පුවත්

විමල් හැක් වෙලා !
අමාත්‍ය විමල් විරවංශ ගේ ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටියි.
අමාත්‍යවරයා පවසන්නේ තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි වන අයුරින් පැවති බවය.
මේ වන විට සිය ගිණුමේ පාලනය තමන් ලබා ගත් බවත්, එම කාල සීමාවේදී ගිණුම ලබාගත් පුද්ගලයා විසින් සිදුකළ පොස්ට් ෂෙයාර් කිරීම් සඳහා වග විභාගයකින් තොරව අදහස් ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් අනුකම්පා කරන බවට ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.

වෛද්‍ය ෂාෆිගේ පෙත්සමට දින දෙයි !
වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් හා දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විනිසුරු සෝභිත රාජකරුණා නියෝග කර තිබේ.
එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය ශාෆි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව සිදුකරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව විසින් සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා ඇත.
එම වෛද්‍යවරයා පක්ෂපාතී පුද්ගලයකු බවත් ඔහු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට කරුණු දක්වා ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර ඇත.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 සහ 61 වගන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබඳව කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට කරුනු දක්වා තිබේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව, එහි හිටපු අධ්‍යක්ෂ ඒ.එම්.එස්. වීර බණ්ඩාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ තමන් වඳ සැත්කම් කළ බවට අසත්‍යය සහ චෝදනා එල්ල වූ බව සඳහන් කරන පෙත්සම්කරු ඉන්පසුව අනිවාර්ය නිවාඩු යැවුණු බවත් සඳහන් කර ඇත.
එහෙත් තමන්ට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා මෙතෙක් ගෙවා නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එම දීමනා සහ හිඟ වැටුප් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.
Lanka truth

රනිල් අලි ගමට එවයි : ක්‍රියාන්විතය සූදානම් !
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානම් බව වාර්තා වෙයි.
මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් අනුයුක්ත කිරීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
ඒ අනුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් වගකීම් ගෙන පක්ෂ දේශපාලන කටයුතු මෙහෙය වීමට නියමිතය.
අදාල දේශපාලන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාරට සතිපතා වාර්තා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කාදිනල් හිමිගේ අත්සනත් තබයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ද අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමිපානන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි .

මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නෙවෙයි : ශාන්
අද මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලුවලට එකම හේතුව කොරෝනා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ හක්මන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අඅදහස් දක්වමින්ය.
දීර්ඝ කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා කළමනාකරණය හේතුවෙන් අද තිබෙන ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බවද ඔහු සදහන් කර ඇත.
විදුලි අර්බුදය සමග ඩොලර් ප්‍රශ්නය ගැටගැසී ඇතැයි පැවසූ ඒ මහතා ආණ්ඩුව පිළිබඳ තුළ මේ පිළිබඳව විවිධ මත තිබුණද කොරෝනා වසංගතයට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල මෙවන් අර්බුදයක් උදාවී නැතැයිද පැවසීය.

