V2025

පුවත්

සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !

ජුනි 28 වනවිට ආණ්ඩුව මුද්‍රණය කරනු ලැබූ මුලු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

"සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්" මැයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ වන විට අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000 ක් බවත් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වී අදට දින 592 ක් බවත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

Screenshot 20210629 201933

පරිස්සම් නොවුනොත් සති දහයෙන් ඩෙල්ටා රජවෙයි : සුදර්ශනී අනතුරු අඟවයි !

ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ, විශේෂඥයින් මේ පිළිබඳ පවසා ඇති බවය.

මේ අතර, කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් -19 වෛරසය ආසාදනය මේ වනවිටත් ගර්භණී මව්වරුන් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

“වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවධානම පහවෙලා නෑ. අලුත් සතුරෙකුත් කැරකෙනවා.“

බැසිල් ආවත් සහන නෑ වගේ !

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමත් සමග ඉන්ධන මිල ඇතුළු මේ වන විට ඉහළ යමින් ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළීමක් හෝ සහනයක් ලැබෙණු ඇතැයි ජනතාව තුළ අපේක්ෂාවක් ඇතත් එවැන්නක් කිරීම දුෂ්කර තත්ත්වයකට රටේ ආර්ථිකය ඇදවැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථිකය වැටී ඇති තැන තේරුම් ගන්න අමුතු විශ්ලේෂණය අනවශ්‍ය බවත් එදිනෙදා ජනතාව මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව විසින් එය ජනතාවට අත්දැකීමක්ව ඇති බවයි.

එසේම මහ බැංකු අධිපති ගේ ප්‍රකාශ හරහාත් ආර්ථිකය පත්ව ඇති අසීරුතාව පැහැදිලි වන බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

ඒ අනූව ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ විදෙස් සංචිත දුර්වල වී ඇති පසුබිමේ සහන ගැන කතා කරත් සහන ලබාදීම ලේසි පහසු නොවන බවයි.

ඉන්ධන මිල අඩුකරන්න බැසිල් ඕන නෑ - කෙහෙළිය

මේ අතර ඉන්ධන මිල පහත දැමීම සඳහා බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

අද (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවත් හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බවත්.

බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට පළවන මතයන් ආණ්ඩුවේ මතය නොවන බවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන මිල වැඩි වීමෙන් ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව ආණ්ඩුවේ සියලු දෙනා සංවේදී බවත් ඒ නිසා ඉන්ධන මිල අඩු විය යුතු බව සමස්ත ආණ්ඩුවේම අදහස බව ඔහු තවදුරටත් පැවසීය.

ආණ්ඩුව ඩොලර් මිලියන 3950 ක් ණයට ගන්න යයි !

විදේශ ආයෝජන ලෙස ණයලබා නොගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළද විශේෂයෙන්ම ණය හුවමාරු පහසුකම් යටතේ අගෝස්තු මස අවසන් වනවිට ඩොලර් මිලියන 3,950ක් එනම් රුපියල් මිලියන හත්ලක්ෂ අනූ අටදහසක් (රු.මි. 798,000) පමණ ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි ලක්ෂ්මන් අද (28) නිකුත්කර තිබෙන නිවේදනයකින් මෙම තොරතුරු හෙළි වේ. අධිපතිවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මේ වනවිට රට දරුණු විදේශ විනිමය අර්බුදයක සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාරවලට පිළිතුරු සැපයීම සඳහාය. නමුත් එම පිළිතුරු සැපයීමේදී ජූලි සහ අගෝස්තු මාස දෙක නිම වනවිට ස්වැප් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 3,950ක් ලබා ගැනීමට නියමිත බව හෙලි කර තිබේ.

