පුවත්

ක්‍රිකට් බේරගන්න ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මැදිහත් වෙනවා - ප්‍රසන්න
මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .
මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටතදීත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ නිසාම ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද පෙන්වා දෙයි.
එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයිද සඳහන් කරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවන බවත් පැවසූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

ජනපති ප්‍රධානත්වයෙන් සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සමරයි !
පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (11) පස්වරුවේ පැවැත්විණි.
පළමු හා දෙවන ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබලුන් සිහිපත් කරමින් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කෙරුණු රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම සැමරීම ද මෙහිදී සිදු කෙරිණි.
උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබීය.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණු අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුක් සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
රණවිරු ස්මාරකයේ විශේෂ සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් එළිදැක්වුණු විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
නාවික හමුදා සුළු නිලධාරි (විශ්‍රාමික) කේ. නිහාල් මහතා විසින් සම්පාදිත “War memorials in Sri Lanka” නමැති ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් සිදු කළේය.
සැමරුම් උත්සවයට එක්ව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපකට ද පෙනී සිටියහ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, සේවා මුක්ත භට සංගමයේ භාරකාර මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් උපාලි බණ්ඩාරතිලක යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයන් ද, බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලිලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බෑන් නැතුව ක්‍රිකට් අවුල විසඳාගන්නා ආකාරය රවී පෙන්වා දෙයි !
රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් එය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.
අද වන විට අපේ රට අඳුරු කාල පරිච්ඡේදයක් පසුකර රටේ කඩාවැටුණු ආර්ථිකය යම් පුනර්ජීවයක් ලබා සිටින බවත්, 2024 වර්ෂය මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත මැතිවරණ වර්ෂයක් බවත් ඔහු පැවසීය .
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ Grand Oriental හෝටලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවි කරුණානායක මෙසේද පැවසීය.
මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක් තුළින් ගමන් කරන වෙලාවක් ආර්ථිකය කඩාගෙන වැටුනා එකට පුනර්ජීවයක් ලැබිලා තිබෙනවා. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට යම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා ඒක යථා තත්ත්වයට පත් කරලා එහි පවතින දූෂණ අක්‍රමිකතා නැති කර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කිරීම හැම දෙනාගෙම ප්‍රාර්ථනාවක්. මේ සඳහා අනිසි ඇඟිලි ගැසීමක් අනවශ්‍යයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහජ හැකියාව ඉස්මතු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි.මෙතන අක්‍රමිකතා වෙලා තියෙනවා නම් එවැනි අය වහාම ඉවත් කළ යුතුයි.ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොවේ දූෂණය වංචා වෙන සියලු තැන් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෙනස්කම් ඇතිකළ යුතුයි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ වගේම කරන්න ඕනේ ඒකට මම හිතන විදිහට වෘත්තීය පදනමක් ඇති මේ රටට කීර්ති නාමයක් ගෙනාපු ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඔක්කොම එකතුවෙලා වැඩපිළිවෙළක් හදන්න ඕනේ.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා, මං හිතන විදිහට වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි, නමුත් මේ අය වැයත් අමාරු දුශ්කර තාවයෙන් උඩට ගේන්න පුළුවන් නායකත්ව වැඩපිළිවෙළක් එතුමා පෙන්වයි. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සහ මූහික හැඟීමකින් ඔහුට උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ නැගීමට එතුමා කටයුතු කරනවා මේ රට බංකොලොත් භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ එනිසා මේ ආර්ථික අවපාතයෙන් එලියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලී භාවයක් ඇති කළ යුතුයි. විශේෂයෙන් ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.
මම නැවත කියන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ කවුද අපිට ඒ නිසා ජාත්‍යන්තර අරමුදලට යන්න වුණා නමුත් අපි එකෙන් එළියට එන්න ඕනි වගේම ප්‍රායෝගිකව ජාත්‍යන්තර අරමුදල කියන හැමදේකටම නැමෙන්න ඕනි නෑ. අපේ රටේ ක්‍රමවේදයක් හරහා හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සිවෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය10% අපරාධ නිසා තමයි සියයට අනුවක් බැටකන්නේ, දැන් අද කම්පැනි ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා රටේ, නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. ඉතින් මේක පුදුම රටක් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.
අනිත් එක තමයි මම හැමතිස්සෙම ආදරෙන් කියනවා රජයේ නිලධාරීන්ට වැඩ කරන දක්ෂයින් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා.
හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ ඔක්කොම ගත්තොත් දේශපාලකයෝ නව දහක් විතර අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ, මේ හැමදේම කරන්න තියෙන්නෙ ඔවුන් තුළින්. මේ රට අවුරුදු 71 තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කරලා ප්‍රශ්න මග ඇරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.
එන වසරේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණ පැවැත්වීමට නියමිත බවත්, බොහෝ දුරදුරට මැතිවරණ දෙකක් තුනක් පැවැත්වීමට නියමිත බවද මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක වැඩිදුරටත් පවසා සිටියේ ය.

