පුවත්

ගිණුමේ සල්ලි නැතිවුණ බව නොදැනුන හේතුව විජිත කියයි !
"අපේ රටේ හොරකම්, දූෂණ, වංචා කොච්චර සිද්ධ වෙනවාද කියලා අගමැතිගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමෙන් පැහැදිලි වෙනවා. ජනාධිපති ධුරය දරන කාලයේ භාවිතා කළ ගිණුමේ සල්ලි ළඟම හිටපු කෙනෙක් හොරකම් කරලා. කෝටි ගණනක් ඒ ගිණුම්වල තිබිලා. මෙච්චර කල් ඒවා හොයලා බලලත් නැහැ. එච්චර මුදලක් ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ සල්ලිවල ලොකු වටිනාකමක් ඒ ගිණුම් අයිතිකාරයන්ට තිබිලත් නැහැ කියලත් ඒකෙන්ම පේනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
"හොරුන්ගෙත් හොරු කම්බා හොරු කතාවක් තිබෙනවා නේ. අගමැතිගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමෙන් ඔප්පු වෙලා තිබෙන්නේ ඒ බව. ප්‍රශ්නය තිබෙන්නේ එවැනි ගිණුමක් ගැන හොයලා බැලීමට තරම් වත් ගණන් නොගැනීමට තරම් ඔවුන් සතුව සල්ලි තිබීමයි.”
"මුදල් ඇමතිවරයා සල්ලි අච්චු ගහලා 5000/ක් බෙදන එකෙන් අර්බුදය වැඩිවීමක් විතරයි වෙන්නේ. මේවා මුදල් ඇමතිගේ මෝඩ තීන්දු. මේවගෙන් වෙන්නේ අර්බුදය වැඩිවෙන එකයි. මෙයින් ඔප්පු වෙන්නේ මුදල් ඇමතිවරයාගේ මොළ හතේ තත්වයයි. ලංකාවේ මුදල් ඇමතිවරයා විතරයි ලෝකයේම මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා තිබෙන මුදල් ඇමතිවරයා. ඇත්තටම ගිනස් වාර්තාවක්. එවැනි කෙනෙක් රටේ මුදල් ඇමති වුණාම රට වැටෙන එක අහන්න දෙයක් නැහැ.
හොරකම්, දූෂණය, වංචා නතර කරන ක්‍රියාමාර්ග තිබිය යුතුයි. ඒවගේම නිෂ්පාදනය මත රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. රට හැදීමේ ප්‍රධානම ක්‍රියාමාර්ග දෙක මේවායි. වත්මන් ආණ්ඩුවලට එවැනි උවමනාවක් නැහැ."

කොරෝනා මරණ 15,346ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,346කි.

හිතට එකඟව ඉන්න බෑ : තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත යොමුකර ඇත.
තමන්ට තවදුරටත් එම ආයතනය තුළ හිතට එකඟව වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බැවින් තමන් මෙලෙස එම සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු පවසා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
මේ වන විට රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර ඇතමුන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටියි.
ආණ්ඩුව ආරම්භයේ රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීම විද්වත් කමිටුවක නිර්දේශ මත සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා කමිටුවක් ද පත්කළ නමුත් දැන් අවුරුදු 2ක් ඉක්මයන තැන එවැනි කමිටුවක් සොයාගැනීමට හෝ නොමැති බව දේශපාලන විචාරකයන් පවසයි.

ලිට්‍රෝ සමාගම රජයේ විගණනයෙන් ඉවත් වෙන්න දැඩි උත්සාහයක් දැරුවා - චරිත හේරත්
රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසීය.
එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේය.
රජයට කොටස් සියයට 50 ක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බවත් ලිට්‍රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් මහාචාර්ය චරිත හේරත් කීය.
- lankadeepa

පාපැදියෙන් සෞභාග්‍යයට යන්න කැබිනට් පත්‍රිකාවක් ?
පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .
එසේම පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
වායු දුෂණය අඩු කිරීම කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවත් ඔහු සදහන් කලේය.
පාපැදිය භාවිතා කිරීම මගින් සෑම කිලෝමීටර් එකටම රුපියල් 236 ඉතිරි කල හැකි බවත් එමගින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවත් ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන හිඟයට පිළියමක් ?
ඉහත පුවත ලංකා සීනිව්ස් ඇතුළු ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.
කෙසේ වුවත් මේ වන විට ආර්ථික ක්ශේත්‍රය මුලුමනින්ම අර්බුදයට පත්කර ගෙන ඇති ආණ්ඩුව දරුණු ඉන්ධන හිඟයකටද මුහුණදී සිටියි.
ඉන්ධන හිඟවී ඇත්තේ ඒවා ආනයනය කිරීමට ඩොලර් නොමැති නිසාය. මේ තත්ත්වය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නා ලෙස විපක්ෂයේ මෙන්ම ආර්ථික විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දුන්නත් කුමන හෝ හේතුවක් නිසා ආණ්ඩුවේ ආර්ථිකය හසුරවන ප්‍රධානීන් ඊට යොමුවන්නේ නැත.
ඒ අනුව මහින්ද අමරවීර කියන මේ පාපැදි කැබිනට් පත්‍රිකාව අන් කිසිවක් නොව ඉදිරි ඉන්ධන හිඟය සම්බන්ධයෙන් වන පූර්ව දැනුම්දිමක් බව විචාරක මතය වී තිබේ.

