V2025

පුවත්

අරගලය ගැන පොලිසියේ ඉල්ලීම සලකා බැලීමෙන් : කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවත් වෙයි !

ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කිරීමට ගිය ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  අද ඉවත් විය.

ගෝල්ෆේස් අරගල බිම පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (06) ඉවත්ව ඇති බව වාර්තා වෙයි .

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම පවසා ඇත්තේ මෙම අරගලය සම්බන්ධයෙන් නඩු දෙකක් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පොලිසිය ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණය සූදානම් නම් එම ඉල්ලිම තමා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම එහිදී පවසා ඇත .

කෙසේ වුවත් අදාළ ඉල්ලීම කුමක් ද යන්න සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී අනාවරණ නොකෙරුණ බවත් වාර්තා වෙයි .

මෙහිදී අරගලකරුවන් වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් සමග පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් රජයේ නීතීඥවරයා ඉදිරිපත් කළ එම කරුණු සම්බන්ධව විරෝධය පළ කර ඇත .

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල තමා මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එම ඉල්ලීම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමුකරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටි බවත් වාර්තා වෙයි .

අරගලය සම්බන්ධයෙන් පොලිසියට හිතුමතේ අධිකරණ නියෝග ගන්න දෙන්න එපා - නීතිඥ සංගමය

පොදුජන අරගලය සම්බන්ධයෙන් පොලිසිය යම් අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ සෙසු පාර්ශ්වයන්ගෙන් ද කරුණු විමසීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් අද (06) මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත .

පොලිසිය විසින් මෙවැනි නියෝග ඒක පාර්ශ්විකව ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් තමන්ට පෙනී යන බව සඳහන් කර ඇති ජනාධිපති නීතිඥවරයා එය වැරදි ක්‍රියාවක් බවත් පවසා ඇත .

සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කිහිපදෙනෙකු ගේ දුර්වල හැසිරීම හේතුවෙන් මේ වන විට සජබ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පැමිණීමත් අප්‍රසන්නවී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසා සිටියේ ‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට නොපැමිණෙන බවය.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි .

පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර එහිදී පැවසීය .

පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින් මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

නිරායුද සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් !

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් දැඩි කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත .

නිරායුද සිසුන් ඉලක්ක කර පොලිසිය එල්ල කළ මේ කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු පිවිසුම අසලට පමණක් සීමා නොවුණු අතර දියත උද්‍යානයට පවා කඳුළු ගෑස් පතිත වූ බව ජනතාව පවසයි .

එහෙයින් රැකියා කටයුතු සඳහා ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි ජනතාවද ඉමහත් පීඩාවට පත්ව ඇත .

කෙසේ වුවත් නැවත සංවිධානය වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා දක්වමින් සිටියි.

ඉන්දීය ණය පහසුකමින් යකඩ ඇද්දාට : නීතිඥ සංගමය අධිකරණයේ !

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය වහාම කරුණු පැහැදිලි කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත .

ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර ඇත .

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද සැලකිල්ලට ගැනින.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා එහිදී සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ණය පහසුකමින් සියයට 30 ක ප්‍රමාණයක් වැය කරමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර ඒ බව මුදල් අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවත් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි .

රජය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ සඳහන් කර සිටියේ ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට යොමු කරනු ලැබ ඇති බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.

TNA දේශපාලන සම්බන්ධයට කණකොකා හඬයි !

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග තවදුරටත් දෙශපාලනික ලෙස කටයුතු නොකල යුතු බවට අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දි අදහස් පල වි තිබෙන බව වාර්තා වෙයි .

අද පාර්ලිමේන්තුවදී ශානික්‍ය රාසාමානිකම් මන්ත්‍රීවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විචේචනය කිරීම ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමෙන් පසුව මේ තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි .

නියොජ්‍ය කතානායක පත් කිරිමේ ජන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්විමට තිබු අවස්ථාව TNA මන්ත්‍රී සුමදිරන් විසින් විසින් හිතාමතා අවුල් කල බව කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇති බවත් දැනගන්නට ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරය ට පත් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර මුලසිටම එකඟතාවක් තිබු බවත් එහිදී හිටපු අගමැතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව තමන් ගත් ස්ථාවරය අද දිනයේ වෙනස් නොකල බව එජාප නායකයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

මේ අතර එක්සත් ජාතික පක්ෂය දැන් වෙනත් දෙමල පක්ෂ සමග සහයෝගීතාව ඇරඹීම කල යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන් සදහන් කර ඇති බවත් වාර්තා වෙයි .

සජිත් පාවාදුන්නා : ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝගයක් !

අද (05) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පැවති ජන්ද විමසීමේදී එය ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවට පෙන්නුම් කිරීමට කටයුතු කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සිට පසුගියදා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෘජුවම විපක්ෂ නායක වෙත චෝදනා කරනු ලැබිණ .

එහිදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ , ඊයේ සිදුවූ සාකච්ඡාව අවස්ථාවේ සජබ හෝ විපක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායකවරයකු ඉදිරිපත් කරන බවක් සජබ නියෝජිතයන් නොපැවසූ බවය.

එසේම එවැනි පසුබිමක අන්තිම මොහොතේ විපක්ෂය බෙදමින් ආණ්ඩුව වෙත වාසි සැලසෙන ආකාරයට සජබ නියෝජිතයකු නියෝජ්‍ය කතානායක ලෙස ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය .

එහිදී හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් තීන්දුව ඊයේ තිරූ නඩේෂන් නිවසේ හේමා ප්‍රේමදාස ඇතුළු කිහිපදෙනෙකු ගේ රහසිගත සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි ඇති බවත් එබැවින් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක් සඳහා අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය කතානායක ජන්දය අස්සේ : මහා පාවාදීමක් !

ස්වාධින කණ්ඩායම' නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ අද (05) රහස් ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත්වීය.

 නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ගේ නම නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේය .

එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම රංජිත් මද්දුමබණ්ඩාර විසින් යෝජනා කර සිටියේය .

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළ අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වූ අතර
එහිදී රංජිත් සියඹලාපිටිය ට ඡන්ද 148 ක්ද ඉමිතියාස් බාකීර් මාකර් ට ඡන්ද 65 ලැබිණ .

ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබා රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය…

කෙසේ වුවත් මෙහිදී සමගි ජනබලවේගය පක්ෂය මහා දේශපාලන පාවාදීමක් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයකු පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ අසුන් ගන්නේ නම් ඔහුට සහය දැක්වීමට සජබ නියෝජිතයින් ඊයේ දිනයේ සහතික වූ බවයි.

කෙසේවුවද එම එකඟත්වයට පිටුපා අද දිනයේ ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කිරීම බරපතල පාවාදීමක් බවත් ඔහු සඳහන් කළේය .

අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙස බලන විට එය ‌බෙදී ගොස් ඇත්තේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 117ක් ලෙස සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් 62ක් ලෙසයි .

ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස 35 දෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි අතර එහිදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම යෝජනා කළ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට එකඟවූ ආකාරයට නියෝජ්‍ය කතානායක ධූරය ලැබීමට ඉඩ නොදීම ප්‍රශ්නයක් බවත් , ඒ නිසා ආණ්ඩුව සුළුතරය බව පෙන්වීමේ අවස්ථාව අහිමිවූ බවටත් සමගි ජනබලවේගය වෙත චෝදනාව එල්ලවී ඇත .

ඔවුන් පවසන්නේ , ජී.එල්. පීරිස් අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට සහය දෙන බව පැවසීම බෙදුම් ජන්දයක් ඉල්ලීමට තරම් හේතුවක් නොවන බවයි.

 

නියෝජ්‍ය කතානායක ධූරයට : රහස් ජන්දයක්

අද (05) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා රහස් ජන්දයක් පැවැත්වීමට සිදුව ඇත.

ඒ අනුව මේ වන විට එකී ජන්ද විමසීම ඇරඹි තිබේ.

මේ ආකාරයට නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ජන්ද විමසීමක් සිදුවන්නේ , ඒ සඳහා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිට මේ වන විට ස්වාධීන ව සිටින රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ ඉම්ටියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන් ගේ නම් යෝජනා වූ නිසාය.

කතානායක නිවේදනය සමග නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පළමුව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ගේ යෝජනාවක් අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ගේ නම යෝජනා විය. එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසිනි.

එහිදී ජී.එල්. පීරිස් අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ සහය ලැබෙන බව පැවසීය.

ඒ සමග නැගීසිටි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර විසින් නියෝජ්‍ය කතානායක ලෙස ඉම්ටියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කර සිටියේ ය. ඒ සියඹලාපිටිය මන්ත්‍රීවරයා ට ආණ්ඩුවේ සහය ප්‍රකාශ කළ නිසා බෙදුමක් ඉල්ලන බව පවසමිනි.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සම්මත කරනු ලැබිණ.

පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවතලයි !

පොලිස් බලහත්කාරය යොදවා ඊයේ (04) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලදී අත්අඩංගුවට ගනුලැබූ සාමකාමී උද්ඝෝෂකයන්ට ඇප ලබාදීමට කඩුවෙල අධිකරණය නියෝග කරනු ලැබිණ .

එසේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී අද (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඊයේ (04) ප්‍රතික්ෂේප කළාය.

අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියේ අදාළ උද්ඝෝෂණය වැළැක්වීමට අදාළ හේතු වශයෙන් පොලීසිය ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණවත් නොවන බව පවසමින් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් යමෙකු මහජන පීඩාවක් ඇතිවන අයුරින් හැසිරුණ හොත් නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් මෙහිදී අධිකරණය සදහන් කළ බවත් වාර්තා වෙයි .

මෙම උද්ඝෝෂකයින් විසින් පවත්වනු ලබන විරෝධතා හේතුවෙන් අද (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පාර්ලිමේන්තු සැසිවාරයන්ට බාධා පැමිණවිය හැකි බැවින් එම විරෝධතා නවතා දමන නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මෙම උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගමන් ගන්නා මාර්ගවල රැදී සිටිමින් ඔවුන්ගේ වාහනවලට සහ ඔවුන්ට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ හේතුවෙන් අදාළ විරෝධතා නවතා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, පොලීසිය කළ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

279964299 548684730250440 5102833815471606527 n

අනුරට නඩු දානවා : යෝෂිත කියයි !

පෙරේදා (03) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රාජ්‍ය දේපළ අවභාවිතා කළ දූෂණ චෝදනා ලාභීන්ගේ ලිපිගොනු ප්‍රමාණයක් අනාවරණය කළ අතර එහිදී අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ගේ නමත් සඳහන් විය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් අගමැති කාර්‍යාලයේ ලිපි ශීර්ෂයක් හරහා නිවේදනයක් නිකුත්කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

FB IMG 1651685199244 1

අගමැති ඉල්ලා අස්වීම අසත්‍යක්ලු !

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’ එහිදී අමාත්‍යවරයා පවසා ඇත .

කෙසේ වුවත් ඊයේ (03) වන තුරු අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් පැවති බව රහසක් නොවන බව දේශපාලන විචාරකයන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ අලුත් දේශපාලන ඩීල් එකක් හේතුවෙන් මේ ආකාරයට අගමැති වචන වෙනස් කර ජන අරගලය සමග සෙල්ලම් කිරීම අරඹා ඇති බව යි.

මේ වන විට අරගලය මර්දනය කිරීම ක්‍රමයෙන් තීව්‍ර කරමින් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රාජපක්ෂ මර්දනය ඇරඹේ : පාර්ලිමේන්තුව ඉදිරිපිට පැහැරගැනීමක් !

