V2025

පුවත්

ශ්‍රීලනිප නායක සිහිනය : දයාසිරි ගෙර් කටින් පනියි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ප්‍රතිසංවිධානය කරමින් සිටියදී ඇතැමුන් පක්ශ නායකත්වයට දයාසිරි ජයසේකර පත්වීමේ වැයමක් ඇති බවට බිය වී ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි .

නමුත් තමන් කිසිම අවස්ථාවක නායකයාගේ කකුලෙන් ඇද කටුව ගසන අයකු නොවන බවද ඔහු සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන මතබේදයට ප්‍රධාන හේතුවක් වූයේ පෞද්ගලික මට්ටමෙන් ඊර්ෂ්‍යාව හා වෛරය බවද ඔහු පවසයි .

නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ දේ අවසානයේ පොරොවෙන් කපන තැනට වර්ධනය වූ නමුත් මේ වන විට කුණු කන්දල් පක්ෂයෙන් ඉවත් කර ඇති බවද ශ්‍රීලනිප මහ ලේකම් තවදුරටත් කියා සිටියේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු සඳහන් කර සිටියේ , දයාසිරිගේ බොක්කේ තිබූ දේ කටින් පැන ඇති බවය.

ඉතා සූක්ෂම ආකාරයට පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් එකිනෙකා ඉවත් කරමින්, අසාර්ථක නායකයා වන සිරිසේන හිටපු ජනාධිපති ගේ කීකරු ගෝලයාගේ භුමිකාවට දයාසිරි පණපොවන බවත් , ශ්‍රීලනිප ඉතිහාසයේ සිටි අසාර්ථකම සභාපති සහ මහ ලේකම් ලෙස මේ දෙබෑයන් පක්ෂය කනත්ත වෙත ගෙනයමින් සිටින බවත් ඔහු පැවසීය .

සජිත් කෝටි දහසකට මොකද කළේ ? පරීක්ෂණයක් ඇරඹේ !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් 2015 - 2019 අතර වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (24) වනදා රැස්වූ අවස්ථාවේ ය.

එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය විය.

සේවක වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයිද එහිදී සඳහන් විය.

ආදාහන පූජෝත්සව 21 සඳහා රුපියල් කෝටි ගණනක්ද වෙනත් ව්‍යාපෘති 368 කට රුපියල් ලක්ෂ 30 බැගින්ද වැය කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

මෙම කාල වකවානුව තුළ විෂය භාර අමාත්‍යවරයා වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ : ලලිත් ජන්ම සැමරුමේදී රවී කියයි !

ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති බවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇදවැටී තිබෙන ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණය බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මෙරට ආර්ථිකය ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවන බවත් ඊට අවශ්‍ය සැබෑ වුවමනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද ( 26) කොළඹ පැවති දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වන ජන්මදින සැමරුමට එක්වෙමිනි.

කොළඹ පිහිටි දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ දුෂ්කරම අවස්ථාවේ රට ඉදිරියට ගෙනයා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන බවය.

මතුව ඇති තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙනයාම ලේසි පහසු කටයුත්තක් නොවන නමුත්, එම කටයුත්ත වෙනුවෙන් නිවැරදි මාවතට මේ වන විටත් යොමුව ඇති බවක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

රට ඉදිරියට ගෙන යන කටයුත්තේදී දිවංගත ලලිත් ඇතුලත්මුදලි දර්ශනය අතිශය වැදගත් වන බව සදහන් කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ආර්ථිකය මෙන්ම වරාය සහ නාවුක ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇතුළු ඇතුලත්මුදලි අමාත්‍යවරයා රටට සිදුකළ මෙහෙය සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.

"දේශපාලනයේ පුදුම කුහකකම් ඇවිත් තියනවා. ඒක නැති කරන්න ඕන . කරන්න පුළුවන් අය පැත්තකට දාලා කරන්න බැරි අය ඉදිරියට අරගෙන ගිහිල්ලා කරපු දේවල් වල ප්‍රතිඵල තමයි, අද මේ භුක්ති විඳිමින් තියෙන්නේ. ඒක නිවැරදි කරන එක අපි කරන්න ඕන."

අරගලය නමින් දිනපතා ඇති විරෝධතා සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකටද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රතිචාර දැක්වීය.

"රටට මුලින්ම විනයක් අවශ්‍යයි. ඒ විනය තුලින් තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. කෝලම් මඩුවක් වගේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපේ රට නිදහස ලබලා අවුරුදු 74ක්. නමුත් අපි තවමත් ආර්ථික නිදහසක් ලබලා නෑ. අපි මේ ගැන දිගටම කතා කලේ. හැමදේම නිකන් දෙන්න ගිහිල්ලා , ඒවායේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ."

"අහිංසක ජනතාවට තවදුරටත් දුක් විඳින්න නොදී සියලු දෙනාම එකතුවෙලා රට හරි පාරට ගන්න ඕන. කතාව විතරක් මදි. ක්‍රියාවත් තියෙන්න ඕන. අරගලය කියන්නේ පශ්න නිසා පීඩාවට පත්වූ ජනතාවගේ සිතීම එලියට ආපු අවස්ථාවක්. අරගලය පාවිච්චි කරන්න අවශ්‍ය එහි පාඩම හරියට ඉගෙනීමට මිසක් හැම හන්දියක් ගානේ කෑ ගසා ප්‍රශ්න ඇතිකරලා රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ?

