V2025

පුවත්

කොරෝනා මරණ සංඛ්‍යාව 14,108 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 22 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,108ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 0=9 දෙනෙකු කාන්තා ආසාදිතයින් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

ඊට අමතරව වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (20) වාර්තා කරන ලද මෙම මරණ 22 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

විශ්‍රාම යන්නේ 65න් ද?

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස තවත් වසර දහයකින් දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිති දරන ස්ථාවරය පිළිබදව රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.

ලබන වසර සදහා වන අයවැය යෝජනාව මගින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ එම යෝජනාව පිළිබදව ඉදිරිපත් වී ඇති අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් කර රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව එම සංගමය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා සහ ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත පවසන්නේ එම වාර්තාව සැකසීමේදී අනෙකුත් වෘත්තීය සංගම් හා අදාළ පාර්ශවයන් වෙතින් මෙන්ම මහජනතාවගෙන් මේ සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීමට එම කමිටුව විසින් තීරණය කර ඇති බවයි.

එම අදහස් හා යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ශ්‍රී ලංකා පරිපාලන සංගමය වෙත නොවැම්බර් 25 දිනට හෝ ඊට ප්‍රථම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පත්කළ පංච පුද්ගල කමිටු සාමාජිකයන්ගේ නම් එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර නොමැත.

නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 අයවැය යෝජනාව මගින් යෝජනා කර තිබුනේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමටයි.

කෝටි දෙසිය හතලිස් පහක බදු පොල්ලක්!

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්ෂික බදු මුදල් ගෙවීම පිණිස විවිධ තැනැත්තන් සහ ආයතන නිකුත් කළ රුපියල් කෝටි 245ක පමණ චෙක්පත් අගරු වී ඇතැයි (රිටර්න් වී ඇතැයි) රජයේ ගිණුම්කාරක සභාවේ නවතම වාර්තාවේ සඳහන්ය.

2020 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ගතවූ මාස 12 තුළ දෙපාර්තමේන්තුවට බදු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් 6878ක් මෙලෙස අගරු වී ඇත. මෙම චෙක්පත් සියල්ලේ වටිනාකම රුපියල් දෙසිය හතළිස් පන්කෝටි දාහතරලක්ෂ හැටපන්දහස් තුන්සිය අසූ තුනකි. (රු. 245,14,65,383කි.)

රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් 2021 වසරේ ඔක්තෝබර් මස 06දා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට නියම කර ඇත්තේ මෙලෙස අගරු වූ චෙක්පත්වලින් ලැබිය යුතු රාජ්‍ය බදු ආදායම වහාම අයකරගෙන ගිණුම්කාරක සභාවට වාර්තා කරන ලෙසය. ඊට සුදුසු වැඩපිළිවෙළක් මාස තුනක් තුළ සකස් කරන ලෙසද ගිණුම්කාරක සභාව නියම කර තිබේ.

දේශය

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් !

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ඉහළ නායකයන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින තෙල් සංස්ථාව බොරතෙල් ආනයනයද අත්හිටුවා ඇති අතර මේ නිසා පසුගියදා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවද අක්‍රිය වී තිබේ.

ඉන්ධන ආනයනය සඳහාද මුදල් සොය ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින තෙල් සංස්ථාව මීට පෙරද ඉන්දියාවෙන් ණය මුදලක් ලබාගෙන තිබිණි.

මෙරට මසක ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වේ. ඒ අනුව ඉන්දියාවෙන් අපේක්ෂිත ණය මුදල මාස එකහමාරක ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පමණක් ප්‍රමාණවත් වේ.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,086 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (18) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 14ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.

නැනෝ පොහොර වංචාව තහවුරුයි : මහින්දානන්ද CID ගෙන්වන්න - පාඨලී

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අද ( 19) දින “නැනෝ යූරියා වංචාව හා අදාල ඉන්දීය සමාගම පිළිබඳ කරුණු දැක්වීම” සඳහා පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

2021.11.03 දින තමන් විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කරන ලද කරුණු අනුව ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බව රණවක මහතා විසින් පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව කරන ලද හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී තමන්ට අවමාන සහගත ලෙස අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා දෙමින් රණවක හිටපු අමාත්‍යවරයාෆේ ප්‍රකාශය අසත්‍ය බවටත්, මෙහි තිබෙන්නේ නැනෝ නයිට්‍රජන් බවටත්, එලෙසම මෙහි වංචාවක් සිදුව නැති බවටත් අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ගොනු කළේය.

“දැන් ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ මාධ්‍ය හමුවේදී මවිසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.”

නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදෛතයන් ස්වාභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන් ම රසායනික පොහොරක් වේ. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහා ය. “මෙහි පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු රුපියල් 480 ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මේ අනුන්ට චෝදනා කරන මේ පුද්ගලයා මේ ගෙනෙන ලද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ. ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි. ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් 52 ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්, ඩොලර් 25 කට ආසන්න මුදලක් තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා. ගොවි පවුල් දස ලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයින් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව.” මින්පසුව මතුවන සංකූලතා කෙසේ වෙතත් මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරය. ඒ නිසා රහස් පොලීසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුය. කවුද මේ ජාවාරම පිටිපස්සේ හිටියේ?

“මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ. 2021.10.18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වෙනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද? ඇමතිද? මීට සම්බන්ධ ඊට වඩා ඉහල ඇත්තෝද? ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි.”

චීනයෙන් ගෙන එන ලද කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයේ දී ගෙවීම් කටයුතු කරන්නේ මහ බැංකු අධිපතිවරයාට ය. මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපතිවරයාටත්, සාමාන්‍යාධිකාරීවරයාටත් විශාල තදියමක් පවතින බව පෙනේ. “මේ පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටිය ප්‍රධානියා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාතියෙක්. ඉතින් මේ බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ ලේකම්වරයත් ඒක පිළිඅරගෙන ඉවරයි. දැන් යම්කිසි ආකාරයකට මෙහි සඳහන් මේ අහිතකර බැක්ටීරියා විශේෂය තිබෙනවා නම් මෙහි පාඩුව දැරිය යුත්තේ මේ සමාගම මිසක් මහජන බැංකුව හෝ කෘෂිකර්ම අමාත්යාංශය නොවෙයි. එහෙමනම් රජයට කරන ලද මේ පාඩුව වහාම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාති සහෝදරයා විසින් රජයට පියවිය යුතු විතරක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් සිදු වෙච්ච අනෙකුත් කාරණා වලට නීතිය ඉදිරියේ විය යුතුයි.”

මේ කාබනික කොම්පෝස්ට් පොහොර ටොන් එකක සාමාන්‍ය වටිනාකම රු. 230 කි. ටොන් 98,000 ක් ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 44 ක් වැය වේ. ඩොලරය රු. 230 ක් ලෙස සළකා බැලුවහොත් මේ කොම්පෝස්ට් පොහොර ටොන් එකක් සඳහා රු. 103,000 ක් වැය වේ.

“මේ රටේ විශාලම කාබනික අංගනය පොහොර අංගනය, කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන ගියේ, අපේ මහනගර අමාත්‍යාංශයෙන්, අපි, තොග ගානේ ටොන් එකක් ලබා දුන්නේ රු. 4200ට. ඒ වගේම, නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් එක්කහු කරලා පැකට් කරලා වික්කේ රුපියල් 30කට කිලෝව. ඒ කියන්නේ ටොන් එක රු. 30,000 කට ගන්න පුළුවන්කම. හැබැයි තොග වශයෙන් ගත්ත හැම කෙනාටම ටොන් එක රු. 4000 ට වික්කේ. දැන් කොහොමද ඒකෙත් ගැහිල්ල? ඒකෙත් ගැහිල්ල 1 ට 25 ගැහිල්ලක්.” මේ පිළිබඳව චීන රජය කරන මැදිහත් වීම කණගාටුදායකය. මෙය සමාගම් දෙකක් අතර ප්‍රශ්නයක් මිස චීන රජය සහ ලංකා රජය අතර ප්‍රශ්නයක් නොවේ.

නොවැම්බර් 17 වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව පිළිබඳ වාර්තාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණ. එහි කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය යුතු කරුණ යටතේ හතර ඈ වගන්තිය යටතේ 2021 ජූලි 22 ගත් තීරණයක් අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ රු. මිලියන 350 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 ක ක්‍රියාත්මක කිරීම සඳහා එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ කාබනික පොහොර ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබේ. “කෝප් කමිටුව ඉදිරියේ පිළිගත්තා අදාල ආයතනයේ සභාපතිවරයා පනතට අනුව ඒකට කිසිම නීතිමය හැකියාවක් නෑ කියලා පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කියලම ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ අමාත්‍යාංශයක්ම තියෙනවා. එහෙම තිබියදී එකට පනතෙන් කිසිම ඉඩකඩක් ලබා දීලා නෑ කියලා. කැබිනට් මණ්ඩලයට යම් යම් අනුමැතීන් දෙන්න පුළුවන්. නමුත් පනත් උල්ලංඝනය කරන්න කැබිනට් මණ්ඩලයට හැකියාවක් නෑ. ඒ බව හොඳින්ම මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ ගනුදෙනුවත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගනුදෙනුවක්.”

එමෙන්ම එම නිර්මාණය කරන ලද පොහොර පසට යොදන්න සුදුසුද නැද්ද යන්න පිළිබඳ ප්‍රමිති වාර්තාවක් තිබේ ද යන්න රණවක මහතා විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. “ටොන් 20000 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා ඒ සභාපතිවරයා පිළිගත්තා. ඒ අනුව ගත්තත් මිලියන 350 ක් වියදම් කරලා ඒකෙන් කොටසක් වියදම් කරලා නැහැයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ටොන් 20000 කට ආසන්න ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. ටොන් එකක් එතනත් රු. 17000 ක් ගිහින් තියෙනවා. කොහොම ගැහිලිද?” “අපිව නිහඬ කරවන්න නඩු දාලා, චෝදනා කරලා, මඩ ගහලා හොර මංකොල්ලකාරයින් විසින්, අයථා උපයාගත් ධනය යොදාගෙන නාලිකාවල චිත්‍රපට හදලා අපිව නතර කරන්න බෑ. මේ වංචාවට එරෙහිව අපි එදත් රාජපක්ෂලාට එරෙහිව නැගී සිටියා. අදත් ඒ ක්‍රියාදාමය එනවා. රාජපක්ෂලාට විතරක් නෙවෙයි යහපාලන කාලේ සිද්ධ වෙච්ච හොරකම් වලටත් වෙන කවුරුහරි කරන ක්‍රියාදාමයන්ටත් එරෙහිව යුක්තිය වෙනුවෙන් අපි ඉදිරියේදීත් නැගී සිටින බව ප්‍රකාශ කරමින් සියලුම ජනතාවට මේ පිළිබඳව අවදියෙන් නැගී සිටින්න කියලා ඉල්ලනවා” පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මුළු මහත් ජාතියෙන්ම ආයාචනයක් කළේය.

