V2025

විනෝදාස්වාද

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ  ‘විනිර්මුක්තිය‘ කෘතිය ජනගත වෙයි

1948 සිට 2018 දක්වා ලංකාවේ රාජ්‍යය විකාශනය වූයේ කෙසේද, එහිදී සියලු පාලකයන් තමන්ගේ දෑත් වල ලේ ගාගත්තේ කෙසේද යන්න සාක්ෂි සහිතව තහවුරු කරමින් රචිත මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘විනිර්මුක්තිය‘ කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැක.

‘12.11.10 වැලිකඩ‘ කෘතියෙන් පසු කසුන් පුස්සෙවෙල විසින් මේ කෘතිය රචනා කර ඇත. දේශීය සහ ජාත්‍යන්තර ග්‍රන්ථ රැසක් පරිශීලනය කරමින් රචිත මේ කෘතිය, දේශපාලනික මෙන්ම අධ්‍යාපනික වැදගත්කමකින්ද යුක්තය. ඔහුගේ වැලිකඩ කෘතිය පසුගිය වසරේ ඉහළම අලෙවියක් වාර්තා කළ කෘති අතර තිබිණි.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කවරයට හිමි සම්මානය හිමි වූයේද වැලිකඩ කෘතියටයි. එය නිර්මාණය කරන ලද්දේ සංජය ඈපා සෙනෙවිරත්න විසිනි.

රාවය, ඉරුදින, රැස පුවත්පත් වල සේවය කර ඇති ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන කතුවරයා, ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර මාධ්‍යකරණයේ යෙදෙන්නෙකි.

Comment (0) Hits: 132

'රැස' රස කළ චමත්කගේ තීරු ලිපි එකතුව කෘතියක් ලෙස !

චමත්ක කවීන් විසින් රචිත 'චමත්කාර'තීරු ලිපි එකතුව කොළඹ ලේක් හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළැබෙන ඉරිදා(23)පෙරවරු 10.30ට  කෘතියක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

 අවුරුදු 8දී ස්වකීය පළමු කාව්‍ය එකතුව 'ඒදඬු පාලම'කෘතියක්ව පල කළ චමත්ක එයින් සිය ප්‍රතිභාව මොනවට පසක් කළේය.ඉන් දෙවසරකට පසු 'එදා එහෙම දවසක්'කෘතිය රචනා කළ චමත්ක ඒ අතරතුර 'රැස'පුවත්පත ආරම්භයේ සිටම 'චමත්කාර'තීරු ලිපි එකතුව රචනා කළේය.

ඒ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසින් සංස්කරණය කරනු ලැබූ 'වැලිමිදුල'ළමා පිටුව හරහා ය.රැස සමාරම්භක කතෘ,චාමර ලක්ෂාන් කුමාර මහතාගේද පූර්ණ සහය ඒ සඳහා ලැබිණි.චමත්ක කවීන්ගේ 'චමත්කාර' 'රැස'පුවත්පතේ පළවූ ලිපි එකතුවක් කෘතියක්ව එළිදකින පළමු අවස්තාවද වෙයි.

Comment (0) Hits: 139

ඒවා මෙහේ බෑ මචං - දැන්නම් කොහොමත් ම බෑ මචං

ඇලෙක්සැන්ඩර් සෝල්ස්සිනිට්ස් (Aleksandr Solzhenitsyn), යනු රුසියානු සමූහාණ්ඩුව බිහිකළ අනගි කතාකරුවෙකි. එපමණට ම ඔහු රුසියානු පාලකයන්ගේ වෛරයට ද පාත්‍ර වූවෙක් විය. ඒ ඔහුගේ නිබය ලේඛන හා වාග් ශෛලිය නිසාම නොවේ. 'ගුලාග්' නම් වූ මානව විරෝධී වැඩ කඳවුරුබද අඳුරු දිවියේ නිරුවත ලොවට හෙළි කල ලේඛකයා ඔහු බැවිනි. මිනිස් දිවියේ අඳුරු පැතිකඩ දෙස විචාරාක්ෂිය යොමු කල මෙකී කතා නායකයාණෝ වරෙක අපූරු උපමා කතාවක් නිමැවූවෝය. ඒ මෙසේය.

