V2025

පුවත්

ශෙහාන් මාලක සුදු වෑන් රියකින් අත් අඩංගුවට…

 සිවිල් ක්‍රියාධරයෙක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම උදෙසා විශාල කාර්යභාරයක් කරමින් සිටි ශෙහාන් මාලක ගමගේ  මහමගදී සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතර, ඒ මොහොතේදී ශෙහාන් මාලක විසින් පාරේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු විසින් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි වීඩීයෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් බිය වී දිව ගිය බවත්, පොලීසියෙන් කියා තමන්ව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බවත්, තමන් හට තමා අත් අඩංගුවට ගන්නේ කුමන වරදකටද යන්න හෝ ප්‍රකාශ නොකල බවත්ය.

තවද සංජීවීව තම දුරකථනයෙන් තම අත් අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය හරහා මුදා හරිමින් සිටීමේදී ඔහුට දැඩි තර්ජනයක්ද එල්ල විය.

පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකොට වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමේ සත් කාර්‍ය්ට දැඩි කැපවීමකින් ක්‍රියා කළ ශෙහාන් මාලක මීට ඉහත අවස්ථාවකදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවමින් දින ගණනාවක් ප්‍රශ්න කලහ..

සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ මහතා පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිව්දෙනෙකු පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරවාගෙන තිබේ.

පසුව එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මාධ්‍යවේයාගේ නිවස වෙත පැමිණ ඇතැයි සඳහන් ය. ‍

මෙලෙස නිවාස සංකීර්ණයට ඇතුළු වූ නාදුනන පුද්ගලයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහා අසුචී ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඉන් නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදිත සමරවික්‍රම කියා සිටියේ, මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසයි.

මේ සිද්ධි සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

'හිරු ටීවී 'පත්තරේ විස්තරේ සහ සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින අතර රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.

ඔහු විසින් Truth With Chamuditha නමින් යු ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යන අතර ඒ හරහා ඔහු පසුගිය කාලයේ මෙරට ජනප්‍රිය චරිත ගණනාවක් දැඩි ප්‍රශ්න කිරීමකට භාජනය කළේය.

ඔහු විසින් සෑම උදසනකම 'හිරු ටීවී ඔස්සේ ඉදිරිපත් කල 'පත්තරේ විස්තරේ' වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් නොසතුටින් සිටි බව පැවසේ. කෙසේ වුවද 'හිරු' නාලිකාව අද උදැසන ප්‍රකාශ කලේ ජනතාවගේ හා රටේ හෙට දවස යහපත් කිරීමේ චේතනාවෙන් තමන් විසින් ඉදිරිපත්කරන රුපවාහිනී වැඩසටහන් ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වු මැර ප්‍රහාරය ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පිළිකුලින් යුතුව හෙළා දකින බව නිවේදනය කර තිබේ.

එම සංගමය පවසන්නේ, මැර ප්‍රහාර එල්ල කරමින් සිදුකරමින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට කිසියම් පිරිසක් උත්සහා දරනවා නම්, ඊට එරෙහිව මෙන්ම මෙවැනි නින්දිත මාධ්‍ය මර්දන වැළැක්වීමට අදාළ බලධාරීන් වහාම පියරව ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව  සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.

පිළියන්දල පොලිස් ස්ථානයේන් සහ කැස්බෑව පොලිස් ස්ථානයෙන් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් එම විමර්ශන ක්‍රියාත්මක කරනු ඇති.

ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීමෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මකයි.

නිවසට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරින් , ඇඟිලි සලකුණු පරික්ෂකයින් සහ පොලිස් නිල සුනඛයින් ද යොදවා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පාස්කු කොමිසමේ ප්‍රධාන නිලධාරියා රටින් පළාගිහින් !

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අංශ වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ දී නම් සඳහන් වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය බව පාස්කු කොමිසමට කරුණු දැක්වූයේ මෙම නිලධාරියාය. සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් සාරා දිවි ගලවාගෙන පලා ගිය බවට තම ඔත්තුකරුවන් දෙදෙනකු ඇසින් දුටු බව කියමින් එම නිලධාරියා මෙම ඔත්තුකරුවන්ගේ සාක්ෂිය කොමිසමට ඉදිරිපත් කෙරුණි.

සාරා ජස්මින්ව පොලිස් පරීක්ෂකවරයකු විසින් රැගෙන ගිය බව කොමිසමේ දී සඳහන් කළේ මෙම නිලධාරියාය.