ඇමති චාමර වැඩ පෙන්නයි !
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චීනයෙන් පොලිසියට යතුරු පැදි සහ පරිගණක පරිත්‍යාගයක්
මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීම ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ සම්බන්ධීකරණයෙන් පොලිස්පති සී ඩී. වික්‍රමරත්න විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර තිබේ.
ඊට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අතර චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන යන මහත්වරු ඇතුළු පොලිස් දෙපර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රොෂාන්ගෙන් ICC යට අභියාචනයක් : නොවැම්බර් 21 තීරණාත්මකයි !
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නුදුරේදීම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද (11) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇති බවයි.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම නොවැම්බර් 21 වනදා පැවැත්විමට නියමිතය.

ජාත්‍යන්තරය සමග ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරගත යුතුයි - ජනාධිපති
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.
මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල විසින් සම්මානය ලබාගන්නා ලදී.
ණය අර්බුදය, තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම ප්‍රමාද වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ඇතුළුව පශ්චාත් කොවිඩ් වසංගත යුගය විසින් එල්ල කර ඇති අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් දැක්වීය.
එක්සත් ජනපදය සහ චීනය අතර වන එදිරිවාදිකම් හේතුවෙන් පැන නගින සංකීර්ණත්වය සහ එමඟින් ගෝලීය භූ දේශපාලනය කෙරෙහි ඇතිවන බලපෑම ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේ පවතින තත්ත්වය "ගෝලීය බහු-අර්බුදයේ භූ දේශපාලනය" ලෙස හැඳින්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කොඩිඩ් 19 වසංගතය, ණය අර්බුද, දේශගුණික විපර්යාස, වෙළඳ ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු මේ සියල්ල එකිනෙකට සම්බන්ධිතව පවතින අභියෝග වන බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවේශය ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම සමඟ සමපාත වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාගර දෙකක් ලෙස එම එක් එක් සාගරයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍යතා පවතින බව ද අවධාරණය කළේය.
චීනය, ආසියා - පැසිෆික් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන බවත්, එක් තීරයක් - එක් මාවතක් සංකල්පය මඟින් පැසිෆික් සාගරයත් ඉන්දියන් සාගරයත් සම්බන්ධ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සියලු තත්ත්වයන් හමුවේ වූවද මහා බල එදිරිවාදිකම්වලින් තොර අවකාශයක් ලෙස ඉන්දියන් සාගරය පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
අප්‍රිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා නිවර්තන කලාපය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය. මෙම කරුණු සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ඇති කරගන්නා සහයෝගීතාවයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය වෙළඳ ක්‍රමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පෙර ජාතීන් අතර සම්මුතියක අවශ්‍යතාවයද අවධාරණය කළේය.
ගාසා තීරයේ පවතින යුද්ධය පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමාස් සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පමණක් ගැටුම් අවසන් කළ නොහැකි බවත් තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත එපෙක් (APEC) රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර සිදු වීමට නියමිත හමුව මඟින් පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගෝලීය වශයෙන් පවතින මෙම සංකීර්ණතාවන් හරහා ගමන් කිරීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රන්සුවා පැක්ටට්, ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතාරෝ යන මහත්ම මහත්මීන් මෙන්ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු තානාපතිවරුන්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයනය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහචාර්ය ගාමිණී කීරවැල්ල, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකරණ කවුන්සිලයේ සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2024 දී නව ක්‍රීඩා සරසවියක්.....
2024 වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වෙතැයි විශ්වාස කරන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතය සහ පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳව අධ්‍යයනය කිරීම එහි අන්තර්ගත කරුණු අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබා ගැනීමෙන් පසුව 2024 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක වැඩිදුරටත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවූ බව අයිසීසී නිල වෙබ් අඩවිය වාර්තා කළේය.
තම සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කවුන්සිලයේ වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බව ඊයේ (10) රැස්වූ අයිසීසී ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එහි නියාමන හෝ පරිපාලනය ස්වාධීනව සිදු වන බවට සහතික කළ යුතුව ඇතැයි ප්‍රකාශ කළ බව අයිසීසී විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි අයිසීසීය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවට එහි සඳහන් කර තිබිණි.

මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ කාර්යාලයේදී අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙක්ද සිටී.
මෙම අල්ලස් ඉල්ලීම පිළිබඳව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමට යොමු කළේය.
මේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීහු කණ්ඩායමක් එම කාර්යාලයට ගොස් විශේෂ උපක්‍රම අනුගමනය කරමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ රජයේ ඉහළම නිලධාරියා මොහුය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ලංකාදීප

ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මූල්‍යකරණයක් අනුමත කර තිබේ.
ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්‍ෂණ ජාලයක් අවශ්‍ය බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පැවසීය.
ඒ සදහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිදු පවුල් සදහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කරයි.
ඒ අනුව ශක්තිමත් තැන්පතු රක්‍ෂණ යෝජනා ජාලයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සහ ජනතාව ඇතුළු කුඩා තැන්පත්කරුවන්ගේ ඉතුරුම් ආරක්‍ෂා කිරීමට උපකාරීවන බවත් එය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගෙන යනු ඇති බවත් අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ තැන්පතු රක්‍ෂණය සඳහා වන නීතිමය රාමුව මෙම වසර මුලදී බැංකු විශේෂ විධිවිධාන පනතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හරහා වැඩිදියුණු කරන ලදී.

ක්‍රිකට් ආයතනයට එරෙහි ජන්ද විමසීම මාලිමාව වර්ජනය කරලා !
පාර්ලිමේන්තුවේදී අද (09) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි විවාදයේ ජන්ද විමසීම අවස්ථාව සඳහා ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇත.
ඊට අද පැවති විවාදය අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස් ද හේතු වී ඇති බව විචාරකයන් පවසයි .
මේ ආකාරයට ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටීම පිළිබඳව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ද අවධානය යොමුකර සිටියේය .
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නොමැතිව අද පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව ආණ්ඩු පාර්ශ්වයේ සහ විපක්ෂයේ එකඟතාව ඇතිව ජන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබිණ.

ක්‍රිකට් තහනමක් ආවොත් පාර්ලිමේන්තුවම වගකීම බාරගමු - කාංචන
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවනු ලැබුවොත් එහි වගකීම සමස්ත පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , පාර්ලිමේන්තුවේදී අද (09) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියට එරෙහි යෝජනාව වෙනුවෙන් වූ විවාදය අමතමිනි .
ක්‍රිකට් අර්බුදය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව ට සහය දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය .
ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා.ඔවුන්ට තරග කරන්න වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් එක්ක.ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් කුසලතා මෙන්ම අපේ කණ්ඩායමය අත්දැකීම් ගැන සලකා බැලිය යුතුයි.

නවසීලන්තයටත් පරාදයි : ලංකාවට ශූරයන්ගේ කුසලානයට යාමත් අහිමියි !
ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේ අද (09) පැවති අවසන් තරගයෙන්ද ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ අතර , ඒ සමග ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගි වීමේ අවස්ථාව ද අහිමිව ඇත.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි යළි අසාර්ථක වෙමින් පන්දුවාර 46.4කදී ලකුණු 171කට සියලු දෙනා දැවී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2කදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේය.
ඒ අනුව නවසීලන්තය අවසන් පූර්ව වටයට යාමට වැඩි අවස්ථාවක සිටින අතර පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ඉදිරියේදී මුහුණ දෙන තරගවල ප්‍රතිඵලද ඒ සඳහා බලපායි.