ලෝකය මැවූ නිමැවුම්කාර දෙවියෝ සියලු සතට අවැසි වයස නිර්ණය කිරීමේ දිනක් ප්‍රකාශ කලෝය. මෙකී පුවතින් ආශ්වාදය ලත් සියලු අපා, දෙපා, සිවුපා සත්වයෝ වහ වහා ගොස් තමනට නියම කල වයස් සීමා, මැවුම්කාරයන්ගෙන් ලබා ගත්තෝය. සුපුරුදු ලෙස ම මිනිසා ගියේ ප්‍රමාද වීය. ප්‍රමාදය කෙතරම්ද යත් බෙදන්නට තරම් ඉතිරිව තිබූ වයස වූයේ වසර විසි පහකි. මැවුම්කාරයානෝ එය නොවළහා ප්‍රධානය කල ද සදාකාලික අතෘප්තියේ ගිලී නැහැවී සිටින මිනිසා ඊට මඳක් දිගු වයසක් ඉල්ලා සිටියෝය. මෙකී කනිපින්දම ඉවසා වදෑරූ අශ්ව තෙමේ වහා තමනට හිමි වයසෙන් වසර 25ක් ඔහුට ප්‍රධානය කලෝය. ඊටද හිත නොපිරුණු මිනිසා අසහනයෙන් පසුවනු දුටු රිලවා තමනට හිමි වයසින් වසර විසි පහක්ද මිනිසාට පිදීය. මෙකී ආයුෂ දානයේ බලමහිමයෙන් අද ද මිනිසා වයස හැත්තෑ පහක් හෝ ඊට මඳක් ඔබ්බේ දිවි ගෙවන්නේය.

එකී සාදෘශය සත්‍යයක් නම් මිනිසා සැබවින්ම නිර්ව්‍යාජ වන්නේ පළමු වසර විසිපහේදීය. එකී තරුණයා දෙවැනි විසිපහ ගෙවන්නේ අශ්වයෙකුගේ ජවයෙනි. පවුල් පන්සල් වූ පසු කුටුම්භ රක්ෂණයේ තත්පර වන මිනිසා දා බිඳු හෙලා රැකිය යුතු අඹුදරුවන්ගේ අනාගතය උදෙසා දක්වන වෙහෙස, අශ්වයා පරයා යන්නේය.

කරුණු එසේ වුවද පනහෙන් පසුව නම් මිනිසා ගතකරන දිවිය සපුරා විකාරරූපිය. ඒ, එකී විසිපහ ගත්තේ රිලා පෝතකයාගෙන් බැවිනි. ලියුම්කරුද තවත් දශකයකින් ඉනික්බිති මෙකී විකාරරූපී දිවියට අවතීර්ණ වන්නේ වුවද, මෙහිලා යම් වෙසෙස් කරුණක් සිහි කල යුත්තේය. එනම්ඇලෙක්සැන්ඩර් සෝල්ස්සිනිට්ස් මේ සාදෘශය නිමවන්නට ඇත්තේ ජිනසිරි දඩල්ලගේ නම් වූ පරිපාලන නිලධරයෙක් මෙරටේ පහළ වනු ඇතැයි තම අනාගත ණුවනින් බලා වන්නට ඇතිය යන්නයි.

බැලූ බැල්මට සිනහපොදක් ගෑවී නැත්තේ වුවද, ක්ෂණයෙන් යාවත්කාලීන වන නැවුම් ලොවක තතු, අතැඹුලක් සේ දත් මේ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයා දිදුලන හදකින්, සුවැති රාජකාරි දිවියක් ගත කල අරුමැසි නිලධරයෙකි. තමන් අභිමුවට පත් දුගී ගැමියාගේ ශෝකී දුක්ගැනවිලි වාතලයට මුසුවන්නට හැර, කූල්ටූර් සමාජයට වැදී දීමනා පසුපස ලුහුබඳින හර්ද සාක්ෂිය අහිමි නිලධරයන් සමූහයක් අද ද අප අතර දිවිගෙවන්නේය. සාහිත කලා ලැදි පරිපාලන සේවා නිලධරයන් ද සෙවීම නිකිණි සොයන්නා සේය. එවන් සමයක, ඔවුනතරින් මෙරට පරිපාලනයේ මතුමහලට නැගි දඩල්ලගේ ලේකම්තුමානෝ තම විශ්‍රාමයට පිළිපන්නේ කලාත්මක ප්‍රවේශයකිනි. ඒ කෘතියක් ජනගත කොටය. නම ''ඒවා මෙහේ බෑ මචං'' ය.

