V2025

පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැතිව දෙන්න : තාක්ෂණික කමිටුවක් !

මෙරට ජනතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යවශ්‍ය ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ අවධානය යොමුව ඇත .

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බවත් එහිදී අනාවරණය වී ඇත .

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් අද (14) රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා විය.

එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ද එහිදී සාකච්ඡා කෙරිණි.

විශේෂඥ වෛද්‍යවරු,සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රියමාලි ගැන රට කළඹන පැමිණිල්ලක් !

තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව රුපියල් කෝටි 75 ක වංචාවක් සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ අනුව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි 11 ක් අද දිනය වනවිට ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තිළිණි ප්‍රියමාලි නමැත්තිය ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම ව්‍යාපාරික ස්ථානයේ මාධ්‍ය විශේෂඥයන් වශයෙන් කටයුතු කළ ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන දෙදෙනා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙත් බවද පොලිස් ආරංචි මර්ග පවසයි.

ඉදිරි දිනවල දී තවත් සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

මේ අතර එම කාර්යාලයේ තිබු සැකකාරියට අයත් සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කළ ද එහි මුදල් කිහිවක් නොතිඹු බවද එම ආරංචි මාර්ග පවසයි. ඇගේ දුරතකනය දත්ත හා විද්්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු හා යැවු පණිවිඩ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරිය ඇතැම් පුද්ගලයන්ට සෘජුවම කතා කර මේ වංචාව සදහා සම්බන්ධ කරගෙන ඇති බවත්, තවත් පිරිසක් වෙනත් පාර්ශවයන් හරහා සම්බන්ධ කරගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරිය මුදල වංචාවට අමතරව විවිධ පුද්ගලයන්ට ආචාර්ය පදවි ලබා දෙන ආයතනයක් ද පවත්වාග ගොස් ඇති අතර, රටේ ජනප්‍රිය පුද්ගලයන්ට, නළු නිළයන්ට ඇතුලු පිරිසට එම ආයතනය හරහා ආචාරය උපාධි ද ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සැකකාරිය සිදු කළ මුල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වංචා සිද්ධියට අමතරව මුදල් විශූද්ධි කරණය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

- lankadeepa

තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී වෙයි ? ජනාධිපති රනිල් ජාත්‍යන්තර මැදිහත්වීමක !

2022 නොවැම්බර් 06 වනදා සිට 18 වනදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ Leader YouTube නාලිකාවේ පසිනි විතානගේ සමග අද (13) සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ COP 26 සමුළුවේ සභාපති සහ බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස්ට් ගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික ආලෝක් ශර්මා සඳහන් කර සිටියේ තෙවන චාල්ස් රජු මෙවර COP සමුළුට සහභාගී විය යුතු බවයි.

ඔහු මේ බව කියා සිටියේ සමුළුවට සහභාගී නොවන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස්ට්, චාල්ස් රජුට නියෝග කළ බවට පළවු වාර්තාවකට ප්‍රතිචාර දක්වමිනි.

බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති වාර්තාවලට අනුව එවකට වේලස් කුමරු වාර්ෂික සමුළුට සහභාගීවන බව අගවා තිබිණි. තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.

ප්‍රශ්නය :

අද අපි කතා කරන්න යන්නේ ජාත්‍යන්තර මාතෘකාවක් පිළිබඳවයි. ඒ තමයි දේශගුණික විපර්යාස පිළිබඳව. මෙය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන ප්‍රධාන මාතෘකාවක්.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස කෙරෙහි මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි, විශේෂයෙන් රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක

පිළිතුර :

ආර්ථික අර්බුදය දෙස බලන විට අපට නිරායාසයෙන්ම දේශපාලන විපර්යාස පිළිබඳව ද අවධානය යොමු කිරීමට සිදු වෙනවා. මොකද ආර්ථිකය සහ දේශගුණික විපර්යාස එකිනෙකට සම්බන්ධයි. අපිට මේ තත්ත්වයෙන් ගොඩඑන්න නම් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති විය යුතුයි. අපි ඉදිරියට යා යුතුයි. එසේනම් අපේ ආර්ථිකය හරිත ආර්ථිකයකට යොමු කළ යුතුයි. එය තමයි ලෝකයේ අද සියලුදෙනා අනුගමනය කරන්නේ. අපිට එයින් පිටත සිටිය නොහැකියි.
දෙවනුව හරිත ආර්ථියක් ලෙස ශ්‍රී ලංකාවට ඇති දැවැන්ත විභවය හඳුනාගත යුතුයි. අපි දැන් තමයි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි බොහෝ ක්ෂේත්‍ර තිබෙන අතර ඒවා පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි.