රුපියල 300 ට යයි : මධ්‍යම පන්තිය නාය යයි : රනිල් අර්බුදය පෙන්වයි !
ලංකා ආර්ථිකය තවමත් පිරිහෙමින් ඇති බවත් මේ වන විට වෙළෙඳ පොළේ නියම වටිනාකම අනුව ඩොලරයක් රුපියල් 250කට වඩා වැඩි බවත් වසර අවසානයේදී එය රුපියල් 300ක් වීමේ අවධානමක් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් ඔහු මේ අදහස් දක්වා ඇත.
මේ වන විට මධ්‍යම පන්තියේ දරුණු කඩා වැටීමක් ඇති බවත් සමහරුන් මධ්‍යම පන්තියෙන් පිටතට ඇද වැටෙමින් ඇති බවත් ඔහු පවසයි.
මෙරට ආර්ථිකය වැටී ඇති අවාසනාවන්ත තත්ත්වය සහ ඊට පිළියම් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යායුතු බව විග්‍රහ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශය පහත දැක්වෙයි.
ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසදලා නෑ . රුපියලේ හිඟය තවමත් විසදලා නෑ . අද රුපියලේ නියම වටිනාකම වෙලදපොලේ වටිනාකම ඇත්ත වශයෙන්ම ඩොලරයට රුපියල් 250 යි . ඊටත් වැඩියි . මේ යන විදිහට මේක රුපියල 275 ටත් යන්න පුළුවන් . එතැනදී නවත්තගත්තේ නැත්තන් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා .අන්න එහෙම තත්වයක් අපිට තියෙන්නේ ඒ නිසා විශාල හානියක් සිදුවෙලා තියෙනවා . විශේෂයෙන්ම දිළිඳු ජනග්‍රහණය ලක්ෂ 5 කින් වැඩිවෙලා තියෙනවා . තවත් වැඩිවෙන්න යනවා .
මධ්‍යම පන්තිය කඩාවැටිලා අමාරුවෙන් ජිවත් වෙන්නේ .සමහරුන්ට මධ්‍යම පන්තියෙන් පිටවෙන්න සිද්දවෙනවා . ගොවිතැන විනාශ වෙලා .කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා . ඒවගේම ජුනි,ජුලි මාස වෙද්දී අපිට යලිත් ණය ගෙවන්න සිදුවෙනවා . මේ අවුරුද්දේ සම්පුර්ණයෙන්ම ඩොලර් බිලියන 6 ක් ණය ගෙවන්න තිබෙනවා . අපි තාම IMF එක්ක සාකච්ඡා කරලා නැහැ.
ඒ නිසා ජුනි,ජුලි වලට ණය ගෙවන්න අපිට මුදල් හොයාගන්න තිබෙනවා .තවත් අලුත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා .විදේශ විනිමය විශේෂයෙන්ම ගනුදෙනු බැංකු වලින් ඉවත්වෙලා දැන් කරන්නේ හවාලා ක්‍රමයට හවාලා ක්‍රමය තමයි ඒ වැඩකටයුතු කරන්නේ . ඒ නිසා බැංකු ක්‍රමය අතහැරලා තියෙන්නේ . ඉතින් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා . එන සතියේ IMF සංවිධානයේ ඒගොල්ලොන්ගේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ හැම සාමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ඒ ආර්ථික තත්වය ගැන සාකච්ඡා කරලා වාර්තාවක් දෙන්න ඕනේ . ගිය දෙසැම්බර් මාසේ IMF කණ්ඩායම ලංකාවට පැමිණියා . ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා කියල තමයි අපි දැනගෙන ඉන්නේ . එක IMFඅධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා පිටකරන වැඩසටහනක් .
ඒ වාර්තාව ලැබුණු ගමන් අපි කරන්න ඕනේ එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න . පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊටපස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු . එක පක්ෂග්‍රාහී වෙන්න වුවමනා නෑ .මේ තත්වයට කවුද වගකියන්නේ කියල හොයන්න වැඩක් නැහැ . දැන් තියෙන ඒ වාර්තාවේ යෝජනා අනුව අපි සාකච්ඡා කරමු . එතනින් අපි බලමු මේ ගැන පොදු එකඟතාවයකට මුලික ප්‍රතිපත්ති ගැන පොදු එකඟතාවයකට එන්න පුලුවන්ද කියල .අපි එන්න ඕනේ . එක අපේ යුතුකමක් .
මොකද අපේ රටේ තියෙන්නේ එක ජාතික සම්පතයි . ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් MILLENNIALS හා GEN Z . ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ . ඒ අයට අනාගතයක් ඇතිකරන්න ඕනේ . දැන් විස්වාසය නැතිවෙලා තියෙන්නේ . ආණ්ඩුව පාර්ලිමේන්තුව ගැන විස්වාසය කඩවෙලා තියෙන්නේ
. එහෙනම් ඒ අයට අනාගතයක් ඇතිකරන්න සැලැස්මක් තියෙන්න ඕනේ . අපිට කෙටිකාලින සැලැස්මකුත් ඕනේ . ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න මධ්‍යම කාලීනව දීර්ඝ කාලීන සැලැසුම් ඕනේ . මේ සැලසුම් හදන්න අපිට එකඟවුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕනේ . අවුරුදු 10,15,20 ගෙනියන එක ඒ අපේ යුතුකම . එකෙන් අපිට පැනලා යන්න බැහැ . අපි එතනින් පැනල ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි .
' උඹ රටේ අනාගතයත් නැතිකළා අපේ අනාගතයත් නැතිකළා ' කියල අපිට බනී . ඒ නිසා අපිම ඒ වගකීම ඉෂ්ට කරන්න වුවමනායි .

