V2025

විනෝදාස්වාද

ගෝලීය වසංගතය අවස්ථාවේ ධනකුවේරයන් ඩොලර් බිලියන 434 ක් උපයලා !

කොරෝනා වසංගතය හේතුවෙන් අමෙරිකා ඒක්සත් ජනපදයේ වසා දැමීම් ක්‍රියාත්මක වුවද ඒරට බිලියනපතියන්ට ඒයින් කිසිදු පාඩුවක් සිදු වී නැති අතර ඒ් වෙනුවට ඩොලර් බිලියන 434කින් ආදායම් ඉහළ ගොස් ඇත.

ඒක්සත් ජනපදයේ දැනට වාසයකරන පොහොසත්ම මිනිසුන් ලෙස සැළකෙන බිලියනපති ව්‍යාපාරිකයයන් 600කගේ ආදායම් මට්ටම ඉහළ ගිය ආකාරය ‘ෆෝබෙස්'(Forbes) සඟරාවෙන් අනාවරණය කර ඇත.

Amazon සමාගමේ ජෙෆ් බෙසෝස්ගේ ආදායම කොරෝනා සමයේ ඩොලර් බිලියන 34.6කින් වැඩි වී ඇත. Facebook සමාගමේ මාක් සකර්බර්ගේ ආදායම ඩොලර් බිලියන 25කින් ඉහළ ගොස් ඇත. මාර්තු 18 ඒක්සත් ජනපදයේ වසාදැමීම ක්‍රියාත්මක වූ අතර මැයි 19 වැනිදා දක්වා මාස දෙකක කාලයකදී මෙම ආදායම් ඉහළයාම වාර්තා විය.

විශේෂයෙන් කොරෝනා වසංගතයේදී අමෙරිකානු වැඩකරන ජනතාවගේ ජීවන තත්වය තර්ජනයට ලක් කරමින් රැකියා අහිමිවීම, වැටුප් කපා හැරීම හා අත්‍යවශ්‍ය සැපයුම් සඳහා හැකියාව නැතිවීමේ තත්වයක් ඇතිව තිබියදී බිලියනපතියන් බවට පත්ව ඇත්තේ අධිතාක්ෂණික මෙවලම් හරහා ව්‍යාපාරික කටයුතුකරන අතළොස්සකගේ බව පෙනී යයි.

ඒක්සත් ජනපද ආර්ථික විශ්ලේෂණ උපුටා දක්වමින් ෆෝබෙස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ පසුගිය මාස දෙක තුළ අමෙරිකානු බිලියනපතියන්ගේ වත්කම්, 15%කින් ඒනම් ඩොලර් ට්‍රිලියන 2.948 සිට 3.382 දක්වා වර්ධනය වූ බවය. ඒහිදී වැඩිම වාසිය ඩොලර් බිලියන 76ක ඉපයීමක් හිමිකරගෙන ඇත්තේ ඒරට ධනවත්ම බිලියනපතියන් පස්දෙනාවන බෙසෝස්, සකර්බර්ග්, වොරන් බෆට් සහ ලැරී ඒලිසන්ය.

PayPal, SpaceX Tesla Motors සහ SolarCity සමාගම් හිමිකරුවකු වන ඒලන් මස්ක් ඒම මාස දෙකේදී වැඩිම ආදායම් වර්ධනයක් හිමිකරගත් තනි පුද්ගලයා විය. ඔහුට හිමි ව්‍යාපාර මගින් 48%ක වත්කම් වර්ධනයක් ලබා දෙමින් ඩොලර් බිලියන 36ක ආදායම් උපදවා ඇත.

මාක් සකර්බර්ග් කොරෝනා සමයේ වත්කම් වර්ධනය කරගත් දෙවැනි බිලියනපතියාය. ඔහුගේ වත්කම් 46%කින් වර්ධනය කරමින් ඩොලර් බිලියන 80ක් උපයන්නට ෆේස්බුක් සමාගම සමත් විය.

ඇමසන් සමාගමේ බේසෝ සතු වත්කම් 31%කින් වර්ධනය වූ අතර ඔහු මාස 2 තුළ ඉපයූ ආදායම ඩොලර් බිලියන 147ක් විය. ඔහුගේ හිටපු බිරියට දික්කසාදයෙන් පසුව ඇමසන් සමාගමේ වත්කම් හිමිවූ අ..ර ඒ් නිසා ඇයටද ඩොලර් බිලියන 48ක ආදායමක් හිමි වී ඇත.

