V2025

විනෝදාස්වාද

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය 'බෙයා ෆුට්' කණ්ඩායමට !

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ඉදි කර තිබූ 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදශනය භූමිය තුළ මෙම තරගය පැවැත්විණි. 

අවසන් තරගය පැවැත්වුණේ යාපනය දිස්ත්‍රික් ශූරතාවය දිනූ යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ශූරතාවය දිනූ මොනරාගල මහානාම ජාතික පාසල අතරය. තරග වට 5 කින් සමන්විත අවසන් තරගය 3:1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත්විය.

ජයග්‍රාහී කණ්ඩායම තරග කළේ ක්‍රීඩා සපත්තු නොපැළැඳ හෙවත් බෙයා ෆුට් ලෙස වීම විශේෂත්වයකි.

පළමු වටය මොනරාගල මහානාම ජාතික පාසල් කණ්ඩායම 25:22 ක් ලෙස ජයග්‍රහණය කළ නමුත්, ඉන් පසු පැවැති තරග වට තුනම 25:23, 25:21 සහ 25:20 වශයෙන් ජය ගෙන අවසන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම මේ අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතින් සිදු විය. "ජාතික සංහිඳියාව ගොඩ නැඟීමට ක්‍රීඩාව පාලමක් බවත්, රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ඒ සඳහා යොදා ගැනීම අගය කළ යුතු බවත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන මෙන්ම  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය  සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්. පී. එම්. බී. අතපත්තු  ඇතුළු  නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

View the embedded image gallery online at:
http://newstube.lk/entertainment?start=16#sigProId0917bd9572

Comment (0) Hits: 117

නවතම පාපන්දු වර්ගීකරණය :ප්‍රංශය 1, ලංකාව 200 !

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේම පසුවෙයි.

අද (16දා) යාවත්කාලීන කර ඇති මෙම  සටහනට අනුව ප්‍රංශය ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

මෙවර පාපන්දු ලෝක කුසාලානය දිගත්තේදෙ ප්‍රංශ කණ්ඩායම වන අතර මෙතෙක්  අංක එකේ කණ්ඩායම ලෙස ස්ථානගතව සිටි  ජර්මනිය ස්ථාන 14ක් පසුපසට පිවිස 15 වැනි ස්ථානයට පත්ව ඇත

එසේම බ්‍රසීලය ස්ථානයකින් පසුබැස 3 වන  ස්ථානයට පත්ව ඇති අතර බෙල්ජියම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. තවද  ස්ථාන 16ක් ඉදිරියට පැමිණි ක්‍රොඒෂියාව සටහනේ 4 වන  ස්ථානයට පත්ව ඇත.

උරුගුවේ ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 5 වැනි ස්ථානයට පත්ව ඇති අතර පෘතුගාලය ස්ථාන තුනක් පසුපසට පැමිණ 7 වැනි ස්ථානයට පත්ව ඇත. ආජන්ටිනාව ස්ථාන 6ක් පසුපසට පිවිස ඇති අතර ඔවුන් 11 වැනි ස්ථානයට පත්ව ඇත.

Comment (0) Hits: 210

චිත්‍ර කතාවක් නොවුනාට ජීවිතේ : නැද්ද සැරිසරා ඒ සොඳුරු හීනයේ 

 චිත්‍ර කතා ශෛලියෙන්  යුගයක් පිනැවූ 'බලංගොඩ සරත්මධු' ඊයේ  (17) අභාවප්‍රාප්ත වී ඇති අතර  මිය යන විට ඔහු  69 වැනි වියේ පසු වී ඇත.

'නිව්රෝ' වීරකතාවෙන් මෙන්ම  'දේදුනු කැලුම්' , 'ඉතිං ඊට පස්සේ'  ඇතුළු චිත්‍ර කතා රැසකින් ඉමහත්  ජනාදරයට පාත්‍රවූ  ඔහු  ජනතාව අතර බලංගොඩ සරත්මධු නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටියත් ඔහුගේ සත්‍ය නම දොරවල මද්දලාගේ සරත් බැද්දගේ විය. වෘත්තියෙන් විද්‍යා ගුරුවරයෙකු වූ නිසාම ඔහු කෙතරම් ජනප්‍රිය වුවත් තම නමින් පමණක් නොව  ජායාරූප සඳහාද පෙනී සිට නැත.