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන - ගම්මන්පිල
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.
ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

චමුදිතට අසූචි ගහපු අසූචි ප්‍රේමියා ගැන මේ අවස්ථාවේ කතා කරන්නේ නෑ - ඩලස්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ඒ කැබීනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බවත්, අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බවත්ය.
මාධ්‍යවේදී චමුදිතට මෙලෙස එල්ල වූ ප්‍රහාරය රජය හෙළා දකින බවත් අමාත්‍යවරයා රජය වෙනුවෙන් මේ ප්‍රකාශය කර සිටියේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයට පැමිණ මැරයින් හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදා ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.
එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ “මෙය පොලිස් රාජ්‍යයක් නොවන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය අසන ප්‍රශ්න වෙනුවෙන් පොලීසියට මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවයි” ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් හෙතෙම කීය.
ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ, මාධ්‍යවලට අද වනවිට අසීමිත බලයක් පවතින බවත් එය අසීමිත වගකීමක් බව ද කිසියම් හෝ කරුණක් සමාජගත කිරීමේදී සිහිතබා ගත යුතු බවය.

රූපවාහිනීයේ හීන්කෙන්ද ඉල්ලා අස්වෙයි !
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට කර ඇති දැනුම්දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් දැනගන්නට ඇත.
මේ අනුව පුරප්පාඩු වූ රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.

කාදිනල් ජාත්‍යන්තරයට : ශෙහාන්ට ඇප !
සිවිල් ක්‍රියාකාරී ශෙහාන් මාලකට ඇප නියම කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු විමසීමෙන් අනතුරුව ඔහු ලබාදුන් නීති උපදෙස් අනුව ෂෙහාන් මාලක අපරාධ වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර කාදිනල් මැල්කම් රංජිත් හිමි අද (15) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ, මෙරට තුල පාස්කු වින්දිතයන් වෙත යුක්තිය ඉටු වන්නේ නැත්නම් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන බවයි.
එසේම කාදිනල්වරයා මේ මස අවසානයේ වතිකානුවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බවත් වාර්තා වෙයි.

මැති ඇමතිලා මාසයකට වරක් පාපැදියෙන් ඒවි - අමරවීර
මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් එකවරම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන්ඨ පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇති බව තම විශ්වාසය බවයි.
දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.

හෙට සිට විදුලි කප්පාදුවක් !
හෙට (16) සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14 වැනිදා) දැනුම් දී ඇත.
මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ඩී.සී. ආර්. අබේසේකර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් විය.
ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය අවමවීම සහ ඉන්ධන අවම වීම නිසා මෙවැනි ගැටලුවක් නිර්මාණය වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද, කොවිඩ් මරණ 36ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,844ක් දක්වා ඉහළට
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,844 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 30 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 20 දෙනකු සහ කාන්තාවන් 16 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

චමුදිතගේ නිවසට එල්ලවූ ප්‍රහාරය : විජිතගෙන් විශේෂ අනාවරණයක් !
අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැති බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ඒ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ය.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කරන ලද බියගුලු ප්‍රහාරය හෙළා දකිමු!
පිලියන්දල, වෑවල පෞද්ගලික නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා දොරටුව බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන ඇතුල් වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය ආශ්‍රිත සිදුවීම් පිළිබඳව ආන්දෝලනාත්මක ජනමාධ්‍ය වැඩසටහන් සිදුකරන මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද මෙම බියගුලු ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු. ඔහුගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්වයක් තුළ මෙම ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදු කර ඇති බව පැහැදිලිය.
විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැත. විශේෂයෙන් ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළය.
මෙවැනි තත්වයක් තුළ මෙම නින්දිත ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් ආණ්ඩුවට නොහැකි බව අවධාරණය කරන අපි, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු. මාධ්‍යවේදීන් බිය ගන්වා, තර්ජනය කර සත්‍යය යටපත් කරලීමෙන් තමන්ගේ බලය සදාකාලික කර ගැනීමට කිසිදු පාලකයෙකුට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තර්ජනයට හා ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් අපි දැක ඇත්තෙමු. මෙවැනි බොහෝ සිදුවීම්වලට අදාළ ඍජු වරදකරුවන් හා පිටපස සිට ඔවුන් මෙහෙයවූවන් කිසිදා නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක නොවූ එම සිදුවීම් පිටුපස, පැවති පාලනයන්ගේ සබඳතා තිබූ බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.
එබැවින් පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සියලු දෙනා හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ආණ්ඩුවට බලකර සිටින අපි, මෙවැනි බියගුලු ප්‍රහාර හමුවේ නොසැලී සිටින ලෙසත් කිසිදු ආකාරයකින් තමන්ගේ මාධ්‍ය භාවිතයන් අත්නොහරින ලෙසත් සියලු මාධ්‍යවේදීන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
විජිත හේරත්
ප්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ

