V2025

පුවත්

ඉස්සරහට වෙන්න යනදේ ආණ්ඩුවේ මන්ත්‍රී කියයි !

මොළය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි  සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලූ පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා එහිදී  ප්‍රශ්න කළේය.

 

විවාහ උත්සව වලට 50 යි : අලුත්ම තීන්දු තීරණ මෙන්න !

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු පවසන ආකාරයට මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50කි.

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවත් යුද හමුදාපතිවරයා පවසා සිටියි.

ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණය.

හිටපු අමාත්‍ය රිෂාඩ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (10) නියෝග කළේ ය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කරමින් සිටියදී අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පැමිණිල්ල විසින් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා වන බැවින් නඩු විභාගය අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය තම අධිකරණයට ඇති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් අබලි ද්‍රව්‍ය සහ තඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඊබ්‍රාහිම් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමට ප්‍රමුඛතාවයක් හිමිකර ලබා දීමෙන් අයුතු ලෙස උපයාගත් මුදල් ත්‍රස්ත ක්‍රියා සඳහා යෙදවීම ඇතුළු චෝදනා යටතේ ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .

තීරණ ගැනීමට පසුබට වන සෑම අවස්ථාවකම තවත් ජීවිත කිහිපයක් අහිමි විය හැක - උපුල් රෝහණ

කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම හරහා මේ වනවිට රෝහල් පද්ධතිය අර්බුදයට ගොස් ඇති බවත්, මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අවාසනාවන්ත තත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ ආසාදිතයන් වාර්තා වීම සහ මරණ සිදුවීම පාලනය කිරීමට නම් සංචරණ සීමා දැඩි කිරීම කඩිනමින් සිදුකළ යුතු බවත්, සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවත්ය.

තීරණ ගැනීමට පසුබට වන සෑම අවස්ථාවකම තවත් ජීවිත කිහිපයක් අහිමි විය හැකි බව පෙන්වා දෙන උපුල් රෝහණ  පවසන්නේ සියල්ලටම වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වැදගත් බවයි.

ඉදිරි දින 14 තුළ මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ යාහැකි බවත්, මේ නිසා සියලුම සමාජ ඒකරාශීවීම් අත්හිටුවීම, පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් අත්හිටුවීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කරයි..

බිම් මට්ටමේ පවතින, වසංගතයේ සැබෑ තත්වය නිසි පරිදි ජාතික සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව උපුල් රෝහණ පෙන්වා දෙන අතර,  සංඛ්‍යා ලේඛනවලින් සැබෑ තත්වය අනාවරණය නොවීම බරපතල ගැටලුවක් බවත් ඒ හරහා ජනතාවට වසංගතයේ සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් නොලැබෙන බවත්  එය වසංගත තත්වය ඉහළ යාමට හේතුවක් වියහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

තත්වය භයානකයි : සති හතරකට රට වහන්න :විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් මාසයක්වත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරයි.

එසේ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ , දැනට උච්චතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව යම් කිසි තරමකට හොද මට්ටමක පත්වනු ඇති බවයි.

සංචරණ සීමා ප්‍රතිඵලදායීවීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවද තම විශ්වාසය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස සැලකිය යුතු බව සිය හැඟීම බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

කිරිපිටි බද්දත් රිවස්?

ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව විසින් ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු මුදල් වැඩි කිරීමත් සමඟ කිරිපිටි සමාගම් විසින් ආනයනය සිමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවී තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවය, දේශිය කිරි නිෂ්පාදන ධාරිතාවය, දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ සැලසුම් වැනි මූලික කරුණු ගැන වත් සැලකීමක් නොදක්වා ආණ්ඩුව විසින් විටින් විට ගන්නා මෙවැනි තීරණ ‘රිවර්ස්’ කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යංශ නිළධාරියෙක් ලංකාටෲත් වෙත පවසා ඇත.