තවත් සමාගම් රාශියක හිමිකාර බිලියනපතියකුවන වොරන් බෆට් සහ ඔරකල් සමාගමේ හිමිකරු ලැරී ඒලිසන් මෙම මාස 2 තුළ අධික ලාභ අත්පත්කරගත් අනෙක් දෙදෙනාය.

(lanka views)

Comment (0) Hits: 472

සිංදු කියන මාධ්‍යවේදියෝ.......

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.

මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ.

එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය හැර ) විශේෂයෙන් බටහිර රටවල, පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ මෙම ක්‍රියාවලියේ දී මාධ්‍යවේදියාට විඳින්නට වන ගැහැටක් නැති තරම්ය.

එහෙත්, දියුණුවෙමින් පවතිනවා යැයි නම් කොට ඇති රටක් ලෙස, ශ්‍රී ලංකාව තුළ නම්, සමාජ යථාර්ථය දැක විග්‍රහ කිරීමට ප්‍රයත්න දරන මාධ්‍යවේදියාගේ ඉරණම ශෝචනීය ය. අතීතයේත් එසේමය. වර්ථමානයේත් කිසිදු වෙනසක් නැත.

ජනමාධ්‍යවේදියා මෙවැනි ඉරණමකට ගොදුරු වන්නේ, ලාංකීය භූමිය තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැඟී නොමැති නිසාය.

එවැනි සංස්කෘතියක් ගොඩ නැගීමට නම්, පාලකයාට වඩා මාධ්‍යවේදීන්ගේ දැනුවත් මැදිහත්වීම අත්‍යාවශ්‍ය ය. ඊට අමතරව පාඨකයා, ප්‍රේක්ෂකයා සහ අසන්නා ලෙස ක්‍රියාත්මක වන සමස්ථ සමාජය ද ඒ සඳහා ශික්ෂණයෙන් යුක්ත වීම අවශ්‍ය ය.

මේ වන විට ලාංකීය සමාජය තුළ පවතින සමාජ යථාර්ථය කුමක් ද? කෙටියෙන් පවසතොත් එය මෙසේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින්, පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේන් ආරම්භ කළ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයේ දිගුව , වඩාත් තීව්‍ර ලෙස දිග හැරෙමින් තිබීම අද දවසේ යථාර්ථය යි.

එක් පසෙකින් ඇමරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු ජනාධිපතිවරණයට නාමයෝජණා භාරදීමේ සිට , ජනාධිපති පදවියට පත්වීම දක්වා වූ ක්‍රියා පිළිවෙත, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා ව්‍යවස්ථා විරෝධී බවට වූ බරපතල ගැටළුවය ය.

තවත් පසෙකින් , ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හළ මාර්තු 02 සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත කාලය තුළ එය රැස්වීමට නො හැකිවීමේන් මතුවන ව්‍යවස්ථා අර්බුදය ය.

ආණ්ඩුව විසින් අය- වැය ලේඛනයක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර නොමැති තත්ත්වයක් තුළ, ව්‍යවස්ථාවට අනුකූලව රජයේ මුදල් පරිහරණය පිළිබඳ මතුවී අැති ගැටළුව පිළිබඳ විවාදය තව පසෙකින් ය.

ව්‍යවස්ථාදායකය නොහොත්, පාර්ලිමේන්තුවක් නොමැතිව , ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ,ජූනි 02 සිට රට තුළ ඇතිවීමට නියමිතව ඇති තත්ත්වය අනෙක් පසින් ය.

මේ සියල්ල අතර, කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාවට, ව්‍යාපාරිකයන්ට , ගොවියන්ට, කම්කරුවන්ට ආදී සෑම සියළු සමාජ ස්ථරක් තුළම සිදු වී ඇති කඩා වැටීම අතිමහත් ය.