කන්තලේ සීනි සමාගම විදෙස් සමාගමකට : රටට ප්‍රතිලාභ නැතිලු !
රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙයි. මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් පත් නොවේ. සීනි ඒකාධිකාරයක් නම් බිහිවනු ඇති.
මූලික ගැටළු කීපයක්,
1. කර්මාන්තශාලාව පමණක් නොව වගා බිම්ද සමාගමට පවරා දෙන බැවින් දේශීය උක් වහා කරුවා හට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීම.
2. පැහැදිළි නියාමනයක් නොමැතිව පිරිපහදු නොකළ සීනි ගෙන්වා පිරිසිදු කිරීම සහ ප්‍රති අපනයනය කිරීම සඳහා ගිවිසුම් ගතවීමත් හේතුවෙන්, සමාගමේ ලාභය ඉදිරි වසර 30 දක්වාම සඟවා තම මවු සමාගම් වෙත යැවීමේ අවකාශ උදාකොට දී තිබේ. එහෙයින් රජයට ගිවිසුමේ සඳහන් සුළු ලාභ ප්‍රතිශතයද හිමිවේ යැයි බලා පොරොත්තු විය නොහැකිය.
3. සීනි නිෂ්පාදනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය සියල්ලම එක් සමාගමකට හිමිවනසේ මෙන්ම පැහැදිලි කොන්දේසි විරහිතව එළඹෙන මේ ගිවිසුම හරහා සීනි වෙළඳපලේ ඒකාධිකාරය එම විදෙස් සමාගමට හිමි වනු ඇත.
මෙලෙසම අතීතයේදීද පැවති රජයන් විසින් රටේ ප්‍රධානම වෙළඳ ක්ෂේත්‍රයන් විවිධ විදේශීය සමාගම් වෙත ඒකාධිකාරයක් බිහිවන ලෙස පවරාදීම් සිදු කොට තිබේ. ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය විදේශීය සමාගම්වලට පවරා අද වනවිට ශ්‍රීලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඒ වෙනුවට සැලකිය යුතු අලාභයක් වන තැනට පත්ව තිබීම එයින් එක් ප්‍රභල උදාහරණයකි. සීනි වෙළඳපලද අනාගතයේ එවන් තත්වයකට පත් කරනුයේ එදාමෙන්ම යම් පිරිසකගේ පුද්ගලික ප්‍රතිලාභයක් පිණිසම යැයි සිතිය හැක්කේ මේ ආයෝජනය තුළින් රටට හෝ රජයට ප්‍රතිලාභයක් හිමි කර ගැනීමට කිසිදු තැතක් නොගෙන, විදේශීය සමාගමට පමණක් ප්‍රතිලාභ අත්වන පරිදි කටයුතු යෙදීමෙනි.
මේ වගට,
කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

