පුවත්

කාලගුණයෙන් ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනපතිගෙන් ව්‍යවස්ථා සභාවට නීති පාඩමක් !
පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සී.ඩී. වික්‍රමරත්නගේ නම හැර වෙනත් නමක් තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කතානායක මහින්ද යාපා අබේවර්ධනට මේ සතියේ ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පොලිස්පති ධූරයට පත්කිරීම සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉල්ලා සිටීමෙන් පසුවය.
ජනාධිපතිවරයා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපිය මගින් ව්‍යවස්ථා සභාව විසින් කළ යුතු පත්කිරීම්වලට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි වගන්තිය හා ඊට අදාළ උප වගන්තිද උපුටා දක්වා ඇත. එම ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් නමක් නිර්දේශ කර නොතිබූ අවස්ථාවක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවක් ව්‍යවස්ථා සභාව විසින් ඉල්ලා සිටින්නේ කවර නීතිමය පදනමක් යටතේදැයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ප්‍රශ්න කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව නඩු තීන්දු ගණනාවක් මගින්ද තහවුරු කර ඇතැයි ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වෙයි. අනතුරුව මේ ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර තිබේ. ඒ සමඟ කතානායකවරයා ජනාධිපති කාර්යාලයට දන්වා ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් දෙවරක්ම පොලිස්පති ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බැවින් ඊට අදාළව ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ නම් ඊට බාධාවක් නොමැති බවය.
- deshaya

ආයතන 5ක ලොක්කන් කෝප් සහ කෝපා කමිටු හමුවට කැඳවලා !
දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට හෙටින් (06) ඇරඹෙන සතියේ කැඳවීමට නියමිත බව වාර්තා වෙයි .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවෙන ආයතනයන් වෙයි.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට හෙට (06) කැඳවා ඇත.
ශ්‍රී ලංකා පමිති ආයතනය කෝප් කමිටුව හමුවට අනිද්දා (7) කැඳවා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන( 8) වනදාය .
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා ) අනිද්දා (8) කැඳවීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (6) සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

නව තානාපතිවරු 10ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා ජනරජය, පින්ලන්තය, බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය සහ නෝර්වේ ජනරජය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.
අද අක්ත පත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

විහාරමහාදේවියේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට
කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය හිමිවී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එම්.පී.කේ රණවීර සඳහන් කලේ සිය අධිකාරිය සතුව පැවති භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය ලැබුණු බවයි.
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගනු ලැබීය.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේ දී විවෘත කර තිබුණි.
අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක් හිමි විහාරමහාදේවී උද්‍යානය කොළඹ ධර්මපාල මාවත, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් චන්ද්‍රවංකය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මාවත යන මාර්ගවලට මායිම්ව පිහිටා තිබේ.
විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර මේ වනවිට වසර 10කට අධික කාලයක් ගත වන බැවින් පවතින සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර එම උද්‍යානය කොළඹ නගර සභාවට පැවරීමට කටයුතු කරන ලෙස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.

රජයේ සේවක වැටුප රු.10,000කින් වැඩිවන ලකුණු !
2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 30 දා අමාත්‍ය මණ්ඩලය අමතා ප්‍රකාශ කර තිබේ.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.
දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාසාහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් දිවයිනට
ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.
කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.
ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය.
රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවට හෝටලයක රැඳී සිටි බව එහි ප්‍රධානී බෙනට් කුරේ සඳහන් කළේය.
ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබිණි.

වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්
වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය.
මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275 කි.
පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රැමයක් රුපියල් 330 කට අළෙවි කළ යුතුයි.
පැකට් කල සුදු සිනි කිලෝග්‍රැමයක් උපරිම සිල්ලර මිල රුපියල් 295 කි.
පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් බව වෙයි.
මේ අතර ,ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පැවති සත 25 ක බද්ද මේ මස පළමුවැනිදා සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ලැබුවේ ය.

