පුවත්

යොහානිගේ මැණිකෙට මෝදිගෙ හිත යයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය භාවිතා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’යන උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතය පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති යෝගිටයි යන පණිවිඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහායි එම මාධ්‍ය වාර්තා=වල සඳහන් වේ.
ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.
යොහානි සිල්වා සහ මැණිකේ මගේ හිතේ ගීතය මීට පෙර ඉන්දීය අගමැතිවරයාගේ පැසසුමට ලක් වූ අතර ඉන්දීය ජාතිකයන් කෝටි ගණනකගේ හිත දිනා ගැනීමට යොහානි සමත් වී ඇති බව ඔහු පවසා තිබිණි.

එජාප නීතිඥ සංගමයෙන් එජාප මාධ්‍ය ඒකකයට විරෝධයක් !
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නිතිඥ සංගමය එම පක්ෂයේ මාධ්‍ය ඒකකය ට විරෝධතාවක් පල කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ මේ සතියේ ස්වාධීන රුපවාහිනි නාලිකාවේ පැවත්වෙන සජිවී දේශපාලන සංවාද වැඩසටහනකට ජාතික නිිතිඥ සංගමයේ සාමජිකයෙකු නොවන පුද්ගලයෙක් සහාභගි කරවිම හේතුවෙන්.
මෙම වැඩසටහන ට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නිිතිඥ මනෝජ් ගමගේ . සමගි ජන බලවේගය නියොජ්නය කරමින් නිිතිඥ එරන්ද වැලිඅංග සහාභගි විමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය නියොජ්නය කරමින් එක් වන බවට පූර්ව ප්‍රචාරවල සඳහන් වන්නේ නිතිඥ සුදත් ජයසුන්දර යන අයයි.
ජාතික නිිතිඥ සංගමය පක්ෂ මහාලෙක්ම්වරයා වෙත පැමිණිලි කරමින් සදහන් කර ඇත්තේ පක්ෂයේ කිසිම නිිති කටයුතුකට සහාභගි නොවන අඩු තරමේ අධිකරණ ක්‍රියාවලිය ට සහාභගි නොවන මේ වැනි පුද්ගලයන් ට මේතරම් සැලකිල්ලක් දැක්විම පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කල නිිතිඥ කල අගෞරවයක් බවයි .
සුදත් ජයසුන්දර මේ වන විට පක්ෂය මහරගම ආසන සංවිධායක ධුරය දැරවු ද ඊට වඩා කැපකිරීම් කල නිිතිඥ රැසක් පක්ෂයේ ආසන සංවිධායක ධුර හා ඊට ඉහළ තනතුරු දරන බවයි ජාතික නිිතිඥ සංගමය, පක්ෂ මහාලෙක්ම්වරයා ට අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

