පුවත්

අධිකරණ වාරණය නැත්නම් චීන පොහොර තොගයට සල්ලි ගෙවලා - කබ්‍රාල්
චීන සමාගම වෙනුවෙන් නිකුත් කර ඇති ණයවර ලිපියට මුදල් ගෙවීමට මහජන බැංකුවට නොහැකි වී ඇත්තේ අධිකරණය විසින් ගෙවීම් අත්හිටුවමින් නිකුත් කර ඇති වාරණ නියෝගය නිසා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසා ඇත.
මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අධිකරණ වාරණය නොවන්න මුදල් ගෙවීමේ ගැටලුවක් නොමැති බවත් මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
චීන සමාගමක් විසින් මෙරටට පොහොර ගෙන්වීමෙන් පසු ඒ සඳහා අදාළ ණයවර ලිපියට අදාල මුදල් ගෙවීම පැහැර හැරයේ යැයි චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව ඔවුන්ගේ අසාදු ලේඛණයට ඇතුලත් කර තිබේ.
(මූලාශ්‍රය සී නිව්ස් )

මණ්ඩලේ කචල් : ඥානසාර හිමිගේ තනතුරට අලිසබ්‍රි විරෝධය පායි !
එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි රජයට විරෝධය පළකර තිබේ.
මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්ය යන්න අමාත්‍යවරයාගේ මතය බව සඳහන්ය.
මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත සිය දැඩි විරෝධය දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය රජයට දැනුම් දී ඇත.
මෙම කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර ගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පත්වීම ගැන පක්ෂ නායකයන් ගණනාවක් සිය අකමැත්ත පලකර තිබිණි.
– deshaya

පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් තියා ආණ්ඩුවේ තරම මැනගන්න : පාඨලී ජනාධිපතිට කියයි !
පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් තබා තම ආණ්ඩුවේ තත්ත්වය මැන ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය හමුවක අදහස් දක්වමින් රණවක මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට රට සාගතයක් කරා යොමුවෙමින් පවතින බවත් පැවසීය .
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට නගිමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ පවතින එළවළු සහ පළතුරු හිඟයයි. මහ කන්නය පිළිබඳ ඇතිව තිබෙන දෙගිඩියාව හේතුවෙන් සහල් මිල ගණන් අහස උසට නගිමින් තිබේ. දෙසැම්බර් මාසය වනවිට පවතින ප්‍රමාණයටත් වඩා විශාල පරිමාණයෙන් වැඩි වීමට නියමිතය. බඩඉරිඟු වගාව වැනි ඒ හා බැඳී තිබෙන කුකුල් මස් සහ බිත්තර සැපයීම අඩාල වීම නිසා කුකුල් මස්, බිත්තර වැනි දෑ ඉතා ඉහළ මිල ගණන් වලට ගමන් කරමින් තිබේ. රටේම ජනතාව දරාගත නොහැකි සාගත තත්ත්වයකට ගමන් කරමින් සිටී. “අනෙක් පැත්තෙන් මේ රටට ඩොලර් මිලියන එක්දාස් තුන්සීයක් පමණ උපයා දීපු තේ, පොල්, රබර්, කුරුඳු වැනි අපේ අපනයන බෝගවලට බරපතළ අභියෝගයක් එල්ල වෙලා තියෙනවා.
විශේෂයෙන්ම අපේ තේ වෙළඳාම නාමය හා නාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අපේ තරඟකරුවන්ට ඒ ස්ථානය හිමිවෙන්න යනවා. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිවරයා ගත්ත තීරණයත් අනුව පසුගිය මැයි මාසේ හය වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වීම රසායන ද්‍රව්‍ය ගෙන්වීම හා බීජ ගෙන්වීම තහනම් කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක්.” කාබනික ගොවිතැන හොඳ දෙයක් නමුත් ඊට අවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන බව තමන් විසින් පෙන්වා දුන් බවත්, විද්‍යාඥයන්, කෘෂි විද්‍යාඥයන්, ගොවියන්, ගොවි සංවිධාන මෙන්ම මේ පිළිබඳව සාමාන්‍ය දැනුමක් සහිත බොහෝ දෙනෙක් කරුණු කියා ඇති බවත් රණවක ප්‍රකාශ කලේය.
“ 100% ක් කාබනික ගොවිතැන කරපු රටක් ලෝකේ නැති බව අපි බොහොම පැහැදිලිව කිව්වා. ඒ වගේම සිලෝන් ටී නාමය බිඳ වැටුනොත් සිලෝන් සිනමන් නාමය බිඳ වැටුනොත් අපේ අපනයන ආදායම් සියවස් ගානක් තිස්සේ මේ රටට ලැබිච්ච අපට නැති වෙන බව අපි බොහොම පැහැදිලිව කිව්වා.” නමුත් ජනාධිපතිවරයාගේ උද්දච්ච මානසිකත්වය සහ ඔහු වටා සිටින උපදේශකයන්ගේ කෘෂිකර්ම ඇමැති හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ඇතුළු සියලු දෙනාගේම තියෙන මුග්ධභාවය විසින් මේ ගොවියන්ට දේශපාලන පසුබිමක් තියෙනවා කියමින් ලේබල් අලවමින් සිටියා මිස මේ ගැටලුව විසඳීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. “අර ඉඳුරුවේ ආචාරියා වගේ එකක් කඩතොලු මකාගන්නට ගිහින් දෙකක් කඩතොළු ඇති කරගත්තා වගේ දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණාට පස්සේ බාල පොහොර හදන්න ගිහිල්ලා අනුරාධපුර පැත්තේ සම්පූර්ණයෙන්ම මහජනයාට එළිදරව් වුණාට පස්සේ මිලියන සිය ගානක් ඒ වෙනුවෙන් කාබාසිනියා කළාට පස්සේ විදේශ රටවලින් කාබනික පොහොර ගේන්න කටයුතු කළා.” චීනයෙන් කාබනික පොහොර කියමින් භයානක බැක්ටීරියාවන් තියෙන පොහොර තොගයක් ලංකාවට ගෙනා බව ඒ රසායනාගාර පරීක්ෂණවල නියැලි විද්‍යාඥයන් විසින් පැහැදිලි කරලා තිබේ.
නමුත් අද මෙය බාරගන්නැයි රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් චීනයෙන් එල්ල වී තිබේ. “මේ තොගය ලංකාවට ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන නිලධාරියෙකුගේ ඥාතිවරයෙක් කියන එක දැන් එළිදරව් වෙලා තියෙනවා. ඒක නැහැයි කියලා නෑ කවුරුවත්. එතකොට මේ පිටිපස්සේ තියෙන්නේ අර ජරා කොමිස් ගැහිල්ල. ජරා පොහොර වලින්. අපේ මව්බිම, අපේ සරුබිම විනාශ කරන මේ තුච්ඡ වැඩ පිළිවෙලට එරෙහිව ගොවියෝ එක්ක, කෘෂි විද්‍යාඥයෝ එක්ක අපි නැගී සිටිනවා විතරක් නෙවෙයි මේ අපරාධයට සම්බන්ධ සියලුම දේශපාලනඥයින්ට සහ මේ කෘෂි උපදේශකයින්ට අර ප්‍රසිද්ධ දොස්තර මහත්තයත් ඇතුළු සියලු දෙනාට අනාගතයේදී මේ ගැන වගකියන්න වෙයි කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා.” ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානම් වන නැනෝ නයිට්‍රජන් පිළිබඳව අදහස් දැක්වූ රණවක මහතා; “මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ මේ රටේ නයිට්‍රජන් අවශ්‍යතාවයට. පළවෙනි කාරණය. අපේ කෘෂි විද්‍යාඥයෙක්, කඹුරුපිටියේ කෘෂි පීඨයේ මහාචාර්ය අරුණ කුමාර පෙන්නලා දීලා තියෙනවා හෙක්ටයාරයකට මේ නැනෝ නයිට්‍රජන් ලීටර් 1250ක් වත් ඕන කියලා. මේ ලීටරයක් දෙකක් ගහලා මේක කරන්න බෑ කියලා. ඒ අනුව කිසිසේත්ම මේක ප්‍රමාණවත් නෑ.” නැනෝ නයිට්‍රජන් දියරයේ අඩංගු නයිට්‍රජන් නිශ්චිතවම රසායනික නයිට්‍රජන් යූරියා වල තියෙන ඒවා. මේ සඳහා භාවිතා කරන නැනෝ කෙඳිවල තත්ත්වය පිළිබඳව කිසිදු පර්යේෂණයක් ලංකාවේ සිදු කරලා නෑ. ඒ අනුව මෙයින් අනාගතයේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ කාටවත් වගකියන්න බෑ. තුන, මේ දියර නයිට්‍රජන් ඇතුල් වෙන්නේ පත්‍ර හරහා. කුඹුරේ තියෙන්නේ ගොයම් විතරක් නෙවෙයි. දැන් වල් නාශක නැති හින්දා වල් පත්‍රත් තියෙනවා.
එතකොට අර කවුද මෝඩ මන්ත්‍රී කෙනෙක් කිව්වා වගේ, බෝම්බයක් ගැහුවා වගේ, වල් ටිකත් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඒක නිසා මේ රටේ ජාතික ධනය කොල්ලකන එක නතර කරන්න කියලා වහාම ජනාධිපතිවරයාට අපි කියනවා. “ දැන් ඖෂධ, පොහොර, ආහාර, සුදුළූණු, සීනි, පොල්තෙල් සෑම දෙයකින්ම හොරකම් කරන තක්කඩි පාලනයක් මේ ආණ්ඩුව විසින් සෞභාග්‍යයේ මග නමින් ඇති කර තිබෙන බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. “කවුරුත් ගොවියෝ දන්නවා. වගා කරන්න ගිහාම මුලින්ම අපි මඩ පෝර ගහනවා. වී වගා කරනකොට. ඊළඟට යූරියා එකතු කරනවා පැලපතට.
ඊළඟට කරල් පීදීගෙන එනකොට ඒ කරල් පීදීමට අවශ්‍ය කරන ඒ මිශ්‍ර පොහොර අපි ගහනවා. ඒකට කියන්නේ බන්ඩි පොහොර කියලා. දැන් මොකක්ද කරලා තියෙන්නේ? බන්ඩි පොහොර කලින් ගෙනල්ලා. මඩ පොහොර නෑ. මේ අයනු ආයනුවත් දන්නැතුව මේ මුග්ධ ක්‍රියාවලියේ නියැලිලා ඉන්න මේ පාලකයින්ට අපි කියනවා ජනතාවගේ සාගතයට වග කියන්න ලෑස්ති වෙන්න.” තමන් මහා ප්‍රතිපත්තිගරුක කෙනෙක් නිසා මතු පරම්පරාව වෙනුවෙන් කිරීමට යන බව පවසමින් මතු පරම්පරාව සාගතයකින් මරා දමන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සැරසේ. ඒ වගකීමෙන් මිදීමට ජනාධිපති අගමැති කෘෂිකර්ම ඇමැතිවරුන් ඇතුළු කැබිනට් මණ්ඩලයට කිසිදු ඉඩක් නැත. “එක පැත්තකින් ජනතාවගේ ආදායම් කඩා වැටිලා. අනිත් පැත්තෙන් ආහාර හිඟය නිසා ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා. අතිශය මුග්ධ ක්‍රියාවලියක් මේ වසංගතයක් අස්සේ ආහාර සුරක්ෂිතතාවය පාවාදීමට ගත්ත ක්‍රියාමාර්ගය.
ඒ වගේම දැන් ආයේ පටන් අරන් තියෙනවා මේ වකුගඩු කතාව. වකුගඩු වෙනස් වෙනවා වලට හානි සිද්ධ වෙනවයි කියලා ඇතැම් දොස්තරලා ඇවිල්ලා ප්‍රකාශ කරනවා. තමන් නොදන්න විෂයන් ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ වකුගඩු රෝග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විධිමත් අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල 2013 දි නිකුත් වුණා. එය ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. එක හේතුවක් නෙවෙයි හේතු ගණනාවක් නිසයි රජරට රෝග ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කියලා.” ප්‍රමිතියෙන් තොර බාල පොහොර ගෙන ඒම වකුගඩු රෝගයට හේතු විනැයි කියන්නේ නම් ඊට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. “මොකද මේ ලෙඩ අනූ ගණන් වල ඉඳන් බොහොම සුළු පරිමාණයෙන් තිබුනට, මේ ලෙඩේ මහා පරිමාණයෙන් මතු වුණේ 2011 ඉඳන්. ඒ නිසා මේ නිකන් තමන් නොදන්න විෂයන් කතා කරන දොස්තරලා මේ රටේ කෘෂිකර්මයේ මේ රටේ අනුශාංගික වෙච්ච පස ගැන කතා පවත්වන්න ගිහිල්ලා මේ රට මුලාවේ දාලා තියෙනවා. ඒ සියලු දෙනාම මේ උපදේශකයොත් එක්ක සියලු දෙනාම මේ සාගතයට වගකියන්න ඕන” එමෙන්ම ජරා පොහොර ගෙන්වමින් රටේ සරුපස විනාශ කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව තමන් ගොවි ජනතාව සහ කෘෂි විශේෂඥයන් ප්‍රමුඛ මහජනතාව සමග නැගී සිට සටන් කරන බව ද හෙතෙම පවසයි.
“ඒ වගේම මම පුළුවන්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයක් තියන්න. තියලා බලන්න තමන්ගේ ආණ්ඩු පක්ෂයේ තත්වේ. ඒ ඡන්දය අර විශේෂ ඡන්දයක් හැටියට කතානායක තෝරන ඡන්දයක් හැටියට, ඡන්දෙ දුන්නේ කවුදැයි කියලා හොයාගන්න බැරි විදිහට තියන්න. මහජන මතයට කන් දෙන්න. ඇත්තට මූණ දෙන්න. තමන්ගේ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ වෙන්න පුළුවන්. ඒ අය හොඳින් කාලා බීලා ඉන්නවා වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ බඩගින්න වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ හීන වෙනුවෙන් අපි නැගී සිටිනවා කියන එක බොහෝම පැහැදිලිව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා” පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් !