ඒ අනුව පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව ඉහත කී නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දැනට වසර දෙකක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියාව බොරු සාක්ෂි පටලවා රිමාන්ඩ් කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

පාස්කු විමර්ශන නිලධාරියා උසස්වීම් අපේක්ෂාවෙන් කොමිසමේ දී බොරු සාක්ෂි ගොතා නිර්දෝෂී නිලධාරියකු හිරේ දමා ඇතැයි අනාවරණය වී ඇත්තේ රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය කළ විමර්ශනයේදීය.

පාස්කු විමර්ශන කොමිසම හමුවේ ඇසින් දුටු සාක්ෂි යැයි සඳහන් කළ ඔත්තුකරුවන් දෙදෙනා එම සිදුවීම් සිදු වූ කාලසීමාවේ මාස ගණනක්ම සිට ඇත්තේ වව්නියාව හා නැගෙනහිර පළාතෙන් පිට බව ඔවුන්ගේ දුරකථන ජාල පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා කැඳවා ප්‍රශ්න කිරීමේ දී පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා නිදහස් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

එසේ තිබියදී පාස්කු විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරියා දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.

– Aruna

සෝල් නුවර ගිය මෛත්‍රීපාල : හීනියට ගැහුවේ ආණ්ඩුවට ?

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අන්තර්ජාතිකව අපේක්ෂිත සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොරියාවේ සෝල් නුවරදී පැවසීය.

එම යුද ගැටුම අවසානයේදී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි බැන් කි මූන් ඉමහත් ප්‍රයත්නයන් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවීමේදී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් නොපෙන්වීම කණගාටුවක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වූ ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතිකව සිදුකෙරුණු ඉල්ලීම් අතිසාධනීය බව ද හෙතෙම කීවේය.

තමන් සාමය හා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාසය තබන බව කී හිටපු ජනාධිපතිවරයා ඕනෑම ගැටුම් තත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බව ද පැවසීය.

එවන් අවස්තාවලදී අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීම බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තජාතිකව පිළිගත් “සංහිදියා කුලූණු හතර” ක්‍රියාවන් මත පිහිටා තමන් සංහිදියාවට පියවර තැබූ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමඟ සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථකවීම නිසා සාමය උදාකිරීම වෙනුවට යුද මාර්ගයට පිවිසුණත් එය මෙරටින් උගත යුතු යහ පාඩමක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා යුද්ධය යනු මිනිසාට අතිශයින්ම තිත්ත දෙයක් යැයි ද කීවේය.

- lankadeepa 

EPF - ETF අරමුදලට බදු ගන්නවාට : ඇමතිවරුන් පිරිසක විරෝධය !

සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මත නව අධිභාර බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීමට ඇමතිවරුන් රැසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව පෙබරවාරි 14 වන දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණයට දැඩිව සිය විරෝධය පළ කිරීමට මෙම අමාත්‍යවරු තීරණය කර තිබෙන බව පැවසේ.

මේ වන විටත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සේවක අර්ථ සාධක අරමුදලට අත තබනවාට සිය විරෝධය පළ කර තිබේ.

එමෙන්ම වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුද සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අමුදලට අත තබනාවට විරෝධය පළ කිරීමට නියමිත බව පැවසේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත : පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට !

ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ළඟදීම විවාදයට ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් පාර්ලිමේන්තුවට පසුගිය 11 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

දුන් පොරොන්දු යථාර්ථයක් කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ – ජනපති

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය, ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ.

කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යන් සිදු කෙරෙන අතර, වසර දෙකකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථික ක්‍රමය ගොඩනැගෙමින් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට කැපවන බව මීට එක් වූ වෘත්තීයවේදීන් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණකාලීනව නියැලී සිටින පර්යේෂකයින්ගේ සහ ව්‍යවසායකයින් ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව ද මෙම සාකච්ඡාවට එක් වූ විද්වතුන් පවසා තිබේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඔවුන් ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කර ගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

වනිඳුට ලංසුවක්

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවක් හිමි වී ඇත.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔහුව මිළදී ගෙන ඇත.

ඒ අනුව, වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය.

පරීක්ෂණ අවසන් කිරීමට පෙර : චෝදනා ලැබූ විදුහල්පතිව සේවයේ පිහිටුවලා !

විභාග වංචාවකට හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පතිවරයා පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව විරෝධය පලකරමින් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ 2020 වසරේ පැවති උසස් පෙළ විභාගයේ දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය අවභාවිත කරමින් සිදු කරන ලද විභාග වංචාවක් හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කර පාසල් භූමියට ඇතුළු වීමද තහනම් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරමින් පවතී.