සංහිඳියාවේ රන් සම්මානය මංගලට !
දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්ජී විතයේ එක්වරක් පමණක් පිදෙන 'සංහිඳියාවේ රන් සම්මානයෙන්' පිදුම් ලැබිය.
2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කරන ලදී.
Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයකි.
එම ආයතනය විසින් දේශපාලනය තුළ සිටින පිරිස් හි වෘත්තීය භාවිතාවන් ආචාරධාර්මික කිරීම සඳහාත් ඔවුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය සඳහාත් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.
එමෙන්ම දේශපාලන ක්‍රියාධරයන්ගේ කාර්යක්ෂමතාව සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් හි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇගයීම ද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.
එම ආයතනයේ ප්‍රමුඛ අරමුණ වෘත්තීමය වශයෙන් ආචාරධාර්මික භාවය රැකගෙන දේශපාලනය කරන නූතන පරම්පරාවක් ගොඩනැගීම බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටී.
එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව සංජීව විමලගුණරත්න මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවකයින් වැඩ කරන්නේ නයිට් කඩවල සහ ෂෙඩ්වල !
ශ්‍රී ලංකේය තානාපති සේවය සහ කාර්ය මණ්ඩල පත්වීම් දේශපානලන කරණයට ලක්වී ඇතිබව මේ වන විට සැවොම දන්නා කාරණයකි. මෙහි වර්ථමාන තත්වය ඉතාමත්ම බරපතල සහ අපකිරිතිමත් තැනකට මේ වන විට පත්ව ඇතිබව සැබවින්ම ලාංකිකයන් හැටියට නැතිනම් රටක් හැටියට ලැජ්ජා වියයුතු කරුණකි.
මෑතක පටන් නුසුදුසු පුද්ගලයන් දේශපාලන බලපෑම් මත ලොව පිළිගත් තානාපති කාර්යාලවලට පත්වීම් ලබාදීම සිදුකරනු ලබයි. මෙය සත්‍ය වශයෙන්ම විදේශ තානාපති සේවයේ රැකියා ලබාදෙන මාෆියාවක් සහ ජාවාරමකි. මෙය ඍජුවම රාජපක්ෂ වාදීන් විසින් ඔවුන්ගේ අනුදැනුම මත කරගෙන යන වැඩපිලිවලකි . මෙවැනි රැකියා ලබාගැනීම සදහා ලක්ෂ ගණන් මුදල් මෙම තැරවූ කරුවන් විසින් ලබාගන්නා අතර .මළපොතේ අකුරක් වත් බැරි පුද්ගලයින් තානාපති සේවය සහ කාර්ය මණ්ඩලයට අනියුක්ත කරනු ලබයි .
මෙසේ පැමිණෙන බොහෝදෙනෙක් වසර 2-3 කාලයක් සදහා පැමිණෙන අතර මෙය ශ්‍රී ලංකාව තුල ලිපිකරු තනතුරකටවත් සුදුසු නොවන තත්වයේ දැනුමක් තියන බවට වාර්තාවේ. මෙසේ පැමිණෙන අය තානාපති කාර්යාලයේ සේවය කරන අතරතුර රාත්‍රී කාලයේදී සහ සති අන්තයේදී පැට්‍රල් ෂෙඩ්වල සහ takeaway ෂොප්වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරනබවට මේ පිලිබදව ගවේෂණය කරපු දමිළ ඩයස් පෝරාවට හිතැති ටෙලිවිෂන් නාලිකාවක් සියලු තොරතුරු සහ පුද්ගලයින් හදුනාගෙන මේවන විටත් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරමින් සිටින බවට අපට තොරතුරු ලැබී ඇත .
එම තොරතුරු වලට අනුව පසුගිය වසර කීපය තුලදී බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවයට පැමිණි නුසුදුසු පුද්ගලයින් මෙසේ නීතිවිරෝධී ලෙස පැට්‍රල් ෂෙඩ් වල , කඩවල සහ takeaway ෂොප් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන දර්ශන සහ ඔවුන් බ්‍රිතානයේ තානාපති කාර්යාලයේ සේවය කරන අයුරුත් තහවුරු කරගෙන තිබෙන බව වාර්තාවේ .
මෙම වාර්තාවට අනුව මෙය රාජපක්ෂ පවුල් ගහ සෙවනේ වන රැකියා ජාවාරමක් ලෙස හදුන්වනු ලබයි . මේ අතර රජයේ විවිධ තනතුරු සහ ත්‍රිවිද හමුදාවේ සේවය කල ඉහල නිලධාරීන්ගේ දරුවන්ද සිටින බවට ඉහත සදහන් නාලිකාව හදුනාගෙන ඇතිබව වාර්තාවේ. පසුගිය කාලයේදී සහ වර්තමානයේ කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන තානාපති කාර්යාලයේ සේවකයින්ගේ සියලුම තොරතුරුද මෙම වාර්තා වැඩසටහනේදී දැකගැනීමට හැකිවන බවත් කියවේ..
තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් නයිට් කඩ වල සහ ෂෙඩ් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන මට්ටමට වැටීම අතිශයෙන්ම කණගාටුදායකය . අනෙක් කරණය නම් බ්‍රිතානය තුල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කිරීම නීති විරෝදී ක්‍රියාවක් වීමයි .තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙසේ ක්‍රියාකිරීම තුල අනාගතයේදී .තානාපති කාර්ය මණ්ඩලයට සේවකයන් ගෙන්වීමට ඇති ඉඩකඩ අහිමිවීමේ අවධානමක්ද ඇති බව නොකියම බැරිය. අනෙක් කරණය නම් වර්ථමාන මහ කොමසාරිස් වරියගේ අකර්මන්‍ය තාවයයි අවසන් වරට ඇය තානාපති කාර්යාලයට පැමිණි දිනය නම් කරන කෙනෙකුට තෑගි පිරිනමන බව බ්‍රිතානයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් පවසයි.
මිට පෙරද බ්‍රිතාන මහා කොමසාරිස් කාර්යාලය සහ එහි තිබෙන අවාසනාවන්ත තත්වය පිලිබදව විවිධ තොරතුරු අන්තර්ජාලයේ පලවූ බවත් අපට මතකය.
විශේෂ ලිපිකරුවකු විසිනි