"සියයට 30-32 පොලී අනුපාත එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. කෑගැහුවා කියලා පොලි අනුපාත අඩුවෙනවා නම් කෑගහහ ඉමු. අපි මෑතකදී සංවර්ධනය වූ රටවල් ගැන කතා කරනවා නමුත් ඒ රටවල් එම තත්ත්වයට එන්න සිදුකළ කැපවීම් ගැන කතා කරන්නේ නෑ."

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එහිදී පෙන්වා දුන්නේ සියයට 30 - 32 වැනි ඉහළ පොලී අනුපාතයක් සමඟ රටට ඉදිරියට යාම දුෂ්කර බවත් ඒ තුළ ආර්ථිකය තවදුරටත් හැකිළීයාමක් සිදුවන බවය.

"සියයට 30- 32 ඉහළ පොලී අනුපාතය සමඟ රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? මේ රටේ උද්ධමනය කාලනය කරන්න කියලා කරපු දෙයින් රටේ ආර්ථිකය සංකෝචනය කිරීමක් වෙන්නේ. ඒ තුල ජනතාව පීඩාවට ලක්කරලා. සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන් යටපත් කරලා,රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගැන හිතන්න ඕන. මානුෂීයව මේ දිහා බලන්න ඕන"

එසේම රටේ ආර්ථිය තවදුරටත් නිවැරදිව ඉදිරියට ගෙනයන මාර්ගය සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත්වීමක් සිදුකිරීමේ සූදානම සම්බන්ධයෙන්ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අදහස් දැක්වූ අතර අර්බුදයෙන් රට ගලවාගෙන ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එකමුතුව කැපවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

පාටි නොකිව්වයි : මහින්දානන්දට දොස්...

පහුගිය සතියෙ මහින්ද මහින්දානන්ද අලුත්ගමගේට, පාර්ලිමේන්තු ආලින්දවල හා, භෝජනාගාරයේ, නිදහසේ ගැවසෙන්න බැරි තත්වයක් උදා වෙලා තිබුණා. ඒ මොකද , හැම කෙනෙක්ගෙම උපන්දින පාටිවලට ගිහිල්ලා, සින්දු කියලා ජොලි කරන මහින්දානන්ද, තනියම තෝරාගත්ත සුළු පිරිසක් සමග, උපන්දින ආතල් එක ගැනීම ගැන, මන්ත්‍රීවරු හුඟ දෙනෙක් හිටිය කේන්තියෙන්...

තනියම බෝතල් කඩල, පාටි දැම්මයි කියලා, සහෝදර මන්ත්‍රීවරු හුඟදෙනෙක් , පාර්ලිමේන්තුවෙදි ඔහුව අල්ලගෙන දොස් කියන්න වුනා...

"මම දන්න මළදානයක් නෑ බං..

අපේ ගෑනි තමයි, මේ මගුල් ඔක්කොම කරල තියෙන්නෙ මටත් හොරෙන්.."

එහෙම කියලා මහින්දානන්ද ඇග බේරගන්න උත්සාහ කලත්, ඔහුට ඒක නම් ලේසි වුනේ නෑ...

"නාමල් එක්ක ඉන්න මන්ත්‍රීවරු තිස් දෙනෙක් තමයි පාටියට ඇවිල්ලා තියෙන්නෙ..."

සමහරු ඔන්න ඔහොම කියනකොට , ලෙන්ගතු හදවතින් මහින්දානන්ද ව ආශ්‍රය කරන , තවත් සමහරුන්ට දුක හිතෙන්නත් ඇති....

"එතකොට අපි පොහොට්ටුවේ නෙවෙයිද... නාමල් ගේ පිලට අපි අයිති නැද්ද... " සමහරු අන්න එහෙමත් ප්‍රශ්න කර කර මහින්දානන්ද පස්සෙන් වැටිලා දොස් කියන්නට වුණා.

මේ අතරෙ තමයි, ඩලස් ටයි විමල් ටයි උදය ටයි පාටියට ආරාධනා කරලා තිබුණා කියලා, කතාවක් පැතිරිලා ගියේ...

හැබැයි ඒ එක්කෙනෙක්වත්, එදා ඒ පාටියට ගිහින් තිබුණෙත් නෑ. ඒ ගොල්ල පහුවදා හොරෙන් හොරෙන් ගිහිල්ලා, කේක් කෑල්ලක් කාලා, සුබපැතුවා කියලයි ආරංචි වුණේ.

මේ කතාව ආරංචි වුණු, තරුණ කට හැකර මන්ත්‍රීවරයෙක්, කෙලින්ම ගිහිල්ලා මහින්දානන්දගෙන් ගේම ඉල්ලුවේ..." විමලයා ට කියපු එකක් කමක් නෑ කියමු. අඩුමගානේ ඌ විස්කි අඩියක් ගහලා, බෙල්ල කඩාගෙන සින්දු දෙකක්වත් කියයි. ඒත් මොන එකකටද අර ඇල්වතුරත් නිවලා බොන, උපාසකයෝ දෙන්නෙකුට , බොන්න එන්න කිව්වේ...

උඹට අපි හොඳ මදි ද අයියේ... කිය කියා මන්ත්‍රීවරු වදේ ගහද්දි, මහින්දානන්දට බේරෙන්න ලේසි උනේ නෑ...

ඒත් ඉතින් ඇත්ත කතාව , මහින්දානන්ද ගේ බිරිඳ, මේ පාටිය සූදානම් කරල කරල තිබුණේ, නම් මහින්දානන්දට හොරෙන්...

ඒකත් එහෙමයි කියමුකෝ..

දේශපාලන වාර්තාකරු

සිරිසේනගේ මරුසිරා දේශපාලනේ !

