V2025

පුවත්

උපයෝගීතා කොමිසමේ පොහොට්ටු ජනකගේ ආරක්ෂාව සජබ බාරගෙන !

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

රජයේ මෙම තීරණය ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ලෙස සළකා මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කල බවත් ඔහු පවසයි .

කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි ලෙස හදුන්වා දී ඇත්තේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම බවත් ඒ හැර කිසිදු වංචා දූෂණ චෝදනාවක් ඔහුට එල්ල වී නොමැති බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි .

දේශීය සහ ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව ලැබුනත් මේ ආණ්ඩුව යටතේ තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරන බවට පෙනී යන බවත් ඔහු පැවසීය.

ජනක සජබ පිල්ලියක් !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , හැංගි හැංගි නටපු ජනක එළිපිට වෙස් බැඳීම කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය හරහා තහවුරු කරන බවයි.

පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස ජනක රත්නායක පත්කළත් ඔහුගේ පසුකාලීන හැසිරීම අතිශය දේශපාලනික වූ බවත් ඒ තුළ සූක්ෂම ආකාරයට ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට දැරි ප්‍රයත්නය පෙන්නුම් කළ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ වන විට ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇති අතර ඒ හරහා ඔහු අර්බුදය හමුවේ රට ගොඩනැගීම වෙනුවට පෞද්ගලික අභිලාෂයක සිට කටයුතු කර ඇති බව තහවුරු කර ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙනී සිටින බවට පසුගිය සතියේ පුවත් නිර්මාණය කර සිටියේ ද සජබ හිතවාදී මාධ්‍ය බව නිරීක්ෂණය වූ බව සඳහන් කරන දේශපාලන විචාරකයන් අවසන් මොහොතේ කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පොහොට්ටුවේ ජනක සජබ සමග එක්ව ඇති බව තහවුරු කර ඇති බවත් පවසයි .

උමා ඔය විදුලිය සැප්තැම්බරයේ ජාතික පද්ධතියට !

උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව වාර්තා වෙයි .

උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කර ඇත්තේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි බවයි.

ෆරාබ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යාපෘති කළමනාකරු සහ ෆරාබ් සමාගමෙහි නියෝජිතයින් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර හමු වූ අවස්ථාවේදී මේ බව දන්වා තිබේ.

එසේම 2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවද එම සමාගම ප්‍රකාශ කර ඇත.

මෙහිදී සම්පූර්ණයෙන් මෙගාවොට් 120ක ජල විදුලියක් අවසානයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

14 වන ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් !

ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

දශක තුනක් පැවති යුද්ධය හමුවේ යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 28,619 දෙනෙක් දිවි පුදා ඇත . ආබාධිත වූ ප්‍රමාණය 27,000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් 2023 ජාතික රණවිරු සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.

ජාතික ගීය ගායනයෙන් පසු ජනාධිපති, අගමැති ඇතුළු පිරිස, දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගැයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති, අගමැති , කථානායක , විපක්ෂ නායක , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3348#sigProIdc92efdbe9d

ජ්‍යෙෂ්ඨ පොහොට්ටු 10ක් ආණ්ඩුවෙන් එළියට !

නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.

තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව කී චන්ද්‍රසේන මන්ත්‍රීවරයා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා ඒවා හිරකරගෙන සිටින බව ද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට 69 ලක්‍ෂයක් ඡන්ද ගැනීමට සහ තුනෙන් දෙකක් බලය ගැනීමට ගන්න දිස්ත්‍රික් පාලන කළ වැඩ කළ දිස්ත්‍රික් නායකයන් ඔවුන් බවත් ලක්‍ෂ ගණනින් මනාප ඡන්ද ගත්තේ ද එම දිස්ත්‍රික් නායකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන වැඩි දුරටත් කීය.

මූලාශ්‍රය - Lankadeepa

සිවිල් නීති කඩන්න : වාසුගෙන් යෝජනාවක් !

වතුර කාලා ගෑස් කාලා එයින් යටත් නොවී සිවිල් නීති කඩමු’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරීත්වයට එරෙහිව ඒ ආකාරයේ ක්‍රියාදාමයක් සූදානම් කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මෙකී වැඩපිළිවෙළ සඳහා සමගි ජන බලවේගය සිට පෙරටුගාමී පක්ෂය දක්වා සියලූ පක්ෂ එක්විය යුතු බව ද ඔහු පැවසීය .

එම පක්ෂ සියල්ල එකතු වී සාකච්ඡා කර ප්‍රබල සමාජ ක්‍රියාකාරීත්වයකට යා යුතු බව ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

බංකොලොත් දේශපාලන සටන් පාඨයක් !