ලෝක සාමය ගැන අගමැති ආර්‍යාව ලෝකයට කියයි !
ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ ලෝක සාම සමුළුව 2022 (කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා වූ සමුළුව) අමතා (12) ප්‍රකාශ කළාය.
විශ්ව සාම සම්මේලනයේ (UPF) ආරාධනාවකට අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ‘‘ලෝක සාම සමුළුව 2022’’ ට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආර්යාව මේ බව අවධාරණය කළාය.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම ලෝක සමුළුව පසුගිය 11 වැනිදා ආරම්භ වූ අතර ලෝකයේ රටවල් 150කට වැඩි සංඛ්‍යාවක සාමය සඳහා කැපවන ආගමික නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, සාම ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ රැසක් ඒ සඳහා එක්ව සිටිති.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ලෝක සමුළුව 2022 අමතා මෙසේ ද කීවාය.
ලෝක සාමය බොහෝ අවදානමකට ලක්ව ඇති අවස්ථාවක සාමය පිළිබඳ අදහස් බෙදා ගැනීමට ආරාධනා කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි.
විශ්ව සාම සම්මේලනය වැනි සංවිධාන ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන සියලු අභියෝගවලට එරෙහිව සටන් කරමින් අනාගතය සඳහා බලාපොරොත්තුවන සම්පූර්ණ සාමය උදාකරගත හැකි බව මම තරයේ විශ්වාස කරමි.
විශ්ව සාම සම්මේලනය (UPF) යනු සැමට නිදහසේ ජීවත් විය හැකි සාමකාමී ලෝකයක් ගොඩනැගීමට කැප වූ පුද්ගලයන්ගේ සහ සංවිධානවල ගෝලීය ජාලයකි.
ඉවසීම තුළ ඇතිවන සහයෝගීතාවය ආචාර ධර්ම පද්ධතියක ප්‍රගතිය සඳහා ඉවහල්වන අතර එය සෞභාග්‍යය උදාකරයි.
විවිධ ආගම්වලට අයත් මිනිසුන් අතර වෙනස්කම් ඇති නොවීම තුළ අවංක යුක්තිය මෙන්ම විශ්වීය සාමය සඳහා පිළිගත හැකි ප්‍රවේශයක් ගොඩනැගෙයි.
ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසකි. එහිදී ජාතීන් සාමයෙන් සහ සමගියෙන් එකිනෙකා සමඟ කටයුතු කිරීමට උත්සාහ කරයි.
විශ්ව සාම සම්මේලනය මේ දක්වා කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට විවිධ ආකාරවලින් සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබේ. ආගම් සහ සංස්කෘතික භූමිකාව ප්‍රතිසංවිධානය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නායකයින් වර්ධනය කිරීමත්, කාන්තා නායකත්වයන් අත්හදා බැලීම සහ නිසි බලගැන්වීමත් ලෝක සාමය සඳහා අගයක් එක් කර තිබේ.
ලෝක සාමය යනු තවත් ආකාරයකින් ප්‍රකාශිත සතුට පිළිබඳ සංකල්පය සහ අදහසයි. සියලු ජාතීන් සහ ජාතීන් අතර නිදහස සාමය උදා කිරීමටත් ගැටුම් සහ යුද්ධ අවම කිරීමටත් දායක වී ඇත.
ලෝක සාමයේ පැවැත්ම රටවල් සහ ජාතීන් අතර අභ්‍යන්තර ගැටුම් ද අවම කරයි.
ආර්ථික වර්ධනය සහ මානව වර්ධනය වෙනුවෙන් අප ගන්නා සාම මාවත ගෝලීය සාමය ගොඩනැගීම මෙන්ම සමාජ සමෘද්ධිය උදෙසා පැහැදිලිවම දායක වී තිබේ.
සාමය සහ සංහිඳියාව නොපවතියි නම් හෝ නිසි ලෙස ස්ථාපිත නොවූයේ නම් ආර්ථික ස්ථාවරත්වය සහ සංස්කෘතික වර්ධනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි.
තවද, සාමය ගොඩනැංවීම සඳහා භාවිතා කරන ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කර ගත යුතු අතර, කල්පවත්නා සාමය සඳහා වන මාර්ගය හොඳින් සැලසුම් කර පරිපූර්ණ ප්‍රවේශයකින් සැලසුම් කළ යුතු වේ.එක්ව ඉදිරියට යෑමේ කැමැත්ත අනුව සහෝදර සහෝදරියන් ලෙස කරට කර සිටිමින් අපට සාමය සඳහා අපගේ බලවේගය ඉදිරියට ගෙන යා හැකිය.
කොරියානු අර්ධද්වීපයේ සාමය ඔවුන්ගේ දේශසීමාව තුළ සහ ඉන් පිටත සිටින සෑම දෙනාගේම ජීවිතය වෙනස් කරන එකක් බව මම නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
මෙම ලෝක සමුළුව 2022 තුළින් අපට එක්ව නිවැරදි සාමකාමී අනාගතයකට නැවුම් ලෙස ඉදිරියට යාමේ ප්‍රවේශය තවත් තීව්‍ර කර ගත හැකිය.
මෙහි සිටින ඔබ සැම ඔබගේ කුසලතා මනුෂ්‍යත්වය සහ එහි අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරනු ඇතැයි විශ්වාස කරමි යැයි අග්‍රාමාත්‍ය ආර්යාව ප්‍රකාශ කළාය.
රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

