V2025

විදෙස්

ග්‍රීසියට ප්‍රබල භූ කම්පනයක්

ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එරට වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.9ත් 6.4ත් අතර ප්‍රබලත්වයකින් යුතුව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ භූ කම්පනයන් තුර්කිය, ඊජිප්තුව, සිරියාව සහ ඊශ්‍රායලය යන රටවලට ද බලපා ඇති බව සඳහන්ය.

භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබේ.

මීට සතියකට පමණ පෙර ද ඒකක 6.4 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ග්‍රීසියේ හටගෙන තිබුණි.

ඇෆ්ගනිස්ථාන ජනපති පළා යයි

ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි රැකවරණය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට(UAE) පළාගොස් තිබේ.

පසුගිය සති අන්තයේ තලෙයිබාන් සටන්කාමින් ඇෆ්ගනිස්ථානයේ අගනුවර අල්ලා ගැනීමත් සමග ජනපති අෂ්රෆ් ගානි රටින් පිටව ගොස් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ, මානුෂීය හේතුන් මත ගානි හා ඔහුගේ පවුලේ සාමාජිකයින් පිළිගත් බවය.

ඊයේ (18) දිනයේ අන්තර්ජාල විඩියෝවක් මගින් අෂ්රෆ් ගානි තම පළායාම ප්‍රතික්ෂේප කළ අතර ඔහු කියා සිටියේ, මහා විනාශයක් වැළැක්වීම සඳහා ඔහු රටින් පිටව ගිය බවය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ, ඔහු විශාල මුදල් ප්‍රමාණයක් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය බවය.

අමෙරිකා එක්සත් ජනපදයේ සොල්දාදුවන් 4,500ක් පමණ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගුවන්තොටුපොළ පාලනය කරන නමුත්, පර්යන්තවලට ඇතුල්වන සියලුම මාර්ගයන් පවතින්නේ තලෙයිබාන් සටන්කාමීන් යටතේ ය.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන ආකාරයට තලෙයිබාන් සංවිධානය සංචාරක ලියකියවිලි නොමැති ඇෆ්ගන් ජාතිකයින්ට ගුවන්තොටුපොළ වෙත යාමට ඉඩ නොදෙන අතර වලංගු ලියකියවිලි ඇති අයට පවා ගුවන්තොටුපොළ වෙත යාමට බාධා එල්ලවී පවතී.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ, තමන් ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් ඉවත් කර ගන්නා තෙක් අමෙරිකන් හමුදාව රටේ තබා ගැනිමට කැපවී සිටින බවය.

ඔහු මෙය පැවසුවේ, මේ මස 31 වැනිදා වනවිට සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා බවට මින් පෙර පවසා ඇති පසුබිමක ය.

newsfirst

තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්...46 ක් මරුට

දකුණුදිග තායිවානයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගින්න හට ගෙන ඇත්තේ, එරට වේලාවෙන් අලුයම 2:50 ට පමණයි.

විදෙස් වාර්තා අනාවරණ කළේ, 79 දෙනෙකු රෝහල්ගතකර ඇති අතර 14 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි.

මෙලෙස ගිනි ගත්තේ, වසර 40 ක් පමණ පැරණ මහල් 13 කින් සමන්විත ගොඩනැගිල්ලකට බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ගින්න ඇති වන අවස්ථාවේ, පුද්ගලයින් 100 කට වැඩි සංඛ්‍යාවක් ගොඩනැගිල් සිට ඇති බව වාර්තා වේ.

මේ වන විට ආරක්ෂක අංශ හා ගිනි නිවීම් බටයින් 377 කට වැඩි පිරිසක් ගින්න පාලනයට යොදා ඇති අතර ගොඩනැගිල්ලේ අභ්‍යන්තර කොටසේ තවමත් සිරවී සිටින පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමට අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තායිවානයේ ජනාධිපති සායි ඉන්-වෙන් ෆේස්බුක් සටහනක් තබමින් ගින්නෙන් විපතට පත්වූවන්ට සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ගින්නෙන් පීඩාවට පත් නිවැසියන් පදිංචි කරවීමට සහ විපතට පත් වූවන්ගේ පවුල්වලට අවශ්‍ය ආධාර ලබා දීමට රජයක් ලෙස උපරිම උත්සාහක යෙදෙන බවයි.