අද (04) පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුණු සිවිල් පුරවැසියන් පිරිසක් පොලිස් බලහත්කාරය යොදවා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

මේ විරෝධතාව පවත්වා ඇත්තේ ඉතාම සීමිත පිරිසක් වන බවත් එහිදී පොලිස් බස් රථයක පැමිණි කැරලි මර්දන භට පිරිසක් අමානුෂික ආකාරයට මේ සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු පුරවැසියන් පැහැරගෙන ගිය බවත් එහි සිටි අප වාර්තාකරුවන් පවසයි .

එහිදී උද්ඝෝෂකයින් පැමිණ ඇත්තේ කතානායකට ලිපියක් බාරදීමට බවත් වාර්තා වන අතර එය පහත දැක්වෙයි .

එහිදී පොලිස් පැහැරගැනීමට ලක්වූ සාමකාමී උද්ඝෝෂකයන්ට පොලිස් පහරදීමක් සිදුව ඇති බවත් සඳහන් ය.

සාමකාමී විරෝධතා දැක්වීම පුරවැසි අයිතියක් බව පවසමින් අත්අඩංගුවට ගැනීමට එරෙහි වූවන්ට , එහි සිටි පොලිස් නිලධාරියෙකු තර්ජනය කර ඇත්තේ , මේ හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කතානායක දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙසේ පොලිස් පැහැරගැනීමට ලක්වූ උද්ඝෝෂකයන් මහරගම පොලිසියේ රඳවාගෙන සිටින අතර ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ වන විට ඉතාම පැහැදිලිව පොදුජන අරගලය මර්දනය කිරීම ආරම්භ වී ඇති බවයි.

සාමකාමී විරෝධතාකරුවන්ව මේ ආකාරයට පොලිස් පැහැරගැනීම් සිදුවනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් නොව මිලිටිරි පොලිස් රාජ්‍යක ලක්ෂණයක් බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.

අදාළ නිවේදනය නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය තිබෙයි.

අදාළ නිවේදනය සඳහන් කරන ආකාරයට ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහට පොලිසිය දැඩිව තර්ජනය කර තිබේ .

ඊළඟ සිදුවීම ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කළේ යැයි ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයන් දෙදෙනෙකුට යක්කල පොලිසිය මගින් (02) අත්අඩංගුවට ගෙන පහර දී තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ ආකාරයට අනීතික සහ පුරවැසි අයිතීන් කෙළෙසන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පෞද්ගලිකව නෛතික ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් අගමැතිට ඔක්සිජන් ?

මේ වන විට ආණ්ඩුවේ සිට ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙනෙන විශ්වාසභංග සඳහා සහය නොදීමේ තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මෙම ස්වාධින කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනාගේ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එහිදී මෙම තීන්දුවට එළඹ ඇත.

මේ වනවිට ජනාධිපතිවරයා සමග යළිත් වතාවක් අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් ආරම්භ වී ඇති බැවින් ඊට හානිකර කිසිවක් නොකිරීම මෙම තීන්දුව ගැනීමට හේතුව බවත් වාර්තා වෙයි .

එසේම ඊයේ (03) බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ ප්‍රධානීන් අතර සාකච්ජාවක් පැවැති අතර එයද මෙම තීන්දුව ගැනීම සදහා බලපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ දින වන විටත් අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානමක් පැවති නමුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මේ තීන්දුව හේතුවෙන් ඉල්ලා අස්වීම සඳහා වෙනත් පාර්ශ්වයක් බහුතරය පෙන්විය යුතු බවට තර්කයක් ඉදිරිපත් කර තවදුරටත් අගමැති ධූරය දැරීමට තීරණය කර ඇත්තේ ද ඒ අනුව ය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට පාර්ලිමේන්තුව දේශපාලන ඩීල් ආකරයක් බවට පත්ව ඇති බවයි.

සම්ප්‍රදායික දේශපාලන නායකයන් පොදුජන අරගලයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් බියක් දක්වන බවත් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් ගෝල්ෆේස් අරගල බිම ප්‍රමුඛ දිවයින පුරා රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

මුදල් ඇමතිගෙන් පාපෝච්චාරණයක් !

වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාපෝච්චාරණයක් මුදල් ඇමති අලිසබ්‍රි විසින් අද (04) පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබීය.