රට සංවර්ධනය කිරීමට ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට රතු එළියක් !
රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාළව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමද සිදු විය.
දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීම, පාසල් ගුරු හිඟය පියවීම, මාර්ග පිළිසකර කිරීම පානීය ජල ගැටළුව විසඳීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගනු ලැබූ කඩිනම් පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ නිලධාරීහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.
එමෙන්ම එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර නිරාකරණය කර ගැනීම ද සිදු කෙරිණි.
නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණීය මෙන්ම සුව පහසු සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම සංචාරක ක්ෂේත්රය සඳහා ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් ලබාදී ඇති උපදෙස් අනුව කඩිනමින් තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් තම ආයතන විෂය පථය පිළිබඳ මනා දැනුමක් පවත්වාගත යුතු බවත් එසේ නොමැති රාජ්‍ය ආයතනවලින් ජනතාවට සේවාවක් නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට ද එක් විය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී දිසානායක, වී. එස්. රාධක්රිෂ්නන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

ඩෙංගු අධි අවදානම් කලාප 36 ක්...
ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ, මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇතැයි ඔහු පැවසුවේ ය.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69,008 ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ පසුගිය මාසයේ රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවයි.
මේ මාසයේ ගතවූ දින 3 ඇතුළත රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.
newsfirst

පොලිස්පතිට තවත් සේවා දිගුවක් !
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.
පොලිස්පති සඳහා මීට පෙර ලබාදී තිබු සේවා දිගුව පසුගිය (02) වනදා අවසන් වූ අතර ඊයේ (03) සිට ලබාදී ඇති මෙම නව සේවා දිගුව සමග පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න ලබන සිව්වන සේවා දිගුව මෙය වෙයි.
මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබුණි.

නාම් 200 සැමරුම් උත්සවයේ දී ජනපතිගෙන් කඳුකරයට පොරොන්දුවක් !
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් (02) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහභාගී වුවාය.
කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.
කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.
හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්රදානය කිරීම ද සංකේතවත්ව සිදු විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය.
මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදිමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි.
ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත්ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇඟයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය රජය කටයුතු කරන බවද පැවසුවාය.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද මෙහිදී අදහස් දැක්වීය.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කදුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.
මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්රි, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තුමේන්තුවරුන් වන වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, එම්. ඒ. සුමන්තිරන්, ශානක්කියම් රාසමාණික්කම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදුලි හොරුන් නිසා මාස අටකට කෝටි අටක පාඩුවක් !
විවිධ අයථා ක්‍රම ඔස්සේ විදුලිය ලබාගැනීම හේතුවෙන් පසුගිය මාස අටක කාලය තුළ රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඇතැම් පුද්ගලයන් විදුලි මීටර් වෙනස් කිරීම සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මෙම පාඩුව සිදු ව ඇති බවද මණ්ඩලය සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක අලාභයක් ගණනය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත අද (4) පෙරවරුවේ යොමු කර ඇති බව වාර්තා වෙයි .
මේ වන විට ඉන්දියාවේ පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙන චෝදනා පිළිබඳ අවධානය යොමුකර මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් වාර්තා වෙයි .
මොහාන් ද සිල්වා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් දැනගන්නට ඇත.

ලංකාව ගැන කොරියානු ජනපතිගෙන් ප්‍රතිඥාවක් !
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා ප්රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව පෙන්වා දී ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බවද දැනුම් දී ඇත.
සමුළුව නිමවා සිය රටට පැමණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
තවද, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී ඇත.
පුළුල් ක්ෂේත්රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේ දීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
කොරියානු ජනරජය ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය මැදිහත්වීම පුළුල් කරමින් සිටින අවස්ථාවක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඇති දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටියි.

දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයට අක්කර 600ක් !
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. මෙම සමුළුව අද (03) අවසන් විය.
තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
“ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් , අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරඟකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇතියි. අයවැයෙන් පසු මම මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩ නැගෙනවා. මෙහිදී අප අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි. සියළු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා.
අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි. ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා. අප
දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය, හයිඩ්රජන් බලය ආදිය පිළිබඳව ද අවධානය යොමු කරනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා.
අප දැන් හරිත ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටිනවා. මම පසුගිය වසරේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළා. මේ වසරේ COP 28 හිදී, අප ශුද්ධ
ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අප උත්සාහ කරන්නේ වසර 2040 වන විට ශුද්ධ විමෝචනයට ළඟා වීමටයි. එය අපහසු කාර්යයක් නොවෙයි. නමුත් මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා. ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා අවශ්‍ය වෙනවා. වාසනාවකට ඒ එක් අවුරුද්දක් සඳහා නොවෙයි. එය අවුරුදු විස්සක් පුරා පවතින ව්‍යාපෘතියක්.
ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය( ICCU) ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.
තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා. අප සියළු දෙනාටම එම හැකියාව නැහැ. හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා.
ඒ නිසා මම ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා. ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. ගෝලීය වශයෙන් සිදුවන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම කණ්ඩායමයි.
මන්ද යත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි. අපට ඒ විශේෂඥ දැනුම නැහැ. දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ. මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28 යනු ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි. අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා. ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේ ය. එසේම මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරනු ලබන බව ද සඳහන් කළේය.
ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) ද මෙම සමාරම්භක අවස්ථාව ඇමතුවාය.
කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ කෘෂිකර්මය පිළිබඳ ආසියානු කලාපයේ ප්‍රධානී ආචාර්ය පූර්වි මෙහෙතා, පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

ජනපති - ඉන්දීය මුදල් ඇමතිනී අතර හමුවක් : ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15 මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ද එහිදී සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදු කළ මෙම මූල්‍ය ප්රදානය දෙරට අතර පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්රදානය යොදා ගැනීමට හැකියාව පවතී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වය හමුවේ මෙම ප්රදානය සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ඉන්දියානු රුපියල දක්වා විනිමය හුවමාරුවක් සිදු කිරීමට දෙරටම එකඟ වී ඇති අතර එය පවතින වෙළෙඳ පොළ තත්ත්වයට අනුකූලව සකස් කිරීමට ද එකඟතාව පළවී තිබේ.
මෙම එකඟතාව හුවමාරු කරගත් රාජ්‍ය තාන්ත්‍රික ලේඛන මගින් විධිමත් කරනු ලබන අතර, එය
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
දෙරට අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්වීපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉදිරියේ සිදු කරන ලදී.
මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.
මෙහිදී දෙරටේ නියෝජිතයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු විදේශ අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාස 6න් නිර්දේශ දෙන්න : පරීක්ෂණ කොමිසමක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර තිබේ.
පවත්නා මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම, විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම මෙම කොමිෂන් සභාවට පැවරේ.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි 2 වන සහ 3 වන වගන්ති වල විධිවිධාන ප්‍රකාරව මෙම කොමිෂන් සභාව පත් කර ඇති අතර විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ වැවගේ ප්රියසත් ජෙරාර්ඩ් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිෂමේ සෙසු කොමසාරිස්වරුන් ලෙස සුන්දරම් අරුමෛනායගම් සේනානායක අලිසැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර,රජිත නවීන් ක්‍රිස්ටෝපර් සේනාරත්න, අහමඩ් ලෙබ්බෙ මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, එස්තර් ශ්‍රියාණි නිමල්කා ප්‍රනාන්දු, විතාරණගේ දීපානි සමන්ත රොඩ්රිගෝ යන අය පත් කර ඇත.
එසේම කාන්තා හා තරුණ නියෝජනය වැඩිකිරීම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩුකිරීම, ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට ද කොමිෂමට උපදෙස් දී ඇත.
එසේම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, යෝජිත ව්‍යවස්ථාව ද ඇතුළත්ව පහත කරුණු පිළිබඳව නිර්දේශයන් ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරේ.
තවද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයද ඇතුලත්ව ගෝලීය වශයෙන් පිළිගත් සංවිධාන ගණනාවක් විසින් දේශපාලන පක්ෂවල විනිවිදභාවය සහ වගවීම සඳහා නිර්ණායක ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.
මැතිවරණද ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරයන්හි මූල්‍ය පිරිවැය සීඝ්රයෙන් ඉහළ යාම, දේශපාලනය තුළ මුදලෙහි භූමිකාව සහ ප්‍රතිපත්ති ග්‍රහණයට ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් අවධානයකට ලක් කර තිබෙන අතර අපරාධ වලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ඇතුළු වීම, ස්ථාවර දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන පරිදි කෙටි කාලීන දේශපාලනික පෙරමුණු ආදේශ වෙමින් පැවතීම ද කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබේ.
කොමිෂන් සභා වර්තාව මාස 06ක් තුළ ලබාදීමට නියමිතය.
Page 163 of 488