පහුගිය දවසක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන , හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන, දෙවැනි වතාවටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඉවත් කළා. අලුත් මහලේකම් කෙනෙක් පත් කළා. කලින් හිටියේ මහින්ද අමරවීර. අලුතෙන් පත්වුණේ තිලංග සුමතිපාල.

ඒත් ඒ වැඩේ මෙයාට තනියෙන් කරන්න පුළුවන්, හිතුවක්කාර කමක් නෙවෙයි කියලයි, බොහෝ දේශපාලන විචාරකයින් කිව්වේ. කවුරු මොනව කිව්වත්, සිරිසේන මහත්තයා කරන්නේ, එයාට ඕනදේ බව , නොදන්නා කෙනෙක් නෑ. හරියට මරු සිරාගේ ටැටූ එක වගෙයි . හිතුමතේ ජීවිතේ තමයි .

ඒත් ඉතිං සන්ධානයේ සහෝදර පක්ෂ ටික එකතු වෙලා, සිරිසේන මහත්තයට, ඒ වගේ හිතුවක්කාර තීන්දුව ගන්න බෑ කියලා , ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලත් තිබුණා.

මොකද මට බැරි... මම 2015 දීත් ඕක කලා. අදත් කරනවා. සමහරවිට අපේ සිරිසේන මහත්තයා එහෙම හිතනවා ඇති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා කියන්නේ, 2004දී ඡන්දෙ දිනන්න මේ රටේ වාමවාදී කඳවුරේ පක්ෂ කීපයක් එකතු එකතුවෙලා, පිහිටුවා ගත්ත සංවිධානයක්. ඒකෙ මහ බලධාරියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ඇත්ත. ඒත් එතන තීන්දු තීරණ ගනිද්දී, සන්ධානයේ සාමාජික පක්ෂ වල නායකයන්ගේ මතයත් වැදගත් කියන එක, අපට බැහැර කරන්න බැරි කාරණාවක්.

එදා චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ,, දේවානන්දගේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ජාතික කොංග්‍රසය කියන පක්ෂවල එකමුතුවෙන්.

එහි ආරම්භක නායිකාව වුණේ, චන්ද්‍රිකා මැතිණිය. මහලේකම් උනේ සුසිල් ප්‍රේමජයන්ත.

2004දි සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවන්න, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, සමසමාජ පක්ෂයත් මගදී හවුල් වුණ බව ඇත්ත. ඒත් සන්ධානයේ නියම හවුල්කරුවෝ වුණේ, මුලින් කියපු පක්ෂ විතරයි.

සිරිසේන මහත්තයා 2015දී,, පළවෙනි හිතුවක්කාර කම කළේ, ජනාධිපති බලය තියාගෙන. එතුමා එදා දේශපාලන උප්පරවැට්ටියක් ලෙස , තනි තීන්දුවක් අරන්, මහලේකම් කමේ හිටපු සුසිල්ව ඉවත් කරලා, මහින්ද අමරවීර පත්කරද්දී, කවුරුවත්ම ඊට විරුද්ධව කතා කළේ නෑ. ඒ මොකද මහින්දවාදී පක්ෂ අතලොස්ස හැරුණම, එදා මුළු රටේම අධිපතිවාදි ජනමතය හැරිලා තිබුණේ, සිරිසේන මහත්තයාගේ පැත්තට නිසා .

එදා ඒ කරපු හිතුවක්කාරකමේ පුරුද්දට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා විසින්, මෙදාපාරත් ඒ වරද නැවත කරාම, අනිත් අය කරබාගෙන ඉඳියි කියලා, සිරිසේන මහත්තයා හිතන්න ඇති.

හැබැයි ඔවුන් සෙසු පක්ෂ දැන් නිහඬ නෑ. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා.

දේශපාලන වාර්තාකරු

බන්ධනාගාරයේදී තිළිණිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර

මහා පරිමාණ මුදල් වංචාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ මස 30 වැනිදා දක්වා අවසර දුන් බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක  පැවසීය.

මේ අතර තිළිණි ප්‍රියමාලි ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නැවත අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එහි වැඩිදුර විභාගය සඳහා ඇය නැවත දෙසැම්බර් මස 08 වැනිදා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුවැඩි දුරටත් පැවසීය.

මෙරට ඇඹුල් අපනයනය අද සිට

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය.

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ඩුබායි ‍රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය කිලෝග්‍රෑම් 12,500 කි.

මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට උපයා ගැනීමට අපේක්ෂිතය.

අවශ්‍ය නම් අලුත් පක්ෂයක් හදන්නත් සූදානම් :අමරවීර ගේම ඉල්ලයි

තම පිරිස පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුවහොත් "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" හැදීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් විරුද්ධව සිටිද්දී එම පක්ෂයේ ඉන්නේ කෙසේද යනුවෙන් මාධ්‍යවේදීන් විමසු පැනයකට ප්‍රතිචාර දක්වමින්ය.

"අපි බලමුකෝ. එහෙම නැත්තං අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ. අපට ඕන තරම් විකල්ප තිබෙනවා" යනුවෙන් ද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා පැවති අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ අවස්ථාවේ ශ්‍රීලනිප මන්ත්‍රී බහුතරය ඊට පක්ෂව ජන්දය ලබාදුන් අතර ඊට විරුද්ධව ජන්දය ලබාදුන්නේ පස් දෙනෙක් පමණි , පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරියි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල යි , ශාන් විජයලාල් සහ අංගජන් රාමනාදන් පමණි.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 8 කට ඇප !

කොළඹ වරායට ආසනන්යේදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්න්ධයෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකරුවන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අද (25) නියම කළේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කිරීමේ කොන්දේසියක් පැනවු විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීය.