ඒ අනුව චීනයෙන් ඩොලර් මිලියන 1,500ක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා අවසන්ය. ජූලි මාසයේදී බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලබා ගැනීමට නියමිතය. මුලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ ඩොලර් මිලියන 200ක් ලබාගන්නා බවය. අගෝස්තු මාසය තුළදී ඉන්දීය සංචිත බැංකුවෙන් සාක් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක්ද එරට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 1000ක්ද ලබා ගැනීමට සැලසුම් කර ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලිටන 800ක ණය ලබා ගැනීමට සූදානමින් සිටී. මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය ස්වැප් පහසුකම් යටතේ නොව මේ වසර වෙනුවෙන් එම අරමුදල ලංකාවට වෙන්කර තිබෙන කෝටාව අනුව ලබා ගන්නා බව මෙයට පෙර සඳහන් කර තිබිණි.

ස්වැප් ණය පහසුකම් යටතේ ඉහළ පොලියට ලබාගන්නා ණය පිළිබඳව පොලී අනුපාත ජනතාවට හෙළි නොකර සඟවාගෙන සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් පසුගිය සතියේ පෙන්වා දී තිබිණ. මේ අනුව ලංකාව විදේශයන්ගෙන් ලබා ගන්නා වානිජ ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ මට්ටමක පවතින බව හෙළිවී තිබේ.

Central Bank of Sri Lanka 2021.06.28 768x213

Lanka truth

ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (29) උදෑසන 6.00 සිට හුදෙකලා කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත යන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

12b96684 isolation 2021 06 28 page 001

විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය සඳහා වාර්තාවක්

විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමති අලි සබ්රි වෙත ඊයේ අධිකරණ අමාත්‍යාංශ‍යේදී භාරදී ඇත.

යල් පැනගිය නීති සංශෝධනයකර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරිණි.

=මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිතා කිරීමක් සිදුනොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබු බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත අදාළ යෝජනාවලින් ඉදිරිපත්කර ඇති තවත් වැදගත් නීතියක් ලෙස සැලකේ.

පවුල් නීති සංශෝධනය සඳහා වූ උපදේශක කමිටුවේ සාමාජිකයන් වන්නේ,

1.ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා - සභාපති

2.ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතා

3.මහාචාර්ය ශාර්යා ස්කානිවල් මහත්මිය

4.නීතීඥ චමන්තා උනම්බුව මහත්මිය

5.ආචාර්ය රමණි ජයසුන්දර මහත්මිය

6.නීතීඥ රනිල් සමරසූරිය මහතා

7.නීතීඥ එර්මිසා ටිගල් මහත්මිය

8.නීතීඥ මොක්ෂිනි ජයමාන්න මහත්මිය - කැඳවුම්කරු

9.නීතීඥ මිලානි සල්පිටිකෝරළේ මහත්මිය

10.නීතීඥ නිශාදි වික්‍රමසිංහ මෙනවිය

11.නීතීඥ ශෂේන්ද්‍ර මුදන්නායක මහතා

12.අගී සිරිවර්ධන මෙනවිය - නීති සීමාවාසික

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ ද, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපත=නීතීඥ මයුර ගුණවංශ සහ නීතීඥ කුෂ්ලාන් සෙනෙවිරත්න යන අය ද, අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් දිල්හාරා අමරසිංහ ද, විශේෂඥ උපදේශකවරුන් වශයෙන් ජනාධිපත නීතීඥ නිහාල් ජයමාන්න  සහ ආචාර්ය තමරා හැන්ඩි  ද මෙම කමිටුව වෙනුවෙන් සිය දායකත්වය සැපයා ඇත.

 DSC6886

එකම පවුලේ තිදෙනෙක් මිය යාම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

පේරාදෙනිය යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ඉලුක්තැන්න,  මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍යය ඇමතිවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමට නියමිතය.

එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍යය ඇමතිවරියට වාර්තාවක් ලබාදීමටද නියමිතය.

මුරුතලාව පදිංචි සිරිපාල රාජපක්ෂ (71) මව වන චන්ද්‍රා රාජපක්ෂ (68) සහ පුතු ධම්මික රාජපක්ෂ (39) යන අයවලුන් කොරෝනා ආසාදිතව ඉකුත්දා මිය ගොස් තිබිණ.

