V2025

පුවත්

යුරෝපා ජීඑස්පී තහනම තවත් ‘ආර්ථික ඝාතනයක‘ ආරම්භයයි - රජිත් කීර්ති

2010 – 2015 ආණ්ඩුවේ උපදේශකයින් තවත් වරක් ලංකා ආර්ථිකය ඝාතනය කිරීමේ මාවතට ශ්‍රී ලංකාව වේගයෙන් තල්ලු කරමින් සිටින්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘‘2010 සිට 2017 මැයි 17 දක්වා යුරෝපයේ ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීම නිසා ශ්‍රී ලංකාවට රු. බිලියන 150 සිට 250 දක්වා වන පාඩුවක් සිදුවුණා.  2017 දී යුරෝපා සංගමය 2023 දක්වා ලංකාවට නැවත එම බදු සහනය ලබා දුන්නා. මේ රජයේ අදූරදර්ශී ක්‍රියා නිසා නැවත එම සහන අහිමිවීමේ අවදානමක් තිබෙනවා‘‘ යැයිද ඔහු සඳහන් කරයි.  

‘‘ලංකාවේ මානව හිමිකම් තත්වය නරක අතට හැරෙමින් පවත්නා අතර, එය යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික හා ඒකාබද්ධ වාණිජ්‍ය කටයුතු සඳහා අයහපත් අන්දමින් බල පෑ හැකිය.‘‘ යන පැහැදිලි පණිවුඩය ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. 

 සමාජිකයින් 705 කින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවේ දී ලංකාවට පක්ෂව ලැබුණේ ඡන්ද 15 කි.  ලංකාවට බදු සහන ලබා නොදිය යුතුය යන මතයට ඡන්ද 628 ක් ලැබී ඇත. යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවේ කටයුතු වලට මෙවැනි එල්ල වූ දැවැන්තම විරෝධය මෙය යැයි ද තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජීඑස්පී සහනය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය

චීනය ලංකාවේ ලොකුම වෙළෙඳ හවුල්කරුවා වන අතර දෙවන වෙළෙඳ හවුල්කරු යුරෝපා සංගමය යි.  යුරෝපය 2020 දී යුරෝ මිලියන 2083 ක් භාණ්ඩ 27 ලංකාවෙන් මිලදී ගෙන ඇත. 

2010 වසරේ දී ලංකාවේ අපනයනයන්ගෙන් 35% ක් යුරෝපය මිලදී ගත්තේය.  2010 සිට 2017 දක්වා ජීඑස්පී බදු සහනය අහිමි වීමෙන් පසුව අද ලංකාවේ අපනයනයන්ගෙන් යුරෝපයට යොමුවන්නේ 22.4% ක් පමණී.  මෙම තත්වයට හේතු වූයේ එදා රජයේ ආර්ථිකය මෙහෙයවූ පිරිසගේ ක්‍රියාකලාපය යි.  නැවත වරක් එවැනි තත්වය පාමුලට ලංකාව පැමිණ තිබේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් යුරෝපා සංගමය මගින් ලැබෙන බදු සහන උපයෝගී කොට ගෙන සිය ආර්ථිකය ගොඩ නංවා ගැනීමට දැඩි උත්සාහයක් දරයි.  එසේ තිබිය දී, ‘තරඟකාරී පදනමින් අපනයනය සිදු කිරීම සුරංගනා කථාවකි.

2010 – 2017 ජීඑස්පී සහන අහිමිකිරීමේ ප්‍රතිඑලය

2010 වන විට ලංකාවේ ප්‍රධානම අපනයනයක් වූවේ යුරෝපා සංගමයේ ඇඟළුම් වෙළෙඳපොල යි.   ලංකාවට බදු සහනය අහිමි කරන විට වියට්නාමය, පාකිස්ථානය කාම්බෝජය යුරෝපයට ඇඟළුම් අපනයයෙන් ලංකාවට පිටුපසින් පිළිවෙලින් ඩොලර් මිලියන 2.1, ඩො.මි. 1.5 හා ඩො.මි. 1.09 ක් ලැබීය.  2019  වන විට ඉහත රටවල් සියල්ල ඇඟළුම් ආදායමනේ  ශ්‍රී ලංකාව පසුකර ගියේය.  ලංකාවේ ඇඟළුම් ව්‍යාපාරිකයෝ බංගලිදේශය, වියට්නාමයේ ව්‍යාපාර ඇරඹීය. 2017 නැවත ලංකාවට ජීඑස්පී ලැබෙන විට ඉහත රටවල් පමණක් නොව ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් ද ලංකාව පසු කර යුරෝපා වෙළෙඳ පොල දිනාගෙන අවසන් ය.

අපට අහිමි වූ යුරෝපා ඇඟළුම් වෙළෙඳපොල දිනාගත් බංගලි දේශය අද ශ්‍රී ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් වී ඇත. ජීඑස්පී සහන නොලැබීමෙන් ලංකාවේ ආර්ථිකය ඝාතනය කිරීමේ ආරම්භ වූවේය. ග්‍රීක බැඳුම්කර, හෙජින් සුදුව නිසා භාණ්ඩාගාරය හිස් වන විට එය පක්ෂයේ පමණක් නොව එවකට ආණ්ඩු පක්ෂයේ ද විරෝධය එල්ල විය. අප නැවතත් ගමන් කරමින් සිටින්නේ ඒ ආර්ථික ආගධය වෙතය.