ඩොලර් අර්බුදය ගැන බන්දුලගෙන් සහතිකයක් !

මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නිකුත් කළ නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල්, පිටි, සීනි, පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇති අතර මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිඟයක් ඇති වී තිබෙන බව එහිදී අවධාරණය කර ඇත.

පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම මෙම තත්වය ඇතිවීමට හේතුවී ඇති බවත් ඔහු චෝදනා කර ඇත.

එම තත්වය කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් තවත් බරපතළ කළ බව පවසන බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවත් පවසා සිටියේය. මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද අවධාරණය කළේය.

සුදුළූණු වංචාව හෙළිදරව් කළ තුෂාන්ට CID කැඳවීමක් !

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට නොවැම්බර් 22 වනදා පෙරවරු 9.00ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ පෙනී සිටින්නැයි ලිඛිතව දන්වමින් කැඳවීමක් කර ඇති බව වාර්තා වෙයි.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බව ද එම ලිපියේ සඳහහන්ව ඇතැයි තුෂාන් ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත.

විවධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව පවසමින් එහි හිටපු විධායක අධ්යධක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගියදා ඉන් ඉල්ලා අස්විය.

ප්‍රසිද්ධ සුදුළූණු වංචාව අවස්ථාවේ ඔහුට එල්ලවූ දේශපාලන බලපෑම්ද ඔහු ඉල්ලා අස්වීමට ආසන්නතම හේතු බවට පත්ව තිබූ බව මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබිණ.

ගමට එන මංගල වෙනුවෙන් මාතරම ශ්වේත වර්ණ වෙයි…!

'කලු රට සුදු කළ' රුහුණු පුත්‍ර මංගල රටටම මංගල, රැඩිකල් මැදහි නිර්මාතෲ මංගල, තවරාගත් දේශප්‍රේමීන්ට සැබෑදේශප්‍රේමියකු වූ කවුරුත් දන්න හඳුනන මංගල සමරවීරයන් ඉන්න ඕන මොහොතක අගෝස්තු 24වනදා භෞතිකව අපෙන් සමුගත් බව අදටත් ඇදහිය නොහැකි සත්‍යක් වෙලා…..

රටම අඟුලු දැමූ මොහොතේ රටත් ලොවත් හඬවා වෙන්වුන මංගල ගමට එයි, "මතක මංගල" ඔහු වෙනුවෙන්…….

කොරෝනා ව්‍යසනය නිසාවෙන් අවසන් ගමන් ගිය මංගල, ඔහුට ලැබිය යුතු සැබෑ ජනගෞරව රහිතව චාම් සරළ අවසන් ගමනක් යෑමත්, මංගල හිස් කොට තබා ගිය මහා දේශපාලනික හිස්තැන නිසා අන්ත අසරණ වූ සාතිශය බහුතරය මෙන්ම මංගලගේ මාතරයන් ඔහු නැවත මාතරට කැඳවා මාතරම රඳවාගන්නට දරන රැඩිකල් වෙනස හෙට එනම් 20වන දා මාතර එන ඔබට දැකගත හැකිය...

"මතක මංගල" වැඩසටහන් මාලාව සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රයෙන් අනුව නොවැම්බර් 20 වැනි සෙනසුරාදා මාතර බෝධියේ දී රාත්‍රී 07.00 සිට 08.00 දක්වා පැවැත්වෙන මතක බණ ධර්ම දේශනාවකින් ආරම්භ වන අතර ඒ සදහා සහභාගී වීමට මංගලට ආදරය කළ චෝදනා කළ වෛර කළ සැමට අවකාශය ඇත.. එමෙන්ම එදිනට සුදුවතින් සැරසී සුදු නෙළුමක් රැගෙන මංගල දකින්න ඔබට හැක..

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා රාත්‍රී කොළඹදී වල්පොල රාහුල ආයතනාධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වන අතර, ධර්ම දේශනාව Facebook සහ Youtube ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

නොවැම්බර් 24 වැනි බදාදා මංගල වෙනුවෙන් ධානමය පුණ්‍ය කටයුතු පවුලේ සහ හිතවතුන් විසින් සිදුකරණු ඇත.

නොවැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා මංගලගේ භෂ්මාවශේෂ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරන අතර ඔහුට ගෞරව දැක්වීමට කැමති සියලු දෙනාට එදින අවස්ථාව හිමි වනු ඇත.