කොරෝනා මරණ 15,211ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 14 ක් අද (16) වාර්තා කර තිබුණි.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,211 කි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනවාරි 15 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටී.
මියගිය පිරිසෙන් 10 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.

ඔමික්‍රෝන් මෙරට ආසාදිතයින් ගණන ඉහළට
මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ය.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 595,657 දක්වා ඉහළ ගියේ ය.
ඒ, නව ආසාදිතයින් 661 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග ය.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,197 කි.
ආසාදිතයින් 568,049 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගය විවෘත කිරීමට ලන්සා නාවේ ඇයි ?
මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පසුගියදා (15) සවස ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද සහභාගි ව සිටි නමුත් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන නිමල් ලන්සා නොපැමිණ සිටීම සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.
මීරිගම ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසනයක් බැවින් කුමන තත්ත්වයක් යටතේ වුවත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඊට සහභාගිවීම සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක් බව දේශපාලන නිරීක්ෂකයන් ද පෙන්වා දෙයි.
කෙසේ වුවත් මේ අවස්ථාව සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද සහභාගි ව සිටියේ නැත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලිත්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස තෙසාර ජයසිංහ ඉවත්කර රේණුක පෙරේරා පත්කිරීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගනුලැබූ තීන්දුව හේතුවෙන් ඇතිවූ නොසතුට ලන්සාගේ නොපැමිණීම හරහා පෙන්නුම් කෙරුණේද යන්න ගැන දේශපාලන නිරීක්ෂකයන් සැකසංකා මතු කරයි.
මන්ද පසුගියදා තෙසාර ජයසිංහ සම්බන්ධයෙන් ලංසා අමාත්‍යවරයා ද දැඩි විවේචනයක් එල්ල කළ අයෙකු වීම සහ ඔහු ආණ්ඩුවේ සිටින දැඩි බැසිල් රාජපක්ෂවාදියකු ලෙස ප්‍රකට නිසා බවත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

සජිත්ගේ අඩුව රනිල් පුරවලා : විපක්ෂයේ පෙරළියක්ද ?
වසරේ පළමු වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදී සිදුවූ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.
ඒ, පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටීමය.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මාස කිහිපයක් ගතව තිබුණද ඒ එකදු වතාවකවත් එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට කටයුතු කර තිබුණේ නැත.
නමුත් මෙවර රනිල් සහභාගි වී සිටියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගි වීමට පියවර ගෙන තිබුණේ නැත. සමගි ජනබලවේගය පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ඉකුත් සතිය පුරාම සජිත් උතුර-නැගෙනහිර සංචාරයක නිරත වීම හේතුකොට ගෙන මීට සහභාගි නොවූ බවයි.
කෙසේ වුවත් කාලයක් තිස්සේ එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අලුත් මුහුණුවරකින් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත පැමිණෙමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
එහි තීරණාත්මක අවස්ථා දෙකක් ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා ගුවන් විදුලි සංස්ථාවේ සජීව සාකච්ඡාවක් සඳහා සහභාගි වීමත්, සිරස නිව්ස් ෆස්ට් සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගි වීමත් විචාරකයන් පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත දොරටු වසා තිබූ සිරස වැනි නාලිකාවක් හිටිහැටියේ ඔහුට අවස්ථාව සැලසීම අනාගත දේශපාලන පෙරළියක් ගැන පෙරමග ලකුණක් විය හැකි බවයි.

