V2025

පුවත්

අද සර්ත් ෆේල්, සාත් ෆේල් - මංගල

"අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි. කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්." යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ශ්‍රී ලංකාව, තාරුණ්‍යයේ ජවයේ එකමුතුවෙන් නිවැරදි දිශාවට ගෙනයාමේ අරමුණින් යුතුව තරුණ කණ්ඩායමකගේ මුලිකත්වයෙන් ආරම්භකර ඇති'සැබෑ දේශප්‍රේමියෝ' දේශපාලන ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.

 මාධ්‍ය හමුව ජුලි 25 වන ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි  'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත්විණි.

"අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි." යනුවෙන්ද ඔහු එහිදී පැවසීය.

'ෆ්‍රීඩම් හබ්' හි දී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ අදහස් පහත දැක්වෙයි.

"සැබෑ දේශප්‍රේමීන් පවත්වන මුල්ම මාධ්‍යය සාකච්ඡාවට Freedom Hub කාර්යාලයට පැමිණි ඔබ සියලු දෙනාව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි මේ ආරම්භක මාධ්‍යය සාකච්චාව පවත්වන්නට තීන්දු කරේ, ලංකා ඉතිහාසයේ කලුම පැල්ලමක් ලෙස සැලකෙන කලු ජූුලියට 38 වසරක් සපිරෙන මොහෙතේදීයි.

අද අපි රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයට හේතු හදපු තවත් එක තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කලු ජූලිය හඳුන්වන්න පුළුවන්. 1948 දී අපි නිදහස ලබා ගන්නා විට ආසියාවේ දියුණුම රටක් හැටියට සැළකුවා. නවීන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යු මහතා පොදු රාජ්‍යය මණ්ඩලයේ ආදර්ශමත් රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණා.

නමුත්, එදා අපිට වඩා දිළිඳු යැයි සැලකු රටවල් ඇතුළුව, අද ලොකයේ බොහෝ රටවල් Bitcoin - Block Chain- NFT- Artificial Intelligence යුගයක් කරා ගමන් කරමින් ඉන්න වෙලාවේ, අපි බංකොලොත්භාවයේ පතුලටම වැටී තිබෙනවා. ලෝකයෙන් හුදෙකලාවු අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් ඉන්නවා.

ඊළඟ සතියේ ජූලි 27 වෙනිදාට පෙර අපිට, 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට වෙනවා. එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ Sri Lanka Development Bond ගෙවන්නට තිබෙනවා. මම මුදල් ඇමති ලෙස 2019 දී බාර දෙන විට භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් බිලියන 7.6ක් පමණ වූ විදේශ විනිමය සංචිතය, 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6ට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා.

අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600කින් පමණ අඩුවෙමින්, පසුගිය දශක 7දී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දීය. 1988 න් පස්සේ විශාලතම අයවැය පරතරය 2020දී වාර්තා වුණා. වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට, ඉතිහාසයේ වසරකදී අච්චු ගැසු වැඩිම මුදල අච්චු ගහන්නට මහබැංකුවට සිදු වුණෙත් පසුගිය වසරේදීයි.

ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලුතෙන් ලබාගත් ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ වැඩිවෙලා. මේ නිසාම මේ තත්වය තුළ, රටේ මහා පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධන වලට ඩොලර් බිලියන 1.2ක් පමණ ගෙවන්නට ඇති නිසා , ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. දශක ගණනාවක් තිස්සේ ඊනියා දේශප්‍රේමය විකුණගෙන කැපු දේශපාලනය නිසාත්, ඊනියා දේශප්‍රේමි ඉදිරියේ රැවටුන ඡන්ද දායකයා  නිසාත්, වරින්වර අපගේ රාජ්‍යය නායකයන් නිවැරදි දේ කිරීමට උත්සහා කරපු අවස්ථාවලදී පවා, ඊනියා දේශප්‍රේමි නාමයෙන් ඒවාට හරස් කැපු විපක්ෂ නිසාත්, අද අපේ රට මේ තැනට වැටී ඇති බව අපි හැමෝම පිළිගත යුතුය.

ඇත්තෙන්ම කියනවානම් රාජ්‍ය පාලනය සම්බන්ධ වූ මා ඇතුළු අනෙක් සියලු දෙනාත්, මේ අද තියෙන තත්වයට කිසියම් මට්ටමකින් හෝ වගකිව යුතුයි. 1965 දී පංච මහා බලවේගයේ නාමයෙන් ඇති කරන ලද බහුතරවාදී කුහක ලිංමැඩි මානසිකත්වයත්, පසුගිය මැතිවරණයේදි එහි කූට ප්‍රාප්තියට පත්වීමත්, මේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.

අද ස' ෆේල්- ස' ෆේල් කියලා හැමතැනම කියනවා. නමුත් ඇත්තටම අද ෆේල් වෙලා තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. එතුමා නියෝජනය කරන ආගම් වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයයි.

අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු  වූ රජයයි. අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි.

කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි. ප්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්,  මේ ඉන්න තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගමු.