එසේම මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් තිබේ. පාසලක ගිණුම් 3 ක් පමණක් පවත්වා ගත යුතුව තිබියදී අනීතික ලෙස තොරතුරු තාක්ෂණ ඒකක ගිණුම (ගි.අං. 0944004), Sport Association ගිණුම (ගි.අං. 77020040), Cricket Association ගිණුම් (ගි.අං. 75989166), Charity ගිණුම (ගි.අං. 80615897), M.S. St. Mary's Charity Association ගිණුම (ගි.අං. 81131346) යනුවෙන් පාසලේ ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති අතර දූෂිත ආකාරයෙන් ගණුදෙනු සිදුකර ඇත. මෙම ගිණුම්වල අත්සන් කිරීමේ බලය යොදා ඇත්තේ විදුහල්පතිවරයා හා වෙනත් බාහිර පුද්ගලයන්ය. St. Mary's Charity Association නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු ගිණුමේ රුපියල් කෝටියක මුදලක් ඇති අතර, එම ගිණුමේ පොලිය මාසිකව මෙම විදුහල්පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැරවන ආකාරයෙන් කටයුතු කර ඇත. පාසලේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට පාසලේ එක් ළමයෙකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇති අතර, එම මුදල් භාවිත කළ ආකාරයක් නැත. පෞද්ගලික දානපතියකු විසින් ඉඩමක් විකුණා පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් කෝටියක මුදලක් ලබා දී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ද සිදු වූ දෙයක් නැත. ඒ පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේ පරිත්‍යාගය කළ පුද්ගලයා විසින් පසුගිය කාලයේ වැඩබැලූ විදුහල්පතිවරියගෙන් ඒ පිළිබඳව කළ විමසීමේ දී ය. එසේම දිනපතා පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ගෙන් රු.150-250 දක්වා මුදලක් මෙම විදුහල්පතිවරයා විසින් දඩමුදල් ලෙස එකතු කර ඇති අතර, එම මුදල්වලට සිදු වූ දෙයක් නැත.

මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කර සිටි කාලයේ ළමුන් ඇතුළත් කිරීමේදී පරිත්‍යාග ලෙස සිය කැමැත්තෙන් දෙමාපියන් විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර, වැඩබනල විදුහල්පතිවරිය විසින් එම මුදල් නිසි ලෙස ගිණුම්ගත කර ඇත. එහෙත් ඊට පෙර චෝදනාලාභී විදුහල්පතිවරයා විදුහල්පති ධූරයේ කටයුතු කරද්දී එලෙස පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් ගිණුම් ගත කර නොමැති අතර, එම මුදල් වංචා කර ඇති බව පෙනී යයි.

එසේ තිබියදී 2022.02.09 දින රාත්‍රී 8.30 ට පමණ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා විසින් පාසලේ වැඩබලන විදුහල්පතිවරිය වන මනිලා පෙරේරා මහත්මියගේ නිවසට ගොස් බලහත්කාරයෙන් යතුරු ලබාගෙන පාසලේ ලොග් සටහන් පොතේ සටහනක් ද තබා මෙම විදුහල්පතිවරයා නැවත පාසලේ විදුහල්පති ලෙස පත් කර ඇත. මෙය බරපතල අනීතික ක්‍රියාවකි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා මෙවර අපොස උසස් පෙළ විභාගයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර, විභාග වංචනිකයෙකු සමග විභාග නීතිරීති උල්ලංඝණය කරමින් මෙම විදුහල්පතිවරයා සේවයේ පිහිටුවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.

මේ තත්වය තුළ මෙම සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

ගහපු ගේම්වල හඬ පට මාට්ටු : සතොස සභාපති දොට්ට !

වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනයේ සභාපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

විෂය භාර අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දී ඇති උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම සිදුව ඇත.

වාර්තා වන ආකාරයට සතොස ආයතනයේ සිදු වූ කෝටි තුනහමාරක පමණ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන හඬ පටයකින් හෙළි වූ කාරණා මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරියට ඇමැතිවරයා විසින් උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.

වාර්තාවලට අනුව දැනට හෙළිදරව් වී ඇති හඬපටයේ දැක්වෙන්නෙ සතොස සීනි සැපයුම් කොන්ත‍්‍රාත්තුව වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබා දීමක් සම්බන්ධවයි.

