V2025

පුවත්

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට රජයෙන් දිවා ආහාරය !

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විදේශීය භාෂා ඉගෙනීම සඳහා මේ වනවිට සිසුන් තුළ පවත්නා වැඩි නැඹුරුව සහ ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් ද මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතාවන් ද සැලකිල්ලට ගෙන දැනට පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

නව මහකොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වේ.

01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා - මහකොමසාරිස් - එස්වාටිනි රාජධානිය
Mr. Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini)

02- ස්ටෙලුටා ආහයර් මහත්මිය - තානාපති - රුමේනියාව
Ms. Steluta Arhire Ambassador of Romania

03- අස්කාර් බෙෂිමෝව් මහතා - තානාපති - කිර්ගීස් ජනරජය
Mr. Askar Beshimov Ambassador of the Kyrgyz Republic

04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා - තාතාපති - තුර්ක්මේනිස්ථානය
Mr. Shalar Geldynazarov Ambassador of Turkmenistan

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අද පත්වීම් ලැබු නව මහකොමසාරිස්වරයා සහ තානාපතිවරු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ කෙටි සාකච්ඡාවකට ද එක් වූහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=342#sigProId4b9ceaedb3

ඩීසල් වැඩි වුණාට බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ !

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ශෂී වෙල්ගම පවසා ඇත්තේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

අමරවීර ඉල්ලා අස්වුණත් තිලංග ඉල්ලා අස්වුනාද ? සැකයක් !

අමාත්‍ය මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූරයක් ලබාගැනීම පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර එහිදී පුරප්පාඩු වූ මහ ලේකම් ධූරය සඳහා පත්කරනු ලැබුවේ තිලංග සුමතිපාලය.

ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර නීති මාර්ගයට ගිය අතර ඒ පදනම් කරගෙන මැතිවරණ කොමිසම දැනුම්දී සිටියේ දෙදෙනාවම මහ ලේකම්වරු ලෙස පිළිනොගැනීම කොමිසමේ තීරණය බවයි.

මේ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සහ ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යොදා ගන්නට ශ්‍රීලනිපය පසුගියදා තීන්දු කළත් මෙම නඩු කටයුත්ත ඊට බාධාවක්වී තිබේ.

ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ඒ අනුවය.

මේ සම්බන්ධව එකඟතාව දක්වමින්අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනා ඉල්ලා අස්වූ බවට දේශපාලන ආරන්චිමාර්හ දක්වා සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ජනවාරි 31 වැනිදා යනව ලද ලිපියේ මෙසේ දැක්වේ.

“එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.”

“ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.” යයිද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඒ අනුව තවත් දේශපාලන තොරතුරු ලැබෙන මුලාශ්‍රයක් පවසන්නේ තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් අදාළ නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගැනීමට මහින්ද අමරවීර අමාත්‍යවරයා කටයුතු කළොත් පමණක් එම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවත්ය.

ONLINE පනත ගැන මල්වතු නායක හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් !

දිගු කලක පටන් සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසති.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවද එහිදී උන්වහන්සේ පැවසුහ.

සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු නමුත් එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළෝය.

හිමි නැති දීමනාවක් ඉල්ලා දියත්කල සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව !

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේද සිදුකරන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වන අතර මේ හේතුවෙන් අද දිනයේ රෝහල් කටයුතු අඩපණව තිබිණ.

ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ රජයෙන් තම ඉල්ලීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වුවත් වර්ජනය සඳහා නිමිත්ත කරගෙන තිබෙන ප්‍රවාහන පහසුකම් දීමනාව වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කොහෙත්ම අදාළ නොවන්නක් වන අතර එය රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පමණක් හිමිවන දීමනාවකි.

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 දින සම්මතවූ ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස 10 වැනි දින සම්මතවූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද මෙහිදී කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

කෙහෙළිය CIDයට කැඳවයි : විදෙස් ගමන්ද තහනම්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හෙට හෙට පෙරවරු 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළා ය.

ඇය මෙම නියෝගය කළේ, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ලක්මීණි ගිරිහාගම කළ ඉල්ලීම සලකා බලමින් ය.

ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම් දී තිබියදී ඔහු ඒ සදහා නොපැමිණිමට ඉදිරිපත් කළ එක් හේතුවක් ද අසත්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළා ය.

ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය වියදම් කළමනාකරණ අමාත්‍ය අනුකමිටුවේ රැස්වීමට අමාත්‍යවරයා ඊයේ දිනයේ සහභාගී නොවූ බව එහි ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවයි.

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර හෙට උදෑසන 9.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කළා ය.

සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය.
එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වලදී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලු‍වලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.

සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ වේදිකාවල පළ කර ඇති කරුණු සඳහා ගිණුම්ගත කිරීම අරමුණු කරගත් නීති සම්පාදනය දැනට කොන්ග්‍රසය හරහා සිදුවෙමින් පවතී.

සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් එහිදී සකර්බර්ග් සමාව අයැද තිබේ. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පවත්වාගෙන යන සකර්බර්ග් අදාළ ශාලාවේ පවුල් දෙස හැරෙමින් මෙම සමාව ඉල්ලීම සිදු කර ඇත.

ඉන්ධන මිලේ සංශෝධනයක් !

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇත .

ඊට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371.00 කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363.00 කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 26.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262.00 කි.

මේ අතර 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 8.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456.00කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 7.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468.00 ක් වෙයි .

WhatsApp Image 2024 01 31 at 9.44.46 PM 1024x1024

පාස්පෝට් එකත් ගණන් උස්සයි !

පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇත.

මේ බව සඳහන් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

නිවාඩුවක් සඳහා යනවා නම් ලංකාව නියමයි : ඉන්දීය විදෙස් ඇමතිගෙන් සහතිකයක් !

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත.

වාර්තා වන ආකාරයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාව සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාදී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ අවස්ථාවේ ය.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව මෙන්ම ලංකාව පසුගිය සමයේ දුෂ්කර තත්ත්වයකට පත්වූ අවස්ථාවේ ඉන්දියාව දැක්වූ සහය සම්බන්ධයෙන් ද වැඩිදුරටත් අදහස් පළකර ඇති බවත් වාර්තා වෙයි .

ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්‍ය භාරය අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - PMD නිවේදනයක් !

"ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත .

"ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම" යන ශීර්ෂය යටතේ අද (31) පස්වරුවේ නිකුත්කළ එම නිවේදනය පහත දැක්වෙයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.

එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.

ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇත.

මිලියන 2ක කරුමය අවසන් කරන උරුමය පෙබරවාරි 5 ඇරඹේ !

නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රට තුළ තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකරන ඓතිහාසික වැඩසටහනක් ද මේ වන විටත් සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙසේ ද පැවසීය.

මීට වසර දෙකකට පමණ පෙර රට තිබූ තත්ත්වය පිළිබද පළමුව සිතා බැලිය යුතුයි. එදා මේ රට අසාධ්‍ය රෝගියෙකු බඳු තත්ත්වයකට පත්ව තිබුණා. ඒ අවස්ථාවේ බහුතරයක් කල්පනා කළේ රෝගියා කියන ආකාරයට ප්‍රථිකාර කිරීමටයි. නමුත් එක පුද්ගලයෙක් රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කිරීම ආරම්භ කළා. රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන විට රෝගීන් සතුටු නොවෙන්න පුළුවන්. නමුත් රෝගය සුව වෙනවා. අද රට සුවපත් වෙමින් තිබෙන්නේ රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන නිසයි.

අප කවදත් අභියෝග බාර ගන්නේ කාටවත් අභියෝග කිරීමට නොවෙයි. අප අභියෝග බාරගන්නේ රටට ජයග්‍රහණයක් අත් කර දීමටයි. ඒ අභියෝග මට හැකි උපරිමයෙන් ජයග්‍රහණය කරවා තියෙනවා. පසුගිය සමයේ සංචාරක කර්මාන්තය වැටී තිබූ තත්ත්වය පිළිබඳ කවුරුත් දැනුවත්. ඒ වගේම සංචාරක කර්මාන්තය අද තිබෙන තත්ත්වය ගැනත් කවුරුත් දැනුවත්. අද එය සීග්‍ර වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.

