V2025

විදෙස්

ෂී ජින්පිං තෙවන වරටත් චීන ජනපති ධූරයට

ෂී ජින්පිං තෙවන වරටත් “ඓතිහාසික ලෙස” චීනයේ ජනාධිපති ධූරයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “රබර් මුද්‍රාවක් [බොහෝ දුරට බල රහිත නමුත් නිල වශයෙන් පිළිගත් ආයතනයක් හෝ පුද්ගලයෙක්] වැනි” එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව ඔහු මෙලෙස ජනාධිපති ධූරයට පත් වී ඇති බව ය.

ඔහුට ලැබුණු එම බලය ත් සමග, පරම්පරා ගණනාවකට පසු චීනයේ පහළ වූ බලවත් ම නායකයා බවට 69 හැවිරිදි ෂී ජින්පිං පත් වන බව එම වාර්තාවල දැක්වේ.

චීනයේ මහජන මහා ශාලවේ දී ජාතික මහජන කොංග්‍රස් (NPC) සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් විසින් ෂී ජින් පිංගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර ජනාධිපති ධුරය සඳහා ෂී හා තරග වැදීමට වෙනත් කිසිදු අපේක්ෂකයෙක් සිටියේ නැත.

පැයක පමණ කාලයක් ඡන්දය ප්‍රකාශ කිරීම පැවැති අතර විද්‍යුත් ඡන්ද ගණන් කිරීම විනාඩි 15කින් පමණ අවසන් විය.

ඉතාලි මාෆියා නායක ඩෙනාරෝ : වසර 30 කට පසුව අල්ලයි !

ඉතාලි ආරක්ෂක අංශ වෙත වඩාත් අවශ්‍යව මාෆියා ප්‍රධානියා ලෙස සැළකෙන මෙසීනා ඩෙනාරෝ වසර 30කට පසුව සිසිලියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිස්ලියේ අගනගරය වන පැලර්මෝ හි සායනයක් තුළ සිටියදී ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසීනා ඩෙනාරෝ සිසිලියේ කෝසා නොස්රා නම් මාෆියා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන අතර සිදුකළ ඝාතන රැසකට ඔහු වැරදිකරු වී තිබුණි.

MV5BMjUxYTg3ODUtZDA5MC00OWUwLWFlZWQtNTliZDcwNWNkZmZhXkEyXkFqcGdeQXVyNjUxMjc1OTM. V1

සිරියා ගුවන් තොටට ඊශ්‍රායලය පහර දෙයි

සිරියාවේ ඇලෙප්පෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ අලුයම ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සිරියාවේ මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මාසයේ තුර්කියේ සිදු වූ දරුණු භූ කම්පනයේ දැඩි බලපෑමට ලක්වූ සිරියානු ජනතාවට ජාත්‍යන්තර රටවලින් සහනාධාර රැගත් ගුවන්යානා ගොඩ බැස් වීම් සිදු කළ මේ ගුවන් තොටුපොළට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයත් සමඟ වසා දැමීමට සිදු වූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මාස 6ක් ඇතුළත ඊශ්‍රායලයෙන් ඇලෙප්පෝ ගුවන් තොටුපොළට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙය බවත්, ඉන් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇති බවත් වාර්තා වේ. කෙසේ වුවද ජීවිත හානි කිසිවක් ඊයේ පස්වරුව වනතුරුම වාර්තා වී නැත.

කොංග්‍රසයට කඩාවැදීම දක්වා බ්‍රසීලයේ දේශපාලන වියවුල වර්ධනය වූයේ කෙසේද?

බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් එරට කොංග්‍රසයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට පසුගියදා කඩා වැදුණි.

බ්‍රසීල ධජයේ දීප්තිමත් කහ සහ කොළ පැහැති කමිස පැළඳ සිටි මහා ජනකායක්, එරට පිහිටි ප්‍රධාන පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීම දක්වා මෙම වියවුල වර්ධනය වූයේ ඇයිද යන්න පිළිබඳව අපි මෙසේ සොයා බැලීමක් කළෙමු.

