V2025

පුවත්

රට බේරාගැනීම වෙනුවට ආණ්ඩුව ණය ගෙවීමට කැපවෙලා !

ලංකාව ණය ගෙවීමට කැපවී සිටියත් රට බේරාගැනීමට කැපවී නැති බව ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය නිෂාන් ද මෙල් පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ණය ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව 'අද දෙරණ' කළ විමසීමකදීය.

ඒ සම්බන්ධ අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයකු වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මෙසේද සඳහන් කළේය.

"ණය ගෙවීමෙන් අර්බුදය විසදෙන්නේ නෑ. ණය ගෙවන තරමට සංචිත තවත් අඩුවෙනවා. ක්ෂණික ක්‍රියාමාර්ගය.. අපි ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කීරීමකට යන්න ඕනේ. දැම්මම පටන් ගන්න ඕනේ. ඩොලර් මිලියන 500 ගෙව්ව හැටිය රට තවත් අර්බුදයකට ළංවෙනවා. ඉක්වදෝරයට සහ ආජන්ටිනාවටත් මේ ප්‍රශ්නය තිබුණා. ඒ අය සාකච්ඡා කරලා ගොඩ ආවා. අපේ ප්‍රශ්නය තියෙන්නේ අපි ණය ගෙවීමට කැපවෙලා තියෙනවා. රට බේරගන්න කැපවෙලා නෑ. "

ණය අභියෝගය මෙන්න !

මේ අතර 2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව ලබන ජූලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ණයවාරිකයක් ගෙවීමට නියමිතය.

ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට පසුගියදා අනතුරු ඇඟවීමක් සිදුකළේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගතකිරීම 'CCC' සිට 'CC' දක්වා පහත දමමින්ය.

2022 සහ 2023 වසරවලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතනය විශ්වාස කරන බවද ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය දෙසැම්බර් 17 වනදා නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක් ඇතුළත්ය.

ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

සජබ කලමනාකරණ කමිටු රැස්වීමේ දී ගෝරි ගොඩයි !

නව වසරේ පැවති සමගි ජනබලවේගයේ පළමු කලමණාකරණ රැස්වීමේ දී හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, මනුෂ නානායක්කාර සහ සරත් ෆොන්සේකා විසින් පක්ෂයේ ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් කර ඇත.

නායක සජිත් ප්‍රේමදාස ගේ උපදේශකවරයෙකු වන දයාන් ජයතිලක විටෙක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් විටෙක ආණ්ඩුවත් ආදී වශයෙන් එකිනෙකා උසවා තබමින් කටයුතු කරන බව හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න විසින් පෙන්වා දී ඇත.

සජබ ප්‍රතිපත්ති කාලීන නොවන බවත් උගත් දැනුවත් මිනිසුන් අතර පක්ෂය විහිළුවක් බවට පත්වෙමින් ඇති බවත් ඔවුන් කරුණු දක්වා ඇත.

‘දයාන් ජයතිලක නායකතුමාගේ උපදේශක මිසක් පක්ෂයේ උපදේශක නෙවෙයි. ඔහු අපි සමඟ කරන කතා බහ, වට්ස්අප් පණිඩුව පවා සමාජ මාධ්‍ය යේ පළ කරනවා‘ යැයි හර්ෂ - එරාන් දෙදෙනා පවසා ඇත.

දැනට වසරට වැඩි කලක් සජිත් ප්‍රේමදාස මහතාගෙන් දුරස්ථවී සිටින කබීර් හෂීම් පවසා සජබ නායකයාගේ කටයුතු දැඩි විවේචනයකට ලක් කර ඇත.

" අපි ආණ්ඩු විරෝධී කිසිම වැඩක් සංවිධානාත්මකව කරන්නේ නෑ. තැන තැන ගිහින් වාචාල කතා කියනවා. අපිට මෙහෙම යන්න බෑ" යැයි ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි විවේචනයට ලක් කර ඇත.