ඒ ගැන සංවාදයක් ආරම්භ කරමු. රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ජයගන්නේ කොහොමද කියලා සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සාකච්ඡා කරමු. එපමණක් නොව ළිංගෙඹි මානසිකත්වයෙන් මිදිලා, අපි අපේ රටේ දරුවන් වෙනුවෙන් ලෝකය ජයගන්නේ කොහොමද කියලා සැලසුම් කරමු. අපේ රටේ දියුණුව, ආරක්ෂාව, ස්වෛරීභාවය ගැන විතරක් නෙවෙයි, අපේ දරුවන්ට අනාගතයේදී උරුම වෙන රටේ හැඩරුව ගැනත් අපි කතා කරමු.

ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් නොවී ලෝකය එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුම මොහොත මේ මොහොතයි. හෙට නෙවෙයි, ලබන අවුරුද්දේ නෙවෙයි, ඊළඟ ඡන්දෙදි නෙවෙයි, අද - අදම, දැන් - දැන්ම, මග හරින්නේ නැතුව අපි ඒ කතිකාව ඇරඹිය යුතුයි.

අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.

ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි. මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍යයි.

පරිසරය, ගස්කොළං, සතා සීපාවා ආරක්ෂා කරන මතවාදයක් අවශ්‍යයි. ''සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා'' කියන පිළිවෙත කටපාඩමෙන් කියන වචනවලට විතරක් සීමා නොවන ක්‍රියාවෙන්ම ඉටු කරන මතවාදයක් අවශ්‍යයි.

1948 දී අපිට නිදහස ලැබුණත්, නව නිදහස් රාජ්‍යයට අත්තිවාරමක් දමන්නට බැරිවීම මහා විනාශයට හේතුවයි. ශ්‍රී ලංකාව කියන මාලිගාව ඉදි කරන්නට සෑම රජයක්ම උත්සාහ කරේ අත්තිවාරමක් නැති බිමකය. අත්තිවාරමක් දාන්නේ නැතුවය.

ඒ නිසාම හදන හදන තට්ටුව කඩා වැටිලා වසර 73 ක් තිස්සේ අපි හදලා තියෙන්නේ අහසේ මාළිගා විතරයි. ඒ නිසා දැන්වත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් කරා ගමන් කරමු.

මැද පිළිවෙත නොහොත්, මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් විදිහට පෙනී සිටින්නට කැමති, සියලු දෙනාගේ මධ්‍යස්ථානයක් ලෙස Freedom Hub අවකාශය ක්‍රියාත්මකයි.

සමාජ මාධ්‍යජාලා තුළින් අපි සමග එක් වෙන ලෙස අපි සියලු සැබෑ දේශප්‍රේමීන්ට ආරාධානා කරනවා. මේ අසීරුම තැන සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සීරුවෙන් සිටිය යුතුම මොහොතයි."

 

 

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා පාලන මිලක්

කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක අනුව මිල සඳහන් ගැසට් පත්‍රය ‌පහත දක්වේ.

gas price 950

ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි ඇතුළේ !

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය.

බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රංජන් රාමනායක රෝහලට රැගෙන ආ අතර ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ගියේය.

එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක නැවත අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

රංජන් රාමනායකගේ පැමිණීම දැක බලා ගැනීම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිද රෝහල් භූමියට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසුවේ දමරණීය දන්ඩන නියමු වූ දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තා මෙන් රංජන් රාමනායකටද ජනාධිපති සමාව දිය යුතු බවයි.

කොවිඩ් මරණ 45ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළ ගොස් ඇත.

කැපිටල් මහරාජා සමූහයේ අධිපති අභාවප්‍රාප්ත වේ

සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන්  නොහොත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

ජිවිතක්ෂයට පත්වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල පෙරළියකට මග හෙළිකරමින් සිරස නාලිකාව සමාජගත කලේ කිලී මහරජායි . ඔහු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු ද වේ.

ගුරුවරුන්ට "කාලකන්නි" යැයි කියන අයට "මූසලයෝ" යැයි අහන්න වේවී !

"අපි රටේ ජීවනාලිය සේ සලකන දුවාදරුවන්ට අකුරු උගන්වන දෙවිවරුවන් ගුරුවරු අද මහ පාරේ උද්ඝෝෂණ උපවාස කරනවා අපි දැක්කා. ගුරු සහ විදුහල්පති වැඩ වර්ජන වලට වැටුප් විෂමතා සහ නිදහස් අධ්‍යාපන අයිතිය රැකදීමට අවශ්‍ය සාධාරණ හේතු කිහිපයම පවතිනබව ඒ පිළිබඳ සොයා බැලුව අපිට වැටහුණා. එහෙම තත්වයක් තුල ඒ ප්‍රශ්න විසඳන්න රජයේ හෝ බලධාරීන්ගේ අවධානය නොවීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ වැදගත් ඇමතිවරු යැයි කියාගන්නා ඇතමුන් දෙවිවරුවන් ගුරුවරුන්ට "කාලකන්නි" යනුවෙන් ඇමතීම අපි කිසිවිටෙකත් අනුමත කරන්නේ නෑ ." යැයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි පවසා ඇත.