මේ අනුව ගත්විට ශ්‍රී ලංකාව තුළ සමාජ , දේශපාලන සහ ආර්ථික යන සියළු අංශ බරපතල වියැවුලකට පත්ව ඇති බව සාමාන්‍ය පුරවැසියෙකුට වුව අවබෝධ කර ගැනීමට අපහසු නැත.

මෙවැනි පරිසරයක් තුළ විපක්ෂයේ කාර්‍යභාරය අති ප්‍රබල විය යුතු වබ නො කිවමනාය. එහෙත් තවමත් එය සැබැවින්ම එසේ නොමැතිවීම කණගාටුදායක ය. ඊට දේශපාලන බෙදීම්, වෙන්වීම්, මතවාද මෙන්ම දේශපාලන ඩීල් ද බලපා අැති බව පැහැදිළිය.

එසේ නම් මෙවැනි මොහොතක සැබෑ ජනමාධ්‍යවේදියාගේ කාර්‍යභාරය කුමක් විය යුතු ද?

සැබැවින්ම මාධ්‍යවේදියා තම දැනුම හා හැකියාව, සමාජ අවශ්‍යතාවයන් හඳුනාගත් සමාජ මෙහෙවරක් වෙනුවෙන් යෙදවිය යුතුය.

මාධ්‍යවේදියා කළ යුත්තේ සාමාන්‍ය ජනතාව තුළ පවතින ව්‍යාජ චින්තනයකට පණ පෙවීම නොවේ. මාධ්‍යවේදියා පෙනී සිටිය යුත්තේ සමාජ විඥාණය ඉහළට ගෙන යන පුරෝගාමියෙකු ලෙසය. ඔහු සමාජය පිළිබඳ ඉහළ සංවේදීතාවයකින් කටයුතු කරන්නෙකු විය යුතුය.

ලාංකීය සමාජයේ ප්‍රධාන ධාරාවන් තුළ හැසිරෙන වත්මන් මාධ්‍යවේදින්ගෙන් ,මෙම යුතුකම හා වගකීම ඉටු නොවන තරම්ය. එම වගකීම තවමත් ඉටු කරමින් සිටින්නේ විකල්ප හා නිදහස් මතධාරීන් ලෙස කටයුතු කරන මාධයවේදීන් අතලොස්සක් පමණය.

" බලය දූෂණය කරයි. වැඩි බලය වැඩියෙන් දූෂණය කරයි. " යන්න දේශපාලන විදයාවේ සඳහන් වැකියකි.

රටක පාලකයන්වීමට උත්සාහ කරන්නන් හෝ රටක පාලන බලය ලබා ගත්තා වූ පුද්ගලයන් හෝ , ඒ රටේ නීතිය නොතකයි නම්, දූෂණයේ යෙදෙයි නම් එම නීති කඩන්නන් හා දූෂිතයන් එළිදරව් කිරීම මාධ්‍යවේදියාගේ වගකීම වේ.

පාලකයා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වූ තරමට මාධ්‍යවේදියාගේ නිදහසට සීමා වැටීම තිව්‍ර වේ. ඒ අවස්ථාවල මධ්‍යවේදියා සංවිධානගතව කටයුතු කිරීමෙන් නිදහසට පැමිණෙන බාධා අවමකර ගත හැකිය.

සෘජු ලෙස රාජ්‍යයෙන් ද, රැකියා අහිමි කිරීම වැනි තර්ජන කිරීම් වලින් ද, පැහැර ගැනීම්, පහරදීම්, නීති මගින්, අධිකරණය මගින් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ බලපෑම් වැනි කී නොකී බොහෝ පියවරයන් මගින් මාධ්‍යවේදීන්ගේ නිදහස උදුරා ගැනීමත් , නිකහස සීමා කිරීමත් ලංකාවේ පාලකයෝ අතීතයේ දී සිදු කළ බව රහසක් නොවේ ය.

එම ක්‍රියා පිළිවෙත අඩු වැඩි වශයෙන් මේ මොහොතේ ද යථාර්ථයකි. ඒ නිසාම ලංකාව තුළ කටයුතු කරන බහුතර මාධ්‍යවේදීන්ගේ උකටලීකම ගැන සිතා ගැනීමට අපහසු නැත.