අධිචෝදනා බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වු රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි, නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගම එහි සභාපතිවරයා අධ්‍යක්ෂවරු ඇතුළු අට දෙනෙකි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාා පත්‍ර බාරදුන් පසු ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 09 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

2023 පාසල් නිවාඩු අඩු කෙරේ !

එළඹෙන 2023 වසරේ නිවාඩු කාලය අඩු කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කාලය වැඩි කිරීමට උත්සහ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද ( 25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව, එම වසර තුළ විෂය නිර්දේශය අවසන් කිරීමට උත්සහ කරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, දෙවන පාසල් වාරය දෙසැම්බර් 2 වන දා අවසන් කෙරෙන බව ත් තෙවන වාරය දෙසැම්බර් 5 වන දා ආරම්භ කරන බව ත් ය.

අනතුරුව දෙසැම්බර් 22 වන දා පාසල් නිවාඩුව ලබා දී ජනවාරි 10 වන දා යළි පාසල් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ වර්ෂය තුළදී ම මුලින් සැලසුම් කළ පරිදි අපේ විෂය මාලා අවසන් කිරීම යාවත්කාලීන කිරීමට තමයි අපි කටයුතු කරගෙන ගියේ. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඉල්ලීමත් උසස් පෙළ විභාගයට තව කාලයක් ලබා දිය යුතු නිසාත් අපිට සිද්ධ වුණා උසස් පෙළ විභාගය ජනවාරි 23 දක්වා කල් දාන්න. හැබැයි දෙසැම්බර් 2 අවසන් වන දෙවන වාරය, නැවත 5 වන දා තුන් වන වාරය ආරම්භ කරලා අපි දිගට ම පවත්වා ගෙන යනවා. දෙසැම්බර් 22 නිවාඩු දීලා, ආයෙත් පටන් ගන්නේ 10. ඊට පස්සේ අපි මාර්තු මාසය තුළදී මේ අවුරුද්දේ විෂය නිර්දේශය ආවරණය කරනවා. මේ 2023 තුළදී අපි උත්සහ කරනවා බොහෝ දුරට නිවාඩු කාලය අඩු කරලා පාසල් කාලය වැඩි කරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝ දුරට අවසන් කර ගන්න. එහෙම වුණොත් අපිට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ඒ නිශ්චිත කාල සීමාවලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවි.”

ධීවරයන්ට බ්‍රිතාන්‍යයෙන් පවුම් 880000ක් !

එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් නිවේදනය කළාය.

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම,හලාවත සහ මන්නාරම දිස්ත්‍රික්කයන් හි සිටින අවදානමට ලක්වූ ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනෙනු ඇතැයි සාරා හල්ටන් පෙන්වා දුන්නාය.

බැසිල් ආවේ ඇමරිකාවේ නඩුවක් නිසාද ?

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මීට මාස දෙකකට වගේ කලින්, ගෙදර ගියා. විවේක ගන්නද, බෙහෙත් ගන්න ද, වෙන මොකක් හරි උප්පරවැට්ටියකට ද කියලා, නිච්චියක් නැති උනත්, වැඩි දෙනෙක් ඒ ආරංචියෙන් සතුටු වුන බව නම් ඇත්ත.

ඒත් ඔන්න පසුගිය ඉරිදා, හිටි හැටියෙම බැසිල් ලොක්කා, ආයෙත් මෙහෙට කඩා කඩාපාත් උනාම, සමහරු කලබල වුණා. මොන මංගල්‍යකට ආයෙ කඩා කඩාපාත් වුණාද දන්නෑ කියලා, සමහරු කම්පා වෙන්නත් ඇති. ඒත් සමහරු නම් කියන්නේ, ඇමරිකාවේ තියන නඩුවකින් බේරෙන්න , බැසිල් මෙහාට පැනගත්තා කියලා.

කොහොම වෙතත්, විපක්ෂයේ තර්කය වෙලා තියෙන්නේ, බැසිල් ආවෙ හොඳකට නෙවෙයි කියලයි.

කවුරු මොනව කිව්වත්, පොහොට්ටුවේ ඉන්න සුන්බුන් දේශපාලඥයෝ ඔක්කොම ටික, පෝලිමේ ගිහිල්ලා, දෙකට නැමිලා, බාරයක් ඔප්පු කරන්න වගේ, බැසිල්ව පිළිගන්ත එක නම් ඇත්ත. අය වැය පරද්දනවා කියලා පාරම් බබා, අතන මෙතන කැමරා කාරයන්ට වොයිස් කට් දිදී, චණ්ඩිකම් පෙන්නපු අය දිහායි අපි බලා හිටියේ. ඒගොල්ලො මීක් නෑ...

විපක්ෂයේ කණ්ඩායම් කීපයක් එක් වෙලා, පොහොට්ටුවේ ක් පිරිසකුත් පටලවගෙන, අයවැය පරද්දන්න ගහපු ප්ලෑන, අබල් බබල් කරන්න, බැසිල් හදිස්සියේම ගෙන්න ගත්තා කියල යි, පොහොට්ටුවේම ප්‍රකාශකයෙක් කිව්වේ.

ඒ කවුරු මොන මොනව කිව්වත් , පොහොට්ටුවෙ කූජීත වෙලා හිටපු මන්ත්‍රීවරු සෙට් එකට, බැසිල්ගේ මේ පැමිණීමෙන්, අමුතු පණක් ආව කියන එක නම් පිළිගන්න වෙනවා. පහුගිය දිනවල, මේ ගැන එක එක කතා, දේශපාලන කරලියේ ඒ මේ අත හුවමාරු වුණා.