එමෙන්ම ඊට අමතරව මෙම හිටපු සභාපති වරයා තවත් අයථා ගනුදෙනු ගණනාවකට සම්බන්ධ වී ඇති හඬ පටද හෙලිදරවු වී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මට සතුටුයි : ජනාධිපති මාව දේශපාලන අභියෝගයක් කරගෙන !

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය සඳහා අභිනවයෙන් පත් වූ අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් බැහැදැකීම සඳහා  කඩුවෙල, හේවාගම අභිනවාරාම විහාරය වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා,
 
"ආණ්ඩුව උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක වැනි ඉතුරුම් වලින් තවත් ධනයක් කොල්ලකාගන්නයි. දැනට EPF, ETF අරමුදල මහ බැංකුව විසින් පාලනය වෙමින් තියෙන්නේ. මහ බැංකුව සතුව පාලනය නොවෙන තවත් ආයතන ගණනාවක EPF, ETF අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල් තියෙනවා, මේවායේ අතිවිශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ ධනස්කන්ධය තමයි සාමාන්‍යයෙන් භාවිතා කළේ දිගටම අඩු පොලී අනුපාතයන් පවත්වාගෙන යන්න. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාව විසිහය ලක්ෂයකට පමණ තමන්ට ලැබිය යුතු EPF, ETF ප්‍රතිලාභ ලැබුණේ නැහැ. දැන් ඒකේ ලාභයෙනුත් මෙහෙම බද්දක් ගහන්න යනවා කියන්නේ, මේක සම්පූර්ණ වැඩ කරන ජනතාවට ලැබෙන්න තියෙන ධනය කොල්ලකෑමක්."
 
මේ බද්ද මගින් සාමාන්‍යයෙන් රු. බිලියන 75-100 අතර ප්‍රමාණයක් එකතු කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව ද හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
 
ප්‍රශ්නය : 
මේක එච්චර අසාධාරණයක් නම් ජනතාවට මේක සම්බන්ධයෙන් මේක පරාජයට පත් කරන්න ඔබතුමාලා සූදානම්ද? 
පිළිතුර : 
අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධ වෙනවා. නමුත් ඕනදේකට අත උස්සන කට්ටියකුත් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ රටේ වැඩ කරන ජනතාව  තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටියි කියලා. 
 
ප්‍රශ්නය : 
රජයට විරෝධයක් තියෙනවනම් ඊයෙ සල්ගාදු ක්‍රීඩාංගනයට එතරම් සෙනග ආවෙ ඇයි?
 
පිළිතුර : 
තාමත් 20% ක් විතර ආණ්ඩුව සමග ඉන්න ජනතාව ධනය, බලය භාවිතා කරලා, කන්න, බොන්න දීලා අරන් යන්න පුළුවන්. ඒ වගේ දේවල් පෙන්නන්න පුළුවන්. තමන්ට ඔය තරම් මහා ලොකු ජන බලයක් තියෙනවා නම්, තැන් තැන් වල ගිහිල්ලා, කෑමොර දෙන එක නෙමෙයි කරන්න ඕනේ. විවෘත ජනමත විචාරණයක් තියන්න ජනාධිපතිතුමාගේ පහුගිය අවුරුදු දෙකක කාලය හරිද? වැරදිද? කියලා එතකොට රටේ ජනතාව පිළිතුරු දෙයි. 
 
ප්‍රශ්නය :
ඊයේ ජනාධිපතිවරයා කියනවා මේ අවුරුදු 15 ක් තිස්සේ ඇමතිකම් දරපු සමහරු කිසිම දෙයක් කරපු දෙයක් නැහැ කියලා. කවුරු ගැනද මේ කියන්නේ? 
 
පිළිතුර :
අපිව එල්ල කරලා කිව්වා වෙන්න පුළුවන්. අපි ඒ ගැන සතුටුයි. මොකද අපව දේශපාලන අභියෝගයක් හැටියට පිළිගැනීම ගැන. ඇත්ත එතුමා කියපු එක. වෙන ඇමතිවරු රාජපක්ෂ පවුලේ අය වගේ අපි විදේශවල අපේ දේපළ පවත්වාගෙන යාම, රටේ ජාතික ධනය කොල්ල කෑම වගේ වැඩ අපි කරලා නෑ. නමුත් අපි කරපු වැඩ මේ රටේ හැම තැනකම තියෙනවා. පරිසර, විදුලිබල, නාගරික සංවර්ධන අමාත්‍යාංශවල අපි කරපු හැම රාජ්‍ය ආයතනයකම අපි ලාභ උපයලා තියෙනවා. පාඩුවට ගිය ඒවා ලාභ කරලා තියෙනවා. එතුමට මම කියනවා අද විදුලි අර්බුදය ගැන අපෙන් ඉගෙන ගන්න. 2015 අපි ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 2000ක් ලාභ කළා. පුළුවන් නම් කරලා පෙන්නන්න. ඊළඟට තෙල් සංස්ථාවේ අපි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා රුපියල් කෝටි 6700 කින්. පුළුවන් නම් කරලා පෙන්නන්න.
 