ඒ රහක් ඇති මිනිසාගේ මිනිසාගේ දේහය අංක 154/8, නාමල් උයන, නාවින්න පරණ පාර, මහරගම දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා (20) පස්වරු 3.00ට නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව දැනගන්නට ඇත. 

පහත දැක්වෙන්නේ සුමිත් චාමින්ද සහෝදරයා විසින් සරත් මධු සම්බන්ධව තැබූ කාව්‍ය සංකල්පනාවකි.

සරත් මධු ට..,

චිත්‍ර කතාවක් නොවුනාට ජීවිතේ 

නැද්ද සැරිසරා ඒ සොඳුරු හීනයේ සද්ද නොකර නුඹ නොකියාම ගිය වෙලේ සත්තමයි කඳුළු මේ බලන් ඇස් දෙකේ!

හිතින් පෙම් කරපු කාලයක් වෙන්නැතී හැඟුම් තවම වියලී මැකී ගියෙ නැතී අඳීවිද නැතිව ආදරේ ඔය හැටි සිඹින්නට හිතෙයි ඒ බොකුටු කෙස් වැටි

නෙතින් ඉනූ සිතුවම් කැළුම් විහිඳුනී අපිත් ඉපදුනේ ඒ සිතුවමිනි සකී යළිත් දකීවිද දේදුණු පැහැති නදී ''ඉතිං ඊට පස්සේ'' ඈත රටකදී

-සුමිත් චාමින්ද 17/08/2018

Comment (0) Hits: 219

දයා නෙත්තසිංහ 'සැකකාරයා' ගැන කැටිපෙගේ සාක්ෂිය !

2018 අගෝස්තු 07 මාතරදී ය.

සභාවෙන් අවසරයි. දයාගෙන් අවසරයි. මා මෙතැනට පැමිණියේ කතාවක් කිරීමටයි. හරියටම කියනවානම්, කතාවක් කීමටයි.

මගේ කතාව මම ලියාගෙන ආවෙ. මොකද, අපේ ගුරුවරු අපට කියල දීල තියෙනව මාතෘකාවට අදාළව කතාකරන්න කියල. ලියාගෙන ඇවිල්ලත් මාතෘකාවෙන් පිට යනව නම්, ඒක ඔබේ ප්‍රශ්නයක් නෙවේ මගේ ප්‍රශ්නයක්. දයාගේ කවිපොත් ගැන කතාකරන්න ඇවිත් අශෝක හඳගම ලියපු `මම දෝංකාරයයි` සිංදුව ගැන කතාකරල ගියොත් ඒක හරි නැහැ.

අද මෙතැන, මේ කතාවෙදි, දයා ලියපු කවි ගැන කතාකරන්න ඕනේ. කවි ලියන දයා ගැන කතාකරන්නත් ඕනේ. මම කැමැතියි, මුළින් කවි ගැන කතාකරල, ඊට පස්සෙ දයා ගැන කතාකරන්න. ඇත්තටම කියනවානම්, දයා මට පැවරුවේ සැකකාරයා ගැන කතාකරන්න. දයා නෙත්තසිංහ කියන්නෙත් නිල සහ නිල නොවන සැකකාරයෙක්. ස්ථාපිතය සැක කරන අපේ කාලයේ සැකකාරයෙක්. මට සාක්ෂිය ගොඩනගන්න අවසර දෙන්න.