එකී කෘතිය මෙරටේ පරිපාලනය හා පොදුවේ රාජ්‍ය සේවය වෙත විහිදුවාලු අධිසැර ආලෝක ධාරාවක් බඳුය. එනමුදු මෙරටේ ගතානුගතික මාධ්‍ය එය අගනා උත්සාහයක් යැයි නොසිතුවෝ සුපුරුදු පල්වල ම ඉසිමින් හා කලතමින් සුරතාන්තයට පත් වුහ. ඒ පිලිබඳ නිසි විවරණයක් සම්පාදනය කලේ ''ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පමණි. තේමා විස්සක් ඔස්සේ පිටු 212ක් පුරා දිවෙන මෙකී ග්‍රන්ථය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමන වර්ගයේ එකකි. එක් පසෙකින් අනාගතවාදී පරිපාලන ප්‍රතිසංස්කරන පිලිබඳ ප්‍රයෝගික සනිදර්ශන ගොන්නක් අප අභිමුව තබන ඔහු තවත් පසෙකින් ඔහුගේ සමුර්දිමත් කුටුම්භයේ තතු ගෙනහැර පාන්නේය. අතීත කාමයත්, මමායනයත් සම්මිශ්‍රණය වූ ඔහුගේ චිත්ත වීථිය පරිපාලනයේ නේක ඉසව් වෙත නිරායාසයෙන් ඇදී ගොස් ඇත්තේ අපුර්වාකාරයෙනි.

පොත ගැන සෙස්ස පස්සට තබා මෙකී සටහනේ ප්‍රවේශය වෙත නැවත පිවිසීම මැනවයි සිතේ. ''මිනිසා පොළොව පිට ධාන්‍ය වැපිරිය යුතු යැයි'' පවසන්නේ බයිබලයයි. පරිපාලකයා, කලාකරුවා හෝ දේශපාලකයා වේවා ඒ කවුරුන් වුවද තමන් අවියෝජනීය සබදතාවක් පැවත්වන්නාවූ සමාජය වෙත යමක් තිලිණ කල යුත්තේය. එකී උත්සාහය මෘදු මොලොක් එකක් විය නොහැකි වුවද, අපගේ කවි ඉසුවර පරාක්‍රම කොඩිතුවක්කු කවියාණන් ''පොඩි මල්ලියෙ'' කාව්‍ය සංග්‍රහයේ මෙසේ පවසයි. ''උඹේ කකුල් රිදෙනව නම් , වෙල අද්දර ගල් ඇන්දේ වාඩි වෙයන් - ගල එතකොට පුටුවක් වෙයි''. අප කතානායකයා ද එවන් පරිශ්‍රමයක් දැරූ ප්‍රවීණයෙකි. එතුමන්ගේ පුස්තකය කියැවූ සැණින් ලියුම්කරු අමන්දානන්දයට පත් වූයේ යැයි කීම මුසාවක් නොවේ. එනම් එතුළින් ඔහු විද්‍යමාන කරන ලද ප්‍රතිපත්තිගරුක ජීවන පිළිවෙතයි. එනමුදු එකී ප්‍රහර්ෂය සැණින් දූරීභූත වූයේ පරිපාලකයන් මෙහෙය වූ අදියුරුවරයා, සමුර්දියේ නියමුවාණන් ලෙස තම අගනා විශ්‍රාමික දිවිය පරදුවට තැබීමෙනි.

