ඊශ්‍රායලයේ බෙන්-ග්වීර් අල්-අක්සා මුස්ලිම් පල්ලියේ දී යාඥා කරමින්, 'ගාසා ජයග්‍රහණය' ඉල්ලා සිටී

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය, ජෙරුසෙලමේ අලඛ්සා මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයේ යාඥාවක; හමාස් ත්‍රස්තයින් අවසන් කරන ලෙස අගමැති නෙතන්යාහුටත් බල කරයි.

ජෙරුසෙලමේ අලඛ්සා (Al-Aqsa) මුස්ලිම් දේවස්ථානය පිහිටි පරිශ්‍රයේ අද (08), විශේෂ යඥාවක් සිදු කළ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය, ඉටාමර් බෙන් ග්වීර් ( Itamar Ben-Gvir ), ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ජයග්‍රාහීව අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ට බල කර සිටියේය. ඔහු, නෙතන්යාහු රජයේ අන්ත දක්ෂිණාංශික දැඩි මතධාරියකු වේ.

අලඛ්සා දේවස්ථානය ජෙරුසෙලමේ පිහිටි ඉතා සංවේදී ආගමික මධ්‍යස්ථානයක් සේ සැලකේ. යුදෙව් සහ පලස්තීන දෙපාර්ශ්වයම ඊට හිමිකම් ප්‍රකාශ කරති. යුදෙව් ජනතාව, පූජනීය 'කන්දේ දේවස්ථානය' (Temple Mount) ලෙස හඳුන්වන එය පලස්තීනුවන් විසින් සිය පරම අභය භූමිය (Noble Sanctuary) ලෙස හැඳින්වේ.

පූජනීය ජෙරුසෙලමේ සිට ඊශ්‍රායලය, දෙවසරක ගාසා යුද්ධයේ ජයග්‍රහණය කරා සාර්ථකව එළැඹෙමින් ඇතැයි, සිය යාඥාව අවසන වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ නිවේදනයක් සිදු කළ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මුස්ලිම් ජනයාට පමණක් වන්දනාමාන පිණිස, දශක ගණනක අන්‍යොන්‍ය අවබෝධයෙන් විවෘතව පැවති එම පරිශ්‍රය වෙත ඔහුගේ ආගමනය මේ මොහොතේ, නව අභියෝගයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

"ගාසා තීරයේ සෑම නිවෙසකම අප පූජනීය දේවස්ථානයේ සිතුවමක් තිබේ. අද, දෙවසරකට පසුව එහි සිට අපි, ජයග්‍රහණය එළිපත්තේ සිටින්නෙමු. මේ පරම, පූජනීය දේවස්ථානයේ අයිතිය සතු අපට පමණමයි," වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේය. ඔහුගේ 'යුදෙව් බලය' ( Jewish Power) පක්ෂය විසින් එම වීඩියෝව මුදා හැර තිබිණි.

"මාගේ යාඥාව අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ගාසා යුද ජයග්‍රහණය සහ හමාස් ත්‍රස්තයින් මුලිනුපුටා දැමීම උදසා පමණි. ප්‍රාණ ඇපකරුවන් අප වෙත ලබා ගැනීමටත්, ගාසා යුද්ධයේ පූර්ණ ජයග්‍රහණය පිණිසත් දෙවියන්ගේ ආශිර්වාදය ද අප සතු බව නොඅනුමානයි," ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල බලධාරීන් සහ පලස්තීන සන්නද්ධ සටන්කාමී හමාස් සංවිධානය අතර ඊජිප්තුවේ වක්‍ර සාකච්ඡා පැවැත්වෙන මොහොතේ ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කළ එම ප්‍රකාශය, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ ගාසා තීරයේ සටන් විරාමයක් උදෙසා ක්‍රියාත්මක සාම සැලැස්මට එල්ලවූ නව අභියෝගයක් ද වේ.

ග්වීර් යනු, නෙතන්යාහු රජයේ අන්ත දක්ෂිණාංශික දැඩි මතධාරියෙකි. එමෙන්ම, සන්ධාන රජය බිහි කිරීමට ඔහු වෙතින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු ලද සහාය ද අපමණය. හමාස් සංවිධානය මුලිනුපුටා නොදමන්නේ නම්, සිය පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වන බවට, ඔහු මීට පෙර තර්ජනාත්මක ප්‍රකාශයක් ද සිදු කළේය.

ජෙරුසෙලම් තාප්පයෙන් වෙන්වන පැරණි නගරයේ පිහිටි අලඛ්සා දේවස්ථාන පරිශ්‍රය, මුස්ලිම් දහමේ තෙවන පූජනීයම ශුද්ධ භූමිය සේ සැලකේ. යුදෙව් ජනයා, එය සිය පරම පූජනීය ආගමික මධ්‍යස්ථානය සේ සලකති. දශක ගණනක් පුරා මුස්ලිම් අධිකාරිය හා පැවත එන අවබෝධාත්මක සම්ප්‍රදායකට අනුව, එහි පරිපාලනය ජෝර්දානු ආගමික පදනමක් මගින් සිදු කෙරේ. ඒ අනුව, යුදෙව් ජනතාවට එහි ඇතුළු විය හැකි මුත් යාඥාවට අවසර හිමි නොවේ. බෙන් ග්වීර්, එම නීති අභියෝගයට ලක් කරමින් පසුගිය අගෝස්තු මස ද එහි යාඥාවල නිරත විය.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/8/2025

ඊශ්‍රායලයේ බෙන්-ග්වීර් අල්-අක්සා මුස්ලිම් පල්ලියේ දී යාඥා කරමින්, 'ගාසා ජයග්‍රහණය' ඉල්ලා සිටී

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ අද (07) රිච්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යාව පිලිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය ඒ බව තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කර ඇත.

කි.මී.10ක භූ අභ්‍යන්තරයේ එය සිදුව ඇතැයි වාර්තා වේ.

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/7/2025

 පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න