දේශපාලන වාර්තාකරු

මානව හිමිකම්වල මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට ඉඩ නෑ - ජනපති

මානව හිමිකම්වලට මුවාවි ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් මැඩපවත්වන බව පැවසීය.

එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මම මේ විෂය ගැන කතා කරන්න කළින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළයුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ සිතේ තුන් බිය ඇතිවෙලා තිබෙනවා කියලා. මම ඔබතුමාට කියන්න ඕන තුන්බිය පුද්ගලයෙකුට ඇතිවෙන්න බැහැ. තුන්බිය ඇතිවුනේ විශාලා මහනුවර. රෝග බිය, අමුනුෂ්‍ය බිය, මරණ බිය ඒක ජන සමූහයකට ඇති වෙන්න පුළුවන්. එතුමාට ඒ කරුණ පැහැදිළි කරගන්න රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා ‍මම කියනවා.. මරික්කාර් බිය, හිරුණිකා බිය රෝසි බිය තිබුණත් ඒවා තුන් බිය නොවෙයි.

ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කළා අරගලයට පින්සිදු වෙන්න ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්දනය කරනවා කියලා. මම ජනාධිපති ධූරයට පත් වුනේ අරගලයේ පිනෙන් නොවේය. රටේ ජනාධිපති ධූරයෙන් ඉවත් වුණොත් ඒ තනතුර ගන්න ඕන අගමැති. අනික නීතියෙන් මම වැඩබලන ජනාධිපති වෙන්න තිබුණා. මට මේ ධූරයෙන් ඉවත් වෙන්න කියලා මගේ නිවස ගිනි තැබුවා.

ඒ වගේම අපේ විපක්ෂනායතුමත් අද මේ සභවේ දී ප්‍රකාශ කළා මම ජනාධිපතිකම ඉල්ලුවා කියලා. මම මේක ඉල්ලුවේ නැහැ. ඒ වෙනකොට රටේ ඇතිව තිබූ තත්ත්වය නිසා මම මේ ධූරය භාරගත්තා. මගෙන් මහනායක ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳ ඉල්ලීමක් කළා. මම ජනාධිපතිකම ඉල්ලුවේත් නැහැ. ලියුම් ලිව්වෙත් නැහැ. අද විපක්ෂනායතුමාට අමතක වෙලා තිබෙනවා මැයි 12 වෙනිදා එතුමා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යවපු ලිපිය.

“ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙක් පක්ෂ සමග එක්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.
ම‍ගේ කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපිය හැන්සාර්ඩ් එකට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂනායකතුමාගේ උපදෙස් ගත්තා. ඔබතුමන්ලාට ඕනනම් ඒක පක්ෂ ව්‍යවස්ථාවේ බලන්න පුළුවන්. විනය පරික්ෂණයක් තියන්න පුළුවන්. මට බනින්න එපා. එතුමා තමයි කව්වේ නිශ්චිත, අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එකඟ වෙමි කියලා.ඉතින් මම අගමැති ධූ‍රයේ දිවුරුම් දීලා මාස 02කට පස්සේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුණා. මම නොවෙයි ඔබතුමන්ලයි කිව්වේ එතුමාට ඉවත් වෙන්න කියලා. ඉතින් මම මොනව කරන්නද,

හමුදාව ගැන කතාකරනකොට සමහර අය ප්‍රකාශ කළ මෙවර අයවැයෙන් හමුදාව සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා කියලා. ඒ අය කියන විදියට හමුදාවේ වියදම පැය 24න් අඩු කරන්න බැහැ. එකපාරට සේවයේ සිටන 25,000ක් පාරට දාන්න බැහැ. අපි දැන් මේ සඳහා සැලැස්මක් හදාගෙන යනවා. ඒ අනුව කටයුතු කළයුතුයි. යුද හමුදාව වෙනුවෙන් මෙවර වැඩි වියදමක් දරන්න සිදුවුණා. එය අපට නවත්වන්න බැහැ. හමුදාවල සංඛ්‍යාව අඩු වුණත්, උසස්වීම් වැඩි වෙලා තිබෙනවා. එවැනි කරුණුත් මේ සඳහා බලපා තිබෙනවා.
අනිත් කරුණ දැන් අපි යුද හමුදාව ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සඳහා යොදවාගෙන තිබෙනවා. මෙම ගොවිපොළවලින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට විශාල දායකත්වයක් ලැබෙනවා.

අපි හමුදවේ අනාගතය ගැන බලන්න ඕන. අපි ඒ සඳහා “Defense 2030" වාර්තාව අනුව කටයුතු කරනවා. අපි අපේ ආරක්ෂක අංශ සැලසුම් කළයුතුයි.ලෝකයේ තර්ජනයක් නැහැ කියලා ඉන්න බැහැ. මෙම තත්ත්වයන් වෙනස් වෙනවා. 1971 තිබූ තර්ජනය නෙවේ, 80 ගණන්වල තිබුණේ, පාස්කු ඉරිදා සිදුවීම දෙස බලන විට එවැනි වෙනස් ආකාරයේ තර්ජන ඇතිවිය හැකියි. එය අප මතක තබාගත යුතුයි.