කොරෝනා මරණ ගැන තැතිගන්වන අනාවරණයක් !

ශ්‍රි ලංකාවේ මේ වන විට දිනකට වන මරණ අනුපාතය ඉන්දියාවේ මෙන් 10 ගුණයක් යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

ඒ, සිය ට්ව්ටර් ගිණුම හරහා සංඛාලේඛන සහිතව ප්‍රකාශයක් නිකුත් කරමිනි.

002

එසේම මහාචාර්යවරයා පවසන්නේ, ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන කොරෝනා මරණ සමාන්‍යය ඉන්දියාවේ උපරිම කොරොනා මරණ සිදුවූ අවස්ථාවටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය.

මීට පෙරද මහාචාර්ය අගම්පොඩි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරිමට ගත් ප්‍රවේශය හේතුවෙන් දිනකට පුද්ගලයන් 150-200 ක් පමණ ආදාහනය කල හැකි සමූහ ආදාහනාගාර ඉදිකිරිමට කාලය පැමිණ ඇති බවයි.

අදාළ දත්ත වගු පහත පරිදි මහාචාර්යවරයා විසින් ට්වීටර් ගිණුමට එක්කර තිබිණ.

030

කොරෝනා මරණ 111යි : සිරුරු තදබදයට අලුත් තීන්දුවකුත් එයි !

තවත් කොරෝනා මරණ 111 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර , අද (09) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනය කර ඇත.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

11111

නිරෝධායනය නොකළ පවුලක මරණයක් නම් PCR නෑ !

මේ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරූ බවය.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරුන්ට ලිඛිතව මේ වනවිටත් දන්වා ඇතැයි වෛද්‍යවරයා අධ්‍යක්ෂවරයා කීය .

යම් පුද්ගලයකු නිවසේදී හෝ රෝහලක දී මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පි.සි.ආර්.පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීමෙන් මෘත ශරීරාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගොස් තිබුනොත් සුපුරුදු නීතිමය කර්තව්‍යයන් සිදු කරන බව අධ්‍යක්ෂකවරයා කිය

මෙම තීරණය හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු තැන්පත් කිරීමේදී පවතින ගැටලු සහගත තත්ත්වයන්වලට පිළියමක් වනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ගුරු සංගම් වෙතින් පොලිපතිට ලිපියක් !

උද්ඝෝෂණයේ සහ විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ව අනීතික ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙරට ප්‍රබලම ගුරු සංවිධාන 24ක් නියෝජනය කරමින් අදාළ පැමිණිල්ල අද (09) සිදුකර තිබේ.

එහිදී 2021 අගෝස්තු 04 වනදා කොළඹ පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගීවී පෙරළා යමින් සිටි ගුරුවරුන් - විදුහල්පතිවරුන් ඇතුළු 44 දෙනෙකු පොලිසිය විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනීම ඇතුළු දීප ව්‍යාප්තව පැවති තවත් ගුරු - විදුහල්පති විරෝධතා වලදී සිදුව ඇති අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව එහිදී පොලිස්පතිවරයාට පෙන්වාදී ඇත.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ, පොලිසියේ මේ අත්තනෝමතික ක්‍රියාව වළක්වන ලෙසය.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පොලිස්පතිට යොමුකළ අදාළ ලිපිය පහත දැක්වෙයි.

police l 950px

මර්දනයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් සටනට : සංකේත වර්ජනය හෙට !

මෑත කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් සාමකාමී ලෙසත් ගෙන ගිය විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ලද උත්සාහයන්ට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංකේත වර්ජනයක් කැඳවා ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ සංකේත වර්ජනය හෙට (10) කැඳවීමටය.

මේ පිළිබඳ අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

“විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය 2021.08.06 දින කැඳවූ හදිසි නියෝජිත මණ්ඩල රැස්වීමේ දී කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම් පතට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් අසාධාරණකම්වලට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා රජය විසින් අනුගමනය කරන ලද බියගැන්වීමේ හා හිරිහැර කිරීමේ උපක්‍රමවලින් සමන්විත වූ මෑත සිදුවීම් මාලාව පිළිබඳව සාකච්ඡාට ගැණින.

ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ අරගල මැඩපැවැත්වීම සඳහා, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවයන් තුළ භීතියක් ඇති කිරීමට උත්සාහ කිරීමේ රජයේ උපක්‍රමය සහෝදර සංගම් නියෝජිතයින්ගේ දැඩි කණස්සල්ලට සහ අප්‍රසාදයට ලක්විය. අප සාමාජිකයන් ද මෙම මර්දනයේ ඉතා ඉක්මන් ඉලක්ක බවට පත් විය හැකි බව පුරෝකථනය කළ මණ්ඩලය නොපමාව ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඒකමතිකව තීරණය කරන ලදී. රජයේ මෙම මර්දනකාරී ක්‍රියාකලාපය පිළිබඳව විරෝධය පළ කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් තීරණය කළ සංගමය, එහි එක් පියවරක් ලෙස සියලුම සහෝදර සංගම්වල පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව 2021 අගෝස්තු 10 එක් දින සංකේත වර්ජනයක් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ක්‍රියාත්මක කිරමට තීරණය කරන ලදී.”

ගෑස් පෝලිම් ඇරඹේ : ඊළඟට ඉන්ධන - කිරිපිටි ?

මෙරට නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

දැනට සති කිහිපයක සිට වෙළඳපොල තුළ ලාෆ් (කහ ) ගෑස් බෙදාහැරීම නැවතී ඇත. එසේම මේ වන විට වාර්තා වන්නේ ලිට්‍රෝ (නිල් ) ගෑස් ලැබීමේද ප්‍රමාදයක් ඇති බවයි.

මාතර ඇතුළු නගර කිහිපයක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දැක්වෙන ජායාරූප තවදුරටත් සමාජ මාධ්‍ය ජාල අතර හුවමාරු වෙමින් තිබෙයි.

හර්ෂගේ අනතුරු ඇඟවීම !

මේ අතර විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇති බවයි.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

ලෝ ප්‍රකට ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) මුල් පුටුවට ඩේසි වීරසිංහම් !

ලෝ ප්‍රකට අන්තර්ජාතික පුවත් සේවාවක් වන ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් සහ ආයතනයේ ජ්‍යේෂ්ඨයෙකු වන ඩේසි වීරසිංහම් පත් කර ඇත. මෙම පත්වීම, 2022 ජනවාරි 01 දා පටන් ක්‍රියාත්මක වේ.

ඩේසි වීරසිංහම්, මේ වන විට AP හි විධායක උප සභාපතිනිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

ඇසෝෂියේටඩ් පුවත් සේවයේ වසර 175 ක කීර්තිමත් ඉතිහාසය තුළ එහි ඉහළම තනතුර සඳහා කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙයයි. තවද එම තනතුරට පත් වන පළමු සුදු ජාතික නොවන කාන්තාව මෙන්ම පළමු අන්තර්ජාතික පුරවැසියා වන්නේ ද ඇයයි.

51 හැවිරිදි ඩේසි වීරසිංහම්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවද, ඇගේ සම්භවය ශ්‍රී ලංකාවේ ය. ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් 1970 දශකයට පෙර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ දමිල ජාතිකයන් වේ.