මනූෂ නානායක්කාර පවසා ඇත්තේ, නායකතුමා එජාපය විවේචණය කිරීමෙන් වලකින ලෙසයි. ‘ඔබතුමා එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා. ඒ නිසා එජාප ආණ්ඩුව කළ සෑම දෙයකම වගකීමක් ඔබතුමාට තියෙනවා. අපිටත් තියෙනවා.‘ අපි ආණ්ඩුව මිසක් එජාපය විවේචනය කළ යුතු නෑ. එජාප නායක රනිල් වික්‍රමසිංහ, මත්තල ගුවන්තොටුපලේ ගබඩාවල වී තැම්පත් කළේ මාව පරද්දන්න යැයි‘ සජිත් ප්‍රේමදාස තිස්සමහරාමයේ දී පවසා තිබුණි.

කළුතර හිටපු මන්ත්‍රී අජිත් පී පෙරේරා පක්ෂ නායකයාට සහ මහ ලේකම්වරයාට විරුද්ධව දැඩි චෝදනාවක් එල්ල කළේ ‘මාව මරන්න ආපු මිනිහට පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධූරයක් දීලා තියෙනවා. අමරසේකර හිටියේ කෙහෙද? මොනාද කළේ කියලා හැමෝටම අමතක වෙලා. එජාපයෙන් කැඩිලා මේ පක්ෂය ඇති කරන්න කටයුතු කරපු මිනිහෙක් මම. ඒ නිසා ඔය හැමෝටම වැඩිය අයිතියක් මේ පක්ෂයේ මට තියෙනවා. රනිල් මට හොදම නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් දුන්නත් මම මේ පක්ෂය එක්ක ආවා. දැන් මට කළුතරට යන්න බැරිවෙලා තියෙනවා. ඇයි මෙහෙම කටයුතු කරන්නේ? කියා අජිත් පෙරේරා පවසා ඇත.

පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා ඉතා පරිස්සමෙන් වචන පාවිච්චි කරමින් ‘මේ විදිහට අපිට ඉදිරියට යන්න බෑ. අපි පිළිවෙලකට වැඩ කරන්න ඕනි. නැත්තම් ඕනි නැති ප්‍රශ්න ඇතිවෙනවා" යැයි පවසා ඇත.

සුසිල් ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මත – තිස්සකුට්ටි

සුසිල් ප්‍රේම්ජයන්ත  රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි  පවසයි.

ඔහු ඇමතිධුරයෙන් නෙරපීමට පෙර දින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර එම විවේචනය හේතුවෙන් ප්‍රේම්ජයන්තට ඇමති ධුරය අහිමි වූ බව බොහෝදෙනා විස්වාස කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විවේචන ඉවසා ගත නොහැකි තත්වයට පත්ව නොමැති බවද ඔහු සඳහන් කරයි.

තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

කොවිඩ් මරණ 15,065ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (04) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,065කි.

සියළු සිසුන් පාසල් කැදවීමට අනුමැතියක්

පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල පළමු වසරේ සිට 13 වැනි වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර .නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.

රටපුරා ඔමික්‍රෝන් පැතිරී ඇති බවට සුව සේවයේ බියක්

ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුල පැතිරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වරදින් බවට වසංගත මර්දනයේ නිරත සුව විරු නායකත්වය චෝදනා කරයි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ රට තුලට ඇතුළුවන ගුවන් මගීන් PCR පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු කිරීම, ඔමික්‍රෝන් රැල්ලක් රටේ ඇතිවීමට හේතුවී ඇති බව දැනට සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ දත්ත මගින් ඉතා පැහැදිළිව තහවුරු වී ඇති බවයි.

"ඒ අනූව මේ වන විටත් ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වී ඇති අතර, ඉදිරියේදී රට ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයකට ලක් වීමට බොහෝ ඉඩකඩක් පවතී."

රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කලේනම් මෙම තත්වය වලක්වා ගැනීමේ හැකියාවක් තිබුණු අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා කටයුත නොකරමින්, මහ ජනතාව අනවශ්‍ය අවධානමක හෙලමින් සිටින්නේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිළි නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවන ඔමික්‍රෝන් තර්ජනයේ වගකීම අදාල මාර්ගෝපදේශ සකස් කරන කණ්ඩායම බාර ගත යුතු බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ගු=වන්ගතවීමට දින කිහිපයකට කලින් සිදු කල PCR පරීක්ෂාවක් මගින් ආසාදිත තත්වය තහවුරු කල නොහැකි බවත්, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පමණින්, පරීක්ෂාවට ලක් නොකිරීම නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, හදුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ තොරතුරු මගින් තහවුරු වී ඇති අතර, අදාලා ආසාදිතයන් බහුතර ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හා දින ගුවන්ගත වීමට පෙර ලබා ගත් PCR පරීක්ෂාවක් මගින් ආසාදනයක් නොමැති බව තහවුරු කරගත් අය වීම මගින් ඔන් ඇරයිවල් PCR නොකිරීමේ ප්‍රතිපත්තිය බරපතල වැරදි තීරණයක් බව තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රවී කුමුදේශ් අවධාරණය කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි දෙසැම්බර් මාසයේ ආගමනිකයන් හා විගමනිකයන් අතුරෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් ප්‍රමාණය පහත පරිදි වේ.

පලමු සතිය

ආගමනිකයන් - 1 විගමනිකයන් - 0

දෙවැනි සතිය

ආගමනිකයන් - 0 විගමනිකයන් - 1

තෙවැනි සතිය

ආගමනිකයන් - 3 විගමනිකයන් - 6

මෙම විගමනිකයන් සියල්ල ඊශ්‍රායල්, ඉතාලි, කැනඩාව, අයර්ලන්තය සහ ඩුබායි යන රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන නමුත් එන්නත්කරණය සම්පූර්ණ කිරීම නිසා On Arrival PCR පරීක්ෂණ සිදු කිරීමේ නොහැකියාව මත පැමිණීමේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇති බව රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.

සිව්වැනි සතිය

ආගමනිකයන් - 1 විගමනිකයන් - 22

මෙම විගමනිකයන් සියල්ල පෙර පරිදිම විවිධ රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන අතර ඔවුනට අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකින් වාර්තා වී ඇත.

"එම ප්‍රදේශ වන්නේ බණ්ඩාරගම, කොළඹ, ඇඹිලිපිටිය, අලුත්ගම, රාගම ය."

එම ප්‍රදේශ විශ්ලේෂණය කිරීමේදී මේ වන විටත් ඔමික්‍රෝන් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති බවට රවී කුමුදේශ් සැක පළ කර තිබේ.

කොවිඩ් මරණ 15,055ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,055කි.

වතුර බිලත් ඉහළට !

ජල ඒකක 30ට වැඩි ජල පරිභෝජකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති  බව  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කෙසේ වෙතත් ඒකක 30ක් පාවිච්චි කරන අයට මුල් ඒකක 15 සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්න ලෙස තමන් ජලසම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසයි .

අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවත් ඔහු පවසයි.

මේ වනවිට ජලසම්පාදන මණ්ඩලය වියදම අවම කරගක හැකි මට්ටමේ ආදායමක් ලබන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෛත්‍රී ප්‍රසිද්ධියේ ජනාධිපතිට එරෙහිව යයි !

සුසිල් ප්‍රේමජයන්ත ඇමැති තනතුරින් ඉවත් කළද ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බැරි බව හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

හිටපු ජනාධිපති පෙන්වා දුන්නේ ආණ්ඩුව යන වැරදි ගමන නැවැත්වූවේ නැතිනම් මීට වඩා පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවකි.

"ලංසාට අත තියන්නේ නෑ" - මෛත්‍රී

"ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොළේ ගියා. ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. දැන් ජනාධිපතිතුමා වහාව ක්‍රියාත්මක වන පරිදි එතුමා ඇමති ධූරයෙන් අස් කෙරුවා. සුසිල්ව අස් කෙරුවා පොළේ ගිහින් කියපු කතාවට. ලංසා ඇමතිතුමා මීට දවස් තුනකට කලින් ගම්පහදි හයේ පාරවල් දෙකක් ගැහුවා. හැබැයි ලංසාට නෑ චාර්ජ් ෂීට් එකක්. ඉල්ලා අස්වීමක්. මං දන්නවා හේතුව ලංසට අත තියන්නේ නෑ. ඒ මොකද ලංසා ඔක්කොම දන්න මිනිහා. වෙන හේතුවක් නොවෙයි."