''මිනිසුන් පිරිහෙලන්නට පෙර පිස්සු වට්ටන්නේයැයි'' පවත්නා ආප්තය ඇත්තක් නම් දඩල්ලගේ මැතිදා සමුර්දිය භාර ගැනීම යනු නිසැකවම සෝල්සිනිට්ස් සටහන් කල පරිදි රිලවාගේ විකාරරූපි චර්යාවට ආරුඪ වීමකි. තමනට සපුරා පාලනය සියතට ගත නොහැකි - දේශපාලන හෙන්චයියන්ගේ පල්වලක ලගින්නට දඩල්ලගේ මැතිදුන් සිත්ලෑවාට වයස්ගත රිලා මොටෙක්වත් එකී තීරණය නම් ගනු ඇතැයි සිතීම උගහටය.

යහපාලන ආණ්ඩුව සියදිවි නසාගත්තේ එකපිට එක සිදු කරන ලද අතාර්කික වූ මරිමෝඩ අමනකම් රැසක් නිසාවෙනි. එකී අතාර්කිකත්වයේ පරම සංකේතය තීරණාත්මක ධූර මත ආසනාරූඪ කරන ලද අදක්ෂ නිලධාරී සමුහහයයි. යහපාලනය පළමු ජනාධිපති ලේකම්වරයා ලෙසින් ධුරගත කරන ලද්දේ පී.බී. අබේකෝන්ය මහතාණන්ය. පෙර රජය සමයේ මෙරටේ පරිපාලනය හොබවමින්, අනීතික මැතිවරණ ප්‍රචාරණය සඳහා එවකට පැවති ආණ්ඩුව වෙත දයාවත්, ලීලයත් පාමින් ඔහු දුන් නරක ආදර්ශය මෙරටේ කවර හෝ තරුණ පරිපාලකයෙක් කිසිකලෙකත් අනුගමනය නොකළ යුත්තේය.

''සර් මමනම් වැඩකලේ අනෙක් පැත්තට'' යැයි අවංක පාපෝච්චාරණයක් සිදු කලේ වුවද, හුදු ජේෂ්ඨත්වය පරම සුදුසුකම යැයි සැලකු ජනපතිවරයා එතුමන් ඉහළින් තැබුවේය. එහෙත් යහපාලනය යනු කවරක් දැයි සිතන්නට තරම් නවීකාරකත්වයෙන් යුත් මනසක් එවකට ඔහු සතුව නොපිහිටියේය. යහපාලනය සමාජගත කිරීමේ සුසමාදර්ශී ආදර්ශය දියහැකි යැයි ලියුම්කරු උපකල්පනය කරන ලද චරිත ස්වල්පයෙහි ඉදිරිපෙළ සිටි නිලධරයා දඩල්ලගේ මහතුන් ය. එහෙවු දඩල්ලගේ සමුර්දිය භාර ගැනීම යනු රිලාමොටාගේ විකාරරූපී චර්යාව මිස අන් කවරක්ද?

අද දවසේ 'රාවය' හොබවන විමලනාත් වීරරත්නයන් කලෙකට පෙර අපූරු සම්මුඛ සාකච්ජා පෙළකින් තම පුවත්පත හැඩ කළේය. මෙරට දේශපාලනයේ ජය කෙහෙළි නැංවූ එමෙන්ම ''රොනී පනී'' යැයි විරුදාවලී ලත් පරසිදු මුදල් අමාත්‍යවර රොනී ද මෙල් හා සිදු වූ සාකච්ජාවක්ද එහිලා පළ වූ අතර මෙරටේ සිවිල් සේවා විභාගය සමත්ව කේම්බ්‍රිජ් සරසවියටද ශිෂ්‍යත්වයක් දිනාගත් ඔහුට තෙවසරක නිවාඩුවක් අවැසි වූයේ එහි උපාධිය නිම කිරීමටය. පියාගේ පෙරැත්තය මත පඩි රහිත නිවාඩුවක් අයැදීමට ඔහු හමු වූයේ එවකට සුදු ජාතික භාණ්ඩාගාර ලේකම්වරයාය. රොනී කියන පරිදි ඔහු මෙසේ කියා ඇත.