බොරු නඩු පටලවන්නේ නැතිව, කුමන්ත්‍රණ නොමැතිව ඉදිරි මැතිවරණයක දී හැකිනම් ජයගෙන පෙන්වන ලෙස පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා  මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
"බොරු නඩු පටලවන්නෙ නැතිව, අපරාධ නිදොස් කොට නිදහස් කරන්නේ නැතිව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කොට නීත්‍යානුකූලව මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය රැක මැතිවරණ පවත්වා, රාජ්‍ය දේපළ භාවිතා කරන්නේ නැතිව, තමන්ගේ ජනමතය උරගා බලන්න"

බැසිල් ගැන නම් කතා කරන්නවත් කැමති නෑ - මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ සිටින කළ ගුණ දන්නා එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා කළ ගුණ නොදන්නා පුද්ගලයෙක් බැවින් ඔහු පිළිබඳව තමන් වහන්සේ කතා කිරීමටවත් කැමති නැති බවත් නාරාහෙන්පිට අභයාරාම අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

Youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.

එසේම වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට මූලිකත්වය ගත් විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ආණ්ඩුව තුළින් කෙනෙහිලිකම් සිදු කිරීම කළගුණ නොදන්නා ක්‍රියාවක් බව පෙන්වා දෙන ආනන්ද හිමියන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කළොත් එදාට ආණ්ඩුවේ ගමන අවසන් වන බවය.

ජුලී වන් ලංකාවට !

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාව සඳහා නව ඇමරිකානු තානාපති වරියක් පත් කර ඇති බව වාර්තා වෙයි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් වෙනුවට එසේ පත් කර ඇත්තේ ‘ජුලී වන්’ මහත්මිය බවත් වාර්තා වෙයි.

ඇය මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම් වරියක ලෙස කටයුතු කරයි.

කලක් එම දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරියක ලෙස ද ඇය කටයුතු කර ඇත.

භාෂා රැසක් කතා කිරීමේ හැකියාව ඇති ඇය තායිලන්තය, ඉරාකය, වියට්නාමය, චීනය, කාම්බෝජය ආදී රටවල් කිහිපයක රාජතාන්ත්‍රික සේවා වල නිරත වී සිටි අයෙක්ද වේ.

රතුඉර විවාදය කුමන්ත්‍රණයක් : නිදහස් උත්සවයට යන්න එපා කියලා සජිත්‍ට හරීන් බලපෑම් කරලා !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පසුගිය සඳුදා (07) රාත්‍රී ස්වර්ණවාහිනියේ සජීවී ලෙස විකාශය වූ 'රතු ඉර' විශේෂ විවාදය පෙර සුදානමක් සහිතව සිදුකල කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වියහැකි බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර බරපතල සැකයක් මතුව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය විසින් දිගින් දිගටම මතුකරමින් ආ විරෝධය මෙම විවාදයෙන් හැල්ලුවට ලක්වූ බවටද චෝදනා එල්ලවෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකළ ඇතැම් ප්‍රකාශ මෙම විවාදය තුලදී සිදු කළහොත් නඩු වැටීමේ අවධානමක් පවතින බවත්, පාර්ලිමේන්තුවේදී අනාවරණය කල කාරණා මෙම විවාදයේදී ප්‍රකාශ නොකළහොත්, ආණ්ඩුවට එරෙහි විරෝධය හෑල්ලු වීමට ඉඩ ඇතිබවත් පවසමින් මෙම විවාදයට නොයන්නැයි එම පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානින් මෙන්ම කතෝලික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවසා ඇතත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් එම ඉල්ලීම් වලට සවන්දීම පවා ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු විසින් මෙහෙයවන ස්වර්ණවාහිනී අපක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සජබ මාධ්‍ය ඒකකයේ ඇතැමුන් ප්‍රශ්න මතුකර ඇතත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට නොගත්බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද පසුගිය සඳුදා (07) 'රතු ඉර' විශේෂ දේශපාලන වැඩසටහන තුලින් තමන් මෙතෙක් ගෙනගිය විරෝධය හෑල්ලු කිරීමකට ලක්වුබවට කතෝලික ප්‍රජාවෙන්ද විපක්ෂ නායකයා වෙත දැඩි චෝදනාවක් එල්ල වී ඇතැයි පැවසේ.