(04.01.2022 - මාතලේ)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ බොරුවක්ද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සමාජ මාධ්‍ය හරහා අපහාස(උපහාසයට ලක්කිරීම ) සිදුකිරීම වරදක් බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිදුකළ ප්‍රකාශය හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා විසින් අභියෝගයට ලක්කර ඇත.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ය. අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව - මේ කියන්නේ අමූලික බොරුවක්..!

රාජ්‍ය නායකයින්ව හාස්‍යට,උපහාසයට හෝ අපහාසයට ලක් කිරීම අපරාධමය වරදක් නෙමෙයි. එනිසා අත්අඩංගුවට ගන්න පොලිසියට බැහැ .

මේ තියෙන්නේ වාහලතන්ත්‍රී එදිරිව පොලිස්පති (SC/FR/768/2009) නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කොටසක්,

“To cause any annoyance or embarrassment to a Head of State or the Government will not form the basis of a prosecution under Section 120 of the Penal Code. Essence of Section 120 is whether the words in question incite the People to commit acts of violence and disorder and not whether the words are defamatory or not.”

සාපරාධි අපහාස නීතියත් , 2002 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් ඉවත්කලා . දැන් අපහාසයකට ලක්වන අයෙකුට ගත හැකි එකම පියවර වන්නේ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පැවරීම පමනයි .

නීතිඥ අජිත් පී පෙරේරා ගේ ෆේස්බුක් ගිනුමෙනි

ඉන්ධන දීමනාව කැපෙයි : ඒකට හුරු වෙන්න - ඇමති නිමල්

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තමාගේ ඉන්ධන දීමනාවද කපා හැරෙනු ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

එසේම ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයෙනුත් ණය ලබාගන්නා තත්ත්වයටම අර්බුදයකට ලක්ව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ 2022 වසර සඳහා කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් එහි සේවක පිරිස අමතමිනි.

‘‘අද ​ඩොලර් අර්බුදයක් තියෙනවා මේ රටේ. ඒකේ හංගන්න දෙයක් නැහැ. අපි බංග්ලාදේශයෙනුත් ණය ගන්න රටක් බවට පත්වෙලා තියෙනවා. සමහර විට ජනතා සේවය කිරීමේදී ඔබට යම් යම් කැපකිරීම් කරන්නට සිදුවෙයි. ඔබ බලාපොරොත්තු වෙන බටා එක, අතිකාල දීමනාව, තෙල් දීමනාව ලැබෙන එකක් නැහැ. ඔබට විතරක් නෙමෙයි මටත් එහෙමයි. ඒ නිසා අපිට අලුත් ක්‍රමයකට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා.’’

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වනවිට වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග කම්කරු අමාත්‍යාංශය විසින් සාකච්ඡා කරමින් පවත්නා බවද මෙහිදී පෙන්වා දුන් කම්කරු ඇමැතිවරයා විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණාවරණ ලබාදීමේ කටයුතු 2022 අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna

බැසිල් IMF සාකච්ඡා අරඹයි : වාසුදේව එළියට ?

මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි .

මුදල් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

ඉන්දියාව චීනය ඇමරිකාව ජපානය වැනි රටවල් සමගත් ලෝක බැංකුව යුරෝපා සංගමය වැනි ආයතන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ඒ ඒ රටවල් සමඟ සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් වෙත පවරා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

එක් රටක් හෝ එක් ආයතනයක් සමග සාකච්ඡා කර සහන ලබා ගැනීමේ වගකීම එක් ඇමතිවරයෙකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිවරුන් පිරිසකට ලබා දීමටත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊළඟට වාසුදේව එළියට !