එක් ඩෙල්ටා ආසාදිතයෙක් නිසා නවසීලන්තය නැවතත් ලොක්ඩවුන්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් ආසාදිතයෙකු වාර්ත වීමත් සමග සමස්ත රටම ලොක්ඩවුන් කිරීමට තීරණය කළ බව අග්‍රමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසයි.

එම ආසාදිතයා අද (17) හමුවී ඇති අතර අදාල පුද්ගලයාට ආසාදනය වී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව රටපුරා සිව්වැනි තත්ත්වයේ අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කර ඇති අතර, අවම වශයෙන් දින තුනක්වත් එය බලපැවැත්වෙනු ඇති බවයි වාර්තා වෙයි. ආසාදිතයා වාර්තා වූ ඕක්ලන්ඩ් නගරය ඇතුළු ප්‍රදේශය සතියක කාලයක් සඳහා වසා තබනු ඇත.

අගමැතිනිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පවසා ඇත්තේ වෛරසයේ වේගය පාලනය කිරීමට සහ පැතිරීම පාලනය කිරීමට ඉතා ඉක්මනින් පියවර ගතයුතු බවත් ඒ අනුව රටම වසාදමා ‍පැතිරීම පාලනය කිරීමට කටයුතු කරන බවත්ය.

පාසල්, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, පොදු ස්ථාන සියල්ල වසා දැමීමට තීරණය කර ඇති අතර අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් පමණක් විවෘතව තැබෙනු ඇත.

කොවිඩ් වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග නවසීලන්ත බළධාරීන් අවස්ථා කිහිපයකදී ඉතා සාර්ථකව වසංගතය මැඩපැවැත්වීමට සමත් වූ අතර විශේෂයෙන් නවසීලන්ත අගමැතිනියගේ ක්‍රියාකලාපය කැපී පෙනිණි.

මේ නිසා කෙ‍ාවිඩ් වසංගතයෙන් එරටට සිදු වූ හානිය ඉතා අවම වූ අතර ඒ පිළිබඳව ලොව බහුතරය‍කගේ ප්‍රසාදය හිමිව තිබේ.

පැන්ඩෝරා පේපර්ස් : විමර්ශන අරඹන්න අගමැති සූදානම් !

රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යම් වැරැද්දක් සිදු වී ඇත්නම්, ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි.

තව ද අතිශය බරපතළ මෙම අසාධාරණය ලොව මුහුණදී සිටින දේශගුණික විපර්යාස අර්බූදයට සමාන ලෙස සලකන්නැයි ද අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ඉම්රාන් අග‍්‍රාමාත්‍යවරයාගේ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් ය.

එසේම, අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ හිටපු මූල්‍ය උපදේශකවරයාගේ පුතාගේ නම පැන්ඩෝරා පත‍්‍රිකාවල සදහන්වන බව පැවසේ.

ලොව රටවල් දුප්පත් නොමැති බව පවසන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, දුපත්කමට ප්‍රධාන හේතුව දූෂණ හා අක්‍රමිකතාය යන්න, සිය විශ්වාසය බවයි. තව ද සම්පත් සොරකම රටක් පහත වැටීමට හේතු වන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා එමගින් ඇතිවන දරිද්‍රතාවය දහස් ගණනකගේ මරණවලට එය හේතු වන බව ද සඳහන් කර සිටී.

මේ අතර නැගෙනහිර ඉන්දීය සමාගම ඉන්දියාවේ ධනය කොල්ලකෑවාක් මෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ පාලක පැළැන්තිය ද එය සිදු කරන බව අගමැතිවරයා අවධාරණය කර සිටී.

තවද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ධනවත් රාජ්‍යයන් මෙම මහා පරිමාණ කොල්ලයන් වැළැක්වීමට හෝ කොල්ලකන ලද මුදල් ආපසු ලබා දීමට උනන්දුවක් නොදැක්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස හැඳින්වෙන විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කෙරුණු අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම ලිපි ගොනුවල රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

(මව්රට )

රටින් පැන යාමට වෙහෙසෙන ඇෆ්ගන් වැසියෝ

තලේබාන්වරුන් බලය බෙදා ගන්න සාකච්ඡා කරන අතරතුර ඇෆ්ගනිස්ථාන ජනතාව ජීවිතය බේරගන්න රටින් පැන යාමට මහත් වෙහෙසක් දරමින් සිටී.