දයාගේ පොතේ පිදුමෙන්ම දයා මේ කවි ලියන්නට පෙළඹවූ හේතු සහ ඉලක්ක පැහැදිලි වෙනවා. පිදුම : දුර්දාන්ත පාලනයට එරෙහිව කවදා නමුත් අරගල කරන මිනිසුන්ට. ඊළඟ පිටුවේ තිබෙනවා හමුවීම කියා සටහනක්. ඒ සටහනේ දයා පැහැදිලිව කියනවා අද ඉන්න උන්නැහේලාටත් තොප්පිය හරිනම් දාගන්න කියල. දයාගෙ කවි වලින් නිමැවෙන තොප්පිවලට තාමත් හොඳ වෙළඳපොළක් තියෙනව කියල මමත් පිළිගන්නවා. ගැනුම්කරුවෝ ඕන තරම්.

දයා කියන්නෙ අපේ කාලයේ හටන් කවි ලිව්ව මිනිහෙක්. මිනිහගෙ හටන්කාර කම තමයි මේ සැකකරයාගේ කෙටුන්පතේ කොහෙන් බැලුවත් පේන්නේ. මම කැමතියි එයින් එකක් දෙකක් උපුටා දක්වන්න. දොළොස්වෙනි පිටුව. ලස්ස පැටියා. යස්ස පැටියා නෙවේ ලස්ස පැටියා. මූ ලස්ස පැටියා වෙන්නෙ ඉපදෙනකොටම ලස්සයක් හම්බවෙන නිසා.මේ ලස්ස පැටියා කවිය දයා නෙත්තසිංහ කියන හටන්කාරයයි කවියයි මුණගැහෙන ලස්සන තැනක්. මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා වගේ ජනකවි ආර අතට අරං, දරුවා කාටද අයිති කියල විනිශ්චය කරපු හුණුවටයේ අසඩක්ටත් අඬගහගෙන දයා පාන වික්‍රමය බලන් ඉන්න ලස්සනයි. මම ඒක කියවන්නම්.

දහතුන්වෙනි පිටුවෙ කවියෙ මාතෘකාව `ණය වී` මමනං කියන්නෙ ඒ මාතෘකාවම කවියක්. කියන්න ඕන ඔක්කොම එතන තියෙනවා. ඒ කවි පෙළෙන් කවියක් දෙකක් කියන්නම්. දාගන්නවනම් තොප්පි ගොඩයි.

ඊළඟට මම කැමතියි පහළොවට ගිහින් එන්න. `දිවි නැගුම` හෙවත් වවාගෙන කෑම කියන කවිපෙළෙන් කවියක් මම උඩට ගන්නම්.

අල්ලපු රටේ කොටි කඳවුරු තුනක් පෙනී
ගම්පොල මාමා දඟලයි අමුඩයත් පෙඟී
හදිසි නීතියට නැතිකොට පොටක් හැඟී
වවාගෙන කන්න කොටි මයිලකුත් ගමී

රාජ්‍ය බලය නැතුවත්, තවමත් සමහරු දේශපාලනය වවාගෙන කන්නෙ කොටි මයිල් වලින්. කොටි නැගිටිනවෝ කිව්වම දකුණ කුලප්පු වෙනවා. අම්මට හුඩු පර දෙමෙල්ලු කියාගෙන හීනෙන් බයවෙලා වගේ ඇහැරෙනවා. ඒ අව් අස්සෙ තව කවුරුහරි කියනව ඔන්න බොල ඒ පාර හම්බයො නැගිටිනව කියල. ඊට පස්සෙ පුෂ් බයිසිකල්වල හරි ස්කූටිවල හරි නැගල යනවා මුස්ලිම් කඩ ගිනිතියල ජාතිය බේරගන්න. එක එකා වෙන වෙනම නැගිටින්න හදනවා එකිනෙකාට විරුද්ධව. ඔක්කොම එකතුවෙලා නැගිටිමු කියන එකා සැකකාරයා බවට පත්වෙනවා. මේ කෙටුන්පත එහෙව් සැකකාරයෙක්ගේ කෙටුන්පතක් බව මම ඔබට ස්ථිරව කියනවා.