තරඟකාරි පදනමින් අපනයනය සිහිනයක් පමණක් වන්නේ, ජීඑස්පී සහන අහිමි වන්නේ නම්, මත්ස්‍ය නිෂ්පාදනය සඳහා 18.5% ක ද, අඟලුම් සඳහා 9.6% ක ද,  එළවළු පළතුරු සඳහා 12.5% ක ද, සෙරමික් සඳහා 8.4% ක ද, බදු ගෙවීමන ලංකාවේ අපනයන කරුවන්ට සිදුවීමය.  එවන් අතිරේක බදු බරක් දරමින් යුරෝපා වෙළෙඳපොල ජය ගැනීම සිහිනයක් පමණී.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සිදු කරන මර්ධනකාරී ක්‍රියා මෙන්ම, හිතුවක්කාරී අදූරදර්ශී තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අපට අහිමි කර තිබේ.  එය නැවත දිනා ගැනීම සඳහා කටයුතු නොකරන්නේ නම් නැවත වරක් 2012 -2017 සමයේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයට නොවැලැක්විය හැකි වනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

ඉන්ධන මිල වැඩි කළේ රට ගැන හිතලා - ප්‍රසන්න

ඉන්ධන මිල වැඩිකර ඇත්තේ රට ගැන හිතා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ඉදිකිරීම් වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතළ ප්‍රතිඵල අත්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
 
අමාත්‍යවරයා  ඊයේ  (15) වැරැල්ල වත්ත ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ මේ අදහස් දැක්වූ අතර  ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩු වලින් ගනු ලැබූ  වැරදි තීරණ  නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසියාකාරව ඉටු කළ යුතු බවත් සඳහන් කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,
 
පසුගිය දවස් වල පැවති අධික වර්ෂාවත් එක්ක ඇති වූ ගංවතුර තත්වයක් සමග අධිවේගී මාර්ගය නිසා පීඩාවට පත් වූ ස්ථාන කිහිපයක් තිබෙනවා. එම ස්ථාන නැවත අධ්‍යයනයකට ලක් කරලා වැඩ ආරම්භ කරන්න යෝජනා කරලා කටයුතු කළා.  එම ස්ථානවල පමණක් වැඩ කටයුතු දැනට නැවතිලා තිබෙනවා.
 
යම් හෙයකින් මේ සම්බන්ධව කටයුතු කරන අය ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළොත් ඔය කොන්ත්‍රාත්කරුවන්ට ගම්වලට එන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.
 
ඒ නිසා මෙය සාකච්ඡා මාර්ගයෙන් කාටවත් අසාධාරණයක් නොවන ආකාරයෙන් ඒ වගේම ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් සිදු කිරීම වැදගත්.
 
මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය  සම්පූර්ණයෙන්ම අවසන් වූ විට එමගින්  ජනතාවට  පීඩාවට පත්වීමේ  අවස්ථාව ඉතාම අවමයි.  ජනතාව කවදාවත්  කිසිම පීඩාවකට ලක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තුලින් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට කටයුතු කිරීමට ඉදිරියේ දී සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
 
ඉදිකිරීම් කාල සීමාව තුළ  සේවා පහසුකම් සඳහා සකස් කර තිබෙන මාර්ග සහ පස් ගොඩ ගැසීම් ගොඩක් දුරට පසුගිය ගංවතුර තත්වයන් තත්වයන්ට බලපෑමක් එල්ල කළා. ජනතාවට බලපෑමක් එල්ල නොවන ආකාරයට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරනවා. නමුත් යම් යම් ස්ථානවල ඇති වූ ගැටලු සම්බන්ධයෙන් නැවත අධ්‍යයනයක් කළ යුතුම වෙනවා.  එවැනි අධ්‍යයනයක් සිදු කරලා  ඊට අදාළ තීන්දු අරගෙන කටයුතු කළොත් මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරගැනීමට අපට හැකියාව ලැබෙනවා. 
 
2015 වසරට පෙර මෙම මාර්ගය කණු උඩ ඉදිකිරීමට සැලසුම් සකස් කොට තිබුණා . නමුත් පසුගිය රජය එය වෙනස් කරලා පස්වලින් ගොඩ කරපු මාර්ගයක් ඉදිකිරීමට තීරණය කරලා තිබුණා. එහි ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විදින්න සිද්ද වෙලා තියෙන්නේ. නමුත් ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ වැරදි දේවල් වැරදි තීරණ වෙනස් කරන්න. වර්තමාන රජයේ වගකීම වන්නේ එම වැරදි නිවැරදි කරලා කටයුතු කරගෙන යාමයි.
 
සාමාජිකයන්ගේ කරුණු තමයි ලේකම් ඉදිරිපත් කරන්නේ !
 
මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ,
 
රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන්  ප්‍රකාශයක් නිකුත් කළා. මෙම තීන්දුව රටේ ආර්ථිකය රටේ අනාගතය සහ සියලුම සාධක සලකලා බලලා ගනු ලැබූ තීන්දුවක් බව එහි පැහැදිලිව සඳහන් වෙනවා. දේශපාලන පක්ෂයක් කියන්නේ  යම්යම් සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක්. සාමාජිකයින් ඉදිරිපත් කරන කරුණු තමයි පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් මේ ඉන්ධන මිල වැඩි කරපු එක හොදයිද නරකයිද කියලා මම කියන්නේ නරකයි කියලා .මොකද මම ජනතා ඡන්දයෙන් පත් වූ කෙනෙක්. නමුත් රට ගැන හිතන කොට ඊට වඩා වෙනස් විදිහකට අපට කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ කාරණාව අප අවබෝධ කොට ගත යුතුයි. 
 
ඔය කාරණය පොහොට්ටුවේ ලේකම්තුමා කියපු හින්දා අද මාධ්‍ය වල ලොකුවට සාකච්ඡා කෙරෙනවා. නමුත් ඕක අනිත් පක්ෂවල නායකයොත් කියන කතාවක්. ඉන්ධන මිල ඉහළ යාම වැරදියි ජනතාව පීඩාවට පත් වෙනවා කියන එක ගොඩක් නායකයෝ මේ දවස් වල කියනවා. ඉතින් පොහොට්ටුව කියන්නෙත් මේ රටේ ජනතාව එකතු වෙලා හදපු පක්ෂයක් එහි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස්. 
 
මේ ආණ්ඩුව ජනතාවට හංගලා කිසි දෙයක් කරල නැහැ . හැම දෙයක්ම විවෘතව කරලා තියෙනවා. යහපාලන රජය වගේ කිසිම දෙයක් හන්ගලා කරල නැහැ .ඉන්ධන මිල වැඩි කරේ අවුරුදු ගානකට පස්සේ. යහපාලන රජය කාලේ මාසෙන් මාසෙට ඉන්ධන මිල වැඩි කළා. එහෙම දෙයක් මේ රජය යටතේ වෙන්නේ නැහැ. අද පීඩාවට පත්වූ ජනතාවට ආණ්ඩුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙනවා. 
 
සමෘද්ධි  ප්‍රතිලාභීන් ට ඒ දීමනා ලබා දෙනවා. ඒ වගේම රජයේ වැටුප් කිසිසේත්ම අඩු නොකොට ගෙවාගෙන යනවා.  අද වෙනකොට සංචාරකයින්ගෙන් අපිට එන  ආදායම නැති වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය එන මාර්ග සියල්ලම ඇණහිටලා තිබෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ එන්නත් සඳහා රජය විශාල මුදලක් වැය කරමින් සිටිනවා. රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කරනවා. මේ කාරණා සියල්ලටම රජය වියදම් කරනවා. මේ වියදම්  පාලනයක් යටතේ ගෙන යන්න තමයි  ඉන්ධන මිල මෙලෙස වැඩි කරල තියෙන්නෙ. 
 
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සමගි ජන බලවේගය දැනටමත්  රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට සම්බන්ධයෙන් කලබලයට පත්ව ඇති බවයි.
 
වර්තමාන විපක්ෂය අභ්‍යන්තරයේම ඇතැම් කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක කම බාර ගැනීමට ආරාධනා  කිරීමට සැදී පැහැදී සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සෞඛ්‍යයේ සියල්ලට හවුල්වී සියල්ල අවුල් කරන දෙන්නෙක් ගැන බරපතළ විරෝධයක් !

සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවාවන් අතර ඇතිවී තිබෙන බරපතල නොසන්සුන්තාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ විශේෂ සැලකිල්ල යොමු වී ඇති අතර ඒ පිළිබඳව 2021.06.15 දින සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුව වෙනුවෙන් කැඳවුම්කාර මණ්ඩලය නිවේදනය කරයි.
 
ඊට අනූව  වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය සේවාවන් අතර බරපතල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව හෝ වෛද්‍ය පරිපාලන නිළධාරීන්ගෙන් උපදේශයක් හෝ අනතුරු ඇඟවීමක් නොලැබුනේද යන්න වෘත්තීය සමිති විසින් ප්‍රශ්න  කරන ලද බවත් සඳහන් කරයි.
 
එමෙන්ම අමාත්‍යවරිය, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් ගැටළු විසඳා දීමට සාධාරණ උත්සහයක් ගනු ලැබූවද පහල සිටින නිළධාරීන් කිහිපදෙනෙකු හිතාමතාම වෛද්‍ය නොවන වෘත්තීන් පිළිබඳව ද්වේශ සහගතව කටයුතු කරමින් අනවශ්‍ය අර්බුධ නිර්මාණය කරන බවත් ඇතැම් අවස්ථාවල ගැටළු සඳහා විසඳුම් සොයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල කළමණාකරණ නිළධාරීන්ට පවා බැන තර්ජනය කරමින් ඒවා වලකන බවත් වෘත්තීය සමිති සියල්ල කරුණු සහිතව පෙන්වා දෙනු ලැබූ බවත් පැවසෙයි.
 
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු දැඩි දෝෂ දර්ශණයට ලක්ව ඇති අතර මෘතදේහ බහාලුම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව සැළකිලිමත් වන ලෙස ජනාධිපතිවරයාද සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කර ඇති නමුත් තවදුරටත් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු තීරණ වලට හවුල් වෙමින් අවුල් සහගත තත්ත්වයක් ඇති කරන බැවින් තම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේදී අදාල අතිරේක ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම හෝ ඔහුගේ මැදිහත් වීම වලක්වන ලෙස වෘත්තීය සමිති විසින් බරපතල විරෝධතාවයක් ද  දක්වා ඇත.
 
