Language Switcher

V2025

රැඳවුම් නියෝග ඉවත් කළ හොත් ප්‍රංශය තුළ දෙවැනි කොරෝනා රැල්ළ ඇති විය හැකියි.....

දැනට පවත්වාගෙන යන රැඳවුම් නියෝග ඉවත් කිරීමෙන් පසු ප්‍රංශය තුළ කිරීටක වෛරස් වසංගතයේ දෙවන රැල්ළෙන් බේරිය හැකි ද ? යන වැදගත් ප්‍රශ්නය පිලිබඳව මේ වන විට දැඩි කතා බහකට ලක් වෙමින් තිබේ.

චීනය , ජපානය සහ සිංගප්පූරුව යන රටවල කෝවිඩ් - 19 යළි නැගිටීම පිළිබඳව ලොව පුරා සිටින වෛරස් විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති තත්ත්වයක් තුළ , ජනතාවට පනවා ඇති රැඳවුම් නියෝගය ඉවත් කිරීම සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාත්මක ප්‍රජාව අතර විශාල ගැටළුවක් පැන නැඟී තිබේ.

ප්‍රංශය තුළ කොරෝනා වෛරසය ආසාදනය වන හා එයින් රෝහල්ගතවන පිරිසේ අඩුවීමක් පෙන්නුම් කළ ද, දැඩි සෞඛ්‍ය අවශ්‍යතා මත පදනම් වූ සම්බන්ධීකරණයක් හා උපාය මාර්ගයකින් තොරව රැඳවුම් නියෝග ඉවත් කිරීම මගින් වසංගතයේ නැවත ආරම්භවීමක් සිදුවන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

රැඳවුම් නියෝග ඉවත් කළ පසු වීථියේ හමුවන සෑම කෙනෙකුම සිප ගනිමින් හා සුබ පතමින් එක්තරා ආකාරයක ජයග්‍රාහී සාදයක යෙදෙනු ඇති බවත්, එය නරකම අවස්ථාව වනු ඇති බවටත්, නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ දාවිද් ලල්ලො ( David Lalloo ) අනතුරු අඟවා තිබෙනවා.

නරකම ආරංචිය නම් එන්නතකින් පමණක් කොරෝනා වෛරසය නැවැත්විය හැකි බවට ප්‍රවීනයන් විශ්වාස කිරීම යැයි පවසන දාවිද්, එවැනි එන්නතක් මේ වනවිටවත් නිපදවා වෙළඳපොලේ තබා නොමැති බව පෙන්වා දෙනවා.

එන්නතක් නිපදවීමට වසරක් පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද, කිරීටක වෛරසයට එරෙහිව එන්නතක් නොමැති විට ප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිදේහ නිපදවා ගැනීමට සිදුවනු ඇතැයි ද දාවිද් තව දුරටත් පවසනවා.

ස්වභාවික ප්‍රතිදේහ නිපදවා ගැනීමෙන් රෝගය පැතිරීම නවතිනු ඇතත්, ඒ වන විට ප්‍රංශ ජාතිකයන්ගෙන් 60% කට වඩා වැඩි පිරිසක් කොරෝනා වෛරස් රෝගයට නැවත නිරාවර්ණය වනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.

මේ අතර ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලය පවසා ඇත්තේ, ඔවුන් විසින් පසුගිය අප්‍රේල් 07 වැනිදා කරන ලද සලකා බැලීමක දී, ප්‍රංශ ජාතිකයන්ගෙන් 10% ත් 15% ත් අතර ප්‍රමානයකට කිරීටක වෛරසයට ප්‍රතිරෝධයක් දැක්විය හැකි බවයි.

කෙසේ වෙතත් ගිම්හානය පැමිණීමෙන් මෙම රෝගයෙන් මිදිය නො හැකි බවත් , ඊට හේතුව වන්නේ මෙම කොරෝනා වෛරසය තාපයට හොඳින් ඔරොත්තු දෙන නිසා බවත් වෛරස් විද්‍යඥයන්ගේ මතයයි.

මතු වීමට නියමිත කොරෝනා වෛරස් දෙවැනි රැල්ළෙන් ආරක්ෂා වීමට නම් , රජය සහ රජයට උපදෙස් දෙන ප්‍රවීනයන් නව නිපැයුම් කළ යුතු බවත්, මෙම වෛරසය තරංඟ වලින් විකේතනය කළ යුතු ද? ඉදිරි සති, මාස වලදී රඳවා තැබීම් ගැන සිතිය යුතු ද? රෝග වාහකයන් හා තව දුරටත් හුදකලා කළ යුතු අය හඳුනා ගැනීම සඳහා දැවැන්ත පරීකෂණයක් කළ යුතු ද ? යන ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවිය යුතු බව විද්‍යාත්මක ප්‍රජාවගේ අදහස වී තීබෙනවා.

මේ අතර, මැයි මාසයේ දී හිම්හානයේදී , කෝවිඩ් -19 නැවත පණ ගැන්වීමට ඉඩ ඇති බැවින් , එම දෙවන කම්පනය වලක්වා ගැනීම සඳහා සෑම දෙයක්ම කළ යුතු බවත්, නිවෙස් වල රඳවා තැබීමේ ක්‍රියාවලියට ගරු කිරීමට ප්‍රංශ ජාතිකයන් දිරිමත් කළ යුතු බවත්, පැරිස් රෝහල් සමූහයේ මහජන සහාය අධ්‍යක්ෂ ජනරාල් මතැන් ඊර්ෂ් ( Martin Hirsch ) පවසනවා.

ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ (18) සවස ඉදිරිපත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 18 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදනයෙන් ප්‍රංශය තුළ මිය ගොස් ඇති ගණන 642 ක් බව අනාවරණය කළා.

ඊයේ වන විට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන් 1, 73, 956 ක් සිටි අතර, ඒ වන විට ප්‍රංශය තුළ මිය ගොස් තිබූ සමස්ත පුද්ගලයන් ප්‍රමාණය 19, 323 කි.

රෝහල්ගතව 30, 639 ක් සිටි අතර, දැඩි සත්කාර ඒකක වල සිටි ප්‍රමාණය 5, 833 කි.

රෝහල්ගතව සිට සුව වී පිටවී ගොස් ඇති ප්‍රමාණය ලෙස සටහන් වී තිබුණේ 35, 983 කි.

( සුනිල් ගමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන් )