කෙසේ වුවත් කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බවයි.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් ලෙස විදෙස් සංචිත අර්බුදයක් වැනි තත්ත්වයක් සමනය කරගන්න සාකච්ඡා වෙත යාම යහපත් එළඹුමක් බව මූල්‍ය වෙළඳ පොළ සහ ආර්ථික විශේෂඥයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගතවන මොහොතක් පාසා ඔඩුදුවන අර්බුදය සමනය කරගන්න වෙනත් ඥානාන්විත උපක්‍රමයක් නොමැති බවයි.

ඒ අනුව අනිවාර්යයෙන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගනු ඇති බවත් ඔවුන් පවසයි.

එවැනි තත්ත්වයක් ඇතිවුණහොත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ට ඒ ප්‍රතිපත්තිය විවේචනය කිරීමට අවස්ථාවක් නොමැති අතර , එසේ වුවහොත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ට අත්වූ ඉරණම ඔහුටත් උරුමවීමට වැඩි ඉඩක් පවතී. නැත්නම් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ට සිදුවන්නේ මුණිවත රැකගෙන පාඩුවේ අමාත්‍ය ධූරය බේරා ගන්නටය.

වෙච්ච දේ ආශීර්වාදයක් කියු සුසිල් අධිකරණයට !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (04) දින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම තම අනාගත දේශපාලන කටයුතු සඳහා ආශීර්වාදයක් බවත් තමන් හෙට සිට අධිකරණය වෙත යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

ඒ සිය නීතිඥ වෘත්තීය කටයුතු යළි ආරම්භ කිරීමට බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

අද (04) උදෑසන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

” මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”

මෙම ඉවත් කිරීමට කුමක් හේතුවන්නට ඇතිද යන්න මාධ්‍යවේදීන් විමසූ විට සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ කීය.

“පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේය.

මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.

ආණ්ඩුවේ හැටියට මම ජ්‍යෙෂ්ඨ නැතුව ඇති. දේශපාලනය හැටියට මම යුතුකම් ඉටුකරලා තියෙනවා.

අන්ත්‍රාවයි : සහන පැකේජයෙන් අධි උද්ධමනයක් !

රජය විසින් ඊයේ (03) හඳුන්වා දුන් සහන පැකේජය රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා  පවසයි.

මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රට තුළ ආහාර උද්ධමනය 22% දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවක ගන්නා ලද මෙම තීරණය විනාශයක මූල වනු ඇතැයිද ඔහු තව දුරටත් අවධාරණය කර සිටියි.

නියෝගය GR ගේ සුසිල් දොට්ට : ඊළඟට කවුද ?

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්  වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකර ඇත.

පසුගිය සති කිහිපයේදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම මේ සදහා හේතු වී ඇති බවත් වාර්තා වෙයි.

ඊයේ (03) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන මැතිඇමැතිවරුන් දැඩිව විවේචනය කළ බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්කෝ ඔවුන් ඉවත්විය යුතු බවත්, එසේත් නැතිනම් තමන් ඔවුන් ඉවත් කරන බවත් මෙහිදී ජනාධිපති පැවසූ බවත් වාර්තා වෙයි.

20 ප්‍රතිඵල !

මීට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ගේ බලතල සීමා කර තිබුණත් වත්මන් පාලනය සම්මත කළ 20 සංශෝධනය අනුව ඒ කප්පාදු කල සියලු බලතල ජනාධිපති සතුය. මෙසේ නිදහසේ අදහසක් දැක්වීම නිසා එළියට වැටුණු සුසිල් ප්‍රේමජයන්ත් හිටපු අමාත්‍යවරයාද 20 සංශෝධනය සම්මත කිරීමට සහය දැක්වූ අයෙකි.

ඊළඟට කැබිනට් ඇමතිවරයෙක් !

මේ අතර දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේද සුසිල් අමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ කතා මතුවෙමින් ඇත.  එහිදී වාර්තාවන තොරතුරක් වන්නේ, ජනාධිපතිවරයා ඊළඟට ඉවත් කිරීමට නියමිතව ඇත්තේ කැබිනට් අමාත්‍යවරයකු බවය. එහිදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ප්‍රභාත් ගම්මන්පිළ තිදෙනාගේ නම් ඉහළින් සඳහන් වෙයි.

