පුවත්

ශෙහාන් මාලක 07 වන දිනටත් අද රහස් පොලීසිය හමුවට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම් ලැබූ ෂෙහාන් මාලක ගමගේ අද (07) වැනි දිනයටත් එම දෙපාර්තමේන්තුව හමුවට පමුණුවා ඇත.
ෂෙශාන් මාලක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී, ඔහු සිදුකළ නිරීක්ෂණයක තොරතුරු හෙලිදරව් කළේය.
එම නිරීක්ෂණයට අනුව වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළ පුද්ගලයන් පවා, වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරනු ඇතැයි විස්වාසයක් නොමැති බව ඔහු සඳහන් කළේය.
මෙම අනාවරණයත් සමග ෂෙහාන් මාලකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.
ඊයේ හයවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙහාන් ප්‍රකාශ කළේ, තමා පිළිබඳව උපන් දා සිට මේ දක්වා සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සොයාගෙන ඇති බවයි. කෙසේ නමුත් තමාගේ සුළු හෝ වැරැද්දක් සොයා ගැනීමට ඔවුන් අසමත් වී ඇති බවයි ඔහු පවසන්නේ.
තමාව ප්‍රශ්න කිරීමෙන් පසුව හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ඊට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන් පාස්කු කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
LNW

රෝහල් OPDවලට : PCR - රැපිඩ් පරීක්ෂණ පහසුකම් ඉල්ලයි !
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා සහ පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කිරීමට පී.සී.ආර්. සහ ආර්.ඒ .ටී. ඇතුළු කොරෝනා පරීක්ෂණ පහසුකම් රෝහල් බහිර රෝගී අංශයට ලබා දෙන්න ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති අතර ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් විසිනි.
රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් සෞඛ්‍ය සේවකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම වැළැක්වීම මෙන්ම වසංගතය පැතිරයෑම වැළැක්වීම ද සිදුවන බවත් අදාළ ලිපියේ අවධාරණය කර ඇත.

වෛද්‍ය ජයරුවන් වෙනුවෙන් : CID යෙන් දින 14 ක ඉල්ලීමක් !
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට දින 14 ක කාලයක් ලබා දෙන ලෙස නීතිඥයින් අද(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු පසුබිමකය.
අදාළ කැඳවීම සිදුකර තිබුනේ youtube නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී වැරදි තොරතුරු ජනතාවට ලබාදුන් බවට සිදුකර තිබුණු පැමිණිල්ලකට අනුවය.
පැමිණිල්ල සිදුකර ඇත්තේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරුන් විසිනි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සඳහන් කර සිටියේ,
"වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කොවිඩ් ආසාදනය වෙලා දැනට කොවිඩ් සුව වීමෙන් පසුව ඇති වෙන යම් යම් සංකූලතා හේතුවෙන් යම් යම් උපදෙස් මත විවේක සුවයෙන් ගත කළ යුතුයි කියන වෛද්‍ය උපදෙස් ලබා දීලා තියන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දැනුම් දුන්නා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්තයාට දින 14 ක කායලක් එම ප්‍රකාශය ලබා දීම සඳහා ලබා දෙන්න කියලා. දින 14 කට පස්සේ ජයරුවන් බණ්ඩාර මහත්තයා ඇවිල්ලා සාකච්ඡාවේදී යම් කිසි කරුණක් හෙළිදරව් කරලා යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙයි." යනුවෙනි.

රුපියලේ ඓතිහාසික කඩා වැටීමක් !
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දෙයි.
එය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය වේ. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා වීමය.
මේ අතර මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් අනාවරණය කරයි.
“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.“
යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසා ඇති අතර ඒ අන්තර්ජාල youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
එසේම ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

කොරෝනා මරණ 9000 පනියි !
තවත් මරණ 194ක් ඊයේ (30) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (31) නිකුත්කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර එළැඹෙන සැප්තැම්බර් 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසනු ලැබිණ.
ඊට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ පවතින තත්ත්වයන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවය.

පින්නවලදී ප්‍රථම වරට නිවුන් අලි උපතක්
පින්නවල අලි අනාථාගාරයේදි පළමු වරට නිවුන් අලි පැටවුන් උපතක් සිදුව තිබේ.
අද අළුයම 4.00ට පමණ පළමු පැටවා උපත ලැබූ අතර, දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා තිබේ.
පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක් සිදු වූයේ ප්‍රථම අවස්ථාවේ මෙයයි.
අවුරුදු 24ක් පමණ වයසැති ‘සුරංගි’ නම් කෙනරක් මෙම අලි පැටවුන් බිහි කර ඇත. 1996 වසරේ ත්‍රිකුණාමලය සුරංගල්ගම ප්‍රදේශයේ උපත ලැබූ එම මෙම කෙනර 1997 වසරේදී පින්නවල අලි රංචුවට එක් වූ අතර ඇය 2009 වසරේදී කනක නම් අලි පැටවෙකු ද බිහි කළාය.
අලි අනාථාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ, කෙනෙර සහ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවය.
වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයෙන් හමු වූ පණ්ඩු නම් ‘හස්තියා’ මෙම අලි පැටවුන් දෙදෙනාගේ පියා ලෙස සැලකෙයි.

රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති
රජයේ වියදම් සීමා කිරීම මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ(30) කැබිනට් රැස්වීමේදී කරුණු පැහැදිලි කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ඔහු පවසා ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බවය.
මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .
කැබිනට් රැස්වීමේදී පහත සදහන් කරුණු කෙරෙහි ද දැඩිව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.
එනම්, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .
සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.
තම ආයතනවල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .
වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
තවද දැඩි මූල්‍ය විනයක් පවත්වා ගන්නැයි ද එහිදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය.