එහෙත්, මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින, පොදුවේ සමාජ යහපත වෙනුවෙන් බොහෝ කලකට පෙර දැඩි ලෙස පෙනී සිටි පතාක මාධ්‍ය සංවිධාන අද සිහින දුටු ගොළුවන් සේ සිටිම අදහාගත නොහැක.

අපි, ලංකාව තුළ ජීවත්වන මාධ්‍යවේදීන්ගේ භූමිකාව මොහොතකට පසෙක තබා , ලංකාවෙන් පිටවී සිටින මාධ්‍යවේදීන්ගේ භූමිකාව දෙසට හැරී බලමු.

සිංහල භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදී සිට , මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී විවිධ තර්ජන වලට ලක්වූ බව පවසන , යුරෝපීය රටවල දිවි ගෙවන සැලකිය යුතු මාධ්‍යවේදීන් ගණනක් සිටිති.

මේ පිරිස අතර, පැහැර ගැනීම්වලට ලක් වී අමානුෂික ප්‍රහාරයන්ට ලක් වූ අයද වෙති. මරණ තර්ජන එල්ල වූ අයද සිටිති. එසේම මේ අය අතර ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය සංවිධානවල ප්‍රධාන නිළතල දරපු හා නිළතල නොදරපු උදවිය ද මේ අතර සිටිති.

මා ද ඇතුළුව මේ සියල්ලෝම ජීවත්වන්නේ , සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්, දියුණු ආර්ථිකයක් පමණක් නොව සම කළ නොහැකි මට්ටමේ ඉහළ මාධ්‍ය නිදහසක් පවතින රටවල්වල ය. මෙහි සිටින කිසිවකුට මාධ්‍යකරණයේ දී රෝමකූප මාත්‍රයකට ද උපද්‍රව පැමිණෙන්නේ නැත.

එසේ තිබියදීත්, තමන් උපන් රටේ , තමන් වෘත්තිය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ රටේ, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්වෙමින් පවතින මෙවන් මොහොතක මොවුන්ගේ නිහඬ භූමිකාව පිළිබඳව එළිපිට මෙන්ම විවේචනාත්මකව සාකච්ඡාවට බඳුන් කිරීම යුක්ති සහගත ය.

මේ අතර, රාජපක්ෂ පාලනයෙන් ජීවිතය බේරා ගැනීමට යුරෝපයට පැමිණි එක් මාධ්‍යවේදියෙකු පමණක්, තම යුතුකම හා වගකීම ඉටු කරමින් තවමත් අඛණ්ඩව වෙබ් පුවත්පතක් පවත්වාගෙන යමින් , අන් අයට ද ඊට දායකවීමට ඉඩ කඩ සලසමින් කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි.

තවත් කිහිප දෙනකු අවම තරමින් මුහුණු පොතේ Post එකක් හෝ පළ කරමින් තමන්ගේ විරෝධය පළ කරමින් සිටීම ද අගය කළ යුත්තකි.

විවිධ දේශපාලන හේතුන් නිසා ශ්‍රී ලංකාවෙන් පිටව යුරෝපය තුළ ජීවත්වන ද්‍රවිඩ හා මුස්ලිම් මාධ්‍යවේදීන් , එදා ඔවුන් පෙනී සිටි කාරණා වෙනුවෙන් අදටත් අඛණ්ඩව ක්‍රියාකාරීව පෙනී සිටිම ගැන ඔවුන් ද ගෞරවයට පාත්‍රවිය යුතුයි.

දූෂණයට , භීෂණයට , ඒකාධිපතිවාදයට, මිලිටරිකරණයට ආදී සබ්බ සකළමනාවටම එරෙහිව, එදා මහා හඬින් සංග්‍රාම කළ සිංහල මාධ්‍යවේදීන් බහුතරයගෙන් මේ වන විට කෙඳිරිලි හඬක්වත් අසන්නට නැත.

" නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩාය. "

මේ කියමන ඇත්තේ බෞද්ධ සාහිත්‍යයේ එන නාගසේන කථා වස්තුවේය.

පහතින් ඇති ගීත කාණ්ඩය උපුටා ගත්තේ , රංවල බලකායේ පොඩි එවුන් එක්වී සිදු කළ ප්‍රහසනය පිරි රංඟනයකින් ය.

