V2025

පුවත්

සැඟවූ ආහාර තොග වටලන නියෝගයක් එයි : සල්ලිත් දෙයි !

හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත නියෝගයක් කර තිබේ.

එමගින් දන්වා ඇත්තේ නිත්‍යානුකූල නොවන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කරන්නන්ගෙන් එම තොග රජයේ අනුමත මිලට මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා වන මැදිහත්වීම සිදු කර තමන් වෙත වාර්තා කරන ලෙස ද ඉන් නියෝග කර තිබේ.

කෙසේවුවත් මේ ආකාරයට අත්අඩංගුවට ගනුලබන ආහාර තොග සඳහා ආණ්ඩුව එම ව්‍යාපාරිකයන්ට මුදල් ගෙවීමක් සිදුකරන බවත් වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් නිකුත් කල නිවේදනයයි.

44444

 

එජාපයට 75 යි : ශ්‍රේෂ්ඨ ශ්‍රීලංකාව ගොඩනගන්න එක්වන්න - රනිල්

එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් පිරීම නිමිත්තෙන් වූ සංවත්සර සැමරුම අද (05) සිදුවිය.

"ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන තේමාවෙන් මෙවර එජාප සංවත්සර සැමරුම් උත්සවය මෙවර පැවැත්වුණේ කොරෝනා වසංගතය හේතුවෙන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය.

එහිදී පිරිස අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ , තව වසර විසි හතකින් නිදහසේ සියවස සමරන දා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවය.

නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බවත් එජාප නායකයා සංවත්සර උත්සවය අමතමින් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය අමතනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පිළිගැනීමේ කතාව කළ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් මේ අවස්ථාව සඳහා එක්වූහ.

කොරෝනා මරණ 10000 පනියි !

තවත් කොරෝනා මරණ තවත් කොරෝනා මරණ 189ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (05) නිවේදනය කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 96 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 93 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 34 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 154 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද නිකුත්කළ වාර්තාව පහත දැක්වෙයි.

98bb0f8a 09b9 4e4d 891b 38cc260f61e0

ජීවිත බේරගන්න තවත් මාසයක් රට වහන්න : විශේෂඥ උපදෙස්

කොරෝනා වසංගතයෙන් බේරාගත හැකි මිනිස් ජිවිත ගනන සැළකිල්ලට ගෙන රට වසා දැමීම තවත් කාලයක් දීර්ඝ කලයුතු බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමය ආණ්ඩුවට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා එක්ව අන්තර් වෛද්‍ය විද්‍යාල කමිටුව කොවිඩ් 19 සමනයට නිර්දේශ ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත්තේ , ඔක්තෝම්බර් 02 වැනිදා තෙක් රට වසා දැමුවහොත් මිනිස් ජිවිත 10,000 ක් බේරා ගත හැකි බවයි.

''සංචාරක ව්‍යාපාරයට හිතකර තත්වයක් රට තුල ඇති කර ගැනීමට නම්, දිනකට වාර්තා වන රෝගීන් ගණන 950 කට අඩු විය යුතුව ඇති බවත් එසේම , පරීක්ෂණවලින් තහවුරු වන කොවිඩ් ආසාදිතයන් අනුපාතයද සියයට 2.5 ට අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න හා අන්තර් වෛද්‍ය විද්‍යාල කමිටුවේ කැඳවුම්කාර මහාචාර්ය තමාසි මකුළොලුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.  

සංචරණ සිමා හා සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් කෘෂි කාර්මික හා එළිමහන් වෙළඳපොල සඳහා අවසර ලබා දීම නිර්දේශ කරන වෛද්‍ය සංගමය, පොදු ප්‍රවාහන සේවා, මංගල උත්සව, රුපලවන්‍යාගාර, ආපන ශාලා, සමාජ ශාලා සහ තැබෑරුම් යළි විවෘත කිරීම නොකළ යුතු බවත් එම නිවේදනය සඳහන් කර ඇත.

දැනට රට වසා දැමීමේ ක්‍රමවේදයේ  ලිහිල්භාවය නිසා නිසි ප්‍රථිපල ලබා ගත නොහැකි බවද ඔව්හු අවධාරණය කරති.

  ''වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාටත්, වයස අවුරුදු 18 ත් 60 ත් අතර රෝගී අයටත් ප්‍රමුඛතාවය  දෙමින් එන්නත්කරණය කළ යුතුය'' යි  පවසන වෛද්‍ය සංගමය, ඒ සඳහා දැනට බහුලව ඇති සයිනොෆාම් එන්නත නිර්දේශ කරයි.  