කාදිනල්තුමන්, විපක්ෂනායක හමුවීම ප්‍රතික්ෂේප කරයි !

මෙම තත්වය යටතේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ හා විපක්ෂ නායකවරයා අතර හමුවක් සංවිධානය කිරීම සජබ මන්ත්‍රීවරයෙක් දැරූ උත්සාහයද අසාර්ථක වී ඇත.

පසුගිය අඟහරුවාදා දිනයේ කාදිනල් හිමිපාණන් හා විපක්ෂ නායකවරයා අතර හමුවක් සුදානම් කර තිබුනද කාදිනල් තුමන්ගේ පාර්ශවයෙන් එම හමුව අවලංගුකර තිබේ.

ඒ දේශපාලනඥයින් ගේ බල ව්‍යපෘති සම්බන්ධයෙන් සැක මතු කරමිනි. පසුගිය සඳුදා 'රතු ඉර' වැඩසටහන සම්බන්ධයෙන් මතුව ඇති සැකය ඊට ආසන්නම සිද්ධිය ලෙස සැලකේ.

සජිත් නිදහස් දින උළෙලට නොගිය හේතුව ?

විපක්ෂ නායකවරයා මෙවර නිදහස් දින උළෙලට සහභාගිවීමට සුදානම්ව සිටියද එය වැලක්වුයේ ද හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් බවට එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සජබ මාධ්‍ය අංශයේ සාමාජිකයකු පැවසුයේ, පෙබරවාරි 01 දා රාත්‍රී හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිෂොප් හවුස් වෙත ගොස්, පාස්කු සිද්ධියට විරෝධය පළකරමින් මෙවර නිදහස් උත්සවය වර්ජනය කිරීමට තම පක්ෂය තීරණය කර ඇතයි දැනුම්දී ඇති බවත්, ඒ මොහොත වනවිට පක්ෂය එවැනි තීන්දුවක් ගෙන නොතිබූ බවත් කියා සිටියේය.

'' විපක්ෂනායකතුමා නිදහස් උත්සවයට යන්න හිටියේ. ඒත් මෙයාල දෙන්න ඩෙනින්ටන් සුබසිංහ පියතුමාත් එක්ක බිෂොප් හවුස් එකට ගිහින්, විපක්ෂනායකතුමා නිදහස් උත්සවේ වර්ජනය කරනවා කියලා බොරුවක් කියල.. ඒත් නායකතුමා එකට එකඟ වුනේ නැ . පස්සේ පෙබරවාරි 03 වෙනිදා රැ චමිත් විජේසුන්දරගේ උපන්දින පාටියේදී මේ දෙන්න නායකතුමාට කියලා කාදිනල්තුමා නිදහස් උත්සවේ වර්ජනය කරනවා කියල. . ඒ නිසා මෙදා පාර නිදහස් උත්සවේට නොගිහින් විරෝධය පළකරමු කියල. අන්තිමට නායකතුමා ඇහුවේ මේ දෙන්න කියපු දේ.. ඇත්තටම හරින්ලා දැන් නායකතුමා කියනදෙයක් අහන්නේ නෑ . එයාලට ඕන විදියට වැඩකරන්නේ. '' යයි ද සජබ මාධ්‍ය අංශ ක්‍රියාකාරිකයා සඳහන් කළේය.

IMG 20220211 WA0011

IMG 20220211 WA0010චමිත් විජේසුන්දර ගේ උපන්දා සාදය අවස්ථාව !

'' හරින්ලා දැන් වැඩකරන්නේ චම්පිකලත් එක්ක. මේ කට්ටිය දැන් රනිල් එක්ක රහස් කතා කරනවා කියලත් ආරංචියි.. අපි ඕව නායකතුමාට කිව්ව ම හරි හරි මම බලාගන්නම් කියනවා.. '' යයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මංගල නම් ප්‍රතිවාදියා ගැන අගමැති කියපු ටික !

අභියෝග හමුවේ ද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක්ව ගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් අද (11) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහතින්,

"ගරු කථානායකතුමනි,

ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ දේශපාලනඥයෙකු ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් උසස් අධ්‍යාපන ආයතනයෙන් පළමු උපාධිය ලබාගෙන 1983 දී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබුවා.