නොවැම්බර් 26 වැනි සිකුරාදා උදෑසන මංගලගේ භෂ්මාවශේෂ සීමිත වාහන පෙරහැරකින් ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් විසින් ඓතිහාසික රුහුණේ මාතරට රැගෙන යනු ඇත.

මංගලගේ සිතැඟි පරිදි සියලු ආගම් සියලු ජාතීන් මාතරදී එක් කරමින් "මතක මංගල" සාම ධූතයා නික්මෙයි…..

පසුව මංගලගේ මග පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රජා මධ්‍යස්ථානයක් වන නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ දී ජනතා ගෞරවය සදහා ඔහුගේ භෂ්මාවශේෂ පස්වරු 2 - 4 දක්වා තැන්පත් කිරීමට නියමිතය.

පස්වරු 4 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් නියෝජනය කරන පූජකවරුන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලබන අතර, මංගලගේ සිහින යථාර්ථයක් කරමින් සියලු ජාතීන් ආගම සමගියෙන් අත්වැල් බඳගත යුතුයි යන්න පසක් කරමින් සංකේතාත්මකව, සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කිරීම සඳහා භෂ්මාවශේෂ පෙරහැරකින් මාතර සුසාන භූමියට රැගෙන යනු ඇත.

මංගල සමරවීරයන් හට ගෞරව දැක්වීමට පෞද්ගලිකව පැමිණ සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාගෙන් COVID-19 සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කාරුණික වන ලෙස "මතක මංගල" සංවිධායක මණ්ඩලය හෘදයාංගමව ඉල්ලා සිටී..

"මතක මංගල" සංවිධානය විසින් ඔබ වෙත…..

ඉදිරි කාලයේ දී අපි සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සලකන, ප්‍රජාතන්ත්‍රවාදයෙන්, සංහිඳියාවෙන් පිරි සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් කැපවුණු මංගල, ඒ වෙනුවෙන් ඉටු කල කාර්යයන් සහ ඔහුගේ නොනිමුණු සිහින පිළිබඳ විස්තර ඇතුළත් මංගල අනුස්මරණ වෙබ් අඩවියක් දියත් කිරීමට අදහස් කරමු. ඒ මගින් ශ්‍රී ලංකාව සඳහා මංගලගේ ප්‍රගතිශීලී දැක්ම ඉටු කිරීම සඳහා සියලු වයස් කාණ්ඩවල සමාන අදහස් ඇති පුද්ගලයින්ට එකට වැඩ කිරීමට අනාගත වැඩසටහන් සහ අවස්ථා පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

චීන පොහොර නැවට ගෙවන්න එපා : අධිකරණ වාරණය දීර්ඝ කරයි !

චීන පොහොර සමාගමට නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය නියෝග කර ඇත.

ඒ අදාළ පෙත්සම අද (19) නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන වානිජ මහාධිකරණය නියෝගය නිකුත්කර ඇති අතර පෙත්සම එළැඹෙන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කර ඇත.

චම්පිකගේ ආරාධනය අනුර බාරගනීද ?

ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකයන් සහ ආධාර කරුවන් විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉලක්ක කර සාවද්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඉහත සම්බන්ධව මිත්‍රශීලී සංවාදයකට එන ලෙස ජවිපෙට ආරාධනයක් ලැබී ඇත.

ඒ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක යොමුකළ ලිපියක් හරහාය.

අදාළ ලිපිය පහත දැක්වෙයි .

හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි,

මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි

විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක "සේනාධිපති" නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි.

නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්‍රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්‍යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය. එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද?

අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය.

මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්‍රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී.

මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය.

මෙයට,

පාඨලී චම්පික රණවක.

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති අණුක සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර  ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

එම අනුප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත.

මීට පෙර මෙරටින් හඳුනාගත් ඩෙල්ටා අනු ප්‍රභේදය නම් කර තිබුණේ B.1.617.2.28 ලෙසය.

මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකා ජනතාව හැසිරීම තුළ යළි කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවටද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

නැනෝ නයිට්‍රජන් පොහොර ගැහිල්ලක් : රෝහිණීගෙන් ශෂීන්ද්‍රට බාල්දියක් !

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පැවසීය.

පාර්ලිමේන්තුවේදී 2022 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ද මන්ත්‍රීවරිය පැවසීය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.

කොරෝණා මරණ සංඛ්‍යාව 14,072 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 15 ක් අද (18) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,072 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 05 දෙනෙකු කාන්තා ආසාදිතයින් ය.

මිගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන එක් ආසාදිතයෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (18) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ee8d7fb9 258375862 438616514491556 5843305643588209769 n

අයවැය නීති විරෝධීයි : ඉරාන්ගෙන් අනාවරණයක් !