  ප්‍රතිශක්තිය අඩු ලේ පිළිකා, ටියුමර්, අවයව බද්ධ කර ඇති අය,  ඩිජෝර්ජ් සින්ඩ්‍රෝමය, විස්කොට් ඇල්ඩ්රිච් සින්ඩ්‍රෝමය ආදී රෝගයන්ගෙන් පෙළෙන සහ ඒඩ්ස් ආසාදිතයන් ට ප්‍රමුඛතාවය දිය යුතු බවත්, වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, මස්තිෂ්ක අංශභාගය, හෘද රෝග, තැලසීමියා හා පෙනහළු, අක්මා, වල නිදන්ගත රෝග වලින් පෙළෙන වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට වෛද්‍ය සංගමය නිර්දේශ කරයි. 

  ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට ෆයිසර්, මොඩර්නා හෝ අස්ට්‍රෝසොනිකා එන්නත් ලබා දීමත්, එතරම් ප්‍රතිශක්තියක් නොමැති වයස අවුරුදු 60 ට වැඩි ඇස්ට්‍රෝසොනිකා, ෆයිසර්, සහ මොඩර්නා එන්නත් ලබා ගත් සියල්ලටම පළමු මාත්‍රා දෙක ලබා ගෙන මාස 6 කට පසු තුන්වෙනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා එන්නත නිර්දේශ කර තිබේ. 

 ඊට අමතරව වෛද්‍ය සංගමය යෝජනා කරන්නේ ප්‍රතිශක්තිය අඩුව අයගේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා ''බුස්ටර්''` මාත්‍රාවක් ලබා දිය යුතු බවය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව : මනුෂගෙන් අනාවරණයක් !

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරමින් සිටින බවත්, සුදු හුණු ගෑම පසෙකින් තබා දත්ත පද්ධතිය මකා දැමුවේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමට උත්සාහ ගන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මෙම මන්ත‍්‍රීවරු කළ යුතුව ඇත්තේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම බවද මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම ගැන වෙන කාටවත් ඇගිල්ල දිගු කරලා හරියන්නේ නෑ. මේ අධිකාරියේ තියෙන්නේ වටිනා දත්ත පද්ධතියක්. ලංකාවට ගෙන්වන ප‍්‍රාථමික බෙහෙත් පෙත්තේ ඉදලා සියලුම රෝග සදහා අවශ්‍ය, මිල අධික බෙහෙත දක්වා වන දත්ත තියෙන්නේ මෙම අධිකාරියේ.

මේ වගේ සංවේදී දත්ත පද්ධතියක් සතියකට වරක් නැවත වරක් ගබඩා කරගන්නවා. ඒ මේ වගේ දත්ත පද්ධතියකට මොන යම් හෝ හානියක් සිදුවුනොත් ඒක ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වෙන නිසා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ දත්ත පද්ධතිය භාරදීලා තියෙන්නේ එපික් ලංකා කියන ආයතනයටයි. ආචාර්ය දෙහිගම මහත්තයා තමයි මෙහි ප‍්‍රධානත්වය දරනවා. මේ ක්ෂේත‍්‍රය ගැන දැනුමක් ඇති අයෙක්. මේ දත්ත පද්ධතියේ වටිනාකම ඔහු දන්නේ නැද්ද?

මේ දත්ත පද්ධතිය තියෙන්නේ වෙනම ස්ථානයක. මේ දත්ත පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගත හැකි ක‍්‍රමවේදයන් කවරේද කියලා සොයා බැලුවේ නැද්ද?

මේ දත්ත පද්ධතිය මැකී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙක්ගේ වරදක් නිසා යැයි දැන් කියනවා. මේක වෙන කාගේවත් පිට දාලා බේරෙන්න හදන්නේ.

මේ දත්ත පද්ධතියට අයත් මුර පදය හතර දෙනෙක් අතේ තමයි තිබිලා තියෙන්නේ. මේ හතර දෙනාගේ අනුදැනුම නොමැතිව මේ දත්ත මැකිය හැකිද? මේ හතර දෙනාගෙන් කෙනෙක් නෙමෙයිද මේ දත්ත පද්ධතිය මකලා දැම්මේ. මේ හතර දෙනාගෙන් කෙනෙක් නම් කළේ ඒක කළේ කවුද?

