පුවත්

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් !
ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
මේ අතර දිනකට IDH රෝහලට රෝගීන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවසුවේ, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් රෝගීන් 18,420 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එම ඒකකය ප්‍රකාශ කළේ ය.
ඒ අනුව අද(26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.
එහි ලේකම් රංජිත් අශෝක සඳහන් කළේ, ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.
ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ආර්ථිකය ගොඩයන සුබ ලකුණක් : ප්‍රාථමික ගිණුම ධන වෙයි !
නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මෙරට ආර්ථික යළි අවදිවෙමින් තිබෙන බවට සුබවාදී සලකුණක් බවයි. 2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් වාර්තා කර තිබේ.
මීට පෙර එවැනි ධන අගයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ දීය. මුදල් පනත යටතේ ක්‍රියාත්මක නියෝග කිහිපයකට අදාළ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් ඔහු අද (26) මේ බව පැවැසීය.
2021 වසරේ පළමු කාර්තුව තුළ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 1,009ක හිගයක් අගයක් පෙන්නුම් කළ අතර 2022 වසරේ දී එම හිගය දැක්වුණේ බිලියන 894ක් අගයක් ලෙස ය. 2023 වසරේ මුල් කාර්තුව තුළ රජයේ ආදායම රුපියල් බිලියන 635ක් ලෙස දැක්වෙන අතර වියදම රුපියල් බිලියන 1260කි. ඉන් රුපියල් බිලියන 637ක ණය පොලී වාරික ඉවත් කළ විට වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 587ක් ලෙසිනි. ඒ අනුව 2023 වසරේ එම කාලය තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් පෙන්වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
නිදහස් ශ්‍රී ලංකාවේ මීට පෙර අවස්ථා පහක දී ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත. 1954 වසරේ දී පළමු වරට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 57කි. 1955 වසරේ දී ද ධන අගයක් වාර්තා වී අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 150කි. ඉන් පසු ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත්තේ 1992 වසරේ දීය. එම ප්‍රමාණය රුපියල් මිලියන 177කි. 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ රුපියල් මිලියන 2071ක ධන අගයක් සනිටුහන් විය. අවසාන වශයෙන් ධන අගයක් වාර්තා වූ 2018 වසරේ දී එම අගය දැක්වුණේ රුපියල් මිලියන 91,421ක් ලෙසිනි.
මේ අතර රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැරි ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ම වැඩබලන මුදල් අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙක මගින් නිකුත් කළ ප්‍රකාශ සභා ගත කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ණය කපා හැරීමක් පිළිබඳ සිතිවිල්ලක් හෝ රජයට නොමැති බවයි. සමස්ත ජනතාව ණය බරින් සිටින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාර සියලු ජනතාව පීඩාවට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අර්ජුනගේ පත්වීම නීති විරෝධීයි : උපදේශක ඇමතිට ලියයි !
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි යයි ක‍්‍රිඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර පවසයි.
ක‍්‍රීඩා ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.
අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි බව.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (3) වගන්තියේ සභාවට පත් කරනු ලැබූ සාමාජිකයෙකු තමාගේ සාමාජිකත්වය දරන තාක් කල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක හෝ සංවිධානයක ධූර දැරීම නතර කල යුතුය.
වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් 2021 ජූනි මස සිට තේරි පත් වී ඇත. ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතාව 2022 අගෝස්තු මස 10 වන දින සිට ඔබතුමා විසින් පත් කර ඇත (ඔහු සිංහල ක්‍රිඩා සංගමයේ දරනු ලබන තනතුර සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මෙයට අමුණනා ඇත).
ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසන් කොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත. ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ.
ක්‍රීඩා සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපිය සමගම නීතිරීති සහ කාර්යය භාරය පිළිබදව ලිපි ගොනුවක් ද ප්‍රධානය කරණ ලදි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවට නිර්දේශ කරමි.
සුදත් චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ උපදේශක

ව්‍යාපාරිකයන් 10 කගේ ණය බොල් ණය කළ ප්‍රචාරය බොරුවක් !