මව්රට පුවත්පත ඒ අනුව වාර්තා කර ඇත්තේ ඊළඟ පැය 48 තුළ කැබිනට් අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ජනාධිපති තීරණය කර ඇති බවය. විශ්වාස කටයුතු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත වාර්තා කර තිබේ.

එසේම "එමෙන්ම ඔවුන්ට මේ වනවිට අධිකරණය හමුවේ ආණ්ඩුවට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමක් කර ඇති බවද වාර්තා වේ." යනුවෙන්ද එම පුවතේ සඳහන්ය.

 

කොවිඩ් මරණ 15,037ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (02) දින වාර්තා වු කොවිඩ් ආසාදිත මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 7දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිතව මෙලෙස මිය ගොස් ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,037කි.

කෘෂිකර්මයේ වැඩ නිසා වෙන්ඩ අගමැති  පඹයෙක් වෙලා - රෝහිණී කවිරත්න

2022 නොවැම්බර් 30 කෘෂි රසායන ලංකාවට ගෙන්වන්න මොළ හතක් තියෙන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ  ගැසට් එකක් ගැහුවා. අදට සති පහක් ගෙවිලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ‘වෙන්ඩ අගමැතිි බැසිල් රාජපක්ෂ‘ පඹයෙක් කරන්න කෘෂි රසායන ගෙන්වන එන වලක්වලා තියෙනවා. ‘වෙන්ඩ අගමැතිවරුන්ගේ ඇතුළේ කචල් නිසා රටට සාගතයක් එනවා‘ යැයි මාතලේ දිස්ත්‍රිික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න  පැවසුවාය.

මාධ්‍ය හමුවක් පවත්වමින්  ඇය මෙසේ පැවසුවාය. 

2021 අප්‍රේල් 01 දා, මෝඩයාගේ දවසේ පොහොර - කෘෂි රසායන ගෙන්වීම නවත්වන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණයක් ගත්තා. 2021 අප්‍රේල් 22 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතියක් බවට පත් කළා. ඒ මෝඩ තීරණය 2021 නොවැම්බර් 21 නිල වශයෙන් ඉවත් කරන බවට, නිවේදනය කළා. 2021 නොවැ. 30 ලංකාවට කෘෂි රසායන, පළිබෝධ නාශක ගෙන්වීමට ඒ ගැසට් එක රිවස් කරලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉඩ හදලා දුන්නා. හැබැයි අද වෙනකල් ගැසට් රිවස් කරලා දැන් සති 5 යි, කිසිම කෘෂි රසායනයක් ලංකාවට ගෙන්නලා නෑ. එකම ණයවර ලිපියක් විවෘත කරලා නෑ.

බැසිල් රාජපක්ෂ කියන්නේ ඊලඟ ‘වෙන්ඩ අගැමති‘ -- ලබන සතියේ අගමැති වෙනවා කියලත් මාධ්‍ය කියනවානේ. බැසිල් කියන්නේ මොළ හතක්, සර්ව බලධාරියෙක් කියනවා නේ. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කියන එකම දෙයක්වත් කරන්නේ නැති ලංකාවේ එකම අමාත්‍යාංශය තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය.

ආණ්ඩුව කෘෂි රාසයන තහනම ඉවත් කරන්න හදනකොටම ඊට පහුවදා, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් නීති විරෝධී ආකාරයට ධූරයෙන් ඉවත් කරලා රටට පළිබෝධ නාශක ගෙන්න බැරි පරිසරයක් හැදුවා.

අනුරාධපුර - පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ වී අස්වැන්න 50% කින් අඩු වෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. නැගෙනහිර පළාතේ වගා කරලා තියෙන්නේම 1/3 යි. අස්වැන්න ගිය අවුරුද්දෙන් ½ කියලා දැන් හැමෝම දන්නවා. මහවැලි කලාපවල ගොයම් ගහට වැඩිය වල් පැල උසයි.

