පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය විපක්ෂයේ බහුතරය තිබෙන ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලමින් කතානායක කරු ජයසූරිය වෙත එම කණ්ඩායම ඊයේ (01) භාර දී ඇති ලිපියට අත්සන් කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු පමණක් බව වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කතානායක කරු ජයසූරිය වෙත එම ලිපිය භාරදී ඇති අතර ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා අත්සන් කර නැති බවද වාර්තා වෙයි.ඒ අනුව විපක්ෂනායකකම ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙසට ඉල්ලා භාර දී තිබෙන එම ලිපියට අත්සන් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ, ජෝන් සෙනවිරත්න,වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් පමණි.වාර්තා වන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවී තිබෙන බෙදීම් හේතුවෙන් මෙම විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ ලිපියට අත්සන් අඩුවී ඇත.
කෙසේ වුවත් පසුගිය 18 වනදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා කතානායකවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් පසුව මාධ්‍යවෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන්කර සිටියේ තම පාර්ශවයේ මන්ත්‍රීවරුන් අත්සන් 70කගේ අත්සනින් යුතුව ලිපියක් භාරදී විපක්ෂනායක ධුරය ලබා ගැනීමට සූදානම් බවය.
එහෙත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂගේ අදහසවී තිබුණේ කිසිම විදිහකින් දිනේෂ් ගුණවර්ධනට එම අවස්ථාව ලබා නිදිය යුතු බවය.
ඊට අදාළ newstube.lk පලකළ විශේෂ පුවතක් හරහා මේ බව අනාවරණය කෙරිණ.
දිනේෂ්ගේ විපක්ෂනායක සිහිනයට : රාජපක්ෂ පවුලෙන් බාල්දියක් !
මේ අනුව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායකවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය විසින් අඟහරුවාදා (07) පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑ දෙනෙකු සිටින අතර දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්පන්දන් මහතා නියෝජනය කරන දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණි.