පුවත්

2024 ජනාධිපතිවරණය කල් දැමීම : දෙවැනි පෙත්සමත් විසිවෙයි !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 15 වැනිදා) තීන්දු කළේය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් එම වෘත්තියට නොහොඹිනා ආකාරයෙන් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවත් ඔහු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කිරීමට කටයුතු කර ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චෝදනා කර සිටියේය.
🔴 'පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකියි'
මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභා කිරීමට මූලික විරෝධතා මතු කරන බව සඳහන් කර සිටියාය.
මෙම නඩුකරය තුළින් මේ වන විටත් නීතිගත වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ නීත්‍යානුකූලයභාවය පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කර ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම සංශෝධනය මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී කථානායකවරයා විසින් අත්සන් තබා නීතිගත වී තිබෙන බවත් පෙන්වා දුන්නාය.
ඒ අනුව කථානායකයාවරයා විසින් අත්සන් තබා සම්මත කර තිබෙන නීතියක නිත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව එවැනි කටයුත්තක් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියාය.
එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවත් මූලික අයිතීන් කඩවී මාසයක් ඇතුළත පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරු අසමත් වී ඇති නිසා මෙම පෙත්සම නීතිය ඉදිරියේ බලාත්මක නොවන තත්ත්වයක පවතින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අවධාරණය කර සිටියාය.
ඒ අනුව මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවාය.
🔴 ‘19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නැහැ’
ඉන් අනතුරුව පෙත්සම ඉදිරිපත් කළ නීතීඥ අරුණ ලක්සිරි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බව පෙන්වා දුන්නේය.
2002 වසරේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පතේ සඳහන් පාර්ලිමේන්තුව විසුරුවා ඇරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් 70 වගන්තිය සංශෝධනය කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීරණය කර තිබූ බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.
එහෙත් 2015 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමේදී එම නීතිමය තත්ත්වයට පිටුපා එය අනුමත කර ඇති බවත් ජනමත විචාරණයකට යොමු නොකොට එය සම්මත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්නයක් මතු කරමින්
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිගමනවලට අනුකූලව යැයි "සඳහන් කළේය.
එහෙත් අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට එකඟ නොවූ නීතිඥ අරුණ ලක්සිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී 2002 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගය සැලකිල්ලට භාජනය කර නොමැති බවද පැවසීය.
එම අවස්ථාවේදී නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා “19 වන සංශෝධනය ඉදිරිපත් කෙරුණේ 2015 වසරේදී. ඒ නිසා ඊට අදාල වන්නේ 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පමණයි. ඔබ විසින් සඳහන් කළ 2002 වසරේ දී ඇති තීන්දුව මෙම අවස්ථාවට අදාළ කර ගන්න බැහැ." යනුවෙන් පෙන්වා දුන්නේය.
එහෙත් වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා 2002 වසරේ ලබාදුන් තීන්දුව සැලකිල්ලට නොගෙන පනත් කෙටුම්පත සම්මත කිරීම නීති විරෝධී බව අවධාරණය කළේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව කියවා නැහැ. නැතිනම් ඇස් පේන්නේ නෑ’
එම අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා
"තමුන් සාමාන්‍ය පුරවැසියෙක් නෙමෙයි. නීතිඥවරයෙක්. ඒ නිසා තමුන් මේ ගැන හොඳින් අධ්‍යනය කර කරුණු ඉදිරිපත් කළ යුතුයි. අපිට පේන ආකාරයට තමුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අදාළව 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව කියවා නැහැ. නැතිනම් ඇස් පේන්නේ නෑ" යනුවෙන් පැවසීය.
යළිත් ප්‍රශ්නයක් මතු කළ අග විනිසුරුවරයා "ඔබ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වැරදියි කියලද?" යනුවෙන් නීතිඥවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් නීතිඥ ලක්සිරි "නැහැ ස්වාමීනි... අධිකරණය නිවැරදිව තීන්දුව දීලා තිබෙනවා. ඊට අනුකූලව එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙලා නෑ." යනුවෙන් ප්‍රකාශ කළේය.
යළි ප්‍රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවේ හැත්තෑ වන වගන්තිය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් කර තිබෙන්නේ කොතැනද? යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා 2002 වසරේ ලබාදුන් නඩු තීන්දුවක් තුළින් ඒ බව අවධාරණය කර තිබෙන බව පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුට කරුණු පෙන්වා දුන් අගවිනිසුරුවරයා "2015 වසරේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නඩු තීන්දුවේ ජනමත විචාරණයට යොමු කළ යුතු කරුණු මොනවාද ? ජනමත විචාරණයකින් තොරව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි කරුණු මොනවාද? යන්න පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙත් ඔබ සඳහන් කරන කාරණය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට එම තීන්දුවේ සඳහන් කර නෑ" යනුවෙන් පැවසීය.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා "ස්වාමීනී... 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී 2002 වසරේ ලබා දුන් නඩු තීන්දුවක් සැලකිල්ලට භාජනය කරන්න සිදුවෙනවා."යනුවෙන් සඳහන් කළේය.
යළිත් පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා "තමුන් සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. නීතිඥවරයෙක්. එහෙත් තමුන්ගේ දැනුම සම්බන්ධයෙනුත් අපිට දැන් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්නේ නැත්නම් තමුන්ගේ දැනුම සම්බන්ධයෙන් අධිකරණයට කල්පනා කරන්න වෙනවා" යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු ඉදිරිපත් කරන කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් 70(1) ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබේදැයි පෙත්සම්කරුගෙන් හතර වතාවක් විමසුවද ඔහු පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව සඳහන් කළේය.
මෙම පෙත්සම හරහා පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් නොහොබිනා ආකාරයෙන් ක්‍රියාකර ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා ඔහු අධිකරණය නොමග යවමින් අධිකරණ බලය අවභාවිතාවට ලක් කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.