" මාධ්‍යවේදියෙක් වෙනවා මම නම් ලොකු වීලා...

රටට සේවෙ කරනවා ඉල්ලන සිංදුව දීලා... "

නාගසේන කථා වස්තුවෙන් සහ රංවල බලකායේ පොඩි එවුන්ගේ සිංදුවෙන් බොහෝ චිත්තරුප මැවෙන බැව් නම් පැහැදිලිය.

pp( මෙය සංවාදයට විවෘතය.. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )

සුනිල් ගාමිණී

Comment (0) Hits: 295

කෙල ගාලා හමාරයි !

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ කොවිඩ් 19 වෛරස වසංගතය ව්‍යාප්තවීම  අවම කර ගැනීම ට වන අතර  ඒ ඇතුළු තවත් තීරණ රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය.

ඒ අනුව කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හා සම්බන්ධව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ විය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක්  අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

ක්‍රිකට් කමිටුවේ තවත් නිර්දේශයක් වුණේ සංචරණය සීමා කිරීම හේතුවෙන් සහ රට රටවල පවතින නිරෝධායන රෙගුලාසි හේතුවෙන් මධ්‍යස්ථ විනිසුරුවරුන්ගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමයි.

ඒ අනුව කොටි කාලීනව ටෙස්ට්, එක්දින සහ 20යි 20 තරග සඳහා එම අදාළ රටේ  නිලධාරීන් පත් කිරීමටත් පියවර ගැනෙනු ඇත.

එහිදී ඒ ඒ ක්‍රිකට් රටාව අනුව දෙපිලම වෙනුවෙන් එක් ඉනිමක් සඳහා ලබා දෙන විනිසුරු තීරණය නැවත වීමසීම තවත් එක් අවස්ථාවකින් වැඩි කරන ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම යෝජනා සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒවා ක්‍රියාත්මක වීමට නම් ප්‍රධාන විධායක රැස් වීමේදී අනුමත විය යුතු බවත් ICC වෙබ් අඩවියේ සඳහන්ය.

Comment (0) Hits: 280

කවිකාර නෝනලා......

සිංහල කාව්‍ය ඉතිහාසය කවියන්ගෙන් මෙන්ම කිවිඳියන් ගෙන් ද අඩුවක් නො වීය.

රූණ හාමිනේ , රංචාගොඩ ළමයා, සබේ විදානේගේ සොහොයුරිය, අත්තරගම කුමාරිහාමි, දෝන ප්‍රැන්සිනා දිසානායක ළමා තැනී, විජේකෝන් මැතිණිය වැනි බොහෝ දෙනා පැරණි කවිකාර ළඳුන් වෙති.

ඒ විතරක් නොව , පැරණි කවියන් වූ අන්දරේ, පුයියප්පු, බරණගණිත, උඩුගොඩ ගණිත , තිරුවා ආදීන්ගේ භාරයාවෝ ද කවි නෝනලා වූහ.

කවියට නැමුණු කන්තාවෝ කවුරුත් පාහේ රූමතියන් ද වූ බව ද සැලකිය යුතුය.

කෙසේ වෙතත්, පැරණි සිංහල කවි නෝනලාගෙන් විශිෂ්ටතම කිවිඳිය ලෙස සඳහන් වෙන්නේ , දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනා ය.

ගජමන් නෝනාගේ සීයා ද , සහෝදරියන් ද , සහෝදරියන්ගේ දරුවන් ද , ගජමන් නෝනාගේ දරුවන් මෙන්ම ඇයගේ සැමියන්ද කවියන් හා කිවිඳියන් වූහ.

ගජමන් නෝනා ළමා වියේ සිටම කවියට හපන්කම් පෑ තැනැත්තියකි.

දිනක් පිත්තල සෙම්බුවත් රැගෙන ළිඳට ගිය ඇය , සෙම්බුවට වතුර පුරවා එය ළිං පඩිය මත තබා , මද වේලාවක් කෙළි දෙළෙන් ගත කොට ,ගෙදර යෑමට සෙම්බුව ගැනිමට ළිඳ ලඟට ආ විට සෙම්බුව අතුරුදහන්ව තිබුණි.