මවාගත් සිහින මත ඉදිරිපත් කර ඇති 2022 අය වැය මගින් එහි පරතරය දළ දේශී නිශ්පාදිතයෙන් 8.8% ක් වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා තක්සේරු කර තිබේ. එහෙත් අය වැය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් පනවා තිබෙන 2003 වසරේ මූල්‍ය වගකීම් පනත අනුව අය වැය පරතරය ද.දේ.නි යෙන් 5 % නොඉක්ම වියයුතුයි. ඊට වැඩි පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බැවින් එවන් නීති විරෝධී පනතකට රජය අනුමැතිය ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

මේක නීති විරෝධීයි,. මේ නීති උල්ලංඝනය කිරීමට, අවසර දෙන්න කියලද , මේ නීති හදන, උත්තරීතර සභාවෙන්, ඉල්ලන්නේ?. රටට සහ ජනතාවට ද්‍රෝහී වෙලා, මේ බොරුවට අත උස්සන්න කියලද කියන්නේ ? යැයිද මන්ත්‍රීවරයා විමසු අතර , ඒ ඊයේ (17) අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

අය වැය ලේඛණය දිහා බලන විට රජය මවාගත් සිහින මත අධි තක්සේරුවෙන් යුතුව හුදු සංඛ්‍යාලේඛන ඉදිර්පත් කර ඇත. මේ ආණ්ඩුව යන්නේ, රිවර්ස් එකට. 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම තක්සේරු කර තිබුණේ රුපියල් බිලියන 2029 කට. නමුත් ලැබුණේ රුපියල් බිලියන 1561 යි. බිලියන 500ක අඩුවක් තියෙනවා. අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2284ක් යැයි පුරෝකථනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800 ක ආදායම් එක පාරටම වැඩි කරගන්නවා කියලද කියන්නේ.

ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා වසරකින් ආදායමක් 45 % කින් වැඩි කරන්න බැරි බව. එය උපරිමය 10 % හෝ 12 % කින් වැඩි කිරීම යතාර්තයක් වනු ඇත. කාවද මේ රවට්ටන්න යන්නේ.? මෙයාලා හැමදාම බොරු කියලා, මේ සභාවයි , ජනතාවයි රවට්ටනවා. එහෙනම් මේ, දවල් හීන නේද, ආදායම් පුරෝකථන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ? ඇත්තටම මේ ජනතාව රැවට්ටීමක් නෙවෙයිද ?

අපි 2014 බලය ගන්න කොට, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට, 10%ක් තිබුනේ. අපි ඒක ක්‍රමානුකුලව 13%ක් කළා. ඒක බොහොම සැලසුම් සහගතව කරපු දෙයක්. මෙහිදී මම දිවංගත මංගල සමරවීර මහතාව සිහිපත් කළ යුතුයි. එතුමා ක්‍රමිකව හා සැලසුම් සහිතව රාජ්‍ය ආදායම් වැඩි කරන සැලසුම් හදා ක්‍රියාත්මක කළා. පිළිවෙලකට කරපු දෙයක්. දැක්මක් වැඩපිළිවෙලක් අපිට තිබුණා.

මේ ආණ්ඩුව බලය ගන්න පෙර, නිතර මතුරපු බොරුවක් තිබුණා. ඒ තමයි, අපේ ආණ්ඩුව හැම දේටම බදු ගහලා, බදු වලින් දුවන, ආණ්ඩුවක් බව. මේ ඊනියා සටන් පාඨ වල නිර්මාතෘ, 2019 ගෝඨාභය රාජපක්ෂගේ, මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානියා තමයි, බැසිල් රාජපක්ෂ. මගේ මීළඟ අවධානය, රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම ගැන යොමු කරන්න කැමතියි. 2022 ට අදාළව අයවැය ලේඛනය තුළ බදු හරහා ආදායම් ඉහළ නංවා ගැනීමේ උත්සාහයක් තියෙනවා.

“ පසුගිය වසර තුළ රු.මි. 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායම් ලත් සමාගම් හෝ පුද්ගලයන්ගෙන් එක වරක් පමණක් අය කරන 25 % ක අධි හ්භාර බද්දක් අය කරන්න යෝජනා කර තිබෙන අතර ඊළඟට, වැට් බද්ද වැඩි කරලා. 2.5 % සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කර ගැනීමටත් යෝජනා කර තිබෙනවා.”

අතීතයේ ලැබූ ආදායමකට බදු අය කළ හැකි දැයි යන්න නීතිමය ප්‍රශ්නයක් ද මතුවෙනවා.” දැයි හෙතෙම ප්‍රශ්ණ කළේය පිරිවැටුම් එක මත බදු පැනවීම. මොකක්ද මේ අය කරන්න යන්නේ, රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවෙන් නේද, මේ හූරලා ගන්න හදන්නේ ? මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔලුව උස්සන්න එපාද ? මේකටද නිෂ්පාදන අයවැයක් කියන්නේ ? ඇත්තටම මේක මහා ඛේදවාචකයක්.

ඇත්තටම බදු ගන්න එකේ නෙවෙයි ප්‍රශ්නය. සමාජ සාධාරණත්වය රැකගන්න, බදු නිසි ලෙස අයකරන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. නමුත් නිසි නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මෙලෝ හසරක් නොදන්න අය, වැඩ කරන්න ගියාම, බදු ගෙවනවා තියා, කිසිම ආයෝජකයෙක් මේ පැත්ත හැරිලාවත් බලන එකක් නෑ.

අද හම්බ කරන්න අවස්ථාව තියෙන්නේ, රාජපක්ෂ පවුල සහ පවුලේ ගජමිතුරන්ට විතරද ,?