ඔවුන් ගුවන්යානාවල එල්ලී ඇෆ්ගනිස්ථානයෙන් පිට වීමට උත්සහ දරමින් සිටින්නේ, ජීවිත ද පරදුවට තබමිනි.

කාබුල් ගුවන්තොටුපළ කඩිගුලක් ලෙස ඇවිස්සී තිබිණ.

කිසිදු බලාපොරොත්තුවක් නැති ඇෆ්ගන් ජනතාව දකින දකින ගුවන්යානයේ නැගී රටින් පිටවීමට උත්සහ කළ අතර එලෙස ගුවන් යානයකට ගොඩ වූ දෙදෙනෙකු යානයෙන් බිමට පතිත වන දර්ශන පෙළක් ද අද විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර තිබිණ.

ගුවන් තොටුපළේ පවතින තදබදය හේතුවෙන් පස් දෙනෙකුවත් මිය යන්නට ඇති බවට අනුමාන කෙරේ.

ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් හැටක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ රටින් යන අයට නිදහසේ යාමට ඉඩ හරින ලෙසයි .

එමෙන්ම පාරවල් දේශ සීමා සහ ගුවන්තොටුපළ විවෘතව තබන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

බල හුවමාරුව පිළිබඳ සාකච්ඡාවේ අවසන් අදියරේ සිටින තලේබාන්වරුන් ජනාධිපති මන්දිරය රිසිසේ භුක්ති විඳින අයුරු ද අද මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රකාශක මොහොමඩ් නයිම් ප්‍රකාශ කළේ , පැවති රජයට හා හමුදාවට උදව් කළ කිසිවකුට හානියක් සිදු නොකරන බවයි.

newsfirst

 

 

ඕස්ට්‍රේලියාවේ භූමිකම්පාවක්

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත.

මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව වේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් 180 ක් දුරින් පිහිටි මැන්ස්ෆීල්ඩ්( Mansfield ) ලෙස හඳුනා ගෙන ඇත.

පළමුව මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය රිව්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. පළමු කම්පනය සිදුවී විනාඩි 15 - 20 ත් අතර කාලයකදී තවත් එක සුළු පසු කම්පනයක් මෙල්බර්න් හි ඇතැම් ප්‍රදේශ වලට දැනී ඇතැයි වාර්තා වේ.

භූමිකම්පාවේ ප්‍රබලත්වය කැනබරා නුවර, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව, නිව් සවුත් වේල්ස්, සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුනු බව වාර්තාවේ.

එමෙන්ම කලාපයට සුනාමි අවදානමක් නොමැති බවද ඔස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Earthquake 1000px

ඉන්දියාව 75 වැනි නිදහස සමරයි

ඉන්දියාව, නිදහස ලබා අදට වසර 75ක් සපිරේ.

නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලියේ රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමින් අද උදෑසන ආරම්භ විය.

මේ සඳහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනාගත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට ආරාධනා කර ඇතැයි වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමුදා උත්තමාචාර මැද රතු බළකොටුවේ පැවැති සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය.

'කොවිඩ් 19' ව්‍යසනය හමුවේ කැපවීමෙන් සේවය කරන ඉන්දීය සෞඛ්‍ය අංශ සාමාජිකයන් ඇගයීමට මෝදි කටයුතු කළේය.

ජාතිය අමතමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා මර්දන එන්නත්කරණයේ දී ඉන්දියාව කිසිදු රටක් මත රඳා නොසිටින බවත්, ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කිරීමට, යටිතල පහසුකම් නංවාලීමට නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බවත්ය.

බ්‍රිතාන්‍යයේ චීන තානාපතිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දොර වැහෙයි !

බි‍්‍රතාන්‍යයේ සිටින චීන තානාපතිවරයාට, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති උත්සවයක් සදහා සහභාගී වීමේ අවස්ථාව, බි‍්‍රතාන්‍ය රජය විසින් වළක්වා තිබේ.

ඊට හේතුව වී ඇත්තේ, චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් කතා කළ බි‍්‍රතාන්‍ය මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුට චීනය විසින් සම්බාධක පනවා තිබීමයි.

සිංජියෑන් පලාතේ ජීවත්වන උයිගර් ජනප‍්‍රජාවන් [විශේෂයෙන්ම මුස්ලිම්වරු] ඉලක්ක කර ගනිමින් චීනය විසින් වාර්ගික සංහාරයක් දියත් කර තිබෙන බවට සී ජිං පින් ගේ නායකත්වයෙන් යුතු චීන රජයට දැඩි විවේචන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් චීනය විවේචනය කළ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ මානව හිමිකම් කි‍්‍රයාධරයන් කිහිප දෙනෙකුට චීනයට ඇතුළු වීම තහනම් කර තිබේ.

