මහගම සේකර ගියායින් පස්සෙ ඒ තැන ලැබුණෙ රත්න ශ්‍රී සර්ට. එයත් සේකර වගේ ම ඕනවට වඩා නිහතමානි වුණා. ඕනවට වඩා මිනිස්සුන්ට උදව් කරන්න ගියා. ඒකයි ඔය වගේ වෙන්නෙ.
රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
අසූව දශකයෙත් අර කොටුවෙ ගෙදරට එන ආධුනික කවිකාර කොල්ලන් ගේ ඇතුළට ම අරගෙන උන්න ඕන උදව් කරන මානසිකත්වය වෙනස් කරගන්න බැරි වුනා. ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
කවදාවත් මුණ නොගැහිච්ච කවියො තැපෑලෙන් එවපු කවිපොත කියවලා. පෙරවදනක් හරි පසුවදනක් හරි ලියල උන්ට වටිනාකමක් දෙන්න හිතෙන “පපුවෙ අමාරුව” එන එක වළක්වා ගන්න රත්න ශ්‍රී සර්ට බැරිවුණා.
ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
සුවඳ තියාගෙන සොඬින් නෙළුම් මල ගෙනියන ගමන් පුන් සඳ රෑට ඇවිදින් සර්ට කියල ලියවපු සින්දු කියපු ගායක ගායිකාවො සර්ගෙ වියදමටවත් සත පහක් නොදී ලක්ෂ ගණන් හම්බ කරගනිද්දි, උන් ජොලියට කතරගම යන ගමන් හිස් අතින් ඇවිත් හේමමාලි අක්කගෙ බත් එකට, තේ එකට වැඩේ දීලා යද්දිත් ඒකට අව කැපෙන චවනයක් කියන්න ඔය රත්න ශ්‍රීට බැරිවුණා.
ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ...!!
රටේ හැම පැත්තක ම ඉස්කෝලවල කලා සංගං කොරන ගුරුවරියො ගුරුවරු කියන කියන දවසට බස් එකේ හරි නැගලා ගිහින් ඉස්කෝලවල දේසන තියලා ඒ දරුවො දැනුවත් කරන ''සරීර අමාරුව'' කවදාවත් හොඳ කරගන්න රත්න ශ්‍රී සර්ට බැරි වුණා නෙ...

ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
රටේ මොන පළාතෙ හරි සුබසාධක සංගම් නිලධාරියො දුරකතනෙන් දීපු ආරාධනාවට කලින් දවසෙ කාගෙ හරි වාහනයක් හොයාගෙන ඒ දුර ගමන ගිහින් දේසන කරලා අර සංගමේ වටිනාකම වැඩි කරන්න තියෙන ''වාත අමාරුව'' නැති කරගන්න රත්න ශ්‍රී සර්ට කවදාවත් බැරි වුණා.
ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
“අද මං හොඳට ම බිසී...” කියන වචන කීපය කියලා එන්න නොදී නොඉඳ, වටේ පිටේ ඉන්න සාමාන්‍ය හිතවත්තු ගෙදරට ආවා ම අතින් ම තේ එකක් හදල දීල උන් එක්ක පැය ගණන් කතා කොර කොර ඉන්න වෙලාව තියෙන “දණහිස් අමාරුවට” රත්න ශ්‍රී සර්ට බේත් නෑ.
ඒ නිසා රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
රට ම දන්න පත්තරේක ආධුනික විශේෂාංග රචකයෙක් ගෙදරට ඇවිත් “ඔබේ තුරුණු කාලෙ ප්‍රේමයේ අත්දැකීම් කොහොමද...?” “ඔයා පාසල් යන කාලෙ ප්‍රේම කළාද...?” “ඔයා කන්න ආස පළතුර මොකක්ද...?” වගේ සමනල ප්‍රශ්න අහද්දි කුණුහරුපෙන් බැණල පන්නන්න බැරි තරමේ “අනතිමානි කැක්කුම” කියල අසනීපෙ තියෙනවට.
රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
සමකාලීන ගීතය ගැන පත්තරේ සම්මුඛ සාකච්ඡාවට ආපු “ලේඛකයා” නම් තරුණ මහතා, “මේ ඉන්නෙ ඔබතුමාගේ ඥාතියෙක් ද...?” කියල රත්න ශ්‍රී සර්ගෙ කාමරේ දශක ගාණක් තිස්සෙ තියෙන ෆොටෝ එකක් පෙන්නල ඇහුව ම, ඌට “බැහැපිය එළියට... තව රටේ ලෝකෙ දේවල් දැනගෙන වර...” කියල එළවගන්න බැරි “මන්දපෝෂණය”ක් තියෙන නිසා...
රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
(අර කිව්ව ෆොටෝ එකේ ඉන්නෙ මහා ගායක කපුගේ. ඒ ෆොටෝ එක ලංකාවෙ නොදැකපු කෙනෙක් නෑ)
ඈක් බැරි ගායෙන් පොතක් ලියල... ඒක දොරට වඩිනවා කියන උත්සවයට ආරාධනා කළා ම, “එදාට මම කොළඹ ඉන්නෙ...ලොකු වැඩක....” කියල මගාරින්නෙ නැතුව කොහොම හරි එතනට ගිහින් සමහර පණ්ඩිතයන්ගෙ පුරසාරං අහන් ඉඳල අර පොත ලිව්ව එකාට නිවැරදි ව ඉදිරියට යන මග කියාදෙන “බඩේ කැක්කුම” හොඳ කරගන්න කිසිම බෙහෙතක් ගන්නෙ නැති එකට...

රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
පළවෙනි පොත ගහන්න සල්ලි නැතුව ඇඹරි ඇඹරි ඉන්න සමහරුන් ගැන මතු අපේක්ෂාවෙන් මුද්‍රණ ආයතනවලට කතා කරල, විශ්වාසෙ හදල පොත ගහන්න ඕන උදව් ඔක්කොම කළාට පස්සෙ උන් ගුණමකුවො වෙලත් උන්ගැන අනුකම්පාවෙන් ඉවසන “ගැස්ට්‍රයිටිස්” රෝගයට බේත් ගන්නෙ නැතුව ඉන්න එකට ඔහොම වෙලා මදි...
රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
සමහර ගේය පද රචකයො පැය ගණන් කතා කරන ගීත සාහිත්‍යයෙ දි රත්න ශ්‍රී කියන නම නොකියන්න හොඳට සැලසුම් කරද්දිත් ඒ රචකයාගෙ ගී තමන් කරන ගීත ඇගයීම්වල දි යොදාගන්නා තරමට “ආතරයිටිස්” තියෙන එකට ආයුර්වේද ප්‍රතිකාර නොගෙන තාම ලෙඩේ එක්ක ඉන්න නිසා...
රත්න ශ්‍රී සර්ට හොඳ වැඩේ....!!
මේ වගේ දහසකුත් හේතු සහ “රෝග“ සර්ට තියෙන නිසාත්, ඒවා මේ ජීවන සංසාරෙදි හොඳ කරන්න බැරි නිසාත්, කරන්න දෙයක් නෑ සර්...
ඉවසන්න ම වෙනවා...
උපුටා ගත්තේ Pushpananda Ekanayaka ගේ Face book පිටුවෙන්; ඔහු ද මෙය උපුටා ගත් සටහනක් බව සඳහන් කර තිබිණි