''මිස්ටර් ඩිමෙල්, අපේ මේ සිවිල් සේවයට පී.එච්. ඩී. කාරයෝ ඕන නැහැ. ඔයා පී.එච්. ඩී කරලා විශ්ව විද්‍යාලයකට යන්න. අපිට ඕනෑ වැවකට ඇලවල්වලින් වතුර යන්නෙ කොහොමද ? ධීවර කර්මාන්තය, පාරවල් හදන එක, එළවළු, පළතුරු කල් තබා ගැනීම වගේ දේවල් ගැන දන්න මිනිස්සු. ඔය පී.එච්. ඩී කාරයන්ගෙන් අපිට කිසිම වැදගැම්මක් නැහැ''.

සුදු ඒජන්තයා තෙපලුවේ වැඩවසම් කතාවක් වුව මෙහි ඇත්තක් ද නැත්තේ නොවේ. මෙරටේ අවවර්ධිත සංවර්ධනයේ සමාන වගඋත්තරකරුවෝ බහුලය. වැරදි දේශපාලකයන් හා උනුන් දිනවන ජහමනයාත්, සැමට එකසේ දෙසාවදාරන පූජ්‍ය - පුජකයාත් මුල් අසුනේ සිටින විට, එකී අසුන් සකස් කර දෙන්නෝ නිලධාරීන්ය. උපාධි ලෝගුවත්, ස්ලීඩා මහගෙදර ආචීර්ණ කල්පිත මතවාදත් කරපින්නාගත් නිලධාරයන්ගෙන් සැබවින්ම අප ද අපේක්ෂා කරනුයේ ''වැවකට ඇලවල්වලින් වතුර යන්නෙ කොහොමද'' යැයි දන්නා නිලධාරීන්ය. නැත්නම් සිදුවන්නේ පරිපාලනය භාරව හිටපු දඩල්ලගේ ශුරීන් සමුර්දියට ගැසූ කරනම වැනි , මාරක ලිදේ ක්‍රීඩා බලා සැනසීමටය.

ඒ කරුණු එසේ පැවසුවද එතුමන්ගේ පුස්තකයනම් වටින්නේය. ඒ ගැන ඊලග ලිපියට කරුණු දැක්වීම ලියුම්කරුගේ මනපයයි. අවසන මේ ටිකත් නොකියා බැරිය. දේශපාලකයන් ගින්දර හා සමය . ඇතුවත් බැරිය . නැතුවත් බැරිය. දක්ෂ ගිනිකෙළිකරුවා මුළු පෙරහැරක්ම ප්‍රභාශ්වර කරන්නේය. ස්ලීඩාව කල යුත්තේ සියලු පැරණි මොඩිවුල් පසෙකලා දේශපාලකයන් හා ගනුදෙනු කොට කශේරුකාව රැක ගත හැකි තරුණ නිලධාරී පැලැන්තියක් බිහි කිරීමට මුල පිරීමයි . එසේ නොමැති වුවහොත් අපටත් සිදු වන්නේ වන්නේ ලීල් ගුණසේකරයන් තම 'පෙත්සමේදී '' නුවර කලාවියේ අවිහිංසක ගැමියන්ගේ මුවට නැංවූ මේ කවි පද අපටද කියන්නට සිදු වීමය .

උඩ බැලුවත් නිල් අහස පෙණෙන්නේ - බිම බැලුවත් මහ පොලොව පෙණෙන්නේමේ දෙක මැද්දෙයි අපි තෙරපෙන්නේ - අයියනි දෙවියනි ඇයි නොබලන්නේ

මංජුල ගජනායක

Comment (0) Hits: 157

සුමිත්ගේ "අනන්තමය නිමේෂයක" : සැප්තැම්බර් 14  එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ

සුමිත් චාමින්ද විසින් රචිත "අනන්තමය නිමේෂයක" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 14 වනදා සවස 4.00ට බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ.

එම අවස්ථාවේදී පුබුදු ජයගොඩ, කුමාරි කුමාරගමගේ සහ අචින්ත්‍ය බණ්ඩාර විසින් කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.

සභාව මෙහෙයවීම විදුර ප්‍රභාත් මුණසිංහ විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට සුමිත් චාමින්ද ආරාධනා කර සිටී.

Comment (0) Hits: 187

Page 6 of 28