ඒ අනුව පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සම තුළ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති හෙයින් එය රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් නඩු ගාස්තු ජුලි මස 31 වැනිදාට පෙර ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කරුට වැඩිදුරටත් නියෝග කර සිටියේය.
🔴 නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විදිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් (ජුලි 11 වැනිදා) පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
🔴 පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ කුමක් ද?
පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බව ය.
එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දී තිබුණි.
එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් පෙත්සම්කරු කියා සිටියේය.
එසේ තිබියදී 19 වැනි සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවත් ඔහු පෙත්සමෙන් පෙන්වා දෙයි.
මෙම වාතාවරණය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාම තුළින් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවත් ඔහු චෝදනා කර සිටියි.
මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ඉල්ලයි
මේ තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
bbc සිංහල

හෙට සිට විදුලි බිල 22.5 % කින් පහළට
මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කර තිබෙයි.
ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබෙයි.
ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වා ද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද හෙට දින සිට අඩු කර ඇත.
ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ.
කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවැත් වූ රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 18ක් දක්වා අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත.
නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 46.75ක්, රුපියල් 38.25ක් සහ රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබේ.
නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් පනවා ඇත.
විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එම කොන්දේසි අතර වේ.
එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇත.

රජා නරක නම් සට්ටම්බිරාළ හොඳ වුණේ කොහොමද : ජනපති ප්‍රසිද්ධියේ සජිත්ගෙන් අහයි !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රජා නරක් වී, සට්ටම්බිරාළ හොඳ වී ඇති බවත් , රජා නරක නම් සට්ටම්බිරාළ හොඳ වූයේ කෙසේද කියා තමන් විමසන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .
සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළහොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , අද (14) මහනුවර පැවති "එක්ව ජයගමු - අපි මහනුවර " රැළිය අමතමිනි.
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මෙම ජන රැලිය , පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබිණ.
මෙම ජනරැලි මාලාවේ පළමුවැන්න පසුගියදා මාතර පැවති අතර ඒ අනුව අද මහනුවර පැවතියේ එහි දෙවැනි රැලිය යි.
ඊට පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානපෙළේ නායකයන් සියලුදෙනා මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ මහනුවර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් සහභාගීව සිටීම විශේෂත්වයක් විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන ඇති බවත් ඊට පොහොට්ටුවේ ඇතුළු පක්ෂ කිහිපයක පාර්ශවයන් සහාය ලබාදුන් බවත් ය.
මේ වන විට දූෂණයට විරුද්ධව සටන් කරන්න අවශ්‍ය බව සමගි ජන බලවේගය පවසන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සජබ සමඟ එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන අතර ඒ සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බවද අවධාරණය කළේය .

2024 ජනාධිපති ශිෂ්‍යත්ව 116,000ක් !
දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව ඇත.
අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000 කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම අවස්ථාවේදී අ.පො.ස උසස් පෙළ සිසුන් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් දෙක යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 242ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4866ක් වෙනුවෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6234ක් වෙනුවෙන් ද, කලුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් ද,
යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3544ක් වෙනුවෙන් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් වෙනුවෙන් ද, වවුනියා දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් වෙනුවෙන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1028ක් වෙනුවෙන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 956ක් වෙනුවෙන් ද,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 364ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 8392ක් වෙනුවෙන් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4046ක් වෙනුවෙන් ද,
මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3436ක් වෙනුවෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 07ක අ.පො.ස උසස් පෙළ සිසුන් 420ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4340ක් වෙනුවෙන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2972ක් වෙනුවෙන් ද,
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5410ක් වෙනුවෙන් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2994ක් වෙනුවෙන් ද,
රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5642ක් වෙනුවෙන් ද,කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4524ක් වෙනුවෙන් ද,
මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6472ක් වෙනුවෙන් ද, මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2894ක් වෙනුවෙන් ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වෙනුවෙන් ද,
ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4410ක් වෙනුවෙන් ද, මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3644ක් වෙනුවෙන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3330ක් වෙනුවෙන් ද,
අනුරාධපු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5360ක් වෙනුවෙන් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 177ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2456ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇත. සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුවද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දි ඇත. එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දින වලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

මිනිස්සුන් නොමරා විප්ලවය කරන හැටි ජනපති පහදයි !
සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව ඉඩම් ඔප්පු 47ක් ප්‍රදානය කෙරිණ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
මම මීට වසර 50කට පෙර 1974 වසරේදී වරක් මෙම තඹුත්තේගම ප්‍රදේශයට පැමිණියා. එවකට මෙහි සිටි වාමාංශික පෙරමුණේ මන්ත්‍රී රත්නමලාන මැතිතුමාගේ මරණයෙන් පසු ඒ සඳහා ඉදිරිපත්වීමට බණ්ඩාරනායක පවුල ඇතුළේ ගැටළුවක් පැන නැඟුණා. අනුර බණ්ඩාරනායක කිව්වා එතුමා ඉදිරිපත් වෙනවා කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇහුවා සහාය ලබා දෙනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එම අවස්ථාවෙම ඔව් කියා ප්‍රකාශ කළා. එවිට චන්ද්‍රිකා මැතිණිය සහ විජය කුමාරතුංග මහත්මයා ඊට විරුද්ධ වුණා. අවසානයේ බණ්ඩාරනායක මැතිණිය රත්නමලාන මැතිතුමාගේ පුතා ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් අධිකාරි මැතිතුමා ඉදිරිපත් කර අප අතුරු මැතිවරණය සඳහා මෙම පළාතට පැමිණියා.