ඊයේ (22) බත්තරමුල්ලේ දී මෙම විශේෂ මාධ්‍ය හමුවක් හිටපු පැවැත්වූ අතර ඒ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරල සහස් හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි සහ දේශීය වෛද්‍ය සමිතා එදිරිවීර යන අය සහභාගීව ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මෙසේද පැවසුවාය.

ගුරුවරයෙක්ගෙන් අකුරක් හරි ඉගෙන ගත්ත පුද්ගලයෙක් එහෙම කතා කරන්නේ නෑ කියන එකයි අපේ විශ්වාසය. අපි පාසල් යන කොට ගුත්තිල ඇදුරුතුමා ගෙන් අකුරු ඉගෙන ගෙන අකෘතඥව කටයුතු කරපු මූසිලයා ගැන ඉගෙනගෙන තියෙනවා. අද ගුරුවරුන්ට කාලකන්නි කියන අයට අර මූසිලයා කියන නාමයේ ඉස්පිලි පාපිලි වෙනස් කරලා සමාජය විසින් ආමන්ත්‍රණය කරන දිනය වැඩි ඈතක නැති බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි .අපිට ලැබුණු තොරතුරු වලට අනුව අද වෙද්දි ගුරු විදුහල්පති සංගම් තිහක් පමණ වෘත්තිය ක්‍රියාමාර්ග වලට පිවිසිලා තියෙනවා. ඒත් ආණ්ඩුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් .

අද දින මා විසින් මතුකරන දෙවැනි කාරණාව වන්නේ දිනෙන් දින වැඩිවන ළමා අපචාර සහ ළමයින්ට එරෙහිව සිද්ධ වන වැරදි වාර්තාකරණයේදී සිදුවන අඩුපාඩුකම් පෙන්වාදීමයි.

පසුගිය දිනයෙක අපිට අහන්න ලැබුනා හිටපු ඇමතිවරයෙකු ඒ වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දේශපාලඥයකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දමිල දැරියක් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කලාට පස්සේ මියගොස් තියෙනවා කියලා. දැන් සති දෙක තුනක ඉඳලා මෙවැනි තවත් දැරියන් කිහිප දෙනෙකුම විවිධ හිංසන අපචාර වලට ලක්වීම සම්බන්ධයෙන් කරුණු රැසක් මාධ්‍යවල දිගින් දිගටම වාර්තා වුණා. ඒත් මේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා වාර්තාකරණයේ සහ සමාජ මාධ්‍ය අවධානය දිගැනීමේ අඩුවක් තිබෙනබව අපි දැක්කා. සමහරවිට මේ දැරිය අන්ත අසරණ වතුදෙමළ තරුණියක්වීම ඒකට හේතුව වෙන්න ඇති.

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් දරුවා වතුකරය ඉපදිලා හරිහැටි අධ්‍යාපනයක්වත් නොලබා තැරැව්කරුවෙකු හරහා මෙහෙකාර සේවයට කොළඹට පැමිණි ළාබාල දැරියක්. අපි නිතරම කියනවා අපේ රට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක් කියලා . ඒත් මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා තාම අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 100% ක්‍රියාත්මක නොවන තත්ත්වයකුත් තියෙනවා කියලා. විශේෂයෙන්ම වතුකරයේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන්ගෙන් 20%කට පමණ පාසල් අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා. වතුකරයේ දුක් විඳින මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා සැප විඳින මහජන නියෝජිතයො කිසිවෙක් ඒ ප්‍රශ්නය ගැන කතා කරනවා අපි දැකලා නෑ. ඔවුන් මේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ගැන කිසිම දෙයක් කරලත් නෑ . හැබැයි මේ වගේ සිද්ධියක් උනහම බෝඩ් කෑල්ලක් උස්සගෙන මහ පාරට බහින්න ඒ මහජන නියෝජිතයෝ ඉදිරියට එන්නේ ඇයි? කියන එක මේ සමාජය විසින් අනිවාර්යෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි .

ඒ වගේම මේ මියගිය දැරියගේ මව ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කරලා තිබුණා තමන්ගේ දුවව මෙහෙකාර සේවයට යැව්වේ ණය ගෙවන්න බැරි නිසයි කියලා. ඒ වගේම තවත් දරුවෝ කිහිප දෙනෙක් සිටින නිසා ඔවුන්ව රැකබලා ගන්න සහ කන්න බොන්න දෙන්න විදිහක් නැති නිසා වැඩිමහල් දියණිය මෙහෙකාරකමට එවූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරමින් පිළිඅරන් තිබුනා. ඒ අම්මට චෝදනා කරලා වැඩක් නෑ. මේක තමයි වතුකරයේ බොහොමයක් අම්මලාගේ දුවලාගේ දරුවන්ගේ කඳුලු කතාව. කොහොම වුණත් දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වැළැක්වීම සඳහා අපි ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙලක් සකසන්න බලාපොරොත්තු වෙන බවත් මෙහිදී සිහිපත් කරනවා .