දෙමසකට පෙර පැවති බ්‍රසීල මැතිවරණය

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති ජනපතිවරණයේදී, එරට අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ 'ලුලා' නමින් ප්‍රකට ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාට එරෙහිව තරග කළේය.

ඉතා ප්‍රබල සහ ගැටලුකාරී මැතිවරණය ව්‍යාපාරයකින් අනතුරුව, පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවති ජනපතිවරණයේදී ඉතා කුඩා ඡන්ද පරතරයකින් බොල්සොනාරෝව පරාජය කිරීමට 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කර තිබු ලුලා සමත් විය.

මෙම කඩාවැදීම කිසිදු ආකාරයකින් "යහපත් පූර්වාදර්ශයක්" නොවන බව පැවසූ, ලූලා එය පිටුපස සිටින්නන් "උමතු ෆැසිස්ට්වාදීන්" ලෙස හැඳින්විය.

සමාජ මාධ්‍ය හරහා බොල්සොනාරෝ කැරලිකරුවන්ව දිරිමත් කරන බවට ද ඔහු චෝදනා කළ අතර, හිටපු ජනාධිපතිවරයා විවිධ ආකාරයේ කතා මගින් මෙවන් ක්‍රියාවල යෙදෙන්නන්ව උසිගන්වන බව සෑම දෙනාම පාහේ දන්නා කරණක් බව ද ඔහු කියා සිටියේ ය.

දැඩි ලෙස බෙදුණු රටක්

බ්‍රසීලය ඉතා දැඩි ලෙස බෙදීමට ලක් වී ඇති රටකි. කොංග්‍රසයට ඇතුළු වොඉ වී එහි පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීමට ඇතැම් බ්‍රසීල ජාතිකයන් පෙළඹීම හරහා තම මතය තවදුරටත් නියෝජනය නොකරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට පහරදීමට තරම් දුරකට තමන්ට යා හැකි බවට ඔවුන් ප්‍රදර්ශනය කළ නාටකීය අවස්ථාවක් විය.

මෙය වාමාංශිකයන් සහ දක්ෂිණාංශිකයන් අතර ඇති ගැටුම සම්බන්ධයෙන් පමණක් වන කතාවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක ප්‍රතිඵලය තම කැමැත්තට පටහැනි වූ විට එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත මතින් තම කෝපය පිට කරන බ්‍රසීල ජාතිකයන් පිළිබඳවද කතාවකි.

කඩාවැදීමට සහභාගී වූවන් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමේ අන්තයේම සිටින්නන් ය. නමුත් ලූලා ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින්, එම කඩාවැදීම වෙනුවෙන් උසිගැන්වීම් සිදුකළ තවත් බොහෝ විරුද්ධවාදීහු සිටිති.

සිරකරුවෙකුගේ සිට ජනපති දක්වා ලුලාගේ ගමන් මග 'ඕනෑවට වඩා වැඩි'

දෙවතාවක් ජනාධිපති ධුරය දැරූ ලුලා, සිර දඬුවම් ද විඳ තිබේ. ඇතැම් බ්‍රසීල ජාතිකයන්ට අනුව, සිර දඬුවම් විඳීමෙන් අනතුරුව ලුලා නැවතත් ජනපති මැදුරට කළ ආගමනය 'ලැජ්ජා විරහිත' ක්‍රියාවකි.

2017 වසරේදී දූෂණ චෝදනාවන්ට වරදකරු වූ ලූලා, දින 580 ක් සිරගතව සිටි අතර ඔහුට 2018 ජනාධිපතිවරණයට තරඟ කිරීම තහනම් විය. එවර ජනපතිවරණය බොල්සොනාරෝ විසින් ජයග්‍රහණය කළේ ය.

බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම වෙනුවෙන් ඉංජිනේරු සමාගමකින් අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත ඔහුට සිරගත වීමට සිදු විය. මෙම අල්ලස සමුද්‍රාසන්න මහල් නිවාසයක් ප්‍රතිසංස්කරණ කිරීමක් ලෙස ඔහු විසින් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණි.

මෙම මහල් නිවාසය කිසි විටෙකත් තමන්ට අයිතිව නොතිබූ බවට ලුලා ප්‍රකාශ කළ අතර, පසුව ඔහුගේ වරද නිෂ්ප්‍රභ කර ඔහුට නැවත නිලවරණයට ඉදිරිපත් වීමේ අවසරය ලබා දුනි.

නමුත් ලුලාගේ විරුද්ධවාදීන් පවසන්නේ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ වරද නිෂ්ප්‍රභ කළද ඔහු නිර්දෝෂී බවක් ඉන් අදහස් නොවන බවයි. ක්‍රියා පටිපාටිමය හේතුවක් මත පදනම්ව පමණක් මෙම නිෂ්ප්‍රභ කිරීම සිදු කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ලුලාගේ ආධාරකරුවන්ට අනුව, මෙම චෝදනා සියල්ල ම පදනම්ව ඇත්තේ දේශපාලන හේතු මත ය.

මෙම තීරණය පිටුපස සිටි විනිසුරුවරයා පසුව බොල්සොනාරෝගේ රජයේ අමාත්‍යවරයෙකු ලෙසට පත් වූ අතර, ඔහු විසින් ලුලාගේ නඩු විභාගය අධීක්‍ෂණය කිරීමේදී පක්ෂග්‍රාහී ලෙසට කටයුතු කළ බවට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ විට ඔවුන්ගේ මතය තවදුරටත් සනාථ විය.

බොල්සොනාරෝගේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ආධාරකරුවන්

ජෙයාර් බොල්සොනාරෝව ඔහුගේ බොහෝ ආධාරකරුවන් විසින් හඳුන්වන්නේ "දෙවියන්, පිතෘභුමිය, පවුල" ලෙස ලැයිස්තුගත කර ඇති ඔවුන්ගේ ඇගයුම් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසට ය.

වාමාංශික අපේක්ෂකයා බලයට පත්වුවහොත්, පල්ලි වසා දමන බවට අසත්‍ය කටකතා පැතිර ගිය අතර, ඒවා විශ්වාස කරමින්, තම සාරධර්මවලට තර්ජනයක් වන ලුලා පරාජය කරන පුද්ගලයා ලෙස ඔවුහු බොල්සොනාරෝ කෙරෙහි බලාපොරොත්තු තැබූහ.

ලුලා පරදින බවට දැඩි සේ විශ්වාස කළ ඔවුන්, ඔහුගේ ජයග්‍රහණය නිහඬව පිළිගැනීමට මැළි වූහ.

හමුදා බැරැක්ක ඉදිරිපිට කඳවුරු බැඳගත් ඇතැම් ආධාරකරුවන්, හමුදා කුමන්ත්‍රණයක් සිදුකර හෝ ලුලා ජනාධිපති වීම වළක්වන ලෙස බැගෑපත් වූහ.

කෙසේ වෙතත්, හමුදාව ඒ ආකාරයට ක්‍රියා නොකළ අතර ලුලා ජනපති ලෙස දිවුරුම් දුන්නේ ය.

ලුලා ජනාධිපති මන්දිරයට පැමිණීමෙන් කුපිත වූ බොල්සොනාරෝ ආධාරකරුවන්

 128235079 9de05c9bdc8a933333264508cbad9e086f71366e0 0 5760 38401000x667ඒ අනුව එරට අගනුවර වන බ්‍රසීලියාවේ කැරලි ආරම්භ වූයේ ලුලා බලයට පත් වී සතියකට පසුව ය.

සිය ජනපතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බොල්සොනාරෝ, දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූ අතර ඒ වෙනුවට එක්සත් ජනපදයට පියාසර කිරීමට ඔහු කටයුතු කළේ ය.