තවත් ස්පුට්නික් මාත්‍රා 15,000ක් මෙරටට
තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන ආවේය.
ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා අද (31) අලුයම මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.
එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.
එම එන්නත් තොගය, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත ය.

ගුරුවරුන්ට රු.5000ක දීමනාවක්
ගුරු – විදුල්පති සේවා සංවෘත සේවා කිරීමටත්, වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අතර සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයට කැඳවයි
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර (31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.
මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම හා එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා සහ දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට දැක්වූ අදහස් හේතුවක් කරගනිමිනි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි.
ඒ අනුව, (30) සවස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

ත්‍රිකුණාමලයෙත් කොරෝනා දත්තවල බරපතළ වෙනසක් !
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා පවසයි.
කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 3,600ක් ලෙසය.
ඒ අනුව බරපතළ දත්ත වෙනසක් පවතී.
වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා වැඩිදුරටත් පැවසුවේ තුන්වන රැල්ල තුළ එම දිස්ත්‍රික්කයේ මරණ 200කට අධික ගණනක් වාර්තා වන බවය.

එජාප හිටපු මන්ත්‍රී ගුණසේකරත් කොරෝනාට බිලි !
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුව ඇත.
හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධනගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඔහු 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර ඔහු ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද ටියුඩර් ගුණසේකර ය.
මියගිය හිටපු මන්ත්‍රීවරයා පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

එන්නත් පරදන කොරෝනා ප්‍රභේදයක් හමුවෙලා !
කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.
C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.
මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.
C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.
නව C.1.2 ප්‍රභේදය කොවිඩ් ප්‍රභේශයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
– aruna

සුසාන භුමිවල ඉඩ මදිවෙලා !
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සී නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.
මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර ඇති බවත් පුවතේ සඳහන් වෙයි.
එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.

දුලාන්ගෙන් ලංකාවට පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය.
ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත්විය.
ශ්‍රී ලංකා හමුදා පොලිස් සේවය නියෝජනය කරන දුලාන් මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ දී 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශූරතාවලියේදී එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේය.

ලොක්ඩවුන් ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කරන්නට නිර්දේශ
2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.
මෙම රැස්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලදමුත්, එමගින් අනිවාර්යයෙන් එම සංවිධානයේ මතය ඉදිරිපත් නොවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගූගල් සිතියම්, ජංගම දුරකථන හා ෆේස්බුක් ඔස්සේ ලබාගත හැකි සංචලන දත්ත භාවිතා කරමින් වඩාත් වැදගත් ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා තීව්‍ර කිරීම හරහා සංචලනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස ද එම පිරිස නිර්දේශ කර තිබේ. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට, ඵලදායී රෝගී ප්‍රමුඛතා ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට හා නිවසේ සිට රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය ප්‍රශස්ථ කිරීමටත් හා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිරීක්ෂණය කිරීමටත් ඔවුන් නිර්දේශ කර තිබේ.
සීමාකිරීම් සැප්තැම්බර් 18දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් ද, ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් ද වළක්වාගත හැකි බව මෙම විශේෂඥවරු පෙන්වාදෙති. ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හා ඔක්සිජන් වැනි ඉතා වැදගත් සැපයුම් හිඟවීම වැනි හේතු මත ඇතිවන අධික පීඩනයෙන් මිදීම සඳහා සෞඛ්‍ය පද්ධතියට යම් කාලයක් ලැබෙනු ඇති බව ද ඔවුහු පවසති.
ඔක්තෝබර් 02දායින් අවසන් වන සති හයක සීමාකිරීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.22ක හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක හානියක් ආර්ථිකයට වන බව තක්සේරු ඉදිරිපත් කර තිබෙන මෙම කමිටුව පවසන්නේ ගෝලීය හා දේශීය සාක්ෂි මගින් පෙන්නුම් කරනුයේ සීමාකිරීම් ඉවත් කිරීමෙන් පසු ආර්ථිකයන් ඉක්මණින් යථා තත්වයට පත්වන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක හා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කෝවිඩ්-19 සූදානම හා ප්‍රතිචාර (SEAR) පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන් විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනෙහි සභාපතිත්වය දරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං විසිනි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහාචාර්ය අසිත ද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කාමිනී මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, මහාචාර්ය අතුල සුමතිපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියා වෛද්‍ය නිලධාරි පබා පලිහවඩන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න, මහජන සෞඛ්‍ය විශේෂඥ හා සර්වෝදය සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ඇතුළු විශේෂඥයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

නඩු කටයුතු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවේදනයක්
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ගෙන තිබූ තීරණය ලබන 03 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කැඳවිය හැකි බව ඔහු පවසයි.
එම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භ කරන බව ඔහු පැවසීය.
ඒ අනුව, විනිසුරුවරයාගේ අවසරයකින් තොරව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළුවිය නොහැකි බවත් සියලුම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල වැඩිදුරටත් සඳහන් කළේය.

නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් රන් පදක්කමක්
නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් අද (30) සමත් විය.
ඒ පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්ය.
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි.
ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.
එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් ක්‍රීඩකයාද විය.
2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වසරේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකරගත් ඔහු, 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගත්තේය. මෙවර පැරලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය.
මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 63.97 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර, එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 ක දුරක් හෙල්ල විසි කිරීමට දේවේන්ද්‍ර සමත් වුවද, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
පැරා ලෝක ශුරතාවලි දෙකකදී (2017 සහ 2019) රන් පදක්කම් දෙකක් සහ පැරා ආසියානු ක්‍රීඩා උළෙලකදී (2018) රිදී පදක්කමක් දිනා සිටි ඉන්දියාවේ සුන්දර් සිං, මීටර් 64.01 ක දක්ෂතාවක් දක්වමින් මෙවර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
Page 434 of 463