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නොපෙනෙන ඉමක් දක්වා ඇමෙරිකානු සමාගමට හිමිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට ඊයේ (29) කොළඹ පැවැති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ වසංගතය නිසා අමාත්‍ය මණ්ඩල පැවැත්වූයේ ඔන්ලයින් හරහායි. කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක ඇමති මණ්ඩලයට සන්දේශ ලැබෙන්න ඕන. ඇමති මණ්ඩලය තම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි සම්මත කර ගන්නේ. ඊට අපි හැමෝම වගකියනවා.
නමුත් නිව් ප්‍රෝට්රේස් සමාගමට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, බොරුවට අවුරුදු කියන්න එපා අවුරුදු පහක් කියලා. අනාගතයේ නොපෙනන ඉමක් දක්වා ගැස් සැපයිම භාර දෙන්නේ ඔය ඇමෙරිකානු සමාගමට. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද?
අපි ඔන්ලයින් ඉන්නවා. සියලු අපි දන්න කැබිනට් පත්‍රිකා කතා කරලා ඉවර කරනවා. වෙනත් කරුණු කියල එකක් එනවා. ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ‘ලේකම්තුමා මමත් අද එකක් ගෙනාවා ඒක නැත්ද?’ කියලා.
කැබිනට් ලේකම් කියනවා ‘ගරු ඇමතිතුමා ඒක මට ආවේ මම වාඩිවුණාට පස්සේ මට ඒක කියව ගන්නත් බැරිවුණා කියලා. ඔබතුමා පැහැදිලි කරන්න’ කියනවා.
සාමාන්‍ය යෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම්තුමා. කැබිනට් ලේකම් කියනවා ‘මම මෙතන වාඩි වුණාට පස්සේ ඕක ආවේ. මට කියව ගන්නත් බැරිවුණා. දන්නේ ඔබතුමානේ ඔබතුමාම ඕක කියවන්න’ කියනවා.
මම ඇමතිමණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියත් මම එහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුණා.
ඊට පස්සේ උදය ගම්මන්පිල මැතිතුමා අපි මොකද වුණේ කියලා හිතන කොට කැබිනට් මිනිස්ට් ඇවිත් තියෙනවා අහවල් කැබිනට් පත්‍රිකාවට ඇමතිතුමා දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවලට පසුව මේ මේ තීරණවලට එකඟවිය කියලා.
මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ.
හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.
මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නේ විශ්වාස කළේ. වෙන අයට කොල්ල කන්න නෙමෙයි.
විදුලි බල මණ්ඩලයෙන් දාපු ඩෙන්ඩරය මොකද්ද? ඩලස් ඇමතිතුමාට විදුලි බලයත් නැතිවුණා මම දන්නේ නෑ මේක හේතු වුණාද කියලා. එහෙමත් හිතෙනවා. ඒ අය දෙනවා ටෙන්ඩරය. ගබඩා නැව එක ටෙන්ඩරයක්. නල පද්ධතිය එළීම තව ටෙන්ඩරයක්. ගෑස් සැපයීම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ.
විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කරලා කලින් කලට විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේ එල්.එන්.ජී. ගන්නවා. දැන් ගාණ තිරණය කරලා ඉවරයි. අපි පාවිච්චි කළත් නොකළත්, අපි හිතමු වැස්ස හොඳට තිබ්බොත් එල්.එන්.ජී. පාවිච්චිය අඩුවෙනවා. පාවිච්චි කළත් නොකළත් නියමිත එල්.එන්.ජී. ප්‍රමාණය අපි මිලදී ගන්න ඕන.
ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබිමෙන් ලංකාව අභ්‍යන්තරයේ දේශපාලනයේ කේවල් කිරීමේ බලය ඇමෙරිකාවට ලැබෙනවා. මේක අනාගතය පාවදීමක්. බිල්ලට දීමක්.
අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ. තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න එනවා.
අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපිට ඕන නෑ විරුද්ධ පක්ෂයේ දේශපාල නන්නත්තාර වෙලා ඉන්න අයට ජිවය දෙන්න. අපිට ඕන ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව අරගෙන යන්න.
ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකිම අපි අතහරින්නේ නෑ. අපි අපේ හඩ ඉදිරියටම කරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි මහජන මන්ත්රණ සභාව ආරම්භ කළේ. ඉතිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කළ යුතුයි. එය නතර කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුළේ සිට හෝ ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි යුතුකම ඉටුකරනවා.
අපේ ආණ්ඩුව වැරැද්දක් කරන කොට සද්ධ නැතිව ඉන්න ඕනද? වැරැද්ද කවුරු කළත් වැරැද්ද. අපි ගැන තිබ්බේ නිර්මල විශ්වාසයක්. එහෙම එකක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවලින් මේ වගේ දේවල් තීන්දු වෙන්න නෙමෙයි.