ආණ්ඩුවේ මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. ලංකා බැංකුවට කතා කළා, මහජන බැංකුවට කතා කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතාකළා, ඉතිරිකිරීමේ බැංකුවට කතාකළා, මහාභාණ්ඩාගාර ලේකම්වරයාට කතාකළා. මේක හරි භයානක දෙයක් නේ මෙහෙම වෙනවා නම්. එහෙම දෙයක් කතාකරලා නෑ සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නෑ, එහෙම සිතුවිල්ලකුත් නෑ, එහෙම කතාබහකුත් නෑ, එහෙම තීන්දුවකුත් නෑ, මේ මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්නාගත්තා. සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් හිරවෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් කිහිපදෙනෙකුට සහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවෙකුටම මහා පීඩනයක් ගෙනදෙන කතාවක්. මම බොහොම වගකීමෙන් කියනවා අනාගතයේදීවත් එහෙම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ නෑ."

පරණ වරදකට : ජනපති ජපාන රජයට කණගාටුව පළ කරයි !
ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.
විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද පැවසීය.
ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා අතර නිල හමුව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.
නායක දෙපළ අතර සුහද කථා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කළහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අතර හමුවක් ද අද (25) ටෝකියෝ නුවරදී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වූ අතර ආර්ථික, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එසේම ජපාන - ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී අද (25) පැවැත්වූ උදෑසන භෝජන සංග්‍රහයට සමගාමීව පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් දිරි ගන්වන ලෙස ද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ද සිදු වූ අතර ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප මිත්‍ර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ එහිදී අවධානය යොමු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් (Lawrence Wong) අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද අද (25) ටෝකියෝ නුවරදී පැවැත්විණි.
එහිදී සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවේ යළි තහවුරු කර සිටියේය.

ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට !
වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා විසින් අද (මැයි 25 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය
ඒ, වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවය.
ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වතුකම්කරුවන්ට තැපැල් ලිපින නිකුත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරන බවත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
ඒ අනුව පෙත්සම සැප්තැම්බර් 13 වැනිදා කැඳවන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට
මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා වතු කම්කරුවකු විසින් පසුගිය මාර්තු 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.
වතු කම්කරුවන්ට අභියෝග රැසක්...
පෙත්සම්කරු කියා සිටින්නේ ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතු කම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරීත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ය.
ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සමේ දැක්වෙයි.
තමා පදිංචිව සිටින මුවන්කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත්වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.
මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක වතුකම්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ දැක්වෙයි.
ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලයි
මේ වන විට ශ්‍රී ලංකාව පුරා වතු කම්කරු පවුල් 244 500කට අයත් 966 700ක පිරිසක් සිටින අතර මොවුන් මෙම ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටියි.
වතු කම්කරුවන් මෙරට විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද, 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද උපයා ගැනීම සඳහා වතුකම්කරුවන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදී ඇති බවත් පෙත්සමේ දැක්වෙයි.
වතු කම්කරුවන්ගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබා නොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම වතු කම්කරුවන් පදිංචිව සිටින ස්ථාන සඳහා ඔවුන්ට පෞද්ගලික තැපැල් ලිපින ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
බීබීසී

නැනෝ දියර පොහොර දූෂණය හොයන්න කමිටුවක් !
2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැති බවය.
2021 වසරේ දී නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් මෙරටට ආනයනය කෙරිණි.
නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාල කමිටුව පත්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආගමික ස්ථානවල වැඩට දාපු සිවිල් ආරක්ෂකයන්ට මොකද වෙන්නේ ?
වසර ගණනාවක් තිස්සේ පන්සල්, පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක 3000ක පමණ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවෙතැයි විශ්වාස කිරීම අපහසු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසීය.
පන්සල්වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වන බවද සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා ඇතැමුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම වැනි කාර්යයන් කරමින් සිටින බවද පැවසීය.
මේ අය කරන්නේ මොනවාද ? සේවයට එනවද? වැනි කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් සිදුකිරීමටද හැකියාවක් නැති බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.
ඔවුන්ගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කිරීමට සිදුවන බවද සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන අතර මෙි 32000 ම දීර්ඝ කාලීනව තබාගෙන සිටීමටද හැකියාවක් නැති බවත් සඳහන් කළේය.