ප්‍රශ්නය :

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මුලපිරීම් මොනවද ?

පිළිතුර :

ඇත්තටම ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා Cop 26 පසුව වැඩි දෙයක් කරලා නැහැ. නමුත් අපිට සැලසුමක් තිබෙනවා. අප 2015 වසරේ දී අත්සන් තබන ලද පැරිස් ගිවිසුමේ ඇතුළත් කරුණු එහිදි සැලකිල්ලට ගෙන තිබෙන අතර Cop 26 දී ගත් තීරණ සහ දේශගුණික විපර්යාස පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානීන්ගේ යෝජනාව ද සැලකිල්ලට ගෙන ඇත.

තවද නිල් ආර්ථිකයක් පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. එම රාමුව තුළ අපගේ මුලපිරීම් අපට ඇති විභවයන් සකස් කරන අතර එහිදි අපි ගත යුතු පියවර පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි.

එහිදී ජලය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම නිසරු පස සහ වනාන්තර යළි රෝපණය පිළිබඳවත් එහිදී අවධානය යොමු කිරීමට අපට සිදු වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු කලාපයටම ධාරිතා වර්ධනයක් අවශ්‍ය බව මගේ හැඟීමයි.

ඊට අමතරව දේශගුණික විපර්යාස විෂයයට සම්බන්ධ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් අතර ධාරිතා ගොඩනැගීම සඳහා කැපවුණු දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ද අපි යෝජනා කර තිබෙනවා.

ප්‍රශ්නය :

ඔබ Cop සමුළුව ගැන සඳහන් කළා. තවද ඔබ Cop 27 සමුළුවට සහභාගීවන බව නිවේදනය කර තිබෙනවා. මෙම සමුළුවට සහභාගී වීමෙන් ඔබේ රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද,?

පිළිතුර :

එහිදී අපගේ කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය වන්නේ ඉන්දියන් සාගර දූපතක් ලෙස අපට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව අප සැලකිලිමත් වන නිසා. විශේෂයෙන් අපි ඉන්දියාවත් සමග එකට වැඩ කළ යුතුයි, විශේෂයෙන්ම තමිල්නාඩු වැනි ප්‍රාන්ත සමග.
දේශගුණික විපර්යාස පිළිබඳ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. මට අවශ්‍ය වන්නේ අපි පෙනී යෝජනා කළ දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සඳහා සහාය ලබා ගැනීමටයි. ඒ නිසා අපි ඉදිරියට ගමන් කරනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ මගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරන්න මම මාලදිවයිනේ හිටපු ජනාධිපති නසීඩ් අහමඩ් මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර එරික් සෝල්හයිම් මහතා අපගේ නිති සම්පාදනය මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලය යන දෙකේම උපදේශකයෙක් ලෙස පැමිණිලා තිබෙනවා.

ප්‍රශ්නය :

දේශගුණික විපර්යාස සමුළුව මේ වසරත් සමග දැනට වාර 27ක් සඳහා ක්‍රියාතමක වී තිබෙනවා. ඔබ හිතනවද ඒ සමුළුව සාර්ථකයි කියලා, එසේ නැත්නම් එය වැඩිදියුණු කිරීමට ඉඩක් තිබෙනවද, ?

පිළිතුර :

2015 ඇත්තටම වැදගත් වසරක්. මොකද ඒ වසරේ තමයි දේශගුණික විපර්යාස ගිවිසුමට අපි අවතීරණ වුණේ. නිසැකයෙන්ම 26 වන සමුළුවත් ඉතා වැදගත්. අපි Cop 26 ගැන පසු විපරම් කළයුතුයි.

ඇත්තටම සමහර රටවල් යම් කිසි පසුබෑමකට ලක්ව තිබෙනවා, එසේත් නැතිනම් ඔවුන්ගේ ස්ථාවරයන්ගෙන් ඔවුන් පසැබෑමකට ලක් වෙලා තිබෙනවා. Cop 27 වැදගත් වන්නේ එබැවින්. එංගලන්තේ චාල්ස් කුමරුට Cop 27 සමුළුව අමතන්න ආරාධනා කර තිබුණා. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත්.