නිවාස ආශ්‍රිතව කොරෝනා රෝගීන් රැකබලාගැනීමේ නව වැඩපිළිවෙලක්

නිවෙස් තුළ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළක් අද(28) ආරම්භ කෙරිණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙනි.

නිවාස ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීම සිදුවන්නේ,1390 සෘජු දුරකතන අංකය ඔස්සේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනය මගින් අධීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බවය.

ඊට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 400 දෙනෙකුට අධික සංඛ්‍යාවක් දායක වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ යටතේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව රෝගීන් වර්ගීකරණය කෙරෙන අතර ඔවුන් ක්‍රමානුකූලව රෝහල්ගත කිරිමේ වැඩපිළිවෙළක් ද සකස් කර තිබේ.

නිවෙස් තුළ රඳවා ගත හැකි රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන් හා නිවෙස්වල රැඳී සිටීමේ හැකියාව යන කරුණු පදනම් කර ගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

එමගින් රෝග ලක්ෂණ ඇති අවුරුදු 60ට වැඩි සංකූලතා සහිත රෝගීන්ට හා අවදානම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි රෝගී කාණ්ඩවලට රෝහල්ගත කිරීමේදී මූලිකත්වය ලබා දීමට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක⁣ළේය.

වැඩපිළිවෙළ තුළින් රෝහල් ධාරිතාව මනා කළමනාකාරීත්වයකින් යුතුව භාවිත කළ හැකි වන අතර වෛද්‍ය අවධානය වැඩිපුර අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාව ලබාදීම තුළින් මරණ සංඛ්‍යාව ද අඩුකර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා තුන්වන රැල්ලත් සමග සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේද රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් හා රෝගීන් යොමු කෙරෙන රෝහල්වල හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයවල දැඩි තදබදයක් හටගෙන තිබෙන බවය.

එම තත්ත්වය බොහෝ දුරට පාලනය කර තිබුණ ද, බස්නාහිර පළාත හා රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන දිස්ත්‍රික්කවල රෝගීන්, රෝහල්වලට යොමු කිරිමේ ප්‍රමාදයක් ඇතිවීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත්.....

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ පවසයි.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටකි.

මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කර ඇති අතර,  එසේම ඔහු ජීවත්වූ මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් පද්මරාජ පැවසීය.

මේ ආණ්ඩුවෙන් කිසිම තනතුරක් ඉල්ලා නැහැ - හිටපු ජනපති

තමන් මෙම ආණ්ඩුවේ කිසිම තනතුරක් බලාපොරොත්තු නොවන බවත් තමන් කිසිදු ඇමති ධුරයක් හෝ වෙනත් තනතුරක් ඉල්ලා නැති බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මස 06 වෙනිදා තමන් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

ඒ පිළිබදව පළවන  වාර්තා ආසත්‍යක් බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනයක පහත සදහන් වේ.

Maithripala Sirisena 2021.06.28

තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN …

අද (28) උදෑසන 6 .00 සිට රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් වසමේ නොරගල්ල , නොරගල්ල ඉහළ , යක්දෙහිවත්ත, පීන්කන්දවත්ත- 1, පාතකඩ , පීන්කන්දවත්ත -3 යන ප්‍රදේශ සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ නක්කලවත්ත හා මිල්ලකැලේවත්ත අද (28) උදෑසන සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

lokdown 1000px

මහාචාර්ය නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙයි.

මීට පෙර කොළඹ උතුර (රාගම) වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන්ද අදාළ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබුණි.

විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නනායක්කාර (වෛරස් විද්‍යා), මහාචාර්ය චන්න රණසිංහ (ශ්වසන වෛද්‍ය), ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු (ළමා රෝග විශේෂඥ) සහ වෛද්‍ය හසිත තිසේරා (වසංගත රෝග විද්‍යා) යන අයද මෙම කමිටවුට ඇතුළත් සිටියහ.

මෙම කමිටුව විසින් ලොව බොහෝ රටවල එන්නත් කරන වැඩපිළිවෙල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිබඳව මනා අධ්‍යනයකින් පසු මෙරටට එන්නත් කරන වැඩපිළිවෙලක් නිර්දේශ කළ නමුත් අවසානයේ සිදුවූයේ එය විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් වීමට ලක්වීමයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවය.