තිස් දෙකපිටුව පොඩ්ඩක් බලන්න. දයා නෙත්තසිංහ කියන උපහාස කතා කාරයා ඔබට එහි ඇති අවසාන කවියෙන් මුණගැහෙනවා. මේ කවියේ නිමිති දෙකක් තියෙනවා. අලි හොරකමක් සහ අලි පූජාවක්. දයා කියනව, "අධෝ මුකෙන් ලාවට හසරැළි නැගුනී" කියල. ඒ තමයි දයා.

මේ කවි පොතේ හතර පද හටන්කවිවලට අමතරව නිසඳැස් කවිත් තියෙනවා. ඒත් ඒවා වෙන තැනක ස්ථානගත වෙලා සැකකාරයාගේ කෙටුන්පතේ හතරපද හටන්කවි විතරක් තිබ්බනං, මම පෞද්ගලිකව කැමතියි. එහෙම වුනා නං, මේ ඊතල පොකුර මීට වඩා තියුණු ලෙස අදාළ ඉලක්කවලට ළඟා වේවි කියල මට හිතෙනවා. සමහර කවි තව සංස්කරණය වුනා නම් හෝ ඇතැම් ඒවා ඉවත් වුනා නම් හොඳයි කියල නොහිතුනාම නෙවෙයි. ඒ මගේ පෞද්ගලික අදහස.
කෙසේ වෙතත් දයා නෙත්තසිංහ තම පත්තරකාර ජීවිතයේ නිශ්චිත සලකුණක්, මේ කවි, පොතකට සංග්‍රහ කිරීම හරහා සිද්ද කරනවා. දයා හරිම අහිංසක ෆේස්බුක් කැම්පේන් එකක් මේ පොත් එළිදැක්වීම වෙනුවෙන් කෙරුවා. උගේම කවිපද දෙකකින් කියන්වනම්, ඌ, අල්ලට පෑන මිස ආයුධ නොගත් එකා - පත්තර කරති තර්ජන කුණු බැනුම් කකා.

දයා ලිව්ව කවි ගැන කතාකරා ඇති. දැන් මම කවි ලිව්ව දයා ගැන කියන්නම්.

මීට අවුරුදු ගානකට කළින් දයා මට පැවරුවා වැඩක්, දයා ලංකා පත්තරේට ලියන කවි පෙළකට, ඒ කවි පෙළෙහි මූලික නම සහිත ලෝගෝව ඇඳලා දෙන්න කියල. `සැකකාරයා` කියන අකුරු පහ මම මට පුළුවන් විදිහට ඇන්දා. ඒ අකුරු පහ ඒ විදිහටම පොතක පිටකවරයකට එනකොට, ඒ පොත එළිදක්වන දා ඒ ගැන කතාකරන්නට මට අවස්ථාව දෙනකොට, ඒකෙ පොඩි ආතල් එකක් නැත්තෙ නෑ.

ඉතින් කොහොමහරි, මගෙත් දයාගෙත් සම්බන්ධයට දැන් සෑහෙන කාලයක් වෙනවා. ඔව් අවුරුදු හතක් අටක් විතර වෙනවා. දහයකට කිට්ටුයි. සම්බන්ධයක් කිව්වම නිකන් ඒක ප්‍රේම සම්බන්ධයක් වගේ. ඇත්ත තමයි. කල්පනා කරලා බැලුවම, ඒක ප්‍රේම සම්බන්ධයක්. දමයන්ති කලබල වෙන්න එපා. දයාත් මාත් අතර තියෙන්නේ දේශපාලන ප්‍රේම සම්බන්ධයක්.

දමයන්ති එහෙම කලබල නොවෙන බව අපි දන්නවා. දමයන්තිගෙයි දයාගෙයි ප්‍රේම සම්බන්ධයෙ අතීත කතා මම දන්නෙ නැහැ. ඉස්කෝලෙ යනකාලෙ ඉඳන්ම ලව් කරානං, දෙන්නගෙම නම් ඩී අකුරෙන් පටන් ගන්න නිසා, ඩී ඩී කියල පුවක් ගස්වල එහෙම කොටන්න ඇති. ඒත් ඕවා හැමෝටම කරන්න බැහැ. අපේ තිබ්බ සම්බන්ධකම්වල හැටියට නම් කොටන්න ගියා නම්, ලංකාවෙ ගස් මදිවෙනවා. දයා අපි තරම් නරක නැහැ. නැත්තන් එහෙම පේන්නෙ නැහැ.