එමෙන්ම ගෝලීය තත්ත්වයන් වෙනස් වෙනවා. අපි ඉන්දියන් සාගරය පිළිබඳ අවධානය යොමුකළයුතුයි. 2030 වන විට අපේ නාවුක හමුදාවන් වැඩිකළ යුතුව තිබෙනවා. යුද හමුදාව අඩු විය හැකියි. ගුවන් හමුදාවේ ප්‍රහාරක යාත්‍රා වැඩියෙන් තියෙන්න පුළුවන්.ඩ්‍රෝන තාක්ෂණය අවශ්‍ය වෙනවා. 2040 වන විට මේ තත්ත්වය තවත් ඉහළ යනවා. අපි බලන්න ඕන කොහොමද මෙය ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේ ආරක්ෂක වියදම අඩු කරගෙන 3% - 4% මට්ටමක පවත්වාගෙන යන්න.

අපිට පුළුවන්නම් අපේ ආර්ථික වර්ධන වේගය 8%කට ගේන්න අපට අවශ්‍ය තරම් මුදල් තිබෙනවා. සිංගප්පූරු‍වේ මේ තත්ත්වය ඇති කළේ වර්ෂ ගණනාවක් 8% ආර්ථික වර්ධනයක් සමගයි. අපි අලුතින් හිතන්න අවශ්‍යයි. පරණ විදියට හිතලා මේවා කරන්න බැහැ.
ඒ වගේම හමුදාවෙන් ඉවත්වන අයටත් මේ සමාජයේ වැඩකටයුතුවලට දායක වෙන්න අවස්ථාව තියෙන්න ඕනැ. අද වෘත්තීයවේදීන් මේ රටින් පිටවෙලා යනවා. ඒ හිඬැස පුරවන්න පුළුවන් අපේ හමුදාවේ අය පුරුදු කරලා ඒ තැන්වලට යොමු කිරිමෙන්. ඒකයි අපි හමුදා සේවයේ විශ්‍රාම ලබන කාලය වසර 22 සිට 18 දක්වා අඩු කළේ. අනිත් අයට ගැටලුවක් නැහැ. අපි අලුතින් මේවා සැලසුම් කළයුතුයි. අලුතින් සිතිය යුතුයි.
යුද නැවක් අපිට අලුතින් ලංකාවේ නිෂ්පාදනය කළහැකි නම් මම කැමතියි. ඒ ශක්තිය අපට තිබෙනවා. මුදල් පමණයි සොයාගත යුතුව තිබෙන්නේ.

මම දුටුවා බ්‍රිතාන්‍ය 2035 වන තෙක් මෙම සැලසුම් සකස් කර තිබෙනවා. අපි අලුත් නීති ගේන්න ඕන. අපි ආරක්ෂක මණ්ඩලය නීතියෙන් ස්ථාපිත කරනවා. ජාතික ආරක්ෂක උපදේශක තනතුර, ඒ වගේම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම ත්‍රිවිධ හමුදා කමිටුවක් පත්කරනවා ඒ නිලධාරින් සදහා. මේ සියල්ල සාකච්ඡා කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නම්.අපට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් හමුදාවක් ලංකාවේ ඇති කිරීම‍ට. එය සිදු කිරීම සඳහා සීග්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් අවශ්‍යයි.
ඒ වගේම පොලීසිය සම්බන්ධවත් අපි අවධානය යොමු කර තිබෙනවා. “පොදු ආරක්ෂක වාර්තාව" නමින් අපි වාර්තාවක් ලබා ගන්නවා ඊළග වස‍ර 10 ‍පොලීසිය දියුණු කරන්නේ කොහොමද කියලා සොයා බලන්න. මම ඇමතිතුමාට ඒ පිළිබඳ දැනුම් දුන්නා. දැන් පොලිස් ආඥා පනත කෞතුකාගාරයට යවන තත්ත්වයට පත්ව තිබෙනවා. අලුත් ආඥාපනතක් සකස් කිරීම පිළිබඳ අපි දැන් කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම මෙවැනි ගැටලු ගණනාවක් අද තිබෙනවා. මේවා සියල්ල විසඳා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.

විශේෂයෙන්ම එදා ප්‍රචණ්ඩ පිරිස්වලින් මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුද හමුදාවේ ඒ සියලුදෙනාට මම ස්තූති කරනවා. එදා ඔවුන් නොසිටියා නම් අද මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. අපිට මෙහෙම වාඩිවෙලා සාකච්ඡා කරන්න බැරි වෙනවා.
පරමාධිපත්‍ය අයිති ජනතාවට බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ සඳහන් වෙනවා. එය ක්‍රියාත්මක වන අන්දම 04 වන වගන්තියේ සඳහන් වෙනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණය බලය. ඒ සමගම මුලික අයිතිවාසිකම්. එ‍මෙන්ම ජනතාවට සෘජුව සහභාගීවිය හැකි එකම අවස්ථාව ජනමත විචාරණයයි. කාටවත් පාරට බැහැලා කලබල කරන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. හමුදාවට තිබෙන මේ නීති ආරක්ෂා කරන්න.

ආණ්ඩු පෙරළන්න එද්දි හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. අපේ මහානායක හිමිවරුන්ට තර්ජනය කරනකොට අපිට නිකන් ඉන්න බැහැ. ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව හමුදාවට බලයක් තිබෙනවා ඒවා නැවැත්වීමට. එවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉඩ දිය නොහැකියි. පැවැදි පුද්ගලයන් යොදවලා කලබන ඇති කරන එක නැවැත්විය යුතුයි. මම නම් මේවට ඉඩ දෙන්න කිසිසේත්ම කැමති නැහැ.

අද ඇතැම් සංඝයා වහන්සේලා යොදාගෙන අරගල කරනවා. කලබල ඇති කරනවා. සංඝයා වහන්සේලාට ශාසනික කටයුතු තිබෙනවා. උන්වහන්සේලා එම කටයුතුවල නිරතවිය යුතුයි. ගිහි අය මේවට සම්බන්ධවෙන එක වෙනම කාරණයක්.