පුරා වසර 17 ක් ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය සමග කටයුතු කර ඇති අතර, පුවත් සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් සජීවී වීඩියෝ විකාශ යනාදිය සමග එය නව තාක්ෂණය වෙත කැඳවාගෙන යන්නට සමත් වූවාය. එමගින් පුවත් සේවයේ ග්‍රාහකයන්ගේ විවිධාංගීකරණය ඉහළ ගියේය. ප්‍රධාන ආදායම් නිලධාරිනිය වශයෙන් ද ඇය විශාල වැඩ කොටසක් සිදුකර තිබේ. මාධ්‍ය වේදයේ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීම ද ඇගේ විෂයන් අතර වේ. 2004 වසෙර්දී ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් පුවත් සේවය සමග එක් වන්නේ අලෙවි අධ්‍යක්ෂවරිය ලෙස ය. AP Global Media Services සහ වීඩියෝ අන්තර්ගතයන් සම්බන්ධයෙන් යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ ඔස්ට්‍රේලියාව යන කලාපවල ට සපයන අන්තර්ගනයන්ගේ වරලත් බව ලබාදීම (licensing) ඇයට පැවරී තිබිණි. එහිදී ඇය ඉහළ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. නීති උපාධියක් සහිත ඩේසි, මීට පෙර ෆයිනෑන්ෂියල් ටයිම්ස් වැනි මාධ්‍ය ආයතනවල ද සේවය කර ඇත.

අසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන්, මාධ්‍යකරණය සඳහා පිදෙන ඉහළම අන්තර්ජාතික සම්මානය සේ සැලකෙන පුලිට්සර් සම්මාන 6 ක් දිනා ඇති අතර, ලෝකයේ මහජන සේවා මාධ්‍යකරණය සඳහා පිදෙන පළමු රන් පදක්කම දිනා ගත්තේ ද ඔවුන් විසිනි.

‘‘මේ තනතුරට ඩේසි තරම් සුදුසු වෙන අයෙකු නැති බව මගේ හැඟීමයි. ඇගේ අත්දැකීම්, විනිශ්චයන් සහ අගනාකම් විසින් ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙතට අනර්ඝ නායකත්වයක් සපයනු ඇති.‘‘ එසේ ඇයට සුබ පතන්නේ මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ස්ටීවන් ආර්. ස්වාට්ස් විසිනි.

‘‘ඩේසි වීරසිංහම්, තමන් නායිකාවක බව සනාථ කළ අයෙක්. අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇය සතුයි..‘‘ යනුවෙන් AP පුවත් සේවය, සිය මාධ්‍ය ආයතනයේ සුක්කානම භාර ගැනීමට නියමිත ඉතිහාසයේ පළමු කාන්තාව පිළිබඳ කියා තිබේ.

ලොවෙන් අඩක් AP ග්‍රාහකයන් ය.

ලෝකයෙන් භාගයක් පමණ ඇසෝෂියේටඩ් ප්‍රෙස් ග්‍රාහකයන් බවට දිනපතා පත් වන බව මේ අතර වාර්තා වේ. මේ අනුව ඇය ප්‍රධාන තනතුරට පත් වන්නේ ලෝකයෙන් භාගයක්ම ඇසුරු කරන මාධ්‍යයක ය. වසර 15කට පසු ප්‍රථම වතාවට, ඇසෝෂියේටඩ් ප්‍රෙස්හි ආදායමෙන් 40%ක් ලැබෙන්නේ ඇමරිකාවෙන් පිටත ලබාදෙන පුවත් සේවාවන්ගෙනි.

ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ප්‍රවෘත්ති 2,000 ක්, ඡායාරූප 3,000 ක් සහ වීඩියෝ 200 ක් ලබාදෙයි. අපක්ෂපාතී බව සහ කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වසර 175 ක සාර්ථකත්වයේ රහසයි.

අමාලි ජයවීර - www.outboundtoday.com

සැප්තැම්බර් පාසල් විවෘත කරනවාද : GL කියන කතාව (වීඩියෝ )

දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල් පීරිස් සදහන් කරයි.

ඇමතිවරයා බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අනතුරුව සැප්තැම්බර් මුල් සතියේ ක්‍රමානුකූලව පාසැල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

නමුත් පවතින වසංගත තත්වය යටතේ එය කළ නොහැකි බවත් ගුරු වෘත්තීය සමිති විසින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඊට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

කිරිපිටි වෙළෙඳපොළේ හිඟ වුණේ ඇයි ?