මීට අමතරව දරුවන්ට සිදුවන අපයෝජන හා හිංසන වාර්තාකරණයේදී දැනටත් වඩා වගකීමෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම අපේ මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටීමටත් මම මෙහිදී බලාපොරොත්තු වෙනවා. දරුවෙක් අපචාරයකට ලක් උනහම සහ ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ උනහම ඒ දරුවත් පවුලේ සියලු දෙනාත් පත්වන අපහසුතාවය හා ඔවුන්ගේ මානසික මට්ටම ගැන නීතිඥවරියක් ලෙස මට හොඳ අවබෝධයක් තියනවා. අද සමහර මාධ්‍ය මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී දරුවාට යහපතක් කිරීමට වඩා අපි තමයි හොඳටම වාර්තා කළේ, අපි තමයි මුලින්ම වාර්තා කළේ කියලා කියාගන්න ඕනෑවට ඇතැම් වෙලාවට සමාජ වගකීමත් අමතක කරලා කටයුතු කරන බවක් අපිට දැකගන්නට ලැබිලා තියෙනවා.

විශේෂයෙන් අධිකරණයක පවතින නඩුවක් ගැන කතා කරනකොට මාධ්‍ය තමන් ප්‍රචාරය කරන සමහර දේවල් ගැන දැනට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. සමහර වෙලාවට මාධ්‍ය විසින් සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශ නිසා අධිකරණය අපහාසයට ලක්වන ලක් වන අවස්ථාත් අපිට දැකගන්නට ලැබුණා. විනිශ්වාසනය හමුවට ඉදිරිපත් වන සාක්ෂි තොරතුරු සහ තර්ක පදනම් කරගෙන ලබාදුන් නඩුතීන්දු බාල්දු කරමින් සමහර සමාජ මාධ්‍ය අවරගණයේ ප්‍රචාරයන් සිදුකිරීමෙන් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පලුදු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි වගකීම් විරහිත කටයුතු මින් ඉදිරියට සිදු නොකරන ලෙසත් විශේෂයෙන්ම ළමා අපචාර ,හිංසනයන් සහ ළමුන්ට එරෙහි වැරදි වාර්තාකරණයේදී ඉතා ප්‍රවේශමෙන් සහ වගකීමෙන් එම කාර්යය ඉටු කරන්න කියලා සියලු විද්‍යුත් මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා .

මංගලගේ අලුත් වැඩේ : ජූලි 25 !

මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදීමය දේශපාලන ව්‍යාපෘතියක් ජුලි 25 දා ඉරිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

රට ගොඩනැගීමේ අරමුණින් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ' හරහා මංගල, රැඩිකල් මැද මාවතක් යෝජනා කර සිටියි.

අනාගතයේ රට බාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත බව එහි සංවිධායකවරියක් ලීඩර් වෙබ් අඩවියට පවසා ඇත.

මෙම දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වූ පළමු මාධ්‍ය හමුව ජුලි 25 ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි 'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත් වීමට නියමිතය.

එම මාධ්‍ය හමුව True Patriot සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි 'ෆ්‍රීඩම් හබ්' ප්‍රධාන සම්බන්ධිකාරක කෙශාල් ජයසිංහ 'ද ලීඩර්' වෙත පවසා තිබේ.

'සැබෑ දේශප්‍රේමියෝ' නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මිට මාස කිහිපයකට ඉහතදී සැලසුම් කර තිබුනද කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ එය දිනෙන්දින කල්දැමීමට සිදුවූ බව පැවසු කෙශාල් ජයසිංහ, ඉරිදා පැවැත්වෙන මාධ්‍ය හමුව නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කරමින් මාධ්‍යවේදීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වැඩි දුරටත් කියා ඇත.

තවත් කොරෝනා මරණ 52 ක් !

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 52ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළ යයි.

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු මෙසේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මේ අතර අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

රාජ්‍ය ආයතන වියදම් ගැන මොළ 7 ගත්ත තීන්දුව !

රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

රට උග්‍ර මූල්‍ය අර්බුදයක ඇති පසුබිමේ මොළ 7 ක් ඇති බවට ආණ්ඩුව පාර්ශවයන් පැවසූ බැසිල් ගන්නා මේ තීන්දු දෙස රටේම අවධානය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි .

මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත .

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත

රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇත .

දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි අවදානම් - සෞඛ්‍ය අමාත්‍යාංශය

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක දහයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර කුරුණෑගල , මාතර , රත්තපුර, කෑගල්ල, හම්බන්තොට , ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 10 ක එලෙස ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවය. තමන් ජීවත්වන පරිසරය තුළින් ඩෙංගු මදුරුවන් බෝ වන බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසට ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළදී පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10155දෙනෙකු වාර්තා වී ඇති අතර,ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බව සදහන් ‍වේ.

එම සංඛ්‍යාව 2975ක් වන අතර,  පුද්ගලයින් 07 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා  අද පොලීසියට අවසර ලබා දුන්නා ය.

ඒ, ඔවුන් අද(24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් ලබන සඳුදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

.

අධිකරණ තීන්දුවක් නිසා පාදෙණියලා ගැස්සෙයි !

වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය ස්වාධීනව පැවැත්වීමට ඊයේ (22) මොරටුව දිසා අධිකරණයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එසේම මෙවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට එම ධුරය සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම අතුරු තහනම් නියෝගය මගින් දන්වා තිබේ.

අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත් ඊට යෝජනා කැඳවන ලෙසත් දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය අහෝසි වන බවත් එම අධිකරණ නියෝගයේ සඳහන් තර ඇත.

මෙවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත් වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ අපේක්ෂක ඉල්ලුම් පත්‍රය අවලංගු කිරීම හේතුවෙන් ඔහු විසින් මෙම අතුරු තහනම් නියෝගය ඉල්ලා සිටියේය.

lantha truth

පොල් සම්බෝල ආර්ථිකය ගැන බන්දුලගේ කතාව ! (වීඩියෝ )

පොල් සම්බෝලයි බතුයි - පරිප්පුයි බතුයි හරි කන්න අපි ජනතාවට අවස්ථාව හදලා තියනවා යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර "ඕනෙ කෙනෙක්ට මාසෙකට දහදාහ, පාළොස්දාහ, විසිදාහ බැගින් පඩි වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ වැඩි කරන හැම සතයක්ම මේ රටේ මිනිස්සු මත බදු පනවලා හූරලා ගන්න ඕනෙ. වෙන විකල්පයක් තියෙනවා මම කරුණාකරලා ඒ කියන පාර්ශ්වයන්ට කියනවා කොහෙන්ද ඒක ගන්නෙ කියලා. එහෙම නැත්නම් තියෙන රාජ්‍ය දේපළ එහෙම් පිටින්ම විකුණන්න ඕනෙ. වැට්වලින් ලැබෙන ආදායම බිලියන 233 යි. වැට් හතර ගුණයකින් වැඩි කළොත් 400%කින් වැඩි කළොත් ලබාගන්න පුළුවන් වෙන්නෙ බිලියන 932 යි. ගත්ත රාජ්‍ය ණයවලට පොළී ගෙවන්න තියෙනවා බිලියන 980 ක්. එතකොට වැට් එක හතර ගුණයකින් වැඩි කළත් රාජ්‍ය ණයවල පොළී ගෙවන්න බෑ" යනුවෙන්ද පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

කොරෝනා මරණ 4000 පනියි : ඩෙල්ටා ආසාදිතයන් 68 ක් !

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ යයි.

එසේම මේ වන විට මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පිරිස 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් හඳුනාගෙන ඇති එම ප‍්‍රදේශ මෙසේය.

කොලොන්නාව

කෝට්ටේ

නවගමුව

මහබාගේ

අංගොඩ

රත්මලාන

කටුනායක

මීගමුව

බේරුවල

ගාල්ල

මාතර

දඹුල්ල

වව්නියාව

මුලතිව්

ජාතිවාදී නොවී නීත්‍යානුකුල ලෙස විමර්ශන කරන්න : සජබ නිවේදනයක් !

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දී්න්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියක මියයාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර ඇත.

සජබ මහ ලේකම් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ ජාතිවාදී ස්වරූයකින් එහි පරීක්ෂණ සිදු නොකොට නීත්‍යානුකූලව විමර්ශනය කොට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙසය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

sjb 1536x1536

 

පක්ෂ 6ක් සාකච්ඡා මේසයට : පෙසප ලිපියට පක්ෂ 2ක් දැනටමත් එකඟයි !

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය දශක ගණනාවක ලංකාවේ ආණ්ඩු ගෙන ගිය වැරදි පිළිවෙත් හේතුවෙන් මේ වනවිට ලංකාවේ උද්ගත වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවකට වෙලාව වෙන්කර දෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අත්සන් කළ මෙම ලිපිය, ජනතා විමුක්ති පෙරමුණේ, කොමියුනිස්ට් පක්ෂයේත්, සමසමාජ පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් ලේකම්වරුන් වත මෙම ලිපිය යොමුකර ඇත.

ඇතිවෙමින් තිබෙන ආර්ථික දුෂ්කරතා හමුවේ පැන නැගෙන ජනතා විරෝධය විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීම වෙනුවට ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බව පෙ.ස.ප. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ඒ අරමුණ ඇතිව ලිඛිතව පක්ෂ ලේකම්වරුන් වෙත ලියමින් සාකච්ඡා සඳහා වෙලාවක් ඉල්ලා සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මෙම ලිපි සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස සාකච්ඡාවකට සූදානම් බවට ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිසිට් පක්ෂයේ අදහස් තමන් වෙත ලැබී ඇති බවද සෙසු පක්ෂවල ප්‍රතිචාර ලැබෙන්නට නියමිත බවද ඔහු පැවසීය.

පහත සටහන් වන්නේ පොදුවේ සියලුම පක්ෂවලට යවන ලද ලිපියේ අන්තර්ගතය බව පෙ.ස.ප. මාධ්‍ය ඒකකය පවසයි.

කුමාර් මහත්තයාගේ ලිපිය !