 එසේම වෛද්‍යවරුන්ට පමණක් දීමනා වැඩි කිරීමෙන් ඇතිවන අර්බුධකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියව නිවැරදිව දැනුවත් නොකරමින් හිතාමතාම අර්බුධයක් ඇති වීමට ඉඩ සැලැස්වූ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පිළිබඳවද සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලිඛිතව සිය විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර හදිසි සේවා රෙගුලාසි පිළිබඳව කාර්යය මණ්ඩලයේ විරෝධතාවයක් ඇති වන පරිදි එම රෙගුලාසි අවභාවිතා කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයට ඔහු විසින් සිදු කරන ලද මැදිහත්වීමද මෙහිදී දැඩි දෝෂ දර්ශණයට ලක්වී ඇත.

ඉන්ධන මිල ඉස්සීමේ නාට්ටිය : පොහොට්ටු කාර්‍යාලයේ සිට ගම්මන්පිලට සොරි කියයි !

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය අතර ගැටුමින් සමන්විත දේශපාලන නාටකය බැසිල් පාර්ශ්වය පරාජය පිළිගන්නා බවකින් අවසන් වෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් නිසාය.

එහිදී ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස  සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අදහස් දැක්වූ අතර අදාළ තීන්දුව ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවත් පැවසීය.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

මෙහි විශේෂත්වය වන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල අමාත්‍යවරයා ට එරෙහිව නිවේදනය නිකුත්කළ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊට සහභාගී නොවීමය.

එකී නිවේදනය පිළිබදව උදය ගම්මන්පිළ අමාත්‍යවරයා  වෙත කණගාටුව පළකරන බවද එමගින් සිත් රිදීමක් වූයේනම් පක්ෂය වෙනුවෙන් කණගාටුව පළකරන බවත් රාජ්‍ය අමාත්‍ය පැවසීය.

කෙසේ වුවත් මේ නාට්‍ය අවසන් ද යන්න සැක නමුත් ඉන්ධන මිල ඉහළ දැමිම සිදුකර ඇත .

ඉල්ලා අස්වූ ඇමතිකෙනෙක් ද  නැත.

අනුමැතිය නැතුව ණයවර ලිපි විවෘත කළේ කොහොමද ? BOC සභාපතිගෙන් කරුණු විමසයි !

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට පෙර මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ලංකා බැංකුව විසින් ණයවර ලිපි විවෘත කළේ කුමන නීතිමය තත්වයක් යටතේද යන්න පැහැදිලි කරන ලෙස ජවිපෙ මධ්‍යමකාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ට අනූව ලංකා බැංකු සභාපති මේ හරහා බරපතළ අර්බුදයට මුහුණදීමට නියමිත වෙයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ගේ උපදෙස් පිට නීතිඥ සුනිල් වටගල යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

Screenshot 20210615 134451

Screenshot 20210615 134343

ෆේල් නම් ඉල්ලා අස්වෙනු රැල්ලක් වගේ : දෙවැනි ලිපිය GL. පීරිස් ට යයි !

ෆේල් ඇමතිලා ඉල්ලා අස්වෙන්න බලකිරීම රැල්ලක් වන ලකුණු පෙන්වයි.  

ඒ රටේ පාසල් අධ්‍යාපන පද්ධතිය සහමුලින්ම කඩාවැටී ඇති බවත් ඒ සම්බන්ධව නිසි වගකීම් ඉටුකිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස නොහැකි නම් වෙනත් අයෙකුට අමාත්‍ය ධූරය පවරා ඉල්ලා අස්වෙන ලෙස නව ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙතින් ඉල්ලා සිටීම හමුවේය.

නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් මේ බව ලිඛිතව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ ලිපිය  2021 ජුනි 08 යොමුකර ඇත.

වසර 1 1/2 ක කාලයක් තිස්සේ පාසල් වසා තැබීම බරපතළ අපරාධයක් බවත් එය සමස්ථ සමාජයට වන්දි ගෙවීමට සිදුවන්නක් බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

IMG 20210615 WA0000

IMG 20210615 WA0001

ශානි ඇතුළු පිරිස් ඉලක්ක කළ දේශපාලන දඩයම නවතනු : තලතා ඉල්ලයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි ද්වේශ සහගත දඩයම, රජය වහාම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල අවධාරණය කරයි.

මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත්කරමින් මේ අවධාරණය සිදුකර සිටි අතර  ශානි අබේසේකර  දේශපාලනමය වශයෙන් පීඩාවට පත් නොකරන ලෙසත් එහිදී ඉල්ලා ඇත.

නිවේදනය නිකුත් කරමින් තලතා අතුකෝරල මන්ත්‍රීවරිය වැඩිදුරටත්  අවධාරණය කරන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සිරගත කිරීමේ සිදුවීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින්ද පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන් කළ බවය.