විශ්වවිද්‍යාල එක ශිෂ්‍යයෙක්වත් අත්අඩංගුවේ පසු නොවන බව මම අධ්‍යාපන ඇමතිතුමාට සිහිපත් කරන්න කැමැතියි. වසන්ත මුදලිගේ වසර 8-9 ක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේක හරි වැඩක්නෙ. මම විශ්ව විද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21 දී. මුදලි‌ගේ වයස අවුරුදු 31ක් වෙලත් තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යම් ශිෂ්‍යයෙකුට වැඩිපුර ලබාදිය හැක්කේ එක් වසරක් පමණයි. ඊට පසුව විශ්වවිද්‍යාලයේ පිටවිය යුතුයි.
මම එකක් කියන්න ඕනැ. මටත් අවශ්‍ය මානව හිමිකම් ආරක්ෂා කරන්නයි. අරාජිකත්වයටත්, ප්‍රචණ්ඩත්වයටත් මානව හිමිකම්වලට ඇතුල් වෙන්නෙ ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත්, අරාජිකත්වයත් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩත්වය ඇති කරන අය ආරක්ෂා කරන්නත් බැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 14 වන වගන්තියේ අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, නීතියෙන් නියම කරනු ලැබූ සීමාවලට, මහජන ආරක්ෂාව සඳහා, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ඇතුළු වගන්ති ඇතුළත්. ‌මේ සියල්ල තිබෙනවා 15/1, 15/2 වගන්ති තුළ. මේ සීමාවලින් පිට යන්න බැහැ.

සමහරු අද කියනවා අපි තමයි මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙ කියලා.. මොනවද ඔවුන් කරලා තිබෙන්නේ. අඩු තරමින් අපි මේවා ක්‍රියාවෙන් සිදු කරලා තිබෙනවා. අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබෙනවා. ඊට කලින් අණ්ඩුවේ IPPCR පනත ගෙනල්ල තිබුණා.
මේ අය මානව හිමිකම් ආරක්ෂා කරනවා කියලා පිටරටින් සල්ලි අරන් ජීවත් වෙන එක තමයි කරන්නෙ. එයයි ඇත්ත තත්ත්වය. එක්කෙනෙක් හරි නැගිටලා මට කියන්න එහෙම කළේ නැහැ කියලා. මේ අය ගැන මම දන්නවා. මම ඔවුන් සමග වැඩ කරලා තිබෙනවා. මමයි ඔවුන්ව ආරක්ෂා කළේ. අද මටයි කෑගහන්නෙ. මේ විදිහට රට තුළ අවුල් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ.

නීතිය තුළ ඕන දෙයක් කරන්න. විපක්ෂ නායකතුමා කියලා තිබෙනවා මම පාර්ලිමේන්තුව කල් දානවා කියලා. මම කල් දාන්නෙ නැහැ. මට පාර්ලිමේන්තුව කල්දාන්න අයිතියකුත් නැහැ. පාරේ කෑගැහුවා කියලා මම නිකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යන්‌ෙනත් නැහැ. බහුතරය කියන්නෙ කෑගහන අයට නෙමෙයි. බහුතරය නිෂ්ශබ්දව සිටිනවා. ඒ නිෂ්ශබ්දව සිටින පිරිසට ජීවත් වෙන්න, තම අයිතිවාසිකම් ලබා ගන්න අයිතියක් තිබෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කළ යුත්තේ

දැන් මානව හිමිකම්වලට මුවාවෙලා පොලිසියේ නිලධාරීන් හිර කරන්න හදනවා. සමහර විට පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කර තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම කරපු අය ඉන්නවා නම්, ඒ අයට නඩු දාලා ඒවාට විරුද්ධව තීන්දු දෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා කරන්න අපි සූදානම්.

හදිසි අවස්ථා ඇති කරලා, කලබල ඇති කරලා පොලිසියට ගියහම ඒක නවත්වන්න පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩු දානවා. එහෙම කරන්නේ මානව හිමිකම් නිසා නොවෙයි, පොලිසියේ මැදිහත්වීම නතර කරන්නයි. ඒ නිසා මම නීතිපතිවරයාට කිව්වා මේ පිළිබඳ සොයා බලන්න කියලා. එහෙම කරනවා නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මේ සෙල්ලම හැමදාම කරගෙන යන්න ඉඩ දෙන්න බැහැ.

හමුදා නිලධාරියෙක් වුණත්, පොලිස් නිලධාරියෙක් වුණත් ඒ සියලුදෙනාව අපි ආරක්ෂා කරන්න ඕන. මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කර මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවත් අයින් කරන්න උත්සාහ කළා. මගේ නිවසත් ගිනි තැබුවා. මේකේ ප්‍රධාන මාධ්‍ය සිරස. මමයි ඒ අයට විරුද්ධව කටයුතු කරන්න ඕන. ඒත් මේ අය ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන ආරක්ෂකයාව ඉවත් කරන්න කියලා. මොකක්ද ඒයා කරපු වැරැද්ද. සිරසට වුවමනාව තිබුණෙත් මගේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂතුමාවත් ඉවත් කරන්න. එයා එතැනට සම්බන්ධ වුණේ නැහැ. අපේ ඉන්න අයගේ නම් කිව්වේ නැහැ.