සාමාන්‍යයෙන් අපේ ජංගම දුරකතනයෙන් ඡුායාරූපයක් ඉවත් කරන්න ගියත් ඒක ඉවත් කරන්නද කියලා අහනවා. ඒක මකලා දැම්මත් එකවර දුරකතනයෙන් ඉවත් වෙන්නේ නෑ. ඒක බින් එකට යනවා. එතැනිනුත් අයින් කරන්නද කියලා ඇහුවාම තමයි මේ ඡුායාරූප ඉවත් වන්නේ.

දැන් තියෙන අලුත් ජංගම දුරකතනයකින් ඡුායාරූපයක් ගත්තම ඒක ක්ලවුඩ් එකකට යනවා. දුරකතනයෙන් ඡයාරූපය ඉවත් කළත් ඒක ක්ලවුඩ් එකේ තියෙනවා. ඒ ගබඩාවෙන් ඉවත් කරන්න ගියත් මේක කරන්නම ඔ්නද කියලා අහනවා. එතකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකනකොට මේ ප‍්‍රශ්ණවලට උත්තර දුන්නේ කවුද? එක බොත්තමක් එබූ පමණින් ඉවත් එම දත්ත ඉවත් වෙන්නේ නැහැ.

මේ දත්ත පද්ධතිය ඉවත් කරනවා නම් ඒ සදහා ඉහළ අධිකාරියකින් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැද්ද?

මේ දත්ත මකා දැමීමට විධායන දුන් පුද්ගලයා කවුද? මේ විධායනය දුන් පුද්ගලයා කවුරුන්ද කියලා අයි.පී. ලිපිනය හරහා සොයා ගන්න පුලුවන්. කොතැනිින්ද පරිඝනයකට ඇතුළු වුනේ කියලා සොයා ගන්න පුලුවන්. කාගේ මුර පදයෙන්ද ඇතුළු වුනේ.

මේ එකකටවත් උත්තර දෙන්නේ නැතිව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු සුදු හුණු ගාන්න, තමන්ගේ යාළු මිත‍්‍රයින් බේරා ගන්න උත්සාහ කරනවා. බෙහෙත් මාෆියාවට අවශ්‍ය කරන ආකාරයට කවුරුන් හෝ දත්ත පද්ධතිය මකා දැමූ විට ඒකට සුදු හුණු ගාන්න හදනවා.

රටේ වැදගත් දත්ත පද්ධතිය ආරක්ෂා කරගැනිමට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් තිබුණේ නැද්ද? මෙසේ ඉවත් වන දත්ත බැකප් කරගැනීම සදහා ක‍්‍රමවේදයක් තිබුණේ නැද්ද කියන එක බරපතල ප‍්‍රශ්ණයක්.

ජාතික ආරක්ෂාව රකිනවා කියලා ආණ්ඩුව ආවේ. ඒත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා තියෙනවා.

තාක්ෂණික වශයෙන් ගත්තම මේ දත්ත මැකීමට ඉහළ විධානයක් තිබිය යුතුයි. ඒ විධානය දුන්නේ කවුද? මේ දත්ත පද්ධතියට ඇතුළුවුනේ කවුද? ඔහුගේ අයි.පී. ලිපිනය මොකක්ද? ඔහු දත්ත පද්ධතියට ඇතුළු වුනේ කොතැනින්ද? මේ දත්ත පද්ධතියේ මුර පදය හතර දෙනෙක් සතුව තිබෙනවා නම් ඒ හතර දෙනා කවුද? මේ හතර දෙනාගෙන් පිට අයෙක් මේ දත්ත පද්ධතියට ඇතුළු වුනා නම් ඒ කවුද? කොතැන තිබෙන පරිඝනකයකින්ද ඒ සදහා ඇතුළුවී තිබෙන්නේ? කුමන රටින්ද, කුමන තැනකින්ද ඒ පද්ධතියට ඇතුළු වුනේ කියලා සොයා ගැනීමට අමාරු දෙයක් නෙමෙයි.

මේ මන්ත‍්‍රීවරු කරන්න ඔ්න මේ ඇත්ත සොයා ගෙන ප‍්‍රසිද්ධ කිරීමයි. මේක වෙන ආණ්ඩුවක් පිටින් දාලා අත සෝදාගන්න එපා.

– Manusha Media

රට තුළ විනිමය අනුපාත 3ක් !

රට තුළ විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මක වන බව ඒ ගැන සිදු කළ විමර්ශනයකදී හෙළිදරව් විය.

ඉන් පළමුවැන්න අමෙරිකානු ඩොලර් සඳහා මහ බැංකුව නියම කරන විදේශ විනිමය විකිණීමේ නිල අනුපාතයයි. දැන් එය ඩොලරයකට රු. 204/-ක් පමණය.