ශෙහාන් මාලක සුදු වෑන් රියකින් අත් අඩංගුවට…
සිවිල් ක්‍රියාධරයෙක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම උදෙසා විශාල කාර්යභාරයක් කරමින් සිටි ශෙහාන් මාලක ගමගේ මහමගදී සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතර, ඒ මොහොතේදී ශෙහාන් මාලක විසින් පාරේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු විසින් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි වීඩීයෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් බිය වී දිව ගිය බවත්, පොලීසියෙන් කියා තමන්ව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බවත්, තමන් හට තමා අත් අඩංගුවට ගන්නේ කුමන වරදකටද යන්න හෝ ප්‍රකාශ නොකල බවත්ය.
තවද සංජීවීව තම දුරකථනයෙන් තම අත් අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය හරහා මුදා හරිමින් සිටීමේදී ඔහුට දැඩි තර්ජනයක්ද එල්ල විය.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකොට වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමේ සත් කාර්‍ය්ට දැඩි කැපවීමකින් ක්‍රියා කළ ශෙහාන් මාලක මීට ඉහත අවස්ථාවකදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවමින් දින ගණනාවක් ප්‍රශ්න කලහ..
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒ මහතා පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිව්දෙනෙකු පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරවාගෙන තිබේ.
පසුව එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මාධ්‍යවේයාගේ නිවස වෙත පැමිණ ඇතැයි සඳහන් ය.
මෙලෙස නිවාස සංකීර්ණයට ඇතුළු වූ නාදුනන පුද්ගලයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහා අසුචී ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඉන් නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදිත සමරවික්‍රම කියා සිටියේ, මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසයි.
මේ සිද්ධි සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
'හිරු ටීවී 'පත්තරේ විස්තරේ සහ සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින අතර රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
ඔහු විසින් Truth With Chamuditha නමින් යු ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යන අතර ඒ හරහා ඔහු පසුගිය කාලයේ මෙරට ජනප්‍රිය චරිත ගණනාවක් දැඩි ප්‍රශ්න කිරීමකට භාජනය කළේය.
ඔහු විසින් සෑම උදසනකම 'හිරු ටීවී ඔස්සේ ඉදිරිපත් කල 'පත්තරේ විස්තරේ' වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් නොසතුටින් සිටි බව පැවසේ. කෙසේ වුවද 'හිරු' නාලිකාව අද උදැසන ප්‍රකාශ කලේ ජනතාවගේ හා රටේ හෙට දවස යහපත් කිරීමේ චේතනාවෙන් තමන් විසින් ඉදිරිපත්කරන රුපවාහිනී වැඩසටහන් ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වු මැර ප්‍රහාරය ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පිළිකුලින් යුතුව හෙළා දකින බව නිවේදනය කර තිබේ.
එම සංගමය පවසන්නේ, මැර ප්‍රහාර එල්ල කරමින් සිදුකරමින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට කිසියම් පිරිසක් උත්සහා දරනවා නම්, ඊට එරෙහිව මෙන්ම මෙවැනි නින්දිත මාධ්‍ය මර්දන වැළැක්වීමට අදාළ බලධාරීන් වහාම පියරව ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.
පිළියන්දල පොලිස් ස්ථානයේන් සහ කැස්බෑව පොලිස් ස්ථානයෙන් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් එම විමර්ශන ක්‍රියාත්මක කරනු ඇති.
ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීමෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මකයි.
නිවසට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරින් , ඇඟිලි සලකුණු පරික්ෂකයින් සහ පොලිස් නිල සුනඛයින් ද යොදවා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
Page 368 of 464