මහවැලියට කෝප් බාල්දියක් !
මහවැලි අධිකාරියේ සේවා කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත්වීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්ව ඇත.
පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අධිකාරියේ මූලික අරමුණක් ලෙස සඳහන්ව තිබුණද එම අරමුණ ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයිද එහිදී සඳහන්ව ඇත.
ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.
එසේම අධිකාරිය ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳවද කෝප් කමිටුව කරුණු විමසා ඇති අතර එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් නිකුත්කර ඇත.
ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද එම අධිකාරියට කෝප් කමිටුව දන්වා ඇත.

ආසියාවේ ශක්තිය සහ අගය ජනපති අවධාරණය කරයි !
ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
සිංගප්පූරුවේ සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් ඇතුළු ලෝක නායකයන් හමුවේ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජපානයේ ටෝකියෝ නුවරදී අද(25) ආරම්භ වූ “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන මෙම සමුළුව අද (25) සහ හෙට (26) ටෝකියෝ නුවරදී පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේ ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන අතර එය සැළකිය යුතු ගෝලීය බලවේගයක් බවයි.
එසේම, ආසියා-පැසිෆික් කලාපය සහ ඉන්දියන් සාගරය අතර වෙනස පිළිබඳව පැහැදිළි කළ ජනාධිපතිවරයා ආසියා-පැසිෆික් කලාපය ව්‍යුහගත කලාපීය සංවිධානයක් වන අතර ඉන්දියන් සාගර කලාපය නැගී එන අවකාශයක් බව ද සඳහන් කළේය.
1955 බැන්ඩුං නුවර පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ දි සහ ඉන්දියන් සාගරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් ලෙස නම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපයේ සබඳතා පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කර සිටියේය.
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ "සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති" ප්‍රතිපත්තියට තම පූර්ණ සහාය පළ කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා බොහෝ දෙනා ආසියාවේ ප්‍රගතියට සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීමට තීරණය කර ඇති බැවින්, ගෝලීය මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරිමෙන් ආසියානු ජාතීන් වැළකී සිටින බව ද පැවසීය.
චීනය සමඟ ස්ථාවර සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා ජපානයේ G7 සහයෝගීතා ප්‍රවේශයේ වැදගත්කම පිළිගත් ජනාධිපතිවරයා "නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්" කලාපයක් සඳහා ජපානයේ දැක්මට සහාය පළ කළ අතර කලාපයේ සාමය සහ සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ආසියානු ජාතීන් අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය.
ගෝලීය ආර්ථිකය තුළ ආසියාවේ සුවිශේෂී කාර්යභාරය සහ කලාපය මුහුණ දෙන අභියෝග ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් සහ බිලියන 4.75 ක් එනම් ගෝලීය ජනගහණයෙන් 60%ක් සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත.
ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්ගෙන් ලැබෙන දායකත්වයත් සමඟ චීනයේ දියුණුව සහ ඉන්දියාවේ වර්ධනය වන දේශීය ඉල්ලුම කලාපයේ දියුණුවට දායක වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
"2050 දී ලෝකය" ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් වාර්තාව උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ලෝකයේ හොඳම ආර්ථිකයන් 10 තුළ ආසියානු රටවල්, ආධිපත්‍යය දරනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඉන් හතරක් පළමු ස්ථාන දෙකේ සිටිනු ඇති බවත්ය.
මීට අමතරව, වියට්නාමය සහ පිලිපීනය ඉහළම රටවල් 20 අතර සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ආර්ථිකයන් සමඟ දැනටමත් සංසන්දනය කළ හැකි ආර්ථිකයක් සහිත ආසියාව, ගෝලීය ආර්ථික බල කේන්ද්‍රස්ථානය සහ වඩාත් ක්‍රියාශීලී කලාපය බවට පත්ව ඇති බව ද පැවසීය.