ක්‍රිකට්වලදී එකතුවු ආකාරයට ජාතික ප්‍රශ්නවලදීද එකතු වෙන්න - ප්‍රසන්න
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවූ ආකාරයට රටට බලපාන ජාතික ප්‍රශ්න වලදීත් පාර්ලිමේන්තුවම එකතු වී කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .
අමාත්‍යවරයා අද (09) මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රිකට් පිළිබඳ විවාදය අමතමිනි .
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැරීම ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. කැබිනට් අනුකමිටුවක් පත් කළේ ක්‍රීඩා ඇමතිතුමාගේ අඩු පාඩු හොයන්න නෙමෙයි. ඒ අනු කමිටුව පත් කළේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන් පුළුවන්ද කියල හොයන්නයි. දැන් අපි මේ යෝජනාවට විරුද්ධ වුණා කියල වැරදි මතයක් හදන්න හදනවා.
මේ යෝජනාව ගෙනාවට විපක්ෂනායකතුමාට ස්තූතිවන්ත වෙනවා . අපි පක්ෂ නායක රැස්වීමේදී කාටත් එකඟ වෙන්න පුළුවන් විදියට මේ යෝජනාව ගෙනාවා. දැන් අපිට කරන්න දෙයක් නෑ. බෝඩ් එක ඉල්ලා අස්වෙන්නෙත් නෑ. අපිට ඉවත් කරන්නත් බැහැ. ඒ නිසා මේ පනත වෙනස් කරන්න ඕන කියල යෝජනාව ගෙනාවේ ජනාධිපතිතුමා.
ජනාධිපතිතුමා හා එතුමාගේ නිලධාරීන් මේකට විරුද්ධයි කියල කිව්වා. එහෙම විරුද්ධනම් මොකටද ජනාධිපතිතුමා මේ යෝජනාව ගේන්නේ. ඔය දේශපාන බලවේලයේ කුහකත්වය හැම තිස්සෙම පෙන්වනවා.

2024 දී ආහාර උද්ධමනය තවත් අඩුවෙයි !
ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.
එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කල හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙසේද පැවසීය.
ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා. ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර තිබෙනවා.
ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද ? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කෙරෙනවා ද ? ඒවා වෙළඳපලට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද ? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකතන සිදු කරනවා.
ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යංශය වෙතින්ද මේ ආකාරයටම වාර්තා කැඳවා තිබෙනවා. ඒ හරහා රට තුළ ආහාර සුරක්ෂිතතාවය කොපමණ දුරට පවත්වාගෙන යාහැකි ද, සහ 2024 වර්ෂයේ දී කොපමණ දුරට මිල පාලනය කල හැකි ද යන්න ඇතුළු තවත් සංවේදී දත්ත පිළිබඳව වැටහීමක් ලබාගැනීමට ද බලාපොරොත්තු වනවා. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා පාරිභෝගිකයාට සහතිකයක් ලබාදිය හැකි වනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය සම්බන්ධව ද අවබෝධයක් ලබාගත හැකියි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබීම තුළින් ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව විශ්වාස කළ හැකියි.
එමෙන්ම සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩාවැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.
පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වනතුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

අලුත් ක්‍රීඩා පනතක් ගේන්නත් ජනාධිපති සැලසුම් කරලා : අධ්‍යයන කමිටු වාර්තාව එළියට !
පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාරදෙනු ලැබිණ.
මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂාව වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority - NSDA) ස්ථාපිත කළ යුතු බවය.
එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද යෝජනා කර ඇත.
මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබේ.
එසේම එම අධිකාරිය සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇත. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂී සේවාවක් ලබාදුන් පුද්ගලයින් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) ක හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර තිබේ.
යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයින් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරිම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවටද යෝජනා කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයින් අතුරින් සුදුසු පුද්ගලයෙකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර ඇත.
තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමේදී අවම මැදිහත්වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් (SGRT) පිහිටුවීමටත් මෙමඟින් යෝජනා කර තිබේ. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳිම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකල යුතු බවද එහිදී අනිවාර්යය කර ඇත.
ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් ක්‍රීඩා පනතෙහි පවතින නීතිමය රාමුවට සහ පරිපාලන ව්‍යුහයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට හැකිවනු ඇති බවට මෙම අධ්‍යයන කමිටුව විශ්වාසය පළකරන අතර මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා දැනට පවතින ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙන් හෝ එම නීතිය අහෝසි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමෙන් සිදු කළ හැකි බවටත්, නීතිමය සහාය සහ උපදෙස් සමගින් නව පනත් කෙටුම්පතක් සකස් කළ හැකි බවටත් මෙම අධ්‍යයන කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත.
(නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව මේ සමඟ ඔබගේ විද්‍යුත් තැපෑලට යොමු කර ඇත.)
ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-09

ක්‍රිකට් ලොක්කන් ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.
Page 148 of 475