1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක ධූරය ට පත් වූ මංගල සමරවීර මහතා 1989 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එදා ඉඳන් වසර 31 ක් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා.

ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක් වගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්.

ගරු කථානායකතුමනි,

1989 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කළ ඔහුගේ පළමු කථාවේ ඉඳන් 2020 පෙබරවාරි මාසයේදී කළ අවසන් කථාව දක්වා කළ කථාවලින් එම දේශපාලන දර්ශනය මනාව පැහැදිලි වෙනවා. 1988/ 89 භීෂණ සමයේදී පැවති අවනීතිය සහ අසාධාරණයන්ට එරෙහිව මංගල සමරවීර මහතා මව් පෙරමුණ නිර්මාණය කළා. මා එහි සම කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා.

1977 සිට 1994 දක්වා පැවති 17 වසරක මහජන පීඩාකාරී පාලනයට එරෙහිව, විශේෂයෙන් 88/ 89 භීෂණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මා මෙහෙයවූ අරගලවලට සහ පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මංගල සමරවීර මහතා එදා කළ මෙහෙවර මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

1994 වර්ෂයේදී පළමු කැබිනට් අමාත්‍ය ධූරයට පත් වු දා සිටම විවිධ රජයන් වල වගකිව යුතු අමාත්‍ය ධූර රැසක් හොබවනු ලැබුවා. තැපැල් හා විදුලි සංදේශ, නාගරික සංවර්ධන, වරාය හා ගුවන් සේවා, ජන මාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධූර දරමින් තමන්ට පැවරුණ විෂය පථයන් නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා සෑම අවස්ථාවකම උත්සාහ කළා.

සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ ඔහු දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙකි. අභියෝග හමුවේද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර මහතා එම මතවාද වෙනුවෙන් නිරතුරු ව පෙනී සිටියා.පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද මිය යන තුරුම මංගල මාගේ පෞද්ගලික මිතුරෙක් වුණා.

ගරු කථානායකතුමනි,

මා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේ දී, මා වෙත විවිධ අභියෝග රැසක් පැමිණුනා. ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැප කිරීම මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඔහු දේශපාලන ජීවිතය පුද්ගලික ජීවිතයට ගාව ගත්තෙ නෑ. පාර්ලිමේන්තුවේ දරණ දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් වුනෙත් නෑ.

මංගල දැඩි විවේචකයෙක්. ඉතාම තියුණු විධියට තමන්ගෙ ප්‍රතිවාදියාව අපහසුතාවයට පත් කරන්න සමත් ප්‍රචාරකයෙක් හැටියට කා අතරත් ප්‍රකටයි.

මංගල ලිබරල් මතවාදය දැරුවත් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළේ ඒ පළාතේ තිබුණ සංස්කෘතික පසුබිම පදනම් කර ගෙන බව අපි දන්නවා.

ඇමති ධූර දැරූ සෑම අවස්ථාවකම තමන්ගෙ පාක්ෂිකයා වෙනුවෙන් විශේෂ කැප කිරීම් කරන්න ඔහු අමතක කළේ නෑ. ඒ නිසාම එතුමාගේ ආසනයේ සහ දිස්ත්‍රික්කයේ කීර්තිය හා ජනප්‍රියත්වය නොඅඩුව ඔහුට හිමි වුනා.

මංගල දේශපාලනයෙන් ඉවත්වෙන කොට එතුමාගේ මරණයෙදි වගේම මම ගොඩක් කණගාටු වුණා. ඒකට හේතුව වුනේ

මංගල කියන්නේ දේශපාලනයේ සිටිය යුතුම දේශපාලනඥයෙක්. තරඟ කළ යුතු, සටන් වැදිය හැකි ප්‍රතිවාදියෙක්.

දේශපාලනයෙන් සමුගන්නවා කිවුවහම මම කතා කරලා මංගලට කිවුවා “මංගල තව දුරටත් ඔබ දේශපාලනයේ ඉන්න ඕනෙ” කියලා. ඒකට හේතුව මංගල වගේ ප්‍රතිවාදියෙක් මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා. ඔහු කොයිම වෙලාවකවත් දේශපාලනය පුද්ගලික ජීවිතයට ගාවගෙන පලිගැනීම් කරන්න වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්.

ගරු කථානායකතුමනි,

පාර්ලිමේන්තුවේ හෝ මහජන සභාවල අපි අතරෙ තියෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් පැහැදිලිව විවේචනය කර ගන්න ඕනෙ. ඒවා තියුණු වෙන්නත් පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය පිළිබඳ කාරණාවලදී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක් නොවන බව මතක තියාගන්න.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපූර්ව චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ අභාවයෙන් සංවේගයට පත් එතුමාගේ වැඩිමහල් සොහොයුරිය වන ජයන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට මාගේ සහ රජයේ ශෝකය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

 ස්තුතියි.