මෙහිදී ආසියාවේ විවිධත්වය පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ධනවත් සහ දිළිඳු ආර්ථිකයන්, විශාල උප මහාද්වීපික බලවතුන් සහ කුඩා රාජ්‍යයන් ද ආසියාවට ඇතුළත් බවයි. මෙම විවිධත්වය ගෝලීය වශයෙන් කලාපයේ පිහිටීම ශක්තිමත් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, චීනයේ වේගවත් පිබිදීම සහ ජාත්‍යන්තරය තුළ චීනයේ භූමිකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ චීනයට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් සහ එදිරිවාදිකම් මතු වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
පවතින අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කළේය. එයින් පළමුවැන්න ලෙස, ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම් පිළිබඳ ඇති ව්‍යාකූලත්වය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා දේශපාලන ක්‍රමවල වෙනස්කම් සහ මානව හිමිකම් පිළිබඳ එකිනෙකා තුළ තිබෙන අවබෝධයේ විවිධත්වය පිළිබඳව ද පැහැදිළි කළේය.
මූලික දේශපාලන වටිනාකම් පිළිබඳ සම්මුතියකට එළැඹිමේදී ජාතීන්ට අයත් විවිධ පසුබිම් සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා නීති මත පදනම් වූ වැඩපිළිවෙළක් සදහා නීතිරීති පිළිපැදීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අතර මෙම නීතිරීති අඛණ්ඩව අනුගමනය කරන ලෙස බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දුන් දෙවන ප්‍රධාන අභියෝගය වූයේ ආසියාවට සැලකිය යුතු තර්ජනයක් වන දේශගුණික විපර්යාසයයි. ආසියානු කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දරුණු කාලගුණික වෙනස්වීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම, ආසියානු රටවල ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන කෙරෙහි බලපෑම් ඇති කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ රටවල් පහළොවෙන් අටක්ම අයත් වන්නේ ආසියාව වන අතර මාලදිවයින, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ වියට්නාමය ඊට අයත් වේ.
ගෝලීය කාබන් විමෝචනය සඳහා ආසියාව සැලකිය යුතු දායකත්වයක් සපයයි. ආසියාව ලෝකයේ කාබන් විමෝචනයෙන් අඩක් පමණ නිපදවන අතර විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන රටවල් 05 කින් සමන්විත වේ. දේශගුණික විපර්යාසවල අභියෝග අවම කිරීම සඳහා කලාපයේ බොහෝ රටවල් දැනටමත් පැරිස් ගිවිසුම සමග අනුගත වී සිටී.
ඒ සඳහා එම සියලුම රටවල් කැපකිරීම් සිදුකර ඇති අතර කලාපයේ ඇතැම් කාර්මික රටවල් විසින් අනුමත කරන ලද කෙටි කාලසීමාවන් මත පදනම්ව කාබන් මධ්‍යස්ථතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ආසියාව ද පොදු කාල රාමුවකට එකඟ විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කළේය.
ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම නිසා උග්‍ර වී ඇති දේශගුණික විපර්යාස හේතුවෙන් කලාපයේ සිදුවන පාඩු සහ හානියේ බලපෑම සැලකිල්ලට ගනිමින් දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා සියලුම ආසියානු රටවල් අතර සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත සමුළුවලදී ඒකාබද්ධ ආසියානු හඬක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. ප්‍රධාන ආසියාතික රටවල් එකඟතාවකට පැමිණීමේ හැකියාව මත සමුළුවේ සාර්ථකත්වය රඳා පවතින බව ජනාධිපතිවරයා පැවසීය.
COVID-19 අනතුරුව ණය තිරසාරභාවය පිළිබඳ අර්බුදයකට ආසියාතික රටවල් කිහිපයක් මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් වැඩි බලපෑමකට ලක්වූ රටකි. මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස, ණය තිරසාරභාවය පිළිබඳ ගැටළු විසඳීම සඳහා කාලයේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවලට ඇති එකම විකල්පය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බහුපාර්ශ්වික සම්බන්ධීකරණය සහ සහයෝගීතාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි සහාය ලබා ගැනීම බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹුණු අතර 2023 මාර්තු මාසයේදී විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව මේ වන විට ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් 2023 අවසන් වීමට පෙර එම සාකච්ඡා සාර්ථකව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
මෙම ක්‍රියාවලියට බහුපාර්ශ්වික නියෝජිතායතන, පැරිස් සමාජ සාමාජිකයින්, ඉන්දියාව, චීනය සහ පෞද්ගලික ණය හිමියන් සම්බන්ධ වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම මධ්‍යම ආදායම් ලබන රටවලට ණය සහන සඳහා බහු පාර්ශ්වික සම්බන්ධීකරණය සහතික කර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල භාවිතා කිරීමට අත්දැකීමක් කරගත හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සියලු ආකාරයේ ආර්ථික බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ලෝක වෙළඳ සංවිධානයේ හරය වූ නීතිරීති මත පදනම් වූ බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථිකය ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී ජී7 නායකයන් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කර සිටියි. ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ ජී7 කණ්ඩායම, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි.
