රත්තරන්ට ජපන් යන්න අවසර ! 

රත්තරන්ට ජපන් යන්න අවසර ! 

තම නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධනට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න  අද (3) අවසර දුන්නේය.

ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වීමට අවශ්‍ය බව කියමින් කරන ලද ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ලබන 19 වැනි දා සිට සැප්තැම්බර් 20 වැනි දා දක්වා රෝහිත අබේගුණවර්ධනට විදේශගත වීමට මෙසේ  අවසරදී ඇත.

2004 මාර්තු  31 වැනිදාත් 2006 මැයි  31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධනට එරෙහිව නඩු පවරා ඇත.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුව විභාගයට ගැනීමද සිදුවිය.

නඩු විභාගය අවසානයේදී අධිකරණය ඇමතූ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වීමට අවශ්‍ය වී ඇති හෙයින් එම පෞද්ගලික සංචාරයේ නිරත වීමට හැකිවන පරිදි විදේශ ගතවීම වළකාලමින් පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගනිමින් අදාළ අවසරය දුන් විනිසුරුවරයා මෙම නඩු විභාගය ලබන ඔක්තෝබර් 4 වැනිදා දක්වා කල් තැබුවේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන  ද සිල්වා  පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා  ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න