එහෙත් අවාසනවාකට වගේ ඔහුගේ සහභාගීත්වය පිළිබඳව එංගලන්තයේ යම්කිසි ගැටලු මතුවී තිබෙන බව පෙනී යනවා. මට එංගලන්තය ගැන කතා කිරීමට පුලුවන්කමක් නැහැ. නමුත් පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස මම හිතන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන චාල්ස් කුමරු මේ සඳහා සහභාගි විය යුතුයි. පසුගිය පෙබරවාරි මාසයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී දේශගුණික විපර්යාස පිළිබඳ යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. එම නිසා චාල්ස් කුමරු මෙම සමුළුවේ සිටිය යුතුයි. මම හිතන්නේ එක්සත් රාජධානි රජය ඔවුන්ගේ තීරණය නැවත සලකා බැලිය යුතු අතර, චාල්ස් කුමරුන් ඊජිප්තුවේ පැවැත්වෙන Cop 27 සමුළුවට සහභාගීවිය යුතුයි, මන්ද එහිදී ඔහුට විශාල කාර්යභාරයක් පැවරී ඇති බැවින්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දි ගැනීමේ සාකච්ඡා සාර්ථකයි - සාගල

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පවසයි .

ලංකාවේ මුහුදු සීමාවේදී මීට වසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්විය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැති බවත් ඊට නෞකාව අයිති සමාගමේ නියෝජිතයන් මෙන්ම රක්ෂණ නියෝජිතයන් ද ඇතුලු වගකිවයුතු පාර්ශව ගණනාවක් පැමිණි බව සඳහන් කළ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඔවුන් සියලු දෙනා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවද සඳහන් කළේය.

මෙය නාවුක ඉතිහාසයේ වූ සුවිශේෂි අනතුරක් බවද එයින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අන්තරායකර රසායනික අපද්‍රව්‍ය, තෙල්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය සාගරයට එකතු වී මහා පරිමාණ සාගර දූෂණයක් සිදු වූ බවත් කලාපයේ වැඩිම සාගර ජීවීන් සංඛ්‍යාවක් මරණයට පත් වී තිබෙන්නේ මේ අනතුරින් බවට පරියේෂණ වාර්තා ඉදිරිපත් වී ඇති බවත් පැවසීය .

මෙම නෞකා අනතුරට සම්බන්ධ කපිතාන්වරයා ඇතුළු අනෙකුත් පාර්ශවයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු ඉක්මන් කර ඒ අයට විරුද්ධව අධිචෝදනා බාර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙන බවද පැවසීය.

අදාළ පරිසර හානිය පිළිබඳව අධික්ෂණය කොට කඩිනමින් වන්දි ලබා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ද ඒ අනුව පරිසර අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත්කර තිබෙන අතර සියළු වාර්තා අධ්‍යයනය කරමින් සාකච්ඡා වට ගණනාවක් අදාළ පාර්ශවයන් සමඟ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .

ගෝඨාභය ආණ්ඩුවේ වැරදි ආර්ථික තීන්දු ගැන : විගණන පරීක්ෂණයක් !

ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත .

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්වය.

වාර්තා වන ආකාරයට මෙහි විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීන් කණ්ඩායමක්ද පත්කර ඇත.

විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගන්නා බවය.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යෑම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය , මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම විගණනයේදි තොරතුරු සොයා බැලෙනු ඇති බවත් වාර්තා වෙයි .

ගෝඨාභය රාජපක්ෂගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ඉකුත් 7 වැනිදා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයාටද නියෝග කළේය.

මධ්‍යපාන බීමේ අගය : බස්නාහිර අධ්‍යාපන බලධාරීන් දැනගෙන !

ලෝක ළමා දිනයදා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍යවල පළවූ එම වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

කෙසේ වුවත් මීට පෙර අදාළ ගුරුවරිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වීම සමග සමාජ මාධ්‍ය තුළ ඊට බරපතළ විරෝධයක් මතුවිය.

image caf47f920d 1024x1024

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය : ලංකාව අවසන් තරගයට !

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.

ඒ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවන අවසන් පූර්ව තරගය එක ලකුණකින් ජයගැනීම හරහා ය.

ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව වසර 14කට පසුව පිවිසීමට අවස්ථාව උදා කර ගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.

පාකිස්තානු පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් පමණි.

ඩෙංගු යළිත් හිස ඔසවයි !

