කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී ඇත.

ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරුණි.

59 වන වියේ පසුවන මාර්ක් කාර්නි ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.

පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවී ඇත.

ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බව කැනඩා වාර්තා සඳහන් කරයි.

ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන නවකයෙකු වන මාර්ක් කානි කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අදහස් පළ කරමින් කැනඩා අගමැතිවරයා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජනපදයට සහ ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරන බව ද කැනඩා නව අගමැතිවරයා එහිදී පවසා තිබේ.

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් ප්‍රදේශයට දැඩි බලපෑම්

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබේ.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි වාර්තා වෙයි.

ඒ අනුව එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ඇණහිට තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇත.

කුණාටුව ක්වීන්ස්ලන්ඩ් අගනුවර සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින අතර ප්‍රදේශයේ මිලියන 4ක පමණ ජනතාවක් මෙහි බලපෑමට ලක්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුළි කුණාටුව අත්ලාන්තික් ද්‍රෝණියේ නිවර්තන කුණාටුවකට සමාන බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

කෙසේ වුවද සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බව පුරෝකතනය කෙරේ.

එමෙන්ම වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇතැයි සඳහන් වේ.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් ප්‍රදේශයට දැඩි බලපෑම්

නවදිල්ලි දුම්රිය ස්ථානයේ මගී තෙරපුමක්

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.

නවදිල්ලි දුම්රිය ස්ථානයේ මගී තෙරපුමක්

පාප්වහන්සේ අසනීප වී රෝහල් ගත කරයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උන්වහන්සේට උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එමෙන්ම පාප්වහන්සේ මීට පෙර බ්‍රෝන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා ඇත.

විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේව මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ලම අවලංගු කර ඇති බවයි.

පාප්වහන්සේ අසනීප වී රෝහල් ගත කරයි

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ.

එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය ඇලස්කා මුහුදේ අයිස් මතට කඩා වැටී තිබේ.

යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් පවසයි.

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි

ට්‍රම්ප්ගෙන් නව තීරු බදු........

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව ,මෙක්සිකෝව හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබේ.

කැනඩාව ,මෙක්සිකෝව යන රටවලට අද (02) සිටම එම තීරු බදු ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන අඟහරුවාදා සිට තීරු බදු ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව හා මෙක්සිකෝව යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 25 % තීරු බද්දක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් එලෙස පනවා ඇත.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ අමෙරිකානු ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා මෙලෙස තීරුබදු ක්‍රියාත්මක බවයි.

තීරු බදු ක්‍රියාත්මක කිරීමත් සමග චීන වාණිජ අමාත්‍යාංශ පවසන්නේ මෙලෙස තීරුබදු පැනවීම චීනයට හා ලෝකයේ සෙසු රටවලට හිතකර නොවන බවයි.

මේ අතර කැනේඩියානු වාණිජ මණ්ඩලය විසින් ද තීරුබදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔවුන් සඳහන් කළේ තීරු බදු වැඩිවීමත් සමග සෑම අංශයකම පිරිවැය ඉතා ඉක්මනින් වැඩි වන බව හා එය සෑම මිනිසෙක්ටම හා සෑම ව්‍යාපාරයක් සඳහාම බලපැමක් එල්ල කරන බවයි.

තීරු බදු සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රියේදී ප්‍රකාශක් නියමිත බව ද, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ට්‍රම්ප්ගෙන්  නව තීරු බදු........

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් එරට අධිකරණයක් නියම කර ඇත.

ඒ ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියමය ලබා දී තිබේ.

ඉම්රාන් ඛාන්ට අයත් අල්-කදර් විශ්වවිද්‍යාල ව්‍යාපෘති භාරයට සම්බන්ධ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය සම්බන්ධ නඩුවක් මෙලෙස විභාග කර ඇතැයි වාර්තා වේ. මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකේ.

මේ වන විට ඉම්රාන් ඛාන් 72වැනි වියෙහි පසුවේ.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.

මේ අතර, ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිර දඬුවමක් නියම  වී තිබේ.

 

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ.

විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බවයි.

බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පවසා තිබුණි.

අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබේ.

තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජෝ බයිඩ්න්, තමන් අමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

ද. කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

අද(15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වූ බව වාර්තා වේ.

යූන් ගැන විමර්ශනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් පසුගිය දෙසැම්බර 03 වන දින යුද නීතිය පැනවීමට කෙටිකාලීන උත්සාහයකින් පසුව කැරැල්ලේ චෝදනා මත විමර්ශනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

මෙම වරෙන්තුව මඟින් විමර්ශකයන්ට පැය 48ක් දක්වා යූන් රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා එම කාලය තුළ CIO අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනකායක් සිටින අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විවේචකයන්ගෙන් පිරී ඇති අතර, පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය.

ද. කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

ලැව්ගිනි අස්සේ අමෙරිකාවට භූමි කම්පාවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ලැව්ගිනි හේතුවෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක සිකුරාදා උදෑසන සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 3.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

සැන් ෆ්‍රැන්සිස්කෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව හානි හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා නොමැත.

භූමිකම්පාව ප්‍රධාන වශයෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ සහ අර්ධද්වීපයේ දැනී ඇති අතර එය මැරින් ප්‍රාන්තය දක්වා උතුරින් සහ සැන් ජෝස් දක්වා ද දැනුණු බව සදහන් වේ.

කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූමිකම්පාව ඇතිව ඇති බවයි.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූකම්පන තත්ත්වය ඇතිව ඇත.

ලැව්ගිනි අස්සේ අමෙරිකාවට භූමි කම්පාවක්

ටිබෙටයේ ප්‍රබල භූ කම්පාවක්

ටිබෙටයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක අද (07) අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන Xinhua වාර්තා කරයි.

මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි නේපාලයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට දැනී තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සංගමය (USGS) ප්‍රකාශ කළේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු 9.05 ට සිදු වූ අතර ඉන් අනතුරුව විවිධ පසු කම්පන ඇති වූ බවයි.

භූමිකම්පාවෙන් තවත් පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කම්පනය ඇති ටින්ග්‍රි ප්‍රාන්තයේ නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව Xinhua වාර්තා කර ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 86 ක් (සැතපුම් 53) පමණ දුරින් ලාට්සේ ප්‍රාන්තයේ වීදිවල හානියට පත් වහලවල්, සාප්පු ඉදිරිපස සහ සුන්බුන් ගොඩගැසී ඇති බව පෙන්නුම් කළේය. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයකට ද හානි සිදුව ඇති බව දර්ශනවල දැක්වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මගින් කම්පනයේ බලපෑමෙන් අර්ධ වශයෙන් කඩාවැටී ඇති ගොඩනැගිලි පෙන්නුම් කෙරේ.

එවරස්ට් කඳු පාමුල පිහිටා ඇති සහ උෂ්ණත්වය ඉතා අඩු ආපදා ප්‍රදේශයට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා චීන ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.

මේ වන විට එම කලාපයේ විදුලිය හා ජලය සැපයුම් විසන්ධි වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

ටිබෙටයේ ප්‍රබල භූ කම්පාවක්

ට්‍රම්ප්, අමෙරිකාව ජයගනි

අමෙරිකා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලොරීඩාවේ සිට සිය පාක්ෂිකයන් අමතමින් මීට සුලු මොහොතකට පෙර ට්‍රම්ප් පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි.

“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට පැවසීය.

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අපේක්ෂකයකු අමෙරිකාවේ මැතිවරණ විද්‍යාල 538 න් 270 ක බහුතර බලය හිමිකර ගත යුතුය.

ට්‍රම්ප් මේවනවිට එම ආසන 266 ක බලය හිමිකර ගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හිමිකර ගෙන ඇත්තේ ආසන 219 ක් පමණකි.

කෙසේවෙතත් තවමත් අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත්ව නොමැත.

ට්‍රම්ප්, අමෙරිකාව ජයගනි

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ නැඟෙනහිරෙන් පිහිටි වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 158දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බැවින් මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වැලෙන්සියා ප්‍රාන්තයේ නගර ගණනාවකට මේ ගංවතුර තත්ත්වය බලපා ඇති අතර, නිවාස, ගොඩනැඟිලි, මහාමාර්ග,පාලම් හා රථ වාහන සිය ගණනක් ද ගංවතුරට හසුවී විනාශ වී ඇතැයි වාර්තාවේ. මේ වන විටත් එරට ආපදා සහන සැලසීමේ කණ්ඩායම්, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අතුරුදන්වුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දසදහසකට වැඩි පුද්ගලයන් පිරිසක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එක දිගට අඛණ්ඩව පැය අටකට වැඩි කාලයක් ඇද හැලුණු වර්ෂාව ගංවතුර තත්ත්වයට හේතු වී ඇති අතර, ඇසින් දුටු පුද්ගලයන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ එය ‘සුනාමියකට සමාන වූ ගංවතුර තත්ත්වයක් බවය.අධික වැසි තත්ත්වය හේතුවෙන් දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, ප්‍රාන්තයේ සියලු පාසල් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් ස්පාඤ්ඤයට බලපා ඇත්තේ වසර 51කට පසුව බවත්, මීට පෙර 1973 දී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ජීවිත 150ක් පමණ අහිමිවූ බවද වාර්තා වේ.

ගංවතුර හා වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර, මියගිය පුද්ගලයන් වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

විපතට පත් වූවන් සඳහා යුරෝ මිලියන 250 ($ 270m) ආධාර ප්‍රකාශයට පත් කර ඇත.

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

හිස්බුල්ලා සංවිධානයට නව ප්‍රධානියෙක් පත්වෙයි

හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානියා ලෙස නයිම් කාසීම් නම් කර තිබේ.

ඒ , පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ හිටපු ප්‍රධානී හසන් නසරල්ලා මිය යෑමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.

71 හැවිරිදි නයිම් කාසීම් 1980 දී හිස්බුල්ලා සංවිධානය ආරම්භ කළ ආගමික විද්වතුන් අතර සිටින පුද්ගලයෙකි.

හිස්බුල්ලා සංවිධානයට නව ප්‍රධානියෙක් පත්වෙයි

දිල්ලියේ වායු ගුණාත්මකභාවය පහළට

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාලගුණික බලපෑම්, ආගමික උත්සවවලදී රතිඤ්ඤා භාවිතය, වගා අවශේෂ ගිනි තැබීම් ඊට හේතු වී ඇති බවයි.

දිල්ලි අගනුවර පවතින වායු ගුණාත්මක දර්ශක අගය 400 සහ 500 සීමාව අතර හෙවත් ඉතා දුර්වල මට්ටමක පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

දිල්ලියේ වායු ගුණාත්මකභාවය පහළට

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න