අද ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ වගාව බේරගන්න වල් නාශක ටික. බඩඉරිඟු වගාවෙන් 80%ක් වල් නාශක නැතුව විනාශ වෙලා ඉවරයි. කුඹුරුවල අතින් වල් ගලවලා වගාව බේරගන්න බෑ. ගොවියෝ වල් නාශක ඉල්ලකොට කෘෂිකර්ම අමැති කියනවා ‘අපි කියන විදිහට පොහොර දැම්මේ නැත්තම් වගා වන්දි දෙන්නේ නෑ කියලා.‘ ඔය දියර පොහොර ගැව්වාම ගොයම් ගස් බල්ලෝ කනවා. කඹරයෝ කනවා. බල්ලෝ - කඹරයෝ ගොයම් ගස් කෑවේ කවද්ද? ගොවියෝ දියර පොහොර ගහලා කඹරයින්ට ගොයම් ටික කන්න දෙනවා ද?

මේ කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවට නොවැම්බර් 21-25 දවස ගානේ කිව්වේ අද ඉදන් කෘෂි රසායන දෙනවා. බය නැතුව වගා කරන්න කියලා. ඇමතිගේ ලනුව කලා වගා කරපු ගොවියෝ දැන් කෘෂි රසායන නැතුව විනාශයි. හරකුන්ට, කුකුළන්ට දෙන බඩ ඉරිඟු ටිකක කෘෂි රසායන දෙන්නේ නෑ.

අද ගොවියෝ රු. 15,000 - 30,000 ගානේ පොහොර අරගෙන වගා කළා. දැන් ඒවා පණුවෝ කනවා. පිපියෝ ගහනවා. කුඩුස්සෝ, වේයෝ ගහනවා. ඒ එකකට වත් ප්‍රතිකර්මයක් නෑ. අමාරුවෙන් හදාගත්ත වගාව විනාශ වෙනකල් කෘමිනාශක ගෙන්වන්නේ නැතුව රටේ සාගතයක් හදන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි.

ආණ්ඩුවේ ගබඩාවල තිබුණ පොහොර ටික ගොවියාට දුන්නේ පරක්කු වෙලා. එතකොට අශුචි පොහොර කෑන් පුපුරන්න පටන් අරගෙන තිබුණේ. අද වගාව විනාශ වෙන්නේ දිලීර නාශක නැති නිසා. මාතලේ, මධ්‍යම පළාතේ කිසිම තැනක නීත්‍යානුකුලව ප්‍රමිතියකින් යුතුව නිශ්පාදනය කරපු දිලීර නාශක දැන් නෑ.

රට සාගතයකට ගෙනියන්නේ මේ කාලකන්නි වැඩ නිසයි.

රටට කන්න දෙන්න ඕනි නම්, හදලා තියෙන වගාව බේරාගන්න කෘෂි රසායන, පළිබෝධ නාශක ආනයනය කරන්න ඕනි. ලංකාවේ වැඩිම එළවළු පළතුරු වගාව සිද්ධ වෙන්නේ ජනවාරි - අප්‍රේල් මාසවල. රටට කන්නේ ඒ එළවළු. පොහොරත් නැතිව, වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතුව ජනවාරි - මාර්තු අතිරේක භෝග වගාව කරන්න බෑ.

බහුජාතික සමාගම්වලට, වතු සමාගම්වලට පොහොර තියෙනවා. හැබැයි රටේ දුප්පත් ගොවියාට පොහොර නෑ. බහුජාතික සමාගම්වලට කෘෂි රසායන ගෙන්වන්න දීලා තියෙනවා. හැබැයි ගමේ කඩේ බෙහෙත් ටික නෑ. ගොවියාට කෘෂි රසායන නැතිව වගා කරන්න බෑ.

මේක ධනපතියන්ට ලාබ ලබන්න දුප්පත්තු නැති කරන ආණ්ඩුවක්. තීන්දු ගත්තාට තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක් යැයි ද කවිරත්න  පැවසුවාය.

=

05 වැනිදා සිට වෙනස් වන බස් ගාස්තුව

සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

අනිද්දා (ජනවාරි 05) සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු සංශෝධනය මෙසේය .

1a0c7620 ef954e2d86d54bec94e4bc9058d60f18 0001

Page 386 of 464