දෙවැනි විනිමය අනුපාතය ක්‍රියාත්මක කර ඇත්තේ පෞද්ගලික වාණිජ බැංකු විසිනි. එම බැංකුවලින් නිවේදනය කර ඇති පරිදි ඩොලරයක් විකුණන්නේ රු. 226/-ත් 228/-ත් අතර මිලකටය.

මෙම විනිමය අනුපාත දෙකටම අමතරව කොළඹ චැතැම් වීදිය ඇතුළු කළුකඩ වෙළෙඳපොළේ ඩොලරයක් අලෙවි වන්නේ රු. 240/-ත් රු. 250/-ත් අතර මිලකටය. මෙම නිල නොවන මූල්‍ය වෙළෙඳාම සඳහා බලපත් ලැබූ ව්‍යාපාරිකයෝද සිටිති.

එහෙත් ඔවුන් මෙයට පෙර ඩොලර් අලෙවි කළේ මහ බැංකු අනුපාතයට වඩා රුපියල් දෙක තුනක් මිල ඉහළ නංවමිනි.

රටේ වාණිජ බැංකුද මහ බැංකු අනුපාතයට සාපේක්ෂව රුපියලක දෙකක මිල වෙනසක් ඇතිව ඩොලර් අලෙවි කළේය.

පවත්නා ඩොලර් හිඟය නිසා රට තුළ මේ වන විට ඩොලර් අලෙවියට විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මකය. එසේම අනාගත වෙළෙඳපොළ සඳහා (Forward Market) ඩොලර් අලෙවිය සිදු කිරීමේදී විවිධ ඉහළ මිල අනුපාත වාණිජ බැංකු විසින් නියම කර තිබේ.

– Deshaya

වයස අවුරුදු 20-29ත් අතර පිරිසට හෙට සිට එන්නත්

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මේ වන විට එන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද එන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් සදහා එන්නත්කරණය හෙට දිනයේදී දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ යුද හමුදා කදවුර හා වේරහැර හමුදා රෝහලේදී සිදු කරන බවද යුද හමුදාපති පැවසීය.

ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක්

මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

ඒ අනුව අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කර ඇත.

මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.

කොවිඩ් වැළඳී ආදිවාසී නායකයාගේ බිරිඳ මියයයි

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා  අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

හීන් මැණිකා  දරුවන් 09 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.

ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000 යි

ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (04) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.

සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල  අද එම අමාත්‍යංශයේදී අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය.

පසුගිය දිනවල ඉතා අධික මිල ගණන්වලට ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබිණි.

ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දෙයි.

ජෝගින් ට්‍රැක් ජෝගිය කන්තලේ වැවටත් ! (වීඩියෝ )

ජනතා විරෝධය මැද හකුලා ගැනුණු පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයට පසුව දැන් තවත් සුප්‍රසිද්ධ වැවක් ආශ්‍රිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මෙවර වාර්තා වන්නේ, දෙවන අග්බෝ රජ සමයේ ඉදි කළ කන්තලේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ සූදානමක් ගැනය.

මෙකී ‌ව්‍යාපෘති යෝජනාව කන්තලේ නගර ශාලාවේ පැවැති රැස්වීමකදී අනාවරණයවී ඇති අතර මේ සදහා රුපියල් මිලියන 20ක මුදලක් සම්මත වී ඇති බවත් සඳහන්ව ඇත.

ඊට දැනටමත් ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ඊට විරෝධය පළ කොට ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට රට බරපතල මුල්‍ය අර්බුදයක පසුවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ වෙළඳපොළේ ඇතැම් භාණ්ඩ හිඟතා ගැනත් මාධ්‍ය වාර්තා පළවෙයි.

එවැනි පසුබිමක මේ ආකාරයට ඇවිදින මංතීරු ඉදිකිරීමට මේ අවස්ථාව නොවන බවට මත පළවෙමින් තිබේ.

දරුවන් 25ක් කොරෝනාට බිලි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.

තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

කොවිඩ් ආසාදිතව මිය ගිය දරුවන්ගෙන් වැඩිදෙනෙකු රිජ්වේ ආර්ය්යා ළමා රෝහලේ දී මිය ගොස් ඇති අතර එය සංඛ්‍යාවක් ලෙස 18කි.

(aruna )

image 17a39e6aa5

තවත් කොරෝනා මරණ 145ක් !