ඒ වගේම අද වන විට ක්‍රිකට් තහනම ඉවත් කර කිරීමට අපට හැකි වුණා . වසර ගණනාවකට පසුව තරුණ කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළා. අප අද සැරසෙමින් සිටින්නේ ද එවැනි අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන්.

අභියෝගය බාරගත යුතු අවස්ථාවේ පැන යන්නේ අවස්ථාවාදීන්. නමුත් රට සෑම අංශයකින්ම බරපතල ආකාරයට කඩා වැටී තිබූ අවස්ථාවේ රට යළි ගොඩගැනීමේ අභියෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත්තා. එදා ඒ ආකාරයට අභියෝගය බාර නොගත්තා නම් අද මේ රට මිනිස්සු නැති කාන්තාරයක් වෙන්න ඉඩ තිබුණා. අද රටේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා.

අපට දැන් තිබෙන අභියෝගය නම් ඉඩමක්, ඉඩමට ඔප්පුවක්, ගෙයක් දොරක් අහිමිව දුක් විදින මිනිස්සුන්ගේ කරුමය අවසන් කිරිමයි. ඒ නිසා, කරුමය වෙනුවට "උරුමය" ලබා දෙන විශේෂ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ලංකාවේ මිලියන දෙකක ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ මෙරට සිටින රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණය වෙනුවෙන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම හරහායි.

මෙහි ආරම්භක උත්සවය ලබන පෙබරවාරි 05 වනදා දඹුල්ලේදී සිදු කරනවා. එදින සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දෙනවා. අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අප බලාපොරෙත්තු වනවා.

එදා ගොවි ජනපද ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත ගොඩ නැගුණා. මහවැලි ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත එළිය වුණා. අද “උරුමය” හරහා මේ රටේ ලක්ෂ ගණනකගේ ජීවිතවලට අලුත් හුස්මක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙවැන්නක් සිදු වන්නේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය ඓතිහාසික කටයුත්තක් වනවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන පරම්පරා ගණනක ඇස්වල කදුළු පිසින කටයුත්තක් වනවා.

එපමණක් නොවෙයි, අප මේ රටේ තරුණ පරම්පරාව ව්‍යවසායකයින් බවට පත් කරන ඓතිහාසික වැඩ සටහනක් සැළසුම් කර තිබෙනවා. ඒ යටතේ තරුණ ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ලංකාවේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දැවැන්ත වැඩසටහන් දෙකක් අප අමාත්‍යංශය යටතේ ක්‍රියාවට නැගෙනවා.

දයා රත්නායක සජබට ගත්තා නම් ගෝඨාවත් ගන්න පුළුවන් : SF දැඩි ප්‍රහාරයක !

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂයට එක්කර ගත්තා නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පක්ෂයට එක්කර ගත හැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (30) කොළඹ පැවැත්වූ හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී දයා රත්නායක සමගි ජනබලවේගය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල කර සිටියේය.

තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක විසින් බවත් ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා ඔහුට ඉදිරියට ගෙනවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේය.

තමන් මේ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් ඔහු සඳහන් කළේය.

එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස - දයා රත්නායක හමුව සිදුවූ අවස්ථාවේ තමන් ගැන ( සරත් ෆොන්සේකා ගැන) දයා රත්නායක වර්ණනා කළ බව සජිත් ප්‍රේමදාස පැවසු බව සඳහන් කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ අදාළ හමුව සිදුවීමට පෙර ඒ සම්බන්ධව තමන්ව දැනුවත් කිරීමටවත් පක්ෂ නායකත්වය ක්‍රියා නොකළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද තමන් දේශපාලනය කර ඇති නමුත් ඔහු කිසිඳු අවස්ථාවක මේ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් නොකළ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමති ධූරයක්

සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.

සනත් නිශාන්තගේ නඩුව ගැන අධිකරණය දුන් නියෝගය

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ.

මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත  මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ඒවා ලබන 02 වනදා කැඳවන ලෙස අධිකරණය මෙලෙස නියෝග කළේය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි - ජනපති

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදුකළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.

ථෙරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලටද අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථෙරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.

මහා විහාර කැණීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මායාදේවී කැනීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.

රජයක් හැටියට ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදුවෙනවා. ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමග ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘත්‍රීම බුද්ධිය සමග ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුව කෙළවර කුමක්ද කියා අප අවධානය යොමු කළයුතුයි. මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.

දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළයුතුයි කියා මම ප්‍රකාශ කරනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස විද්‍යාපිඨ ආරම්භ කරමින් අධ්‍යාපනය සඳහා විශාල මෙහෙයක් සිදු කළා. ඒ වගේම එතුමාගේ ආර්ථික දැක්ම අනුව විදේශ මුදල් මෙරටට ගලා ඒම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අගය කළයුතුයි. මෙම පශ්චාත් උපාධි ආයතනය මගින් විදේශ මුදල් ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වනු ඇතියි. දැනටමත් මෙම ආයතනය තුළ විශාල විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. අද මෙම අධ්‍යාපන ආයතනය තුළ ස්වර්ණම අවස්ථාවක් විවෘත වී තිබෙනවා.

බෞද්ධ සංස්කෘතික අංශයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ විමලඥාන හිමි,

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය යනු මෙරට විශිෂ්ඨ අධ්‍යාපන ආයතනයක්. අද ඉතාම වැදගත් දවසක්. ඒ වගේම අප ඉතාමත් සතුටු වෙන දවසක්. එමෙන්ම අද දවස මේ ආයතනයේ වැදගත්ම දිනය ලෙස සඳහන් කළ හැකියි. වසර 49කට ආසන්න කාලයක් මේ ආයතනය ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගියා. අද තමයි පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදේශ ධානපතියන්ගේ උදව් ඇතිව අපේම ආයතනයක් හිමි වුණේ. මෙම ආයතනය වැඩිම විදේශීය සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන සහ වැඩිම විදේශ ආදායමක් අධ්‍යාපනයෙන් උපයන, ඒ වගේම අනාගතයේ දී විශාල ආදායමක් ඉපැයිය හැකි ආයතනයක්. මෙම කාර්යය සඳහා අපට රජයෙන් ලැබුණු සහය විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු සහායට අප ස්තූතිවන්ත වෙනවා.

බෞද්ධ චින්තනය පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි,

මෙම ආයතනය ආරම්භ වී වසර 49ක් වෙනවා. පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි සඳහා රජයේ තිබෙන එකම ආයතනය මෙයයි. ශ්‍රී ලංකා රජයේ ආධාර සහ විදේශ ආධාර සහිතව මෙම ආයතනයට සිව් මහල් ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. රටේ ජනාධිපතිවරයා මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණීම පිළිබඳව අපේ ආශීර්වාදය පිරිනමනවා. රටේ නායකයාට හෝ ඕනෑම දේශපාලඥයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිය යුතුයි. විශ්වවිද්‍යාල කියන්නේ මුදා නොගත් ප්‍රදේශ නොවෙයි. බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනය ඕනෑම කෙනෙකුට විවෘතයි. මේ ආයතනයට පක්ෂයක් නැහැ. ධර්මයටත් පාට පක්ෂ නැහැ. ධර්මය ගැන ලංකාවට මෙන්ම ජාත්‍යන්තරයටද හොඳ අවබෝධයක් ලබාදීමට මෙම ආයතනය මඟින් හැකියාව තිබෙනවා.

හොංකොං හී සම්මානිත මහාචාර්ය පූජ්‍ය කේ.එල්. ධම්ම ජෝති හිමි,

මා මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවා. එදා අප අධ්‍යාපනය ලැබූ කාලයට වඩා විශාල සංවර්ධනයක් දැන් මෙම ආයතනයේ සිදුව තිබෙනවා. එදා අපට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වූයේ ස්ථාන කිහිපයක සිටයි. නමුත් අද එකම ස්ථානයක සිට සියලු අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, බුදු දහම බෙදා හැරීමටත් හැකි පහසුකම් ලැබී තිබෙනවා. මෙහි සිටින සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ කැපවීම මත පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය සංවර්ධනයක් වී තිබෙන අතර එය බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මහත් පිටිවලක් වෙනවා.