අපි නම් මේවට පුදුම වෙන්නේ නෑ. මතකයි නේද , සීට් එකක් වෙන් කරගන්න බැරි වෙලා, රාජපක්ෂ උදහස නිසා , බිලියන ගණන් ලාභ ලබපු, ගුවන් සේවය, 2008 දී, එමිරේට්ස් ආයෝජකයන්ගෙන් මහින්ද රාජපක්ෂ පාලනය නැවත පවර ගත්තා. හැබැයි රටට කිව්වේ, විකුණපු ජාතික සම්පත් යළිත්, පවර ගන්නවා කියලා. නමුත් 2021 වෙනකොට මොකද, ගුවන් සේවයට වෙලා තියෙන්නේ, දැන් රුපියල් බිලියන 250ක් හෝ ඊට ආසන්න මුදලක් පාඩු ලබලා. බලන්න, දැන් මේ පාඩුව ගෙවන්නේ, මැදමුලනේ වලව්වේ කාබනික ගොවිතැනින්ද ? නැත්නම් රාජපක්ෂ පවුලේ මොකක් හරි ව්‍යාපාරයකින්ද ? නෑ. කවදාවත් මේ ගුවන් යානයකට පය තබලාවත් නැති, අහිංසක ජනතාව, තමයි මේවට වන්දි ගෙවන්නේ. නීතියේ ආධිපත්‍යයක් රටකට අව්ශ්‍යයි

එමිරේට්ස්ලට වුණ දේ දැක්ක, එක ආයෝජකයෙක්වත් මේ රටට එයිද ? ඉතින් කොහොමද රටේ ආදායම් වැඩි වෙන්නේ ? දැන් ලොකුවට හිතාගෙන පම්පෝරි කතා කිව්වට , බදු ප්‍රතිපත්තිය, මේ වගේ පැටලලි සහගත නම්, අවුල් නම්, පොර්ට් සිටිය ගැනත් සිහින දකින්නේ බලාගෙනයි. ආයෝජකයන්, ආයෝජනයක් කරන්න කලින්, සලකා බලන කාරනා තියෙනවා.

2019 ජනාධිපතිවරණයට සතියකට පෙර වෝහාරික වාර්තා නිකුත් කළ හෙයින්, නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට බලයෙන් ඉවත් වන රජයට අවස්ථාවක් නොලැබුණි. කබ්රාල් වැරදි කිරීමකට වරදකරු ලෙස ඔප්පු කර නොමැතැයි යන පදනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ පත්වීම සිදු කර ඇත්නම්, මෙම තර්කය කලින් අධිපති වරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් වෙත ද ඉදිරිපත් කළ හැකිය. මහ බැංකු අධිපති ලෙස මහේන්ද්‍රන්ව ජනාධිපති විසින් පත් කරයිද ?.

වැදගත් පත්වීම් ලබා දීමේ පරමාධිකාරය ජනාධිපතිවරයා සතු වුවද, පුද්ගලයාගේ යෝග්‍යතාවය තීරණය කිරීම ජනාධිපති කාර්යාලයට පමණක් සීමා නොවිය යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්‍ෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ අතර, උසස් තනතුරුවලට පත්වීම සඳහා "සුදුසු සහ උචිත" පුද්ගලයෙක් වීම සඳහා ජනාධිපතිවරයාගේ නම් කළ තැනැත්තා ගේ නම අනුමත කළ යුතුව තිබුණි. කබ්රාල් මහතා පත් කිරීමේ සිද්ධියේදී යම් කාල පරිච්ඡේදයක් තුළ බහු ජන කනස්සල්ල මතු වී තිබිණි. මේ කිසිදූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට කබ්රාල් මහතාට හෝ ජනාධිපතිවරයාට විනීතභාවයක් තිබෙන බවක් නොපෙනේ.

වැඩ භාරගත් දිනයේ දීම මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය සිය රාජකාරිවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ. අනාගත විමර්ශනයකදී මතු කළ හැකි සාක්ෂි නව අධිපති වරයා යටපත් කිරීමට උත්සාහ දරන්නේ ද? මුදල් මණ්ඩලය යටතේ ඇති සාක්ෂි සහ සාක්ෂිකරුවන් ආරක්ෂිත බව සහතික කරන්නේ කවුරුන්ද?

අද, වඩාත් නිශ්චිතවම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින්, නියමිත අධිකරණමය ක්‍රියාවලියට ගරු කරමින්, සමාජයේ වැරදි නිවැරදි කරනු ඇතැයි ලාංකේය මහජනතාව අපේක්ෂා කරති..එක් දේශපාලනඥයෙක් වරක් පැවසූ පරිදි "පද්ධතිය අප වෙනුවෙන් වැඩ කරන බව ඔබට තේරෙන්නේ නැද්ද - එසේ නම් අපි එය වෙනස් කළ යුත්තේ ඇයි?"

අපි එම ක්‍රමය නිවැරදි කිරීමට නම් නීතියේ ආධිපත්‍යය තහවුරු කර වඩාත් යුක්ති සහගත හා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න, එවිට සිවිල් සමාජය සහ මාධ්‍ය ඇතුළු රජයේ සියලු ආංශික කුළුණු විසින් වගකීම භාර ගත යුතුය. සෞභාග්‍යයේ දූෂණය හා නොසැලකිලිමත්කමට කිසි සේත් අපට එකඟතාවයක් පළ කළ නොහැකිය.