ඔවුන් ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ද දැනුවත් කිරීමට කටයුතු කර තිබිණ.

බැසිල් එන්නේ - හය නොවේ අට !

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය ජූලි 06 නොව ජූලි 08 බව ආණ්ඩු හිතවාදි සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

නිරෝධායන නීති අනුව 6 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමට ඉඩක් නැති බැවින් 8 වෙනිදා ඒ සඳහා යොදාගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව "ආර්ථික සංවර්ධන" අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වඩා වැදගත් වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය නොව ඔහු පැමිණි පසු කරන බවට ගෝලයන් කියන දේවල් කරන්න සමත් වෙයිද යන්නය.

නැත්නම් සිදුවන්නේ තවදුරටත් ජනතා අප්‍රසාදය වර්ධනය වීම බවත් ඔවුන් පවසයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව පසුගිය සමයේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට මැදිහත් වූ භික්ෂුන් වහන්සේලා විරෝධය දක්වමින් ද සිටියි.

කාබනික පොහොර වෙනුවෙන් තැබූ පය පස්සට ගන්නේ නෑ කියා ජනාධිපති කියලා !

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා සඳහන් කළ බවත් එහි දැක්වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිතුමා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබිණ.

කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.

කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදැක සුවදුක් විචාළේය. උන්වහන්සේ ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ආශිර්වාද පළ කළහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමග ද සුහද කතා බහක නිරත විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා රජයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුම්වත් කළේය.

ගැටඹේ රාජෝපවනාරාමයට ගිය රාජපක්ෂ මැතිතුමාට විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

දියවඩන නිලමේ නිලංග දෑල, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

රසායනික පොහොර තහනම පිටුපස කුමණ්ත්‍රණයක් : දයාසිරිගෙන් අනාවරණයක් !

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරන බව ආණ්ඩුව හිතවාදි මාධ්‍ය වාර්තා කරමින් ඇත.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇත බවය.

එසේම මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන් බවත් එහි සඳහන් ය.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඉදිරියේ දී තවදුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය.

කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බවද අමාත්‍යවරයාගේ අදහසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 සැමරුමට : ලංකා මහ බැංකුවෙන් සමරු කාසියක් !

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමක් සහිත අවස්ථා සැමරීම සඳහා කාසි නිකුත් කිරීම මහ බැංකුව සම්ප්‍රදායිකව සිදුකරනු ලබන නමුත් වෙනත් රටක දේශපාලන පක්ෂයක සැමරුමක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාසියක් නිකුත් කරන්නට යන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව විසින් සමරු කාසි නිකුත් කිරීම පසුගිය සදුදා ආරම්භ කර ඇත.

ඒ අනුව රන් කාසි තුනක්, රිදී කාසි පහක් හා තඹ කාසියක් චීන බැංකුව විසින් නිකුත් කර ඇත.

අසමත්වීම වහගන්න ජනතාවට දොස් කිව්වා : ජ.ජා ඇමතීමට එජාප ප්‍රතිචාර !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා (25) ජාතිය ඇමතූ නමුත් මහජනතාව මුහුණ දෙන ගැටලු විසඳුවේ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට දොස් පවරමින් තමා සහ ඔහුගේ රජය අසමත් වීමට හේතුව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලෙස ඔහු මෙම දේශනය භාවිතා කළ බවත් එම පක්ෂයේ අදහස වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතිය ඇමතීම සම්බන්ධව නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

COVID-19 හි වර්ධනය වන තර්ජනය, කඩා වැටෙන ආර්ථිකය, පොහොර හිඟය, පාසල් අධ්‍යාපනයට ඇති බාධා සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු රට තුළ ගැටලු රාශියක් තිබේ.

