V2025

පුවත්

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ  පවසයි.

මේ අතර මිහින්තලා රජය මහාවිහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන ස්වාමීනවහන්සේ ද පවසන්නේ 2022 වසරට පෙර පැවති ආකාරයටම රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට අවශ්‍ය රාජ්‍ය මැදිහතවීම සිදුව ඇති බවයි.

මිහිදු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමක් ලෙස පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සති පිරිතෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පොසොන් උත්සවය රාජ්‍ය මැදිහත්වීම මත සිදු කිරීමටද සියලු කටයුතු යොදා තිබේ.

wasantha

වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වන ලකුණු !

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය.

ප්‍රදර්ශන කුටි වෙත යමින් ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය.

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන  ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ  ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා  ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

702b88b5 48d1 4877 b450 03d1f7b7f656 large

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටාට

72 වැනි ලෝක රූ රැජිණ තායිලන්ඩ් නියෝජනය කරමින් පැමිණි ඔඔපල් සුචාටා චොන්සිරිට දිනා ගෙන තිබේ.

1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.

එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.

2025 මැයි 31 වන දින ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හයිටෙක්ස් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී කිරුළ පැළඳූ අතර, එහිදී ඇයගේ පූර්වගාමියා වූ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඇයට කිරුළු පළඳවන ලදී.

WEB 19 793349

Opal Suchata

ආපදා තත්ත්වයයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි

දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 104කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් 4623 දෙනෙකු පිඩාවට පත්ව සිටී.

ආපදාවලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒහි ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවේ ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.

ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු සදහා ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවයි.

කාලගුණ තත්ත්වය

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අඩු මිලට තෙල් දෙන්න අබුඩාබිය සූදානම්......

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන  අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri)  සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi)  ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉදිරි පැය 36දීත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වඩා තද වැසි ඇති විය හැකි බවය.

උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60ක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  අද(30) දින නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක  නඩුවට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්  අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලැයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් අවශ්‍ය බවයි.

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නඩුව ජුලි මස 11වැනි කැඳවීමට දින නියම කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවයයි.

අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා නිලුපුලී ඉදිරියේදී මෙම නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි කොටුව පොලීසියේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළව සාවද්‍ය පරිහරණයට ලක් කළ දේපොළ පොදු දේපළ බවත් එබැවින් පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් එම පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවත් සඳහන් ක‍ර ඇත.

එම අවස්ථාවේ මින් පෙර මහේස්ත්‍රාත් අධිකරණයට විමර්ශන නිලධාරින් ඉදිරිපත් කළ වාර්තාවල එම කරුණු සඳහන් නොකළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය විසින් නිලධාරීන්ගෙන් විමසිමක් කර ඇත.

පසුව විමර්ශන නිලධාරීන්ගෙන් දුර්වල විමර්ශනයක් නිරීක්ෂණය කළ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් කළ කරුණු වාර්තා කරන ලෙසත් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කළේය.

කෙසේ නමුත් මෙම නඩුව ලබන 02 වන දින කැඳවීමට නියමිතය.

රට පුරා PCR පරීක්ෂණ......

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  ප්‍රකාශ කළේය.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බියවිය යුතු නැතැත් එය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අනිල් ජාසිංහ,

"අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුයේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා. ආසියාවේ කොවිඩ් වැඩිවීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කරන එක වැඩි කරා. කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් භාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක් එක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඒක අනිත් අයට හොඳයි."

ගෙවුණු ආසන්න කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් ඉහළයාමක් පෙන්නුම් කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙලෙස කොවිඩ් සුලබ ව්‍යාප්තියක් වාර්තාවන්නේ මධ්‍යධරණී රටවල, අග්නිදිග ආසියානු රටවල සහ බටහිර පැසිෆික් කලාපීය රටවලිනි.

ඒ අනුව JN 1, LF 7 සහ NB 1.8.1 වැනි කොවිඩ් උප ප්‍රභේද මේ වනවිට රටවල් රැසකින් වාර්තා වී තිබේ.