හැමෝම කොමිස් දීලා එන්නේ නෑ. සාමාන්‍යයෙන් ආයෝජකයන්, අදාළ රට ගැන විශ්වාසයක් හදාගන්න ඕන. මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක ඉන්න ඕන, නීතියේ ආධිපත්‍ය ගැන තහවුරුවක් තියෙන්න ඕන, මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන වගේම, ඒ රට දේශීය ව්‍යාපාරිකයාට සලකන ආකාරය ගැනත්, ආයෝජකයන් සැලකිලිමත් වෙනවා. හැබැයි මේ අයවැයේ, මේ කිසිම දෙයක් ගැන අවධානයක් නෑ. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තුළත් මේ වටිනාකම් (values) වලට ඉඩක් නෑ. ආයෝජකයන් ගැන කියන නිසා මතක් වුනා. ඔබට මතක ඇති පසුගිය ආණ්ඩු සමයේ මේ අය ආයෝජකයන්ට තර්ජනය කළා, ආයෝජනය කරන්න එපා, එයාලා බලයට ආවහම සියල්ල යලි පවරා ගන්නවා කියලා. ඔන්න විපක්ෂය කාලේ හැසිරීම.

ඒ වගේම තමයි, EAP මාධ්‍ය ජාලයේ, ආයෝජනය කරපු, සුභාෂ්කරන් අලිරාජා මහතා සම්බන්ධයෙන් දක්වපු විරෝධය. එදා ඒකාබද්ධ විපක්ෂය කිව්වේ, අපි කොටියෙකුට රටේ සංඛ්‍යාත දුන්නා කියලා,.. හැබැයි එදා විපක්ෂයේ මහත්වරු එහෙම කිව්වට, අද අපි ඒක කියන්නේ නෑ , සුභාෂ්කරන් අලිරාජා මහතා, මේ ළඟදී VIP පර්යන්තයෙන් , රටට ගෙන්වාගෙන ඉහල පෙලේ සාකච්ඡා පැවැත්තුවා. ගුවන් හමුදාවේ, හෙලිකොප්ටර් හරහා ගමන් පහසුකම් දුන්නා.

අපි කියන්නේ ඔහු ආයෝජකයෙක්. ඒ වගේ ආයෝජන දහස් ගණනින්, රට හදන්න ඕන කියලයි අපි කියන්නේ. ඩයස්පෝරා කියලා, ජාතිවාදය අවුස්සන ප්‍රතිපත්තියක් අපට නෑ. මතක තියාගන්න , ඩයස්පෝරාව කියන්නේ වත්කමක්. අපි ඒක වගකීමෙන් කියනවා. ජන්ද ගන්න, ජාතිවාදය අවුස්සන, පහත් දේශපාලනය තමයි හැමදාම මේ රට අගාධයට පත්කළේ. ජාතිවාදී ආගම්වාදී ඊනියා ප්‍රචාර නවත්වන්න

හැම වරදකටම අවසානයක් තියෙන්න ඕන. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා , තව දුරටත් පටු ජාතිවාදී, ආගම්වාදී, ඊනියා ප්‍රචාර හරහා, ජනතාව නොමග යවන්න එපා කියලා. අපේ විදෙස් ප්‍රතිපත්තිය අන්තයටම දුර්වල වෙලා. මානව හිමිකම් සම්බන්ධව කතා කරන්නම දෙයක් නෑ. අපනයන වෙළඳපොල අවස්ථා ඇහිරීමේ අවදානම යලිත් මතුවෙලා තිබෙනවා. යුරෝපා GSP plus සහනය, ඇමරිකානු GSP සහනය අපිට අතිශය වැදගත්. විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග තමයි අපේ අපනයන වෙළඳපොලේ විශාලම පංගුව. මේ හරහා තමයි රටට ඩොලර් අදායම ලැබෙන්නේ. එය අවදානමේ දමා ගන්න එපා කියන ඉල්ලීම, මේ අවස්ථාවේ කරන්න ඕන. මොකද ඔය GSP plus සහනය 2014 ට පෙර රාජපක්ෂ පාලනය නැතිකර ගත්තා. අපි බොහොම අමාරුවෙන් එය නැවත ලබාගත්තේ.

මොකද අපනයන ක්ෂේත්‍රයේ මේ තියන ප්‍රමාණයත් නැති වුණොත්, මේ රටට අත්වන ආර්ථික ව්‍යසනය සුළුපටු නෑ. ඒ වගේම කියන්න ඕන පුනර්ජනනීය බලශක්තිය 70%ක් කරන්න යෝජනා දාලා තියනවා. නමුත් ප්‍රතිපාදන නෑ.. ඒකත් අර කාබනික වගා වන්දිය වගේ. අස්වනු අඩු වුණොත් වන්දි දෙනවා කිව්වට, ප්‍රතිපාදන නෑ. ජනගහනයෙන් 52%ක් වන කාන්තාව ගැන මේ අයවැයේ මොනවද තියෙන්නේ ? කාන්තාවන් සඳහා කැබිනට් අමාත්‍යාංශයක්වත් මේ රජය යටතේ නැහැ.ආරක්ෂක අමාත්‍යංශයට නම් ප්‍රතිපාදන වැඩි කරගෙන. සුපුරුදු විදියටම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර අයවැය ලස්සනට බෙදාගෙන.