එදා මේ පළාත්වල කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. මින් වසර 10කට පසු 1984 වසරේ මම නැවත තඹුත්තේගමට පැමිණියා. ඒ වන විට අපි ආණ්ඩුවක් ගොඩනඟා තිබු අතර ගාමිණි දිසානායක ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අධිකාරි මැතිතුමා පත් කර තිබුණා. ගාමිණි දිසානායක මහතා මහවැලි එච් කලාපය එතුමාට භාර දුන්නා. එදා අප සියලුදෙනාගේ සහාය ලබාගෙන එය දියුණු කිරීමට එතුමා කටයුතු කළා.
මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කලාවැව ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලෙස තඹුත්තේගම නව නගරය ගාමිණි දිසානායක මැතිතුමා විසින් විවෘත කළා. මධ්‍ය මහා විද්‍යාලය, නව බස් නැවතුම්පොළ, අංග සම්පූර්ණ රෝහල, උප දිසාපති කාර්යාලය සහ වෙළෙඳ සැල් එදා ආරම්භ කළා.
මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඊට සහභාගී වු අතර එම්.එච්. මොහොමඩ් මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් ඊට සහභාගී වූණා. ඊට පෙර අධිකාරි මහතා කළ ඉල්ලීම පරිදි තඹුත්තේගම මහා විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබාදීමට මම කටයුතු කළා. ඒ වගේම අලුතින් ගොඩනැගිල්ලක් ලබාදීමට ද කටයුතු කළා.
අද තඹුත්තේගම ඉතා දියුණු නගරයක් බවට පත්ව තිබෙනවා. මම 1984 මෙම පළාතට පැමිණෙන විට මගේ මිත්‍ර අනුර දිසානායක මන්ත්‍රීතුමා එම පාසලේ සිටියා. අප එම විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබා දුන් නිසා එතුමාට උසස් පෙළ විභාගය සමත් වී, පසුව අප අලුතින් ඇති කළ කැළණිය විශ්වවිද්‍යාලයට ද ගොස් සාර්ථක වී දැන් අප සමග පාර්ලිමේන්තුවේ එකට වැඩ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
එදා ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ විශාල විරෝධයක් එල්ල වුණා. කෙසේ හෝ මෙම ධවල පත්‍රිකාවෙන් බිහි වූ එතුමා අද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. මෙයින් පෙනී යන්නේ අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයයි.
අද මම පැමිණි අවස්ථාවේ විදුහල්පතිතුමා සඳහන් කළා තවම පාසලේ සම්පත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා තඹුත්තේගම විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ලබා දීමට කටයුතු කරනවා. අප මෙම පළාත්වල විශාල දියුණුවක් ඇති කර පසුව එය ඉදිරියට ගෙන ආවා. වාරිමාර්ග ඇමතිවරු, මහවැලි ඇමතිවරු මේ පළාතෙන් බිහි වුණා.
අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.
මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය අතහරින අවස්ථාවේ අනුර බණ්ඩාරනායක මහත්මයාට එය ලබාදීමට සිටියා. එහිදී අනුර දිසානායක මන්ත්‍රිතුමන්ලා නිර්භීතව ඉදිරියට පැමිණ පැවසුවා මහින්ද රාජපක්ෂ මහත්මයාට එය ලබා දෙන්න කියලා. මැතිවරණයේදී එතුමා වෙනුවෙන් වැඩ කළා. එය මට ගැටළුවක් නොවෙයි. අද අප සියලුදෙනා එකතුවෙලා සිටින්නේ දේශපාලනයකින් තොරවයි.
රාජපක්ෂවාදින්ද, එක්සත් ජාතික පක්ෂ වාදීන්ද කියා ප්‍රශ්නයක් නැහැ. අප සියලුදෙනා එකතු වෙලා වැටුණු රට ගොඩගත්තා. අද ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා ලංකාව වගේ වැටුණු තැනින් වේගයෙන් ඉදිරියට පැමිණි වෙනත් රටක් නැහැ කියලා. අනෙක් රටවල් මෙය ආදර්ශයට ගත යුතුයි කියලා.
මීට වසර දෙකකට පෙර මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණා. කොයි රටේද අගමැතිකම හිඟමනේ යන්නේ. දින 03ක් අගමැතිවරයෙක් සෙව්වා. දේශපාලනයේදී එය සිදු විය නොහැකියි. ඒ වගේම කොයි රටේ ද තනි ආසනයක් තිබෙන කෙනෙක් ජනාධිපතිවරයා වෙන්නේ. මෙම බිඳ වැටුණු දේශපාලන ක්‍රමය මත අද අප සියලුදෙනා එකතුවෙලා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනවිත් තිබෙනවා. දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.
ඊට පෙර අප අතර විවිධ දේශපාලන ගැටුම් තිබුණා. නමුත් රට වැටෙනකොට එහෙම කරන්න බැහැ. එම අවස්ථාවේ අප එකතු වන්නේ නැත් නම් අපට දේශපාලනය කරන්න රටක් ඉතිරි වන්නේ නැහැ. පසුගිය වසර දෙකේ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට අප කටයුතු කළා. මේ බංකොළොත් වූ රටේ සමෘද්ධිය වෙනුවට ඒ වගේ තුන් ගුණයක් වැඩිකර අස්වැසුම ලබා දුන්නා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. 2015 වසරේ මම අගමැතිවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළාට පසුව පළමු වතාවටයි එම දීමනාව හිමි වුණේ. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීලා අද රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.
පසුගිය ආර්ථික අර්බුද හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. දැන් රටේ ආර්ථිකය ගොඩනැගෙන විට ඔවුන්ව අමතක කරන්න බැහැ. මේ පළාතේ ගොවි ජනතාව අපට පසුගිය කන්නවලදී හොඳ අස්වැන්නක් ලබා දුන්නා.
