ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු එම තනතුරුවලට පත් නොකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.
ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අදාළ තනතුරු සඳහා අනුමැතිය පළකර මාස එකහාමාරකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් මේ වන තෙක් ඊට අදාළ නිල රාජකාරිය ඉටුකර නොමැත.
එසේම පොලිස් කොමිසම විසින්ද අදාළ තනතුරු සඳහා අනුමැතිය ලබාදුන් පිරිසේ පත්වීම් සිදුකරන ලෙස අවස්ථා ගණනකදී පොලිස්පතිවරයාව දැනුවත් කර ඇති අතර පසුගිය 23 වනදාද එසේ දැනුම්දී ඇත.
මේ අතර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර සිටින කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන සහ දුක්ගැනවිලි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ගත් තීරණය සලකා බලන ලෙස පොලිස්පතිවරයා කොමිසමෙන් ඉල්ලා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ තම තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවය.
පෞද්ගලික පළිගැනීමක් !
මේ අතර ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ පත්වීම් පමා කිරීම පොලිස්පතිවරයාගේ පෞද්ගලික පළිගැනීමක් වන බවයි.
මීට පෙර එනම් 2016 වසරේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන කිලිනොච්චි කොට්ඨාසයෙන් ඉවත් කරන බවට පොලිස්පතිවරයා උත්සාහ කර ඇති අතර ඊට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. එහිදී අධිකරණය තීරණය කර ඇත්තේ පොලිස්පතිවරයාට එවැන්නක් සිදුකල නොහැකි බවය.
එසේම ඉන් අනතුරුව අවස්ථා ගණනාවක පොලිස්පතිවරයා තමාට එරෙහිව නීති විරෝධී ලෙස විමර්ශන සිදු කළ බවට පාලිත සිරිවර්ධන පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි සිදු කර තිබෙන බවද වාර්තා වෙයි.