ශිෂ්‍යත්ව හා උසස් පෙළ ගැන නිවේදනයක්
ජනවාරි 18 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 05 ශිෂ්‍යත්වයට අදාළව උපකාරක පංති,දේශන සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පෙබරවාරි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගයට අදාළව, උපකාරක පංති,දේශන සහ සම්මන්ත්‍රණ තහනම් කර තිබේ.
ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22
වර්ෂ 2021ට අදාළව 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිතය.
විභාග මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අපොස උසස් පෙළ 2021 විභාගය 2022 වසරේ පෙබරවාරි මස 7වනදා සිට මාර්තු 5වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කරඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාග කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

කොරෝනා මරණ 15,197ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (14) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,197කි.

සපුගස්කන්ද සම්පූර්ණ බිඳවැටීමක් ආසනයේ : එදාට රටම අඳුරේ !
උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් පවසන්නේ බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බවයි.
ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.

බද්ද කිලෝවට ශත 25 යි : ඕන කෙනෙක් හාල් ආනයනය කරන්න - බන්දුල
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කළේය.
සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු කීවේය.

ඩලස් ජනතාවට ඇත්ත කීම අරඹයි : ඉදිරියේ පැය කිහිපයක විදුලි කප්පාදුවක් !
ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු එහිදී පැවසීය.
විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පැවසූ අමාත්‍යවරයා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

රට සුරපුරක් නොවුණේ රාජ්‍ය නිලධාරින් හරියට වැඩ නොකළ නිසා ?
මෙරට රාජ්‍ය සේවකයන් තම රාජකාරිය හරියට කළේ නම් අද අපේ රට සුරපුරයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.
ඔහු මෙසේ පැවසුවේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.
‘ලෝකයේ අපිට වඩා, ජනගහනය වැඩි දියුණු රටවල් සමග සංසන්දනය කරද්දී, අපේ රටේ රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ඒ රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ආසියාවේ, ශ‍්‍රී ලංකාවට වඩා ජනගහනයෙන් වැඩි රටවල් ගණනාවක් තිබුණත්, මුළු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්න රට ශ‍්‍රී ලංකාව. එහෙම වුණත්, මහජන නියෝජිතයන් විදියට අපෙනුත්, රාජ්‍ය සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙනුත් සිදුවිය යුතු සේවය, නිවැරදිව ඉටු වෙන්නේ නැහැ කියන එක මගේ හැ`ගීමයි. එහෙම වුණා නම්, අද අපේ රට සුරපුරයක් වෙන්න තිබුණා. අද අපේ රට තියෙන ස්ථානය ගැන කල්පනා කරද්දී අපිට සතුටු වෙන්න බෑ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස’

ගිය වසරේ මැති සබේ අය කෝටි 09ක කාලා
පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ විවිධ කමිටු සඳහා පැමිණෙන රජයේ නිලධාරීන්ටද ආහාර සැපයීම පාර්ලිමේන්තුව විසින් සිදු කෙරෙන අතර ඒ සඳහා කෙරුණු වැය කිරීම්ද මෙම මුදලට ඇතුළත් වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාරපාන විවිධ දූෂණ ක්‍රියා සහ නාස්තිය හේතුවෙන් අහිමි වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ක්‍රියාමාර්ග කිහිපයක් මෑතක සිට ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ගමන්මලු ඔවුන් පිටතට යන අවස්ථාවන්හිදී අහඹු ලෙස පරික්ෂා කිරීම එහි එක් පියවරක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සහල් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළියෙල කිරීමද සීමා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
ලංකාදීප