යුක්‍රේන යුද්ධයේ සංකීර්ණ ප්‍රශ්නය පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, එම ගැටුම සම්බන්ධයෙන් ආසියානු ජාතීන් විවිධ මත දරණ බව සඳහන් කළේය.
ඇතැමුන් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සෘජු ආක්‍රමණය කිරීමක් සහ උල්ලංඝණය කිරීමක් ලෙස සලකන අතර, තවත් පිරිසක් එය සෝවියට් සංගමය බිඳී යාම සහ එම ගැටලුව විසඳීමට යුරෝපයට ඇති නොහැකියාව නිසා පැන නගින වඩාත් සංකීර්ණ ගැටලුවක් ලෙස සළකන බවත්, කෙසේ වෙතත් මෙම ගැටුම අවසන් කිරීම සඳහා පොදු එකඟතාවයක් වෙනුවෙන් අවබෝධාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ආසියාව එක්සත් ජනපද - චීන එදිරිවාදිකමේ තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බවයි.
මෑත කාලයේ එම එදිරිවාදිකම තීව්‍ර වීම නිසා එක් අතකින් QUAD (ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර) කලාපයත්, අනෙක් පසින් ඉන්දු-පැසිෆික් කලාපය සහ (BRI) එක තීරයක් - එක මාවතක් ඇති විය.
එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ මේ බලවත් රාජ්‍යන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නොවන බවයි. එසේම ආසියාන් රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කළ ජනාධිපතිවරයා ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
ආසියානු කලාපයට අවශ්‍යව ඇත්තේ ඉන්දු පැසිෆික්, BRI (එක තීරයක් - එක මාවතක්) සහ ආසියාන් දැක්ම උකාහගත හැකි ආසියාවක් බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දියානු සාගර රාජ්‍යයන් මෙහෙයවන එකම මූලධර්ම වන්නේ 1955 බැන්ග්ඩුන්ග් හි පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ ප්‍රතිඵලයක් වන ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයයි. 2017 වසරේ පැවති IORA නායක සමුළුවේදී මෙය නැවත ප්‍රකාශ කරන ලදී. එබැවින්, ශ්‍රී ලංකාව “ඉන්දියානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරීම” 2018 සමුළුව කැඳවූ අතර යාත්‍රා කිරීමේ නිදහස, ගුවනේ පියාසර කිරීම සහ මුහුද යට කේබල් පිළිබඳ ගිවිසුමක අවශ්‍යතාවය එහිදී ඉස්මතු කළේය.
ඉන්දු-පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ "සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති" ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා පූර්ණ සහය පළ කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීයසෞභාග්‍යය සඳහා වන රීතිවලට අනුකූලව, ශ්‍රී ලංකාව ආර්ථික ලිහිල්කරණයේ ඉහළ මට්ටමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) හි සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන බව ඔහු පැවසීය.
චීනය සමඟ ස්ථාවර සහ ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීමට ගෙන ඇති G7 ස්ථාවරය ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, එයට ශ්‍රි ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත්, එය සාමකාමී වාතාවරණයක් උදාකර ගැනීමට ඉවහල් වන බව ද ප්‍රකාශ කළේය.
ජපානයේ සහයෝගී ප්‍රවේශය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය, චීනය, ඉන්දියාව සහ ආසියාන් රටවල් අතර විවෘත සංවාදයක් සඳහා ඇරැයුම් කළ අතර එය සාමකාමී සහ සමෘද්ධිමත් ආසියානු කලාපයක් බිහිවීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බව ද පැවසීය.

ලංකාවේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට අමෙරිකාව සූදානමින්
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය ස්ථාවර කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.
දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයින් සමඟ ඊයේ(24) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.
“පසුගිය කෙටි කාලය තුළ රජය විසින් සිදු කළ ප්‍රතිසංස්කරණයන් තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දකින්නට පුළුවන්. නමුත් තවදුරටත් අපි එවැනි ආර්ථික ආගාධයකට රට ගමන් නොකරන ආකාරයේ ස්ථාවරත්වයක් රටේ ආර්ථිකයේ ඇති කරන්නට අපි වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්ති සැකැස්මේ සිට දරිද්‍රතාවයෙන් ජනතාව මුදවාගෙන ඔවුන් සවිබල ගැන්වීමටයි ජනාධිපතිතුමත්, රජයත් සෑම විටම අවධානය යොමු කරන්නේ. අපි දකින සංවර්ධනය මේ අවස්ථාවේ දී ජනතාව සවිබල ගැන්වීමයි. විනිවිද භාවය සුරක්ෂිත කරගෙන ජනතාවට සෑම තොරතුරක්ම සන්නිවේදනය කරමින් ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතාවත් මෙම වැඩපිළිවෙල අවශ්‍ය බව අවබෝධ කරගෙන, ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා.” යනුවෙන් ඇමතිවරයා සදහන් කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණයට කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා සිය ප්‍රසාදය පළ කරන ලදී. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට හා විදෙස් වෙළෙඳාම පුළුල් කිරීමට ඇමෙරිකානු රජය සූදානමින් සිටින බවත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක දී සිය සහය ලබා දෙන බවත් බ්‍රෙන්ඩන් ලින්ච් මහතා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා ඇතුළු පිරිසක් ද, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් එච්.ජී.සුමනසිංහ ඇතුළු පිරිසක් ද සහභාගී විය.

අලිසබ්‍රි ජනකට සහය දුන්න හේතුව කියයි !
තමන් ආණ්ඩුවට එරෙහිව අද (24) දින ජන්දය පාවිච්චි කරන්න තීරණය කර සිටියේ කටුනායක ගුවන් තොටුපළේ දී සිදුවූ අසාධාරණයට පිහිටවීමට ආණ්ඩුවේ කිසිවකු ඉදිරිපත් නොවීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් පවසයි .
අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ය.
රේගුව විසින් අත්අඩංගුවට ගනුලැබූ රත්‍රන් තොගය තමන්ගේ නොවන බවත් එය තම ගෝලයකු විසින් අසුරා ගෙනෙනු ලැබූවක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
රේගුව එම පුද්ගලයාගෙන් ද කටඋත්තර ගනු ලැබුවද මාධ්‍ය වෙත අනාවරණය කෙරුණේ තමන් පමණක් බවත් ඔහු පැවසීය .
එහිදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර සහය ඉල්ලූ නමුත් ඒ කිසිවෙක් සහය දීමට ඉදිරිපත් නොවූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ගුවන් තැපෑලෙන් පැමිණි කුෂ් මාට්ටු !
අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපෑල හරහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ ”කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කරන ආකාරයට බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල පිහිටි නිවාස වෙත පාර්සල් 10 ක් ලෙස අදාළ කුෂ් නමැති ගංජා තොගය එවා තිබු බවය.
කෙසේ වුවත් අදාළ පාර්සල් භාර ගැනීමට කිසිදු පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙන් අදාළ පාර්සල් එහි සේවය කරන රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කර තිබෙන අතර එහිදී “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි, ග්‍රෑම් 475 ක් සොයාගෙන ඇත.
එම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් බවත් අදාළ ගංජා තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අලුත් ආගමික ස්ථාන ගැන ජවිපෙ බිමල්ගෙන් යෝජනාවක් !
අලුතින් ආගමික ස්ථාන ඉදිකිරීමේදී පොදු මාර්ගෝපදේශ පද්ධතියක් ආගමික නායකත්වය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.