ඇය වට පිට බැලුව ද කිසිවකු පෙනෙන්නට නොසිටියෙන් කෝප වූ ඇය මෙසේ කීවා ය.

" පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ ගෙදර යන්න දෙනව ද මගෙ පුංචි කළේ "

ගජමන් නෝනාගෙ පියා වීර්තමුල්ල ගමගේ දොන් ප්‍රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ය.

1737 බටහිර ගිරුවා පත්තුවේ , බෙලිඅත්ත ප්‍රදේශයේ කහවත්ත නම් ගමේ උපන් මොහු, ගජමන් ආරච්චි වූයේ එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින් ගජමන් ආරච්චි වසම සහ කහවත්ත තෝම්බුව භාර වසම ලබාදීමෙන් පසුවය.

කොළඹ මිලාගිරිය පලිල්යේ දී 1757 දී බව්තීස්මය ලැබු ගජමන් ආරච්චි , එම පල්ලියේ තෝම්බු භාරකරුවා මෙන්ම, මිලාගිරිය පාසලේ ප්‍රධානාචාර්යවරයා වූ කොන්දගම්ගේ ජසෙන්තු ග්‍රේරුගේ තෙවැනි දියණිය වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත්, නෝන බබා හාමිනේ 1758 දී විවාහ කර ගත්තේය.

ගජමන් නෝනාගේ අම්මා වූ නෝන බබා හාමිනේ ද මිලාගිරිය පාසලේම ගුරුවරියක් වුවා ය.

ගජමන් නෝනාගේ මවගේ පියා වූ ජසෙන්තු ග්‍රේරු ද කවි තැනීමේ සමතෙක් විය.

ඒ අවදියේ ද , කපටි ශ්‍රමණයන් සිටි අතර, ජසෙන්තු ග්‍රේරු විසින් එක්තරා කපටි ශ්‍රමණ කෙනෙකුන් සඳහා ලියූ කවිය මෙසේය.

" බුදුරුවා දෙසු දම් ගෙන නොම සිතට උදුරුවා දමන ලෙස වෙර බැඳ එවිට මදුරුවා ඇන්න විලසින් මහ. මෙරට ඉඳුරුවා මොකද මෙකරන සට. කපට "

ඉතිහාසය තුළ හාස්‍යයෝත්පාදක කවි කීමේ සමතකු ලෙස අන්දරේ ප්‍රසිද්ධ වූයේ යම්සේ ද, ගජමන් නෝනා ප්‍රසිද්ධියට පත් වූයේ කාමාසත්ත හැඟීම් සහ ශෘංගාරාත්මක හැඟීම් දනවන කවි ගෙතීමේ සමතියක ලෙසය.

ඇලපාත මුදලි ඇතුළු සමකාලීන වෙනත් කවීන් ද ගජමන් නෝනා කෝප ගන්වා ඇය ලවා ශෘංගාරාත්මක කාව්‍ය ප්‍රබන්ධ කරවා ගනීමින් හා ඇගෙන් කටුක කර්කෂ ඇතැම් විට අශ්ශීල කවි ප්‍රබන්ධ කර ගනිමින් සතුටක් ලැබූ බව ඇගේ කවි ඉතිහාසය පිරික්සීමේ දී දැකිය හැක.

ගජමන් නෝනා බාල කාලයේ සිටම, පිරිමි වෙස් ගෙන මහනුවර මල්වතු විහාරයේ කරතොට හිමියන් ඇසුරෙහි අධ්‍යාපනය ලැබූ බවට ජනශ්‍රැති කිහිපයක් ඇත.

ගජමන් නෝනාගේ ගුරු පරපුර පිරික්සීමේ දී වැලිවිට සරණංකර සඟරජ හිමිත්, සිටිනාමලුවේ ධ්ම්මජෝති හිමිත් ඇතුළත්ව එහිමියන් දෙනමගේ විශාල සිසු පරපුරක් ද ඊට අයත් ය.

මාතර පඹුරන විහාරයේ වැඩ විසූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සමඟ ගජමන් නෝනා අනියම් සබඳතාවයක් පවතින බවට බලවත් චෝදනාවක් විය.

මේ පුවතින් තරුණ හිමියන් මහත් සේ සිත් තැවුලට පත්ව සිවුරු හැරීමට තීරණය කර ඇති බව ගජමන් නෝනාට දැනගන්නට ලැබිණ.