විමල් ප්‍රසිද්ධියේ බැසිල්ගෙන් ගේම ඉල්ලයි !
යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පවරාදීමට අදාල කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව ඇමති විමල් වීරවංශ පවසයි.
යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ජනතාවට කරුණු දැක්වීම සදහා අද පස්වරුවේ පැවති මහජන මන්ත්රණ සභාව අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.
මුදල් අමාත්‍යවරයා විසින් අදාල කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කුමන්ත‍්‍රණකාරී ආකාරය පිළිබදව සවිස්තර කරුණු දැක්වීමක් අමාත්‍යවරයා ඉදිරිපත් කළේ ය.
ඇමති කට්ටක් වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කළ නො හැකි බවද මහජන මන්ත්රණ සභාව අමතමින් අමාත්‍යවරයා පැවසී ය.
(Mawrata)

මහජන බැංකුව චීනයට ප්‍රතිචාර දක්වයි !
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාල විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.
එයින් දැනුම්දී ඇත්තේ චීන සමාගමක් වෙත ගෙවීම් නතර කිරීමට සිදුව ඇත්තේ අධිකරණයෙන් ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් බවයි.
එසේම අධිකරණය තීන්දු මත ගෙවීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව එම නිවේදනයේ සඳහන් කර ඇත.
මහජන බැංකුව විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත
එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත පවසයි.
එම මධ්‍යස්ථානය ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඩී ලාල්කාන්ත,
"අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේ දී එන අයවැයේ දී අපිට රු 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. හරි නිශ්චිතයි කාරණය. රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයටත් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවට මේ රු 10,000 වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිත ගැට ගසා ගන්න විශ්‍රාමිකයින්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍යයි. මෙතැනින් ඉදිරියට අයවැය දක්වා ම අපිට රු10,000ලැබෙනවා කියලා සහතින වෙනකල් ම අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා ම ගෙනියන්න තීරණය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි, තමන් විවිධ ක්‍රමවලට එකතු කර ගත්ත ධනය දේපළ ඒවා රජයට පවරාගෙන හරි ඉතිරි අවුරුදු 2,3,4 බලයේ ඉන්න ඕනේ නම් පාලකයන්ට අනිවාර්යයෙන් සිදුවෙනවා මේ ඉල්ලීම් ඉටුකරන්න."
එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, වසන්ත සමරසිංහ පවසා සිටියේ, පසුගිය කාලයේ භාණ්ඩවල මිල වැඩිකිරීම් තවමත් රජයේ සංඛ්‍යා ලේඛනවල නොමැති බවය.
"ඔක්තෝබර් මාසයේ බඩු මිල වැඩිවුණ ඒවා එන්නේ නොවැම්බර් මාසයේ. මේ වෙන විට ආණ්ඩුව ගණන් හදලා තියෙන ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන 2021 සැප්තැම්බර් මාසය වෙනවිට 4 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට යන වියදම රු 65,047ක් වෙනවා. දැන් රු 65,000ක් 4 දෙනෙකුට ජීවත්වෙන්න යනවා කියන ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන අනුව අපි කොහොමද ජීවත් වෙන්නේ රු 16,000ක පඩියක් අරන්. අද රාජ්‍ය අංශ සේවකයා කොහොමද රු 31,000ක පඩියක් අරන් ජීවත් වෙන්නේ. ඒ නිසා අද බරපතළ ප්‍රශ්නයක් තියෙනවා වැටුප්වල මේ වැඩිවීම අනුව නම් පඩිය ඩබල් වෙන්න ඕනේ. නැතුව කොහොම ද ජීවත් වෙන්නේ."