ගුරු සේවයත් සංවෘත සේවාවක් වෙයි
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවන් 03 ක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුවයි.
2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සංවෘත සේවාවන් ලෙස ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.
එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බළධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වේ.

'රටෙන් අපට කියලා හිතනවට වඩා, අපෙන් රටට කියලා හිතලා වැඩ කරමු' - හිටපු අගවිනිසුරුවරිය
''අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ, රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම'' බව තමාගේ හැඟීම යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසන්නීය.
රට යළි නගා හිටුවන්නට ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ කැපවීම මෙන්ම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් බව ඇය අවධාරණය කර සිටියි.
හිටපු අගවිනිසුරුවරිය අද (14) එබව කියා සිටියේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ චරිත කතාව එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය සිදුකරමිනි.
මෙම උත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලාවේ දී පැවැත්විණ. දේශපාලනඥයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
සරසවි ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ඇති මෙම කෘතියේ කතුවරයා වන්නේ තරිඳු තොටවත්ත යි.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විශ්‍රාම ගැනීමෙන් පසුව මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවට එක්වූ පළමු අවස්ථාව මෙයවීම සුවිශේෂී කාරණයකි.
චන්ද්‍රිකා කෘතියේ කතුවරයා චන්ද්‍රිකා සහ ශිරාණි සමග..
උත්සව සභාව අමතමින් හිටපු අගවිනිසුරුවරිය මෙසේද පැවසුවාය.
''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක''
''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක. ගෙවමින් ඉන්නේ හිතාගන්න දරාගන්න බැරි ප්‍රශ්න ගණනාවකුත් එක්ක.
පහුගිය දවසක විශාල ප්‍රචාරයක් දී තිබුණා විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න ආගමන විගමන කාර්යාලයේ දීර්ඝ පෝලිම් දකින්නට තිබුණා කියලා. මේ වගේ අවස්ථාවක ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ පෞද්ගලික විදේශ සංචාරයක යෙදෙන්නට වඩා එක්කෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙන්න. එහෙමත් නැත්නම් රැකියාවකට වෙනත් රටකට යන්න.
විදේශ රැකියා සඳහා යන ලාංකිකයින්ගෙන් අපේ රටට විදේශ විනිමය ගලා එන බව ඇත්ත. නමුත් ඒත් එක්කම සිදුවන්නේ බුද්ධි ගණනය. දැනටමත් අපේ රටේ හැකියාවන් ඇති බොහෝ දෙනෙක් මේ රටින් පිටවී ගිහින් අවසානයි. මම දකින විදිහට ඒක අපේ රටේ සම්පත් අපට නැතිවීමක්. අපි රටක් වශයෙන් නැගී සිටීම මේ වගේ දුෂ්කර සන්දිස්ථානයකදී අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්.
අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම බව මගේ හැඟීම වෙනවා. මේ තත්වය නගා හිටුවන්නට අපේ තරුණ පරපුරේ කැපවීම වගේම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් වෙනවා. ........
දරුවන් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් රටකට අත්‍යවශ්‍ය බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ රට නංවාලන්න ඇපකැප වී සේවය කිරීමේ අවශ්‍යතාවය ගැන හදවගේ සනිටුහන් වෙන පණිවුඩයක් තියන්න පුළුවන් වෙන්නේ දරුවෙකුගේ කුඩා අවධියේ ඉඳලයි. ''

කොරෝනා මරණ 15,190ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,190 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 08 දෙනකු සහ කාන්තාවන් 08 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
Page 381 of 464