එසේ තිබියදී, බි‍්‍රතාන්‍යයේ චීන තානාපතිවරයාට – බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දිය නොහැකි බවයි බි‍්‍රතාන්‍ය පවසා ඇත

හයිටි භූමිකම්පාවෙන් 304 ක් මිය ගිහින්

හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ.

භූමිකම්පාව හේතුවෙන් මියගිය ගණන 304 ක් යැයි වාර්තා වෙයි.

භූමිකම්පාව හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු ගණන 2,000 කට වැඩිය.

භූ චලනයේ ප්‍රභලත්වය මැග්නිට්යුට් එකක 7.2 කි.

මෙහි ප්‍රබලත්වය කියුබාව, ජැමෙයිකාව ඇතුළු කැරබියන් කාලපයටම දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූචලනය හේතුවෙන් නිවාස 900ක් සම්පූර්ණ විනාශ වි ඇති බවත් හෙයිටි අගනුවර වූ පෙට්රෝ ප්‍රින්ස් සිට කි.මී 150 ක් බටහිරින් පිහිටි පෙට්රෝ ද නිප්ස් නගරයට භු චලනයෙන් දැඩි බලපැම් එල්ල වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර භූමිකම්පාවෙන් විපතට පත්වුනු හයිටියට කඩිනමින් ඇමෙරිකාව ආධාර කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත.

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය : ජනවර්ගයක ක්‍රියාවක් නොවෙයි !

“ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මිස, ඇදහිල්ලකින්, සංස්කෘතියක හෝ ජන වර්ගයක ක්‍රියාවක් නොවේ. මෙම ක්‍රියාවේ වගකීම දැරිය යුත්තේ ඔහු පමණයි.”

මේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී ඊයේ (03) පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමෙන් පසු නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් මහත්මිය අපරාධය හෙළා දකිමින් සිදු කළ ප්‍රකාශයයි.

පිහිඇණුම සිදුවී විනාඩියක් පමණ කෙටි කාලයක් ඇතුළතදී අපරාධයට සම්බන්ධ ශ්‍රී ලාංකික අන්තවාදී සැකකරු නවසීලන්ත පොලිසීය විසින් ඝාතනය කරනු ලැබිණ.

සිදුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියේ, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් මෙහි වගකිවයුත්තා වන බවයි.

මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිදු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන සිටින අවස්ථාවක තුවාල ලැබූවන්ට උදව් කළ පිරිසට තමා ස්තුතිය පළ කරන බවත් ය.

සැකකරු IS ත්‍රස්ත කණ්ඩායමේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන තිබිණ.

මේ අතර 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති ඔහුගේ මතවාදය පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු එරට ආරක්ෂක අංශවල නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි පුද්ගලයෙකි.

මේ අතර නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා පවසන්නේ, මෙම පුද්ගලයා තනිවම කටයුතු කර ඇති බවට නිලධාරීන් විශ්වාස කරන බවත් ඒ අනුව තවදුරටත් සමාජයට අනතුරුදායක කිසිවක් නොමැති බවයි.

කෙසේ වෙතත් යමෙකු දැඩි නිරීක්ෂණයට ලක් කරමින් සිටිය ද ආරක්ෂක අංශවලට සෑම අවස්ථාවකම සමීපස්ථව ඔවුන් ආසන්නයේ රැඳීමට නොහැකි අවස්ථා පවතින බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ප්‍රහාරය සැලකෙන්නේ, 2019 වසරේ මාර්තු මාසයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට පසු නවසීලන්තයේ සිදුවූ පළමු ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි.

(news 1st )

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනගරයත් වසයි !

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද (12) පස්වරු 5.00 සිට සතියක කාලයකට බලපැවැත්වෙන පරිදි කැන්බරා නගරය වසා දැමීමට තීන්දුකර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෙම තීන්දුව සමඟ ලක්ෂ 04 ක පමණ ජනතාවට සිය නිවෙස් තුලට වී සිටීමට සිදුවන අතර පිටතට යාමට අවස්ථාව හිමිවනු ඇත්තේ, අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එරෙට බලධාරීන් මෙලෙස අගනුවර වසා දමන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු හමුවීමත් සමඟය. මෙසේ කැන්බරා නගරයෙන් ආසාදිතයකු වාර්තා වී ඇත්තේ වසරකට පමණ පසුව බවත් අදාළ වාර්තා වල සඳහන් වෙයි.