ජනාධිපතිවරයා මේ කිසිදු කරුණක් ගැන කතා කළේ නැත. ඔහු ඒ වෙනුවට නිදහසට කරුණු ඉදිරිපත් කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම වළක්වා ගැනීමෙන් මෙම ගැටලු විසඳීමට ඔහුට නොහැකි වූයේ මන්ද යන්නයි.

මෙම දුෂ්කර කාලවලදී නායකත්වය සහ බලාපොරොත්තුව ලබා දීම සඳහා ජනතාව ජනාධිපතිවරයා වෙත යොමුවී ඇති අතර, ඔහු තම අඩුපාඩුකම් නිසා ඔවුන්ට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් වී තිබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර අගුලු දැමීමක් ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය වෘත්තිකයන් ඔහුට උපදෙස් දුන් විට ඔහු ඒවා නොසලකා හැරියේය.

නව වසර භුක්ති විඳීමෙන් වෛරසයේ තුන්වන රැල්ලට හේතු වූ බවට ජනාධිපතිවරයා දැන් මහජනතාවට චෝදනා කරයි.

COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා රටට වරින් වර අගුලු දැමීමට සිදුවිය.

අගුලු දැමීම මහජනයාට බරපතල මූල්‍ය බරක් ඇති කරයි.

වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස් පිළිපැද්දා නම් මේවා වළක්වා ගත හැකිව තිබුණි.

පසුගිය වසරේ නොවැම්බරයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසුවේ COVID-19 එන්නත සඳහා අවශ්‍ය මාත්‍රාවන් මිලදී ගන්නා බවයි. කෙසේ වෙතත්, මෙම මිලදී ගැනීම් සිදු කරනු ලැබුවේ මෙම වසරේ මාර්තු මාසයේදී පමණි.

මෙම එන්නත් මාත්‍රාවන් මිල දී ගැනීම ප්‍රමාද වීමෙන් 600,000 කට අධික පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි විය.

2015-2019 කාලය තුළ ආර්ථිකයේ තත්වය පිළිබඳව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදිය.

2019 දී එක්සත් ජාතික පක්ෂය රජය භාර දෙන විට රට තුළ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක විදේශ සංචිත තිබුණි. අද වන විට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4 ට වඩා පහත වැටී ඇත.

සංචිත වැඩි කරන්නේ කෙසේද සහ අපේක්ෂිත ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම රජයට කිසිදු සැලසුමක් නොමැත. එක්සත් ජාතික පක්ෂ රජය යටතේ 2017 සහ 2018 යන කාලය වසර 60 කට පසු පලමු වතාවට රට ප්‍රාථමික අතිරික්තයක් භුක්ති වින්දා.

රජය වියදම් කරනවාට වඩා වැඩි ආදායමක් උපයමින් සිටින බැවින්, සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලය තුළ ආර්ථිකය හොඳින් කළමනාකරණය වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙය නිවැරදි නම්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් බලතල ඉවත් කර පී.බී. ජයසුන්දර යටතේ ආර්ථිකය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත්තෙ ජනාධිපතිවරයාට තමාගේම අගමැති සහ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නැද්ද?

ඒ අනූව මිනිත්තු 69 ක කතාවකින් ජනාධිපතිවරයා සම්පූර්ණ අවධාරණය පෙන්නුම් කළේ දිශානතීය රහිත ප්‍රකාශයකටය.

ෆයිබර් ඔප්ටික් ලැබූ පාසල් 10000 ක් ? : ජනාධිපති ප්‍රකාශයෙන් ගුරු සංගම් මවිත වෙයි !

පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බව පසුගියදා ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියත් එම ප්‍රකාශය පුදුම සහගත බව මෙරට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සංයමය පවසයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංයමය පවසන්නේ "ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවක්" බවත්  මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්ය.
 
ලංකා ගුරු සංයමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මේ නිවේදනයේ ජනාධිපති ජාතිය ඇමතීමේදී පාසල් අධ්‍යාපනය සම්බන්ධව දැක්වූ කරුණු බොහොමයක් දෝෂ සහිත බව පෙන්වා දී ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
කෝවිඞ් 19 වසංගත තත්වය මත අවුරුද්දකුත් මාස 3 කට වැඩි කාලයක් පාසල් වසා දමා තිබෙන අතර, පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇත. 
 
ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් හැරෙන්නට ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කර නැත. 
 
ඒ තත්වය තුළ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ද 60% කට වැඩි දරුවන් පිරිසකට අහිමි වී ඇති අතර ඔවුන් කිසිදු අධ්‍යාපනයක් නැත. මෙවැනි වාතාවරණයක් තිබියදී 2021.06.25 දින ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටියේ පාසල් වසා තිබුණ ද දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද මගින් විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ කෝවිඞ් වසංගතය තුළ දැඩි බලපෑමට ලක්වූ අධ්‍යාපන පද්ධතියට රජය ලබාදෙන විසඳුමයි. ජනාධිපතිවරයා අධ්‍යාපන පද්ධතිය ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ප‍්‍රකාශ කිරීම කනගාටුදායක තත්වයකි.
 
එසේම ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. එය නම් පුදුමයකි. ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවකි. මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතී.
 
ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන පරිදි මෙතරම් තාක්ෂණික පහසුකම් ලබාදී තිබේනම් පාසල් දරුවන් දිනපතා ගස්ගල් උඩ නගිමින්, කැලෑ පීරමින් තම ජීවිත අනතුරේ හෙලා ගනිමින් අන්තර්ජාල සබඳතා සඳහා සිග්නල් සොයන්නේ විනෝදයට නොවන බව මෙරට ජනතාව ඉතා හොඳින් දන්නේය. පාසල් අධ්‍යපනය කෝවිඞ් 19 වසංගතය තුළ මෙතරම් කඩා වැටී තිබියදී රටේ ජනාධිපතිවරයා මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නේ අධ්‍යාපන බලධාරීන් ඔහුට නිවැරදි නොවන තොරතුරු ලබා දී තිබිය යුතුය.
 
 දිනපතා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන රටේ අධ්‍යාපන තොරතුරු ඔහු නොදන්නවා විය යුතුය. කෙසේ වෙතත් මේ සියලූ තත්වයන්ගෙන් තවදුරටත් පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ කඩා වැටී ඇති අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බවයි. අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් කඩාවැටී ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සාධනීය කටයුත්තක් නොකළ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද ප‍්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පිරිසකට බවයි. අධ්‍යපන බලධාරීන්ගේ අසාර්ථක භාවය එම ප‍්‍රකාශ තුළින් තවත් තහවුරු විය.  
 
එසේම උක්ත කතාවේ දී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා රුපියල් බිලියන 25 ක් වෙන්කර ඇති බවයි. එහෙත් 2021 වසරට අදාළ නිල ඇඳුම් බෙදාදීම අවසන් නොකළ අතර, පළමු කොරෝනා අවදානමේදීම පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීම නතර කරන ලදී. පසුව ඒ වෙනුවට වියළි ආහාර මල්ලක් පාසල් දරුවන්ට ලබා දුන්න ද මෙවර පාසල් වසාදැමීමෙන් පසු එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක නොකරන ලද අතර, එම මුදල්වලට කුමක් සිදුවූයේ ද යන්න ද ගැටලූවකි. කෝවිඞ් 19 තත්වය තුළ සංචරණ සීමා හේතුවෙන් දෙමාපියන්ට එදිනෙදා ජීවිකාවන් අහිමි වීම නිසා කුසගින්නේ සිටින දරුවන් පිළිබඳ විවිධ සිදුවීම් අඛණ්ඩව වාර්තා වෙද්දී මේ පෝෂණ මල්ල එවැනි දරුවන්ගේ නිවෙස්වලට ලබා දෙන්නටවත් ක‍්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති වීම බරපතල කනගාටුදායක තත්වයි.
 
මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප‍්‍රකාශන හුදෙක් ප‍්‍රකාශනවලට ම සීමා වී පවතින බවත්, බරපතල ජාතික ව්‍යවසනයක් බවට පත්වෙමින් පවතින කඩාවැටුණු පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන බවත්ය.

Page 378 of 384