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31වැනිදා අවසන්
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4 .00 ට අවසන් කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ, අද(29) පෙරවරුවේ රැස්වූ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදීය.
එහිදී ගනු ලැබූ තීරණ පහත සදහන් වෙයි..

අසාදු පොහොර නොගත්තට : චීනා මහජන බැංකුවට කරපු දේ !
ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මහජන බැංකුව L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් අත්විඳ ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල අලාභයක් සිදු වූ බව එහි සඳහන් ය.
ඒ අනුව මහජන බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බවත් නිවේදනයේ සඳහන් ය.
අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි (L/C) පිළිගැනීමෙන් වළකින ලෙසත් එම කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත සිහිපත් කරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

බැසිල්ගේ යුගදනවිය ගිවිසුමෙන් ගේම ඉල්ලන : අලුත් සුළඟ මෙන්න !
LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්රණ සභාව හෙට පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය දන්වයි.
එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්රණ සභාව හෙට (29)
රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාව, රටට ආදරය කරන කිසිම පාර්ශ්වයකට මගහැර යා නොහැකි, මාතෘකාවක් බව පැහැදිලිය.
එබැවින් ඒ පිළිබඳ විද්වත් අදහස් මත ගොඩනැගෙන නිශ්චිත යෝජනා සාකච්ඡා කිරීමේ “මහජන මන්ත්‍රණ සභා සැසියක්” 2021.10.29 (හෙට) දින සවස 3:00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වීමට අපි තීරණය කළෙමු.
මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය, පහත දේශපාලන පක්‍ෂ නායකයින් නියෝජනය කරනු ඇත.
මූලාසන මණ්ඩලය
- පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, 2 . ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා
- ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා,
- ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා
- මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මැතිතුමා,
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා
- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ මැතිතුමා
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මැතිතුමා,
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතවුල්ලා මැතිතුමා
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මැතිතුමා
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මැතිතුමා
මෙයට, විශ්වාසී,
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සංවිධායක කමිටුව වෙනුවෙන්

සලේගේ පැමිණිල්ල : සිරිල් ගාමිණී පියතුමා සතියක් ඉල්ලයි !
ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමට සතියක කාලයක් ලබා දෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙයි.
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබිණි.
නමුත් එම පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොසිටි අතර, ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙකු එහි පැමිණ අදාළ සතියක් කල් ඉල්ලන ඉල්ලීම සහිත ලිපිය භාරදී තිබේ.
ශාන්ති කුමාර් වැලිවිට පියතුමන්, රවීන් සඳසිරි පියතුමන් සහ ශ්‍රීනාත් මනෝජ් පියතුමන් මෙලෙස පෙරවරුවේ සී.අයි.ඩී.ය වෙත පැමිණ ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබූ ලිඛිත ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර සිය ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිළිගත් බව ඉන් පිටතට පැමිණි පියතුමන්ලා මාධ්‍ය වෙත පවසා ඇත.

මහාචාර්ය නීලිකා මලවිගේට WHOහි තනතුරක්
මහාචාර්ය නීලිකා මලවිගේව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගෙන තිබේ.
ඇයව තෝරා පත්කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සඳහා වූ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් වශයෙනි.
එම තාක්ෂණික උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ කොවිඩ් 19ට අදාළ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ය.