"ප්‍රධාන ලේකම්,

............................. පක්ෂය

පවතින දේශපාලන තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සිදුකිරීම

මේ වනවිට ලංකාව ඉතා බරපතල ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබේ. විශේෂයෙන් විදේශ විනිමය උත්පාදන මාර්ග බිඳ වැටී ඇති අතර වැඩකරන ජනතාවගේ දෛනික ආර්ථිකය විශාල අර්බුදයකට ලක්වී ඇත. අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ බොහෝ අයගේත්, වැටුප් ශ්‍රමිකයන්ගේත්, ගොවි-ධීවර ආදී ක්ෂේත්‍ර වලත් ආදායම් වල මූර්ත අගය පමණක් නොව එහි සංඛ්‍යාත්මක අගයද අඩුවී ඇති බව අවිවාදිතය. මේ අර්බුදය හමුවේ දිගින් දිගටම ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම, මහජන දේපල හා රාජ්‍ය ව්‍යවසායන් විකිණීම, අධ්‍යාපනය - සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවා වාණිජකරණය කිරීම, ධන කුවේරයන්ට බදු සහන දෙන අතර ජනතාව මත බදු බර පැටවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා අර්බුදය ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

මෙම ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන-සමාජ-සංස්කෘතික-පාරිසරික අර්බුද විසින් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කෙරෙමින් ඇත. පවතින අර්බුදය සිය භූ-දේශපාලනික බල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට එක්සත් ජනපදය - චීනය - ඉන්දියාව ඇතුළු අධිරාජ්‍යවාදීන්, ලෝක බලවතුන් හා කලාපීය බලවතුන් ප්‍රයත්න දැරීමත් සමග සමස්ත ලාංකේය ජනතාවගේ ආරක්ෂාව අවදානමකට ලක්ව තිබෙන බව නොරහසකි. ආණ්ඩුව මේ තත්වයට මුහුණ දීමට සැරසෙන්නේ සමාජයේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වඩවඩාත් කප්පාදු කරමින් සහ ජාතිවාදය-ආගම්වාදය හරහා ජනතාව අසමගි කර ගැටුම් වලට පෙළඹවීමෙන් බවද නිරීක්ෂණය කළ හැක. වර්තමානය වන විට සියළු ක්ෂේත්‍ර ආවරණය කරමින් දියත් වන මිලිටරීකරණය බරපතල සමාජමය අභියෝගයක් ලෙස අපට අභිමුඛ වී තිබේ. වසංගතය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර නොගත් ආණ්ඩුව මේ වනවිට නිරෝධායන නීතිය භාවිතා කරමින් සිටින්නේ උද්ඝෝෂණ මර්දනය සඳහා බව මෑත කාලීන සියළු උදාහරණ වලින් තහවුරු වේ.

මෙම තත්වය පිළිබඳවත්, ඒ හමුවේ එයට මුහුණ දීම සම්බන්ධයෙන් අප අතර සාකච්ඡාවක් සිදුවිය යුතු බව විශ්වාස කරමු. එම සාකච්ඡාව සඳහා දිනයක් සහ වෙලාවක් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි. මෙයට,

කුමාර් ගුණරත්නම්

ප්‍රධාන ලේකම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2021 ජුලි 21"

පාලකයාට වුවද ගුරුවරයෙකු සිටි බව අද අමතක වෙලා - ජාතික අවදි සභාව !

පාලකයාට වුවද ගුරුවරයෙකු සිටි බව අද අමතකවි ඇති බව පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ පවසයි.

මේ වන විට රජය ජාතික අර්බූදයක් බවට ගුරු - විදුහල්පති ගැටලුව පත්කරගෙන තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ මෙම අදහස් දක්වා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ දි ඊයේ (22) පැවැත්වූ ජාතික අවදි සභාවේ මාධ්‍ය හමුව අමතමින්ය.

අද ගුරුවරයා යනු ජාතියේ පෙරගමන් කරු යන විරුද නාමයෙන් පිදුම් ලැබු කොටසක් බවත්සෑ ම ⁣ක්ෂේත්‍රයකට ම , වෘත්තීයකට ම ගුරුවරයෙකු සිටි බවත් ⁣එසේ නොවුයේ නම් එම ⁣ක්ෂේත්‍රයන් මෙතරම් දියුණු නොවන බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ මෙසේද පැවසීය.

අද ගුරුවරයා හිඟන්නෙකුගේ තත්ත්වයට පත් වි ඇති බවක් එය තරමක් දුරට හෝ ගුරුවරයාගේ සේවය අගයා ගුරුසේවයක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේ 1994 .10.06 දින සිට ක්‍රියාත්මක කළ එවකට අධ්‍යාපන ඇමතිව සිටි රිචඩ් පතිරණ මහතාට යි. එතුමා මෙම සේවය 1995 .04.03. දිනැති අංක 865 / 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථාපිත කර 1997 .03.11 දිනැති අංක 996/5 සහ 1997 .05.14.දිනැති අංක 975/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් සංශෝධිත විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගුරුසේවය 3 වන පන්තියේ ¡¡ ශ්‍රේණිය 3 වන පන්තියේ ¡ ශ්‍රේණිය 2 වන පන්තියේ ¡¡ ශ්‍රේණිය 2 වන පන්තියේ ¡ ශ්‍රේණිය 1 වන පන්තිය වශයෙන් ශ්‍රේණි ගත කෙරුනා. ඒ අනුව 95/7 හා 97/5 චක්‍රලේඛ මගින් 1995 .01.01. දින සිට හිමිසේ සලකා ක්‍රියාත්මක කළා.

