විනෝදාස්වාද

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් දිවි ගමනට සමුදෙයි..
ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය නළුවෙකු වූ සම්පත් තෙන්නකෝන් අද(03) අලුයම අභාවප්‍රාප්ත විය .
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61 කි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන් කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය .
වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට අධිකය
මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.

පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට !
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණි.
දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව කඩුලු 4කට ලකුණු191ක් රැස් කර තිබියදී ඉනිම අත්හිටවනු ලැබු, අතර පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනය කෙරිණ.
ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු348 ක් වූ නමුත් තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද (25) සියල්ලන් දැවී කොදෙව් කන්ඩායමට රැස්කරගැනීමට හැකි වුනේ ලකුණු 160ක් පමණි.

සුපිරී ක්‍රීඩිකා චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී : සිම්බාබ්වේ ගිය 7 කට කොරෝනා !
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඇය මේ බව ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.
පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.
සිම්බාබ්වේ ගිය 7කට කොරෝනා ?
මේ අතර සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.
සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.
මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

රංචාගොඩ ළමයා නොඑන්නම යයි !
ඇත්ත පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අද (19) අභාවප්‍රාප්ත විය. 1924 අගෝස්තු 27 වැනිදා උපන් සිරිලාල් කොඩිකාර මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ පිටිහුම විද්‍යාලයෙනි.
කුඩා කලම මවු සෙනෙහස අහිමිවූ කුඩා සිරිලාල්ගේ භාෂා ඥානය වැඩි දියුණු වුණේ , පන්සල ඇසුරෙන් ලද අධ්‍යාපනයෙනි.
1947 වසරේ ප්‍රාචීන විභාගයට පෙනී සිටි සිරිලාල් කොඩිකාර තරුණයා මාධ්‍ය ලෝකයට අවතීර්ණ වූයේ, කොළඹ මාලිගාකන්දේ පොත් හලක රැකියාවක නිරත වී සිටින අතරයි.
ඒ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ කාව්‍යාලෝකය සඟරාවට ලියූ කවි පෙළකිනි.
මේ 1948 වසරේදී ‘සිංහල ජාතිය’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස ජීවිතය ඇරඹූ සිරිලාල් කොඩිකාර පසුව ‘දවස’ උපකතුවරයෙකු ලෙස සේවයට බැඳුණි.
ඔහු කලා විචාරකයෙකු ලෙස නවක නාට්‍යකරුවන්ට හා අංකුර ලේඛකයින්ට අත හිත දුන්නේ, ‘විසිතුර’ සිනමා පුවත්පත සතිපතා පළ කළ විචාර තුළින් ය.
ඔහු ඇත්ත පුවත්පතට සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවයි.
එහි කවි පිටුවේ සිට කතු වැකිය දක්වා සිරිලාල් කොඩිකාරයන්ගේ මතවාදයට ඉඩ වෙන්වූයේ, රටේ පොදු ජනතාවගේ හඬට තැනක් දෙමිනි.
එළිසමයෙන් බැහැර වූ සම්ප්‍රදායක යමින් රංචාගොඩ ළමයා කවි හරහා ජනතාවගේ ගැටලු ඉදිරිපත් කළ රිද්මය රටේ පොදු ජනයා අතර ප්‍රසාදයට පත් විය.
මේ කවි පාඨකයින් අතර ජනප්‍රිය වූවා සේම ඇතැම් අවස්ථාවල රජයට, රජයේ මැති ඇමැතිවරුන්ට රිදුණි.
එහෙත් සිරිලාල් කොඩිකාරයන් රංචාගොඩ ළමයා නමින් ලිවීම- නතර නොකළේ ය.
ඔහු ජීවිතයෙන් සමුගන්නා තෙක්ම එම කාර්ය ඉටු කළේ ය.
සිරිලාල් කොඩිකාරගේ ගද්‍ය හා පද්‍ය කෘති 18 කි.
නිර්මාණ ප්‍රතිනිර්මාණ, දෙමටගොඩ ජෝන් මාමා, කියමි සිහිකර, මහල්ලාගේ හෑල්ල, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය ළඟ නම් වූ ස්ථානය, විශ්වය තුළ විශ්ව, දිය වැලක් ඔස්සේ, මා දුටු කෝසල සිහින, රංචාගොඩ ළමයා, මහාවංශ විමංශන, නයිල් ගඟේ කෙස් ගහ, අප්‍රිකානු ජනකතා ඔහුගේ ගද්‍ය කෘතීන් අතර වේ.
නොරටුන්ගේ අන්ත:පුරය, මානසවිල සහ කණේරු මල ලෙසින් ලියූ කවි, නොනෙළු මල, පද්‍ය කෘතීන් අතරට අයත් ය.
පුවත්පත් කලාවේ හිතුවක්කාරයෙකු වූ කොඩිකාර මහතා ජාතික ඇඳුමෙන් සැරසුණු චාම්, සරල ජීවිතයක් ගත කළ අයෙකි.
ඔහුගේ බිරිඳ අනුලා වීරසූරිය සිරිලාල්ට හමුවෙන්නේත් කවි සංවාදයකින් වන අතර ඔහු සුළඟ ලෙසත් ඇය සුවඳ ලෙසත් ඇරඹූ ඒ සංවාදය අවසන් වූයේ, දෙදෙනා ජීවන ගමනේ සහකරුවන් වීමෙනි.
මිය යනවිට 97 වැනි වියේ පසුවූ සිරිලාල් කොඩිකාර මහතා දරුවන් තුන්දෙනෙකුගේ පියෙකි.
හෙට පෙරවරු 8.30 සිට ඒ මහතාගේ දේහය ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර හෙට පස්වරු 05/30ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.
- news 1st
Page 27 of 38