CID ලොක්කට මාරුවක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුලු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර ඔහුගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න පත්කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වී වදාළහ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති අතර අපවත්වන විට 84 වැනි වියෙහි පසුවූහ.
උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි නිරතවෙමින් බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේ ය.
මීට අමතරව කුසලධම්ම නාහිමියෝ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද හොබවනු ලැබූහ.
1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.
මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නා හිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබූහ.
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය අද(28) දහවල් 12 න් පසු මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කිරීමට නියමිත අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමි වදාළහ.

43 සේනාංකයෙන් සේනාපතිට එරෙහිව පැමිණිල්ලක් !
ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති නමින් පෙනීසිටින නිශ්ශංක යාපා ගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තම සංවිධානය කටයුතු කළ බව 43 සේනාංකය පවසයි.
ඊට අනුව 43 සේනාංකය විසින් ඊයේ (27) අල්ලස් කොමිසම වෙත අදාළ පැමිණිල්ල සිදුකර ඇත.
එම අවස්ථාවට 43 සේනාංකය නියෝජනය කරමින් බන්දුල චන්ද්‍රසේකර , නීතීඥවරුන් වන රජික කොඩිතුවක්කු , මුදිත් දිසානායක , ගයාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නීතිපති නඩුව ඉල්ලා අස්කරගෙන !
මේ අතර වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ නියෝග කළාය. මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.
ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය.

සිරිල් ගාමිණී පියතුමාව CID කැඳවයි !
හෙට (28) උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිරිල් ගාමිණි පියතුමාට දන්වා ඇති බව වාර්තා වෙයි.
නිලධාරීන් අද දින (27) මීගමුවට ගොස් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
සිරිල් ගාමිණි පියතුමන් මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඔහු සහ තවත් පියතුමන්ලා කිහිප නමක් විසින් පසුගියදා සිදුකර ඇති අසත්‍ය චෝදනා තුලින් පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම තමාගේ කීර්තිනාමයට හානි කිරීමක් සිදුකර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබු පැමිණිල්ලකට අනුව කට උත්තරයක් ලබාගැනීම සඳහාය.
CID යෙන් අධිකරණයට දැනුම් දීමක් !
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් දා දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසඳය විසින් පැවැත් වූ කරුණු පැහැදිලි කිරීමක දී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම සිද්ධියට අදාළව රහසිගත වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල වෙත එම දැනුම්දීම සිදුකළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, 'අන්තර්ජාතික යුක්ති සංසඳය' නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවය.
එහිදී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව ද ඔවුන් දන්වා සිටියේය.

අලුත් කාර්‍ය සාධක බලකාය ගැන ඇහුවාම ඇමතිලා මාරු වෙයි !
එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට මාධ්‍යට මුහුණදීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි.
අද (27) මාධ්‍යවේදීන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මෙකී කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් විමසා සිටි නමුත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මඟහැර ගොස් ඇත.
‘මමත් ඒක දැක්කේ මැසේජ් එකකින්’ යන්න අමරවීර අමාත්‍යවරයා දැක්වූ එකම ප්‍රතිචාරය විය.
මේ සම්බන්ධයෙන් news 1st පළකල වීඩියෝවක් පහත දැක්වෙයි.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචන පලවෙමින් පවති. ඒ අතර දමිළ නියෝජිතයන් නොමැතිවීම සහ කාන්තා නියෝජිතයන් නොමැතිවීම දක්වා තිබේ.
එසේම මෙකී කාර්‍ය සාධක බලකාය ඥානසාර හිමිගේ හිතවතුන් රැසක එකතුවක් බවටත් අදහස් පළවෙමින් ඇත.
පහත දැක්වෙන්නේ එකී ජනාධිපති කාර්ය සාධක බලකාය යි.

මේ ආණ්ඩුව දන්න පොහොරක් නෑ - තිස්ස විතාරණ
වත්මන් ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.
විශාල මිලක් වියදම් කරමින් කිසිම ගුණාත්මක බවක් නැති පොහොර මිලදී ගන්නා බව ගන්නා බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමිනි.
දැනට ඉන්දියාවෙන් ආනයනය කරමින් ඇති පොහොර වර්ගයට වඩා ලාභ සහ ගුණාත්මක භාවයෙන් වැඩි පොහොර ස්ලින්ටෙක් ආයතනය විසින් දියුණු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාවට එම පොහොර වර්ගය සාදා විදේශයන්ට අපනයනය කල හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
Page 420 of 473