ඒ නිසා තමයි අපට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණේ. එම ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙස අද අප සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය විප්ලවීය පියවරක්. මෙයයි නියම සමාජවාදය. අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක්. ඒ නිසා අයිතිය ලබා දිය යුතුයි. චීනයත් සමාජවාදය අනුව ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට ආදායම් ලබා දුන්නා.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. මීට වඩා සමාජවාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන්වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙයය නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්තියයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

වත්කම් බැරකම් නොදෙන මැති ඇමතිවරුන්ගේ වැටුපට වෙනදේ මෙන්න !
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් පැනවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට , මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාදෙන ලෙස පවසමින් ජනාධිපති ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිපියක්ද යොමුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපති ලේකම්වරයාටත් ලබාදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියි.

ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීම ජනපති සහභාගිත්වයෙන්
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කරන ලද අතර, සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය මෙය වීම විශේෂත්වයකි.
හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬු වහන්සේලා සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම සිදු විය.
ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ පූජනීය නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුරතින් සිදු විය.
මේ අතර දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ඉදි කල සුවිසල් කාමර 20 කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම ද මෙහිදී සිදු විය.
මෙහිදී අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ දීඝවාපිය චෛත්‍යයේ සහ මුහුදු මහා විහාරය ඇතුළු සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කළ බවයි. “දීඝවාපිය අරුණ භාරය” නමින් අරමුදලක් ස්ථාපිත කර දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රැස්කළ බව සඳහන් කළ බවද මේ වන විට මහා දාගැබ අඩි 62.3ක් ඉහළට ඉදිකර තිබෙන බවත්, මෙහි එක අඟලක් ඉදි කිරීමට ස්ථූප ගඩොල් 72,000ක් අවශ්‍ය වන බවත් පැවසීය. මේ සඳහා ශ්‍රම දායකත්වය ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන අතර බැතිමත් ජනතාව ලබාදෙන නොමද අනුග්‍රහය ද අගය කරන බව ද ඔහු සඳහන් කළේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ, නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක දීඝවාපිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයා ගමගේ, පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය තුසිත මැන්දිස් යන සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://newstube.lk/news?mdrv=www.newstube.lk&start=1026#sigProId404051418d

ත්‍රිරෝද ගාස්තු සංශෝධනයක්
බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බව එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේය.
කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර ඒ බව සඳහන් කළේය.
"බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ මගියෙකුගෙන් පළවෙනි කිලෝ මීටරයට අයකළ හැක්කේ උපරිමය රුපියල් 100යි. දෙවැනි කිලෝ මීටරය රුපියල් 90යි. රාත්‍රි 10න් පස්සේ පාන්දර 05 වෙනතුරු මේ ගාණනට 15%ක් එකතුවෙනවා කියලා කිව්වේ. ඒ ගණනය හැදීමේදී... ඒ ගාස්තු මීටරවලට ගණන් දැමීමේදී ඇතිවන අපහසුතා නිසා ආසන්නම ගණනට හැදිය යුතුයි. කොහොම නමුත් හිතූ හිතූ ගණන් යොදාගන්න බෑ. මගියාට දැන් තියෙනවා අවස්ථාවක් යම් අසාධාරණයක් වුවොත් නිවැරදි තොරතුරු සහිතව පොලීසියට, පාරිභෝගික සේවා අධිකාරියට, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙන්න පුළුවන් තමන්ට අසාධාරණයක් වුණොත් ඒකට සාධානණයක් ඉටුකර ගැනීම සඳහා. අපි කියනවා තවදුරටත් බොරු මැසිවිලි එපා සාධාරණය කරන්න එහෙම නොවුණොත් ත්‍රිරෝද රථ වෘත්තිය කොයිතරම් ජනතාවට වැදගත් වුණත් මේක ඩයිනොසිරස් වගේ වඳ වෙන එක වළක්වන්න බෑ."

පොදු ප්‍රවාහනය පිළිබද අතිවිශේෂ ගැසට්ටුවක්....
පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා සේවා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය ඊයේ (13) සිට බලාත්මකයි.

ෆොනී සජබෙන් එළියට : කබීර් සහ නාලක ගොඩ !
ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඊට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
ඒ අනුව පුරප්පාඩු වන ස.ජ.බ සභාපති ධූරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කෙරෙනු ඇති බවත් වාර්තාවේ.
ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත්කර කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පත්කෙරෙනු ඇතැයි සජබ ප්‍රකාශකයකු පැවසීය.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ෆොන්සේකා මන්ත්‍රීවරයා, පසුගියදා සිදුකළ ඔහුගේ කෘතිය එළිදැක්වීම සමඟ තවදුරටත් සජබ නොවන බව තහවුරු කළ බවයි.
එබැවින් ඔහුව ඉවත් කිරීම අලුත් දෙයක් නොවන බවත් එය තීන්දුවක් ගන්න සජබ තුළ වූ පසුබෑමක් පමණක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි .

රටක් බලාගෙන ඉන්න පෙත්සම සඳුදා සැළකිල්ලට !
ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම සලකාබැලීම සඳහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලබන සඳුදා (15) සිදුකිරීමට නියමිතය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මතවී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.

ජනාධිපතිවරණ දැන්වීම එළියට
ඉදිරි දෙසතිය තුළදී ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳව කියැවෙන “ජනාධිපතිවරණ දැන්වීම” ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.
ලබන බදාදා (ජූලි 17) වන දායින් පසුව ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට ලැබුණ ද එදිනට එම දිනය ප්‍රකාශයට පත් නොකෙරෙනු ඇති බවත් එනම් 31දාට පෙර මැතිවරණ කොමිසම රැස්වී ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය සම්බන්ධ ක්‍රියාවලියේ නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සඳහන් කළේ ය.
ජනාධිපතිවරණ දැන්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමග මැතිවරණ කාල සීමාව ආරම්භ වන බවත් අදාළ දින සිට දින 16ත් 21ත් අතර නාම යෝජනා භාර ගැනීමත් අදාළ දැන්වීම ප්‍රකාශිත දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වුවද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාල සීමාව තුළ පැවත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ ය.

දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළැපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් !
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (13) එක් වෙමිනි.
පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
සමරු ඵලකය නිරාවරණය කර අභිනව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.
පිහිණුම් තටාකය පිහිටි භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පවරදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
2023 වසරේ අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික හා තිළිණපත් ලබා දීමට ද ජනාධිපතිවරයා එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මෙම පිහුණුම් තටාකය ඉදිකිරීම වෙනුවෙන් රජයෙන් සහ ආදි ශිෂ්‍ය සංගමයෙන් ද සහාය ලබා දී තිබෙනවා. දැන් ඔබේ පාසලට හොඳ පිහිණුම් තටාකයක් ලැබී තිබෙනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා සිදු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උතුරු මැද පළාත තුළ ආරම්භ කරනු ලැබුවේ මෙම පාසලෙන්. මෙය උතුරු මැද පළාතේ පළමු මධ්‍ය මහා විද්‍යාලයයි.
එදා මෙදා තුර මේ පාසල විශාල දියුණුවක් ලබා තිබෙනවා. විදුහල්පතිතුමා පාසල සඳහා තුන් මහල් ගොඩනැඟිල්ලක් ඉල්ලා තිබෙනවා. එම ගොඩනැගිල්ල ලබා දෙන ලෙස මම අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙනවා.
පිහිණුම් තටාකයේ ඉදිකිරීම් අවසන් කර තිබෙන නිසා සහ විද්‍යාලයේ 77 වන සංවත්සරය පැමිණෙන නිසා ජනාධිපති කාර්යාලය මඟින් මෙම විද්‍යාලයට අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක් ලබාදීමට ද කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.
මෙම පාසල වෙනුවෙන් අදහස් දැක්වූ ශිෂ්‍යයා ඔවුන්ට හොඳ අනාගතයක් අවශ්‍ය බව සිය කතාවේදී සඳහන් කළා. පසුගිය වසර දෙක තුන දෙස බැලු විට එම ඉල්ලීම ඉතා සාධාරණයි.
අප එම අනාගතය ගොඩනඟා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සිතිය යුතුයි. රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ එහි පළමු අභියෝගය අප මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.
අපට පවතින ආර්ථක ක්‍රමය අනුව ඉදිරියට යන්න බැහැ. එවිට රටක් ලෙස අපට තවත් ණය වීමට සිදු වෙනවා. එසේ සිදුවුවහොත් මේ දරුවන් බලාපොරොත්තු වන අනාගතය ගොඩනැගීමට නොහැකි වෙනවා. ඒ වගේම තවත් වසර 15කින් අපට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවාද, නැවත ආර්ථික කඩා වැටීමට ඉඩ දෙනවාද කියා අප තීරණය කළ යුතුයි. මෙහි සිටින ඔබ අවම වශයෙන් තවත් අවුරුදු 50ක් පමණ ජීවත් වෙනවා. එසේ නම් අප ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කළ යුත්තේ වසර 2050 දෙස නොව වසර 2075 පිළිබඳවයි.
අපේ රටේ ආර්ථිකය ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. රටේ පවතින ආර්ථික ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් අප ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී කෘෂි නවීකරණ වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ ආර්ථිකය යළි ඔසවා තැබීමට හැකි වුණේ මේ රටේ ගොවි ජනතාව නිසයි. ඔවුන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීමට අප කටයුතු කළා. ගොවි ජනතාව පසුගිය වගා කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමක් ලෙස අප උරුමය සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම කාර්යයේදී උතුරු මැද පළාතේ ගොවි ජනතාවගෙන්ද විශාල සේවාවක් ඉටු වුණා.
ඉදිරියේදී ලෝකයේ ජනගහණය තවත් බිලියන 02කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ 2050 වන විට බිලියන 02කට වැඩිපුර ආහාර දෙන්න වෙනවා. අපි නවීන තාක්ෂණය යොදවා උපරිම නිෂ්පාදනයක් සිදුකර ලෝකයට අවශ්‍ය ආහාර සපයාදීමට සූදානම් විය යුතුයි. මෙම වියළි කලාපයෙන් පමණක් අපට සහල්වලින් ස්වයංපෝෂිත විය හැකියි. ගොවි ජනතාවගේ අත මිට සරු වූ විට එම මුදල් මෙම අනුරාධපුරය, දඹුල්ල, වවුනියා ප්‍රදේශවලට ලැබෙනවා. එවිට එම නගර දියුණු වෙනවා.
ඒ වගේම මෙම පළාත්වල සූර්ය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි. ත්‍රිකුණාමල වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය අප ඉන්දියාව සමඟ එක්ව සිදු කරනවා. මෙහි ප්‍රතිලාභය මෙම අනුරාධපුරයට ද ලැබෙනවා.
ඒ වගේම අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරනවා. ඒ යටතේ නව තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ලැබෙනවා. එම තාක්ෂණ දැනුම ලබාදීමට විදේශ විශ්වවිද්‍යාල ඉදිරිපත් වී සිටිනවා. අප මේ අලුත් ගමන යා යුතුයි. ඔබ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමඟ ඉදිරියට යා යුතුයි. අනාගතය වෙත යාමේදී අප අලුතින් සිතිය යුතුයි.
ඇතැම් දේශපාලනඥයන් සිතන්නේ අවුරුදු 05ක් බලයට එන්නේ කොහොමද කියලයි. නැත්නම් බලයේ ඉන්න කෙනා අයින් කරන්නේ කොහොමද කියා ඔවුන් සිතනවා. මෙම දේශපාලන ක්‍රමය නිසා අවසානයේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ සමඟම මේ රටේ දේශපාලන ක්‍රමය ද බිඳ වැටුණා.