කිරිපිටි වෙළෙඳපොළේ හිඟ වුණේ ඇයි ? ඇත්ත හේතුව අපි සොයා බැලුවෙමු.

කිරිපිටි ක්ෂණිකව සැඟවෙන්නේ මිල වැඩි කිරීමේ යෝජනාවත් සමගය.

-සමාගම් මිල වැඩි කරන්න ඉල්ලනවා.

-රජය තවමත් ඒ ගැන හිතනවා.

-ජනතාව දැන් කිරිපිටි නැතිව වෙළෙඳපොළේ රස්තියාදු වනු ඇත.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500 ක් පමණ වේ. මෙරටට කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 360 කි.

මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත්,

ඩොලර් නැති හින්දා හෝ වෙනයම් කාරණයක් නිසා හෝ ආනයනය නවත්වලා කිරිපිටි පැකට් එකක්වත් හොයා ගන්න වෙන්නේ නැහැ. අපි කතා කරා සමාගම්වලට. කතා කරලා ඇහුවම මොකද කිව්වේ පිටිකිරි කිලෝ එකක් ලංකාවට ගොඩ බාන්න 1200 ගාණක් යනවා. අපි කොහොමද 900 ගාණට දෙන්නේ කියල. දැන් පිටිකිරි හිඟයක් එනකොට ආණ්ඩුවට කියන්න පුළුවන්නේ රයිට් පිටිකිරි ප්‍රශ්නයක් නැහැ. බීපල්ලා එළකිරි. චුන් පාන් වහනේ වගේ උදේපාන්දර එනාව එළිකිරි බොතලේ ගෙදරට.  පුළුවන් නම් කියන්න බලන්න ඇමති කෙනෙක් ඒ කතාව. කරුණාකාරලා මොකද්ද මේ කිරිපිටි ගැටලුට රටට හෙළි කරන්න. හෙට අනිද්දා කිරිපිටි ඕනේ නැහැ ප්‍රතිශක්තිකරණයට බොමු බාන් වැල් ගැට. කොත්තමල්ලි. අනිවාර්යෙන්ම ඒකත් කියයි

ප්‍රධාන විධායක නිලධාරී ආරිය කිරි සමාගම ලක්ෂ්මන් වීරසූරිය,

අපි මිල වැඩි කරන්න ඉල්ලන්නේ මාස ගාණක ඉඳලා. ඩොලරය වැඩි වෙලා. ආනයනයේදී කිලෝ එකක මිලත් වැඩියි විශාල පිරිවැයක් යනවා. කිලෝ එකකින් 270 ක් පාඩුයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණර්ධන ,

කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිල ඉහළ නංවන්න අවසර ඉල්ලලා තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරියෙන්. නමුත් අපිට අවසර දෙන්න පුළුවන්කමක් නැහැ මේ අවස්ථාවේ. මේ රටේ හැම ජනතාව කැප කිරීම් කරලා තියෙන්නේ. කිරිපිටි සමාගම් වෙළෙඳපොළ හොඳට තියෙන කොට අධික ලාභ ලබලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ. විපතක් වුණාම විපතෙන් කොටසක් ඒ අයත් විඳදරා ගන්න ඕනේ. පහසු ක්‍රමය තමයි ඕන තරම් කිරිපිටි දෙන්නම් කියලා රු. 200 කින් විතර කිරිපිටි මිල වැඩි කලොත් කිරිපිටි වෙළෙදපොළ පිරෙනවා ඒක කරන්න දුන්නොත් බොහො පීඩාවට පත්වෙච්ච ජනතාව අන්ත අසීරුතාවයක් වෙනවා

මේ අර්බුදයට විසඳුම කුමක් ද?

පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , 

අද වෙනකොට නවත්වන්න හදනවා නෙවෙයි, අපි 40% යි අපිට ඕන ප්‍රමාණය හදන්නේ. අපි ඒක 40% ඉදලා 100% කින් සම්පුර්ණ වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපි කිරි පිටරටින් ගෙන්වන එක නවත්වන්නේ. පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න ඕනේ. හැබැයි අපි කිරිවලින් ස්වයංපෝශිත කරන්න ඕනේ. කිරිවලින් ස්වයංපෝශිත වනවා කියන්නේ පිටරටින් ආනයනය කරන එක නවත්වනවා. ඒක තමයි අපේ වෑයම. ඒක අපිට ක්ෂණිකව කරන්න බැරි වෙයි. හැබැයි අවුරුදු 2-3 ක ඉලක්කයක් එක්ක, කිරිවලින් ස්වංපෝහිත වන වැඩපිළිවෙළකට යන්න අපි සුදානම් කරලා තියෙනවා

වෙළෙඳපොළෙන් කිරිපිටි ක්ෂණිකව අතුරුදන් වීමට ආසන්න හේතුව මිල වැඩි කිරීමේ ඉල්ලීම  සහ රජයේ ප්‍රතිචාර ප්‍රමාද වීම.

වෙළෙඳ ඇමතිවරයාගේ ස්ථාවරය මිල වැඩි නොකිරීමයි.

එය පාරිභෝගිකයාට සහනයක්.

එහෙත් වෙළෙඳපොළේ කිරිපිටි නැතිවීම පාරිභෝගිකයාට අසහනයක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ,

මේ කිරි පිටි හිඟය ඇතිවෙන්න බලපාන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පහුගිය කාලය තුළ දිගින් දිගටම මතු කරපු විදේශ විනිමය අර්බුධය. කිරි පිටි ඩොලර් දීලා ලංකාවට ගෙන්පුහාම ඒ ඩොලර්වලින් ගෙනව භාණ්ඩවල මිල දේශීය වෙළෙඳපොළේ ඉහළ ගියා. මොකද පිරිවැය වැඩියි. විශේෂයෙන්ම විදේශ විනිමය හිඟ වීම නිසා තමයි මේ අර්බුදයටත් අපි මුහුණ දෙන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් මේ විදේශ විනිමය අර්බුදයට කෙටි කාලීන හා දිගු කාලීන පිළිතුරු අපි සොයා ගත්තේ නැත්නම් අපි තව තවත් භාණ්ඩවර්ග මේ අර්බුදයට එකතු වෙන්න පුළුවන්.

news 1st 

ගුවන් විදුලියේ මාර යුද්ධය : අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රතිචාරය මෙන්න ! (පිළිතුරුදීමේ අයිතිය )

(ගුවන් විදුලියේ මාර යුද්ධයක් !) යන ශීර්ෂයෙන් යුතුව අප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධව , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ගේ නිල තනතුරෙහි විද්‍යුත් තැපෑල හරහා පිළිතුරක් එවා ඇත.

ඒ ගුවන් විදුලි සංස්ථාවේ ආණ්ඩු පාර්ශවයේ වෘත්තීය සමිති නායකයන් විසින් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් වෙත යොමුකළ ලිපියකි.

පිළිතුරුදීමේ අයිතිය පිළිගන්නා වෙබ් අඩවියක් ලෙස අප එය කිසිඳු සංස්කරණයකින් තොරව ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් යොමුකළ සටහන සහ පිලිය පහත පළකරමු.

"ඉහත කරුණට අදාළව එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එම සාකච්ඡාවට සම්බන්ධ වී කටයුතු කළ වෘත්තීය සමිති නියෝජිතයන් ගේ අත්සනින් ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීම මේ සමඟ යොමු කරන අතර, එම කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තියට හා සමාන වටිනාකමකින් යුතුව ඉදිරිපත් කරන ලෙසත් ඇමුණුමක් ලෙස එම ලිපිය පළ කරන ලෙසත් දන්වා සිටිමි."

නීතිඥ සුමිත් විජේසිංහ මහතා, ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය, නෙලුම් මාවත, බත්තරමුල්ල.