CEB සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවත්, ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි සඳහන් කළේය.

‘‘අඩක් භාවිත කළ සහ සැක සහිත ගෘහස්ථ L.P ගෑස් සිලින්ඩර නැවත භාරදිය හැකියි‘‘
අඩක් භාවිත කළ හා සැක සහිත ගෘහස්ත ගෑස් සිලින්ඩර අදාළ සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙයි .
ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ නිවේදන හෙට(27) දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
මේ සම්බන්ධව මුද්‍රිත නිවේදන භාෂා තුනෙන්ම අද(26) දින ජාතික පුවත්පත්වල පළ කර ඇති බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහාර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ ය.
අඩක් භාවිත කළ සහ සැක සහිත ගෘහස්ථ L.P ගෑස් සිලින්ඩර නැවත භාර ගන්නා ලෙස අධිකරණය මීට පෙර දුන් නියෝගය අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ගෑස් සමාගම් කටයුතු කර නැති බවට විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා පැමිණිලි කළ අවස්ථාවේදී රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා මේ බව සඳහන් කළේ ය.
අනතුරුදායක ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර කොඩිතුවක්කු මහතා මෙම පැමිණිල්ල සිදු කළේ ය.
රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම අද කැඳවීය.
එහිදී ලාෆ් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතාට මේ වන විට කොවිඩ් රෝගය වැළඳී ඇති බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතීඥවරයා ඉල්ලා සිටියේ ය.
මෙම පෙත්සම පෙබරවාරි මස 08 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

දිවයිනේ පාසල් රැසක කොවිඩ් හිස ඔසවයි
දිවයින පුරා පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන් පිළිබඳ වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් කටයුතු කරන බවයි.
කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය = පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇති බවයි.
නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙයිද?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
මේ ඔමික්‍රෝන් රැල්ල ලෝකය පුරා බොහෝ රටවල් මේ වනවිට අත් දැකලා ඉවරයි. ලංකාවේ බරපතල ලෙස මේක තවම අපි දුටුවේ නැතිකම පමණයි තියෙන්නේ. අපි නැවතත් මතක් කරන්න ඕනා මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතු වුණේ අනිත් රටවල ඇතිවෙලා යම් කාලයකට පස්සේ . ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩියි අපේ රටේ රැල්ලක් එන්නේ නෑ කියන වචනේ. අද වෙන කොට බොහෝ වෙලාවට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මොහොතේ අපේ රෝගීන්ගෙන් බහුතරය අඩුම ගානේ 50 % ඉක්මවලා හෝ මේ කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වන්නට ඉඩ තියනවා. නමුත් වැදගත් වන්නේ ඒ ආසන්නම ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ඉන්න බවත් මතක තබා ගත යුතුයි..
ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනීම මන්දගාමී ඇයි?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
දවසකට 8000 ඉක්මවලා PCR පරීක්ෂණ කරනවා. එතකොට මේ 8000 ම අපිට ජාන විශ්ලේෂණය සඳහා යොමු කරන්න බෑ. ඒ වගේම තමා පොසිටිව් වන රෝගීන් සංඛ්‍යාව දැන් අටසිය ගාණක් වනවා. මේ 800 පමණක්වත් ජාන විශ්ලේෂණයට යොමු කරන්න බෑ. අපි කරන්නේ ඒ රෝගීන්ගෙන් නියැදියක් පමණක් අරගන ජාන විශ්ලේෂණයට විටින් විට ලක් කිරීමෙන් අපි බලනවා ඉන්න රෝගීන්ගෙන් කොයි තරම් ප්‍රතිශතයක් ඔමික්‍රොන් රෝගීන්ද කොයි තරම් ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ද කියලා.
කොවිඩ් ආසාදිතයින් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තත්ත්වය කුමක්ද?
මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් 5758 ක් හා දැඩි සත්කාර ඒකකවල ඇදන් 62 ක් භාවිතයට ගැනෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් = පවසයි.
news1st