අසීරු කාලයක රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවල පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට මට හැකි වුණා. ඒ අනුව මෙරට පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා. එම ක්‍රමය අනාගතයටත් අවශ්‍යයි. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට ගැන සිතිය යුතුයි. අප රටක් ලෙස සාර්ථක වනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළයි. ඒ නිසා අප අනාගතය දෙස අවධානය යොමු කරමින් කටයුතු කරමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
⭕ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,
අද අනුරාධපුර හදවත බඳු වන මෙම මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්වන දිනයයි. පසුගිය සමයේ මේ රටේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයන් තුළ මෙම තටාකයේ වැඩකටයුතු අඩාල වී තිබුණා . නමුත් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගත් පසු එය නිම කිරීම සඳහා මුදල් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන අතරතුර මූල්‍ය තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩසටහන් ක්‍රියාත්මක කළා.
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වී රටේ ආර්ථිකය මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වුණා. අප බලාපොරොත්තු වූ කාලයට වඩා වේගයෙන් රට යථාතත්ත්වයට පත්කිරීමට හැකි වුණේ ජනාධිපතිතුමා ගේ නිවැරැදි තීන්දු තීරණ නිසයි. නව ආර්ථික ප්‍රතිසංස්කරණ නීති හදුන්වාදෙමින් නැවත ආර්ථිකය කඩා නොවැටෙන තැනකට ගෙන යාමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා . ඒ සඳහා නව වැඩපිළිවෙළක් හදුන්වා දී තිබෙනවා . මේ වන විට අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම සෞඛ්‍ය ක්‍රමයේ යටිතල පහසුකම් වල හා ආර්ථිකයේ පරිවර්තනීය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ ජනතාවගේ අනාගතය සුබවාදී කිරීමටයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන , දුමින්ද දිසානායක, රෝහණ බණ්ඩාර, ඉෂාක් රහුමාන්, හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ද ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති පර්සි මහානාම මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් හා සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොහොට්ටුවේ අපේක්ෂකයා ජුලි අග නම් කරනවා - නාමල්
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද ඔහු සඳහන් කළේය .
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව මාධ්‍ය සිදු කළ විමසීමකදීය.
කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මෙම මස අවසානයේදී නම් කරන බවත් පැවසූ මන්ත්‍රීවරයා අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බවද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

ශ්‍රී මහා බෝධි පරිශ්‍රය ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන කලාපයක් වෙයි !
අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රය මෙන්ම අටමස්ථානයම සුර්ය බලයෙන් බල ගැන්වීමට රජයේ සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අද පෙරවරුවේ අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා සූර්යබල විදුලි පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.
මේ අතර අනුරාධපුර පුද බිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL හෝල්ඩින්ග්ස් සමාගම දියත්කර ඇති ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන සැලැස්මේ ප්‍රථම අදියර ලෙස කිලෝ වොට් 150 ක සූර්‍ය බල පද්ධතිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර ඇත.
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය මෙම සූර්‍ය බල පද්ධතිය මඟින් සපයනු ලබයි. මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා එම පරිශ්‍රය ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන කලාපයක් බවට පත්ව තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය ලංකාවට හඳුන්වාදීමට සුදානම් වන අවස්ථාවේ එම වගකීම භාරගැනීම පිළිබඳ LTL හෝල්ඩින්ග්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා. LTL සමාගම අද ලෝක ප්‍රකට සමාගමක් බවට පත්වූවද එහි ආරම්භය ලංකාවේ සිදුවූ බව ඔවුන් අමතක කර නැහැ.
ඒ වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේ සහ අටමස්ථානයේ එම වැඩකටයුතු කරගෙන යාමට ආණ්ඩුවේ සහාය ලබා දී තිබෙනවා. ඉදිරියේදී ද එම සහාය ලබාදීමට කටයුතු කරනවා. අනුරාධපුර නගරයේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන විට වසර දහසකට වඩා පැරණි ඉතිහාසයක් එහි තිබෙනවා. ඒ වගේම අනුරාධපුරය පැරණි වෙළඳ සහ ආර්ථික නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙවැනි වටිනා පැරණි නගරයක සිදු කළයුතු පුරාවිද්‍යා කටයුතු ගණනාවක් තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිවරයාගේ කාලයේදී යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කළා. පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, අනුරාධපුර වැනි අපේ නගරවලට එමඟින් මහත් ප්‍රසිද්ධියක් ලැබුණා. එම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු අප තවම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ. අප දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනවා.
දැනට කාම්බෝජියාවේ ඇංකර්තෝම් නගරයේ යුනෙස්කෝ සංවිධානය ප්‍රංශය ඇතුළු රටවල ආධාර ඇතිව විශාල වැඩකොටසක් සිදු කරගෙන යනවා. වසර 30-40ක සිට එම කටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම යුනෙස්කෝව විසින් ප්‍රංශ ආධාර ඇතිව ලාඕසයේ ලුවන් ප්‍රභන් නගරයත් ඒ වගේම සකස් කර තිබෙනවා. චීන ආණ්ඩුව ද ස්ථාන කිහිපයකම තමන්ගේම මූල්‍ය ශක්තියෙන් පුරාවිද්‍යා වැඩකටයුතු කරගෙන යනවා.
නමුත් අප අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස් දුන්නා. ඒ වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට ඩර්හැම් විශ්වවිද්‍යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සඳහා ආචාර්ය ප්‍රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා.
මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි. ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා. දීර්ඝකාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්‍යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්‍යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා. මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා.
මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. අද සීගිරියට එම ප්‍රසිද්ධිය ලැබී තිබෙනවා. අතීතයේ ප්‍රධාන වෙළෙඳ, ආර්ථික මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්‍රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ. අප තන්ජෝර් ගැන කථා කරනවා, මදුරායි, සාංචිපුරම් ගැන කථා කරනවා නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා. ඒ අනිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි. එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සමඟ මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇතියි.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතියට OPEC වෙතින් රු. කෝටි 3,000ක්
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතිය සඳහා රු. කෝටි 3,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 100ක) ආධාරයක් පිරිනැමීමට ඔපෙක් අරමුදල එකඟතාව පළ කර තිබේ. එවැනි මුදලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දිනාගත් විශ්වාසයේ ප්‍රතිඵලයක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා ශාන්තිකර කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහත්වරුන් අතර මුදල් අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී මේ බව අනාවරණය විය.
අදාළ වැඩසටහන දැනට ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර, ඔපෙක් අරමුදල මඟින් ඒ සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික දායකත්වයක් දැක්වීමට එකඟත්වය පළ කර තිබේ. ඔපෙක් අරමුදල මෙරට ජනතාව වෙනුවෙන සිදුකරන මෙහෙවර පිළිබඳ ඇමැතිවරයා එහිදී කළමනාකාරවරයා වෙත කෘතඥතාව පළ කළේය.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ සිට හුරුලු වැව සහ මහ කනදරාව වැව දක්වා මේ ව්‍යාපෘතිය මඟින් පෝෂණය වෙයි. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහගේ පසුගිය ඔස්ට්‍රියානු සංචාරයේදීද මෙහිදී විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූ අතර, එහි තවත් සාකච්ඡා වටයක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට කෘෂිකාර්මාන්තය වෙනුවෙන් සිදු කෙරෙන දිගු කාලීන ව්‍යාපෘතියක් වන මේ සඳහා ඔපෙක් අරමුදල මඟින් මුදල් වෙන් කිරීම ණය ප්‍රතිව්‍යූහගතකරණයේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය හේතු වූ බව ඇමැතිවරයා පැවසීය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මතුව ඇති විශ්වාසය ඊට හේතුව බවද ඔහු සඳහන් කළේය. ඔපෙක් අරමුදල මඟින් මීට පෙර අවසන් කරන ලද ව්‍යාපෘති 13ක් වෙනුවෙන් සිය දායකත්වය දක්වා ඇති අතර, එම ආධාර යටතේ තවත් ව්‍යාපෘති 7ක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු
මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ.
මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින්, සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපතිවරයා විසින් අංක PS/CM/APL/267/2024 හා 2024-05-13 දිනැතිව රණවිරුවන්ගේ පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා පූර්ණ සහන ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද අංක අමප/24/0898/601/058 හා 2024/05/23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රණවිරුවන්ට පහත සඳහන් සහන හිමිව තිබේ.
විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයකින් සුදුසුකම් ලබා ඇතත් මෙතෙක් සංවර්ධනය කර ගැනීමට අපොහොසත් වු සියලු රණවිරු කාණ්ඩ සඳහා රුපියල් 100/ක නාම මාත්‍ර බදු මුදලක් යටතේ විශේෂ බද්දක් ලබා දීම,
බදුගත් ඉඩම් සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පහසු වන පරිදි විශේෂ බදුකරයේ කොන්දේසි ලිහිල් කිරිම
සංවර්ධනය කරමින්/ සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නොමිලේ නිදහස් දීමනා පත්‍ර ලබා දීම,
මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා ඇති, නේවාසික පදනමින් සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නිදහස් දීමනා පත්‍ර ලබාදීම,
කොන්දේසි සහිත විශේෂ දීමනා පත්‍ර ප්‍රතිපාදන ප්‍රකාරව පෘෂ්ඨාංකනය කිරීම හා කොන්දේසි ඉවත් කිරීම විධිමත් ලෙස ලියාපදිංචි කිරීම,
මැනුම් නියෝගවලට අදාළ පිඹුරුපත් හා රේඛා චිත්‍ර ලබා ගැනීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තුවලින් නිදහස් කිරීම,
සියලු රණවිරු කාණ්ඩ සඳහා නිරවුල් භූමියක හිමිකාරිත්වයක් ලබා දීමේ මෙම ජාතික වැඩසටහන මාස 04ක් තුළ අවසන් කිරීමට නියමිත අතර මේ පිළිබඳ රණවිරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දී කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දිවයිනේ තෝරාගත් ස්ථාන 04කදී ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ජංගම වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් ජංගම වැඩසටහන 2024-07-10 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ දී සාර්ථකව පැවැත්වුණු අතර 2024-07-17 දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, 2024-07-19 දින කුරුණෑගල විජයබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, 2024-07-23 දින කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී ද එම ජංගම වැඩසටහන් පැවැත්වේ.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද (12) පැවති උත්සවයට එක්වෙමිනි.
රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය.
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවකට ද එක්වූ ජනාධිපතිවරයා එහි සේවක මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර මෙම අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමත් සමඟ බිංගිරිය, දුම්මලසූරිය, මාදම්පේ ප්‍රදේශ මහනගර මට්ටමට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සංචාරක මෙන්ම ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර 05 දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරිමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
ඩොංශියා සමාගම 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර රට බංකොලොත් වූ අවස්ථාවේ පවා අප ගැන විශ්වාසයක් තබාගෙන මෙහි රැඳී සිටිමින් මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. අද වන විට 400කට පමණ රැකියා අවස්ථා ලබාදීමට එම සමාගමට හැකි වී තිබෙනවා. මෙම කර්මාන්තශාලාව නිසා රටේ තරුණ තරුණියන්ට සුබ අනාගතයක් නිර්මාණය වී තිබෙනවා. අප රට තුළ තවත් මෙවැනි ආයෝජන කලාප ඇති කළ යුතුයි. බිංගිරිය ප්‍රදේශය ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කර සමස්ත ආර්ථිකය නංවාලීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා 2018 වසරේදී අප බිංගිරිය ආයෝජන කලාපය ආරම්භ කළා. අද තවත් අක්කර දහසක් මෙම කලාපයට එක් කිරීමට කටයුතු කළා.