බොල්සොනාරෝ විසින් ලුලාව පරාජය කිරීම කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටි පිරිසගේ කෝපය වර්ධනය වීමට එය තවත් හේතුවක් විය.

ලුලා 'බ්‍රසීලයට තර්ජනයක් වූ කොමියුනිස්ට්වාදියකු ලෙස' හැඳින්වීම පුරුද්දක් බවට පත්කරගත් අයට ඔහු ජනපති මැදුරට යනු දැකීම දරාගත නොහැකි දෙයක් බවට පත්විය.

හමුදාව විසින් තමන්ට සහය නො දක්වන බව හැඟී යාමෙන් අනතුරුව ඔවුන් බලය සියතට ගැනීමට තීරණය කළ අතර, තවදුරටත් තමන්ව නියෝජනය කරන බව

නොහැඟෙන මෙන්ම, තමන්ගේ ඇගයුම්වලට එරෙහි වන බවට ඔවුන් විශ්වාස කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීමට ක්‍රියා කළහ.

අන්තවාදය සහ අසත්‍ය ප්‍රචාරවලට ඇත්තේ ඔවුන්ගේම හැඩයක්

ජෙයාර් බොල්සොනාරෝගේ බෙදුම්වාදී ප්‍රකාශ මෙන්ම බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමයේ වලංගුභාවය පිළිබඳ ඔහුගේ ප්‍රශ්න කිරීම් ද බ්‍රසීලයේ සිදුවූ කැරලිවලට විශාල වශයෙන් හේතු විය.

බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචාවට තුඩු දෙන්නක් බවට ජනපතිවරණයට පෙරදී ඔහු නැවත නැවතත් ප්‍රකාශ කළේ ය. එය මැතිවරණ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළේය.

නමුත් බොල්සොනාරෝගේ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මැතිවරණ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් බොහෝ බ්‍රසීල ජාතිකයන් විශ්වාස කරන්නේ ජනපතිවරණය වංචා සහගත වූ බවයි.

කැරැල්ලෙන් අනතුරුව, බොල්සොනාරෝ ට්විටර් ඔස්සේ ප්‍රකාශ සිදුකරමින්, තමන් බ්‍රසීලියාවේ කැරලිකරුවන් උසිගන්වන අන්දමේ ප්‍රකාශ කළ බවට ලුලා විසින් කරන්නට යෙදුණු චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

"අද සිදු වුණු ආකාරයේ පොදු ගොඩනැගිලි ආක්‍රමණය කිරීම් නීති විරෝධී බව" ඔහු පැවසුවේ ය.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට කඩා වැදුණු ආධාරකරුවන්ගේ අන්තවාදයට ඔවුන්ගේම හැඩයක් ඇති අතර, එය පාලනය කිරීම දුෂ්කර වී තිබේ.

බීබීසී -සිංහල

ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 26 ක් මරුට

ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි එම වාර්තා සඳහන් කර ඇත.

ඇතැන්ස් හා තෙස්සලොනිකි අතර මෙම දුම්රිය දෙක ධාවනය වී තිබෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මගී දුම්රියේ අනතුර වන අවස්ථාවේ මගීන් 350 ක් පමණ ගමන් කර තිබෙයි.මේ වන විට මගීන් 250 ක් පමණ නිරුපද්‍රිතව සිටින බව ද වාර්තා වෙයි

ඇමරිකාවේ සමාජ මාධ්‍යවලට : පාස්වලින් නඩු !

පාසල් දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවන බවට චෝදනා නගමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් වැනි ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම්වලට විරුද්ධව සියැටල් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වේ.

ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ඇදගෙන ඇති බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවත් පාසල් ගොනු කළ චෝදනාවේ සඳහන් වේ.

පාසල් ළමුන් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල් වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි එම පාසල් නඩු පැවරීමේදී පෙන්වා දී තිබේ.