ඔස්ට්‍රේලියාවද මේ වන විට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීම පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර මේ වන විටත් එරට සිඩ්නි සහ මෙල්බර්න් යන නගර වසා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

නවසීලන්ත සුපිරි වෙළඳසැලේ පිහි ඇණුමක් : ප්‍රහාරකයා ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

හදිසියේ එහි කඩාවැදුණු පුද්ගලයෙකු සුපිරි වෙළඳසැලේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියකින් ඇණ ඇති අතර මේ නිසා පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස්  වාර්තා වාර්තා කරයි.

පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීම් හමුවේ ප්‍රහාරකයා මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසන්නේ මෙය ISIS සංවිධානයේ ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති අතර,  ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවද හඳුනාගෙන තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයා 2011 වසරේදී නවසීලන්තයට ගොස් ඇති අතර 2016 වසරේ සිට ඔහු පිළිබඳව එරට ආරක්ෂක අංශ විමසිලිමත්ව සිටි බවයි අගමැතිනිය පවසයි.

ඔහුගේ මතවාදය පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් අදාළ පුද්ගලයා එරට ආරක්ෂක අංශවල නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි අයෙකු බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

IS ත්‍රස්ත කණ්ඩායමේ අනුගාමියෙකු ලෙස සැලනෙක මෙම අන්තවාදි පුද්ගලයා පිළිබඳව වසර 05 ක පමණ සිට නවසීලන්ත ආරක්ෂක සැලකිලිමත්ව සිට තිබේ.

ලන්ඩන් පාලම පැය 12ක් නවතියි

ලොව අතිශයින්ම ජනප්‍රිය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ලන්ඩන් ටවර් පාලම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පෙරේදා පැය 12ක කාලයක් වසා දමා තිබූ බව වාර්තා වේ.

ලන්ඩනයේ සුප්‍රකට තේම්ස් නදිය හරහා ඉදි කර ඇති වසර 127ක් පැරැණි මේ පාලමේ විශේෂත්වය වන්නේ තේම්ස් නදියේ නෞකා යාත්‍රා කිරීමේදී හරිමැදින් පලු දෙකට විවර වී ඉහළ යන ආකාරයෙන් නිර්මාණය වී තිබීමය.

පෙරේදා උසැති නෞකාවකට යාත්‍රා කිරීම සඳහා ඉහළට ඔසවා තැබූ පාලමේ කොටස් ද්විත්වය යළි පහළට ගැනීමට නොහැකිව සිරවූ බවත්, එය යථා තත්තවයට පත් කිරීමට එදින රාත්‍රිය පුරා කාර්ය මණ්ඩලයට වෙහෙසීමට සිදු වූ බවත් වාර්තා වේ. මේ හේතුවෙන් තේම්ස් නදිය දෙපස එම පාලම දක්වා වැටී ඇති මාර්ගයේ අධික රථවාහන තදබදයක් පැවැති අතර, පැය 12කට පසු එය නැවත සවි කරමින් රථවාහන ගමනාගමනයට ඉඩ සලසා දී තිබේ.

වසර අටක් පුරා ඉදි කිරීම් සිදු කිරීමෙන් පසු 1894දී විවෘත කරනු ලැබූ ලන්ඩන් පාලම වාර්ෂිකව 800 වතාවක් පමණ ඉහළට ඔසවන බව වාර්තා වේ.

කාබුල්හි පිපිරීම්වලින් මියගිය ගණන 90 දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තුවාල ලැබූ පිරිස ද 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අතරින් 12 දෙනෙකු ඇමරිකානු හමුදාවට අයත් බව වාර්තා වේ. ඒ, මැරීන් භටයන් 11 දෙනෙක් සහ වෛද්‍ය බලකායේ සොල්දාදුවෙක් ලෙස ය.

ද්විත්ව බෝම්බ ප්‍රහාරය අතරින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඒබේ දොරටුව අසල එක් බෝම්බයක් පුපුරා ගිය අතර එය ඇමරිකානු හමුදාව ස්ථානගත කර තිබූ තැනක් බව සඳහන්. එම ස්ථානය ඉලක්ක කරගෙනම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඇති බව මේ අනුව සනාථ වේ.

ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී 500 කට ආසන්න පිරිසක් ගුවන්තොටුපොළ තුළ ඉතිරිව සිටි අතර, සෙසු අය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ පසුව ඉවත් කර තිබිණි.

මෙය, ISIS-K ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරයක් බවට දැඩි අනුමානයක් පවතියි. නමුත් මෙය තවමත් නිල වශයෙන් සනාථ කර නැත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ, එල්ල වූ ‘ම්ලේච්ඡ‘ ප්‍රහාරය නොතකා, ජනතාව මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.

චීනයේ ඩෙල්ටා යළි හිසඔසවයි

චීනයේ නැන්ජිං නම් නගරයෙන් හඳුනගත් කොවිඩ් පොකුරක් මේ වනවිට එරට තවත් ප්‍රාන්ත 05ක සහ බීජිං නගරයේ පැතිරගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

2019 දෙසැම්බර් මාසයේ සිට වුහාන් ප්‍රදේශයේ වෛරසය පැතිර යාමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ මෙම අවස්ථාවේදීය.

නැන්ජිං නගරයේ ස්ථාපනය කර ඇති කාර්යබහුල ගුවන්තොටුපොළෙන් පසුගිය ජූලි 20 වනදා අසාදිතයෙක් හමුවී ඇති අතර අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් වෙනත් ප්‍රදේශවලින්ද හමු වී තිබුණි.

ආසාදිතයින් හමුවීම හේතුවෙන් නැන්ජිං ගුවන්තොටුපොළේ කටයුතු අගෝස්තු 11 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ගරයේ ජීවත්වන මිලියන 9.3ජ ජනගහණය සහ පිටතින් පැමිණ ඇති පුද්ගලයින්ව පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.

සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය නව පොකුර වර්ධනය වීමට හේතුවී ඇතැයි බලධාරීන් පවසන අතර මුඛ ආවරණ පැලඳීම සහ අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

කාබුල් ගුවන්තොටුපොළ අසළ පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CNN පුවත් සේවය පැවසුවේ එම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවය.

මේ අතර එම ප්‍රහාරයෙන් ළමයින් සහ කාන්තාවන් ඇතුළුව 11 දෙනෙක් මියගොස් ඇතැයි තලෙබාන් සංවිධානය පැවසීය.

BBC පුවත් සේවය ට ප්‍රකාශයක් කරමින් තලෙබාන් ප්‍රකාශකයෙක් ඒ බව තහවුරු කර ඇති බව සඳහන් වෙයි.

එම පිපිරීමෙන් තලෙබාන් භටයින් කිහිපදෙනෙක් ද තුවාල ලබා තිබේ.

ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

ඇමෙරිකාවේ මුව ආවරණ නීති දැඩි වෙයි

පූර්ණ එන්නත්කරණයට ලක්වූ අමෙරිකානුවන්  වුවද, අමෙරිකාවේ කොවිඩ් අවදානම ඉහළ යෑම හේතුවෙන් ආරක්ෂිත මුව ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.

ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවන රට බවට නැවතත් පත්වී ඇති අමෙරිකාවෙන් ඊයේ (27) නව ආසාදිතයන් 60,000කට ආසන්න පිරිසක් හඳුනා ගෙන තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට එරට ආසාදිතයින් යළි ඉහළ යමින් තිබේ.

පවතින වාතාවරණය තුළ ආරක්ෂිත මුඛ ආවරණ පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව අවදානම වැඩිම ප්‍රාන්තවල වෙසෙන පුද්ගලයන්, කොවිඩ් මර්දන එන්නත සම්පූර්ණයෙන් ලබාගෙන සිටියද මුඛ ආවරණ පැලඳිය යුතුය.

එවැනි තත්වයක් තුළ මුව ආවරණ පැළඳීම හා ශීඝ්‍ර එන්නත්කරණය තුළින් සංචරණ සීමා හා ලොක්ඩවුන් තත්ත්වයන්ට නැවත යොමු නොවීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සදහන් කර ඇත.=

ඔහු පැවසා ඇත්තේ යළිත් පෙර තත්ත්වය රට පත් නොකළ යුතු බවයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් 35,353,923 දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6 27,338 කි.

Page 11 of 12