කොහොමවුනත්, දයාගෙයි දමයන්තිගෙයි කතාව නල දමයන්ති කතාව නොවන බව නම් ස්ථිරයි. මොකද, දයා පත්තරකාරයෙක් මිසක් නල කුමාරයා නෙවෙයි. හැබැයි, දයාලා කියන්නෙ කුමාරවරුන්ගෙන් පණ නල පරෙස්සම් කරගත්ත මිනිස්සු. ඒ කාලෙ දමයන්තිලාට සිද්දවුනේ ළමයි වඩාගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න.

අපි මේ කතාකරන්නෙ අගෝස්තු මාසෙක. දයා ලිව්ව මේ පොත්, උදාවෙන සැප්තැම්බරයේ පොත් පෙම්බරයන් දෝතට ගනීවි. හැබැයි මතක තියාගන්න. සමහර සැප්තැම්බර තිබුනා, සාහිත්‍ය පොත් එක්ක නැතුව පොලිස් පොත් එක්ක ගනුදෙනු කරපු. ඒ යුගයේ කොන්දක් තිබ්බ සියලු පත්තරකාරයො සැකකාරයො.

2009 කියන්නෙත් එහෙම අවුරුද්දක්. එතකොට දයා වැඩකරේ ලංකා පත්තරේ. මගනැගුම ව්‍යාපෘතියේ සම්පත් යොදාගෙන එවකට පාලක පවුලට සම්බන්ධ උදවිය කරගෙන ගිය පවතින නීතියට විරුද්ධ ඉදිකිරීමක් ගැන හොයන්න ලංකා පත්තරෙන්, පත්තරකාරයො තුන්දෙනෙක් ගියා. දයා නෙත්තසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ ශාලික විමලසේන.

මේ ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙයුම කරන්න තිබ්බේ මකරාක්ෂයගෙ උල් දත් අතරට ගිහින්. ඒව ලේසි පාසු ගමන් නෙවෙයි, ආපහු ගෙදර එනවද නැද්ද කියල දන්නෙ නැතුව ගිය ගමන්. අවදානම දැනගෙන අවධානය සහිතව ගිය ගමන්. අවිනිශ්චිතභාවය මැනගෙන ගිය ගමන්. මරණය සාක්කුවෙ දාගෙන ගිය ගමන්.
ඒ ගිය ගමනෙ එක මොහොතකදී, දයාලව කුදලගෙන එනවා, දෙණියාය පොලීසියට. නීතිය කඩපු උන් වෙනුවට, ``අන්න අරුන් හදපු නීතිය උන්ම කඩනවා`` කියල පෙන්නපු උන් සැකකාරයෝ බවට පත්වෙනවා. දයාලා පොලිස් කූඩුවෙ ඉන්නකොට, දයාව බලන්න දෙණියාය පොලීසියට දමයන්ති එනවා. දමයන්ති එන්නෙ දරුවත් වඩාගෙන.

දමයන්ති දයාට අමතන්නෙ `ලොකූ` කියල. සිරුරෙන් පොඩි වුනාට දයා ලොකු මිනිහෙක් කියල දමයන්ති දන්නව. දෙනියාය පොලීසියේ නිලධාරීන් තක්කු මුක්කු වෙලා බලන් ඉද්දි දමයන්ති මෙහෙම කියනවා. ``ලොකු.. ඔයා ඔය වැඩේ නොකරනම් මේ අයියලත් එක්ක මම ඕක කරනවා.`` ඒ තමයි දයාගේ දමයන්ති. මම කැමැතියි ඒ විශිෂ්ට ගැහැණිය වෙනුවෙන් අත්පොළසන් ආචාරයක් පිරිනමන්න. ඔබත් කැමති නම් මට උදව් වෙන්න.