අදවන විට මෙම ශ්‍රේණිධාරී ගුරුභවතුන්ගේ මූලික වැටුප බවට පත්වී තිබෙන ප්‍රමාණය දෛනිකව ගණනය කර බැලූවිට මේසන් බාස් කෙනෙකුගේ තියා අත් උදව්කරුවකු ලබාගන්නා තරමේ වැටුපකටවත් හිමිකම් කියන්නැ.

3 - ¡¡ ශ්‍රේණිධාරී (මාසිකව) 27,740.00.දිනක වැටුප 924.00 3 - ¡ - ( අ )ශ්‍රේණිධාරී (මාසිකව ) 29,540.00 දිනක වැටුප 984.00 3 - ¡ ( ආ ) ශ්‍රේණිධාරී - 30,300.00 දිනක වැටුප 1010.00. 3 - (ඇ ) ශ්‍රේණිධාරී 32,000.00 දිනක වැටුප 1073.00. 2 - ¡¡ ශ්‍රේණිධාරී 33,300.00 දිනක වැටුප 1110.00. 2 - ¡ ශ්‍රේණිධාරී 39,175.00 දිනක 1305.00 1 - ⁣ශ්‍රේණිධාරී 44,950.00 දිනක වැටුප 1498.00. මේ වු ගුරු ශ්‍රේණිධාරී ගුරුභවතුන් හට වාර්ෂිකව උපයාගත යුතු වර්ධක ප්‍රමාණය ද ඉතාම සොච්චම් මුදලකි. එය ද ශ්‍රේණි මට්ටම්න් ගණනය කර බැලු විට එය හොඳින් ම හඳුනාගත හැකිය. 3 - ¡¡ ශ්‍රේණිධාරී - වාර්ෂික වර්ධකය 300.00. 3 - ¡ - ( අ - ආ) ශ්‍රේණිධාරී - වාර්ෂික වර්ධකය .380.00. 3 - ¡ ( අ ) ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 445.00. 2 - ¡¡ ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 495 ×5 - 680 × 5 = 2 - ¡ ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 825.00 1 - ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 1335.00 බි.සි.පෙරේරා වැටුප් කොමිසම මගින් 1997 දි 1995 සිට ශ්‍රී ලංකා ගුරු සේවයට හා විදුහල්පති සේවයට පවතින විෂමතා දුරුකොට දීප ව්‍යාප්ත සේවාවල සමාන්තර වැටුප් පරිමාණයන් යෝජනා කෙරුනා. මෙම යෝජිත බි.සි. පෙරේරා වැටුප් විෂමතාව දුරුකොට 2020.01.01. සිට ක්‍රියාත්මක කිරීමට තිබුනා. එය එලෙසින් ක්‍රියාත්මක වූයේ නම් වැටුප් පරිමාව විය යුතුව තිබු අගය මේ ආකාරයටයි. 3 - ¡ -( ඈ ) ආරම්භක වැටුප 38,992.00--- විෂමතාව 9452.00 3 -¡ - (ආ ) ආරම්භක වැටුප 39,996.00 විෂමතාව 9696.00 3 - ¡ - (අ ) ආරම්භක වැටුප 42,504.00 විෂමතාව 10,340.00 2 - ¡¡ ආරම්භක වැටුප 47,615.00 විෂමතාව 14,315.00 2 - ¡ - ආරම්භක වැටුප 62,595.00 විෂමතාව 23,400.00 1 - ආරම්භක වැටුප 76,175.00 විෂමතාව 31,225.00

මේ වු වැටුප් විෂමතාව පවතින රජය බලයට පත්වු විට අතහැර දැමීමට තීරණය කළා. වසර 24 කාලයක් පුරාවට ගුරු- විදුහල්පති ක්ෂේත්‍රයේ තිබු විෂමතාව 2020.01.01. සිට ක්‍රියාත්මක වීමට තිබුණ දෙයක්. මෙ වු අසාධාරණයට ලක් ව වසර 24 පුරාවට දුක් විඳි ගුරු- විදුහල්පතිවරු මෙ කොරෝනා ව්‍යසනය තුළ ස්වෙච්ඡාවෙන් ම අධ්‍යාපනයට අත දි කටයුතු කළා.