අප සියලුදෙනා පසු කළේ ඉතා අසීරු කාලයක්. රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධූරයක් තිබූ පක්ෂයකට ජනාධිපති ධූරය භාර ගැනීමට සිදු වණා.
ලෝකයේ මෙවැනි දෙයක් සිදුව නැහැ. අද වන විට ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස්ව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා අපට ගෙවීමට තිබෙන සමස්ත ණය මුදලින් ඩොලර් බිලියන අටක සහනයක් ලැබී තිබෙනවා. ඒ වගේම සමස්ත ණය ගෙවීමේ කාලය 2043 වසර දක්වා දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ආර්ථිකයට යම් හුස්මක් ලබා දීමට ආණ්ඩුවට හැකිවුණා.
මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොගියහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න පුළුවන්. අදත් අපේ ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් තව වසර පහළොවක් යන විට නැවත රට බංකොලොත් විය හැකියි. එම නිසා විදේශ ණය මුදල් ගැනීම පාලනය කරමින් නිසි ආර්ථික කළමනාකරණයක් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක් දක්වා ඉදිරියට ගියා. නමුත් ශ්‍රී ලංකාවට තවම එම ස්ථානයට යාමට නොහැකි වී තිබෙනවා.
එම නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුයි. අද මේ විවෘත කරන කර්මාන්ත ශාලාව අපනයන ආර්ථිකයට හොඳ උදාහරණයක් වෙනවා. අපනයන ආර්ථිකය, නිෂ්පාදන අංශය, සංචාරක අංශය, තාක්ෂණ අංශය හා නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම කළ හැකියි. ඒ සඳහා මූලික පදනම ආණ්ඩුව විසින් මේ වන විටත් තබා තිබෙනවා. මෙම වැඩපිළිවෙල ආරක්ෂා කළහොත් හොඳ අනාගතයක් තිබෙනවා.
අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් 2018 වසරේදී බිංගිරිය අපනයන කලාපය ඇති කිරීමට කටයුතු කළා. ඒ සමඟ කුලියාපිටිය, දුම්මල සූරිය, මාදම්පේ, බිංගිරිය හා හලාවත ප්‍රදේශ දියුණු කළ හැකියි. මේ සමස්ත ආයෝජන කලාපය දියුණු කිරීම තුළින් රැකියා අවස්ථාවන් 75,000ක් පමණක් බිහි කළ හැකියි. ඒ වගේම ඉරණවිල, බිංගිරිය , හලාවත සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට ද නියමිතව තිබෙනවා. ඉරණවිල ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම IT කලාපයක් ඇති කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. හලාවත වැවිලි සමාගමේ වතු යාය කෘෂි නවීකරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට ද අපේක්ෂා කරනවා.
මේ ආයෝජන කලාපයේ දියුණුවත් සමඟ නව නිවාස, නව නගරයක් ඇති වෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාරික අවස්ථා රැසක් එමඟින් නිර්මාණය වෙනවා.
ඒ අනුව අප කෘෂිකර්මය, කර්මාන්ත, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය සහ සංචාරක ව්‍යාපාරය වගේම ධීවර කර්මාන්තය දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ පන්නල, කුලියාපිටිය ප්‍රදේශත් විශාල දියුණුවක් ලබන අතර මෙම කටයුතු තුළින් අතීතයේ මාදම්පේ පැවති ශ්‍රී විභූතිය යළි ඇති කළ හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.
මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන්නේ රට දියුණු කිරීම සඳහායි. අප දැන් සිටින්නේ අසීරු කාලයක් පසුකර ක්‍රමිකව ගොඩනැඟෙමින් සිටින අවස්ථාවකයි. ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න තවමත් තිබෙනවා. ඒ වෙනුවෙන් අප එක් ආර්ථික ක්‍රමයක් අනුව ඉදිරියට යා යුතුයි. එය සාර්ථක කර ගැනීමට නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනයේ සුවිශේෂී ස්ථානයක් ලෙස බිංගිරිය හැඳින්විය හැකියි. බිංගිරිය සහ ඉරණවිල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අලුත් ආර්ථිකයක් ගොඩනඟමු. ඔබ සියලුදෙනා එහි කොටස්කරුවන් බව ප්‍රකාශ කළයුතුයි.
ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා ලෙස 2018 වසරේ දී බිංගිරිය අපනයන වෙළඳ කලාපය බිහි කිරීමට කටයුතු කළා. අද එම කලාපයේ පළමු කර්මාන්ත ශාලාව විවෘත වන දිනයයි. ඒ වගේම එම කලාපයේ දෙවන සහ තෙවන අදියර සඳහා තවත් ඉඩම් අක්කර දහසක් ලබාදීම අද සිදු කළා. නව ආයෝජන කලාප බිහිකිරීම සඳහා ජනාධිපතිවරයා අපට උපදෙස් ලබා දී තිබෙනවා. ඉරණවිල, මාන්කුලම, කන්කසන්තුරේ ප්‍රදේශවල නව ආයෝජන කලාප ඇති කිරීම පිළිබඳව අප සොයා බලමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා මේ වසර තුළ ආයෝජන ගිවිසුම් 35කට එළැඹීමට අපට හැකි වුණා. මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට ලබා දී තිබෙන රුපියල් බිලියනයක ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය මේ වන විට සම්පූර්ණ කිරීමට අමාත්‍යංශයට හැකි වී තිබෙනවා. මෙම සියලුම ආර්ථික සුභ පෙරනිමිති මඟින් ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායි වන බව කිව යුතුයි.
වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර , අශෝක ප්‍රියන්ත, ඩී.බී. හේරත් , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, සුමිත් උඩුකුඹුර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , ආයෝජනය ප්‍රවර්ධනය අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ෂෝ වින්ග් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.
Page 58 of 466