එක රටක් එක නීතියක් කියලා බලය ගත්ත ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන හැටි ඊයේ, ඒ කියන්නේ නොවැම්බර් 16 වෙනිදා රටම දැක්කා. A guilty conscience needs no accuser -- වැරදි හෘද සාක්ෂියකට චෝදකයකු අවශ්‍ය නෑ. එක රටක් එක නීතියක් කිව්වට, මේ රටේ නැත්තෙම ඒක. නොමිලේ පොහොර දෙනවා කියලා, දැන් බෙහෙතකටවත් පොහොර නැති කරලා. ගෑස් නෑ. සිමෙන්ති නෑ. සපුගස්කන්ද ඉතිහාසයේ පළමු වතාවට වහලා. බොරතෙල් ගේන්න විදිහක් නැතුව. ඔමානයෙන් ණයක් ලැබෙනවා කිව්වා. කෝ, ණය ලැබුණද ? බඩු මිල අහස උසට. මිනිසුන්ගේ ආදායම් ගල් ගැහිලා. නැත්නම් රිවර්ස්වෙලා. හැබැයි වියදම් ඉහළ ගිහින්.

නමුත් මතක තියාගන්න, 69 ලක්ෂයක ජනතා ප්‍රසාදය , ගතවෙන මොහොතක් ගානේ, ක්ෂය වෙමින් පවතිනවා. ආණ්ඩුව ඇතුලෙ පවා අසහනය දෝරේ ගලනවා. 2022 අයවැය සම්බන්ධව අපේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ. මේ අයවැය ආණ්ඩුවේ අසමත් බව තහවුරු කරන නිල ලේඛණයක් පමණයි. මෙයින් රටට, ජනතාවට ලැබෙන සෙතක් නෑ. මේ වසරට වඩා ලබන වසරේ බරපතළ ආර්ථික පීඩාවන්ට මුහුණදෙන්න, ජනතාවට සිද්ධ වෙනවා. හැබැයි අපි ජනතාවට ස්ථිර පොරොන්දුවක් දෙනවා. මේක වාසනාවන්ත රටක්. මේ අවුරුදු 5ට, රාජපක්ෂ පවුල් පාලනය මොනවා කළත්, ලැබෙන පලවෙනි අවස්ථාවේ, අපි නිවැරදි දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිතව, මතු පරම්පරාව වෙනුවෙන්, මේ රට ගොඩනැගීමේ අභියෝගය සහ වගකීම ගන්න සූදානම්. ඒ විශ්වාසය සහ හැකියාව අපිට තියෙනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය

පියල් සමඟ ඇරගෙන : පියල් යයි - උදයකුමාර එයි !

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මුදිත විදානපතිරණගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීම කර ඇත.

මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ, ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සමග ඇතිවුණු මත ගැටුමක් හේතුවෙන් මහාචාර්ය මුදිත විදානපතිරණ ඉල්ලා අස්වූ බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වූයේ, තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතනවල සිටිය යුතු බව අමාත්‍යවරයා පවසා ඇති බවයි.

තේ කබලෙන් ලිපට වැටේ !

ආගමික අන්තවාදයට උදව්කරණ ජාවාරම්කාරයින්ට ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකා තේවලට මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීම නිසා අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙන බව කුඩා තේ වතු හිමියෝ පවසති.

ඔවුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ වසන්ත අල්විස් මහතා පවසා සිටියේ මේ ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 120ට තිබූ අමු තේ දළු කිලෝවක මිළ රුපියල් 88 දක්වා පහත වැටී ඇති බැවින් කුඩා තේවතු හිමියන් බරපතල ආර්ථික අර්බූදයකට පත් වී ඇති බවයි.

පසුගිය දිනවල රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පිට රටින් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකාවේ තේ 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දෙන බවයි. ඒ මගින් ජාවාරම්කරුවන්ගෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබෙන නමුත් ශ්‍රී ලංකා තේ නාමය විනාශ වන බවට රජයට බරපතල චෝදනා එල්ලවේ.

lanka lead

එංගලන්තයේ තෙල් පෝළිමක් : ඇමති නාමල්ගේ සොයාගැනීමක් !

අද වන විට ලෝකයේ තෙල් අර්බුදයක් ඇති බවත් එංගලන්තයේ පවා තෙල් පෝලිම් තියෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , ලෝකයේ බොහෝ රටවල කර්මාන්තශාලා වසා ගෙන යන නමුත් අප යම්තාක් දුරට ඒ තත්ත්වයෙන් මිදී කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවයි.

බාධක මැද්දේ වුවද රට සංවර්ධනය කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසා ඇත.

විපක්ෂයේ වුවමනාව වී ඇත්තේ උද්ඝෝෂණ කරමින් නැවතත් රට වසා දැමීම බවත් එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

මොන අභියෝග පැමිණිය ද සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන බවත් නාමල් අමාත්‍යවරයා පැවසූ බවත් වාර්තා වෙයි.

Page 402 of 464