ඔවුන් ට දිරි දීමනා නැහැ.ප්‍රවහන දීමනා නැහැ.අතිකාල දීමනා නැහැ.තාක්ෂණික මෙවලම් පහසුකම් සඳහා දීමනා නැහැ.නිල ඇඳුමි දිමනා නැහැ. මේ කිසිදු වරප්‍රසාදයක් නැති කොට්ඨාසයක් තමයි ගුරුවරු කියන්නේ. එහෙම ගුරුවරුන්ටයි " කාලකණ්ණි " කියලා ආමන්ත්‍රණය කළේ.මේ රජය බිහි කරන්න ගුරු ක්ෂේත්‍රයේ 80% කගේ බලයක් දුන්නා . පසුගිය ආණ්ඩුවෙන් රුපියල් 10,000/ ක වැටුප් වැඩිවීමකුත් ලබා දී තිබියදි තමයි එහෙම සහයෝගයක් ලබා දුන්නේ. දැන් ඒ වැටුපෙත් මුර්ත වටිනාකම 50% කින් අඩුවෙලා. උද්ධමන අගය අහස උසට .ජීවත් වෙන්න බැරි තරමට ජීවන වියදම.බඩුමිල ගැන කතා කරන්න බැරිතැනට.එලොව පොල් පෙනවා. ඉන්ධන මිල ගැන කතාකරලාම වැඩක් නැහැ.

තාක්ෂණික මෙවලම්වල මිල ඉතාම ඉහළ අගයක්. එහෙම තියෙද්දියි ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන ස්වෙච්ඡාවෙන්ම කළේ.ඒ කටත් ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් 40% ටයි.පහසුකම් නැති දරුවන් 60% ක් ඉන්නවා .එ ළමයින්ට මොනම අධ්‍යාපනයක් වත් නැ. රජය ඒ සඳහා කිසිදු වැඩ පිළිවෙළක් දියත් කරළා නැහැ. එහෙම තත්ත්වයක ජාතියේ දරුවන්ට හැකි පමණින් ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන්ටයි කාලකණ්ණි කිවේ. ඒ තරමට ගුරුවරයා පහත් කළා. රජය එ වෙනුවෙන් ගුරුපුරෙන් සමාව ගත යුතුයි.ඔය ආණ්ඩුවෙි සිටි ඇතැම් මන්ත්‍රීවරුන් ගුරුවරුන් දණ ගැස්සුවා අපට මතකයි.

අධ්‍යාපනයක් නැති ආණ්ඩුවක් අධ්‍යාපනයට සලකයි කියලා විශ්වාස කරන්න අමාරුයි.ආණ්ඩුවේ වියත්මගේ වැඩවලින් ම පේනවා වියත්බව.නිදහස් අධ්‍යාපන ,නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි බද්ධ වෛරයක් මේ ආණ්ඩුවට තියෙන්නේ. එ නිසයි අධ්‍යාපන පෞද්ගලීකරණය කරන ව්‍යාපෘති ගෙනෙන්නේ. එක අවස්ථාවක මේ ආණ්ඩුවේ අයම සයිටම් ගෙනාවා. දැන් කොතලාවල පනතින් කරන්න හදන්නෙත් ඒ දෙයමයි. ඒක තව දුරටත් මිලිටරීකරණය කරන්න හදනවා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සියල්ල මිලිටරීකරණය කරමින් ගියේ. බොහොමයක් ආයතනවලට හමුදා නිලධාරීන් පත්කිරීමෙන් ම ඒක පෙවුණා. එහි තවත් දිගුවක් තමයි මේ අධ්‍යාපනයට අත දැමීම. අධ්‍යාපනය හමුදාවට භාර දෙනවට අපි විරුද්ධයි. හමුදාවට අධ්‍යාපනය ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. හමුදාව සතුව තිබූ ගෞරවයත් මේ ආණ්ඩුවේ අමනෝඥ වැඩ නිසා පරිහිලා යනවා.

අපි රජයට කියනවා 40 ලක්ෂයක දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඉක්මනින් තීන්දුවක් ගන්න කියළා.මෙහිදි තුෂාර දන්කැටිය සහ අසංක ජයරත්න යන අයද මෙහිදී අදහස් දැක්වුහ.

ගුරු විදුහල්පති අරගලය තවදුරටත්: O/L ප්‍රයෝගික පරීක්ෂණවලින් ගුරුවරු ඉවත් වෙයි!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට තවදුරටත් රජය අපොහොසත් වීම නිසා දිනෙන් දින ඔවුන් සිය අරගලය තව දුරටත් ක්‍රියාත්මක කරන බව පවසයි.

සිය ඉල්ලීම්වලට තවදුරටත් විසඳුම් නොලැබීම නිසා ලබන 27 ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරු ඉවත් වන බව ​අද (23) කොළඹදී ගුරු විදුහල්පති වෘත්තීය වෘත්තීය සමිති එකමුතුව විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.

ඇමතිවරු, මන්ත්‍රීවරු මෙම ගුරු අරගලයට එරෙහිව විවිධ අසත්‍ය, අවලාද නැගුවද ඒවා විහිළුවලට පමණක්ම සීමා වී තිබෙන බවත් එහෙයින් සිය ඉල්ලීම් කඩිනමින් ඉටුකරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  පැවසීය.

මෙම වැටුප් විෂමතා විසඳීමට පැහැදිලි විසඳුම් දී තිබෙන නිසා  ඒ සඳහා ප්‍රවේශය ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගැනීමට සිසුවන බව ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Page 449 of 464