මෙම පාසල් 100 ළමුන් 50,000 ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූමිකම්පාව හොකයිඩෝහි නෙමුරෝ අර්ධද්වීපයට ආසන්න මුහුදේ කිලෝමීටර් 61ක් (සැතපුම් 38) ගැඹුරින් සිදු වී ඇති බව ය.

මේ වන තෙක් තුවාල සිදුවීම් හෝ හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බව එම වාර්තාවල දැක්වේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 10:27ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ය.

මෙම භූමිකම්පාව ඊසානදිග ජපානය සහ නැගෙනහිර ජපානය ඇතුළු පුළුල් ප්‍රදේශයට දැනී ඇතැයි එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සිසුවෙකු ගුරුවරියකට වෙඩි තබයි

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 06 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.

සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

නවසීලන්තයෙත් භූ කම්පනයක්

නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබේ.

භූමි කම්පාව හේතුවෙන් වෙලිංටන් නගරයේ තත්පර කිහිපයක ශක්තිමත් සෙලවීමක් සිදුව ඇත.

පුද්ගලයන් 10000 කට අධික ප්‍රමාණයක් අවතැන් වෙමින් 4 දෙනකුට මරු කැඳවූ ගෙබ්‍රියෙල් සුළි කුණාටු නවසීලන්තයට කඩා වැදී දින කිහිපයක් ගත වෙත්ම මෙම භූමි කම්පාව හටගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් අපදා වාර්තා වී නොමැත.

(බීබීසී)

සිසුවෙකු ගුරුවරියකට වෙඩි තබයි

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 06 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.

සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

තුර්කි-සිරියා භූ කම්පන: දිවි අහිමිවූවන් 27000 ආසන්න වෙයි

පසුගියදා  තුර්කියේ සහ සිරියාවේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවලින් දිවි ගලවා ගත් සුන්බුන් යට සිර වී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අතර මියගිය සංඛ්‍යාව මේ වන විට 24,000ට ආසන්න වී තිබේ.

දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27,300 ඉක්මවා ගොස් ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, සිරියානු රජය ජාත්‍යන්තර ආධාර සඳහා කැරලිකරුවන් විසින් පාලනයට කරනු ලබන ප්‍රදේශය වෙත යාමට අවසර දුන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මනහිමිකම් අයිතිවාසිකම් ප්‍රධානියා “අවශ්‍යතා ඇති සියල්ලන්ට” ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා වහා ම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස සිරියාවෙන් ඉල්ලීමක් ද කර ඇත.

මේ අතර, භූමිකම්පා සම්බන්ධයෙන් තුර්කි රජයේ ප්‍රතිචාරය තමා බලාපොරොත්තු වූ තරම් වේගවත් නොවූ බව ජනාධිපති රෙසේප් ටයිප් එර්ඩොගාන් පිළිගෙන තිබේ.

විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ආපදාව සඳහා නිසි ලෙස සූදානම් නොවීම සම්බන්ධයෙන් රජය විවේචනයට ලක් විය.

සඳුදා ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු තුර්කියේ මියගිය සංඛ්‍යාව 20,213 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 3,553ක් මියගොස් තිබේ.

චීනයේ කොවිඩ් වසංගතය යළිත් දරුණු වෙයි

මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීමක තොරතුරු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය සකස් කළ වාර්තාවක මේ බව දැක්වේ.

චීනයේ ජනගහනයෙන් 18% ක් එනම් මිලියන 248 ක ජනතාවක් දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව සදහන් වේ.

මෑත කාලීනව දැඩි කොවිඩ් ප්‍රතිපත්ති සහ නීතිවලට එරෙහිව චීන ජනතාව විරෝධතා පල කිරීම්වලින් පසුව ඒවා ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කළේය.

එම නිසා කොවිඩ් වෛරසයට නිරාවරණය නොවූ ජනගහනයක් අතර අසාදනය පැතිර යාමේ අවධානමක් ඇතිව තිබේ.

දින කිහිපයකට පෙර මධ්‍යම චීනයේ දැඩිසත්කාර ඒකක කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

ශීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් රැල්ල පිළිබඳ විස්තරාත්මක සහ සත්‍ය තොරතුරු සපයන ලෙසට එම සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්..

තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.

එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය.

එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර අද (06) අලුයම තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදුවූ භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන 1500 ඉක්මවා තිබේ.

භු කම්පනයෙන් තවත් තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන අතර තුර්කි වේලාවෙන් අද (06) අලුයම 4.17ට පමණ මැග්නිට්යුඩ් ඒකක 7.8ක ප්‍රභලත්වයකින් යුතු පළමු භුමි කම්පනය ඇතිවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අනතුරුව ප්‍රබල පසු කම්පන කිහිපයක්ද ඇතිවුණු බවයි.

භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තුර්කියේ සහ සිරියාවේ තවත් ප්‍රදේශ රැසක ගොඩනැගිලි සහ ඓතිහාසික නටඹුන් වලට දැඩි හානි සිදුව තිබේ.

ජර්මනියේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් !

රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කළ බවට සැකපිට ජර්මානු ජාතිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට අනුව ජර්මනිය පුරා කළ මෙහෙයුමක් අතරතුර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම උග්‍ර දක්ෂිණාංශික සහ හිටපු හමුදා නිලධාරීන් පිරිසක් එරට පාර්ලිමේන්තුව වන Reichstag ගොඩනැගිල්ලට කඩා වැදී බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුම් කර තිබූ බවත් ජර්මානු මාධ්‍ය වාර්තා වල සඳහන් අතර සැලැස්මේ මහ මොළකරු ලෙස චෝදනා ලබා සිටින්නේ 71 හැවිරිදි 8 වන හෙන්රික් කුමරු නමැති සුළු වංශාධිපතියෙකුය.

ජර්මානු ෆෙඩ්රල් නීතිඥයින් පවසන පරිදි එරට ප්‍රාන්ත 11කින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සිටින කැරලි නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේද ඔහුය.

මෙම කණ්ඩායමට කාන්තාවන් සහ පිරිමින් 50 දෙනෙකු පමණ ඇතුළත් වන බවත් සඳහන් අතර ඔවුන් Reichsbürger නමැති අන්තවාදී ව්‍යාපාරයක සාමාජිකයින් බව පැවසෙන අතර, ඔවුන් නූතන ජර්මානු රාජ්‍යය ප්‍රතික්ෂේප කරන්නන් වන බවත් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

ජර්මානු ජනරජය අහෝසි කර, 1871 වසරේ පැවති Second Reich නමැති අධිරාජ්‍යය ආකාරයේ පාලන ක්‍රමයක් ඇති කිරීමට ඔවුන් සැලසුම් කළ බවත් සඳහන් අතර ජර්මනිය පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් 130ක් සඳහා පොලිස් නිලධාරීන් 3000කට අධික පිරිසක් යොදවා තිබු බවත් වාර්තා වෙයි.

එරට අධිකරණ අමාත්‍ය මාකෝ බුෂ්මන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “ව්‍යවස්ථාමය ආයතනවලට සන්නද්ධ පහර දීමක් සැලසුම් කර” තිබූ බවත්, “ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ක්‍රියාත්මක වූ” බවත් ය.

චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිලයක්.....

අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ.

ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එරට අරක්ෂක අංශ සඳහන් කළේ, මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් යොදාගත් බවයි.

විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී තිබේ.

කිලෝමීටර් 11ක් පුරා පැතිරුනු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

චීනයේ යළිත් හිස ඔසවන කොවිඩ්................

නැඟෙනහිර චීනයේ නැංජිං නුවර ජියැංෂු ප්‍රාන්තයේ මහපරිමාණයේ පීසීආර් පරීක්ෂණ මාලාවක් ආරම්භ කිරීමට චීන රජය නියෝග කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

චීන රජය මේ පියවර ගෙන ඇත්තේ අඛණ්ඩව දෙවැනි දිනයටත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙනි.