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ බංකොලොත් දේශපාලනඥයකු ලෙස ඇතිව තිබෙන කම්පනයෙන් මිදීමට මෙවැනි ප්‍රකාශ සිදුකරත්, ජනතාව කිසිවිටෙකත් එවැන්නක් සමග එක්නොවන බව විශ්වාසයෙන් කිවහැකි බවය.

" මොකක් හරි කරලා ගොඩ යන්න හදනවා මිසක් වෙන කිසිම ප්‍රායෝගිකත්වයක් එහි නෑ . කවුද වාසුලා එක්ක සිවිල් නීති කඩන්න එඑන්නේ . මොනවා දිනාගැනීමට ද ජනතාව ඒ සඳහා එන්න ඕන ? මීට වසරකට පෙර පැවති තත්ත්වය මතක කිසිම කෙනෙක් ඔය වගේ අමනෝඥ වැඩකට එන්න ඉඩක් නෑ. ඇත්තටම කියන්න ඕන දේ තමයි , වාසුලාව කවුරුත් දැන් සීරියස් ගන්නේ නෑ . සාහිත්‍යයක් ඇතුව කිව්වොත් , කිසිම වාසුවෙක් වාසුගේ සිවිල් නීති කඩන යෝජනාවට එන්නේ නෑ "

රජයේ වැඩපිළිවෙළට : ගොමා යළිත් බාල්දි පෙරළයි !

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම සහ රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු ඇතිකිරීම ඇතුළු රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධී ප්‍රතිචාරයක් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් පළකර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මෙම ප්‍රතිචාර දැක්වීම සිදුකර ඇති අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි .

ගොමා නිවේදනය මෙන්න !

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඍජු ලෙස අදාල වන ඉහත දක්වා ඇති ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ මේ වන විට සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලෙස නිරීක්ෂණය කරමු.

පළමුවෙන්ම කිව යුත්තේ මෙවන් බරපතල ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ තීන්දු තීරණ වලට එළඹීමට ප‍්‍රථම අදාල ක්ෂේත‍්‍රයන්හි හඳුනාගෙන ඇති සියලු ප‍්‍රධාන පාර්ශවකරුවන්ගේ එකඟතාවය සාකච්ඡාමය ක‍්‍රියාමාර්ග හරහා ලඟා කරගැනීම අත්‍යවශ්‍ය බවයි. එය තහවුරු වන පාරදෘශ්‍ය කි‍්‍රයාදාමයක් බලධාරීන් වෙතින් නිරීක්ෂණය නොවන බව කනගාටුවෙන් යුක්තව සඳහන් කළ යුතුය.

අතීත අත්දැකීම් අධ්‍යයනය කිරීමේදී එවන් අසම්පූර්ණ හා ඒකපාර්ශවික කි‍්‍රයාමාර්ග අවසන් වී ඇත්තේ බරපතල සමාජ, ආර්ථික ඛේදවාචකයන්ගෙන් බව සිහිපත් කරමු.

ඒ අනුව මේ පිළිබඳ තවදුරටත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට පෙර පාර්ශවකරුවන් සමඟ පුලුල් සංවාදයන්ට බඳුන් විය යුතු බව පෙන්වා දෙමු. එමෙන්ම එම සංවාදය තුල මෙම වෙනස්කම් සමඟ බැඳුණු තාක්ෂණික කරුණු සඳහා ප‍්‍රමුඛතාවය ලබාදෙමින් ක‍්‍රියාත්මක විය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරයයි.

එමෙන්ම එහිදී මේ වන විට රට තුළ මතුව ඇති සමාජ, ආර්ථික පසුබිම හා ඒ හරහා නිර්මාණය වී ඇති ප‍්‍රවණතාද සැලකිල්ලට ගත යුතුය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමේ උත්සාහය හරහා වර්තමානයේ බොහෝ දුෂ්කරතා මැද පවත්වා ගෙන යන රාජ්‍ය විශ්ව විද්‍යාල (වෛද්‍ය පීඨ) පද්ධතියට වන ඍජු හා අනියම් බලපෑම් සැබෑ ලෙසම අධ්‍යයනය කළ යුතුය.

රජයේ රෝහල් වල ගෙවන වාට්ටු සංකල්පය කි‍්‍රයාත්මක කිරීම හරහා පවතින රෝහල් පද්ධතියටත්, එම පද්ධතිය හරහා සේවය ලබා ගන්නා අතිමහත් බහුතරයක් වූ අහිංසක, දුප්පත් රෝගී ජනතාවටත් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියටත් මේ හරහා වන බලපෑම් අධ්‍යයනය කළ යුතුමය.