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි,

අද විවෘත වුණු පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල අනාගතයේ බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මහඟු පිටුවහලක් වෙනවා. දෙස් විදෙස් විද්‍යාර්ථයින්ට මෙමඟින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයා අද දවසේ පොරොන්දු වූ පරිදි විදේශ ශිෂ්‍යන්ට නේවාසිකාගාරයක් ඉදිකිරීම සිදුකළහොත් එය ථෙරවාද බුදු දහමේ අධ්‍යාපන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉවහල් වන බව කිවයුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග,

අද මෙම විවෘත කිරීම ජාතියේ සුවිශේෂ සටහනක් බව කිවයුතුයි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක් තිබෙනවා. ඒ තුළ ආයතන 19ක් ක්‍රියාත්මක වන අතර එයින් 09ක්ම පශ්චාත් උපාධි ආයතනය කියන්නේ ඒ අතරින් එක් ආයතනයක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය. විශාල විදේශ ආයෝජනයක් සමග දැවැන්ත කණ්ඩායමකගේ කැපවීමෙන් මම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණා. මෙය අපේ රටටත්, ශාසනයටත්, ලෝකයටත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. ථෙරවාදි බුදු දහමේ ඉගැන්වීම් මේ හරහා ලෝකයට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.

පසුගිය දිනවල කැළණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයක් තිබුණද අද එය අතිශය සාමකාමියි. අද ඉතා හොදින් මේ කටයුත්ත සිදු වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ජාතික විශ්වවිද්‍යාලයකින් බිහි වූ අපේ විද්‍යාර්ථයෙක්. ඒ නිසාම ඉතා පහසුවෙන් කටයුතු සිදු කරමින් මේ පණිවිඩය ලෝකයට රැගෙන යාමට උදව් කිරීම පිළිබඳ මම කැළණිය විශ්වවිද්‍යාලයටත්, එහි සිසුන්ටත් ස්තූතිවන්ත වෙනවා.

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන,

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටින සමයේ මුල් ගල තැබූ පශ්චාත් උපාධි ආයතන ගොඩනැගිලි පරිශ්‍රය ජනාධිපතිවරයා ලෙස එතුමාට විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත්වනවා. මෙම ආයතනය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒ වගේම මෙරටට විශාල වත්කමක් ලබාදීමත් මෙම ආයතනය මගින් සිදුවෙනවා. මෙම පශ්චාත් උපාධි ආයතනය ලෝකයේ සියලු දෙනාටම විවෘත වී තිබෙන ස්ථානයක්. ථෙරවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස දහම් පණිවිඩය ලෝකයට ගෙන යාමට මෙමගින් හැකියාව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී එල්.ඒ. සුමිත්,

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය වසර 49කට ආසන්න කාලයක් දෙස්, විදෙස් භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිස වෙත අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ලෝකයේ ඇති බොහෝ ගැටලුවලට විසදුම් ලබාදීමට බුදු දහමින් ලබාගත හැකි අභාෂයන් බොහෝයි. ඒ සඳහා පුළුල් අවස්ථාවක් මෙම ආයතනය තුළ තිබෙනවා. මෙම වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතුව රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙහි පැමිණ ස්වාධීන ආයතනයක් වු මෙම ආයතනයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදී අපව ධෛර්මත් කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. දැනුම් සම්භාරයක් ඇති නායකයෙකු ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා කැපවී කටයුතු කරනවා. අප දන්න කාලයේ සිටම එතුමා ඒ සඳහා කටයුතු කරනවා. අපි ඇත්තටම බය වුණා එතුමා අද මෙම අවස්ථාවට සහභාගී නෙවෙයි කියලා. නමුත් මෙහි පැමිණ අපව දිරිමත් කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද මියන්මාර් තානාපති හන් තු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Page 20 of 377