මීට වසර දෙකකට පෙර කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු චීනයෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා 31,527ක් ලෙස වාර්තා වූ අතර, ඊයේ දිනයට ගත වූ පැය විසිහතර තුළ නව ආසාදිතයන් 33,000ක් වාර්තා වී ඇත. එය මෙතෙක් චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බව එරට කොවිඩ් දත්ත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දී තිබේ.

හඳුනාගත් බොහෝ කොවිඩ් ආසාදිතයන්ට මූලික රෝග ලක්ෂණ නැති බැවින් ඉදිරියේදී ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇතැයි එරට සෞඛ්‍ය අංශ රජයට අනතුරු අඟවා තිබේ.

චීනයේ නව කොවිඩ් වසංගතය හිස ඔසවා ඇත්තේ කොවිඩ් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් චීනයේ කොවිඩි මර්දනයට එරට රජය දැඩි ක්‍රියාමාර්ග ගත් පසුබිමකදීය.

තෙල් ඉවරයි කියා නවසීලන්තයේ ජසින්ඩා ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි !

ලබන මාසයේ දී ඇය නවසීලන්ත අගමැතිධුරයෙන් ඉවත්වනබවට ජසින්ඩා ආඩන් නිවේදනයකර තිබේ. ඒ, නායකත්වය දීම සඳහා ඇති තරම් [ඉන්ධන] තව දුරටත් තම "ටැංකියේ ඉතිරිව" නැතිබව පවසමිනි.

රැකියාවේ යෙදී සිටි "අභියෝගාත්මක" වසර හය නිසාවෙන් තමාට ගෙවීමට සිදුවූ දෑ විස්තර කරන විට ආඩන්ගේ කටහඬ හිරවිය.

ඇය පෙබරවාරි 7 වනදාට පෙර කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වනු ඇත. ඇය වෙනුවට තනතුරට පත්වන්නා කවුදැ යි තීරණය කෙරෙන ඡන්දයක් නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත ය.

නවසීලන්තය සිය මහ මැතිවරණය ඔක්තෝබර් 14 දා පවත්වනු ඇත.

42-හැවිරිදි ආඩන්, ඇය ඇගේ අනාගතය පිළිබඳව සලකා බැලීම සඳහා ගිම්හාන විවේක කාලය ගතකළබව පැවසුවා ය.

"මට ඉදිරියට [තනතුරේ] වැඩකටයුතු කරගෙන යන්න අවශ්‍ය දේ ඒ කාලෙ ඇතුළත හොයාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණාට, අවාසනාවකට වගේ මට බැරිවුණා. ඉතින් [තනතුරේ] ඉදිරියටත් හිටියොත් මම නවසීලන්තයට කරන්නේ අනර්ථයක්," ඇය වාර්තාකරුවන්ට පැවසුවා ය.

2017 දී 37-හැවිරිදිව සිටිය දී අගමැතිධුරයට තේරී පත්වූ විට, ආඩන් ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වූවා ය.

ඉන් වසරකට පසු ඇය, තනතුරේ සිටිය දී දරුවෙකු බිහිකළ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ලෝක නායිකාව බවට පත්විය.

ඇය කොවිඩ්-19 වසංගතය හා ඉන්පසු පැමිණි ආර්ථික අවපාතය, ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩිතැබීම් සහ වයිට් දිවයිනේ ගිනිකඳු පිපිරීම වැනි සිදුවීම් අතරේ නවසීලන්තයට නායකත්වය දුන්නා ය.

"සාමකාමී කාලයක දී ඔබේ රටට නායකත්වය දීම එක දෙයක්, අර්බුද කාලයක දී නායකත්වය දීම තව දෙයක්," ඇය පැවසුවා ය.

"මේ සිද්ධි... ඒවයේ බර, ඒවයේ මහා බර සහ ඒවායේ අඛණ්ඩ ස්වභාවය නිසා දැඩි වෙහෙසක් ගෙන ආවා. අපි නිකම්ම රාජ්‍ය පාලනය කරනවා කියලා හැඟුණු එක මොහොතක්වත් ඇත්තටම තිබුණේ නැහැ."