මේ ගැන එදා මම ප්‍රකාශ කළාට පසු සිරස මාධ්‍ය ආයතනයෙන් මට ගහන්න හත් දෙනෙක් දාලා තියෙනවා. එක එක අයගෙන් ප්‍රකාශ ගන්නවා. දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ අයගෙන් ප්‍රකාශ ගන්නවා.
මං කියන්නෙ මම ගැන කියන්න කලින් විශ්වවිද්‍යාල සිසුන් නවක වධයෙන් ආරක්ෂා කරලා දෙන්න. නවක වධයට විරුද්ධ වෙන්න. ආණ්ඩුවක් වගේම විපක්ෂයක් තියෙන්න ඕන. මං කියන්නෙ අපි ඒකතු වෙලා මේ ප්‍රශ්න විසඳගමු. ආපසු පාරට ඇවිත් කියන්න බැහැනෙ ආණ්ඩු පෙරළන්න කියලා.

එවැනි අවස්ථාවක් ඇති වුණොත් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ආරක්ෂක සේව‍යේ සිටින සෑම කෙනෙක්ටම වගකීමක් තිබෙනවා. ක්‍රෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලුදෙනා එකතු‍වී මේ ආයතන ආරක්ෂා කරගන්න කටයුතු කළයුතුයි. මේ පිළිබඳ කැපවී කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි.

මාසික වැටුපෙන් ණය ගෙවන්න අපහසු අයට සහනයක්

මාසික වැටුප් ගන්නා අයට බැංකු ණය ගෙවීමේ අපහසුතාවක් තිබේ නම්, ඒ පිළිබඳව අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු නොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බව අද (නොවැ. 24) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ද ඒකමතිකව අනුමත කොට තිබියදීත් ජනාධිපති පොදු සමාවක් මත ඔහු මුදා හැරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ, දියණිය සහ තවත් නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද යසන්ත කෝදාගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන දෙසැම්බර් 16 වැනි දින දක්වා කල් තැබීමටයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් : තිලංගට විරෝධයක් !

තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .

සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව හෝ සන්ධානගත පක්ෂ දැනුවත් කළ යුතු බවත් එම පක්ෂ නිකුත්කළ නිවේදනය සඳහන් කර ඇත .

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා , ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන පක්ෂ නියෝජිතයන් ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ලලිත්ගේ ජන්ම සමරුවේ : එජාපයේ ඊළඟ පිම්ම මතුවේ !

IMG 20221123 WA0039

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වන දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ගේ 86 වන ජන්ම දින සැමරුම අද (23) ට යෙදී තිබුනා .

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් .

ලලිත් ඇතුලත්මුදලි පදනමෙහි සභාපති ධූරය දරන්නේත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක .

මේ වෙනකොට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ මහ ලේකම් ලෙස නම් කරන්න යන බවටත් ලොකු හාහොවක් යනවා . එහෙම පසුබිමක තමයි ජනාධිපති රනිල් , ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක සමග රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා එකම වේදිකාවක දකින්න ලැබුණේ .

මේ අවස්ථාව දැකපු පාක්ෂිකයින් වගේම දේශපාලනය ගැන කෘතහස්ත අදහස් ඇත්තන් ගණනාවක් කිව්වා කියන්නේ , රටේ ආර්ථික අර්බුදයක් ඇති පසුබිමේ , ඒ වගේම අරගලය සමග තරුණයන් ලිබරල් දේශපාලනය ගැන පෙර නොවූවිරූ පිබිදීමක් ඇති සමයක රනිල් - රවී යුගලය එක වේදිකාවක මරු කම්බයින් එකක් කියලා .

මොකද මේ වෙලාවේ සමාජය ඉල්ලන්නේ , මිනිසුන් විශ්වාසය තියලා තියෙන්නේ මේ දෙන්නම කාලයක් තිස්සේ යෝජනා කළ ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ .

ඒ විතරක් නෙවෙයි , මෑතකදී ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ත්, රවී කරුණානායක හිටපු ඇමතිගේ රජමල්වත්ත පිහිටි ගෙදර ගිහින් ඩිනර් එකක් පවා අරගෙන ගොඩක් වෙලා පෞද්ගලික කතාවක හිටපු බවත් රහසක් නෙවෙයි .

මේ එකතුව එක්සත් ජාතික පක්ෂයටත් හොඳ ගැම්මකින් නැගිටින්න චාන්ස් එකක් කියලත් කට්ටිය අදහස් දක්වා තිබුනා .

කොහොම හරි මේ උත්සවය ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයත් නිවේදනයක් නිකුත්කරලා තියෙනවා . පහත දැක්වෙන්නේ ඒක.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණ වී තිබෙනවා - දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජන්ම දින සැමරුම් උත්සවයේ දී ජනපති පවසයි.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (23)පැවති උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර කළේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුළත්මුදලි පදනම විසින් ශ්‍රී ලංකා තාරුණ්‍යයට ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාධීනව සම්බන්ධවීමේ පහසුකම ලබාදෙන ඩිජිටල් අවකාශයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත් මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ ඩිජිටල් අවකාශය ද මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබාගත් සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූවක් බව ද සඳහන් කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ, සේදවත්ත මංගලාරාමාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය හා නාවුක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, රවුෆ් හකීම්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා සහ හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221123 WA0042

 

සතොස ආහාර ද්‍රව්‍ය 4ක මිල තවත් පහළ දමයි !

ලංකා සතොස අද (23) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 9.00 කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 14.00 කින්, සුදු ලූනු කිලෝවක මිල රුපියල් 30.00 කින් සහ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 43.00 කින් පහළ දැමීමට තීරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදී ගැනීමට හැකියාව ඇති බවත් ආයතනය පවසයි.

Page 172 of 385