මේ වසරේ ජනවාරි මාසයේ සිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 59,317 වාර්තා වී තිබේ.

දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගෙන ඇතිද අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වලින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

තිළිණිගේ පැටිකිරිය ටික ටික එළියට : මේ අලුත්ම ටික !

අද (12) තිළිණිව අරගෙන ගිහින් පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කලා.

කොහොමටත් මේ දවස්වල ලංකාවේ හොට් හොට් ම පුවත් මවන්නිය - නිව්ස් මේකර් වෙලා ඉන්න, තිලිණි ප්‍රියමාලි ගැන දවසින් දවස අලුත්ම පුවත් කරලියට එනවා.

තිලිණි ප්‍රියමාලි මේ දිනවල කරළියට ඇවිත් ඉන්නේ, මෙරටේ ධන කුවේරයන් දණ ගැස්සු, මෑතකාලීන විශාලතම මුල්‍ය වංචාවේ සැකකාරිය හැටියට..

මෙරට ආගමික නායකයින් , දේශපාලනඥයින්, කලාකරුවන් , විද්වතුන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කරමින්, අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසයත්, වංචාවන්ගෙන් පිරීලා කියල තමයි ,දැන් දැන් රහස් පොලිසියෙන් වාර්තා වෙන්නේ..

මේ හෙළිදරව්ව,, 1982 වසරේදී කළුතර ප්‍රදේශයේ දී උපත ලබා ඇති, තිලිණි වංචාවන්ට අත්පොත් තැබු ආකාරය ගැන..

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි ජාතික හැදුනුම්පතේ ඡායාපිටපතක් ඔන්න එලියට ඇවිත්..

ඒ, ඇය විසින් ජාතික හැදුනුම්පතේ ඡායාපිටපත, රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබා දී තිබුනේ, 2012 වසරේදී ..කුලී පදනම මත ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ලබාගන්න ..

තිලිණි 2012 වසරේදී ලබා දී තිබු ,අගරු චෙක්පතක් ද ඔන්න එලියට ඇවිත්..

එසේම ඇය මෝටර් රථය ලබාගැනීම වෙනුවෙන්, ඇගේ අත්අකුරින්ම ලියූ ලිපියක් ද, රථයේ හිමිකරුට ලබා දී තිබුනා.

හැදුනුම්පතේ සඳහන් ලිපියනට ගිය මෝටර් රථයේ හිමිකරුට ,, තිලිණි විසින් ගල්කිස්ස ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට සිදුකළ වංචාවක් සම්බන්ධයෙන්, තොරතුරු හෙළිව තිබෙනවා.

කොහොම වුනත්, කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථයෙන්, රත්මලාන දම්මාධාර මාවතේ කුළී නිවසට පැමිණි අවස්ථවේදී ,ඇය පොලිසියට කොටුවන්නේ මෙම පුද්ගලයා ලබාදුන් තොරතුරු මත...

පසුව තිලිණි පිළිබඳ විමර්ශන වලින් ලබාගත් තොරතුරු ,පොලිසිය මෝටර් රථයේ හිමිකරුට හෙළි කර තිබුනා.

මෙම පුද්ගලයාට ප්‍රියමාලි නම් කාන්තාවට, 2020 වසරේදී මුහුණු පොත හරහා යළි හමුවෙලා. ඒ වනවිට ඇය මෙරට දේශපාලඥයින් ඇතුළු, ධන කුවේරයන් අතර සුපිරි චරිතයක් ....

ඒ විදියට ටිකෙන් ටික හොර වැඩ කරමින්, කරලියට ආපු තිලිණි , කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ,, මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින්,, විවිධ පුද්ගලයන් රවටා ලබාගත් මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251) බව රහස් පොලිසියේ,, නවතම වාර්තාවල සඳහන් වෙනවා ලු..

මේ විදියට කෝටි 251ක මුදලක් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන ඇති තිලිනි, එම මුදල්වලට කළ කී දේ සෙවීම සඳහා, වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ, ඇගේ තරුණ පෙම්වතෙකු,,, රහස් පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරලා.

මෙම තරුණ පෙම්වතා,, 2019 වසරේ සිට ඇය සමග සමීපව කටයුතු කරපු කෙනෙක්..

මොහු ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින්, ඇය සමග උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට,, නළු නිළියන් දේශපාලනඥයන් හමුවට ගිහින් තියනවා කියලා , රහස් පොලිසිය අනාවරණය කරගෙන ලු..