ගජමන් නෝනා එහිමියන් බැහැ දැකීමට ගොස් ඉල්ලිමක් කළාය. අභූත චෝදනාවක්, සත්‍ය ලෙස හැඟීයාමට ඉඩ නොසලසා සුපුරුදු පරිදි ආරාමයේ වැඩ වාසය කරන්නැයි එම ඉල්ලිම විය.

එසේම චෝදනාවලට පිළිතුරු සැපයිමේ කාරිය තමන් භාර ගන්නා බවත් ගජමන් නෝනා ස්වාමීන් වහන්සේට කීය.

ඊට පසු දින මාතර නොයෙක් ප්‍රසිද්ධ ස්ථානවල මේ කවිය අලවා තිබිණ.

" වටිනා කියන මෙ මගේ තුරුණු තුනු. විල සිටිනා මළුවෙ සමිඳුට පුද කෙළෙමි බොල සිටිනා මෙ ගම සහ දන අවට ගම් වල තුටිනා එපින් අනුමෝදන් වව් සියල. "

ඉන් අනතුරුව ගජමන් නෝනා සහ භික්ෂූන් අතර සබඳතා පිළිබඳ කට කතා පැතිරීම අඩු වී ඇත.

ගජමන් නෝනා ගැන බහුලව කට කතා පැතුරුණ ද ඒවා ඇගේ අව්‍යාජ හැසිරීමත්, විවෘත පැවැත්මත්, හැඩකාර ජීවිතයත් නිසා ගෙතුණු කයිකතන්දර සේ සැලකිය යුතු බව ගජමන් නෝනාගේ ගම්වාසී පැරැන්ණන්ගේ අදහසය.

දහ අට වන සියවසේ මැද භාගයේ සිට දහ නව වන සිය වසේ දෙවන ශතකය තෙක් ජීවත් වූ ගජමන් නෝනා, එවක උගතුන් අතර සිටි කාන්තාවන් ගෙන් අග තැන් සිටි කාන්තාව ය. ඇයගේ කවීත්වය හා සම තැන් ගන්නට හැකි වූ කිසිදු කාන්තාවක් එවක නොවී ය.

සැබෑ උගතුන්ට අයත් පොදු ලක්ෂණය වූ දරිද්‍රතාව, ඇයව සිය ජීවිතයේ ඉවසිය නොහැකි දුක් වේදනා වලට ගොදුරු කළාය.

බෞද්ධ සාහිත්‍යයේ අප කියවා ඇති පටාචාරාවන්ට විඳින්නට සිදු වූ විපතටත් වඩා වැඩි විපත්ති වලට මුහුණ දු ඇය ජීවිතයෙන් සමු ගත්තේ සිය දිවි නසා ගෙනය.

සිංහල කාව්‍ය සාහිත්‍යයට ඇය දායද කළ නිර්මාණ අතර පෞද්ගලික අනුභූතීන් සුලබ වුව ද ඒවා පාඨකයා තුළ වින්දනාත්මක ගැඹුරක් ඇතිවන ලෙස ඉදිරිපත් කිරීමට ඇය සමත් විය.

ගජමන් නෝනා ගේ අැතැම් කවි ශෘංගාරාත්මකය. සමකාලීන කවියන් සමඟ අැය කළ කවි සංවාද කාමසක්ත වී අැත්තේ අදාල පුද්ගලයන් අැගෙන් අසා අැති දේවල් වලට අනුවය.

මුඛරිකම, ප්‍රකට ලක්ෂණයක් කොට ගත් ගජමන් නෝනා සතුව තිබූ කැපී පෙනෙන ව්‍යක්තතාව මෙන්ම, අැගේ ජීවිත කාලය තුළ අැය අන්ත අසරණ භාවයට පත් වු අයුරු ද දැන ගැනීම තවෙකුගේ ජීවිතයට වැදගත් වනු අැත.

ගජමන් නෝනාගේ ජීවිතය තුළ දිග හැරුණු එබඳු සිද්ධි කිහිපයක් මතුවට ය.

සුනිල් ගාමිණී

Comment (0) Hits: 477

Page 3 of 49