ද. කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

අද(15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වූ බව වාර්තා වේ.

යූන් ගැන විමර්ශනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් පසුගිය දෙසැම්බර 03 වන දින යුද නීතිය පැනවීමට කෙටිකාලීන උත්සාහයකින් පසුව කැරැල්ලේ චෝදනා මත විමර්ශනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

මෙම වරෙන්තුව මඟින් විමර්ශකයන්ට පැය 48ක් දක්වා යූන් රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා එම කාලය තුළ CIO අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනකායක් සිටින අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විවේචකයන්ගෙන් පිරී ඇති අතර, පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය.

ද. කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

ලැව්ගිනි අස්සේ අමෙරිකාවට භූමි කම්පාවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ලැව්ගිනි හේතුවෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක සිකුරාදා උදෑසන සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 3.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

සැන් ෆ්‍රැන්සිස්කෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව හානි හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා නොමැත.

භූමිකම්පාව ප්‍රධාන වශයෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ සහ අර්ධද්වීපයේ දැනී ඇති අතර එය මැරින් ප්‍රාන්තය දක්වා උතුරින් සහ සැන් ජෝස් දක්වා ද දැනුණු බව සදහන් වේ.

කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූමිකම්පාව ඇතිව ඇති බවයි.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූකම්පන තත්ත්වය ඇතිව ඇත.

ලැව්ගිනි අස්සේ අමෙරිකාවට භූමි කම්පාවක්

ටිබෙටයේ ප්‍රබල භූ කම්පාවක්

ටිබෙටයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක අද (07) අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන Xinhua වාර්තා කරයි.

මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි නේපාලයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට දැනී තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සංගමය (USGS) ප්‍රකාශ කළේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු 9.05 ට සිදු වූ අතර ඉන් අනතුරුව විවිධ පසු කම්පන ඇති වූ බවයි.

භූමිකම්පාවෙන් තවත් පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කම්පනය ඇති ටින්ග්‍රි ප්‍රාන්තයේ නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව Xinhua වාර්තා කර ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 86 ක් (සැතපුම් 53) පමණ දුරින් ලාට්සේ ප්‍රාන්තයේ වීදිවල හානියට පත් වහලවල්, සාප්පු ඉදිරිපස සහ සුන්බුන් ගොඩගැසී ඇති බව පෙන්නුම් කළේය. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයකට ද හානි සිදුව ඇති බව දර්ශනවල දැක්වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මගින් කම්පනයේ බලපෑමෙන් අර්ධ වශයෙන් කඩාවැටී ඇති ගොඩනැගිලි පෙන්නුම් කෙරේ.

එවරස්ට් කඳු පාමුල පිහිටා ඇති සහ උෂ්ණත්වය ඉතා අඩු ආපදා ප්‍රදේශයට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා චීන ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.

මේ වන විට එම කලාපයේ විදුලිය හා ජලය සැපයුම් විසන්ධි වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

ටිබෙටයේ ප්‍රබල භූ කම්පාවක්

ට්‍රම්ප්, අමෙරිකාව ජයගනි

අමෙරිකා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලොරීඩාවේ සිට සිය පාක්ෂිකයන් අමතමින් මීට සුලු මොහොතකට පෙර ට්‍රම්ප් පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි.

“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට පැවසීය.

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අපේක්ෂකයකු අමෙරිකාවේ මැතිවරණ විද්‍යාල 538 න් 270 ක බහුතර බලය හිමිකර ගත යුතුය.

ට්‍රම්ප් මේවනවිට එම ආසන 266 ක බලය හිමිකර ගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හිමිකර ගෙන ඇත්තේ ආසන 219 ක් පමණකි.

කෙසේවෙතත් තවමත් අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත්ව නොමැත.

ට්‍රම්ප්, අමෙරිකාව ජයගනි

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ නැඟෙනහිරෙන් පිහිටි වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 158දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බැවින් මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වැලෙන්සියා ප්‍රාන්තයේ නගර ගණනාවකට මේ ගංවතුර තත්ත්වය බලපා ඇති අතර, නිවාස, ගොඩනැඟිලි, මහාමාර්ග,පාලම් හා රථ වාහන සිය ගණනක් ද ගංවතුරට හසුවී විනාශ වී ඇතැයි වාර්තාවේ. මේ වන විටත් එරට ආපදා සහන සැලසීමේ කණ්ඩායම්, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අතුරුදන්වුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දසදහසකට වැඩි පුද්ගලයන් පිරිසක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එක දිගට අඛණ්ඩව පැය අටකට වැඩි කාලයක් ඇද හැලුණු වර්ෂාව ගංවතුර තත්ත්වයට හේතු වී ඇති අතර, ඇසින් දුටු පුද්ගලයන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ එය ‘සුනාමියකට සමාන වූ ගංවතුර තත්ත්වයක් බවය.අධික වැසි තත්ත්වය හේතුවෙන් දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, ප්‍රාන්තයේ සියලු පාසල් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් ස්පාඤ්ඤයට බලපා ඇත්තේ වසර 51කට පසුව බවත්, මීට පෙර 1973 දී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ජීවිත 150ක් පමණ අහිමිවූ බවද වාර්තා වේ.

ගංවතුර හා වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර, මියගිය පුද්ගලයන් වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

විපතට පත් වූවන් සඳහා යුරෝ මිලියන 250 ($ 270m) ආධාර ප්‍රකාශයට පත් කර ඇත.