ඔය කියන තරුණයා හිටපු ඇමතිවරයෙකු වන ,, මර්වින් සිල්වා ගේ සමීපතමයෙකු බවට හඳුනාගෙන ...

ප්‍රශ්න කිරීමේදී ඔහු රහස් පොලිසියට කියල තියන්නේ, සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර, ඇය තමාම හඳුන්වාදුන් වෙනත් ආරක්ෂයෙකු සමග විවාහ වී වෙලා කියලා.

ඒ, විවාහයේදී ලබාගත් පින්තූරයක් පවා ඔහු , රහස් පොලිස් නිලධාරීන්ට පෙන්වා තියනවා ලු..

කොහොම වුනත්, රහස් පොලිසියේ විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු , සැකකාරිය විසින් ලබාගෙන ඇති රුපියල් කෝටි 251ක මුදලට සිදු වූ දේ, මේ පෙම්වතාගෙන් විමසලා.. පෙම්වතා කියල තියෙන්නේ තමා ඒ ගැන දන්නේ නෑ මයි කියලා.

ඇය දැන හඳුනාගත් මුල් කාලයේ ,තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවත්, පසුව ඇය තමාට ඒ මුදලට වැඩියෙන් පියවා, නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවත් , ඒ පුද්ගලයා රහස් පොලිසියට කියල ..

පසුව තමා එම මුදල් ගැන විමසීමේදී,, තමාට රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බවත්, එම රත්රන් පොලු නිවසේ සඟවා තිබූ බවත් ඔහු පොලිසියට කියල.

හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ,, ඉන් එක් රත්රන් පොල්ලක් විකිණීමට තැත් කිරීමේදී, ඒ පොලු පිත්තල වෙලා ලු..

ඒ විතරක් නෙමෙයි, මේ වන විට ගිණුම් හරහා ලබාගෙන ඇති, රුපියල් කෝටි 251ට අමතරව, ඩොක්ටර් ක්ලැරන්ස් ගෙන් ලක්ෂ 7,500ක් අරගෙන. පස්සේ ඒ සල්ලි ඉල්ලනකොට,, ප්‍රසිද්ධ නිලියක් ලවා සෙක්ස් කතා කරලා,, ඒවා පටිගතකරගෙන බ්ලැක් මේල් කරලා කියලත් කියනවා..

ආරංචි විදියට ඔය ඩොක්ටර් ක්ලැරන්ස් ට රත්රන් කියල පොලු විස්සකට වැඩි ගානක් දීල .. බැලින්නන් ඒ සේරම පිත්තලලු..

වැඩේ කියන්නේ තිලිනි ඔයවගේම වැඩක්,, ප්‍රසිද්ධ සාදු කෙනෙකුටත් කරලා. රත්තරන් කියල දෙතුන් දෙනෙකුටවත් උස්සන්න බැරි සයිස් එකේ ලොකු පහනක් පුජකරලා.

ඒ සාදුගේ ආරක්ෂාවට කියල, පන්සලේ වැඩවාසය කරපු සාමනේර සාදුල දෙතුන් දෙනමට,, ඔය රත්තරන් පහනේ කතාව ආරංචිවෙලා .. ලොකු සාදු වස්වසන්න කියලා ජපානෙට ගියපු වෙලාවක , සාමනේර සාදුලා අර රත්තරන් පහන පන්සලෙන් ගෙනියන්න ට්‍රයි එකදීල .. වැඩේ හරි ගිහින් නෑ , බර වැඩි නිසාම. පස්සේ වැඩේ අවුල්වෙලා පහන පන්සල ඇතුලෙම වල දාලා , පස්සේ උස්සන්න බලාගෙන.

ආයෙත් ලංකාවට වැඩපු නායක සාදු , අර හංගල තිබුන පහන හොයද්දි,, වැඩේ මාට්ටු වෙලා. සාමනේර සාදුලා ට ගහල පන්නලා. පස්සේ පන්සලට ආපු ජානකී තමයි කියල තියෙන්නේ , ඕක පිත්තල පහනක් කියල. ඒ කියනකොට තිලිනි සාදුගේ V 8 එක ගල් කරලත් ඉවරයි..

තිලිනි ඔය විදියේ රන් කතාවලට විතරක් නෙමෙයි, ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කරලා කියලත්, රහස් පොලිසියට තොරතුරු අනාවරණය වෙලා ලු..

