පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි ට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි
ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව එම මණ්ඩලය නිවේදනය කරයි.
මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සළකනු ලබයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිත අතර තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද සැලැසුම් කර තිබේ.

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.
එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන ඇත.
මින් පෙර අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු නියෝගය මගින් එකී නාම යෝජනා ප්‍රතික්ෂේපිත පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු කිරීම වළක්වා තිබුණි.
නමුත් අද දිනයේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ මෝසමක් අනුව එම නඩු අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර, එහි දී ඡන්දය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අවධාරණය කරනු ලැබීය.
ඒ අනුව, එම නඩුවට වගඋත්තරකරුවන් විරෝධතා ප්‍රකාශ ගොනු නොකරන බවට අධිකරණයට දැන්වීම මත, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් එම ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍ර පිළිගන්නා ලෙසට අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කර එම රිට් පෙත්සම්වල නඩු කටයුතු අවසන් කරන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.
එකී කරුණු මත අභියාචනාධිකරණය විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබූ අතර, ඒ අනුව, සියලු පලාත්පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම පෙර නියම කර තිබූ පරිදි මැයි 6 දින පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම වෙත උදා වී ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ලංකාවෙන් මියන්මාරයට මූල්‍ය ආධාරයක්
භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනැමීය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.
එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බවද සඳහන් කළාය.
භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත කරුණු පැහැදිලි කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය කෝප් සාමජිකයන්
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.
ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත වී ඇත.
මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.
එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.
මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය විය. මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු විය.

තීරුබදු ගැන ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන්
අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළේය.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.
පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අර්චුනා යන මෙහිදී අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර්, කාදර් මස්තාන් යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියම කළේය.
ඒ අනුව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසත් අධිකරණය විසින් නියම කර තිබේ.
අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළහ.

දේශබන්දු තෙන්නකෝන්ට ඇප
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අද (10) ඇප මත මුදා හැර තිබේ.
ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමට නියෝග කෙරුණි.
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.
අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර විය.
ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවය.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මස 27 වැනිදා අධිකරණය නියෝග කර තිබුණි.

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි
සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීම කොළඹදී අද (09) සිදුකෙරුණි.
එම ජාතික සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගන්වනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල විසින්ය.
ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන බැවින්, එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලෙස සකස් කිරීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබුණි.

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සමන්ත රණසිංහ
කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ තෝරා ගත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (2) වන වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙලෙස රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ පත් කර ගෙන ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර පසුගිය 06වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට මන්ත්‍රීවයා 38වැනි වියෙහි පසු විය.

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේය.
මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

පිල්ලෙයාන් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහුව රැගෙන එමින් පවතින බව වාර්තාවේ.

දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි
වැඩතහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළාය.
එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත විය.
විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළාය.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රඳවා සිටින්නේ, දුම්බර බන්ධනාගාරයේයි.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ ය.

තීරු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට යැවූ ලිපිය පිළිගනියි
අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ නව තීරු බදු ගැන සාකච්ඡා කරන්න විජිත - ජුලි හමුවෙයි
අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් හමුව තිබේ.
ඒ අද (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබේ.
2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටමන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

රජයේ සියළු ආයතන ප්‍රධානීන් හෙට මැතිවරණ කොමිසමට
රජයේ සියළු ආයතන ප්‍රධානීන් හෙට (08) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
රජයේ දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔවුන් මෙසේ කැඳවන බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.
මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම මැතිවරණ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
ඇතැම් රාජ්‍ය ආයතන මැතිවරණ නීතිය කඩ කරමින් දේපළ යොදා ගැනීම් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙන සාකච්ඡාවක්ද ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

2024 මහබැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව ජනපති අතට
ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීය.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.
මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත.
මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන අය සහභාගී වූහ.

චාමර සම්පත් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (07) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ, සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මූල්‍ය චෝදනා කිහිපයකට අදාළව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්
පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහල් ගත කර සිටි සැකකරුවෙකු මිය යාමෙන් පසු, වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) මාරු කිරීමට වැඩබලන පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය නිර්දේශ කර ඇත.
2025 අප්‍රේල් 01 වන දින වැලිකඩ පොලිස් කොට්ඨාශය යටතේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවේ සිටියදී කලහකාරී ලෙස හැසිරීමක් පෙන්නුම් කළ බවට වාර්තා වූ සිද්ධියේදී මෙම සිදුවීම සිදුවිය. පසුව ඔහු මුල්ලේරියාවේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ඇතුළත් කරන ලද අතර, එහිදී ඔහු පසුදා උදෑසන මිය ගියේය.
සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කිරීම සඳහා, ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව සඳහා වූ නිර්දේශය 2025 අප්‍රේල් 06 වන දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර, එය ජාතික පොලිස් කොමිසමට යොමු කිරීම සඳහා ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව රාජකාරිය නොසලකා හැරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
Page 17 of 473