එලෙස ආසාදිතයින් බහුලව වාර්තාවන රටවල් අතරට ඉන්දියාව ද අයත්ය.

LF 7 සහ NB 1.8.1 කොවිඩ් උප ප්‍රභේද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින උප ප්‍රභේද වශයෙන් සැලකේ.

මෙවන් පසුබිමක ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවධානය යොමුකර තිබේ.

දුමින්ද යළි රිමාන්ඩ්.....

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක  ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ , ඔහු අද(29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදියි.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සමබන්ධයෙන් පසුගිය සිකුරාදා දුමින්ද දිසානායක  අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ය.

මහින්දානන්දට 20යි - නලින්ට 25යි : බරපතල වැඩ සහිත සිරඳඩුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

ඒ අනුව හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව දඩ මුදල්ද නියම කෙරුණි.

මෙම නියෝගය මහාධිකරණ විනිසුරුවරුන්වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කළේය. නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

අල්ලස් පනතේ 70වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කර තිබුණි.

ඡායාරූප අයිතිය – වාසිත පටබැඳිගේ සතුයි.

ලබන අයවැයට යෝජනා භාර ගනී

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී යන මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශබන්දු යළිත් විමර්ශන කමිටුව හමුවට.....

පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (28) යළිත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පෙනී සිටියේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව ඒ සඳහා අද පස්වරු 2 ට රැස්විය.

පසුගිය 19 වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වරට එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටි අතර දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ, ඔහු නිදහසට කරුණු දැක්වූ බව සඳහන් වේ.

මේ අතර දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පතිධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ විධිමත් අනුමැතියකින් තොරව එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය සඳහා සැප්තැම්බර් මස 08 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය.

පෙත්සම් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.

දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව නවයක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ බහුතර ඡන්දයෙන් සම්මත වී නොතිබියදී, ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

 

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව යන අය හා තවත් අයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට වෙඩි තැබීමක් සිදුවූයේ පසුගිය 17වනදායි.

නාරාහේන්පිට ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමසිදු කළ බවයි වාර්තා විය.

ජීප් රථය ධාවනය වෙමින් තිබියදී එකවරම එය හරස් කොට වෙඩි තබා බියගන්වා වාහනයේ දොරවල් විවෘත කර තමන්ට සහ තවත් පුද්ගලයෙකුට පහරදී එහි තිබූ ලිපි ගොණුවක් පැහැරගෙන ගිය බවට ඔහු පැමිණිලි කර තිබුණි.

නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළේය.

එම විමර්ශනවලට අනුව සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකතන 04 ක් සමග මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසයි.

ඔවුන් තුන් දෙනා වත්තල හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය.

එහිදී පැය 24 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

මෙහි එක් සැකකරුවකු වන මොහොමඩ් ශෆ්නි යන අය තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසීය.
ඊට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුව ගත් තුන් දෙනා හෙට (29) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක්

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව සිටී මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම එහිදී මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා සහ සැලසුම්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු යන ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළාත් පාලන මැතිවරණයේ තේරීපත් වූ සභිකයින්ගේ නම් 30 ට කලින් එවන්න

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛන ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරීපත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බවයි.

මැතිවරණය අවසන් වී දින 21 ක් ගතව ඇතැත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව එක් එක් පක්ෂය හා කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු ඇති සියලුම සභිකයින්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීන් වෙත නම්කර එවිය යුතු බව ගැසට් පත්‍රයේ දැක්වේ.

පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සභිකයින් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයින් කඩිනමින් දැනුම් දිය යුතුයි.

මැතිවරණ කොමිසම පවසන්නේ, ලබන 30 වැනිදා වන විට දෙවැනි නාම ලේඛන ලබා නොදෙන්නේ නම්, සභිකයින් නම් කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වන බවයි.

Page 9 of 476