ආරංචියේ හැටියට ගාල්ල පැත්තේ, ජනප්‍රිය කපුවෙකුට , ඔය ගුරුකන් වැඩවලට රුපියල් මිලියන 70ක් වියදම් කරලා ලු..

ඒ විතරක් නෙමෙයි, තිලිනි පදිංචි වෙලා ඉන්න, වත්තල නිවසේ ස්ථාපනය කරලා තියන බුදු පිළිමයකට,, සතියට සැරයක් රුපියල් ලක්ෂ 3ක විතර නෙළුම් මල් පූජාවක් තියල ලු..

ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත්, තිලිනි බ්ලැක් මේල් කරලා තියෙන්නේ , පොලිටිෂන්ලා විතරක් නෙමෙයි ,රජයේ නිලධාරීන් සෙට් එකකටත් වැඩේ දීලලු..

පොලිසිය හෙට අනිද්දා ඔය සේරම එලියට දාන්න ලු යන්නවයි කියන්නේ..

- දේශපාලන වාර්තාකරු

පුංචි ජන්දය පවත්වන දිනය : මැකොස කියයි !

පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි .

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද ඔහු සඳහන් කර ඇත .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මේ අදහස් දක්වා ඇත්තේ අද (12) නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේ ය.

එම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මැතිවරණ කොමිසමේ සභාපති පවසා ඇත්තේ පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ය.

එසේම පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා එය අතුරුදන් කර ඇති බවද ප්‍රකාශ කර ඇත .

දරුවන් පලිහක් කරගන්න දෙන්න එපා : ජනාධිපතිගෙන් පොලිසියට උපදෙස් !

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

“ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගැනිණි.

ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා සමග ද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේ දී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය.

ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට දැන්වීය.

ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මග හරවා ගක හැකි බව ද පැවසීය.

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔක්තෝබර් 14: මෛත්‍රී ගැන තීන්දුවක් !

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන එය වළක්වා ගැනීමට පියවර නොගත් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ඔක්තෝබර් 14 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

එදිනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති තමන්ට එරෙහිව අපරාධ පැමිණිල්ල බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු ඉදිරිපත් කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සමග ජනාධිපති නීතිඥ හයිස් මුස්තාෆා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසුරිය පෙනී සිටියේය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත තවම නෑ : කෝටි 266ක් ගිලලා !

විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණයවි තිබේ.

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006 වසරේදීය.

එහෙත් තවමත් එය අවසන් අදියර දක්වා ප්‍රගතියක් අත්පත් කරගෙන නැත.

ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇත.

ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදි ගැනීම වෙනුවෙන් එක්කෝටි අනුතුන් ලක්ෂයක් වියදම් කර තිබේ.

එසේම 2017 වසරේ සිට 2021 දක්වා කාර්ය මණ්ඩලය විසිනවයක් වෙනුවෙන් සේවක වැටුප් හා දීමනා කෝටි අටක්ද ඇතුලුව පාරිපාලන වියදම් ලෙස කෝටි විස්සක් වැය කර තිබේ.

ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇතත් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ.

මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම නිලධාරින් බඳවාගෙන තිබෙන්නේ එම පුහුණුවට අදාල කාර්යය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබාදි නොතිබියදී බවද එහි සඳහන් වේ.

මේම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදි හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව් අධ්‍යක්ෂක ජෙනරාල් වියනි ගුණසේකර මහතා සඳහන් කළේ විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය.

මෙම ව්‍යෘපෘතිය 2019 වසරේදි ශ්‍රි ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලෙස වෙනස් වි කාර්යක්ෂමව ඉදිරියට ගිය නමුත් පසුව විටින් විට සිදුවු කැබිනට් සංශෝධන නිසා එය යම් අඩාලත්වයකට පත්වු බවද මේ වන විට එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද ඔහු පැවසීය.

- lankadeepa

75 වන නිදහස් සමරුවෙන් එක්ව නැගිටිමු !

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"එක්ව නැගිටිමු " තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

75 වන නිදහස් දින සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

නිදහස් දින සමරු උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර පාපැදි සවාරිය, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංගයන් වෙයි.

එමෙන්ම නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

පෙබරවාරි 4 සහ 5 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙන අතර 75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ.

නිදහස් සමරු උත්සවයේ සංවිධාන කමිටුව අනුකමිටු 10 කින් සමන්විත අතර නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කෙරේ.