මේ කරුණු පිළිබඳ අදාල ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රාමාණික විද්වතුන් හා විශේෂඥයින්ගෙන් සමන්විත කමිටු 2 ක් පත්කර ඒ හරහා පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස බලධාරීන්ට යෝජනා කරමු. එහිදි මෙවන් ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳව තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කිරීම අනිවාර්යය.

එමෙන්ම ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව වඩා පාරදෘශ්‍ය ලෙස කටයුතු කරමින් මහජනතාව අතර සංවාදයකට ඉඩ ලබා දිය යුතු බව පෙන්වා දෙමු. අතීත සිදුවීම් හරහා අප උගත් පාඩම් එලෙසින් ක‍්‍රියාවට නැංවීමේ වැදගත්කම යළි යළිත් සිහි කැඳවීමට අපි කැමැත්තෙමු.

විදේශ ගමන් බලපත් හොරපාරෙන්  හදන්න  ගිය තැරැව්කරුවන්  09ක් කොටු !

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ නියෝගයක් අනුව ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර මාධ්‍ය මගින්ද පෙන්වා දී තිබිණි.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත.ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක් වෙමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

නමුත් 2023 තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් කියා සිටියේය.

ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක ද නිරත විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගම වෙත සිය ස්තූතිය පළ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ පැවසීය.

“ ශ්‍රී ලංකාවේ ඩරාස් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය සඳහා ඇති අවස්ථාවත්, ඒ සඳහා මාර්ගය පෙන්වා දීමත් බව කිව හැකියි.

අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුලතදී ලබා දෙන ලෙස මම ඔවුන්ට දැනුම් දුන්නා.

රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්. ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් කතා කරන දෙමළ සහ ඉංග්‍රීසි ඔවුන්ට අදාළ භාෂා වන නිසා තවදුරටත් අපට වැඩ කිරීම ඉතා පහසු වෙනවා.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) උදාහරණයට ගත් විට මම 1993 අගමැති ලෙස කටයුතු කරන විට ද ඒ පිළිබඳව කථා කළා. නමුත් 2023ත් අප තවම ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් අප මෙම කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කර තිබෙනවාද කියා. මට වගේම පාර්ලිමේන්තුවට ද අවශ්‍යව ඇත්තේ RAMIS ඇතුළු රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ කටයුතු මේ වසර අවසන්වන විට අවසන් කිරීමටයි. වේගවත් ගමනක් යන තරමට එය වඩා ප්‍රතිඵලදායකයි.

ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමග අප සමාන්තරව ගමන් කළයුතුයි. අද ආසියාවේ හරිත ආර්ථිකය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ ව්‍යාපාරය ඩොලර් ට්‍රිලියන 5ක් වටිනවා. දැන් අපට ට්‍රිලියන 5ක් අවශ්‍ය නැහැ. බිලියන කිහිපයක් ලැබුනා නම් ඇති. එසේ නම් මෙම වැඩපිළිවෙළ සමඟ අප ඩිජිටල් යුගයට ගමන් කරමු. ඒ සඳහා අපි කිසි සේත්ම පසුබට විය යුතු නැහැ.

මෙය ආරම්භය පමණයි. ඩරාස් හි සේවය කරන ඔබ සියලු දෙනාම එම ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට අපට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහසක් ඇත්නම් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ඩරාස් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු සහ ඩරාස් ප්‍රධාන මුලස්ථානයේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශානිගේ ආරක්ෂාව ගැන නීතිපති අභියාචනාධිකරණයට දන්වයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සම අද (18) කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

ශානි අබේසේකර වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අමතර නිලධාරීන් හා යතුරුපැදි ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වගත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ සංශෝධිත පෙත්සම ජුනි මස 28 වනදා ගොනුකරන ලෙසත් නියෝග කෙරිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් නිවේදනයක් !

ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කර ඇති බව මහ බැංකුව පවසයි.

2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරනු ලැබීය.

නව විධානයට අනුව එම නියෝග වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට ජනපතිගෙන් විසඳුමක් !

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.

සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දුන්නේය.

වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දුන්හ.

මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට දැනුම් දුන්නේය.

රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නවීන ලෝකයට ගැළපෙන සේ නිසි උපදේශනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු රේඛීය රාජ්‍ය ආයතන ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-18

IMG 20230518 WA0001

බ්‍රසීලයෙන් වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක්

බ්‍රසීලයේ ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිලියන 08 ක් ඇතුළු වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඊයේ(17) කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් මහතා හරහා මෙම වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගය භාරගත්තේ ය.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, මෙම පරිත්‍යාගය හරහා බ්‍රසීල රජය පළ කළ සුහදත්වය අගය කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය හා සබැඳි කටයුතු සම්බන්ධීකරණය කළේය.