මහත්මයාණෙනි,

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු නිවැරදි කිරීම සම්බන්ධවයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වෘත්තීය සමිති විධායක සභාව ඔබතුමාගේ මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (2021.07.27) ජාතික විධායක සභාව සමඟ පැවැති සාකච්ඡාව පිළිබඳව සමාජ මාධ්‍ය වල කරුණු වාර්තා කර තිබුණු අතර එම කරුණු සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරය.

එම සාකච්ඡාව කිසිවිටෙකත් වත්මන් සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා පලවා හැරීමට හෝ ඉවත් කිරීම වෙනුවෙන් සිදුකරන ලද්දක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමු. එමෙන්ම එය රැස්වූයේ සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ උපදෙස් පරිදි බවද සඳහන්ව තිබුණි. එයද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයකි.

සංස්ථා වෘත්තීය සමිති ශාඛා සභාපති, ලේකම් ප්‍රමුඛ පිරිස එම අවස්ථාවට සහභාගි වූයේ වෘත්තීය සමිතිය තුළ පවතින කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම උදෙසා බවත් එම කැඳවීම පක්ෂ ප්‍රධාන කාර්යාල වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද්දක් බවද සඳහන් කරමු.

අප වෘත්තීය සමිති සභාපති සුසන්ත කරුණාසිංහ මහතා එම සාකච්ඡාවේදී සංස්ථා සභාපති වෙනුවෙන් පෙනී සිටි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. නමුත් එවැනි පෙනී සිටීමක් සිදු නොවුණු බවත් එවැනි පෙනී සිටීමක් අවශ්‍ය නොවන බවත් සාමූහිකව ප්‍රකාශ කරන්නෙමු. මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත වීම ජාතික ආයතනයක් වන අප සංස්ථාවටත් එහි පරිපාලනයටත් සේවකයින්ටත් හානියක් සේම කැළලකි. එමෙන්ම අප පක්ෂයේ ජාතික වෘත්තීය සමිතිය ක්‍රියාකාරීත්වයටද අප්‍රසාදයකි. එබැවින් මෙම කරුණ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන ලෙසත් මෙවැනි අසත්‍ය මත පතුරන්නන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර දෙන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙයට,

සභාපති - සුසන්ත කරුණාසිංහ.

ලේකම් - කේ.එම් සුධර්මා කුලතුංග.

භාණ්ඩාගාරික - සංජීව ජයතිලක.

සංවිධායක - මංජුල සෙනෙවිරත්න.

උපදේශක - තුෂාර සන්දනායක.

පිටපත් :

සභාපති,

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

20210805 174958 1

තවත් කොරෝනා මරණ 94ක් :හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවේ

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.

එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

21 8 8

හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවේ

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා  (08)සඳහන් කළේය.

වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි =පවසා සිටියේ, මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවය.

"දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් වෙන්න මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. "

60ට වැඩි අයට එන්නත්කරණ වැඩසටහනක්

කොව්ඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අගෝස්තු 10 වැනිදා සිට දින 03ක් තුළ එන්නත් ලබා දීමට නියමිතය.

එබැවින් 1906 දුරකතන අංකය අමතා ලියාපදිංචි වන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන මාධ්‍ය සන්දර්ශන වහාම නවත්වා වසංගත මර්දනය සඳහා සුදුසු පියවර ගතයුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අවශ්‍ය මොහොතේ රට වසා දැමීමට කටයුතු නොකළ බවත්, අවදානම ඉහළ යමින් තිබියදී සීමා තර කිරීම වෙනුවට සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ආනන්ද හිමි පෙන්වා දෙති.

දෛනික මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඉදිරියේදී කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාන් පෝරණුවලටද මළ සිරුරු පිළිස්සීමට සිදුවනු ඇති බවයි.

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද මුරුත්තෙට්ටුවේ හිමි අවධාරණය කර සිටිති.

LNW

Page 430 of 451