දැන් අපි නැවතත් අර දේශපාලන ප්‍රේම කතාවට එමු. දයාගෙත් මගෙත් දේශපාලන ප්‍රේම කතාව, සමරු පොත් භාෂාවෙන් කියනවානම්, රෝසමල් යහනාවක් නෙවෙයි. ඒවා ඇතුලෙ වාද විවාද සංවාද විසංවාද ඕන තරම් තිබ්බ. එක කාලෙක, දයයි මායි එක පක්ෂේ. එක පත්තරේ. ඊට පස්සෙ කාලෙක, අපි පත්තර දෙකක. පක්ෂ දෙකක.

දයා ලංකා පත්තරේ. ජනතා විමුක්ති පෙරමුණේ. මම ජනරළ පත්තරේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂේ. පක්ෂ පක්ෂ රණ්ඩු වෙනකොට සෙල්ලම් නැහැ. මෙතැන ඉන්න ගොඩක් අය ඒ ගැන දන්නවා. ද්‍රෝහියා කියල ලේබලේ වැදුනොත් වැදුනම තමයි. හැමෝම හිතන්නෙ අපි තමයි සැබෑ වම කියල. පක්ෂ පක්ෂ රණ්ඩු වෙනකොට පත්තර පත්තරත් රණ්ඩු වෙනවා.

එක පත්තරයක් තමන්ගෙ පත්තර මිටිය කඩවල්වලට දාගෙන යනකොට අනෙක් පත්තරේ පත්තර මිටිය ගල් කරගෙන ගිය හැටි අපි පස්සෙ කාලෙක ගල් අරක්කු බිබී කතාකරද්දී දැනගත්තෙ. අද අපි මේ කතාකරන තැන සිනමා ශාලාවක්. නම ස්කයි ලයිට්. ස්කයි ලයිට් සිනමා ශාලාවට ඇවිත් දයා නෙත්තසිංහගේ කවි පොතක් ගැන කතාකරන්න වෙනකොට, මෙතැනත්, මම ඉතින් පුරුද්දට වගේ මේ නම් ගම් අතර ඉරණම් සහගත භාවය හොයනවා.

මෙතන ඉන්න, මම මුහුණුවලින් හඳුනන, ගොඩක් අය, ජීවිතය නමැති සිනමා පටයේදි වාම දේශපාලන ස්කයි ලයිට් එක යට වැඩකරපු, වැඩකරන, තාමත් ඒ ස්කයි ලයිට් එකට පෙම් බඳින මිනිස්සු. මිනිස්සු කියල කියන්නෙ පිරිමි ගැහැණු හැමෝටම. ඒ විදිහට කල්පනා කරලා බැලුවම, දේශපාලන ස්කයි ලයිට් එකත් එක්තරා දිව්‍යමය එළියක්. අපව මෙහෙයවන එළියක්. අප අනුගමනය කරන්නට කැමැති එළියක්. අප නැවෙන්න කැමති විතරක් නෙවෙයි නෑවෙන්න කැමති එළියක්.

නැවෙන්න වගේම නෑවෙන්නත් `ශුද්ධ වූ අයිතියක්` හැමෝටම තියෙනවා. `ශුද්ධ වූ අයිතියක්`. බලන්න. ඒ යෙදුමම වුනත්, අප කොයි තරම් නම් පාවිච්චි කරලා තියෙනවද ? මොන මොන දේවල්වලට පාවිච්චි කරලා තියෙනවද ? `පෝස්ටර් ඇලවීමේ සිට වමේම උන්ගේ ඔලු පැලීම` දක්වා `ශුද්ධ වූ අයිතිය` අපි පාවිච්චි කරලා තියෙනවා. ද්‍රෝහීන්ට දඬුවම් දෙන්න පක්ෂයට ශුද්ධ වූ අයිතියක් තියෙනව කියල අපි හිතුව. පාලකයන්ගේ මර්දනය හමුවේ සැකකාරයන් බවට පත්වූ අපි, අපේම භාවිතාවන් ඇතුළෙ අභ්‍යන්තර හා බාහිර මර්දනයන්ට අත එසවීම සම්බන්ධයෙන් තවමත් නොකැඳවූ නඩුවක් තිබෙනවා.