කොරෝනා මරණ 145 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (04) නිකුත්කර ඇත.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 77 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 68 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 4 දෙනෙක් සිටිති.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 24 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 117 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඒ අනුව පසුගිය දින වලට ඊයේ දින (03) සාපේක්ෂව මරණ සංඛාවේ අඩුවක් පෙන්නුම් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

covid death 1000px

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙක්

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

පත්කරනු ලබන අදාළ නිලධාරියා විසින් ආයතනික මට්ටමින් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා රෝගීන් කළමනාකරණය, වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සමග සමීබන්ධීකරණය ඇතුළු කටයුතු සිදු කළ යුතුයි.

කොවිඩ් කාර්යභාර නිලධාරියෙක් පත් කිරීම මගින් කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි !

ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත නමුත්

මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?

චීනයෙන් ලැබුණු මුදල් කෘත්රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය. රාජ්ය මුල්ය බංකොලොත් භාවය,

රාජ්‍ය  ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්ය ප්රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

or

or2

or3

අපි ප්රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

• ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?

• පවත්නා අභියෝගයන් සඳහා අවශ්ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?

• විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

• මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්රමෝපාය මොනවාද?

මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී. විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.

පුරාජේරු. වගාඩම්බර වලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්යන්තරය අවශ්ය නැත වැනි උද්දච්ච ප්රකාශ කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.

ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.

විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මහා මූල්‍ය අපරාධයක් : දිනමිණ පුවතින් ආණ්ඩුවේ රෙදි නැතිවෙයි !

මෙරටට සීනි ආනයනය කිරීමේ බදු මුදල කිලෝවක් සඳහා රුපියල් 50/- සිට ශත 25 දක්වා කපා හැරීමේ රජයටl ලැබිය යුතු රුපියල් මිලියන 29,054 (රුපියල් කෝටි 2,905) ක අති විශාල බදු ආදායමක් අහිමි කර ගත් ආකාරය දිනමිණ පුවත්පත හෙළිකරයි.

එම පුවත්පතේ අද (3) පළ කර තිබෙන ප්‍රධාන ප්‍රවෘතියෙන් මෙයට අදාළ දත්ත සියල්ල හෙළිකර තිබේ.

2020 ඔක්තෝබර් 14 වෙනි දින සිට මෙම වසරේ ජූනි 30 කාලය තුළ ශත 25ක බදු අය කිරීම යටතේ සීනි මෙට්‍රික් ටොන් 584,000ක් ආනයනය කර තිබෙන බව හෙළි කර තිබේ.

2020 ඔක්තෝබර් 14දින වන විට මෙරට ගබඩා තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878ක් බව දක්වා තිබේ. ඒ අනුව මාස 17කට අවශ්‍ය තරම් අති විශාල සීනි තොගයක් ශත 25ක බදු මුදල යටතේ ගෙන්වා ඇති බව දිනමිණ දත්ත සමඟින් හෙළිකර තිබේ.

සීනි මෙට්‍රික් ටොන් 584,000ක් යනු කිලෝ ග්‍රෑම් 584,000,000 කි. මේ අනුව කිලෝ ග්‍රෑම් එකකින් අහිමි වූ රුපියල් 49.57ක බදු මුදල ගණනය කිරීමෙන් ( 584,000,000 X 49.75) රුපියල් මිලියන 29,054ක් වූ බදු ආදායමක් අහිමි කර ගෙන ඇත. මෙම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට කිසිසේත් ලබා නොදී මුලුමනින්ම ආණ්ඩු හිතවාදී ජාවාරම්කරුවන් අතට ගලා යාමට සලස්වනු ලැබීය. 

image

Lanka Truth

පොලිසියට වසර 155 යි : 11700කට කොරෝනා හැදෙයි !

ශ්‍රී ලංකා පොලිස් සේවය පිහිටුවා අද (03) දිනට වසර 155ක් සපිරෙයි.

වාර්තා වන ආකාරයට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලිස් සේවයට වසර 155ක් සපිරීම නිමිත්තෙන් පොලිස් දින සැමරුම පැවැත්වෙන්නේ නැත. ඒ වෙනුවට පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල මට්ටමින් පොලිස් ධජය එසවීම පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

මේ අතර පොලිස් සේවයේ 11,700ක් මේ වනවිට කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ දක්වා කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න - විශේෂඥ වෛද්‍ය සුදර්ශනී

තම ජීවිත ආරක්ෂා කරගැනීමට තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.

මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ගම්පහ සිට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලඳීමත් ඉතා වැදගත් බවත් ඇය කියා සිටියාය.

එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත.

ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

Page 442 of 473