ඉන්ධන මිල ඉහළ දැමීම අවුල් තමයි - දයාසිරි

මේ මොහොතේ ලංකාව ප්‍රබල ලෙස ඩොලර් හිඟයකට මුහුණදී සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පැනනැගී ඇති ප්‍රශ්නය ඩොලර් හිඟය නිසා බවත් විපක්ෂය මොන කතා කිව්වත් එය පාලනය කිරීමට පහසු කරුණක් නොව රටක් ලෙස මුහුණදීමට සිදුව ඇති තත්ත්වයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව මතුව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදිය.

තෙල් මිල මේ මොහොතේ වැඩිවීම ගැන තම පක්ෂය එකඟ නැති බවත් ඔහු පැවසීය. එසේම තෙල් මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය , ජීවන වියදම් ඇමති අනුකමිටුව ගනුලැබූ තීන්දුවක් බවත් ඔහු පැවසීය.

හරි නම් ඇමති මණ්ඩලයම ඉල්ලා අස්වෙන්න ඕන - ඉරාන්

"තෙල් මිල වැඩිකරලා ඊට පස්සේ උදය ගම්මන්පිලට අස්වන්න කියනවා වගේ කොමඩි කථාවල් හදලා රජය හැංගෙන්න හදනවා. හරි නම් ඇමති  මණ්ඩලයම ඉල්ලා අස්වන්නට ඕනෑ." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
"2020 අප්‍රේල් වල කෝවිඩ් නිසා ලංකාව තෙල් ගත්තේ ඩොලර් 19 යි. තෙල් බැරලයක් මිල ඩොලර් 63/ සිට ඩොලර් 19 ට අඩුවුනා. නමුත්  පාරිභෝගිකයාට එහි වාසිය ලබා දුන්නේ නැහැ. අපේ ක්‍රමවේදය පාවිච්චි කළා නම් පාරිභෝගිකයාට තෙල් ලීටරයකින් රු 20/ ක ලාභයක් තිබුණා.හැම ඉන්ධන වර්ගයකම මිල එදා රු 20/ කින් අඩුවන්නට ඉඩ තිබුණා." යැයිද ඔහු පවසයි 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න  මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
රජය ඉන්ධන මිල වැඩිකළා මෑතදී.2019 සැප්තැම්බර් මස අපි රජයෙන් ඉවත් වන විට ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන බැරලය මිල් ඩොලර් 63 ක් පමණ විය.අපි එතකොට ඉන්ධන වලට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළා.එයට ප්‍රධාන හේතුව විනිවිදභාවයෙන් යුතුව මිල තීරණය කිරීමයි. එවිට දූෂණය හා අමර්මන්‍ය කළමනාකාරිත්වය අඩු වෙනවා.මිල සූත්‍රයෙන් සිදු වූයේ එයයි.2001 රජයත් මිල සූත්‍රය ගෙන ආවත් පසුව පැමිණි ආණ්ඩුව එය නැති කළා.
 
රටට අවශ්‍ය තේරුමක් තිබෙන විද්‍යාත්මක පදනමින් සිදුවන ආර්ථිකයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය මතයි මිල සූත්‍රය හඳුන්වා දුන්නේ.ආර්ථිකය පිළිබඳව නොදන්නා අය ආර්ථිකය පාලනය කරන්න ගියාම වෙන දේවල්වලටයි රට දැන් මුහුණ දෙමින් තිබෙන්නේ.
 
20199 දී අපි රජයෙන් ඉවත් වන විට තෙල් බැරලයක් ඩොලර් 63 ක් ව පැවති අතර එහි මිල පහලටම ආවා.2020 අප්‍රේල් මස වනවිට ලංකාව තෙල් බැරලයක් ඩොලර් 19 ට ගත්තේ.කැලිෆොර්නියාවේ මිනිසුන්ට මුදල් නොගෙවා තෙල් අරන් යන්න කිව්වා. ඒ කියන්නේ ඒ රටේ තෙල් වල මිල බිංදුවයි.
 
2020 අප්‍රේල් වල කෝවිඩ් නිසා ලංකාව තෙල් ගත්තේ ඩොලර් 19 යි. තෙල් බැරලයක් මිල ඩොලර් 63/ සිට ඩොලර් 19 ට අඩුවුනා.
 
නමුත් පාරිභෝගිකයාට එහි වාසිය ලබා දුන්නේ නැහැ. අපේ ක්‍රමවේදය පාවිච්චි කළා නම් පාරිභෝගිකයාට තෙල් ලීටරයකින් රු 20/ ක ලාභයක් තිබුණා.හැම ඉන්ධන වර්ගයකම මිල එදා රු 20/ කින් අඩුවන්නට ඉඩ තිබුණා.
 
ඒ අනුව ඔක්ටේන් 92 පැට්‍රල් රු 117 සිට රු 97 ට අඩුවන්නට තිබිණි. ඔටෝ ඩීසල් 84/ සිට 64 ට අඩුවන්නට තිබුණි.මේ රජය එම මිල අඩුකිරීම එදා කළේ නැහැ. ඉන්ධන මිල අඩුවීමේ වාසිය රජය ලබා ගත්තා.
පොහොසත් ව්‍යාපාරිකයන්ගේ බදු අඩු කර රු බිලියන 600 ක වාසියක් දීලා දුප්පත් මිනිසුන් ගැනැ සැලකුවේ නැහැ.ඉන්ධන මිල දැන් වැඩි කර ඇති බැවින් ඒ බදු සහනය වෙනුවෙන් දුප්පතා ගෙවන්න වෙලාය.
 