අධිභාර පනතින් අර්ථ සාධක අරමුදල නිදහස් කරන්න : සාධාරණ සමාජය ඉල්ලයි !

විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ඔහු එහිදී පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“රජයේ සේවයේ නොමැති අතිවිශාල ජන කොට්ඨාසයක් අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වී තිපෙනවා. විශ්‍රාම යන විට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ එම මුදලින් නිවාසයක් සාදා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම, දරුවන්ගේ විවාහ කටයුතු සඳහා උපයෝගී කර ගැනීම වැනි පවුලේ කටයුතුයි.

අසරණ සේවකයන්ගේ එකම සම්පත වන අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපගේ අදහසයි. ඇතැම් බලවත් පුද්ගලයින් කොටස් වෙළෙඳපොළ හරහා මෙම අරමුදල පාවිච්චි කළ බොහෝ අවස්ථා අපි දැක්කා.

මෙම අසරණ ජනතාවගේ මුදලින් කෝටිපතියන් බිහි වූ අවස්ථා බොහෝ යි. එම පනතින් “අර්ථසාධක අරමුදල” ඉවත් කරන ලෙස අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

විදුලි කප්පාදුවක් අත ළඟ !

කැලණි තිස්ස බලාගාරය හෙවත් නැප්තා බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අදට (11) පමණක් බව විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි සඳහන් කරනුයේ , අද රාත්‍රියෙන් පවතින ඉන්ධන අවසන් වීමට නියමිත බවයි.

බලාගාරයේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් ඊයේ, ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාදුන් බව ඔහු සඳහන් කර ඇත.

එහෙත්, එය ප්‍රමාණවත් වන්නේ අද දිනය සඳහා පමණයි.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව, මෙගාවොට් 165 කි.

අද දිනය තුළ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් බලාගාරය අක්‍රීය වන බව ඇන්ඩෘ නවමුනි සඳහන් කළේ ය.

පසුගිය 2 වැනිදා සිට කැලණිතිස්ස ඩීසල් බලාගාරය ද අක්‍රීය කෙරුණේ ඉන්ධන නොලැබීම හේතුවෙනි.

සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් හෙට සිට යළි විදුලිය සැපයුමට බාධා එල්ල විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

මිල දීගත් ඉන්ධන සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවා ඇති මුදල රුපියල් බිලියන 20 කි.

නිමල්ගෙන් හයිය අරගෙන: ආණ්ඩුවේ රැසක් ආණ්ඩු විරෝධයේ !

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මත 25%ක අධිභාරයක් පැනවීමට විරුද්ධව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ බරපතළ විවේචනය සමග ආණ්ඩුවේ වැඩ සම්බන්ධයෙන් විරුද්ධව අදහස් දක්වන මැති ඇමතිවරුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

දේශපාලන නිරීක්ෂකයන් මේ බව පෙන්වා දෙයි.

ඒ අනුව මෙයට පෙර උදය ගම්මන්පිල, විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදය කොරෝනා වසංගතය නිසා සිදුවූවක් නොවන බව ප‍්‍රකාශ කර තිබිණි. ඉන්පසුව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව හෘදය සාක්ෂියත් සහිත පුද්ගලයෙකු හැටියට එකඟ නොවිය හැකි බව ප‍්‍රකාශ කර තිබිණි.

මේ අතර ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මෙයට දින කිහිපයකට පෙර ප‍්‍රසිද්ධ ජන හමුවකදි කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනය කර තිබිණි. ඔහු ප‍්‍රකාශ කර තිබුණේ ”අපි මුලින් පැණි බිව්වා. පැණි පෝලිම් පස්සේ ගියා. මුට්ටි පා කරා. මිථ්‍යාව පස්සේ ගියා. ඒකෙන් අපට වැරදුණා.” යනුවෙන්ය.

ඊට අමතරව ඊයේ (10) සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ ලාභ මත 25%ක අධිභාරයක් පැනවීමට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී තම අදහස් පළ කරන බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ප‍්‍රකාශ කළේය. ඔහු මෙම ප‍්‍රකාශය කළේ අන්තර් සමාගම් සේවක සංගමය විසින් කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව කරුණු විමසීමෙන් පසුවය.

Page 379 of 474