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

හිස්බුල්ලා සංවිධානයට නව ප්‍රධානියෙක් පත්වෙයි

හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානියා ලෙස නයිම් කාසීම් නම් කර තිබේ.

ඒ , පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ හිටපු ප්‍රධානී හසන් නසරල්ලා මිය යෑමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.

71 හැවිරිදි නයිම් කාසීම් 1980 දී හිස්බුල්ලා සංවිධානය ආරම්භ කළ ආගමික විද්වතුන් අතර සිටින පුද්ගලයෙකි.

හිස්බුල්ලා සංවිධානයට නව ප්‍රධානියෙක් පත්වෙයි

දිල්ලියේ වායු ගුණාත්මකභාවය පහළට

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාලගුණික බලපෑම්, ආගමික උත්සවවලදී රතිඤ්ඤා භාවිතය, වගා අවශේෂ ගිනි තැබීම් ඊට හේතු වී ඇති බවයි.

දිල්ලි අගනුවර පවතින වායු ගුණාත්මක දර්ශක අගය 400 සහ 500 සීමාව අතර හෙවත් ඉතා දුර්වල මට්ටමක පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

දිල්ලියේ වායු ගුණාත්මකභාවය පහළට

ඊශ්‍රායල අගමැති‌ගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාර

ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කර පැය කිහිපයකට පසු සෙනසුරාදා ඊශ්‍රායලයේ සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැතිවරයා‌ගේ පෞද්ගලික නිවස දෙසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ.

ලෙබනන් ප්‍රහාර වලින් මෙලෙස නෙතන්යාහුගේ නිවස විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

“අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේ නොසිටි අතර, සිද්ධියෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැත” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර ඇත.

නෙතන්යාහු, සිසේරියා සහ ජෙරුසලමේ පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරන අතර දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ජෙරුසලමේ අගමැතිගේ නිල නිවස වන Beit Aghion හි මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කාලය ගත කර ඇතැයි ද සදහන් වේ.

කෙසේ නමුත් ප්‍රහාර එල්ල වූ මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ කොටසක්ද යන්න හෝ හානියේ ප්‍රමාණය ඊශ්‍රායල රජය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

ඊශ්‍රායල අගමැති‌ගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාර

තමිල්නාඩුවේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙනි.

එම අවස්ථාවේ මගී දුම්රිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 1360කි.

අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්ව, මෝටර් රථයක් ද ගිනි ගෙන තිබේ.

ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18 ක් අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමිල්නාඩුවේ දරුණු දුම්රිය අනතුරක්

‘මිල්ටන්‘ෆ්ලොරිඩාවට පහර දෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ”මිල්ටන්” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.

මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිල්ටන් සුළි කුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරය හරහා හමා යමින් පවති.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට තවමත් ගංවතුර තත්වය බලපා ඇති බව වාර්තාවේ.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 30 ක පමණ විදුලිය විසන්ධි වී පවතී.

ඉදිරි දිනවල ගංවතුර තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර ටොනේඩෝ, සහ ගංවතුර බලපා ඇති ප්‍රදේශවලට නොයන ලෙස එහි නිවැසියන්ට උපදෙස් දී තිබේ.

‘මිල්ටන්‘ෆ්ලොරිඩාවට පහර දෙයි

ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි

හැරී පොටර් චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවූවාය.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.

බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.

ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි

ජපානයට නව අගමැතිවරයෙක්

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය.

අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේ දී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.

පක්ෂ නායකත්ව ඡන්ද විමසුමෙන්, සානේ ටකායිචී ට ජයග්‍රහණය කිරීමට හැකි වූවා නම්, ඇයට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩ තිබුණි.

ජපානයට නව අගමැතිවරයෙක්

නයිජීරියාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 64ක් මරුට

වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ ගංගාවක පාරුවක් පෙරලීමෙන් පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් තිබේ.ගොවීන් 70 දෙනෙකු රැගත් පාරුවක් එලෙස පෙරලී ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගොවීන් 900 කට වැඩි පිරිසක් දෛනිකව තම ගොවිබිම් වෙත ප්‍රවේශ වීම සඳහා මෙම ගඟ තරණය කරන බව ද වාර්තා වේ.

නයිජීරියාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 64ක් මරුට

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි සිටි කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් පවසන්නේ රුසියාව විසින් මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එල්ල කර ඇති බවයි.

කෙසේවෙතත් ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් බිම හෙලූ බවද යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරියා පවසයි.

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

පාකිස්තානයේ බස් රථ අනතුරක්

පාකිස්තානයේ සිදුවූ බස්රථ අනතුරකින් 37 දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට අසාද් පතාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අනතුරෙන් මියගිය අය අතර පිරිමි පුද්ගලයන්, කාන්තාවන්  සහ  ළමයින්ද සිටින බව පාකිස්තාන බලධාරීහු පැවැසූහ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 70ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත.

දැනට ඇති සාක්ෂි අනුව බස් රථය මිටියාවතකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව පාකිස්තාන බලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේ නමුත් තවමත් බස් රථ අනතුර සිදුවීමට හේතුව කුමක්දැයි අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් පාකිස්තාන බලධාරීහු පැවැසූහ.

පාකිස්තානයේ බස් රථ අනතුරක්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න