2020 දී ආඩන් කම්කරු පක්ෂය විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් කරා ගෙන ගියමුත්, මත විමසුම්වලට අනුව, මෑත මාසවල දී රට තුළ ඇගේ ජනප්‍රියත්වය කිසිදා නොවූ අන්දමේ පහත් මට්ටමකට වැටී ඇත.

කෙසේ වෙතත්, ඇය කියා සිටියේ, ඇය ඉල්ලා අස්වන්නේ කම්කරු පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකියැ යි ඇය විශ්වාස කරනා නිසා නොව, එය ජයග්‍රහණය කරනු ඇතැ යි සිතූ නිසා බව යි.

"ඒ අභියෝගය සඳහා අපට අලුත් මුහුණක් අවශ්‍යයි ," ඇය පැවසුවාය.

නියෝජ්‍ය නායක ග්‍රාන්ට් රොබට්සන්, ඉරිදා පැවැත්වීමට නියමිත නායකත්ව ඡන්දයට තමන් තරග නොකරන වග පැවසීය. පක්ෂයේ තුනෙන් දෙකක සහයෝගය ලබාගැනීමට එක් අපේක්ෂකයෙකුට නොහැකි නම්, ඡන්දය කම්කරු පක්ෂයේ සාමාජික මණ්ඩලය වෙත යයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ආඩන් බුද්ධියේ, ශක්තියේ සහ සහකම්පනයේ නායිකාවක් ලෙස ඇයට උපහාර දැක්වීය.

"ජසින්ඩා නවසීලන්තය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි තැනැත්තියක්, බොහෝ දෙනෙකුට අනුප්‍රාණයක් සහ මට හොඳ මිතුරියක් වුණා," ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

ආඩන් ඇගේ රජය ලැබූ ජයග්‍රහණ ලැයිස්තුගත කරමින්, ඇය විශේෂයෙන් ආඩම්බර වන ඒවා ලෙස දේශගුණික විපර්යාසය, නොමිලේ නිවාස ලබාදීම සහ ළමා දරිද්‍රතාවය අඩු කිරීම සම්බන්ධයෙන් ලද ජයග්‍රහණ නම්කළා ය.

නමුත්, නවසීලන්ත වැසියන් ඇය, "හැමවිටම කරුණාවන්ත වෙන්න උත්සාහ කළ කෙනෙක් විදියට" මතකයේ තබාගනු ඇතැ යි ඇය බලාපොරොත්තු වන බව ආඩන් පැවසුවා ය.

"මම ප්‍රාර්ථනා කරනවා, මම [තනතුරින්] නික්ම යන්නේ තමන්ට කාරුණික නමුත් ශක්තිමත්වෙන්න පුළුවන්, සංවේදී නමුත් තීරණාත්මකවෙන්න පුළුවන්, සුබවාදී නමුත් ඉලක්ක ගත වෙන්න පුළුවන් කියන විශ්වාසය නවසීලන්ත වැසියෝ අතරේ ඉතිරිකරලා කියලා. ඒ වගේම, ඔබට ඔබේම ආකාරයේ නායකයෙකු වෙන්න පුළුවන් කියලා - යන්න කාලේ ආ බව දන්නා නායකයෙක් [වෙන්න පුළුවන් කියලා]," ඇය පැවසුවා ය.

බීබීසී - සිංහල

ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයකින් 40 දෙනෙක් මරුට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රිච්ටර් මාපක 5.6ක් ලෙස සටහන් වී ඇති එම භූමිකම්පාව බටහිර ජාවාහි චියන්ජුර් නගරයට කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති බව ය.

මෙම කම්පනය කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි ජකර්තා අගනුවරට ද දැනී ඇති අතර ඒත් සමග උස් ගොඩනැගිලිවල සිටි පුද්ගලයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පසු කම්පන ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Page 5 of 10