ඉන්ධන මිල ඩොලර් 69 ට ආවේ මාස 18 ට පස්සෙ 2021 මාර්තු මාසයේ දීය.ජූනි මාසයේ ඩොලර් 70 පැන්නේ ජූනි මාසයේ. 2019 සැප්තැම්බර් මාසයේ තිබුනු මිලටම ඉන්ධන මිල පවත්වාගෙන ගිහින්, සූත්‍රය තිබ්බා නම් රු 2/ කින් වැඩි කරන්න තිබ්බා.ඒත් ඔcටේන් 92 රු 20/ කින් 157 ට වැඩි කළා. ඔටෝ ඩීසල් එක රු 7/ කින් වැඩි කළාඅ.මේ වැඩිකිරීම්වලට කිසිම පදනමක් නැහැ.
 
2020 දී ලෝක තෙල් මිලට පහලට පැමිණි විට රජයට ලොකු වාසියක් වුණා.ඩොලර් කෝටි 130 ක වාසියක් තිබුණා.නමුත් ඒ වාසිය ජනතාවට ලැබුනේ නැහැ.වැඩි වෙනකොට වැඩිකරනවා. ඩොලර් 8 කින් වැඩිවෙලා තියෙද්දී රු 2/ කින් වැඩි කළ යුතු වූවද රු 20/ වැඩි කර තිබෙනවා. මෙයයි මේ රජයේ ක්‍රියා කාරිත්වය.
මෙය කොමඩි ආණ්ඩුවක්.
 
මේ ආණ්ඩුව කොමඩි ආණ්ඩුවක් විනා වෙනත් දෙයක් කියන්නට නැත. දේශප්‍රේමිත්වය නිරුවත් වෙලා කොමඩි කථා රටට ගොතා, ජන රවටා රට විකුණා ගෙන යන ගමනකි මේ ආණ්ඩුව ගෙන යන්නේ.
 
මේ කොමඩියෙන් ඔක්කොම අවලංගු කරලාය. දැන් උදය ගම්මන්පිල ඇමති තුමාට අස්වෙන්න කියලා තිබෙනවා.ඛ්නිජ තෙල් පනතේ ඇමතිවරයාට මිල වැඩි කළ නොහැක.ඇමතිවරයා තෙල් මිල දේශීයව වැඩි කිරීම සඳහා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගත යුතුයි.මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පසුව වැඩිවීම පිළිබඳව දැනුම් දීමට ඛනිජතෙල් ඇමතිට හැකිවුණා.
 
සාමන්‍යයෙන් තෙල් මිල වැඩිවීම ඇමාත්‍ය මණ්ඩලයට ගොස් එහි දීද සම්මත වෙනවා. තෙල් මිල වැඩිවීම සිදුවන්නේ එහෙමයි.අය - වැය අවස්ථාවේදී තෙල් මිල වැඩි කරන්නේ නම් පාර්ලිමේන්තුවට එන්නේ කැබිනට් අනුමැතියක්ලබා ගෙනය.මෙවර තෙල් මිල වැඩිවීම මුදල් ඇමතිතුමා නොදැනුවත්ව ඉන්නම බැරිය.කැබිනට් මණ්ඩලයත් මේ පිළිබඳව දැනුවත්ව ඉන්න ඕනෑ. මේ අය ගේ කොමඩි වැඩයි දැන් එළි දක්වන්නේ.
 
දැන් දාන කොමඩි වැඩේ උදය ගම්මන්පිල ඇමතිතුමාට අස්වෙන්නැයි කියනවා. අස්විය යුත්තේ ඇමති තුමා නොව කැබිනෙට් එකයි අස්විය යුත්තේ. ඒ වගේම ත්මයි මන්ත්‍රී වරුන්ට සුඛෝපභෝගි වාහන ආනයනය කරනව්යි කිව්වා. 
 
එම තීරණය ගත්තේ කවුරුන් ද ? මිනිසුන්ට කන්න නැතුව බෙහෙතක් ගන්න බැරි වෙලාවකදී මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කරන එකද මේ රටේ තිබෙන ප්‍රමූඛත්වය? අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්දයි එය කළයුතුව තිබුණු වඩක් නොවේය. කවුද එය කළේ.  තෙල් මිල වැඩිකරලා ඊට පස්සේ උදය ගම්මන්පිලට අස්වන්න කියනවා වගේ කොමඩි කථාවල් හදලා රජය හැංගෙන්න හදනවා. හරි නම් ඇමති  මණ්ඩලයම ඉල්ලා අස්වන්නට ඕනෑ.
 
69 ලක්ෂයක් රවට්ටලා හිටියේ නමුත් දැන් ඒ අයත් ඇස් ඇරලා තියෙන්නේ. අනෙක් අයත් ඇස් ඇරලා තියෙන්නේ, ඉතින් මේකට අපි කවදාක්වත් ඉඩ නොදිය  යුතුයි.
 
 

සැප වාහන වෙනුවට ගිලන් රථ ගෙන්වන්න - හර්ෂ

මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් මේ මොහොතේ අවශ්‍යතාවය එය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටින්නේ නිවේදනයක් නිකුත්කරමින් වන අතර එය පහත දැක්වෙයි.

ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු කරමින් සිටී. මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොවේ.

ඒ සියලු මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීමයි. මේ නිසා, ජනතාවාදී විපක්ෂය ලෙස මා මීට දින තුනකට පෙර පැවසූ පරිදිම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහජන මුදල් වලින් වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන ලෙසයි. එම මුදල්ද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මෙයට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

ඉන්ධන මිල ඉහළ දැම්මේ ජනාධිපති අගමැති ප්‍රමුඛ කමිටුවයි - පක්ෂ 08 ප්‍රසිද්ධ නිවේදනයක් !

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයක් තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත වැඩ පැටවීමේ වෑයම හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 විසින් සඳහන් කරයි.

අද  (14) අදාළ පක්ෂ 8 හි නියෝජිතයින් ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපති සහ අගමැති ගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් පිළිබඳ ඇමති අනුකමිටුව ගනුලැබූ තීන්දුවක් බවත් එහි සඳහන් කර ඇත.

Press Release 2021අදාළ නිවේදනය පහත දැක්වෙයි.

තෙල් මිල එකවර ඉහළ දාන්න උපදෙස් දුන්නේ බැසිල්ලු !

බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩනොදෙන බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ යළිත් විරෝධයක් මතුව ඇත.

ඒ ආණ්ඩුවේ බැසිල් හිතවාදි පාර්ශව තවදුරටත්  ඉන්ධන මිල ඉහළ දැමීමට තීන්දු කළ සැබෑ තත්ත්වය වසංකර පෞද්ගලික දේශපාලන වාසියක් ගැනීමට බැසිල් පාර්ශ්වය කටයුතු කරන බව පවසමිනි.

මේ බව මතුකරන බැසිල් විරෝධී පාර්ශ්ව සඳහන් කරන්නේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම තවදුරටත් දරාගත නොහැකි බව තක්සේරු කරමින් ඉන්ධන මිල අවස්ථා දෙකකට ඉහළ දැමීම සඳහා තීරණයක් ගෙන තිබුණත් එය  පසුව වෙනස් කළ  බවය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව සාකච්ඡා කිරීමට ජීවන වියදම් ඇමති අනුකමිටුව රැස්වීමට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර අමතා තෙල් මිල ප්‍රශ්නය ගැන කතාබහක් සිදුකර ඇත.

පීබී ජයසුන්දර ට බැසිල් දුන්න උපදෙස ?

එහිදී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර හරහා බැසිල් රාජපක්ෂ දැනගෙන ඇත්තේ ඉන්ධන මිල අවස්ථා දෙකකදී ඉහළ දැමීම සඳහා තීරණය කර ඇති බවය.

ඒ අනුව පළමු අවස්ථාවේ රුපියල් 10.00ක් සහ දෙවන අවස්ථාවේ රුපියල් 10.00 ක් වන ලෙස වැඩිකිරීම හැර විකල්පයක් නැති බව පීබී ජයසුන්දර පවසා ඇත.

එම අවස්ථාවේ  බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ  අවස්ථා දෙකකදී ජනතාව වෙතින් බැනුම් නොඅසා එකවර බැනුම් ඇසීම ප්‍රමාණවත් බවත් ඒ අනුව  ඉන්ධන මිල එකවර ඉහළ දැමීමට සුදුසු බවය.

පොහොට්ටු ලේකම්ගේ  හැසිරීම පුදුමසහගතයි !

ඒ අනුව ජීවන වියදම් ඇමති අනු කමිටුව ඒ යෝජනාව සඳහා එකඟතාව පළකර ඇත. 

දැන් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්ව කියන්නේ ඉන්ධන මිල එකවර ඉහළ දැමීම සඳහා උපදෙස් නිකුත්කළ බැසිල් රාජපක්ෂ සිය පක්ෂ  ලේකම් හරහා නිවේදනයක් නිකුත්කරමින් සිදුකළ ක්‍රියාව කිසිසේත් අදහාගත නොහැකි ක්‍රියාවක් බවය.

පළමු අවස්ථාවේ පක්ෂයේ නිල ලිපි ශීර්ෂයෙන් ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හරහා ගම්මන්පිල අමාත්‍යවරයා ට ඉල්ලා අස්වීම සඳහා ප්‍රසිද්ධ නිවේදන නිකුත්කළ පසුව දැන් දෙවැනි අවස්ථාවේ උග්‍ර බැසිල් පාක්ෂික ලංසා වැනි උදවිය යොදවා කරවන ප්‍රකාශ ඉතා බරපතළ බවත් එම ආරංචි මාර්ග පවසයි.

නාමලුත් හිටියා !

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පිටුපස ඉතා පැහැදිලිව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාව හමුවේ දැඩි අපහසුතාවකට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ගැනත් සැකසංකා මතුවන බවය. එසේම අදාළ තෙල් මිල ඉහළ දැමීම සඳහා වූ සාකච්ඡාවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ද  සිටි බවත් මේ කරන ප්‍රකාශ හරහා සියළු දෙනා ජනතාව හමුවේ දුෂ්කරතාවකට පත්ව ඇති බවත්ය.

විහිළු සපයන්න එපා : තෙල් මිල වැඩි කිරීමේ බලය තියෙන්නේ මුදල් ඇමතිට - චන්දිම

ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි  සඳහන් කරයි.

ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවත් පනත අනුව  මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද ඔහු පැවසීය.

චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වන අතර ඔහු යහපාලන ආණ්ඩුවේ ඛණිජ තෙල් අමාත්‍යවරයකු විය.

රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර සිටියේ ය.

බැසිල් හිටියා නම් තෙල් මිල ඉහළ දාන්නේ නෑ - ලන්සා

බැසිල් රාජපක්ෂ සිටියා නම් ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ දැමීමට ඉඩ නොදෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබියදී පසුගිය දා MV X-Press Pearl නෞකාව ගිනි ගැනිමට ලක් විය.

නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය ජුනි 01 වනදා නියෝගයක් ද නිකුත් කළේ ය.

අධිකරණය එම නියෝගය නිකුත් කළේ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ඊට පෙර පියවර ගෙන තිබිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් :අභියාචනාධිකරණ නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර  අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර  අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.

85338039 president news 1

a867b1d0 president news 2

 

 

"ජනතාව පීඩාවට පත් නොකර ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි"

ජීවන වියදම් අනු කමිටුව විසින් තීරණය කළේ යයි පවසමින් මේ වන විට ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර, කෝවිඞ් 19 වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවත්, කෝවිඞ් 19 තත්වය මත සංචරණ සීමා පනවා තිබියදී තම දෛනික රැකියාවන් හෝ ආදායම් මාර්ගවල නිරත වීමට නොහැකිව සිටින අඩු ආදයම් ලාභී ජනතාවට කිසිදු හව්හරණයක් නොතිබියදී මේ ආකාරයෙන් තෙල් මිල ද ඉහළ දැමීම තුළ සිදුවන්නේ තවදුරටත් වැඩිවන බඩු මිල ඉදිරියේ බඩගින්නේ සිටීමට බවත් නිවේදනයක් නිකුත් කරමින් වැඩකරන ජන බලය කියා සිටී. 

මේ පිළිබදව එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

භූමිතෙල් මිල ද රු.7/- කින් ඉහළ දැමීම තුළ භූමිතෙල් භාවිතයේ යෙදෙන වතු සහ ධීවර ජනතාව දැඩි පීඩාවකට පත්වේ. සමස්ත වැඩකරන පන්තියෙන් බහුතරයක් තම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ මෝටර් සයිකල්, තී‍්‍රවිලර් වැනි වාහනය. පෙට‍්‍රල් මිල රු.20/- න් වැඩි කිරීම තුළ එය වැඩකරන පන්තියේ බහුතරයකට ඍජුවම බලපාන අතර, සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන බර කිහිප ගුණයකින් ඉහළ යාම මෙම ඉන්ධන මිල ඉහළ යාම තුළ වැලැක්විය නොහැකිය. මේ තත්වය තුළ මෙම ඉන්ධන මිල ඉහළ යාම දැඩිව බලපානුයේ මෙරට වැඩකරන ජනතාවටය.

කෝවිඞ් 19 වසංගතය තුළ පීඩාවට පත් තම රටවල ජනතාවට අනෙකුත් සෑම රටකම ආණ්ඩු විසින් විවිධ සහන සලසමින් තිබියදී ලංකාවේ වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් ජනතාවට පීඩනයට පත් කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ ජීවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගේ වගක් නැති බවයි. තෙල් මිල වැඩි කළා පමණක් නොව ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ විසින් තෙල්මිල වැඩිකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ප‍්‍රකාශ කිරීම තුළින් පෙන්නුම් කරන්නේ තවදුරටත් ජනතාව නොමග යවා ජනතා විරෝධය ද හකුලා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි. උදය ගම්මන්පිල පමණක් නොව සමස්ත ආණ්ඩුවම ජනතාවට එල්ල කළ මෙම මරණීය ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුය.

2020 වසරේ ලොව පුරා කෝවිඞ් 19 වසංගත ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපොළේ තෙල්මිල ඍණ අගයක් ගත් අතර, එම අවස්ථාවේදී තෙල් මිල තඹ සතයකින්වත් අඩු කිරීමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති තත්වය තුළ මැති ඇමතිවරුන්ට සැප වාහන ආනයනය, කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි හදිසියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරමින් සිටී. මෙවැනි දේ සඳහා මුදල් වෙන් කරමින් සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසන්නේ තෙල්මිල වැඩි කළේ රටේ මූල්‍ය ස්ථාවරයට බලපෑමක් ඇතිවීම වැලැක්වීමට බවයි.

තෙල්මිල වැඩි කිරීම හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයන් විසින්ම සිදු කරන මෙවැනි ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතවම සිදුකර ජනතාව රැුවටීමට ද සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.

මේ තත්වය තුළ ඉහළ දැමූ ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩකරන ජන බලය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

මෙයට, වැඩ කරන ජන බලය වෙනුවෙන්,

ජොස්ප් ස්ටාලින් - 077311254
රවී කුමුදේශ් ජගත් ගුරුසිංහ
චින්තක බණඩාර

ඉන්ධන මිල පිළිබද ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එම තීරණය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයක් බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳව ජනාධිපති , අගමැති හා විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමු වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත සදහන් වේ.

oil p

oil 2

Page 451 of 452