මල්වාන නිවස : බැසිල්ට එරෙහිව මුදිත සාක්ෂි දෙයි !
මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක ඉඩමක ඇති විශාල ප්‍රමාණයේ නිවස ඉදි කිරීම සඳහා මුදල් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ විසින් බවත් එම නිවස ඉදි කිරීම සඳහා මුදල් ලබා දුන්නේ තමන් විසින් යැයි මීට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කරනු ලැබූවේ තමන්ට එල්ල වූ බලපෑම් මත බවත් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි අද (25) අධිකරණයේදී සඳහන් කර තිබේ.
ඔහු මේ බව කියා සිටියේ, එම නිවස ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට චෝදනා ගොනු කරමින් පවරා ඇති නඩුවට මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමිනි.
නිවසට අදාළව ආදායම් බදු ගෙව්වේ තම සමාගමෙන් බව පවසා ඇති ඔහු එම නිවස ඉදිකිරීමට අනුමැතිය ගැනීමට අයදුම්කරු ලෙස ඉදිරිපත් වී එය ඉදිරිපත් කළේ රාජපක්ෂ පදනම කාර්යාලය විසින් බවද සඳහන් කර ඇත.
නඩුව මාර්තු මස 11 වන දින තෙක් කල් දමන ලද අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස බැසිල් රාජපක්‍ෂ, තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුනට නියෝග කර තිබේ.

27 තෙක් විදුලි කප්පාදුවක් නෑ ලු !
ඉදිරි දින 02ක කාලයේ විදුලි කප්පාදුවකට යොමු නොවනු ඇති බව සිතීමට හැකිව තිබේ.
ඒ ජනවාරි 27 දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා ඇති නිසාය.
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවත් එම කොමිසම පෙන්වාදී ඇත.
කෙසේ වුවත් ඊට පසුව තත්ත්වය සළකා බලා තීරණයක් ගනු ඇති බවද මහජන උපයෝගිතා කොමිසම කීය.

ඔමික්‍රොන් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්තියක !
ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
විද්‍යුත් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මේ බව සඳහන් කර ඇත.
එහිදී ඔහු පවසා සිටියේ, ලංකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යෑමට මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇති බවය.
"ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා වාර්තා වෙලා, දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. දැන් තමයි දත්තයන්වලින් අපිට පේන්නේ ලංකාවේත් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%කට එහායින් පැතිරිලා කියලා. මේකෙන් කියවෙන්නේ යම් අවස්ථාවක gene sequence ටෙස්ට් කරන සාම්පල සංඛාවෙන් සියයට 95කට එහා ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවෙන් දැන් වාර්තා වෙනවා."
ප්‍රශ්නය - ශ්‍රී ජයවර්ධනපුර විතරයි මේක වාර්තාවක් ලෙස එළිදැක්වුයේ. එතැනින් එහාට අපිට කියන්න පුළුවන් ද ඔවුන්ගේ වාර්තා පමණක් පදනම් කරගෙන ලංකාවේම ප්‍රබලම ප්‍රභේදය වෙලා තියෙන්නේ ඔමික්‍රෝන් කියලා.
"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමා දිගටම ඒ කටයුතු කළේ. මෑතක ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනුත් ඒ වාර්තාව ලැබෙනවා. gene sequence ඔවුන් දැන් අවස්ථා 4කදී වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඊයේ MRI රිපෝට් එකක් අවුට් වුණා. ඒකෙනුත් කියවෙන්නේ, 96%කට වැඩිය ඔමික්‍රෝන් ප්‍රභේදය තමා. මම හිතන්නේ ජයවර්ධනපුර හා MRI ලැබ් එකෙන් එකම විදියේ දත්ත තමා තියෙන්නේ. ලංකාවේ රෝගීන්ගෙන් පැතිරෙන වෛරසයෙන් 95%කට එහා ප්‍රමාණය දැනට වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් කියලා."

එක්නැලිගොඩට යුක්තිය පතා බිරිඳ කාලි කෝවිලේ විදරම් පූජාවේ ! (Video )
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 12ක් ගතවී ගියත් ඔහු සම්බන්ධයෙන් යුක්තිය ඉටුනොවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අද (25) මෝදර කාලි අම්මාන් කෝවිලේදී හිස බූ ගා විරදම් පූජාව කර තිබේ.
පූජාව අවසානයේදී ඇය , සිය සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කළ බව කියන වගකිවයුත්තන්ට දඬුවම් ඉල්ලා නාග සන්දේශය කියවා දෙවියන්ට කන්නලව් කළාය.
සිය සැමියා අතුරුදහන්වීම සම්බන්ධයෙන් පසුගිය සමයේ නඩුකරයක් පවතින නමුත් ආණ්ඩු වෙනසත් සමග ඒ පිළිබඳව විශ්වාසය නැති වෙමින් ඇති බැවින් තමන් මේ කටයුතු සඳහා යොමුවූ බවත් ඇය එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