මේ හා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධාන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපන වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම නිදහස් සැමරුම් දින දිවයිනේ සියලු රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලිවල ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ද, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20221012 WA0012

පක්ෂයේ බෙදීම නොදුටු දයාසිරි ආණ්ඩුවේ බෙදීම හොයයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බොහෝදුරට සමාන බැවින් ඒ සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (12) පැවසීය.

ශ්‍රීලනිප මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30 ක් මීට විරුද්ධ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවත් මෙය සම්මත කරගැනීමට එය බාධවක් නොවනු ඇතැයිද සඳහන් කළේය.

22 වන සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 න් 147 කගේ ඡන්ද පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කල මන්ත්‍රීවරයා ආණ්ඩුව තුළ මත දෙකක් පැවතීම ආණ්ඩුවේ ගැටලුවක් බවද පැවසීය.

කෙසේවුවත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රී බහුතරය පක්ෂයේ මෛත්‍රී - දයාසිරි පාර්ශවයට අහිමිව ඇති පසුබිමක ආණ්ඩුවේ බෙදීම ගැන කතා කිරීම විහිළුවක් බව දේශපාලන විචාරක මතයවී ඇත.

ආණ්ඩුවේ බෙදීම දේශපාලන උපක්‍රමයක් ලෙස වුවත් දැකිය හැකි නමුත් ශ්‍රීලනිප බෙදීම එසේ නොවන බවද ඔවුන් පවසයි.

22 සංශෝධනය ගෙන එනු ලැබුවේ 19 සඳහා විකල්පයක් ලෙස නොවන බවත් එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැනුම්දීමක් අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් විචාරකයන් සිහිපත් කරයි. 22 සහ 19 සමාන කිරීම ජනතාව නොමග යැවීමක් බව පවසන දේශපාලන විචාරකයන් මේ මොහොතේ ප්‍රචාරක වාසියක් ගැනීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ ඇතැම් පාර්ශව 22 සංශෝධනයේ ගුණ කියන බවත් විචාරක මතය වී ඇත.

IMF සහය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ශ්‍රී ලංකාවට යළි මූල්‍යමය වශයෙන් විශ්වාසයක් ඇති කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ණය වර්ගීකරණය යටතේ ගැප් ක්‍රමවේදයට පිවිසීම තුළින් ශ්‍රී ලංකාවට තව දුරටත් මැදි ආදායම්ලාභී රටක් ලෙස සිටිමින් සහන පදනම මත ණය ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එසේ ම කිසිදු සුබ සාධන වියදමක් කප්පාදු නොකර ඉදිරියට හා හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සංශෝධනයට ලක් වීමට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමෙරිකාවේ වොෂින්ටන් නුවර මේ වන විට පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සෝල්හයිම්ට ජනාධිපතිගෙන් තනතුරක් !

නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවත් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් වන සටහනක් එරික් සෝල්හයිම් සිය ටිවිටර් ගිණුමේ තබා ඇති අතර එය පහත දැක්වෙයි.

එරික් සෝල්හයිම් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත වී ඇත.

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක් !

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතරින් අද (12) වන විට අයදුම්පත් 624, 714ක් පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මඟින් සියලුම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරේ.

මෙම වැඩසටහන සඳහා වන නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර ජනතාව විශාල උනන්දුවකින් ඊට එක්ව සිටී බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

මේ වන විට සුබ සාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති පවුල් ලක්ෂ 06ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව මෙම සමාජ සුබ සාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39ක් සුබසාධක ප්‍රතිලාභ ලැබීමට නියමිතව ඇත. අදියර 06ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත ,වකුගඩු රෝගී ලෙස මේ වන විටත් සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලුතින් සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් මේ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත.

එසේ ලියාපංදිචි වීමේ අයදුම්පත් ආකෘති 2022.08.30 දින ප්‍රසිද්ධ කළ අතර 2022.09.29 වන විට දත්ත පද්ධතියට ඇතුළත්කර තිබූ අයදුම්පත් ප්‍රමාණය 100,000කට ආසන්න විය.

එහෙත් පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියලු මාධ්‍ය ආයතනවලින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු මාධ්‍ය දායකත්වය සමඟ ලක්ෂ 23ක අයදුම්පත් ලැබී ඇති බව සඳහන් කරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අයදුම්පත් යොමුකිරීමට ඇති අවසන් දිනය ඔක්තෝබර් 15 වනදා බවත් සිහිපත් කරයි.

දෙසැම්බර් 15දා වන විට සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

Page 189 of 385