රුපියල ශක්තිමත් වෙන්න අරගෙන !

දින ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියලට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් ඇත.

එය මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 302.42කි.

විකිණුම් මිල දැක්වෙන්නේ 316.18ක් ලෙසිනි.

අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකියි - ජනාධිපති

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නඟන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසන්ධානය, රාජ්‍ය සේවයේ කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනින් පසුව ආර්ථිකය පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අය වැයෙන් සහ 2023 අය වැයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා නීති සංශෝධන මෙන්ම ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීම් යටතේ ඉදිරිපත් කළයුතු සහ සංශෝධනය කළයුතු පනත් පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට පසුගිය කාලයේ අමාත්‍යාංශවලට සිදු වුණා. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.

දේශපාලනඥයින්, පරිපාලන නිළධාරින් අප සියලුදෙනා ඊට පිළිතුරු දිය යුතුයි. වුණ දේ වුණා. නමුත් මෙය අපට ආපසු හැරවිය හැකියි.

1977 දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10ක් යනකොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාරගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.

අපේ ප්‍රධාන කාර්යයක් වන්නේ රජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙම සියලු සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙනවා. මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා අපි රජය යටතේ තබා ගනිමු. ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත ලබා දිය යුතුයි. ඒ නිසා මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහය ලබා දෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

දැන් තරුණ සේවා සභාව මගින් සිදු කරන්නේ පුහුණු කිරීම් විතරයි. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. මේ ආයතන දෙකම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මේ දීප ව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනය වීම වඩාත් හොඳයි.

ඒ නිසා රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේද කියා අමාත්‍යාංශ තීරණය කළයුතුයි. එහි ප්‍රගතිය තව මාසයකින් විමසා බැලීමට මම අපේක්ෂා කරනවා.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම බිම් මට්ටමින් බලය බෙදැහැරීම පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තීරණ ගැනීමට සිදු වෙනවා. අපි එම කටයුතු අවසන් කරමු.

අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කළහොත් අපි මෙය පළාත් සභාවලට දෙන්න තමයි සැලසුම් කළේ. නමුත් එය අනිත් පැත්තට සිදුව තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මයෙන් කොටසක් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, කොටසක් කරන්නේ පළාත් සභාවෙන්. ඇයි අපිට මෙය පළාත් සභාවට භාරදිය නොහැකි. මේ බලතල ජාතික අමාත්‍යාංශය යටතේ තබා ගත යුතුයි කියා කොතනවත් සඳහන් වෙලා නැහැ. මෙය ලබාදුන්නොත් ජාතික අමාත්‍යාශයට පළාත් සභා පාලනය කළ හැකියි.

අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත් කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුනා යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

IMG 20230517 WA0010

ලෝක රග්බි සම්මේලනය ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි !

ලෝක රග්බි සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ලෝක රග්බි සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුවීම ගැන කණස්සල්ලට පත් වන බවයි.

එමෙන්ම ක‍්‍රීඩාවේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙසේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් සදහන් කරයි.

ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්තවේ

භාරතයේ ජනප්‍රිය හින්දි ගීත රැසක් මධුර හඬින් මෙරට රසික ප්‍රජාව වෙනුවෙන් ගැයූ ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන්  අද (17) අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ ඔහුගේ වයස අවුරුදු 73 කි.

1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන්, පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක විය.

ටෝනි හසන් හින්දි ගීත ගායනයට පිවිසියේ, 1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමගයි.

එතැන් පටන් මෙරට රසිකයින් ටෝනි හසන්ගේ හින්දි ගීත ඇසීමට වඩාත් ප්‍රිය කළේ ය.

කැසට් පට කිහිපයක් ද නිකුත් කර ඇති ටෝනි හසන්, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු වූයේ හින්දි ගීත ගායනයේ ඔහු දැක්වූ නිපුණතාව හේතුවෙනි.

ටෝනි හසන්ගේ දේහය මහජන ගෞරවය දැක්වීමට සඳහා දෙමටගොඩ, මල්ලිකාරාම පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ මේ වනවිට තැන්පත් කර ඇත.

දේශය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ, මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=3348#sigProIdd41c835e54

ජනතා සේවය වෙනුවෙන් ජනපති ළඟට යනවා : රෝහිනී ප්‍රසිද්ධියේ කියයි !

ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න පවසයි.

දැනට ද තමන් ජනාධිපතිවරයා හමුවී එවන් ප්‍රශ්න විසඳා ගෙන ඇති බවත් ඉදිරියට ද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය සඳහන් කළාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින්ය.

නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් පැවසූ රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමගි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවද කියා සිටියාය.

Page 187 of 461