පසුගිය කාලයේදී සිදුවූ බදු කපා හැරීම හේතුවෙන් බරපතළ වැරැද්දක් සිදුවූ බවත් එමෙන්ම නියමිත අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමද වැරැද්දක් බවත් එහිදී ඔහු පිළිගත්තේ ය.

මහතා රුපියල නියමිත අවස්ථාවේදී පා නොකර ඩොලරය අල්ලාගෙන සිටීමද සිදුකළ වැරැද්දක් බවත් මුදල් ඇමති අලිසබ්‍රි පැවසීය .

ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන එළියේ සිටින අයට හරි අවබෝධයක් තිබේ යැයි තමා නොසිතන බව කී මුදල් අමාත්‍යවරයා පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද එහිදී ඔහු පැවසීය .

අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් ඇමති අලි සබ්රි පැවසූ අතර ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි.

 

ඉන්දියාවෙන් නැව් පිටින් තෙල් : ණයට ගනියි !

ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර සඳහන් කළේය.

දැනට ඉන්දියාව ලබා දී ඇති ඉන්ධන ණය වන මේ වන විට අවසන් වෙමින් ඇත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.

ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.

මැයි 06 හර්තාලයෙන් රාජපක්ෂලා නොගියොත් : අඛණ්ඩ හර්තාලයක් සූදානම් - වසන්ත

මැයි 06 වනදා රට පුරා සියලූ අංශ එක්ව හර්තාල ව්‍යාපාරයක් පවත්වන බව වෘත්තීය සමිති සංවිධාන හා දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් කියා සිටියි.

ඒ සඳහා සියලු වෘත්තීය සමිති, සංවිධාන, පක්ෂවල සහයෝගය දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි .

දූෂිත රාජපක්ෂ පාලනය මෙරට පාලනය අතහැරීම සඳහා කටයුතු කල යුතු බවත් එසේ නොකරන්නේ නම් මැයි 11 සිට අඛණ්ඩ හර්තාලයක් රාජපක්ෂ පාලනය ගෙදර යනතුරු ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය .

06 වැනිදා පැවැත්වෙන මෙම හර්තාලය සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවාවන් එක්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එහෙම සමාගමක් දන්නෙත් නෑ : ABC අනාවරණය ගැන නාමල්ගේ ප්‍රතිචාරය !

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේ දී සිදුව තිබෙන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබදව, ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය විසින් පසුගිය දා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබු අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වා ඇත .

ABC මාධ්‍ය ජාලයේ අනාවරණය මෙරට තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, නාමල් රාජපක්ෂ, ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

තමන් නොදන්නා සමාගමක් පිළිබදව සදහන් කරමින් නැවත වරක් තමාටත් තම පවුලටත් එරෙහිව චෝදනා කරමින් වාර්තා චිත්‍රපටයක් නිකුත් වී ඇති බව පවසන නාමල් රාජපක්ෂ, යහපාලන රජය සමයේ දී මෙවැනි චෝදනා තමන්ට එරෙහිව එල්ල වී ඇති බවත්, ඒ නඩු සදහා තමත් තවමත් මුහුණ දෙමින් සිටින බවත් පවසයි.

ABC මාධ්‍ය ජාලයේ හෙළිදරව්වට අනුව, රෝහලට සැපයුම් කොන්තරාත්තුවක් ලබාගෙන ඇති ඕස්ටේ්‍රලියානු සමාගමක්, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 මුදලක් බි්‍රතාන්‍යයේ ස්ථාපිත කර තිබෙන වෙනත් සමාගමකට ලබා දී තිබේ.

අදාල සමාගමේ අයිතිකරු නිමල් පෙරේරා නමැත්තා බවත්, ඔහු, නාමල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් එකතුකිරීමේ කාර්යයෙහි නිරතව සිටි බව පිළිගෙන ඇති බවත් ඕස්ටේ්‍රලියානු ගවේෂණාත්මක මාධ්‍යවේදින් පවසයි .

abc 670

Page 258 of 387