ජනතාව කල්පනාවෙන් සිටිය යුතු අතර අනාථ වූ පාලකයන් එල්ලෙන්න හදන අන්තිම පිදුරු ගහ අන්තවාදය යැයි ද ඔහු පැවසීය.
“උතුරු පළාතෙන් බැහැරව ත්‍රිකුණාමලය ආසන්නයේත් හින්දු සහ කිතුනු ජන කණ්ඩායම් අතර ගැටලු මතුවී තිබෙනවා. සමස්තයක් ලෙස මේ සිදුවීම් දෙස බලද්දී පැහැදිලි වෙන්නේ මින් කිහිපයක් වසර දෙකක් හෝ ආසන්න කාලයක අතීතයට අයත් වුණත් අති බහුතරයක් මෑතක මාස කිහිපය තුළ ඇති වී වර්ධනය වෙමින් තිබෙන බව යි. එකට එක කිරීම් ලෙස තරමක් වේගයෙන් වර්ධනය වීමක් පවතිනවා. බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාමීය ආගමික කණ්ඩායම් හතර ම කුමන ආකාරයක හෝ ප්‍රතිවිරෝධතාවන්ට පත්ව සිටිනවා. මේ ප්‍රදේශවල පෞරාණික ඉතිහාසයක් සහිත බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික වගේම ඉස්ලාමීය සිද්ධස්ථාන පවතිනවා. ගැටලු එකක් පමණක් හැරුණු විට අනිත් සියලු ගැටලු පවතින්නේ නව සිද්ධස්ථාන ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යාමට හෝ අලුතින් හඳුනාගැනීම මූලික කරගෙන යි. එහෙම ඇති වෙන ගැටලු මූලික ගැටුම් බවට පත්වුණු අවස්ථා තිබෙනවා.
ජාතිකත්වයන් අතර පවතින වෙනස්කම්, ගැටලු සහ ගැටුම් බවට පත්වී යුද්ධයක් දක්වා වර්ධනය වී සිදුවුණු විනාශයන් අපි දැක්කා. දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිකත්ව ස්වරූපයට වඩා වෙනස්ව ආගමික ගැටුම් බවට වර්ධනය වීමක්. කෙටි කාලයක් තුළ ඇති වන වර්ධනය දකින විට අපට බරපතළ සැකයක් මතුවෙනවා. මේ කරුණු ජනතාව ඉදිරියේ හෙළිකිරීම ජනතා විමුක්ති පෙරමුණේ අප සතු වගකීමක්. පොදුවේ අපේ රටේ ජාතිවාදී සහ ආගම්වාදී මතයන් ජනතාව තුළ තැන්පත්ව තිබෙනවා. බහුතර ජන කණ්ඩායමක් සමඟ සංස්කෘතිකමය වශයෙන් වෙනස් කුඩා ජන කණ්ඩායමක් සිටිනවා නම් ඒ කුඩා කණ්ඩායමට යම් බලපෑම් පවතින බව අපි දකිනවා. සමහර තැන්වලදී ඒ කුඩා ජන කොටස්වලට පීඩාවන් ඇති කරනවා.
මෑතදී සිදුවූ සිදුවීම් දෙස බැලූවිට අපට පෙනෙන්නේ එකම ආගමික කොටස්වල පූජකයන් අතර තිබෙන්නා වූ තරගකාරිත්වය විසින් මේ අයුරින් ගැටලු ඇති කර ඇති බවයි. ඒවා ගැටුම් බවට පත්කර පූජකයන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගන්නා බවකුත් අපි දකිනවා. ඒ වගේම උතුරු පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ අතර පවතින බල අරගලය තුළින් මේ ගැටුම් නිශ්චිත වශයෙන් ම ඇති කරලා ඒ චෝදනාව වෙන කණ්ඩායමකට බැර කරන බවක් පැහැදිලි වී තිබෙනවා. හින්දු පුවත්පත්, වාර්තා කර තිබෙන අන්දමට, ඉන්දියාවටත් සම්බන්ධ ආගමික අන්තවාදී සංවිධාන ලංකාව තුළ කාර්යාල ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවට සම්බන්ධ ඒ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම නිසාත් උතුරු පළාතේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පිරිස්වලට බලපෑම් කරන හින්දු අන්තවාදී කණ්ඩායම් පිළිබඳව සඳහන් වෙනවා. ආගමික, සංස්කෘතික සහ ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට පවතින පොදු හැඟීම විසිනුත් මේ ගැටලුව වර්ධනයක් වී තිබෙනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !
මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මේ බව සඳහන් කර ඇත්තේ 76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් වන අතර මීළඟ ගෝලීය වසංගතය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවත් ඒ මඟින් පෙන්වාදී තිබේ.
කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවද ඔහු සඳහන් කරයි.
මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි වසංගත තත්ත්වයට මුහුණදීමට සූදානම් විය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

සුරාබදු ආදායමේ අඩුවක් !
සුරාබදු ආදායම ඉකුත් මාර්තු මාසයේදී සියයට 40කින් පමණ පහළ බැස ඇති බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ ඒ පදනම් කරගෙන කිසිසේත් රටබීම මිල අඩුකිරීමේ තීන්දුවක් ගෙන නොමැති බවය.
එසේම රටබීම මිල ලබන ජුනි මාසයේ සිට අඩුවන බවට සමාජ මාධ්‍යජාලවල පළවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ වසරේ ජනවාරි මාසයේදී සුරාබදු ඉහළ නැංවීම නිසා මේ වසරේ ඉලක්ක ගත සුරාබදු ආදායම සියයට 30කින් පමණ අඩුවනු ඇතැයි ගණන් බලා තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
නිත්‍යාණුකූල රට බීම අලෙවියේ බිඳ වැටීමත් සමග පාරිභෝගිකයන් නීති විරෝධී මත්වතුරවලට යොමුවීම ඉහළ ගොස් තිබෙන අතර එම නිසා රජයේ ආදායම අඩුවී ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙයි.

උද්ඝෝෂණ කරන්නත් මාර්ගෝපදේශනයක් !
සිවිල් වැසියන් විසින් උද්ඝෝෂණවල නිරතවීමේදී රාජ්‍ය හා නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටින් පිළිබඳව නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශනයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිකුත්කර ඇත.
නීති විශාරදයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, නීතිය බලාත්මක කරනු ලබන නිලධාරීන් ඇතුළු විවිධ පිරිස්වල අදහස් විමසමින් මෙම මාර්ගෝපදේශනය සකස් කර ඇත.
අදාළ මාර්ගෝපදේශනය තවදුරටත් පුළුල් ලෙස සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීමට ද කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, මීට අදාළ අදහස් හා යෝජනා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා එකකින් ලියා ජූනි මස 9 වන දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු ය.
සියලු ම යෝජනා වචන 1,500ට සීමා විය යුතු අතර සිංහල බසින් යොමු කරන යෝජනා හා අදහස් “lskoola Pota” අකුරුවලින් ද, දෙමළ බසින් යෝජනා “Latha” අකුරුවලින් ද ඉංග්‍රීසි බසින් යෝජනා “Times New Roman” යන අකුරුවලින් දඩ යොමු කළ යුතු බව එම කොමිෂන් සභාව සිය නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.
නිර්දේශිත මාර්ගෝපදේශ https://www.hrcsl.lk/hrcsl-issues-recommended-guidelines-on-dealing-with-civilian-protests/ යන වෙබ් ලිපිනය ඔස්සේ බාගත කරගත හැකි බව ද එම කොමිෂන් සභාව යොමුකර තිබෙන නිවේදනයේ සඳහන් ය.

රත්‍රන් ඇදපු අලිසබ්‍රි ජන්දය ජනකට පක්ෂයි !
නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් තොගයක් රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන දඩ මුදලක් පැනවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් අද (24) පාර්ලිමේන්තුවට පැමිණ ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ඡන්දය විමසීම සඳහා සහභාගී වීය.
ඔහු එහිදී ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.
නීතිවිරෝධී ලෙස රත්‍රන් ඇතුළු භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන ඒමේදී, ඊයේ (23) කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් පැනවීමෙන් පසුව මුදාහැරුණි.
මන්ත්‍රිවරයා නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රන් කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 397 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.
Page 184 of 460