්‍යම කාරක සභාව බෙදිලා තිබුණේ, තිස්සට විරුද්ධව 23ක් සහ පක්ෂව 13 ක් විදිහට. ඔහොම තියෙනකොට, පසුගිය අප්‍රේල් 22 වෙනිදා සම සමාජේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සංවිධානය වෙනවා. එතැනදී යෝජනාවක් සම්මත කරලා තිස්සව පක්ෂ මහ ලේකම් ධූරයෙන් අයින් කරන සූදානමක් තිබුනා කියලයි කියන්නේ.

රිසාල්ට් එක වගේම වෙන්න යන දේ දැනගෙන හිටපු තිස්ස ලොක්කා 22 උදේම ගිහින් පක්ෂ කාර්යාලය සීල් කරලා වැහුවලු. පස්සේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මලු, පක්ෂ කාර්යාලයේ කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් කියලා. තිස්සගේ ඒ වැඩේ නිසා 22 වෙනිදා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා කියන්නේ, ඉස්සර සමසමාජේ පත්තරේ වුනු, " ජන දින" පත්තරේ ගහපු ප්‍රෙස් එකේ. ඒ කියන්නේ පංචිකාවත්තේ ස්ටාර් ප්‍රෙස් එකේ.

මේ පිරිස රැස්වෙලා, තිස්සට විරුද්ධව යෝජනාවක් සම්මත කරලා, තිස්සව පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් අයින් කරලා. පක්ෂයේ නව මහ ලේකම් විදිහට පත්කරගෙන තියෙන්නේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වුනු අබේසිංහ සහෝදරයාවලු. මේ වැඩේ ලීඩ් කරා කියලා ලීක් වෙලා තියෙන්නේ සබරගමුව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වෙච්ච YG පත්මසිරි ව. මේ කට්ටිය පස්සේ අලුත් මහ ලේකම් පත්කරගෙන , සම සමාජ පක්ෂ කාර්යාලයේ තිස්ස දාපු සීල් කඩලා ඇතුලට ගිහින්. පස්සේ පොලිසියේ ඒ ගැන පැමිණිල්ලකුත් දාලා. ඔන්න දැන් තිස්ස එළියේ ඒ කට්ටිය ඇතුලේ..!

දේශපාලන වාර්තාකරු

කොවිඩ් නැවතත් හිස ඔසවයි : ආසාදිතයන් 07දෙනෙක් වාර්තා වෙයි

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 07දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

පෙරේදා දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,150 කි .

Release No 122 Sinhala page 0001

කරන්නාගොඩ‌ සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ

දැනට වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ සේවය කරන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ දෙදෙනාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකානු රාජ්‍ය අප්‍රේල් 26 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“වසන්ත කරන්නාගොඩ බරපතල ලෙස මානව හිමිකමක් උල්ලංඝනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන විමර්ශන මගින් ලේඛනගත කොට ඇති චෝදනා බරපතල සහ විශ්වසනීය වේ,” යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන් එම නිවේදනයේ පවසා තිබේ.

වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිව සිටි 2008-2009 කාල වකවානුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු පිරිමි 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන චුදිතයකු වෙයි.

Page 194 of 461