හදිසියේම කබ්‍රාල්ට පීබීගේ හැකියාව සිහිපත් වුණේ ඇයි ?
ජනාධිපති ලේකම් ධූරයෙන් විශ්‍රාම ගිය පී.බී.ජයසුන්දරගේ සේවය අගයමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පසුගිය 19 වෙනිදා තැබූ ට්විටර් සටහනක් ගැන දේශපාලන ක්ශේත්‍රයේ තවමත් අවධානය යොමුව පවතී.
ඒ ට්වීටර් සටහන තබමින් මහ බැංකු අධිපති කබ්රාල් සදහන් කර ඇත්තේ ආචාර්ය පී.බී. ජයසුන්දර 2005 සිටම ආර්ථික අර්බූදයෙන් මිදීම සදහා විශිෂ්ට සේවාවක් කළ අයෙකු බවය.
තවද ඉදිරියේදීත් පීබී ජයසුන්දර ගේ සේවය අත්‍යවශ්‍ය බවද එම සටහනේ මහ බැංකු අධිපති කබ්රාල් සඳහන් කර ඇත.
එහෙත් ප්‍රසිද්ධ කරුණක් වන්නේ ඔතරම් සේවයක් කළ බව කියන ආචාර්ය පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස ධූරයෙන් විශ්‍රාම යනවිට ඒ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි නොවීමය.
ඒ සම්බන්ධයෙන් ආචාර්ය පීබී ජයසුන්දර දැඩි හිත්වේදනාවකින් පසුව ඇති බවටත් දේශපාලන ක්ශේත්‍රයේ තොරතුරු ප්‍රසිද්ධ විය.
මොකද කබ්‍රාල් මේ ?
මේ ට්වීටර් සටහන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් දැම්මේ ඇත්තටම කෘතගුණ දක්වන්නද නැත්නම් පීබීගේ තැවුල් සිත තවත් පාරන්නද අපි දන්නේ නැත. එහෙත් හිතක් හදන්න නම් ඔය ට්වීටර් සටහන තබන්න මෙච්චර කල් ගියේ ඇයිද යන්න ප්‍රශ්නයකි.
සමහර විට ආචාර්ය පීබී ජයසුන්දර ගේ සේවය , ඒ දැනුම නැතුව ආණ්ඩුව හිරවෙලා ඉන්නවා වෙන්නද පුළුවන. මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල්ගේ උත්සාහය පීබීවත් ආර්ථික යාන්ත්‍රණයේ කොතනට හෝ ගැට ගස්සවා ගෙන ජාමේ බේරාගැනීමට ද යන්න බලන්න වෙන්නේ ඉස්සරහට ය.

සපුගස්කන්ද මෙහෙයුම් තවත් කල්යයි !
සපුගස්කන්ද බලාගාරය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු හෙට (26) ආරම්භවීමට තිබුණත් ඒ කටයුතු තවදුරටත් කල් යන තත්ත්වයක් පෙන්නුම් කරයි.
එහි ලේකම් කේ. ඩී. ආර් වොල්ගා පවසන්නේ පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් ඇති බවයි.
ඒ බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙනි.

වෙන්ඩ ජනාධිපතිලා දිගට හරහට අමාත්‍යංශ ප්‍රසිද්ධ කරයි !
"සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ මේ ප්‍රකාශයත් සමග, දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ , 2024 "වෙන්ඩ ජනාධිපතිලා" දැන් සිටම අමාත්‍යංශ නම් කරමින් සිටින බවයි.
මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් , සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය තමන්ට හිමිවන බවය.
අනුරගේ අමාත්‍යංශ බෙදීම !
මේ අතර ජාතික ජනබලවේගය පක්ෂයේ නායක , ජවිපෙ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් තමන් පිහිටුවීමට නියමිත ආණ්ඩුවේ අමාත්‍යංශ බෙදීම ගැන පැවසීය.
එහිදී ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සහ ආර්ථිකය දේශපාලන මණ්ඩල සභිකයන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වෙත ලබා දෙන බවය.

මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉවත් වී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙක් ද ලෙස කටයුතු කළ රොෂාන් මහානාම වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කටයුතු කරති.

කොරෝනා අසාදිත ළමුන් රෝහල්ගතවීම ඉහළට
කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසී ය.
පෙරේදා සිදුවූ තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ ය.

අද සිට අඳුරට ඇස හුරු කර ගමු !
සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම හේතුවෙන් අද (23) සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බව එම සංගමය සඳහන් කර සිටී.
A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.
එසේම හෙට (24) දිනයේදී ද විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් වාර්තා වන අතර ඒ පැය 2ක කාලයකි. තවද ඩොලර් අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමට නොහැකි බැවින් ඉදිරියටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විශේෂඥ මතය වී ඇත.
Page 377 of 464