අපේ දේශපාලන දර්ශනයන් ආගම් බවට පත්කර නොගෙන නිකායන් බවට පත්කර නොගෙන බහුජන සිත් සතන් ආමන්ත්‍රණය කිරීමේ භාෂාවක් හොයන ගමන් සගයෙක් හැටියට දයාව මම හඳුන්වන්න කැමතියි. ඔහු තුළ ඉන්න මනුෂ්‍යයාට මගේ හිතේ ලොකු ගෞරවයක් තිබෙනවා. වසර කීපයක අපේ දේශපාලන විරසකයෙන් පස්සේ, කොළඹ මහජන පුස්තකාලයේදී ආයෙත් මුළින්ම හමුවෙනකොට අපි සුපුරුදු විදිහට වැළඳගත්තෙ ඒ නිසා වෙන්නැති. අපට න්‍යායික ප්‍රශ්න තිබුනට නායක ප්‍රශ්න තිබ්බෙ නැහැ. නායකයන්ටත් එහෙමම හිතෙනවනම් කොච්චර හොඳද ?

ඒතමයි අපේ දේශපාලන ප්‍රේම කතාවේ සංක්ෂිප්තය. දැන් මම මේ කතාව අවසන් කරන්න ලෑස්තියි.

අපේ පරම්පරාවෙ උන් මේ කවිපොත් ගහල පිටකරන්නෙ සාහිත්‍ය ආවේශය ම නෙවෙයි. දේශපාලන වේදනාව. මේ පොතේ හමුවීම කියන සටහනේ, දයා පැහැදිලිව ලියනව, සතුටකටත් වඩා වේදනාවක් ඔහුට තිබේ කියල. අපි මේ ලියන්නෙ සාහිත්‍ය අඹරේ ජය දද නංවන්න නෙවෙයි. ඒ නිසා, නෝනාවරුනි මහත්වරුනි, මේ මිනිස් වේදනාවන්ට හිනාවෙන්න එපා. අපහාස කරන්න එපා. අපිට ලේබල් ඕන නෑ. වාමාංශික උපසම්පදාව ඕන නෑ. වාහන පාරට දාන්න දුම් සහතිකේ ඕනෙ වගේ දැන් දැන් පොතක් පාඨක සමාජයට දාන්න කළින් වම් සහතිකේ දෙන්න සමහරු හදනව. සහෝදරවරුනි, අපි මාධ්‍ය කම්කරුවෝ. අපේ සිහිනය වෙනුවෙන් අපි හිතනවා. අපි ලියනවා. දිගටම හිතනවා. දිගටම ලියනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. අපේ ජීවිතවල වැරදි ඇති. පටලැවිලි ඇති. ඒවා බේරගන්න එක - ඒවා ලෙහාගන්න එක තමයි අපේ ජීවිතේ කැරැල්ල. ඒ ඒ ගස්වලට අධිගෘහිත වෘක්ෂ දේවතාවුන් වහන්සේලා මොනවා කිව්වත් පුංචි මිනිස්සු හැටියට මහ ගස් යටින් හෙටත් අපි ඇවිදගෙන යනවා. කාල සටහන නොදෙන මරණයෙන් පමණක් අපේ සංචාරය නිමා වෙනවා.

සැකකාරයා පිළිබඳ මගේ සාක්ෂිය අදට අවසන්. අද මෙතැනට ඇවිත් හමුවෙන්න අවස්ථාව ලබාදුන්නට ස්තූතියි කොම්රේඩ්.!

Comment (0) Hits: 154

Page 5 of 26